අය වැය තුල අසාධ්‍ය වූ රථගාය සහ දේශපාලන සන්දර්ශන
Posted on November 20th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

‘අය වැය යනු ජනතාවගෙන් අයකර, මැති ඇමතිලා නඩත්තු කිරීම පිනිස වැය කිරීමයි’ යනුවෙන් මුහුණු පොතේ එක තැනක සටහන්ව තිබෙනු දුටිමි. එය නම් හරියටම හරිය කියා සිතෙන්නේ අය වැය දකින විටය. පසුගිය අය වැයේදී එකින් එක කොටස් කැපී ගොස් අවසානයේ ඉතිරි වූයේ ‘ගරු කතානායකතුමනි’ යන කොටස පමනකැ’යි කතාවක්ද සමාජයේ ඇතිව තිබිනි. මේ සියලුම විහිලු කතා අවසානයේ තමන් පිට පැටවෙන බර ජනතාවට දැනෙන්න පටන් ගන්නේ ඒ බර පැටවීම සම්පූර්ණ වූ පසුය.

පසුගිය අය වැය අවසානයේ මොන කොටස කැපී ගියත්, ඉතිරි වුනත් අතුරු සම්මත පනත් කෙටුම්පත් හරහා මේ මැති ඇමතිලා තමන්ගේ සුඛ විහරණයට මග පාදා ගත් ආකාරය නම් කදිමය. අයවැය ආරම්භයේදී ජනාධිපතිද වහාම සිංහ නාද කරමින් වැඩිවන ගාස්තු කපා දමයි. නමුත් අතර මැද දී සිදුවන දේ ලොක්කන් දෙපලම නොදනිති. නැතහොත් නොදන්නා සේ සිටිති. පසුගිය ජුනි මාසයේ අගමැතිට වාහන 2 ක් ගෙන්වීමට රු. කෝටි 60 ක් ද, ඇමතිවරු කිහිප දෙනෙක් සඳහා තවත් සුඛෝපභෝගී වාහන කිහිපයකට රු. කෝටි 118 ක් ද වැය කලේ ඒ ක්‍රමයටය. මේ පිලිබඳව සාධාරණීකරනය කල රාජිත සේනාරත්න ඇමතිවරයා පවසනුයේ තම අමාත්‍යංශවල භාරදූර වගකීම්වලට අමතරව තමන්ට ඉටුකල යුතු සමාජීය යුතුකම් රාශියක් ඇති බවත්, තම බල ප්‍රදේශවල මාර්ග පද්ධතීන්වල තත්වය ඉතා නරක නිසාත් තමන්ට මෙවන් වාහන අවශ්‍යව ඇති බවත්ය. රටේ මාර්ග පද්ධතීන්වල තත්වය වැඩි දියුණු කරනු වෙනුවට ඒ ඔහු දකින විසඳුමයි. විජිත් විජිතමුනි සොයිසා ඇමතිවරයාට බෙල්ලේ සහ පිටකොන්දේ (එවැන්නක් මොහුට තිබේද යන්න සැක සහිතය) අමාරුවක් ඇති නිසාත්, ඔහුගේ මැතිවරණ බල ප්‍රදේශය ඉතා දුර බැහැර නිසාත් ඔහුට සුඛෝපභෝගී වාහනයක් අවශ්‍යය. වඩාත්ම කණගාටුදයක කරුණ නම් මේ සියලු කතාබහ සිදුවන්නේ නොබෝ දිනකට පෙර ගංවතුර හා නාය යෑම් වලින්ද, කොස්ගම සාලාව අවි ගබඩාව පිපිරීමෙන්ද අවතැන් වූ සිය දහස් ගණන් ජනතාව මහමඟට වැටී සිටියදීය. රු. ලක්ෂ 400 ට අඩු වාහනයක ගමන් කලහොත්, සරත් ෆොන්සේකා ඇමතිවරයාගේ සියුමැලි ඇඟපත තැලී පොඩිවී ඔහුටමහජන සේවය පසෙක තබා නිදාගන්නට සිදුවනු ඇත. මේ තරම් සියුමැලි ඔහු දශක 3 ක යුද්ධයක් කරපින්නාගෙන පැමිනි රටක යුද පෙරමුණේ සටන් කරමින් හමුදාපති පදවිය දක්වා පැමිනි ගමන සැබැවින්ම පුදුම සහගතය. තම වාහන භවිතාව සම්බන්ධව සරත් ෆොන්සේකා ලඟ නම් අපූරු කතා තිබේ. මිලෙන් අඩු වාහනයක ආ ගියහොත් අපේ රටේ ඇමතිවරු හිඟන්නන් යයි වෙනත් රටවල බලවතුන් සිතනු ඇතැයි ඔහු වරක් පැවසීය. ඔහු හමුදාපතිව සිටියදී නිළ රථය ලෙස ඇනවුම් කල සුඛෝපභෝගී බෙන්ස් රිය පිලිබඳව පුවත්පතකින් කල විවේචනයකට මාධ්‍ය ඔස්සේ බැන වැදුනේ ‘ඔය ලියපු එක්කෙනා වගේ මටත් ත්‍රී වීලර්වල යන්න කියනවාදැ’යි අසමිනි. ඒ සාකච්ඡාව තුල තමාට පෙර සිටි හමුදාපති මිලට ගත් අලුත් වාහන ගැන එක තැනක පවසන ඔහු, තවත් තැනක හමුදාපතිට භාවිතය සඳහා තිබුන වාහනය වසර 9 ක් පරණ අබලන් වූ එකක් බවට පාච්චල් කරයි. මේ කතා සම්පූර්ණ පරස්පර බව ඔහුටම නොවැටහේ. එදා ඔහු පහර ගැසුවේ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංගටය. මෙවන් අය වෙතින් අපට අපේක්ෂා කල හැකි මහජන සේවය කුමක්ද?

කුලී පදනම මත වාහන ලබා ගැනීම සඳහා රු. කෝටි 243 ක් අය වැයෙන් වෙන්ව තිබීම ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අය වැය විවාදයේදී ප්‍රශ්න කලේය. ඒ සඳහා පිලිතුරු ලබා දීම කල් තැබිනි. මේ වාහන ලබා දෙන්නේ දිස්ත්‍රික් අධීක්ෂණ මන්ත්‍රීවරුන්ටය. මොවුන් අධීක්ෂණය කරන්නට යන්නේ මොනවාද, ඔය කියන තරම් ලොකු මිල ගණන්වලට වාහන කුලියට ගෙන අධීක්ෂණය කරන්නට තරම් සංවර්ධන ව්‍යාපෘතීන් අප රටේ සිදුවනවාද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ. මේ මැති ඇමතිවරුන්ට මෑතකදී නිකුත්කල තීරුබදු රහිත බලපත්‍ර ඔස්සේ ලබා ගත් වාහනද ඇත. මෙසේ කුලී පදනම මත වාහන ලබාදෙන මැති ඇමතිවරු 58 දෙනෙකුගේ ලැයිස්තුවක් අනුර කුමාර මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය. කල් තබන ලද පිලිතුරේ එයද ඇතුලත් වේදැයි අපි විමසිල්ලෙන් සිටිමු. මේ ලැයිස්තුවට පසුගිය ජුනි මාසයේදී රු. කෝටි 118 ක ට සුඛෝපභෝගී වාහන ලබාගත් ඇමතිවරුද සමහර විට අයත් වනු ඇත.

සමහරවිට මේ වාහන අමාත්‍යංශ සඳහා විය හැකිය. අනුර කුමාර මන්ත්‍රීවරයා පවසන පරිදි මෙසේ කුලී පදනම මත රු. ලක්ෂ 7 බැගින් මාසයකට ගෙවමින් සංවර්ධන කටයුතු අධීක්ෂණය කරන්නට යනු ඇත්තේ අමාත්‍යංශවල ඉහල නිළධාරීන්ය. මතු කලෙක වෙනත් රජයක් බලයට පත් දිනෙක මේ නිළධාරීන්ටද රජයේ වාහන අවභාවිතා කල බව පවසමින් FCID ය වෙත බඩගාන්නට සිදුවනු ඇති අතර මොවුන් මහජනතාවගේ ගර්හාවටද ලක්වනු ඇත. මාසයකට රු. ලක්ෂ 406 ක් (58*7) වැය කරමින් බලන්නට යන සංවර්ධන ව්‍යාපෘතීන්හි වටිනාකම්ද, ඉන් ප්‍රතිලාභ ලබන පුද්ගලයින් සංඛ්‍යාවද, එම ප්‍රතිලාභවල ස්වභාවයද පිලිබඳව විනිවිදභාවයෙන් යුතුව සසඳා බලන සංඛ්‍යා ලේඛණද ජනතාව හමුවට ගෙන එන ලෙසද මේ ඉල්ලීමටම ඇතුලත් වේ නම් මැනවි.

1992 – 1994 අතර කාලයේ මා සේවය කලේ ජනසවිය භාරකාර අරමුදලේය. ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය ගැන පසු විපරමක් කිරීමේදී ජනතාවට ප්‍රතිලාභ ලැබී ඇත්තේ ඉතාම සුලු ප්‍රතිශතයක් බවත්, විශාලතම මුදලක් වැයවී ඇත්තේ පරිපාලන කටයුතුවලට බවත් හෙලිවිය. එකල එහි ඉහල තානාන්තරයක් හෙබවූ තැනැත්තෙකුට පාවිච්චිය සඳහා සපයා තිබූ වාහනයකින් සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස ඔහුගේ සුරතල් බල්ලන් දෙදෙනා මුහුදේ නාවන්නට වැල්ලවත්තට ගෙන යන බව අප කාර්යාල තුල කතා බහට ලක්ව තිබිනි. අදාල රියැදුරාට ඒ සඳහා අතිකාල දීමනා ගෙවනු ලැබිනි. ජනසවියෙන් ඉවත්ව මා නිවාස අමාත්‍යංශයේ සේවයට ගිය විට උපදේශකවරියක් ලෙස අප හා සේවය කල තැනැත්තියක් සිටින තැන මේ කතාව ඇදුන විට ඈ පැවසුවේ ‘ආ! ඒක එයාට ලැබුන වාහනේනෙ. එයාට ඕන දෙයක් කරතහැකි. එයා ඒකට Entitle ‘ කියායි. ඉහල පෙලැන්තිය නියෝජනය කරන අයෙකු වූ ඇයට තමා දැන් සේවය කරන ව්‍යාපෘතියද ‘අඩු පහසුකම් සහිත ජනාවාස වල වෙසෙන අඩු ආදායම්ලාභී ජනතාව’ වෙනුවෙන් ක්‍රියාත්මක වන්නක් බවට හැඟීමක්වත් නොවීය. ඉතින් මේ මෙවන් සංවර්ධන ව්‍යපෘතීන්වල සේවය කරන බහුතරයකගේ මානසිකත්වයයි. ඒ අනුව අද මේ අමාත්‍යංශ සතු වාහන ඕනෑ තරම් තිබියදී, මසකට රු. ලක්ෂ 7 බැගින් ගෙවමින් තවත් ලබා ගන්නට යන යන වාහන ඔස්සේද ජනතාවට අපේක්ෂා කරන සේවය ඉටු වේදැයි සිතීම පවා නිෂ්ඵලය. මේ අමාත්‍යාංශ වාහන වලට රියැදුරු සංචිතයක් සිටිති. කුලී පදනම මත වාහන ලබා ගැන්මේදී ඔවුන්ගේ කාලය අපතේ යයි.රජයේ රියැදුරෙකුට ලැබෙන වැටුපේ දිග පලල අනුව ඔවුන්ට තම ක්ෂේත්‍ර දීමනා මගින් අමතර මුදලක් උපයා ගැන්මේ අවස්ථාවද මෙහිදී අහිමි වේ. මේ ගණුදෙනු තුල වාසි ලබන තවත් කොටස් වෙති. මේවා රහස් නොවේ.

 

1993 වසරේ දිනෙක ව්‍යාපෘති අධීක්ෂණ කටයුත්තක් සඳහා මාතර ගිය ජනසවිය නිළධාරී කණ්ඩායමකට මා ද අයිති විය. එතැන කාන්තාවකට සිටියේ මා පමනකි. වායු සමීකරණය කල සුඛෝපභෝගී වාහනයකින් ගොස් (එයද කුලී පදනම මත ලබාගත්තකි) පැය 1 1/2 ක ට පමන පසු අපේ රාජකාරිය අවසන් විය. ඉන්පසු කොළඹින් පැමිනි නිළධාරී පිරිසට මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයාගේ නිවසේ භෝජන සංග්‍රහයකි. එතැන මත්පැන් ද නොඅඩුව තිබිනි. රියැදුරා සහ මා හැර සියල්ලෝම පදමට සප්පායම් වූ නිසා, නැවත පැමිනෙත්දී රිය තුල සිනා කතාවල අඩුවක් නොවීය. ඒ අතර කියැවුන එක කතාවක් මගේ මනසේ අදටද තැම්පත්ව ඇත්තේ දැඩි කලකිරීමක්ද සමගය. ” මචං! දුප්පත්කම නැති කරල බෑ! එහෙම වුනොත් අපට ජීවත් වෙන්න ක්‍රමයක් කෝ?” ඒ ජනසවියයි. මොන මොන නමින් මොන මොන කාලයක ආවත් සිදුවන්නේ එකම ක්‍රියාවලියයි.

චන්ද්‍රිකා රජය බලයට පැමිනි පසු ජනසවිය භාරකාර අරමුදලේ සිදුවූ අක්‍රමිකතා පිලිබඳ සෙවීමට කොමිසමක් පත් කරන ලදී. ඒ කොමිසමේ වාර්තාව තුල ව්‍යාපෘතියේ වැයවූ මුදල් ප්‍රතිලාභීන් හා නිළධාරීන් සඳහා වැයවූ ආකාරය හෙලි වුවත් එතැනින් එහාට සිදු වූ දෙයක් නොමැතිව, ඔවුන් හෑරූ මිනී වලවල් සමගම යලිත් වැලලී ගියේය. නමුත් වෙනත් නමකින් ඊලඟට සිදු වන්නේද එම ක්‍රියාවලියමය. අද රජය දිවි නැගුම ගැන පමනක් කතා කරන්නේ එකල හඟුරන්කෙත ඉදි වූ සමෘද්ධි මාලිගාවන් අමතක කරමිනි. මෙවන් සංවර්ධන ව්‍යාපෘතීන්වල ඉහලම නිළධාරියාගේ සිට සියලුම ස්ථරවල අක්‍රමිකතා සිදුවන අතර ප්‍රශ්නය නම් මේ නිළධාරීන්ගෙන් වැඩි දෙනෙකු ඒවා තම වරප්‍රසාද ලෙසින් දන්නවා  මිස අක්‍රමිකතාද කියාවත් නොදැන සිටීමයි. මේ ක්‍රියාවලියෙන් පිට පනින කෙනෙකු සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ‘ජාන විකෘතියක්’ ඇති අයෙකු ලෙසය.

අය වැය විවාදයේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මතු කල මේ වැදගත් කරුණ  යටපත් වන සේ රඟ දැක්වුන අනෙක් නාඩගම නම් අධ්‍යාපන ඇමති අකිල විරාජ් සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර සිදුවූ වචන හුවමාරුවයි. මේ වාහන ප්‍රශ්නය වැදගත් වනුයේ ඇයි? ජනතාව මත වැට් බද්ද පැනවීමෙන් රජය උපයා ගැන්මට අපේක්ෂිත ආදායම රු. කෝටි 180 කි. නමුත් මේ නාස්තිකාර වාහන ගණුදෙනුව සඳහා රජය රු. කෝටි 243 ක් වැය කරන්නට නියමිතය. මෙම කරුණේ සාධාරණ අසාධාරණ බව ඉතා පැහැදිලිය. අය වැය විවාදයේදී මන්ත්‍රීවරයෙකුට හෝ ඇමතිවරයෙකුට ලැබෙන සීමිත කාලයේදී ඔහු අධ්‍යාපන ඇමති ලෙස අධ්‍යාපනය සම්බන්ධව වැදගැම්මකට ඇති යමක් කතා කලේ නැත. කතාව ඇරඹුවේම ඉතා ලාභ හා සුලභ අයුරින් ඒකාබද්ධ විපක්ෂයට පහර ගසමිනි. මහින්දානන්ද මීට මැදිහත් වූ විට එය පුද්ගලික මඩ ගැසීමක් බවට පත්විය. තම ප්‍රදේශයේ වෙළඳසල් වෙත අලෙවි නියෝජිතයෙකු ලෙස මෝටර් බයිසිකලයකින් පැමිනි මහින්දානන්ද කෝටිපතියෙකු වූයේ කෙසේදැ’යි ඔහු විමසීය. ඔහුට අනුව තමා නම් ආවේ ගියේ තම පවුලේ මෝටර් රියෙනි. මෙතැනට නොගැලපුනත් එයද ඇසිය යුතු ප්‍රශ්නයක් බව සැබෑය. නමුත් මේ ප්‍රශ්නය අදාල වන කොපමන දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිත්ද? සිටියාද? ඒ පැනයට අවංක පිලිතුරක් අවශ්‍ය නම් තම පවුලට තිබූ එක මෝටර් රථය, රථ ගාලක් දක්වා වර්ධනය වූ අයුරුද අකිල විරාජ් හෙලිකල යුතුය.

 

1977 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු අගමැතිවරයා ලෙස පත්වූ ආර්. ප්‍රේමදාස ගැන එදා පලවූ පුවත්පත් ශීර්ෂපාඨයන් මට අදත් මතකය. ‘දුගී පැලෙන් අගමැති මැදුරට’ . එසේ නම් එවැනි පුද්ගලයෙකු වැඩිකල් නොගොස් යාපහුවේ අක්කර 50 වතු යායවල් මිලට ගත්තේ කෙසේද? කොළඹ 7 විජේරාමයෙන් මිලියන ගණන් වටිනා ගෙයක් ලැබුනේ කෙසේද? එකල  සෑම ඉරිදාවකම උදෑසන 7.30 ට ගුවන්විදුලියේ ඔහුගේ කතාවක් ප්‍රචාරය විය. ඒ කතා තුල ඔහු තම ජීවිතය පිලිබඳ ගොඩනගන්නට තැත්කල ව්‍යාජ ඉතිහාසය, මේ ඉපයීම් සාධාරණීකරය කිරීමේ තැතක් බව අද බලන විට පැහැදිලිය. මේ ආකාරයට එකිනෙකා ගැන බලන්නට ගියහොත් අත හැරෙන කෙනෙකු සෙවීම කලුනික සෙවීමක් බඳු වනු ඇත. මේ දූෂිත දේශපාලන ක්‍රමය ඔස්සේ රටේ නිර්මාණය වන අති විශාල ඇති නැති පරතරය තුල ජනතාවට සිදුව ඇත්තේ මොවුන් නඩත්තු කිරීමේ බර කර තබාගෙන යාම පමනය.

ඒ අතර රාවය පුවත්පතට වසර 30 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති උත්සවයකදී එහි ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් කල කතාව නිර්භය එකක් ලෙස පිටතට පෙනුනත් මා නම් දකින්නේ එය නිකම්ම දියාරු කතාවක් ලෙස පමනි. එතැනදී කතා කල ජනාධිපතිවරයා තමා සතු නිර්ලජ්ජිත පිලිවෙත මුලුමනින්ම පාහේ හෙලි කලේය. ඒ ගමන්ම තමා සතුව ඇත්තේද රාවයේ ප්‍රතිපත්ති බවම පැවසුවේ කිසිදු හිරිකිතයකින් තොරවය. ඔහු සාධාරණීකරනය කරන්නට තැත්කලේ තමා විසින් පරාජිත දේශපාලකයන් යලි පාර්ලිමේන්තුවට කැඳවාගත් අයුරුය. මේ කතාව තුල ඔහු ජනතාවට කියා පෑ කරුණු කිහිපයකි. එක, රටේ ජනාධිපතිවරයා ලෙස තම බලය තහවුරු කරගනු වස් මහජන මතය දෙවන තැනට ඇද දමන බවය. දෙක, මේ දේශපාලකයන් පරාජය කරන්නට හේතු වූයේ මහින්ද රාජපක්ෂ ගෙනගිය ප්‍රචාරක ව්‍යාපාරය නම්, මෙතැනදී මහින්ද රාජපක්ෂ යනු ජනාධිපතිවරයාගේ අභිමතය පරාජය කිරීමට තරම් බලවත් අයෙකි ය යන්න තමා පිලිගන්නා බවය. තුන, ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසා කටයුතු කල බවද, එනම් තමා සතුව තිබූ එකම අරමුණ වන මහින්ද රාජපක්ෂ චරිතය යටපත් කර දැමීම උදෙසා ඔහු ශ්‍රීලනිපය හා මහජන මතය එජාපයට පාවා දුන් බවද යන කරුණුය.

රාවය පුවත්පත තුලින් පිලුනු වූ  ශ්‍රී ලාංකික දේශපාලනය තුල සිදුවන අක්‍රමිකතා හෙලි කලේ අද ඊයේ සිට නොවේ. 1994 දී චන්ද්‍රිකා දිනවන්නට අති මහත් කාර්යභාරයක් රාවය කතෘ ඈ ජයග්‍රහණය කල අවස්ථාවේ විශාලම මල් කලඹක් යවන්නට තරම් සතුටු විය. නමුත් තව වසර කිහිපයක් ඇතුලත ඒ තැනැත්තියම අරභයා ‘චෞර රැජිණ’ යන පොත ලියා පල කලේය. එදා ඔහු චන්ද්‍රිකාට ජය පතන විට පරාජය කරනු සඳහා ඉලක්ක වූයේ රනිල් ප්‍රමුඛ එජාපයයි. ඊට සාධාරණ හේතු එකල රාවය පුවත්පත් යලි පෙරලා බැලුවහොත් ඕනෑ තරම් තිබිනි. 2015 දී යහපාලන රජය බලයට ගෙන ඒමට ක්‍රියා කිරීමේදී රනිල් යනු පරණ රනිල්ම නොවේ යයි කියන්නට ඔහු වෙත වූ චරිත සහතිකය කුමක්ද?  තම තමන්ට විශේෂ වූ අරමුණු රහසිගතව සිතේ තබාගෙන යහපාලන රජය බලයට ගෙන ඒමට පෙල ගැසුන පිරිස අතර මේ චෞර රැජිනද වූවාය. රාවය කතෘ මේ පිරිසගේ තුන් කල ගැන නොදන්නවා නොවේ.

ඉතින් මෙවන් පිරිසකට උත්සවවලට ආරාධනා කර ඔවුන් ඉදිරිපිට පවසන මේ නිශ්ඵල කතා නිකම්ම සන්දර්ශන පමනි. අබ වපුරා කුරහන් ලබාගත නොහැකි බව නොදත් අයෙක් වේද? යහපාලන රජය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී බවටත්, ඔවුන්ව තම මුහුණ ඉදිරියේ විවේචනය කරන්නට ඕනෑම මාධ්‍යයකට නිදහස ඇති බවටත් වන ව්‍යාජ චිත්‍රයක් බාහිර ලෝකයාට ලබා දීමට ඉඩකඩ සලසනු විනා මෙවන් ක්‍රියාකාර කමකින් වෙනත් ප්‍රයෝජනයක් අත් වේ යයි සිතිය නොහැකිය.

මේ සියලු දේ තුලම අපට සිතිය හැකි දේ අපමනය. එබැවින් අහක යන සරුංගල් දෙස බලාගෙන පමනක් සිටින්නේ නැතිව අපේම ඔලුවට පාත්වන හෙණ ගෙඩිවලින් බේරෙන මගක් සිතන්නට සුදුසු කල මෙයයි.

One Response to “අය වැය තුල අසාධ්‍ය වූ රථගාය සහ දේශපාලන සන්දර්ශන”

  1. Christie Says:

    It is the Indian colonial parasites who benefits the most from the budgets of the Indian colony like cheap Dhose and Tumeric.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress