දැනුවත් සමාජයක් උදෙසා වෘත්තීයවේදියාගේ කාර්යභාරය
Posted on January 24th, 2017

ආචාර්ය චන්දන ජයලත්

මහ මග ගමන් ගද්දී අසල සිදුවන මෝටර් රථ අනතුරක තුවාලකරුවන් බේරා ගැනීම සදහා යම් ප‍්‍රයත්නයක් දරණ අවස්ථාවකදී එම තුවාලකරුවන්ට නිසි ප‍්‍රථමාධාරයක් දීමට නොහැකිවීම සම්බන්ධයෙන් වගකීමක් පැහැර හැරීමක් ලෙස යම් පුද්ගලයෙකුට එරෙහිව නීතිය ඉදිරියේ අර්ථ නිරූපනය කරගැනීම අසීරු වුවත් එම පුද්ගලයා වෘත්තියෙන් වෛද්‍යවරයෙක් නම් තත්ත්වය ඊට වඩා බොහෝ වෙනස් වනු ඇත. මන්ද, වෛද්‍යවරයෙක් එවන් අවස්ථාවකදී හැසිරිය යුතු ආකාරය රටේ සාමාන්‍ය පුරවැසියෙකු හැසිරෙන ආකාරයට වඩා වෙනස්වන බව පිලිගත් වෘත්තීය මූලධර්ම පිරික්සාලීමේදී පැහැදිලි වෙයිි. ලත් අධ්‍යාපනය, පුහුණුව හා විශේෂඥතාවය හරහා වෘත්තීයවේදියෙකුට තම අභිමතය පාවිච්චි කිරිමට හැකියාවක් ලැබේ. මිනිසුන් වෘත්තියවේදින් මත යැපෙන්නේත් විශ්වාසනීයත්වයක් ඇතිකර ගෙන තිබෙන්නේත් ඒ අනුවය.

වෘත්තියවේදියෙකු හැසිරිය යුත්තේ තම වෘත්තීය ප‍්‍රජාවට ගැලපෙන විදිහටය. එහි සම්මත හැසිරීමක් ඇත. සද්භාවයෙන් ක‍්‍රියා කිරීමටත් තමනට කළ නොහැකි දේ නොකිරීමටත්, කළ යුතු දේ කිරීමටත්, නොදන්නා දේ නොකීමටත්, දන්නා දේ නොපැකිළිව ඉදිරිපත් කිරීමටත්, මැලි නොවිය යුතුය. වෘත්තියවේදියාගෙන් රටක් ජනතාවක් බලාපොරොත්තු වන්නේ එයයි. එහෙත් එකම විෂයයක් ප‍්‍රගුණ කළ මහාචාර්යවරු දෙදෙනෙක් රූපවාහිණියක් ඉදිරිපිට දෙවිදිහකට කතා කළ වග අපි පසුගිය මැතිවරණ සමයේ අත්දුටුවෙමු.

ආර්ථික විද්‍යාව පිලිබඳ එක් මහාචාර්යවරයෙක් පවත්නා රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය ඉතා සුභවාදී ලෙසත් අනෙක් මහාචාර්යවරයා දැඩි දෝෂසහගතවත් කතා කරද්දී පේ‍්‍රක්ෂකයින්ට සිදුවන්නේ තම තම නැණ පරිදි හෝ තම පොකට්ටුවට දැනෙන පරිදි අවැසි තීන්දු ගැනීමටය. මොවුන් දෙදෙනාම කළ යුතුව තිබුනේ ජනතාවට සාවද්‍ය තීන්දුවක් ගැනීමට ඉවහල්වන අන්දමින් ඒ ඒ දේශපාලන පාර්ශවකරුවන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තීන් පිලිබඳව ආදේශපාලනික හා විද්‍යාත්මක විචාරයක නියැලීමයි. ජනාභිලාශයන් ආරක්ෂා වන්නේ එවිටය. වෘත්තීයවේදියෙක් ප‍්‍රථමයෙන් තම ස්වාමියාටත් දෙවනුව තම වෘත්තිය ප‍්‍රජාවටත් තෙවනුව හා අවසන්ව සමස්ථ ජනතාවටත් යම් වගවීමක් දරයි.

වෘත්තීයවේදින්ගේ හැසිරීම පිරික්සීමේදි ගන්නා සම්ප‍්‍රදායි ප‍්‍රවේශය නම් ඒ ඒ වෘතීන්ට අදාලව පිලිගත් සම්මුතීන් තුල පිහිටා තම වගකීම ඉෂ්ඨ කළාද යන වග සොයා බැලීම වුවද ඉන් බැහැරව වෙනත් දිසානතියන් කෙරෙහි මේ වනවිට අවධානය යොමුවී ඇත. එනම් ජන සමාජය විසින් ඒ ඒ වෘත්තීන්ගේන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන වග පිරික්සා බලීමයි. යම් වෘත්තියවේදියෙකු එකී අභිලාෂයන්ගෙන් ව්‍යුත්පන්නව හැසිරෙන්නේ නම් තව දුරටත් ඔහු සමාජයට අදාලවන පුද්ගලයෙක් බවට නොසලකනු ලබයි. වෘත්තියවේදින්ට එරෙහිව අභියෝග කිරීම හා උසාවි යාම දැනුවත් සමාජයක දක්නට ලැබෙන්නේ ඒ අනුවය.

සුප‍්‍රකට ලන්දේසි වාස්තු විද්‍යාඥයකු වූ ජෝන් වැන් ලාස්ජන් ට අනුව එම වෘත්තීයවේදින් කොටස් දෙකකට අයත් වේ. එක් කොටසක් තනි පංගලමට කැමති රදලයින්ට සේවය කරන සැඟවුණ නිර්මාණකරුවන්ය. අනෙක් කොටස ජනහිතවාදි නිර්මාණ ශිල්පීන්ය. දෙවැනි කොටස ජනතාව සමග සමාජ කොන්ත‍්‍රාත්තුවකට එළඹ ඇත. එහෙත් අප රටේ නම් එවැනි බොහෝ ගිවිසුම් එක පැත්තකට ඇලවී ඇත. කොටින්ම අසමබරය. එහි අමතනු නොලැබූ වැදගත්ම අංශය නම් ජනතාවගේ අභිලාෂයන්ය. මහජන අයිතිවාසිකම් පිලිබඳ කතිකාවතයි. යහපාලනයේ එන සහකම්පනයයි. අනෙකාගේ වේදනාව නොතේරෙන වෘත්තියවේදියා තම හෘද සාක්ෂිය ද වල දමා ක‍්‍රියා කරයි. එහෙත් සැබෑ වෘත්තියවේදියා දැනුවත් සමාජයක් වෙනුවෙන් ක‍්‍රියාකරයි.

වෘත්තියවේදියාට භාහිර පාර්ශවයන් (රජය ඇතුලූව* ගන්නා වූ තීරණ සම්බන්ධයෙන් විවේචනයක් දැරිමත්, විරෝධාකල්ප නොවලහා ප‍්‍රකාශයට පත් කිරිමටත්, විකල්පයන් ඉදිරිපත් කිරිමටත් අයිතියක් ඇත්තේය. හදවතට එකඟ නැති දැ නොකිරීමටත් ඊට විරුද්ධ වීමටත් වෘත්තියවේදියෙකුට ඇති අයිතිය නීතිය ඉදිරියේදී පිලිගෙන ඇතිවා පමණක් නොව වෘත්තියවේදියාට අවශ්‍ය ප‍්‍රතිශක්තිය පවා නීතිය මගින් තහවුරු කර ඇති සමාජයක් දැනුවත් සමාජයකි. මහජන සුභසිද්ධිය ට හා සමාජ ප‍්‍රගමනය ට හානි දායක කවර හෝ තීන්දුවකට එරෙහිව මහජනතාව දැනුවත් කිරිමටත්, සංඥා එලි නිකුත් කිරිමටත් වෘත්තියවේදියාට හැකිවිය යුතුය. ඒ සඳහා කසේරුකාවක් තිබිය යුතුය. අද සමාජය බලාපොරොත්තු වන්නේ එවන් වෘත්තීයවේදින්ය. නිහඩ වෘත්තියවේදියා ඉඳ හිට ගොනුන් බැඳ තැබීමට උපයෝගී කරගන්නා වෙලක හිටවපු ඉන්නක් ගානය.

පසුගිය දශකය තුල මුඵ ලොව පුරා ස්වභාවික විපත් හේතුවෙන් මියගිය ගණන ආසන්නව එක් ලක්ෂ හය දාහකි. දැරූ සමාජ පිරිවැය ඩොලර් බිලියන එකසිය හැට පහකි. අතීතයේදි සිදුවූයේ ව්‍යවසනවලට ප‍්‍රතිචාර දැක්වීම මිස ඉදිරිය ගැන විමසා අවශ්‍ය ක‍්‍රමෝපායන් සැලසුම් කිරීම නොවේ. එහෙත් නවීන තාක්ෂණය පදනම් කොට ගෙන ඒවා පුරෝකථනය කිරිමට ඒ ඒ ක්‍ෂේත‍්‍රයන්හි විශේෂඥයින්ට නොහැකි වුයේ මන්ද යන්න ගැටලූවකි. වෘත්තියවේදින් අත ලොකු අතපසුවීමක් තිබුණා ද යන්න සැක සහිතය. සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් එතරම් කතිකාවතක් හෝ විචාරයක් වෘත්තියවේදීන් අතර පවා දක්නට නොලැබීමත් කණගාටුවට කරුණකි.

ඉංජිනේරුවන්, භූ ගර්භ විද්‍යාඥයින් හා පරිසරවේදීන් ශ‍්‍රි ලංකාවේ බල ශක්ති අර්බුදය සම්බන්ධයෙන් වන කතිකාවට ද සපයා ඇත්තේ ඉතා අඩු දායකත්වයකි. පසුගිය දෙවසර තුල වැඩිම මාධ්‍ය ආවරණයක් ලැබූ බරපතලම මතෘකාව වූයේ ඉදිකිරිම් ව්‍යාපෘති තුල ඇස්තමේන්තු, කොන්ත‍්‍රාත් පිරිනැමීමේ ක‍්‍රියාවලිය මෙන්ම විගණනය පිලිගත් සමුමුතීන්ගෙන් බැහැරව ක‍්‍රියා කළ බවට කළ දැඩි දෝෂාරෝපනයයි. එහෙත් ව්‍යාපෘතීන්හි වැය පක්ෂය පිලිබදව ශ‍්‍රි ලංකාව තුල ඇති එකම වරලත් වෘත්තීය ආයතනය වන ශ‍්‍රි ලංකා ප‍්‍රමාණ සමික්ෂකයින්ගේ ආයතනය ඒ සම්බන්ධයෙන් අදහස් පළකිරීමට දැඩි පසුගාමිත්වයක් දැක්වූහ. ව්‍යාපෘතින්හි අගයන් වෙනස් වීමකට තුඩු දෙන ආර්ථික හා තාක්ෂණික කරුණු පිලිබඳව යම් ශාස්ත‍්‍රීය, විධිමත්, අදේශපාලනික හා විද්‍යාත්මක කතිකාවතක් ජන සමාජය තුල ඇති කිරීමට පුරෝගාමිත්වය ගත්තා නම් බොහෝ දුර්මත වෙනස් වන්නට ඉඩ තිබුණි.

සුවිශේෂී අවස්ථාවන් දෙක තුනක් හැරෙන්නට සමස්ථයක් හැටියට ජාතික ගැටලූ හමුවේ වෘත්තීයවේදින් දැරූ දේශපාලනමය මත ගැටුම හා නිහඬතාවය නිසාවෙන්ම මානව අයිතිවාසිකම් ඉතාමත් සැහිසි ලෙස කඩවීමකට ලක්විය. තවද වෘත්තියවේදී ආයතන තම සාමාජිකත්වය සම්බන්ධයෙන් දක්වන ඇල් මැරුන ප‍්‍රතිචාර හමුවේ වෘත්තිය මාෆියාවට උත්පේ‍්‍රරණයක් සැපයුන අතර රාජ්‍ය නිලධාරිවාදය ද උසි ගැන්වීමකට ලක්විය. ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා අද දවසේ වෘත්තීයවේදියාගේ කාර්යභාරය පිලිබඳව වඩාත් ගැඹුරින් විමසිය යුත්තේ ඒ නිසාය.

One Response to “දැනුවත් සමාජයක් උදෙසා වෘත්තීයවේදියාගේ කාර්යභාරය”

  1. Christie Says:

    වුර්තිකයෝ හා අනිත් සින්හලයින් අතර ලොකු වෙනසක් ඇත.

    සින්හලයන්ට බන්ඩ සින්හල කැව්වෙ සෙල්ලමට නොවේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress