දහතුනේ එල්ලී  හිටන් -රට බෙදමුද කරනට සටන්
Posted on January 25th, 2017

මතුගම සෙනෙවිරුවන්

හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා 1978 සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති  ධූරය ඇති කරන ලද්දේ එක් ආසනයකින් එහි චන්ද දායකයන්ගේ බලයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු රටේම අගමැති වී නායකත්වයට පත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි යැයි කියමිනි.එය සත්‍යයකි.අගමැති වරයා ධූරයෙන් පහකිරීමටද අගමැතිවරයා ගන්නා සාධාරණ තීරණයන් වුවද පසුබට කිරීමටද පාර්ලිමේන්තුවට හැකිය.1972 ජනරජ ව්‍යවස්ථාව පරිදි අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ නායකයාව සිටියේය  මෙම තත්ත්වය දිගින් දිගට පැවතියේ නම් සැබවින්ම තිස්වසරක් පුරා ඇවිලී ගිය දෙමළ ආක්‍රමණික කැරැල්ල පරාජය කිරීම අසීරුවනු ඇත. කෙසේ නමුත් ඉන්දියාවේ බලපෑම මත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පළාත් සභා සහිත දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට සිදු විය.එයට හේතුව ඒ වන විට දෙමළ නිජ බිම් සංකල්පයට සහ බෙදුම්වාදයට එරෙහිව ප්‍රබල විද්වත් මතයක් සහ ජනමතයක් ඇතිව නොතිබීමයි.

දෙමළ නිජබිම් සංකල්පය යනු දහනම වන සියවසේ දී ඇමරිකන් මිෂනාරීන් විසින් අධ්‍යාපනය ලබාදී බලවත් කරන ලද දෙමළ ප්‍රභූන් ගේ මනස්ගාතයකි. මෙලෙස සිය අදහස් ප්‍රකාශයට පත් කරන ලද කිසිම දෙමළ පුද්ගලයෙකු පරම්පරා ගතව යාපනයේ ජීවත් වූවන් නොවීය. ලන්දේසීන් විසින් මලබාරයෙන් ගෙන්වා පදිංචි කරන ලද වහලුන් සහ ඔවුන්ගේ කංකානි වරුන් ගෙන් මොව්හු පැවතෙන බව පෙන්වා දිය යුතුය. නමුත් දහතුන් වන සියවසේ උතුර පාලනය කළ ආර්ය චක්‍රවර්තී වරුන් ගෙන් ඔවුහු පැවතෙන බවට බොරු මුසා ඇද බෑහ.ඒ සඳහා ව්‍යාජ පෙළපත් සටහන් පවා අන්තර්ජාලයෙට දමා ඇත.ප්‍රශ්ණය වන්නේ ලංකාවේ සිටින ඉතිහාඥයන්  මේ මතය බිඳිමට ඉදිරිපත් නොවීමයි.මහාචාර්ය කේ.එම්.ද සිල්වා වැන්නවුන් ඉදිරිපත් කළ මත දේශපාලනඥයන්ද ඉහළින් පිළිගත්හ. එම නිසා මේ ව්‍යජ දෙමළ නිජබිම් සංකල්පය මතවාදීව පරාජය කරනට ඒ යුගයේ කිසිවෙකුට හැකි නොවීය.

යාපනයේ නගරාධිපති දොරේඅප්පා ඝාතනයෙන් පසුව මේ දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ අංශය බලවත් විය. පසුව පොලිස් නිළධාරින් ඔවුන්ගේ ඉලක්කය විය.1983 වසරේදී හමුදාභටයන් 13 දෙනෙකු මේ ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වීමෙන් මුලු රටම කැළඹි ගියේය. මෙම අවස්ථාවේදී ජේ.ආර්.ජයවර්ධන මහතා රටේ නායකත්වය නිසි පරිදි නොගැනීමෙන් රට පුරා ප්‍රචන්ඩත්වය ඇවිලී ගියේය. කටකතා පැතිර යෑමෙන් කොළඹ නගරයටද ප්‍රහාර එල්ල වේ යැයි බියක් ඇති විය. මෙයින් කලබලයට පත් ජනතාව කොළඹ නගරයේ ඇති කළ විපර්යාසය ආරම්භ වත්නේ රාජකාරි සඳහා කොළඹ පැමිණි ජනතාව එකිනෙකා පරයා නිවෙස් වලට යෑමට කළ දැඟලිල්ලෙනි. පාර පුරා මෙන්ම පදික වෙදිකා මත්තේද ගමන් කල වාහන නිසා නගරය අවුල් ජාලාවක් විය. ඒ කලබල අවසරයෙන් ප්‍රයෝජනය ගත් ඔත්තු සේවා දෙමළ ව්‍යාපාරික ස්ථාන වලට ගිනි තැබූහ. එය ආදර්ශයට ගත් මංකොල් කරුවන් මේ කෝලාහලය කොළඹින් පටතටද ගෙන ගියහ.රටම ගිනිගත් හැටි එහිදී අපට අමතක නොවේ.

දෙමළ බෙදුම්වාදයේ පළමු උගුලට සිංහල ජනතාව අසුවුණේ එසේය. මේ කලබලයේ ප්‍රතිඵලය වූයේ ඉන්දියාවේ පීඩනය ලංකාවට එල්ල වීමයි. දෙමළ ජනතාවට ප්‍රශ්ණයක් ඇතැයි ලෝකයට හෙලී වී ඇතැයි ඉන්දියාව සිතන්නට ඇත. ඔවුහු දෙමළ බෙදුම්වාදයට උඩගෙඩි දුන්හ. තමිල්නාඩුවේදී ආවුධ පුහුණුවද දුන්හ.රජය මේ අවස්ථාවේදී කලේ උතුරෙන් එන පීඩනය වළක්වාගන්නට වන්නි දිස්ත්‍රක්කය තුළ බහුතර සිංහල ජනගහනය පිහිටුවීමට උපදෙස් දීමයි.පසුව ගාමිනී දිසානායක මහතා ගේ මෙහෙයවීමෙන් මහවැලි කලාප වල එය ව්‍යාප්ත විය. මායිම් ගම්මාන නමින් සංකල්පයක් බිහිවූයේ එය අනුවයි. නමුත් කොටි ත්‍රස්තයන් මේ ගම්මානයන්ට පහරදීමත් සිංහල ජනතාව පළවා හැරීමත් සමගම දේශපාලන විසඳුමක් සඳහා රජයට බලපෑම් එල්ල විය. විසඳුමක් දිය යුත්තේ කුමන ප්‍රශ්ණයකටදැයි කිසිවෙක් ඇසුවේ නැත. නමුත් මේ වන විටත් උතරේ සිංහලජනයා ගැන කතාකරමින් ජනපද පිහිටුවීමේ පුරෝගාමියෙකුව සිටි   සිරිල් මැතිව් මහතා ජේ.ආර්. විසින්1984 වසරේ දී පක්ෂයෙන්  නෙරපා හැරියේය.ඒ බලය බෙදා හැරීම සම්බන්ධව ප්‍රසිද්ධියේ ජේ.ආර්. විවවේචනය කළ නිසාය.1985 වන විට ඉන්දියාව විසින් කොටි ත්‍රස්තයන් පෝෂණය කරන බවට රජයට තොරතුර ලැබී තිබුණි. නමුත් ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත් මුදලි හෝ ජේ.ආර්. හෝ එයට විරුද්ධව වචනයක් කතා කිරීමට මැලි විය. ඒ වෙනුවට සිදු වූයේ රජීව් ගාන්ධ විසින් මොවුන් බලය බෙදීමේ ක්‍රියාවලියට තල්ලු කර දැමීමයි.

සර්ව පාක්ෂක සම්මේලන එහිදී ඇති වූ එකඟතාවය ආදී කරුණු වලින් පසු 1987 දී දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය පිණිස පසුබිම සැකසුණි. ඉන්දු ලාකකා ගිවිසුම මගින් ඉන්දීය බලහත්කාරය තව තවත් දැඩි කරන ලදී. එයම සිංහල ජනතාව උතුරෙන් පළවා හැරීම පිණිස යොදා ගන්නා ලදී.මේ තරම් දුරක් බෙදුම්වාදය පැමිණියේ සැබවින්ම ශක්තිමත් බෙදුම්වාදී විරෝධි මත වාදයක් රට තුළ ස්ථාපිත නොවී තිබීම නිසාය. උගතුන් යයි කියා ගන්නා බහුතරයක් නිහඬව සීටියහ. මහාචාර්ය විමල විජේසූරිය අභය ආර්යසිංහ වැනි වියතුන් ද අධිනීතිඥ හරිස්චන්ද්‍ර විජේතුංග මහතා පමණක් බෙදුම් වාදයට  ඉතිහාසයෙන්ම පිළිතුර දුන්හ.

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය වනාහි ජේ.ආර්.රජය කෙරෙහි බලයෙන් පටවන ලද්දක් නොවේ. ඔවුහු ක්‍රමයෙන් එයට මානසිකව අනුගත වෙමින් පැවතුණි. බලය බෙදීම අවශ්‍යතාවයක් ලෙසට ජේ.ආර්. පිලිගනු ලැබූවේ ව්‍යාජ දෙමළ නිජබිම් සංකල්පය හේතුවෙනි. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම මගින් එය පිළිගෙන තිබුණි. මේ නිසා රට බෙදීමේ ක්‍රියාවලිය සඳහා සිංහල දේශපාලනඥයන්ගේ මානසික එකඟතාවය තිබූ බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ මහතා විසින් නන්දිකඩාල් කලපුවේ දී පරාජයට පත් කරන ලද්දේ දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ අංශයයි. එය ද සැබවින්ම දේශපාල විසඳුමක් විය. නමුත් දෙශපාලනඥයන් සියල්ල සැබවින්ම හදවතින්ම බලය බෙදීම නමැති සංකල්පය අත්නොහළහ. ජේ.ආර්. කලා මෙන්ම මහින්ද රජයද වන්නි දිස්ත්‍රක්කයට මායිම්ව සිංහල ගම්මාන පිහිටුවීම ආරම්භ කළහ. නමුත් උතුරේ හෝ මන්නාරමේ එය සෘජුවම කිරීමට පසුබට වූහ. වරක් විදෙස් මාධ්‍ය හමුවකදී ඇසූ පැනයට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ සිංහලයන්ද අවතැන් වූවන් බැවින් ඔවුන්ද පදිංචි කල යුතු බවයි.නමුත් එම වචනය පොළව මට්ටමේ සක්‍රීය නොවීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ අවසාන කාලයේදී ජාතික බලවේගයන්ගේ ඉල්ලීම වූයේ දහතුන් වන සංශෝධනයට අයත් යම් යම් බලතල ඉවත් කරන ලෙසයි. මේ වන විට උතුරේ බෙදුම්වාදය මතවාදීව පරාජය කිරීම ආරම්භ කර තිබූ අතර දෙමළ ජනතාවට අනන්‍යවූ වෙනම ප්‍රශ්ණයක් නැතැයි සමාජය පිළිගෙන තිබුණි. මහාචාර්ය නලින්ද සිල්වා මහතා වැනි අය මෙම මතය ප්‍රබල ලෙසට සමාජගත කරන්නට උත්සාහ කළහ.මේනිසා ජාතික ව්‍යාපාපාරය විසින් ඉදිරිපත් කළ යෝජනා මහින්ද පිළිගත යුතුව තිබුණි. එහෙත් අවාසනාවකට ඒවා ඉදිරිපත් කරන ලද්දේ මහින්ද මහතාව පාලනය කරගත හැකි අවස්ථාවකදී නොවේ. ඔහු ඒ වන විට තම බලය සඳහා නව සැලැස්මකට අවතීරණ වෙමින් සිටි අවස්ථාවයි.ජාතික හෙළ උරුමය වැනි පිරිස් මෙම ඉල්ලීම් යුද්ධය අවසාන වූ වහාම කලේ නම් ඇතැම් විට එය සාර්ථක වන්නට ඉඩ තිබුණි. නමුත් ජාතික ව්‍යාපරයේ ඇතැම් කාරණා සිදු වන්නේ ද බලය සහ බලය උදෙසාමය.ඒවා පදනම් වන්නේ මාක්ස්වාදී න්‍යායන් ගුරුකොට ගනිමිනි.

වර්තමාන රජය පත් වීම අහම්භයක් නොවන බව පැහැදිලිය. දෙමළබෙදුම්වාදීන් ගේ නිහඬ ක්‍රියාකාරිත්වය සහ බෙදුම්වාදීයට පක්ෂ සිංහල දෙශපාලනඥයන්ගේ කුමන්ත්‍රණ හේතු කොට ගෙන මහින්දට පරාජය පිළිගන්නට සිද විය. පසුව යහපාලන රජය පත් වී වසරක් කාලයක් තුළ අප දුටුවේ ඔවුන්ගේ බෙදිමවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන ආකාරයයි.නව ව්‍යවස්ථාව සකස් කිරීම ට ගත් උත්සාහය. එයට මහජන අදහස් විමසීම. එහි වාර්තාව තුළ අඩංගු වූ බෙදුම්වාදී අදහස්. පසුව පාර්ලිමේන්තු අනු කමිටු වාර්තාව අතුරුදහන් වූවන්ගේ කාර්යාල පණත සම්මත කිරිම මෙන්ම සංහිඳියා බලකායේ වාර්තා පිටවීම දක්වා මේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වී තිබේ.නමුත් ජාතික ව්‍යාපාරයේ ඉදිරිපත් වීම මත මේ න්‍යාය පත්‍රය තාවකාලිකව හකුලා ගැනීමට රජයට දැන් සිදුව තිබේ නමුත් ඔවුහු දෙමළාට ප්‍රශණ්යක් ඇතැයි විශ්වාස කරති. එයට දෙන විසඳුම කුමක්දැයි. ජනාධිපති තුමා අද්මිරාල් සරත් වීරසේකර මහතා ගෙන විමසා සිටියේ එහෙයිනි.එම නිසා රජයේ බෙදුම්වාදී පිළිවෙත තවම වෙනස් වීම නොමැති බව පෙනේ. මේ අතර අගමැති කාර්යාලය විසින් පත් කළ සංහිඳියා බලකායේ වාර්තාව ඔවුහු ජිනීවා වලට ඉදිරිපත් කිරීමේ සූදානමකින් පසුවෙති.එයට සමගාමීව උතුරේ දෙමලජනතාව සංවිධානය කොට රජයට බලපෑම් කිරීමටද ඉඩ ඇත. මේ තත්ත්වයෙන් පීඩාවට පත්වන රජය  සමහරක් විට දහතුනට එහා යන බලය බෙදීමකට එකඟවනු ඇත. ඉඩම් පොලිස් බලතල දීමට එකඟ වනු ඇත. නව ව්‍යවස්ථාව පසෙක ලා පවතින ව්‍යවස්ථාවට සංශෝධනය ගෙන ඒමට යලි පිඹුරු පත් සකසනු ඇත.එය 1987 දී ජේ.ආර්. ජයවර්ධනයන්ට ඇටවූ උගුලයි.ජේ.ආර්. මෙන්ම වර්තමාන දේශපාලන නායකයන්ද මානසිකව බලය බෙදීමකට එකඟ හෙයින් සුළු පීඩනයක් එල්ලකීරීමෙන් හෝ බෙදුම්වාදී සිතියම පුළුල් කර ගැනීමට ඔවුනට හැකි වනු නියතය. මේ තත්ත්වය නැවත නැවත උදා වන්නේ දෙමළ ප්‍රශ්ණය නමැති ඊනියා සංකල්පය ඉතුරු වී ඇති හෙයිනි. එම සංකල්පය ව්‍යාජයක් බව ජාතික හා ජාත්‍යයන්තර වශයෙන් ඔප්පුකිරීමට දැන් කාලය පැමිණ ඇත.

මතුගම සෙනෙවිරුවන්

One Response to “දහතුනේ එල්ලී  හිටන් -රට බෙදමුද කරනට සටන්”

  1. Christie Says:

    “ඒ කලබල අවසරයෙන් ප්‍රයෝජනය ගත් ඔත්තු සේවා දෙමළ ව්‍යාපාරික ස්ථාන වලට ගිනි තැබූහ.”.

    ගිනි තිබ්බේ ඉන්දියානු පරපෝසිතයන්යන්ය. ගිනිතිබ්බේ ගොඩනැගිලි ඇතුලින්ය. ගිනිගන්නා ගොඩනැගිලිවල පින්තූර ඒ දිනවල කැනඩාවේ ටොරොන්ටෝවල ලෝක පල්ලි සමූහ සමුලුවට හා බටහිර පුවත්පත් වලට යවන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress