නවක වදය පිළිබඳව  මනෝ විද්‍යාත්මක විග්‍රහයක්   
Posted on January 22nd, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

නවක වදය ඉතා බහුලවම සිදු වන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ සරසවිවල​ය. බටහිර රට වල විශ්ව විද්‍යාල තුල ලංකාවේ සහ ඉන්දියාවේ මෙන් බහුලව පැතිරී ගිය නවක වද නැත​. යම් ලෙසකින් Bulling , Hazing වැනි තත්වයන් මතු වුවහොත් නීතිමය පියවර ගැනේ.   උසස්  අධ්‍යාපන  අමාත්යාංශය පෙන්වා දෙන පරිදි මේ වන විට නවක වධය නිසා නවකයන් 20 ක් මරු  දැක   27000 ක් සරසවි හැර ගොසිනි. 

සිසුන් නවක වදයට යොමු වන්නේ මන්ද ? මේ සඳහා බහුවිධ කාරනා තිබේ. මූලික වශයෙන් නවක වද වධකයන් සතු පොදු ලක්‍ෂණ කීපයක් තිබේ. මේ හේතූන් නිසා නිරායාසයෙන්ම ඔවුන් අන්‍යන්ට වධ දීමෙත් තෘප්තියක් ලබා ගැනීමට පෙලඹෙති.

1) හීනමානය (හීනමානය මතුවන්නේ කුල පීඩනය / දරිද්‍රතාව / සමාජ අවස්ථා අඩු බව / ශරීරගේ අඩුපාඩු නිසා මතු වන ඩිස්මෝර්ෆික් තත්වය Body dysmorphic conditions)

2) පෞරුෂ අක්‍රමතා (anti social personality / borderline personality)

3) ළමා කාලයේ කාංසාමය තත්වයන්ට යොමු වී තිබීම. ​ මාතෘ / පීතෘ දුර්ස්ථකරණයට ලක් වීම (maternal or paternal deprivation) , අපයෝජනයන්ට ලක්වී තිබීම

4) බාහිර ක්‍රියාකාරකම් නිර්මානශීලීතාව වැනි දක්‍ෂතා අඩු බව, අව ආත්ම සම්මානය ( poor self-esteem)

5) කන්ඩායම් තත්ව වලදී ඉස්මතුවීම සඳහා දරන ප්‍රයත්නය කැපී පෙනීම​ට අන් අයගේ අවධානයට ලක් වීම සඳහා ඕනෑම අවධානමක් කර ගැසීම. කැපී පෙනීම සඳහා ඇති අත්‍යන්ත යොමුව

6) තමන් කෙරෙහි (self loathing) මෙන්ම සමාජය කෙරෙහි ඇති වෛරය
7) සාමාජීය හුදකලභාවය සහ එය වසන් කිරීමට දරන අධි ප්‍රයත්නය

8) අන්තවාදීබව සහ ධ්‍රැවගත චින්තනය ( සියල්ල කලු සුදු ලෙස දැකීම​) (polarized thinking)

9) අඩු සහනුභූතිය (lack of empathy)

10) පරපීඩා කාමුකත්වය (sadism)

නවක වදය සංකීර්ණ ක්‍රියාවලියකි. වින්දිතයා නවක වදයට පත් කිරීමෙන් බලය සහ ආධ්‍යපත්‍ය පැතිරවීම​, වින් දිතයාගේ පූර්ණ එකඟතාව අපේක්‍ෂාව , වින්දිතයාඅවමන් සහගත පත් කිරීම සිදු කෙරෙන අතර මෙයින් වධකයා තම හීනමානතා සංකීර්ණය සන්තර්පන කර ගැනීමත් බිඳී තිබෙන තමන් ගේ අහංභාවය (Ego ) ප්‍රතිසමාධානය කර ගැනීමටත් උත්සුක වෙයි. මේ හැර මූලික වශයෙන් වින්දිතයා නවක වදයට පත් කිරීමෙන් වධකයෝ අවිඥානික මෙන්ම බොහෝ විට සවිඥානිකව ලිංගික තෘප්තිය ලබති. නවක වදයට ලක් වීමෙන් පසු වින් දිතයා තුල කෝපය , අපේක්‍ෂා භංගත්වය , ආකූලතාව , බිය , ආත්ම ගෞරවය කෙලසීගිය ස්වභාවය , යටත් වීමේ මානසිකත්වය , වධකයා සමග ක්‍රෝධය මෙන්ම අවනත බවද පහළ විය හැක​.

සමහර විට නවක වදයට ලක්වූ වින්දිතයන් නවක වදය කෙරෙහි මෙන් ම තමන්ව වධයට පත් කල වධකයන් කෙරෙහි ආශක්තවීම මෙන්ම නවක වදය සොඳුරු අත්දැකීමක් ලෙසට අර්ථ කතනය කිරීමත් දක්නට ලැබේ. මෙම සංසිද්ධිය ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය ලෙස හැඳින් වේ. (Stockholm syndrome (also known as “terror bonding” and “traumatic bonding”) is a psychological tendency of a hostage to bond with, identify with, or sympathize with his or her captor. This syndrome can be seen as a form of traumatic bonding). සංක්‍ෂිප්තව දැක්වීමේදී ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය යනු පීඩිතයා විසින් පීඩකයා කෙරෙහි ඇති කර ගන්නා අසාමාන්‍ය බැඳීමයි. ස්වයං වධ බන්ධන ලැදියාව මෙන්ම තම වධකයන් කෙරෙහි ඇතිවන අවිඥානික ලිංගිකව ඇල්මද මේ සඳහා හේතු කාරක වේ. 
 නවක වදය නීරෝගී චරියාවක් නොවේ. නවක වදය කායික මානසික රෝග ඇති කරවයි. නවක වදය නිසා විශාදය (Depression) , භීතිකාවන් (phobias) , පශ්චාත් ක්ලමථ ව්‍යසන අක්‍රමතාව (PTSD) , සමායෝගී ආබාධ (Adjustment Disorder) වැනි මානසික ආබාධ ඇති විය හැකිය​. එසේම අතුරු ආබාධ බොහෝ කාලයක් පවතියි. මේ හැර භංගුර (vulnerable) පුද්ගලයන් අතර මනෝ ව්‍යාධික (psychotic) තත්ව එනම් භින්නෝන්මාදය (Schizophrenia) , අධි තීව්‍ර මනෝ ව්‍යාධි (Acute Transient Psychotic Disorders) වැනි මානසික රෝග වලට ලක්වීමේ ප්‍රවනතාවන් ද නිරීක්‍ෂණය කොට තිබේ.

නවක වදය ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධ වරදක් වන අතර නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වන්නකුට වසර 10ක් දක්වා සිර දඩුවමක් වුවද නියම කළ හැක. නමුත් නීතිය මගින් පමණක් නවක වදයට තිත තැබීම අසීරු කරුණකි. ඒ සඳහා සිසුන් මෙන්ම සරසවි ආචාර්‍යවරුන් තුල ආකල්පමය වෙනසක් ඇති කල යුතුය​. නවක වදයව්‍යාධිජනක සංසිද්ධියක් බව සහ වින් දිතයන්ට මෙන්ම වධකයන්ටද මනෝ ප්‍රතිකාර අවශ්‍ය බව සමාජය විසින් තේරුම් ගත යුතුය​.

 

වෛද් රුවන් එම් ජයතුංග 

2 Responses to “නවක වදය පිළිබඳව  මනෝ විද්‍යාත්මක විග්‍රහයක්   ”

  1. Christie Says:

    අපේ ඉහලින් ඉගෙනගන්නා තැන්වල නවක වදය වැඩියෙන්ම තිබේ.
    මෙය වැඩ්ඩියෙන්ම ඇත්තේ සින්හලයන් අතරය.
    රුවන් කියන්නා මෙන් සින්හලයන්ගේ හීනමානය මෙයට ලොකුම හේතුව විය හැක.

  2. vichara2 Says:

    A factor not given much thought is that it is the victims of the last rag which impose a worse rag on the freshers. They cannot give it back on the seniors. So they transfer the anger and the frustration on the new comers. If ragging is to be reduced one has to work with the freshers and convince them not to react when they become seniors.
    It happened once in one of the residential Halls in Peradeniya during 1954 to 57.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress