රට බෙදන ව්‍යවස්ථාව පරදවන්න මන්ත්‍රීකම් අතහැර පෙරමුණ ගන්න – මාරපන සොයුරාගෙන් ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇරයුමක්
Posted on January 18th, 2017

යුතුකම සංවාද කවය www.yuthukama.com

පක්ෂයකින් තේරිපත්වූ මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පක්ෂ නායකයාට ලැබෙන අයිතිය අහෝසි නොකර කොතරම් පවාදීමක් සිදු වුවත් හෘද සාක්ෂියට එකඟව චන්දය දීමට මන්ත්‍රීවරුන්ට ඉඩක් නැති බව අධි නීතීඥ ගාමිනී මාරපන මහතා පෙන්වා දෙයි.
එදා ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේද එවැනි ලැජ්ජාසහගත බලහත්කාරකමින් බව ඔහු පෙන්වා දෙයි. මේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයද එලෙස සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් බව පෙන්වා දෙන මාරපන මහතා ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පෙර පක්ෂ නායකයාට මන්ත්‍රීධූරය තීරණය කිරීමේ අයිතිය ලැබී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 -13-ආ වගන්තිය අහෝසි කළ යුතු යැයි අවධාරණය කරයි.

අධිනීතීඥ මනෝහර ද සිල්වා මහතා විසින් රචිත ‘බෙදුම්වාදීන්ගේ උපාය මාර්ග සහ ව්‍යවස්ථා සංශෝධන ” ග්‍රන්ථය ජනගත කිරීම වෙනුවෙන් ජනවාරි 5 වනදා පදනම් ආයතනයේදී පැවති උලෙලේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. අධිනීතිඥ ගාමනී මාරපන මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී , හිටපු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සොහොයුරාය

අභ්‍යන්තරයෙන් අඩංගුවෙන් රට බෙදෙන ෆෙඩරල් රාජ්‍යක් සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන සකස් කරමින් මිනිසුන් රවටන්නට පිටතින් ඒකීය බෝඩ් ලෑල්ල දමා මේ කරන ව්‍යාජයට හසු නොවන ලෙස ඉල්ලා සිටින මාරපන මහතා ආණ්ඩුව මේ කූට උපායමාර්ගවලින් රවටන්නට හදන්නේ කවුදැයි ප්‍රශ්න කරයි.

යෝජිත ව්‍යවස්ථාවට එරෙහිව චන්දය දීමට මන්ත්‍රීධූරය අහිමි කරාවියැයි පක්ෂ නායකත්වයට බියෙන් මුලු නොගැන්වී පෙරට එන ලෙස මාරපන මහතා මෙහිදී පැමිණ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනය කර සිටී.’

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ගාමිණී මාරපන මහතා
“මනෝහර ද සිල්වා මහතා මේ ග්‍රන්ථය හරහා කිස්සිවෙකුට අඟිල්ලක් දික් නොකර අප රට අද පත්ව තිබෙන අගාධය පිලිබඳ අදහස් ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.ඔහුගේ රජකාරි කටයුතු අස්සේ මෙවනි ග්‍රන්තයක් ප්‍රකාශ කිරීම පිළිබඳ එතුමාට අපි ප්‍රසංසන්සා කළ යුතුයි.මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට ඒකීයභාවය අහිමි කරන ආකාරය පිළිබඳ ඉතා සියුම්ව විග්‍රහ කරල තියෙනවා.
මෙ ග්‍රන්ථයේ 97 පැකේජය ගැන , 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආදිය ගැන අඩංගු කරුණු වලින් බලය හිමි කොටස් මේ ප්‍රශ්නවලදී හසිරෙන ආකාරයද මැනවින් සඳහන් කර ඇත.
මා මෙතෙක් මෙලෙස අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සියුම්ව ලියපු ග්‍රන්ථයක් කියවලා නෑ.

එදා 13 වන ව්‍යවස්ථා උගුලේ අප වැටෙන විට මෙවැනි ග්‍රන්ථයක් නිර්මාණය වූවානම් අපේ රටේ ඉරණම මීට වඩා වෙනස් වෙන්නට තිබුණා.එබැවින් මේ ග්‍රන්තය අපේ රටේ දේශපාලනඥයන් මෙන්ම නීතීඥයන්ද අනිවාර්යෙන් කියවිය යුතුයි කිය මා ප්‍රකාශ කරනවා.
මේ අනතුරෙන් ගැලවිය හැකි මග එමගින් පාදාගත හැකියි.” යැයිද පැවසීය.
සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්…සටහන : යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress