GSP + ලැබෙන්නේ කොන්දේසි නැතුවද?
Posted on January 18th, 2017

ශ්‍යාම් නුවන් ගනේවත්ත

යුරෝප සංගමයෙන් ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය යළි ලබා ගැනීම පිළිබඳ මේ දිනවල ආණ්‌ඩුවේ අය මහ ඉහළින් කතා කරයි. ජනාධිපතිතුමන්, අගමැතිතුමන් මෙන්ම මුදල් ඇමැති රවී කරණානායක මහතාද ආණ්‌ඩුවේ තවත් ඇමැතිවරුද මේ ගැන කතා කර තිබුණි. ආණ්‌ඩුවේ අය මෙය ඉතාම ශුභවාදී තත්ත්වයක්‌ බව පෙන්නුවත් මේ සමඟම අප විසින් ඉටු කළ යුතුව ඇති කොන්දේසි ගැන කිසිවක්‌ කතා කරනු දක්‌නට නොලැබිණි. මුදල් ඇමැති රවී කරුණානායක මහතා නම් කෙළින්ම කීවේ ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ලැබී ඇත්තේ කිසිදු කොන්දේසියකට යටත් නොවී බවයි. මේ කියන කතා ඇත්ත නම් ඉතාමත් හොඳය. එහෙත් එය එසේ නොවන බවට වන තොරතුරු අප වෙත රජය පැත්තෙන්ම ලැබෙමින් තිබේ. ඒ අනුව අපට දැන ගැනීමට ලැබුණේ ශ්‍රී ලංකාව විසින් යම් යම් කොන්දේසි ඉටු කිරීමට යටත්ව මේ සහනය අප වෙත යළි ලබාදීමට නියමිතව ඇති බවයි. මේ කොන්දේසිවලින් ඇතැම් කොන්දේසි ඇතුළත්ව පසුගිය “දිවයින” ඉරිදා සංග්‍රහයේද පුවතක්‌ පළ වි තිබුණි. එය ජනාධිපතිවරයා මෙන්ම එජාපයේ අජිත් පී. පෙරේරා ඇමැතිවරයාද පසුගිය සති අන්ත පුවත්පතක මුල්පිටුවේ පළව තිබූ පුවතක්‌ ගැන ප්‍රතිචාර දක්‌වනු විද්Hqත් මාධ්‍ය හරහා දැක ගැනීමට ලැබුණි. එහෙත් අප වෙත ලැබී ඇති විශ්වාස කටයුතු ආරංචි අනුව රජය විසින් මේ බදු සහනය ලබා ගැනීමට අදාළව කළ යුතු ක්‍රියාකාරකම්වල ප්‍රගතිය දක්‌වමින් ඉකුත් නොවැම්බර් මාසයේ යම් ලියවිල්ලක්‌ සකස්‌ කර තිබේ. එම තොරතුරු අනුව මේ ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය අප වෙත ලැබෙන්නේ බොහෝ කොන්දේසි ඉටු කිරීමේ එකඟතාව මතයි. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ ඒ ගැනය.

රජයේ ඇතැම් තීන්දු තීරණ ගැන ජනාධිපතිවරයා දැන ගන්නේද පත්තරෙන් බවට මේ වන විට සමාජය තුළ පැතිර ගොස්‌ ඇති මතයක්‌ තිබේ. වත්මන් රජය විසින් සිදු කළ වැට්‌ බදු වැඩි කිරීම ගැනද පුවත්පතකින් දුටු බව මීට කලකට ඉහතදී ප්‍රසිද්ධ රැස්‌වීමකදී කීවේ ජනාධිපතිවරයාමය. එහිදී ඔහු ජනතාව පීඩාවට පත් කරන බදු පනවන්නට ඉඩ නොදෙන බව දැඩිව කියා සිටියත් පසුව සිදු වූ දේ අපි දනිමු. ඇතැම් සුළු සංශෝධන සහිතව එය එලෙසම ක්‍රියාත්මක විය. මේ නිසා ජනාධිපතිවරයාගේ වචනය හැල්ලුවට ලක්‌ විය. ජනාධිපතිවරයා පූර්ණ විසඳුමක්‌ ලබාදෙන බවට පොරොන්දු වූ නිසා ජනාධිපතිවරයාගේ වචනය ගැන විශ්වාසය තබා ලොතරැයි අලෙවි නියෝජිතයන්ද තම වර්ජනය අවසන් කර නැවත ලොතරැයි අලෙවිය පටන් ගත්තත් ඔවුන්ට ලැබුණු විසඳුමක්‌ නැත. ජනාධිපතිවරයා කියූ විසඳුම නොලැබුණු නිසා ඊයේ (16 දා) සිට ඔවුන් යළිත් ලොතරැයි අලෙවියෙන් ඉවත් වී ඇත. ජනාධිපතිවරයාගේ වචනය ගැන විශ්වාස කළ ලොතරැයි අලෙවි නියෝජිතයන් යළි වර්ජනයට අවතීර්ණ වූයේ ජනපතිවරයාගේ වචනය ඉටු නොවු නිසාය. මේ නිසා ජනාධිපතිවරයා (ගැලරියට) කියන දේ ගැන තවත් ඕනෑ තරම් අපට කතා කළ හැකිය. එහෙත් මේ අප සූදානම් වන්නේ ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ගැන පසුගිය ඉරිදා ගාල්ල ලබුදුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක්‌ ගැන කියන්නටය. මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට එහිදී ජනාධිපතිවරයා කියා තිබුණේ මෙවැනි අදහසකි.

“යුරෝපා සංගමය ජී. එස්‌. පී. සහනය ලබා දී තිබෙන්නේ මේ රටේ ෆෙඩරල් ක්‍රමයක්‌ ඇති කිරීමේ එකඟතාව මත කියා පුවත්පතක අද මුල පිටුවේ පළ කරන්න තරම් මේ රටේ මාධ්‍ය අශීලාචාර වී තිබීම ගැන කනගාටු වෙනවා. යුරෝපා සංගමය එම සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කිරීමත් සමඟ, රජයට ලැබෙන කීර්තිය සහ ගෞරවය වැළැක්‌වීමට ඇතැමුන් අශීලාචාර අන්දමින් කටයුතු කරනවා. ලබා දී ඇති මාධ්‍ය නිදහස වැරදි අයුරින් භාවිතා නොකර රටේ ජනතාවට නිවැරදි සහ සත්‍ය තොරතුරු ලබාදීමේ වගකීම ඉටු කරන ලෙස තමා නැවත නැවතත් ඔවුන්ගේ ඉල්ලා සිටිනවා. මාධ්‍ය නිදහස මේ අයුරින් පාවිච්චි කිරීම ගැන මා කනගාටු වෙනවා. කම්පාවට පත් වෙනවා.” 

ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා කම්පා විය යුත්තේ ජී. එස්‌ පී. ප්ලස්‌ සහනය ලබාදීමට අදාළ කොන්දේසි මාධ්‍ය විසින් හෙළි කිරීම ගැනද? මාධ්‍යයේ යමක්‌ පළ වූ විට ජනාධිපතිවරයා ඒ ගැන නොදන්නේ නම් ඒ ගැන සොයා බැලීමට ප්‍රථමයෙන්ම ක්‍රියා කිරීම, වඩාත්ම හොඳය. එසේත් නැතහොත් මාධ්‍යයේ යමක්‌ පළ වූ බව දුටු පමණින්ම මාධ්‍යයට දොස්‌ නැඟීම සුදුසු පිළිවෙතක්‌ නොවන බවද කිව යුතුව තිබේ. ජනාධිපතිවරයාගේ මේ චෝදනාවේ පුවත්පතක නම සඳහන්ව නැත. ඒ නිසා ජනාධිපතිවරයා එම චෝදනාව එල්ල කළේ අප පුවත්පතට නොවන බව අපි සිතමු. ඒ කෙසේ වෙතත් පසුගිය ” දිවයින ඉරිදා සංග්‍රහය” ප්‍රධාන ප්‍රවෘත්තිය මඟින්ද ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබා ගැනීම සඳහා රජය විසින් කොන්දේසි 58 කට එකඟ වී ඇති බවත් ඉන් එක්‌ කරුණක්‌ වන්නේ පළාත්වලට බලය බෙදීම බවත් සඳහන් කර තිබුණි. එහෙත් අපගේ ප්‍රවෘත්තියේ කිසිම තැනක ෆෙඩරල් එකඟතාවක්‌ ගැන සඳහන් කර නැත. අපගේ පුවතේ සඳහන් වන්නේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදා හැරීම යන කරුණ, සලකා බැලීම යන්න ඉන් එක කරුණක්‌ බවයි. අපට ලැබී ඇති තොරතුරු අනුව එම කරුණ අදාළ a ලියවිලිවල සඳහන් වන්නේ මෙලෙසය.

“Devolution of Power to the Province to be addressed under the new Constitution”

මෙම කරුණට අදාළ වර්තමාන තත්ත්වය (ඡරුseබඑ Sඒඑමි) ලෙස සඳහන් වන්නේ මෙවැන්නකි.

” The extent Of the devolution of Power is expected to emerge through the parliamentary consultative Process”

මෙහි අදහස වන්නේ එසේ බලය බෙදා හරින්නේ කොතෙක්‌ දුරටද යන්න පාර්ලිමේන්තු උපදේශක සභා ක්‍රියාවලිය හරහා මතුවනු ඇති බවයි.

ඒ නිසා මේ කියන කරුණු සත්‍ය නම් ඒ කියන බලය බෙදා හරින ප්‍රමාණය සහ ස්‌වභාවය මත එය ෆෙඩරල්ද ඊට මෙහා තත්ත්වයක්‌ හෝ නැත්නම් ෆෙඩරල්වලටත් එහා යන තත්ත්වයක්‌ද යන්න තීරණය වනු ඇත. ඒ නිසා ෆෙඩරල් එකඟතාව මත ජී. එස්‌. පී. ප්ලස්‌ අපට ලැබෙන බව අපි නොකියමු. එහෙත් රජයේම ආරංචි මාර්ගවලින් අදාළ කොන්දේසි පිළිබඳ අප වෙත ලැබී ඇති තොරතුරු අනුව නම් පැහැදිලි වන්නේ “බලය බෙදා හැරීම” ද එම කරුණු 58 අතර එකක්‌ ලෙස පැහැදිලිවම සඳහන්ව ඇති බවයි. ඒ නිසා මේවා සත්‍යද අසත්‍යද යන්න ජනාධිපතිවරයා සොයා බැලිය යුතුය. ජනාධිපතිවරයාවත් නොදැන ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබා ගැනීමට මෙවැනි කොන්දේසිවලට එකඟ වීමට රජයට සිදුව ඇත්නම් ජනාධිපතිවරයා කම්පා විය යුත්තේ ඒ ගැනය. මාධ්‍ය වාර්තා ගැන නොවේ.

අපට ලැබී ඇති තොරතුරුවලට අනුව ජී. එස්‌. පී. බදු සහනය ලබා ගැනීම සඳහා රජය එකඟ වී ඇතැයි කියන බරපතළ කාරණා කිහිපයක්‌ මෙසේය. මේවා වැරදි නම් ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබා ගැනීම සඳහා රජය විසින් යුරෝපා කොමිසම වෙත එකඟතාව පළ කළ නිවැරදි කරුණු මොනවාදැයි රටට හෙළි කරන ලෙස අපි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිමු.

* ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත් කර ඒ වෙනුවට ගෙනෙන නව නීතිය සමාලෝචනය කර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව බවට සහතික කර ගැනීම.

* අත්අඩංගුවේ සිටින රැඳවියන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම,

* සියලු එල්. ටී. ටී. ඊ. හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම අවසන් කිරීම,

* රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට සංශෝධන ගෙන ඒම,

* මහජන ආරක්‌ෂණ ආඥා පනත සමාලෝචනය කිරීම,

* අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වෙනම කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීම,

* නව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ (2017- 2021) හඳුන්වාදීම,

* ත්‍රස්‌තවාදී සංවිධාන ලෙස ලැයිස්‌තුගත කර ඇති දෙමළ සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධ තත්ත්වය සමාලෝචනයට ලක්‌ කිරීම

(මින් පුද්ගලයන් 86 දෙනෙක්‌ සහ සංවිධාන 08 ක්‌ කරන ලද පරීක්‌ෂණ අනුව එම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට අපේක්‌ෂා කරන බවද සඳහන්ය )

* පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස්‌ කොමිසම හමුවේ ඇති දූෂණ චෝදනා නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම ,

* දූෂණවලට එරෙහිව ජාතික ක්‍රියාකාරී සැලැස්‌මක්‌ හඳුන්වා දී අල්ලස්‌ කොමිසම ශක්‌තිමත් කිරීම.

* නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදාහැරීම යන කරුණු සලකා බැලීම,

* නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ මැතිවරණ ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදීම,

* ඉඩම් ආඥාපනතට සංශෝධන සිදු කිරීම,

* දෙමළ භාෂාව කතා කරන කාන්තා පොලිස්‌ නිලධාරිනියන් ප්‍රමාණය ඉහළ නැංවීම,

* පාර්ලිමේන්තුවේ අවම වශයෙන් සියයට 25 ක කාන්තා නියෝජනයක්‌ ඇති කිරීම

* මුස්‌ලිම් නීතිය යටතේ විවාහ විය හැකි අවම වයස නීතියෙන් නියම කිරීම (මේ සඳහා කැබිනට්‌ අනුකාරක සභාවක්‌ පත්කිරීමට නියමිතය.)

* අයිතිවාසිකම් කිව හැකි සියලු ඉඩම් සිවිල් ජනතාවට මුදාහැරීම.

* නැවත පදිංචි කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීම
GSP + ගන්න එකඟ වූ කොන්දේසි අතර
බලය බෙදා හැරීමත් පැහැදිවම සඳහන්
ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය නැවත ලබා ගැනීමට කොන්දේසි 58 කට එකඟ වෙන්න රජයට සිදු වෙලා තියෙනවා. ඉන් එක්‌ කොන්දේසියක්‌ තමයි ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත හකුළා ගැනීම. ඒක එක කොන්දේසියක්‌. ඒවාට එකඟ වෙනවා නම් පමණයි මේ සහනය ලැබෙන්නේ.

මීට අමතරව රටේ අභ්‍යන්තර කටයුතුවලට අතපොවන තත්ත්වයක්‌ පැහැදිලිවම අද ජනිත වෙලා තියෙන්නේ. ඒ නිසා අපට මතු වන ප්‍රශ්නය වන්නේ කවුද මේ රට පාලනය කරන්නේ යන්නයි. මේ රට පාලනය කරන්නේ බ්‍රසල්ස්‌ නගරයෙන්ද? කොළඹ නගරයෙන්ද? අපේ ඡන්ද ක්‍රමය, ඉඩම් ප්‍රතිපත්තිය, රැඳවියන් පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග, ත්‍රිවිධ හමුදා ප්‍රතිසංස්‌කරණය කිරීම වැනි කොන්දේසි මේකට ඇතුළත් වෙලා තියෙනවා. ඒවා එක පැත්තකින් සලකලා මින් ලැබෙන ප්‍රයෝජනය අනිත් පැත්තෙන් බලන විට මේකෙන් රටට හොඳක්‌ වෙනවාද කියන ප්‍රශ්නය ඉතාම පැහැදිලිවම ඉස්‌මතු වෙනවා.

ජනාධිපතිතුමා මොනවා කිව්වත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම, අපරාධ නීතිය වෙනස්‌ කිරීම, බලය බෙදා හැරීම, ඒ සියලු කොන්දේසි එහි සඳහන් වෙලා තියෙනවා. අපටත් තිබුණා මේවාට එකඟ වෙන්න. එහෙම එකඟ වුණා නම් කිසිදු අසීරුවකින් තොරව එදා ජී. එස්‌. පී. ප්ලස්‌ ලබා ගන්න තිබුණා. ඒක දේශපාලන තීරණයක්‌. මේ රටේ අනන්‍යතාව, ස්‌වාධිපත්‍යය වගේම රටේ ආත්ම ගරුත්වය ආරක්‌ෂා කර ගනිමින් මේ කොන්දේසිවලට එකඟ වෙන්න බැරි වීමයි තිබුණ තත්ත්වය.මෙතන තියන කරුණ දැන් ඒවාට එකඟ වෙලා තමයි මේ සහනය යළි ලබා ගන්න යන්නේ. මේ කොන්දේසි මොනවාද කියා ජනාධිපතිතුමාට සොයා ගැනීම අපහසු කටයුත්තක්‌ නෙවෙයි.

මහාචාර්ය ජී. එල්. පීරිස්‌ 
හිටපු විදේශ ඇමැති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress