යුද හමුදාවට දඬුවම් කිරීමේ සංහිඳියා බළකායේ භයානක නිර්දේශ
Posted on January 14th, 2017

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

ජිනීවා මානව හිමිකම් සමුළුවේ 34 වැනි සැසිවාරය මේ වසරේ මාර්තු මස ආරම්භ වේ. මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහිව 2015 ඔක්‌තෝබර් 1 දා සම්මත වූ ජිනීවා යෝජනාව පිළිබඳ ව රජය කටයුතු කර තිබේද යන්න ගැන විමර්ශනය කෙරෙනු ඇත. ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට මාස 2 ක්‌ තිබියදී රජයේ සංහිඳියා කාර්ය සාධක බළකාය සිය නිර්දේශ ප්‍රකාශයට පත් කරනු ලැබීය. එම නිර්දේශ රජයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයක්‌ විය. මේ නිර්දේශවලින් ප්‍රධානතම නිර්දේශය වූයේ යුද අපරාධ ගැන සෙවීමට ජාත්‍යන්තර විනිසුරුවෙක්‌ සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බවයි. එසේම ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය සමග එක්‌වී කාර්ය බළකායේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවද නිර්දේශ කර ඇත.

සංහිඳියා යාන්ත්‍රණය සඳහා පිහිට වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය හෙවත් සංහිඳියා බළකාය සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට පෙර ආරක්‍ෂක අංශ බලධාරීන්ගෙන් අදහස්‌ විමසා ඇත. එහිදී ආරක්‍ෂක අංශ සියලුම නිලධාරීහු වගවීම් යාන්ත්‍රණයට ජාත්‍යන්තර මැදිහත්වීම තදින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. ඊට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වගවීමේ යාන්ත්‍රණයට විදේශ විනිසුරුවන් සම්බන්ධ කර ගන්නේ නැතැයි තරයේ කියා සිටියේය. එහෙත් සංහිඳියා බළකාය ආරක්‍ෂක අංශවල විරෝධය සහ ජනාධිපති ප්‍රකාශය තුට්‌ටුවකටවත් ගණන් ගත්තේ නැත.

saravana

ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බවට සංහිඳියා බළකාය නිර්දේශ කර පැය 24 ක්‌ ගතවීමට පෙර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් එම නිර්දේශ ගැන සිය සතුට පළ කළේය.

මේ නිසා බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමන සනාථ විය. 2017 වසරේ හාහාපුරා කියමින් මෙම සංහිඳියා බළකාය සිය නිර්දේශවලින් රජයට කියා සිටියේ කොටි ත්‍රස්‌තවාදය පරාජය කළ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විනිසුරුවන් අවශ්‍ය බවයි.

මෙම නිර්දේශ තුළින් තහවුරු වූයේ එම නිර්දේශ ජිනීවා යෝජනාවේ කාබන් කොපිය බවයි. රටේ බහුතරයක්‌ ජනතාවගේ දැඩි අවධානය උදෙසා මේ සංහිඳියා නිර්දේශ මෙලෙස දක්‌වන්නෙමු.

1. සිවිල් ජීවිතයට සහ සමාජ ජීවිතයට යළි ඒකාබද්ධ කිරීම පිණිස …..පුනරුත්ථාපනයක්‌ සමඟින් ආරක්‍ෂක බළකායන් පියවරින් පියවර ඉවත් කරලීම අවශ්‍ය වන්නේය.

2. තම ආදරණීයයන්ගේ මරණය සහ අතුරුදන්වීම විමර්ශනය කිරීමට හෝ ඒ වෙනුවෙන් දුක්‌වීමට වින්දිතයන්ට ඇති අයිතිය රජය පිළිගත යුතුය.

3. පවුලේ සාමාජිකයන්ට සොහොන්බිම් ප්‍රතිසංස්‌කරණය කරදීම සහ පසුකාලීනව එම ස්‌ථානවල ඉදිකරන ලද සියලුම ගොඩනැඟිලි ඉවත් කිරීම නිර්දේශ කෙරේ.

4. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කළ යුතුය.

5. අතීතයේ සිදු කරන ලද යුද අපරාධයන් ගැන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන්ට එරෙහි අපරාධයන්ට නඩු පැවරීමට අවසර ලැබෙන සේ යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන් වැනි ජාත්‍යන්තර අපරාධයන් අපරාධ ලෙස පිළිගෙන ව්‍යවස්‌ථාදායකය හරහා වහාම ඒවා ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කළ යුතුයි.

6. නීතිපති කාර්යාලයේ වත්මන් තත්ත්වයට අමතරව අධි චෝදනා ඉදිරිපත් කිරීම සඳහා විශේෂ නිලධාරියකු පත් කිරීම.

7. යුද අපරාධ සඳහා සමාව දීම නීතිවිරෝධී වේ.

8. ජාත්‍යන්තර විනිසුරුවන් පත් කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌ කාර්යාලය ඇමතීම.

9. ජාත්‍යන්තර අධිකරණයේ අධිකරණ වගකීම පිළිබඳ වෘත්තීය මාර්ගෝපදේශ ද ඇතුළත්ව යුද අපරාධ පිළිබඳ නඩු ඇසීමේ අධිකරණයක්‌ සඳහා අදාළ ප්‍රධාන ජාත්‍යන්තර සම්මතයන් ඇතුළත් කිරීම.

10. ප්‍රමාණවත් තරම් ජාත්‍යන්තර විනිසුරුවන් යුක්‌ත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීම.

සංහිඳියා කාර්ය සාධක බළකායේ නිර්දේශ අතරින් කොටි පුනරුත්ථාපනය කළාක්‌ මෙන් හමුදාවද පුනරුත්ථාපනය කළ යුතු බව දැක්‌වීම යනු මෙරට සමස්‌ත හමුදාවටම සිදුවු බලවත් අවමානයකි.

අපේ හමුදාව පුනරුත්ථාපනය කළ යුතු බව කියන්නේ හමුදාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හෝ මානසික රෝගීන් යෑයි සිතාගෙනද?

මෙයට අමතරව ගැටුම්වලදී මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට එක්‌වරක්‌ පමණක්‌ කෙරෙන ගෙවීමක්‌ කළ යුතු බවටද සංහිඳියා බළකාය නිර්දේශ කර තිබේ. එහිදී ගැටුම්වලදී මියගිය පුද්ගලයන් යෑයි හඳුන්වන්නේ කොටි ත්‍රස්‌තයන් නොවේද? යුද හමුදාව සමඟ සිවිල් වැසියන් ගැටුම් ඇති කරගත්තේ නැත. මෙයට පෙර රජයේ ඇමැතිවරයෙක්‌ මියගිය කොටින්ට වන්දි ගෙවීමට ගෙන ආ යෝජනාවක්‌ දැඩි විරෝධතාව මැද ප්‍රතික්‍ෂේප විය. මේ පසුබිම මැද සංස්‌කෘතික අනන්‍යතාවන්ට එරෙහිව කරන ලද බරපතළ උල්ලංඝනය කිරීම් පාසල් ඉතිහාස පොත්වල විස්‌තර කළ යුතු බවද සංහිඳියා බළකාය දක්‌aවා ඇත. එවැනි උල්ලංඝනය කිරීම් ලෙස යාපනය පුස්‌තකාලය ගිනිතැබීම, 1983 දෙමළ විරෝධී වධ බන්ධනය, යාපනය රෝහල, අරන්තලාව, අනුරාධපුර, සතුරු කෝඩවන් කාතන්කුඩි, ශ්‍රී දළදා මාළිගා ප්‍රහාරය සහ බිදුණුවැව ඝාතනය ද දක්‌වා ඇත.

එහෙත් යාපනය රෝහලට ප්‍රහාර එල්ල වූයේ ඉන්දියා හමුදාවෙනි. සංහිඳියා බලකාය දක්‌වන මේ උදාහරණවලට පිටකොටුව, මරදාන, කොටුව මහ බැංකුව, වැලිවේරිය, නුගේගොඩ, කැබිතිගොල්ලෑව, ගල්කිස්‌ස- දෙහිවල, කොටුව දුම්රිය ස්‌ථානය, පිලියන්දල වැනි ස්‌ථානවල බෝම්බ පිපිරවීම්, මෙන්ම හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර්, නීsලන් තිරුචෙල්වම්, අමිතර්ලිංගම්, ආර්. ප්‍රේමදාස, ගාමිණි දිසානායක වැනි දේශපාලකයන්ගේ ඝාතන ඉතිහාස පොත්වලට ඇතුළත් කරන ලෙස දක්‌වා නැත්තේ මන්ද?

එසේම සංහිඳියා කාර්යාලයේ සංයුතිය පිළිබඳ විමර්ශනය කරන විට සාමාජිකයන් 11 කගෙන් හයක්‌ සුළුතරයට අයත් වූවන් වේ. මෙරට බහුතරය සිංහල ජනතාව වූ විට සුළුතරයේ හයදෙනකුගේ නිර්දේශ කෙරේ විශ්වාසනීයත්වයක්‌ ඇතිවේද?

මේ හැර සංහිඳියා කාර්ය සාධක බළකායේ ලේකම් ලෙස කටයුතු කළ පාක්‍යසෝති සරවනමුත්තු යනු නෝර්වේ අරමුදල් ලැබෙන කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානියායි. ඔහු පසුගිය වසර කීපය මුළුල්ලේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස්‌ එහි ක්‍රියාකාරීන් අමතා ජාත්‍යන්තර විනිසුරුවරුන් සහිත අධිකරණයකින් ශ්‍රී ලංකාවේ හමුදාව ගැන විමර්ශනය කළ යුතු බව පවසා ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පාක්‍යසෝති රිංගන අයුරු අපි කිහිපවිටක්‌ම දුටුවෙමු. එසේම ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යෑවූ රහස්‌ වාර්තාවල පාක්‍යසෝaති නියෝජනය කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කර ඇති ප්‍රකාශ සඳහන් වී තිබේ.

මෙම සංහිඳියා නිර්දේශ ගැන පාක්‍යසෝති සරවනමුත්තු තවදුරටත් පවසා ඇත්තේ සිය නිර්දේශ ක්‍රියාවට නඟන මෙන් ආණ්‌ඩුවට බල කිරීම සිවිල් සමාජයේ වගකීම බවයි.

විදෙස්‌ විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බව දක්‌වමින් විදේශ ඇමැති මංගල සමරවීර වෙත ජනවාරි 3 දා මෙම නිර්දේශ පිළිගැන්වූ අවස්‌ථාවට ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්දන් ද සහභාගි විය. ඔහු එහිදී පැවසුවේ යුද්ධයෙන් සිවිල් වැසියන්ද දුෂ්කරතාවලට මුහුණපා ඇති නිසා එල්ලවී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බවයි.

මේ අතර සංහිඳියා කාර්ය සාධක බලකායට අදහස්‌ ඉදිරිපත් කර ඇත්තේද සුළු පිරිසක්‌ බව එම බළකායේ වාර්තාවෙන් හෙළි වී ඇත. ඒ 7306 ක පිරිසකි. වයඹ සහ බස්‌නාහිර පළාත්වලදී අදහස්‌ ඉදිරිපත් කළ සංඛ්‍යාවද 250 ට අඩුය.

මෙම අපූරු සංහිඳියා බළකාය ජිනීවා යෝජනාව මුළුමනින්ම අනුමත කිරීමද විස්‌මයජනක ක්‍රියාවකි. එය අත ඊසොප්ගේ වුවත් හඬ ජෙකොබ්ගේ යන කියමනට සමානය. ඔවුන් රජයට ඉදිරිපත් කර ඇති නිර්දේශයේ මෙලෙස සඳහන් කර ඇත. ඒ මානව හිමිකම් සමුළුවේදී සම්මත වූ යෝජනාව ප්‍රකාර සෑම නඩුවාරයකදීම දේශීය විනිසුරුවන් බහුතරයක්‌ සහ අවම වශයෙන් ජාත්‍යන්තර විනිසුරුවකු සිටින බවට අධිකරණය සහතික විය යුතුය. එසේම විශේෂ උපදේශක කාර්යාලයේ කාර්ය මණ්‌aඩලයටත් ජාත්‍යන්තර විශේෂඥයන් සම්බන්ධ විය යුතුයි.

මේ සංහිඳියා කාර්ය සාධක බළකාය ජාත්‍යන්තර අධිකරණයේ අධිකරණ වගකීම් ඇතුළත් ජාත්‍යන්තර නීතිරීතිවලට ශ්‍රී ලංකාව යොමු කිරීමට උත්සාහ කිරීමේ භයානක ක්‍රියාදාමයක්‌ද නිර්දේශ කර තිබේ. ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අදාළ ජාත්‍යන්තර අධිකරණයට අත්සන් තබා නැත. එම අන්තර්ජාතික අධිකරණයට අත්සන් කිරීමෙන් වළකින ලෙස විදේශ ඇමැතිව සිටි ලක්‍ෂ්මන් කදිරගාමර් එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා කුමාරතුංග වෙත උපදෙස්‌ දුන් විට ඇය ඊට අත්සන් කළේ නැත.

එහෙත් ඉතා සූක්‍ෂම ලෙස ජාත්‍යන්තර අධිකරණයේ නීතිරීති හයිබ්‍රිඩ් අධිකරණයට ඇතුළත් කළ යුතු යෑයි සංහිඳියා කාර්ය සාධක බළකාය නිර්දේශ කිරීමෙන් සනාථ වන්නේ එම ජාත්‍යන්තර අධිකරණ ක්‍රමවේදය පිළිගැනීම නොවේද?

සංහිඳියා බළකායේ ලේකම් ලෙස කටයුතු කළ පී සරා හෙවත් සරවනමුත්තු 2013 සැප්තැම්බර් මස ඇමරිකානු ජනාධිපති ඔබාමාගේ වටමේස සාකච්ඡාවට ද සහභාගි වී ඇත.

එසේම ඔහු 2009 අප්‍රේල් මස බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පතේ ඇනී කෙලි නමැති මාධ්‍යවේදිනිය අමතා පවසා ඇත්තේ වවුනියාව සහ යාපනයේ සුබසාධක කඳවුරුවල පවා පැහැර ගැනීම් සිදුවන බවයි. මේ හැර යුද ගැටුම්වලින් පලා යන සිවිල් වැසියන් පිළිබඳව රජය සිදු කරන නිsරීක්‍ෂණ ක්‍රියාවලිය පරීක්‍ෂාවට ලක්‌ කිරීම සඳහා ස්‌වාධීන ජාත්‍යන්තර නිරීක්‍ෂණයක්‌ වැදගත් වන බවද ඔහු තවදුරටත් පවසා ඇත.

මෙයට අමතරව 2008 පෙබරවාරි මස සරවනමුත්තු සහ බර්ග්හොµaa නමැති ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයේ නායක නෝබට්‌ රූපර් ඇමරිකාවේ වොෂින්ටන් නුවරට පැමිණ හිටපු ඇමරිකානු නියෝජ්‍ය ලේකම් රිචඩ් ආමිටේඡ් හමුවී තම සාම ක්‍රියාදාමය සඳහා ජාHන්තර සහය ලබා ගැනීම ගැන සාකච්ඡා පවත්වා ඇත. මේ සාම ක්‍රියාදාමය සඳහා ඇමරිකානු සාම ආයතනයෙන් අරමුදල් ලබා ගැනීමට සරවනමුත්තු බලාපොරොත්තු වී ඇත.

මෙම තොරතුරු විකිලික්‌ස්‌ අඩවිය අනාවරණය කර තිබේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය යෑවූ රහසිගතයි යන පණිවුඩයේ තවදුරටත් දක්‌වා ඇත්තේ 2002- 2005 සමයේ ක්‍රියාත්මක වූ සටන්විරාම ගිවිසුම ඔවුන් දෙදෙනාගේ නිර්මාණයක්‌ බවත් ඊට වඩා කාර්යක්‍ෂම නව සාම ක්‍රියාදාමයකට ඔවුන් රිචඩ් ආම්ටේඡ් සමග සාකච්ඡා කළ බවයි.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල රහස්‌ පණිවුඩයෙන් තහවුරු වන්නේ වන්නි මෙහෙයුම ක්‍රියාත්මක වන අවස්‌ථාවේ සරවනමුත්තු සහ නෝබට්‌ රූපර්a දෙවැනි සටන් විරාමයකට ඇමරිකානුවන් සමග එක්‌වී මුලපිරූ බවයි.

මෙම පසුබිම මැද අමාත්‍ය රාජිත සේනාරත්න සංහිඳියා බළකායට චරිත සහතිකයක්‌ දුන්නේය. “ඒ ගොල්ලෝ අමුතු විඥනයක්‌ තියෙන මහලොකු ශේ්‍රෂ්aඨ ලෝකේ පහළ වුණුq මහා බුද්ධිමතුන් නොවෙයිනේ” යෑයි අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර සංහිඳියා වාර්තාව ප්‍රකාශයට පත්වී පැය 48 ක්‌ ගත වීමට මත්තෙන් කිලිනොච්චියේ කනගපුරම් කොටි ත්‍රස්‌ත සුසානභූමිය වෙත හිටපු කොටින්ගේ ඥතීන් පිරිසක්‌ සහ ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක්‌ පැමිණ පූජාවක්‌ පවත්වා කොටි ස්‌මාරකයක්‌ ඉදිකිරීමට කටයුතු කර ඇත.

මෙම අවස්‌ථාවේ කිලිනොච්චිය සහකාර පොලිස්‌ අධිකාරීවරයෙක්‌ පැමිණ අදාළ ස්‌ථානයේ ඉදිකිරීමක්‌ කිරීමට අවශ්‍යනම් පොලිසිය දැනුවත්කර අධිකරණයෙන් අවසර ඉල්ලා සිටින ලෙස පවසා තිබේ.

එම අවස්‌ථාවේ කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ ලේකම් කමිසනාදන් පැමිණ ස්‌මාරකය ඉදිකිරීමට අවසරයක්‌ නැති බවත් එම ස්‌ථානය ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමක්‌ බවට ප්‍රකාශ කර ඇත.

එහෙත් කොටි සංවිධානය තහනම් සංවිධානයක්‌ නිසා එවන් ස්‌මාරකයක්‌ ඉදිකිරීමද තහනම් වේ. එසේ නම් පොලිස්‌ නිලධාරියකු හිටපු කොටින්ගේ ඥතීන් අමතා මෙවන් ප්‍රකාශයක්‌ කරන්නේ කෙසේද? මේ එම ප්‍රකාශයයි. “මට ඔබලාව අත්අඩංගුවට ගන්න පුළුවන්. නමුත් මම එලෙස කටයුතු කරන්නේ නැහැ. මේ කාරණය මානුෂිකව බැලිය යුතුයි. මම මෙම ප්‍රදේශයේ උපන්නේ නම් මමත් මේ ක්‍රියාදාමය අනුගමනය කරනවා. දුෂ්කරතාවයට පත්වූවන් එහි වේදනාව දන්නවා. මේ කරුණ ගැන සාකච්ඡා කිරීමට පොලිසියට පැමිණ බේරුමක්‌ ඇති කර ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.

එසේ වුවත් කිලිනොච්චියේ පොලිස්‌ බලධාරියාට කොටි ස්‌මාරක ඉදිකිරීමේ ප්‍රශ්නය බේරුම් කර ගැනීමට හැකිවූයේ නැත. ඒ නිසා හිටපු කොටි ක්‍රියාකාරීන් හයදෙනකු පොලිසියට කැඳවා ඇති පොලිසිය ඔවුන්ගෙන් කටඋත්තර ගෙන මුදාහැර ඇත.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් මමත් කිලිනොච්චියේ උපන්නේ නම් කොටි ස්‌මාරකය ඉදිකිරීමට එන බව එම පොලිස්‌ නිලධාරියා පැවසීමයි. මොහු කවුදැයි දැන් හඳුනා ගෙන ඇත.

කොටි ත්‍රස්‌තයන් ළදරුවන් කැති ගා දමමින් බස්‌ බෝම්බ පුපුරුවද්දී මේ පොලිස්‌ නිලධාරියා සිටියේ කොහේද?

මෙම තත්ත්වය මැද සංහිඳියා බළකායේ හයිබ්‍රිඩ් අධිකරණ යෝජනාව රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

මේ අපූරු බළකායේ න්‍යාය පත්‍රය දැන් සනාථ වී තිබේ.

ලොව කිසිම රටක්‌ බිහිසුණු ත්‍රස්‌තවාදීන්ගෙන් රට මුදාගත් ආරක්‍ෂක හමුදාවට දඬුවම් කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයන් පිහිටුවා නැත. මෙහිදී අවධානයට යොමු විය යුතු ප්‍රධාන කරුණ නම් ශ්‍රී ලංකාවේ හමුදාවට දඬුවම් කිරීමට ජිනීවා යෝජනාව සම්මත කළ ඇමරිකාව ප්‍රභාකරන්ව බේරා ගැනීමට දැරූ උත්සාහයයි. එම ඇමරිකානු රහස්‌ සැලසුම ඉන්දියාවේ හිටපු ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් විසින් පසුගියදා හෙළි කර තිබුණි. ඇමරිකාවේ එම උපායමාර්ගික සැලසුම ව්‍යර්ථ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඉන්දියාව බව මෙනන් තවදුරටත් අනාවරණය කර තිබුණි.

මේ අතර උතුරු පළාත් මහඇමැති සී. විග්නේශ්වරන් කැනඩාවට ගොස්‌ එරට ද්‍රවිඩ සංධාන සමග සාකච්ඡා පවත්වා ඇත. ඔහු කැනඩාවේදී ප්‍රකාශයක්‌ කරමින් යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණය විශ්වාස නැති බව සඳහන් කර ඇත. රවිරාඡ් ඝාතනයේ චූදිතයන් නිදහස්‌ වීම ගැනද කරුණු දක්‌වමින් විග්නේශ්වරන් වැඩිදුරටත් දක්‌වා ඇත්තේ ජාත්‍යන්තර අධිකරණයක්‌ අවශ්‍ය බවයි.

විග්නේශ්වරන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට ඔහුගේ උපදේශක නිර්මලන් කාර්තිකේයන් සහ කැනඩාවේ මර්ක්‌හම් නගර සභා මන්ත්‍රී ලෝගන් කනපතිද පැමිණ සිටියේය.

මේ නිර්මලන් කාර්තිකේයන් යනු ජාතික සාම මණ්‌ඩලය විසින් කොටින්ට අත්වාරු බෙදාදීමේ උත්සවයට සම්බන්ධ වූ එම රාජ්‍ය නොවන සංවිධානයේ හිටපු ක්‍රියාකාරියෙකි. ලෝගන් කනපති නමැත්තා කොටි හිතවාදියකු වන අතර වන්නි මෙහෙයුම නතර කිරීමට ක්‍රියා කරන ලෙස කැනඩා රජයට දැඩි බලපෑම් සිදු කළ අයෙකු බව අනාවරණය වේ. විග්නේශ්වරන් මෙහිදී තවදුරටත් පවසා ඇත්තේ මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී කැනඩා රජය ක්‍රියාත්මක වන බවයි.

මේ පසුබිම මැද දේශප්‍රේමී සංවිධාන 25 කට අධික සංඛ්‍යාවක්‌ ඒකාබද්ධවී ජාතික සංවිධානය සම්මේලනයේ කැඳවුම් කරු ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියකු වූ සරත් වීරසේකර පත් කරගෙන ඇත. මේ අතර රජය හයිබ්‍රිඩ් අධිකරණය පිහිටු වීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා කෝපයට පත් කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ වෙත හදිසි සංදේශයක්‌ යවමින් ජිනීවා යෝජනාව වහාම ඉදිරියට ගෙන යන ලෙස ඉල්ලීමක්‌ කර ඇත.
 

One Response to “යුද හමුදාවට දඬුවම් කිරීමේ සංහිඳියා බළකායේ භයානක නිර්දේශ”

  1. Christie Says:

    ” එම ඇමරිකානු රහස්‌ සැලසුම ඉන්දියාවේ හිටපු ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් විසින් පසුගියදා හෙළි කර තිබුණි.”

    ඉන්දියන් කාරයෝ කියන දේ විස්වාස කරන්නේ අපිය.

    මෙයා තමයි අපෙරිකාවට උපදෙස් දුන්නෙ අමෙරිකාවේ ඉන්න ඉන්දියානු පිලිලය හරහා.

    ඔබාමගෙ හුඟක් යාලුවොත් ඩ්ල්මොක්‍රැට්ස්ලට සල්ලි වියදම් කරන අයත් ඉන්දියන් කාරයො.

    මෙයා දැන් සුදන වෙනව.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress