වරාය පෙන්වා හම්බන්තොට හුරාගෙන කන්න හදන යහපාලකයන්ට මහින්දගෙන් ප්‍රශ්ණ වැලක්…
Posted on January 10th, 2017

මාධ්‍ය නිවේදනය 2017 ජනවාරි 10

හම්බන්තොට වරාය ගණුදෙනුව

හම්බන්තොට වරායේ අනාගතය මේ අවස්ථාවේදී සාකච්ඡා වෙමින් පවතින නිසා, ඒ සම්බන්ධයෙන් මගේ අදහස් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මේ වරාය ඉදිකිරීමට පළමු අදියර සඳහා ඩොලර් මිලියන 450 ක් ද, තෙල් ටැංකි සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 70ක් ද, දෙවන අදියර සඳහා ඩොලර් මිලියන 802 ක් ද වශයෙන් ඩොලර් මිලියන 1,322 ක සමස්ථ ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇත. සම්පූර්ණ වරායේ පර්යන්ත හතරකුත්, ජැටි 12කුත් වේ.  වරාය පරිශ්‍රයට හෙක්ටයාර 2,000ක් පුරා විහිදුනු නිදහස් වෙළඳ කලාපයක්ද ඇතුලත්ය. මේ භූමිය තුළ ආයෝජකයන්ට භාණ්ඩ නිපදවා කිසිදු බදු ගෙවීමකින් තොරව අපනයනය කල හැකිය. මෙය ඉදිකිරීමට ණය ගැනීමට පෙර අවශ්‍ය සියළු ශක්‍යථා අධ්‍යන කරනු ලැබූ අතර, පොළියද සහිතව ඒ සඳහා වසරකට ණය වාරිකය ඩොලර් මිලියන 111 පමණ වේ. එම මුදල වරාය අධිකාරියේ ක්‍රියාකාරකම් තුළින්ම උපයා ගැනීමට මගේ ආණ්ඩුව සැලසුම් යොදා තිබුණි.

අළුත් වරායේ මෙහෙයුම් අර්ධ වශයෙන් ආරම්භ වූයේ 2011 දීය. රථ වාහන ගෙන්වීම 2012 දී ආරම්භ වූ අතර හම්බන්තොටට එන වාහන වලින් 70%ක් වෙනත් රට වලට ප්‍රතිඅපනයනය කරනු ලැබේ. 2014 දී හම්බන්තොට වරායට නැව් 335ක් පැමිණි අතර 2015 දී එම ගණන 295ක් විය. මෙම වරායේ මෙහෙයුම් ලාභය 2014 දී රුපියල් මිලියන 900ක් වුණු අතර 2015 දී රුපියල් මිලියන 1,200 ක් විය. වරායක් යනු ශත වර්ෂ ගණනාවක් පවතින දේපොලකි. පලමු වසර කීපය ඇතුලත මොනම වරායකින්වත් විශාල ලාභ ඉපයිය නොහැක. අපේ සැලසුම වූයේ වසර 10ක් ඇතුළත ණය වාරිකත් ගෙවන අතර හම්බන්තොට වරාය ලාභ ලබන තත්වයකට ගෙන ඒමයි.

මගේ ආණ්ඩුව චයිනා හාබර් හා චයිනා මර්චන්ට් සමාගම් දෙක සමඟ හම්බන්තොට වරායේ කන්ටේනර් පර්යන්තය පමණක් එයට අවශ්‍ය දොඹකර ඇතුළු උපකරණද සපයා අවුරුදු 40 කට කළමණාකරනය කිරීමට ගිවිසුමක් අත්සන් කලේය.  මේ යටතේ කන්ටේනර් පර්යන්තයේ හෙක්ටයාර 56 ක භූමිය සඳහා වසරකට එක හෙක්ටයාරයක් සඳහා ඩොලර් 35,000 ක බද්දක් (එනම් වසරකට ඩොලර් මිලියන 1.96 ක්) ගෙවීමට ද, ඒ පර්යන්තය හරහා යන එන සෑම කන්ටේනරයකටම ඩොලර් 2.5 ක ගාස්තුවක් ගෙවිමටද ලංකාව තුළට එන සෑම කන්ටේනරයකටම ඩොලර් 30ක ගාස්තුවක් ගෙවීමටද, නැවිගේශන්, පයිලටින් හා ටොන් ප්‍රමාණය අනුව ගෙවන සාමාන්‍ය වරාය ගාස්තු සියල්ලම ගෙවීමටද චීන සමාගම් එකඟ විය. එම ගිවිසුම ප්‍රකාරව චීන සමාගම් කන්ටේනර් පර්යන්තය පමණක් කළමණාකරනය කරනු ලබන අතර හම්බන්තොට වරායේ අනෙක් සියළුම පර්යන්ත හා හෙක්ටයාර 2,000 ක කර්මාන්ත කලපායද දිගටම වරාය අධිකාරියේ පාලනය යටතේ පවතිනු ඇත. ඒ අනුව කර්මාන්ත කලාපයේ  නැව් බඩු  වරාය අධිකාරිය යටතේ පාලනය වෙන පර්යන්ත හරහා යන එන විට ඒ සියළු ආදායම් ලැබෙන්නේ වරාය අධිකාරියටය.

අලුත් ආණ්ඩුවෙන් අමනෝඥ තීන්දු ගණනාවක් ගනු ලැබිණි. ඉන් පළමුවැන්න වූයේ මගේ ආණ්ඩුව හම්බන්තොට කන්ටේනර් පර්යන්තය පමණක් කළමණාකරනය කිරීමට චයිනා හාබර් සහ චයිනා මර්චන්ට් සමාගම් දෙක සමඟ අත්සන් කල ගිවිසුම නොසලකා හැරීමයි. දෙවැන්න වූයේ කොලඹ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘතිය නවතා දැමීමයි. කොළඹ නැගෙනහිර පර්යන්තයේ දොඹකර යනාදිය ගෙන්වා, 2016 සිට එහි මෙහෙයුම් තුළින් වසරකට ඩොලර් මිලියන 100 ක් උපයා එම මුදලින් හම්බන්තොට වරාය දියුණු වන තුරු එම වරාය ගොඩනැගීමට ගත් ණයවල වාරික ගෙවීමට වරාය අධිකාරිය කටයුතු යොදා තිබුණි. යහපාලන ආණ්ඩුවෙන් කොළඹ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය නවතා දැමු නිසා ඒ සැලසුම ක්‍රියාත්මක වූයේ නැත. මේ ආණ්ඩුව ගත් තුන්වෙනි අමනෝඥ තීන්දුව වූයේ 2014 වන විට හම්බන්තොට වරාය අශ්‍රිත නිදහස් වෙළඳ කලාපයෙන් හෙක්ටයාර 80ක් පමණ වසරකට හෙක්ටයාරයක් සඳහා ඩොලර් 50,000 කට බදු දීමට සමාගම් කිහිපයක් සමඟ අත්සන් කොට තිබූ ගිවිසුම් සියල්ල නොසලකා හැරීමයි. මේ ගිවිසුම් අනුව එම කර්මාන්තවලින් හම්බන්තොට වරායට සහතික කරනලද අවම නැව් බඩු ප්‍රමාණයකුත්, ඒ සඳහා සහතික කරන ලද අවම ගෙවීමකුත් නියම වී තිබුණි.

ඊට පසුව ආණ්ඩුව කලේ හම්බන්තොට වරාය සුදු අලියෙක් බවත්, එය ඉදිකිරීමට ගත් ණය ගෙවීමට මුළු වරායම පුද්ගලීකරණය කල යුතු බවට මතයක් ඉදිරිපත් කිරීමයි. ඔවුන් මේ සදහා ලංසු කැඳවූයේ වරායේ මෙහෙයුම් පමණක් නොව හෙක්ටයාර 2,000 කින් යුතු කර්මාන්ත කලාපයේ ඉඩම් හිමිගේ අයිතියත් ඇතුළුව සමස්ථ ව්‍යාපෘතිය සඳහාය. ඒ අනුව වරාය බද්දට ගන්න අයට වරායේ සියළුම මෙහෙයුම් පමණක් නොව හෙක්ටයාර 2,000 ක ආයෝජන කලාපයේ සම්පූර්ණ පාලනයත් ලැබේ. වත්මන් ආණ්ඩුව යටතේ වරායත් ඒ ආශ්‍රිත හෙක්ටයාර 2,000ක නිදහස් වෙළඳ කලාපයත් බදු ගැනිමට වෙන වෙනම ලංසු ඉදිරිපත් කොට තිබෙන්නේ මගේ ආණුඩුව කාලයේ කන්ටේනර් පර්යන්තය පමණක් ඒකාබද්ධ ව්‍යාපෘතියක් හැටියට අවුරුදු 40ක කළමණාකරන ගිවිසුමක් යටතේ ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කල චයිනා හාබර් හා චයිනා මර්චන්ට් යන සමාගම් දෙකමය.

ආණ්ඩුව මේ අනුව මුලු හම්බන්තොට ව්‍යාපෘතියම චයිනා මර්චන්ට් සමාගමට ඩොලර් මිලියන 1,080කට 99 අවුරුදු බද්දකට දීමට රාමුගත ගිවිසුමකට අත්සන් කොට ඇත. ඒ ව්‍යාපෘතියේ අයිතිය එම සමාගමත් ලංකාවේ ආණ්ඩුවත් අතර 80% – 20% වශයෙන් බෙදනු ඇත. මුල් අවුරුදු 15දී මුලික ගෙවීම හැරුණු විට කිසිම ආදායමක් ලංකාවට නොලැබෙන අතර ඉන් පසුව ආණ්ඩුවට අයත් 20% සඳහා ලාභාංශ ප්‍රකාශ කලහොත් පමනක් ආදායමක් ලැබෙනු ඇත. මේ බද්ද පළමු අවුරුදු 99න් පසු තවත් අවුරුදු 99කට දිගු කිරීමටත්, වරායෙන් පිට පිහිටි හෙක්ටයාර 44 ක කෘතීම දූපත නොමිලේම මෙම ගනුදෙනුවට ඇතුල් කිරීමටත් ආණ්ඩුව එකඟ වී ඇත. මේ වරාය තුළ තවත් ජැටි 20ක් ඉදි කිරීමට හැකි අතර ඒවා පිළිබඳ අයිතියත් චයිනා මර්චන්ට් සමාගමට ලබා දී තිබේ. මේ 99 අවුරුදු බද්ද සදහා මුදල තීරණය කර තිබෙන්නේ වරාය ඉදිකිරීමට ගිය වියදම මත මිස පිළිගත් ජාත්‍යන්තර තක්සේරුවකට අනුව හෙක්ටයාර 2,000 හේ භූමිය, වරායේ උපායමාර්ගික වටිනාකම, තෙල් ටැංකි සංකීර්ණයේ වටිනාකම, හා වරායේ වත්මන් වානිජ්‍ය කටයුතුවල වටිනාකම වැනි කාරණා සැලකිල්ලට නොගෙනය. ආණ්ඩුව මෙවැනි ගිවිසුමකට එළඹී ඇත්තේ (අපට දැනගැනීමට ලැබී තිබෙන ආකාරයට) අනෙක් පාර්ශවය වූ චයිනා හාබර් සමාගම මීට වඩා බෙහෙවින්ම වාසිදායක ලංසුවක් ඉදිරිපත් කර තිබියදීය. චයිනා හාබර් සමාගමේ ලංසුවට අනුව බදු කාලය අවුරුදු 50 දක්වා කෙටි වන අතර ලංභාංශ 65% – 35% වශයෙන් බෙදී යයි. ඔවුන් මේ සඳහා ගෙවන මූලික මුදලද ඩොලර් මිලියන 750 ක් වේ. ඒවාට අමතරව මගේ ආණ්ඩුව කාලයේ මේ සමාගම් දෙකම හම්බන්තොට කන්ටේනර් පර්යන්තය සම්බන්ධයෙන් ගෙවීමට එකඟ වූ සියලුම සාමාන්‍ය වරාය ගාස්තු ගෙවීමටත් එකඟ වී ඇත. අපට දැනගැනීමට ලැබී තිබෙන ආකාරයට, වරාය අධිකාරියටත් චයිනා හාබර් සමාගමේ ලංසුව නිර්දේශ කර තිබියදී ආණ්ඩුව මේ අවස්ථාවේදී පිළිගෙන තිබෙන්නේ වඩාත්ම අවාසිදායක ලංසුවයි. මේ ලංසු දෙක අතර තේරීම කලේ මොන පදනමක් මත දැයි ආණ්ඩුව පැහැදිලි කිරීමක් කර නැත.

මේ වරාය අවුරුදු 99ක් වැනි දිගු කාලයකට බදු දීමේදී වරායේ සියලුම මෙහෙයුම් පමණක් නොව හෙක්ටයාර 2,000ක් පුරා විහිදී ඇති කර්මාන්ත කලාපය සම්බන්ධයෙන්ද ඉඩම් හිමිගේ බලතලත් විදේශීය සමාගමකට ලැබෙන නිසා මේ ගණුදෙනුවෙන් ලංකාවේ ස්වාධිපතයටද ලබපෑම් ඇති වේ. මෙය චීනය සමඟ හෝ විදේශීය අයෝජකයන් සමඟ ඇති ප්‍රශ්නයක් නොවේ. මෙය ලංකාවට වඩාත්ම හිතකර හා වාසිදායක ගිවිසුමට එළඹෙන්නේ කේසේද යන කාරණය ගැන ප්‍රශ්නයකි. මගේ ආණ්ඩුව චයිනා හාබර් සහ චයිනා මර්චන්ට් යන මේ ලංසු කරුවන් දෙදෙනාම සමඟ කන්ටේනර් පර්යන්තය පමණක් අවුරුදු 40කට කලමණාකරන ගිවිසුමක් යටතේ ලබා දී වරායේ අනෙක් කටයුතු මෙන්ම ඒ ආශ්‍රිත කර්මාන්ත කලාපයද වරාය අධිකාරියේ පාලනය යටතේ තබාගැනීමට  ඇතිකරගත් එකඟතාවය අපේ රටට වඩාත්ම වාසිදායක ගිවිසුම වේ. එසේම වරාය 99 අවුරුදු බද්දට ගැනීමට චයිනා මර්චන්ට් සමාගම ඉදිරිපත් කල ලංසුවට වඩා චයිනා හාබර් සමාගම අවුරුදු 50ක බද්ද සඳහා ඉදිරිපත් කල ලංසුව වඩාත් වාසිදායක බව පෙනේ. මුළු වරායම හෝ ඉන් කොටසක් අවුරුදු 99ක් වැනි දීර්ඝ කාලයක් සඳහා බදු දීමට මම ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධය. එසේම, වරායේ සියලුම මෙහෙයුම් මෙන්ම හෙක්ටයාර 2,000 ක කර්මාන්ත කලාපයේ ඉඩම් හිමිගේ අයිතීන්ද විදේශීය සමාගමකට බදු දීමට මම විරුද්ධය.

වරායේ ඇතැම් මෙහෙයුම් කළමණාකරනය කිරීමට පුද්ගලික අංශයට දීම ගැටළුවක් නොවුනත්, වරායත්, ඒ ආශ්‍රිතව ඇති කර්මාන්ත කලාපයේ පාලනයත් වරාය අධිකාරිය සතු විය යුතුය. උදාහරණයක් වශයෙන්, කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය මෙන්ම පුද්ගලික සමාගම් දෙකක් විසින්ද සිදුකරනු ලබයි. නමුත් වරාය අධිකාරිය යටතේ මුළු වරායේම පාලනය පවතින අතර, පර්යන්ත දෙකක මෙහෙයුම් කටයුතු කරන පුද්ගලික සමාගම්වල කොටස් ප්‍රමාණයක් වරාය අධිකාරියටද අයත් වේ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන්ද  ක්‍රියාත්මක විය යුත්තේ එවැනි ක්‍රමයකි.

හම්බන්තොට වරාය පරිශ්‍රය පමණක් නොව ඉන් පිටත තවත් අක්කර 15,000 ක් ද විදේශීය සමාගමකට 99 අවුරුදු බද්දක් යටතේ ලබාදීමට ආණ්ඩුව එකඟ වී ඇත. හම්බන්තොට වරාය පරිශ්‍රයේ තිබෙන හෙක්ටයාර 2,000 වත් තවම හරිහැටි ප්‍රයෝජනයට ගෙන නැති අවස්ථාවක තවත් අක්කර 15,000 ක් විදෙස් සමාගමකට ලබාදීම සාධාරණීකරණය කල හැක්කේ කෙසේද? දැනට ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයෝජන කලාප සියල්ලම එකට දැමුවත්, සමස්ථය හෙක්ටයාර දෙදහසක් වත් නැත. අක්කර 15,000 ක ආයෝජන කලාපයක් අපේ ආර්ථිකයේ පරිමාවට ගැලපෙන්නේ නැත. තවද, මේ සදහා අක්කර 15,000 ක් පවරා ගැනීමට ආණ්ඩුව උත්සාහ දැරුවොත් ප්‍රදේශවාසී ජනතාවට එය මහත් පීඩනයක් වෙනු ඇත.

අලුතෙන් ආයෝජන කලාප ඇතිකිරීමට පෙර හම්බන්තොට වරායේ ඇති ආයෝජන කලාපය පුරවා ඉවර කල යුතුය. එමෙන්ම, මේ කලාප තුළ ආරම්භ කරන කර්මාන්ත මොනවාද, ඒ සඳහා භාවිතා වෙන බලශක්ති ප්‍රවාහය කුමක්ද, එම කර්මාන්තයෙන් නිපදවෙන අපද්‍රව්‍ය මොනවාද යන්න ගැන ආණ්ඩුවට පාලනයක් තිබිය යුතුය. මගේ ආන්ඩුව කාලයේ ඇතැම් සමාගම් වලට ගල් අඟුරු භාවිතා කිරීමට අවශ්‍ය වුවද, අපි අනුමැතිය දුන්නේ LNG ගෑස් භාවිතා කිරීමට කැමති කර්මාන්තකරුවන්ට පමණි.

මෙය ප්‍රදේශවාසී උද්ඝෝශනකරුවන්ට බැටන් පොලු ප්‍රහාර දී කඳුලු ගැස් ගසා, මැරයන් ලවාත් පහර දී හිර කූඩුවට දමා විසදිය හැකි ප්‍රශ්නයක් නොවේ. මේ ගණුදෙනුවෙන් ලංකාවට සිදුවෙන ආර්ථික වාසිය හෝ අවාසිය ගැනත්, වරාය පරිශ්‍රෙයේ පාලනයත්, රටේ ස්වාධිපත්‍යත්, පරිසරයට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙනුත් සැලකිල්ලට ගත යුතු ගැටළු ඇත.

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

 

3 Responses to “වරාය පෙන්වා හම්බන්තොට හුරාගෙන කන්න හදන යහපාලකයන්ට මහින්දගෙන් ප්‍රශ්ණ වැලක්…”

  1. Hiranthe Says:

    What a bunch of fools they are!!

    They are equally fools similar to the fools who voted them into power.

    Strange thing is, those Yamapalana supporters are still supporting them and hates MR

  2. Christie Says:

    Indian Empire and its suckers do not know what they are doing. The JVP is coming up instead of the Joint Opposition. JVP must be getting funds from India and Indian Empire.

  3. S.Gonsal Says:

    S.Gonsal Says: Your comment is awaiting moderation.
    January 12th, 2017 at 3:38 pm

    Wimal doen’t like China now. India good ?

    චීනයේ පරිසරය දූෂණය උග්‍ර වේ.. ජනතාවට පාරේ යන්න මුහුණ ආවරණ.. ඩොලර් බිලියන 14ක පරිසර දූෂණ කර්මාන්ත රටින් පිටමං කරන්න යයි..

    January 12, 2017 at 11:29 pm | lanka C news | ලංකා සී නිවුස්
    චීනයේ පරිසරය දූෂණය උග්‍ර වේ.. ජනතාවට පාරේ යන්න මුහුණ ආවරණ.. ඩොලර් බිලියන 14ක පරිසර දූෂණ කර්මාන්ත රටින් පිටමං කරන්න යයි..

    ලෝකයේ පරිසර දූෂණය අතින් විශාලතම රට මෙන්ම ලෝකයේ සෑම අතින්ම පරිසරය දූෂණය කරන ප්‍රධානතම රටවල් 3 න් එකක් වන චීනය මේ වනවිට උග්‍ර පරිසර දූෂණය නිසා ප්‍රධාන නගරවල වැසියන් මහත් දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටි.

    පසුගිය පිහිටුවීමට සුදානම් වූ ඇ. ඩොලර් බිලියන 14 ක් වටින විශාල කර්මාන්තශාලා පරිසර දූෂණය නිසා තහනම් කරන ලදි. එමෙන්ම මහජනතාවගෙන් ලැබුණු ඔත්තු අනුව සමාගම් 470 කට විරුද්ධව ඇ.ඩොලර් මිලියන 63. 7 ( රුපියල් බීලියන 10 ක් පමන ) දඩ ගැසු බවද එම පුවත සඳහන් කරයි. එමෙන්ම චීනයේ මධ්‍යම ආණ්ඩුව පරිසර දූෂණය මත 2016 වසර තුල 33000 කට නඩු දමා ඇත.

    චීන ඉතිහාසයේ පලමු වරට ප්‍රධාන නගර 31 කක ජනතාවට පරිසර දූෂණය උග්‍ර වී ඇති බවට අනතුර ඇඟවීම් කල අතර බීජිං නගරයේ පාසල් මෙන්ම කර්මාන්තශාලා අඩකටත් වඩා වසා දමන ලදි.

    2013 වසරේ පමණක් උග්‍ර පරිසර දූෂණය හේතුකොට ගෙන නොමේරු ලදරුවන් තුන්ලක්ෂය හැට හයදාහක් මිය ගිය අතර පසුගිය වසර තුනේම පරිසර හානිය එන්න එන්නම උග්‍ර වූ බව පවසයි.

    චීනයේ විශාල ආර්ථික දියුණුව ලගා කර ගැනිම සඳහා මහා පරිමාණයේ කර්මාන්තශාලා බිහිකිරීමට ආණ්ඩුව උනන්දු වූ අතර අද මෙතරම් පරිසර දූෂණයකට හේතු වී ඇත්තේ එම සංවර්ධනය බව එම පුවත සඳහන් කරයි.

    මේ වනවිට බීජිං නගරයේ වැසියන් විසින් මුහුණ ආවරණය පැලද තම ගමන් බිමන් යෑමට මේ නිසා සිදු වී ඇත.

    සම්පූර්ණ පුවත මෙතනින්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress