තිරසාර සංවර්ධනය: කියවීම හා භාවිතාව
Posted on January 22nd, 2017

ආචාර්ය චන්දන ජයලත්

සංවර්ධනය වූ කලි ආර්ථික හා සාමාජීය යන දෙඅංශයෙන්ම ලබන දියුණුවයි. කර්මාන්ත, මංමාවත් වගේම අධ්‍යාපන හා සෞඛ්‍ය වර්ධනයත් ඊට ඇතුලත්ය. ආර්ථිකයක් වශයෙන් උසස් ජීවන මට්ටමක් සේම විනය හා නීති ගරුක ජන සමාජයක් ද ඉන් අර්ථ නිරූපණය වෙයි. එනයින් මානුෂීය සංවර්ධනයක් බලාපොරොත්තු වෙයි. ඒ අනුව කතා කළ යුත්තේ රටේ ඉදිරි ආර්ථික හා සමාජයීය ගමන් මග පිලිබඳවයි. සංවර්ධන ඉලක්කයන් හා ඒ ආශ‍්‍රිත දේශපාලන ප‍්‍රවේශයන් පිලිබඳවයි. සංවර්ධනය වීමට ඇති ජනතාවගේ සූදානම පිලිබදවයි. ජනතාව සංවර්ධන ක‍්‍රියාවලියට පෙළගස්වා ගත යුත්තේ කොයි ආකාරයට ද යන්නයි.

සංවර්ධන අවශ්‍යතාවන් ප‍්‍රමුඛතා අනුපිලිවෙලකට ශ්‍රේණිගත කිරීම දේශපාලනයෙන් අපේක්ෂා කළ යුතු අතර පවතින සීමිත භෞතික, මානව හා මූල්‍ය සම්පත් යොදා ගැනීමේදි අවැසි ප‍්‍රශස්ත සමායෝජනය ආර්ථික විද්‍යාවට භාර කළ යුතුව ඇතැයි මම සිතමි. සංවර්ධන ආර්ථික විද්‍යාව යනු දරිද්‍රතාවයෙන් මුදවාලීම වෙනුවෙන් දරනු ලබන ප‍්‍රයත්නය පිලිබඳව කෙරෙන අධ්‍යයනයයි. එමගින් සංවර්ධනය පිලිබදව සංකල්ප පැහැදිලි කිරිම හා සංවර්ධන මට්ටම් ලබා ගැනීම සිදුවෙයි. ආර්ථික සංවර්ධනය සදහා අවශ්‍ය සාධක කවරේද යන්න තේරුම් ගැනීමට පහසුම මාර්ගය නම් රටේ ආර්ථික සංවර්ධනයට සංරෝධකයන් වන කරුණු මොනවාද යන්න හඳුනා ගැනීම බව මහාචාර්ය දයානන්ද සෝමසුන්දර පවසයිි.

ස්වභාව ධර්මයා විසින් දායාද කරනු ලැබූ සියලූම සම්පත් මහ පොලොව, ඛණිජ සම්පත්, වන සම්පත්, ජල සම්පත්, සත්ව සම්පත් ආදි සියල්ලම භූමිය නැමති සාධකයට අයත් වන අතර ආර්ථික වර්ධනය සදහා එය ඉතා වැදගත් අවශ්‍යතාවයකි. හිරු එලිය, වාතය, ජලය, පස, වෘක්ෂලතා, දේශගුණය හා කාලගුණය ද ස්වභාවික සම්පත් ගණයෙහි ලා සැලකේ. මිනිසාගේ ජෛව හා සමාජ පරිණාමය සමග එක්වූ තාක්ෂණික දියුණුව නිසා සීඝ‍්‍ර ලෙස පරිසර සම්පත් හායනය වු ආකාරයත්, එම සම්පත් භාවිතයෙන් වූ නිෂ්පාදනයෙහි හා පාරිභෝජනයෙහි අතුරු ඵල ලෙස නිපැයුණු අපද්‍රව්‍යයන්ගෙන් පරිසරය සීඝ‍්‍රව දුෂණය වූ ආකාරයත් පැහැදිලිය. අනිසි ලෙස පරිසර සම්පත් භාවිතය නිසා මතුව ඇති අන්තර් පාරම්පරීය අසාධාරණය අති මහත්ය. එය සැබවින්ම ඛේදවාචකයකි. එහෙත් අවිනිශ්චිත සංවර්ධනය නිශ්චිත තිරසාර සංවර්ධනයකට යොමු කිරිම කළ හැකිය. පරිසර භාවිතය පිලිබද මිනිස් තීරණ නිසි මගට යොමු කළ හැකි දැනුම් පද්ධතියක් සමාජ ගත කිරීම එහි අඩිතාලමයි. ඒ සදහා න්‍යායාත්මක ප‍්‍රවේශයක් පරිසර ආර්ථික විද්‍යාව මගින් සපයයි.

ඕනෑම පද්ධතියක ක‍්‍රියාකාරිත්වය රදා පවතින්නේ එම පද්ධතිය සැකසුනු උපාංගවල අන්තර් ක‍්‍රියාකාරිත්වය මතය. පරිසරයේ උප අංග ලෙස මූලික වශයෙන් භෞතික සහ ජෛව මිනිසුන් සැලකිය හැක. මහාචාර්ය හේමසිරි කොටගමයන්ට අනුව විශේෂයෙන් පසුගිය ශත වර්ෂ හතර තුල මිනිසුන් විසින් පරිසරයේ භෞතික සහ ජෛව උප අංග එහි ස්වභාවික සීමාවන් අභිබවා ප‍්‍රයෝජනයට ගෙන ඇත. ඒ හේතුවෙන් මෙම උප අංග අතර අන්තර් ක‍්‍රියාවන් හීන වී ඇති අතර එම හීනවීම සමහරවිට යලි ප‍්‍රතිෂ්ථාපනය කළ නොහැකි වන තරමටම සිදුවී ඇතැයි ඔහු පවසයි. එබැවින් පරිසරය සහ ස්වභාවික සම්පත් මත අනිවාර්යයෙන් පරාධීන වන ආර්ථික සංවර්ධනය චිරස්ථායි නොවනු ඇතැයි ද ඔහු අවධාරණය කරයි. මෙතෙක් උදාකර ගත් සංවර්ධනයේ ප‍්‍රධාන දුර්වලතාවක් නම් පරිසරය සහ මිනිසා අතර තිබූ සමතුලිත බව සංවර්ධනය වෙනුවෙන් හිලව් වීමයි. පරිසරය අධි භාවිතයට සහ ¥ෂණයට ලක් වනුයේ මිනිස් තීරණ නිසා නම් පරිසරය නැණවත්ව භාවිතාව චිරස්ථායි සංවර්ධනයේ අවශ්‍යතාවක් නම් අනිසි මිනිස් තීරණ හදුනා ගෙන එම තීරණ නිසි මගට යොමුකළ යුතු බව මහාචාර්ය හේමසිරි කොටගම අවධාරණය කරයි.

සංවර්ධිත රටවල ජනතාව අද දවසේ භූක්ති විදින සුව පහසු ජීවිතය අප කරා ද ව්‍යාප්ත වනු දැකීමට අප කැමතිය. එමෙන්ම එම සුව පහසු ජිවිතය අනාගත පරම්පරාවන්ට අත්වනු දැකීමට ද අප කැමතිය. අද දවසේ අප ලඟා කරගත් දෑ ලබා ගැනීමේ ඉඩකඩ අනාගත පරම්පරාව සදහා ඉතිරි කර තැබීමට අප කැමතිය. තිරසාර සංවර්ධනය පිලිබදව ඉදිරිපත් වී ඇති විවිධ අදහස් සහ තිරසාර සංවර්ධනය සදහා පරිසර සංරක්ෂණයේ ඇති කාර්ය භාරය කුමක්ද යන්න විමසා බැලීම වටින්නේ එබැවිනි. පරිසර පද්ධතියේ චිර පැවැත්මට ඇති තර්ජනය පිලිබඳව විමසා බැලීම වටින්නේ එබැවිනි. වත්මන් පරම්පරාව අධික සීග‍්‍රතාවයකින් නැවත ජනනය කළ නොහැකි සම්පත් නිස්සාරණය කිරිම පිලිබඳව විමසා බැලීම වටින්නේ එබැවිනි. අනාගත නිෂ්පාදන අවස්ථාවන් නොඇහිරෙන ආකාරයෙන් වර්ථමානයේ සම්පත් භාවිතා කිරිම පිලිබඳව විමසා බැලීම වටින්නේ එබැවිනි. අපි උමා ඔයෙන් පටන්ගෙන වරාය නගරය හරහා මධ්‍යම අධිවේගයට බහිමු.

උමා ඔය වනාහි මහවැලියට සම්බන්ධ දැවැන්තම ජල ධාරාවයි. මධ්‍යම කදුකරයෙන් පටන් ගෙන රන්ටැබේ ජලාශයට එක්වන උමා ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමයක් ලෙස කිරිදි ඔයට ජලය හරවා ගිණිකොන දිසාවේ වියලි ඉඩම් පෝෂණය කිරිමට සැරසෙයි. රජය සමග අත්සන් කළ කොන්ත‍්‍රාත්තුවට 85% ක වියදම් දරන්නේ ඉරාන රජයයි. එහෙත් වසර 2010 දි ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ කිසිදු පාරිසරික අධ්‍යයනයක් නොමැතිවය. පුහුල් ඔය හා මහතොටිල්ල ජලාශ අතර උමා ඔයෙන් ජලය ගෙන යන ව්‍යපෘතියට විදුලි බලාගාරයක් ද ඇතුලත්ය. ඌව වෙල්ලස්සේ හා රුහුනේ අක්කර 25000ක් අස්වැද්දිමට එමගින් බලාපොරොත්තු වෙයි. එහෙත් කැනීම් කටයුතු හේතුවෙන් පස් තට්ටු බුරුල් වී මේ වනවිටත් ගෙවල් දෙදහසකට වඩා ඉරි තැලීම්වලට භාජනය වී හමාරය. විශේෂයෙන් වැසි කාලවලදී පස් කඩා වැටීම්වල වැඩි වීමක් දක්නට ඇත. ලිංවල ජලය සිදී ඇත. දැනටමත් ජනතාවගේ ජීවන රටාවට දැඩි බලපෑමක් එල්ල කර ඇති එම ව්‍යපෘතිය ජනතා විරෝධය හමුවේ විටින් විට නතර කරණු ලැබුව ද සම්පූර්ණයෙන් නතර කළ බවක් පෙනෙන්නට නැත. වැල්ලවායේ අලිකොටආර ඔය ආශ‍්‍රිතව මුල්ගල් තැබුවේද ශක්‍යතා වාර්තාවක් නොමැතිවය. පරිසර අනුමැතියක්ද නොමැතිවය. එහෙත් ඉරාන බැංකුවෙන් මුදල් නිකුත්කර ඇත්තේ මේ වගක් නොදැනගෙන විය නොහැකිය.

ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ වෙලූම් තුනකින් යුක්ත පරිසර බලපෑම් වාර්තාව අසම්පූර්ණ බවත්, දින 30ක් වැනි කෙටි කාලයක් පමණක් මහජන අදහස් සදහා විවෘත කර තිබු බවත් විවිධ පරිසර හා සිවිල් ප‍්‍රජා සංවිධාන මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ මතු කළ බවත් අනතුරුව කොන්දේසි සහිතව පරිසර බලපත‍්‍රය පරිසර අධිකාරිය මගින් නිකුත් කළ බවත් ඒ වන විටත් ව්‍යපෘතිය ආරම්භ කර තිබු බවත් දැන් පැහැදිලි කරගෙන ඇත. මා අන්තර්ජාලය සැරිසරද්දි දැනගන්නට ලැබුනේ ශ‍්‍රි ලංකා පරිසර සංවිධානයක් වෙනුවෙන් මහාචාර්ය කලූවිතාන, තිලක් කාරියවසම් හා එස් විශ්වලිංගම් කරුණු සොයා යාමේ ව්‍යායාමයක නිරත වූ බවත් ඒ අනුව කොටවෙහෙර, උඩගම, පහලගම, පුහුල්පොල, හේගිල්ලඇල්ල, කැබිල්ලදුව, පහත මිහිරාවත්ත, මැටිකිල්ල හා මලිත්ත යන ගම් සම්පූර්ණයෙන්ම යටවන බවත් ගෙවල් බොහොමයක පදිංචිය අවදානම් බවත් හෙල් ආශ‍්‍රිතව කළ වී ගොවිතැන ට අවශ්‍ය ජලය හිදි ගොස් ඇති බවත් කිසිදු විකල්ප වාසස්ථානයක් නම් නොකරමින් වහාම පදිංචි ස්ථානවලින් ඉවත්වන ලෙස නියෝග කර ඇති බවත්, බීමට ගන්නා ජලය ¥ෂණය වී ඇති බවත් ඊට කිසිදු විකල්පයක් තවමත් ලබා දී නැති බවත් අවට බොහෝ තැන්හි මීටර් 100ක් තරම් දුරකට පස් කඩා වැටීම් සිදුවන බවත් එසේ වෙද්දි රාත‍්‍රි කාලයට ගත කරන්නේ පන්සල් පාසල්වල බවත් නිරික්‍ෂණය කර ඇත.

මීට පෙර එනම් 1991 දී කළ සක්‍යතා වාර්තාවකට අනුව ආසියානු සංවර්ධන බැංකුව මෙම ව්‍යාපෘතියට මුදල් යෙදවීම ප‍්‍රතික්‍ෂේප කර ඇති වග දැනගන්නට ලැබෙන්නේ එහි සුල මුල සොයා ගියවිට ය. කිසිදු ‘ලොකු’ බැංකුවක් මෙම ව්‍යාපෘතියට අතපෙවීමට ඉදිරිපත් නොවුයේ එමගින් සිදුවන සමාජ හා පාරිසරික බලපෑම ඉන් ලැබෙන වාසිවලට වඩා වැඩි නිසාවෙනි. මෙම කලාපයේ පසෙහි ස්වභාවය මෙවන් උමං මාර්ගයකට කිසිසේත්ම ඔරොත්තු නොදෙන බව මහාචාර්ය විතානගේ පවසයිි. බෙරගලින් පටන් ගෙන සමනල වැව හරහා ගිණිකොන දිසාවට ඇති හුණුගල් මිශ‍්‍ර පාෂාන වැටියක ජලය හා උමං මාර්ග තැනීම මීට කලියින්ද ප‍්‍රතික්ෂේප වූයේ සමනල වැව ව්‍යාපෘතියට කළ උපදේශනයක් හරහාය. එහෙත් එවක ආර් පේ‍්‍රමදාස රජය ද සමනල වැව බලෙන්ම කරන්නට වූු අතර ඉන් වසර පහක් යෑමටත් මත්තෙන් විශාල ඉරිතැලීමක් හරහා මහා ජල කඳක් පිටතට නිකුත් විය. එම ජල කඳ පාලනය කර ගැනීම් වස් පකිස්ථානයෙන් ආනයනය කළ වෙට් බ්ලැන්කටින් නමින් නව තාක්‍ෂණයක් අනුගමනය කළේය. නැවත තවත් කන්දක් පහත් කරමින් රොන් මඩ තැන්පත් කරනවාක් මෙන් සුවිසල් බාජි හරහා එම කාන්දුව ඇති ප‍්‍රදේශයට පස් මුදා හැරීමෙන් ජල කාන්දුව පාලනය කළ හැකි තත්වයට ගෙන ආහ. ඊට තවත් කෝටි ගණනක මුදලක් වැය කළ අතර එම ව්‍යාපෘතිය හේතුවෙන් එක් සුවිශේෂි දෙයක් නම් සිද්ධ විය. එනම් අලූතින් හඳුනාගත් ඉංජිනේරු යුවලකගේ විවාහයක් සිදුවීමයි. ඉංජිනේරු මංගල කාරියවසම් ට අනුව මෑතකදී මීරියබැද්ද නාය යාමටත් උමා ඔය ව්‍යාපෘතිය හේතුවන්නට ඇතැයි විශ්වාස කරයි. ඔහුගේ තක්සේරුව අනුව මහවැලි නදියේ 40%ක ජල දහරාව උමා ඔයෙන් සපයනු ලබන අතර එම ජල කඳ වෙනත් දිශාවකට හැරවීමේදි මහවැලියට සෘජු බලපෑමක් එල්ලවීම නොවැලක්විය හැකිය. ඊට වැලි මාඩු සොරනාතොට බෙත්මුඩිල්ල ආදී ගොවි ජනපද වලට ද සෘජු බලපෑමක් එල්ලවෙයි.

වරාය නගරය ගැනද සදහනක් කිරීම වැදගත්ය. චීන ආයෝජකයන් විසින් ආයෝජන මණ්ඩලයට කර ඇති ව්‍යෘපෘති යෝජනාවක් හමුවන්නේ වසර 2015 දීය. එ් කිසිදු තාක්ෂණික මූල්‍ය හෝ සමාජීය ශක්‍යතාවයක් නොමැතිවය. ඉංජිනේරු චන්න ප‍්‍රනාන්දුට අනුව (සන්ඬේ ටයිම්ස් 2015.04.05* මෙහි වැඩ පටන් ගන්නා විට ඊට අදාල යටිතල පහසුකම් සම්බන්ධ සැලැස්මක්වත් නොතිබුණේය. ඊට අදාල සැලැස්මක් පසුකාලීනව නාගරික සංවර්ධන අධිකාරිය හරහා ආයෝජකයා වෙත ලබා දී තිබෙන්නේ අවශ්‍ය සංශෝධන එක්කිරිම සදහාය. අවිධිමත් කොළඹ නගරයට විධිමත් බවක් එක්කිරිම එහි මුඛ්‍ය පරමාර්ථයක් බැව් මුලදී කියවුණි. ශ‍්‍රි ලංකාවේ පරිසර පටිපාටියට අදාල වන්නේ වසර 2000 දී සංශෝධිත නවසිය 98, අංක 56 දරණ ජාතික පරිසර පනතයි. ඊට අනුව ව්‍යාපෘතියකට අදාල මූලික තොරතුරු ව්‍යාපෘති ආයෝජකයා විසින් මධ්‍යම පරිසර අධිකාරියට ලබා දිය යුතුව ඇත. මධ්‍යම පරිසර අධිකාරිය සෑහිමකට පත්වන තුරු ඊට අනුමැතිය නොලැබෙයිි. වරාය නගරය සම්බන්ධව වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව ද හවුල් වෙයි. එම කාර්යභාරය තුල අතපසුවීමක් සිදුවී ඇත්දැයි පැහැදිලි නැත්තේ විටින් විට වැලි ගොඩ දැමීම පිලිබදව ඇතිවූ මැසිවිලි නිසාය. ආයෝජකයා විසින් මුලදී අක්කර 300ක පමණ ප‍්‍රමාණයක් පමණක් යෝජනාවලිය තුල ඉදිරිපත් කර තිබියදී තවත් අක්කර 200ක් පමණ ඊට එක්කර ගනිමින් මුලූ ගණන අක්කර 500කුත් අනෙකුත් ජලමාර්ග පද්ධතියන් සමග අක්කර 1200ක් දක්වා පුඵල් වපසරියකට කිසිදු පාරිසරික අධ්‍යයනයක් නොමැතිව ව්‍යාපෘතිය කරගෙන යාමට අවශ්‍ය අවකාශය ලබා ගැනීමම පවතින ක‍්‍රමවේදය අභිබවා යාමක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. නිවැරදි දත්ත නොතිබුණත් අඩුතරමින් කියුබික් මීටර් මිලියන 200ක් පමණ ප‍්‍රමාණයක වැලි කන්දරාවක් මීට අවශ්‍යය වෙයි. කියබික් මීටර් මිලියන 4 කට ආසන්න කඵ ගල් අවශ්‍ය වනු ඇත. මෙය හෙට දිනයේ සංවර්ධනයට ගත හැකිව තිබෙන ස්වභාවික සම්පත් මුහුදට යට කිරීම හරහා විදේශීය පුද්ගලික ආයෝජකයන්ට පුද කිරිමයි. ව්‍යාපෘතියට අවශ්‍ය ජලය හා විදුලිය ලබා ගැනීම පිලිබදව ද ගැටලූ ඇතිවී ඇත. තවද වසර 85ක් පැරණි කොළඹ මෝදර හා වැල්ලවත්තෙන් එලියට එන කැසිද්‍රව්‍ය කිසිදු පිරිපහදුවකින් තොරව මුදා හැරිම කවදුරටත් ශක්‍යතාවකින් තොර බව වෘත්තීයවේදින් කියා තිබියදීත් වරාය නගරයෙන් නිකුත් කරන මලපහ කලමණාකරණය තවත් ජාතික හිසරදයක් බවට පත්වනු නොඅනුමානය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ආචාර්ය ගාමිණි ජයතිස්සට අනුව රටේ භූමියෙන් 20%ක් කදු සහිත හා ගල් සහිත පසක් ඇති අතර එහි ජනගහනයෙන් තුනෙන් පංගුවක්ම පදිංචිව සිටිති. කිසිදු කලින් දැනුම් දීමකින් තොරව ගල් බෝර දමා ගම්වාසීන් බිය ගන්වා ගෙවල් අතහැර යාමට අවශ්‍ය පරිසරය සකස් කරන්නේද එම කර්මාන්තයන්හි නියැලි ව්‍යාපාරිකයන්ම ඔහු පවසයි. සමස්ථ සංවර්ධන ප‍්‍රමුඛතාවන් සමග ගැලපීමේදි මෙය කොතරම් අසමතුලිත හා අකාරුණික කාරණාවක් බව මොනවට කියා පායිද?

අනාගතය සදහා ක්‍ෂය නොවන සම්පත්වලින් ඉතා සීමිත ප‍්‍රමාණයක් පමණක් තබා එය ඉහල විද්‍යාත්මක දැනුම් සම්භාරයකින් හිලව් කළ හැකි යැයි සිතීමද මහා මුලාවකි. පරිසර පද්ධතියක ස්ථායිතාව සහ දිරිය ස්වභාවය කාලයත් සමග නොවෙනස්ව පවත්වා ගැනීමට අවශ්‍ය අවම තත්ත්වයන් සැපිරි පවතින්නේ නම් එය තිරසාර සංවර්ධනයක් ලෙස සැලකේ. වඩා ලිහිල් අර්ථයකින් ගෙන බැලූ විට තිරසාර බව තක්සේරුකර ඇත්තේ පවතින පරිසර පද්ධතියේ ලක්ෂණ සහ ව්‍යුහය පවත්වා ගෙන යාමට ඊට ඇති හැකියාව අනුවය. පරිසර පද්ධතියක් සතුව ස්වයංව සකස්වීමේ හැකියාවක් ඇතැයි පරිසර විද්‍යාඥයින් විස්වාස කරති. මේ ස්වයං සකස්වීම භාහිර පරිසරයේ වෙනත් කඩාකප්පල්කාරී බලයන් සමග තුලනයට පත්ව තිබේද? කොහෙත්ම නැත. අනාගත නිෂ්පාදන අවස්ථාවන් තබා වර්ථමානය විසින් පවත්වා ගෙන යනු ලබන සුභසාධන මට්ටම් නොඇහිරෙන ආකාරයෙන් වර්ථමානයේ සම්පත් භාවිතා කිරිමක් පෙනෙන්නට නැත.

නවසිය අනුව මුල භාගයේදී කණ්ඩලම හෝටල සංකීර්ණය තැනුවේ පොලිස් ඒකකයක් එම වැඩ බිම තුල පිහිටුවීමෙන්ය. වැව් තාවුල්ලේ බහු ජාතික හෝටලයක් තනා ඒ පලාතකටවත් රට වැසියෙකුට අවසරයකින් තොරව අඩියක් ගසන්නට බැරිවුණ එම ව්‍යාපෘතියෙන් ගමට සිදුවුණ සෙතක් නැත. ගමේ මිනිස්සු හෝටලයට යන මග තැන තැන බෙලි, දිවුල් මලූ රැුගෙන මහ දවල් මග දෙපස උඩ බලා ගෙන සිටිති. ලංකාවේ මෑත කාලයේ අතගහපු සියඵ ව්‍යාපෘති අසාර්ථකය. සමනල වැව, නොරොච්චෝලේ, උමා ඔය කදිම නිදසුනකි. රටක සංවර්ධනය යනු හුදෙක්ම රජය විසින් ම දියත් කල ව්‍යාපෘති පමණක්මද? පුද්ගල මට්ටමින් කළ හා කෙරෙන දායකත්වය රටේ සංවර්ධනය නොවේද? එය විදේශ රටකින් එවන ලද මුදල් විය හැකිය. එය දේශීයව ඉතිරිකර ගත් මුදලක් විය හැකිය. බැංකු ණයක් විය හැකිය. මේ මොන ක‍්‍රමයෙන් හෝ ඉදිකරන ලද මං මාවත් ප‍්‍රජා ශාලා ගොඩනැගිලි රටේ සංවර්ධනය නොවේද? එහෙත් සිදුවන්නේ හුදු නීති රීති තුල පමණක් පිහිටමින් හැකිනම් ඒ්වා අවභාවිතාවට ලක් කරමින් ඒකමතික හා අන්තනෝමතික තීන්දු ගැනීමයි. පොදු සංවර්ධනය පසෙක තබා එක් කාරණාවක්ම ඔලූවෙ තබා ගෙන තනි තනි වශයෙන් ඒ ඒ විෂය භාර ඇමතිවරු ක‍්‍රියා කිරිමයි. හිතුුුමනාපෙට තීරණ ගැනීමයි. එහෙත්් රටේ සංවර්ධන අවශ්‍යතාවක් හඳුනා ගෙන ඒවා ප‍්‍රමුඛතාවයකට අනුව පෙළ ගස්වා ගෙන ඊට ජනතාවගේ සහයෝගය ඇතිව සිදුවන්නේ නම් ජනතාවට විරුද්ධවීමට හේතුවක් නැත.

මනා ලෙස ඉදිකරන ලද ගෙවල් දොරවල් මෙන්ම වසර 100කටත් වඩා පැරණි අපේ දේශීය වාස්තුවිද්‍යාව පිලිඹිබු වන ඵෙතිහාසික වටිනාකමින් යුත් නිවාස පවා සමතලාවන අධිවේගවලින් ඇති ඵලය කිම? අවසානයේ ඉතිරි වන්නේ වේගය පමණි. කාලය ඉතිරි කරගත් රොබෝ රැුලක් පමණි. මේ කිසිවත් අධිවේගි සැලසුම් තුල සලකා නොබැලීම මොන තරම් පාපයක්ද? මෙය සිදුවන්නේ සමස්ත සැලසුම් ක‍්‍රියාවලිය ගූගල් තාක්‍ෂණයට බාරදීමෙන්ය. මහ පොලොව මත ඉරි අදින්නේ කොළඹ සීතල කාමරයක කොම්පියුටරයක ආධාරයෙන් එකම එක සැලසුම් ඉංජිනේරුවරයකු අතින්ය. එය මහ පොලොව මත දිග හැරෙද්දී සිදුවන පාරිසරික හා සාමාජීය අකටයුතුකම් නොගැලපීම් යනාදිය ගූගල් තාක්‍ෂණයට ගෝචර නොවනු ඇත. සැලසුම් කරන්නේත් ඒවා වෙනස් වන්නේත් දේශපාලන හයිය මත පමණක් නම් තිරසාර සංවර්ධනය නමැති ඒ මහා සුවිසල් මානවවාදී කථාන්තරය හුදෙක් පශ්චාත් උපාධි නිබන්දන හා විදේශ සම්මන්ත‍්‍රණවල ආකර්ශනීය තේමා පාඪයකට පමණක් සීමා වී පවතිනු ඇත. මිලියන හා බිලියන ගණන්වල ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාවට එතරම් සංවේදිතාවයක් නැහැ වගේම ජනමතය උරගා බැලීමේ ක‍්‍රමවේදයකුත් ක‍්‍රියාත්මක නොවීම, එම ව්‍යාපෘතිවල දිගක් පළලක් තේරුම් ගන්නට බැරිවීම, තම ගම් බිම්, ඉඩකඩම්, දේපල නැතිවී යාම නිසා දැනෙන අනාරක්ෂිතබව හා මානසික ආතතිය, තම ප‍්‍රශ්ණ ඉදිරිපත් කර විසඳුමක් ලබා ගැනීම පිණිස අවශ්‍ය සක‍්‍රීීය දේශපාලන මැදිහත්වීමක් නැතිවීමත් යන කරුණු නිසා ජනතාව වීදිවලට බැසීම නොවැලැක්විය හැකිය. රටේ අවශ්‍යතාවන් පෙළගැස්ම සම්බන්ධයෙන් සාකල්‍යමය ප‍්‍රවේශයක් ගත යුත්තේ එබැවිනි.

වෙළදපල ආර්ථිකය තුල සම්පත් භාවිතය පිළිබඳ තීරණ ගන්නේ මිල සලකා බලාය. වෙලදපල ආර්ථිකයේ මිල තීරණය වීමේදි විශේෂයෙන් පරිසර හා ස්වභාවික සම්පත් පිළිබද මිල බොහෝ විට අවතක්සේරු වේ. පරිසර සම්පත් හා සේවාවල මිල අවතක්සේරුවීමකට ලක් වනුයේ එම සම්පත් භාවිතය මගින් ඇති කරනු ලබන සමාජ පිරිවැය පුද්ගලික තීරණවලදී නොසලකා හැරෙන නිසාය. මෙය වෙළදපල අකාර්යක්ෂමතාවයක් ලෙස ආර්ථික විද්‍යාව තුල හඳුන්වනු ලැබූවද රටේ පොදු ව්‍යාපෘති සම්බන්ධයෙන් ද එය වලංගු වන්නේ නම් එය දේශපාලන අකාර්යක්ෂමතාවයක් ලෙස හඳුන්වනු ලැබීම සාධාරණය.

පරිසර ආර්ථික විද්‍යාවේ අරමුණ වනුයේ පරිසර සම්පත් භාවිතා තීරණ ගැනීමේ අකාර්යක්ෂමතා හඳුනා ගැනීමත් ඒ සදහා ප‍්‍රතිකර්ම යෝජනා කිරිමත්ය. වෙනත් වචන වලින් කිවහොත් පරිසර ආර්ථික විද්‍යාවේදි උත්සාහ කරනුයේ වෙළඳපල අකාර්යක්ෂමතාවයන් මගින් විකෘති කරන ලද මිලට පාරිසරික අගයක් අන්තර්ගත කර යථා අගයන්ට පත් කිරිමයි. සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අඩුවන වනගහණය යළි ප‍්‍රථිස්ථාපනය කර ගැනීමත් එක් පැතිකඩකි. තම කටුම්භය, බව බෝග, ගහ කොළ, සතා සිව්පාවා, අව්ව, වැස්ස, පින්න, නාන තොට මේ කිසිවක් මිල කල නොහැකිය. එය තරමකට හෝ සමනය කළ හැක්කේ ‘ගසට ගසක් ’යන තේමාව මුල් කොට ගත් දැඩි පරිසරවාදී ප‍්‍රතිපත්තියක පිහිටා වැඩ කළහොත් පමණි. වෘක්‍ෂ සංගණනයක වැදගත්කම මතුවන්නේ එ් නිසාය.

රටක ජනතාවක් රටකින් බලාපොරොත්තු වන මූලික කරුණු තුනකි. සාමය, සංවර්ධනය හා අභිමානය. ඒ සදහා යන ගමන ජනතාවගෙන් වෙන්ව යන ගමනක් නම් එය හිතුවක්කාරකමකි. එය සංවර්ධන ත‍්‍රස්තවාදයකි. මේ වන විට ප‍්‍රාදේශිය දේශපාලන අධිකාරිය මුලූ ගැන්වී ඇත. නිළධාරීන්ගේ රොබෝමය ප‍්‍රවේශයත් පොතේ ගුරු රාජ්‍ය පරිපාලනයේ ඇ`ග බේරා ගැනීමේ වැඩ සංස්කෘතිය තුල ජනතාවට බලාපොරොත්තු විය හැකි උත්තරයක් නැත. සංවර්ධනය ජනතාව වෙනුවෙන් නම් ඊට ජනතාව හවුල් කර නොගන්නේ මන්ද? එහෙත්් සියලූ ජනතා විරෝධී රැුලි හමුවේ පවතින පාලකයින් කීවේ එහි පිටුපස අදිසි දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක බවයි. බොරු හතුුරෙකු මවා ගෙන ඊට ගල් ගසන කලාවක් අපි අත්විඳිමු.

One Response to “තිරසාර සංවර්ධනය: කියවීම හා භාවිතාව”

  1. S.Gonsal Says:

    Agree with what has been said here.

    සංවර්ධනය ජනතාව වෙනුවෙන් නම් ඊට ජනතාව හවුල් කර නොගන්නේ මන්ද?

    Because there is no “ජනතාව” in Sri Lanka.
    “ජනතාව” has been a world created by politician for the politician.
    They use the words such as,
    “ජනතාව ඉන්නේ අපසමගයි” – it means thier henchaiyyaa’s are behind them.
    “ජනතාව අපට බලය දී ඇත​ ” – it actually means their henchaiyayas managed to win votes
    “ජනතාව පෙලගැස්සිය යුතුය​” – it actually means they have to brain wash some scarificial lambs for them to hide inside to create trouble
    “ජනතාවගෙන් අදසහ් විමසිය යුතුය​” – it actually means thier henchaiyas should see whenther they will ge a cut

    Most important task of organising of bodies representing “real ජනතාව” will have to be given priority right now.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress