ජී.එස්‌.පී දෙන්න කොන්දේසි 58ක්‌
Posted on January 14th, 2017

ශ්‍යාම් නුවන් ගනේවත්ත උපුටා ගැන්ම දිවයින

පළාත් සභාවලට බලය බෙදීම
ඉඩම් ආඥා පනත සංශෝධනය
මැතිවරණ ප්‍රතිසංස්‌කරණ ඇතිකිරීම
අපරාධ නීතිය සංශෝධනය කිරීම

යුරෝපා සංගමයේ ජී. එස්‌. පී. ප්ලස්‌ (GSP+) බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටට ඉතා අනතුරුදායක කොන්දේසි 58 කට රජය එකඟවී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට වාර්තා වේ.

මේ කොන්දේසිවලට එකඟ වී ඒ පිළිබඳ ප්‍රගතිය යුරෝපා කොමිසමට දැක්‌වීමට ද රජය ක්‍රියාකර ඇති බවද වාර්තා වේ.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත්කර ඒ වෙනුවට ගෙනෙන නව නීතිය සමාලෝචනය කර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සම්පාදනය කිරීම, අත්අඩංගුවේ සිටින රැඳවියන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම, සියලු එල්. ටී. ටී. ඊ. හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම අවසන් කිරීම, රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට සංශෝධන ගෙනඒම, මහජන ආරක්‌ෂණ ආඥා පනත සමාලෝචනය කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වෙනම කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීම, නව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ (2017- 2021) හඳුන්වාදීම, ත්‍රස්‌තවාදී සංවිධාන ලෙස ලැයිස්‌තුගත කර ඇති දෙමළ සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධ තත්ත්වය සමාලෝචනයට ලක්‌ කිරීම (මින් පුද්ගලයන් 86 දෙනෙක්‌ සහ සංවිධාන 08 ක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව එම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට අපේක්‌ෂා කරන බව රජය දන්වා ඇත.)

පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස්‌ කොමිසම හමුවේ ඇති දූෂණ චෝදනා නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම, දූෂණවලට එරෙහිව අල්ලස්‌ කොමිසම මගින් නව ක්‍රියාකාරී සැලැස්‌මක්‌ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදාහැරීම යන කරුණු සලකා බැලීම, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ මැතිවරණ ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදීම, ඉඩම් ආඥාපනතට සංශෝධන සිදුකිරීම, දෙමළ භාෂාව කතා කරන කාන්තා පොලිස්‌ නිලධාරිනියන් ප්‍රමාණය ඉහළ නැංවීම, පාර්ලිමේන්තුවේ අවම වශයෙන් සියයට 25 කාන්තා නියෝජනයක්‌ ඇතිකිරීම සහ මුස්‌ලිම් නීතිය යටතේ විවාහ විය හැකි අවම වයස නීතියෙන් නියම කිරීම (මේ සඳහා කැබිනට්‌ අනුකාරක සභාවක්‌ පත්කිරීමට නියමිතය.) ඇතුළු ඉතා බරපතල කොන්දේසි රැසක්‌ මෙම බදු සහනය ලබා ගැනීම සඳහා රජය විසින් යුරෝපා කොමිසම වෙත එකඟවී එම කොන්දේසි ඉටු කිරීමේ ප්‍රගතියද එම කොමිසම වෙත වාර්තා කර තිබෙන බවද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් තවදුරටත් ‘දිවයින ඉරිදා සංග්‍රහයට” වාර්තා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress