පිඬු සිඟා මව් රකින බුද්ධ පුත්‍රයා …!!!
Posted on February 3rd, 2017

 දමුණුපොළ – චමින්ද ජයලත්

If you light a lamp for someone else it will also brighten your path.” ~Buddha

“He who attends on the sick attends on me,” declared the Buddha, exhorting his disciples on the importance of ministering to the sick.

වැඩ වාසය කළ විහාරස්ථානය හැරදමා පිණ්ඩපාතයෙහි යෙදෙමින් ලැබෙන දානය සිය වයෝවෘද්ධ මවට කවා පොවා රෙදි සෝදා නාවමින් පුංචි පැල්පතක වැඩ වාසය කරමින් සිටින ස්වාමීන් වහන්සේ නමකගේ තොරතුරු සොයා අපි පසුගියදා (28දා) කෑගල්ල, මොළගොඩ, බුදමවත්ත ග්‍රාමය වෙත ගියෙමු.
මොළගොඩ මැටි කර්මාන්ත ශාලාව අසලින් දකුණට හැරී මීටර් 150ක් පමණ පසුකළ තැන බුදමවත්ත ග්‍රාමයේ දිගින් අඩි 10ක් ද පළලින් අඩි 8ක් ද ලෑලිවලින් වට කොට තහඩු සෙවිලි කළ පුංචි නිවෙසේ මේ වයෝවෘද්ධ මව හා ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරති. අප ඉකුත්දා (28දා) පෙරවරුවේ මේ පුංචි නිවෙසට ගොඩවන අවස්ථාවේ දී පූජ්‍ය මොළගොඩ ආරියවංශ හිමියන් පුවත්පතක් බලමින් සිටි අතර මවද කෙඳිරිගාමින් ඇඳේ වැතිරී සිටි අයුරු දැකගත හැකිවිය.
පූජ්‍ය මොළගොඩ ආරියවංශ හිමියන් මොළගොඩ අලුලෙන රජමහා විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ පූජ්‍ය දීවෙල ජිනානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස පැවිදිව අනතුරුව එම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිටියහ.
තම මෑණියන් ලෑලිවලින් වටකර තිබූ දිරාපත්වෙමින් පැවැති තහඩු සෙවිලිකළ වහලයකින් යුත් නිවෙසක දිවි ගෙවමින් සිටියදී ආරියවංශ හිමියන් විහාරස්ථානයෙන් ලැබෙන දානය උදේ දහවල් ඇයට ගෙනැත් දෙමින් වෙනත් අවශ්‍ය දේවල්ද සොයා බලා දුක සැපද බලමින් සිටියේය. සිය මවට කිසිම දෙයක් කරගත නොහැකිව එක්තැන් වූ අවස්ථාවේදී අරියවංශ හිමියන් මීට වසර 3ට පමණ ඉහතදී විහාරස්ථානයෙන් නික්මී සිය මව පදිංචිව සිටින ලෑලි මඩුවට වැඩම කර පිණ්ඩපාතයෙන් ලැබෙන දානය සිය මවට ගෙනැවිත් දෙමින් ලෑලි මඩුවේ කොනක ලී කෝටුවලින් තැනූ මැස්සක රාත්‍රි කාලයට සැතපෙයි. මේ සම්බන්ධයෙන් කෙටි විස්තරයක් මීට වසරකට පමණ ඉහතදී දිනපතා මව්බිමපුවත්පතේ පළකිරීමෙන් පසු කෑගල්ල ඡායාරූප ශිල්පීන්ගේ සංගමය මඟින් අව්වට වැස්සට වේළෙමින් තෙමෙමින් තිබූ ලෑලි මඩුවට යළි ලෑලි සහ ටකරන් සෙවිලි කර නොතෙමී සිටින්නට හැකි අයුරින් සකස් කොට දී තිබිණ. දැරණියගල ප්‍රදේශයේ හිමිනමක් වැසිකිළියක් හා ගෑස් ළිපක්ද උදුනක්ද පරිත්‍යාග කළ බව උන්වහන්සේ අප සමඟ පැවසූහ. පිණ්ඩපාතයේ වැඩම කිරීමෙන් දානය පමණක් ලැබෙන බවත් යම් මුදලක් හෝ සීනි තේ කොළ ටිකක්වත් නොලැබෙන බව සඳහන් කළ උන්වහන්සේ මව ජීවත් කරවීමට තමාට දැන් අපහසු බවත් ප්‍රකාශ කර සිටියහ.
තවදුරටත් අප හා අදහස් දැක්වූ පූජ්‍ය
මොළගොඩ අරියවංශ හිමියෝ මෙසේද පැවසූහ.
“මගේ වයස දැන් අවුරුදු 62ක් පමණ වෙනවා. මම විහාරස්ථානයේ ඉඳලා අම්මා ළඟට ඇවිල්ලා අවුරුදු 03යි. අම්මාව බලාගන්න කාත් කවුරුත් නෑ. මම පිණ්ඩපාතය වැඩම කරලා ලැබෙන දානය අම්මාට ගෙනැත් දෙනවා. වෙන කිසිම දෙයක් මට ලැබෙන්නේ නෑ. මම පසුගිය කාලයේ දින කිහිපයක් කෑගල්ල නගරයේ පිණ්ඩපාතයට වැඩම කර සිටියා. නගරයේ කඩයක් ළඟට ගිහිල්ලා විනාඩි 10ක් 15ක් හිටගෙන සිටියත් මට මොනවත් ලැබුණේ නෑ. පස්සේ මම ඒක නතර කර දැම්මා. ගමේ ඇවිදපුවාම දානය ටික ලැබෙනවා. ඒ හැර වෙන කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. මම අම්මාව ජීවත් කරවන්නේ බොහොම අමාරුවෙන්. අවශ්‍ය දේකට මිල මුදලක් නෑ. මම මෙතැන ජීවත්වෙන්නේ අම්මා සිටිනතුරු පමණයි. ඊට පස්සේ මම කොහේ හරි තැනකට යන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. මම භාවනා යෝගාවචරයෙක්. සිංහල වෙදකම පිළිබඳවත් ජේ‍යාතිෂ විද්‍යාව පිළිබඳවත් මට හොඳ දැනුමක් තිබෙනවා. මම හිටපු විහාරස්ථානයට ආපහු වැඩම කරන්න බලාපොරොත්තුවක් නෑ. කවුරුහරි මට අෑත පිටිසරක වුණත් කමක් නෑ පර්චස් 5ක ඉඩම් කෑල්ලක තියලා කුටියක් සාදා දෙනවා නම් මා දන්න දේවල් මගින් ඒ ප්‍රදේශයේ ජනතාවට සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
අම්මාට කන්න බොන්න හා අවශ්‍ය දේවල් මෙන්ම අනෙකුත් වියදම්වලට යම් මුදලක් මාහට ලබාදෙනවා නම් ඒ මහඟු පින්කමක්” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ. මොළගොඩ අරියවංශ හිමියන් නමින් කෑගල්ල මහජන බැංකුවේ 027200100018587 ගිණුමට මුදල් බැර කළ හැකි අතර 071-6328616 යන දුරකතන අංකයට ඇමතීමෙන් අරියවංශ හිමියන්ගෙන් වැඩි විස්තර දැනගත හැකිය.
 දමුණුපොළ – චමින්ද ජයලත්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress