බොරු සහ හොරු
Posted on February 12th, 2017

උපුටාගැණීම මව්බිම

ගම්මුලාදෑනියාත් ගමේ මුරකාරයාත් එකතු වුණොත් එළිවනතුරු හොරකම් කළ හැකි යැයි දෙමළ කියමනක් තිබේ.

මහ බැංකුවේ සිද්ධ වුණේ ඒ ආකාරයේ සොරකමක් යැයි මිනිසුන් අතර කතාබහක් ද ඇතිවී තිබේ. මහ බැංකුවෙ සිදුවී ඇත්තේ විගණකාධිපතිතුමන්ට අනුව සුළුපටු හොරකමක් නොවේ. පසුගිය සති අන්ත පුවත්පත්වල සමාජ වීරයා බවට පත්ව තිබුණේ විගණකාධිපති ගාමිණී විජේසිංහය. මහ බැංකු මගඩියට අදාළව තම වර්තාවෙන් හෙළි කළේ මුල් ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව පමණක් බව ඔහු පවසා තිබිණි. නොනැවතී එක දිගට එම පාඩුව පැටව් ගසන බවද ඔහු කියා තිබිණි. ඒ අනුව මේ වනවිට එමඟින් රජයට සිදුව ඇති පාඩුව සුළුපටු නැත. ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මාධ්‍යයට පවසා තිබුණේ මේ වනවිට මහ බැංකු මගඩියෙන් සිදුව ඇති පාඩුව
රු. බිලියන 1,000කට අධික වන බවය.

බත් හැලුණොත් අහුලන්නට පුළුවන්ය. එහෙත් ගෞරවය නැති වුණොත් එය යළි ලබා ගැනීම අසීරුය. මහ බැංකු මගඩියෙන් ආණ්ඩුවට සිදු වූයේ එය සතුව තිබූ ගෞරවය අහිමි වීමය.

අහිමි වූ ගෞරවය යළි ලබා ගන්න ආණ්ඩුව එක එක ඒවා කරමින් සිටී. අගමැති රනිල් මුලින්ම කළේ තම පක්ෂයට හිතවත් නීතිඥයන් දෙතුන් දෙනකු පත්කර කමිටුවක් සෑදීමය. ඒ කමිටුව මඟින් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන වාර්තාවක් ලබා ගැනීමය. ඒ වාර්තාවෙන් එවකට සිටි මහ බැංකු අධිපතිගේ “ගෞරවය” බේරා ගන්නට උත්සාහ දරා තිබිණි.

දින සියයේ ආණ්ඩුව පැවැති සමයේ පාර්ලිමේන්තුවේ “කෝප්” කමිටුවේ සභාපති වුණේ ඩිව් ගුණසේකර ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරයාය. ඔහු ඇතුළු “කෝප්” කමිටුව මහ බැංකු නිලධාරින්ද කැඳවා සාක්ෂි ලබා ගෙන, අදාළ මගඩියේ වගතුග හෙළි කරමින් වාර්තාව නිකුත් කරන්නට ඔන්න මෙන්න තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි. එයින් වූයේ සිදුවූ මගඩිය ගැන කරුණු අනාවරණය වීම වැළැක්වීමට ජනාධිපතිවරයාද සහාය දැක්වූ බවට චෝදනාවක් විපක්ෂයේ අතට පත් වීම පමණි.

මහ මැතිවරණයෙන් පසුව බිහිවූ පාර්ලිමේන්තුවේ “කෝප්” කමිටුවේ සභාපතිකම ලැබුණේ ජ.වි.පෙ. මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්තිටය. ඔහු ඇතුළු කෝප් කමිටුව පසුව නිකුත් කළ වාර්තාව මඟින් ඩිව් ගුණසේකරගේ සභාපතීත්වයෙන් යුත් කෝප් කමිටුව විසින් නිකුත් කරන්නට උත්සාහ කළ වාර්තාවේ සඳහන්ව තිබූ අයුරින් මහ බැංකු මගඩියේ බොහෝ කරුණු හෙළි කර තිබිණි. විගණකාධිපතිතුමන්ගේ ඒ පිළිබඳ වාර්තාවද ලැබුණේ, කෝප් කමිටුවටය. හොරකමද, හොරකමින් සිදුව ඇති හානියේ තරමද, හොරකමට සම්බන්ධ වූවන් සමහරක් ගැනද මේ වාර්තා මඟින් කරුණු අනාවරණය කර තිබිණි. මේ සියල්ල මඟින් සිදු වූයේ හොරු අල්ලන්නට යැයි කියමින් බලයට ආ ආණ්ඩුවක්, මහා පරිමාණ හොරකමක වගඋත්තරකරුවන් බවට පත් වීමය. ජනාධිපතිවරයා මේ පිළිබඳ සොයන්නට කොමිසමක් පත් කළේ මේ අතරතුරය. දැන් ඒ කොමිසම වැඩ පටන්ගෙන තිබේ.

කොමිසම පත් කිරීමෙන් ජනාධිපතිවරයා රටට ඇඟවූයේ තමන් මේ අපකීර්තිමත් හොරකමට සම්බන්ධ නැති බවය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන්ගේ අභයාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා පැවැසුවේ අගමැති කාර්යාලයෙන් නීතිපතිවරයා වෙත අදාළ ප්‍රශ්නය යොමුකර තිබූ බවත් කරුණු සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ, මහ බැංකු මගඩිය පිළිබඳ සිවිල් නඩුවක් පැවැරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වන බවත් එය වළක්වා ඊට අදාළව අපරාධ නඩුවක් ගොනු කිරීමට තමන් ජනාධිපති කොමිසම පත්කරන ලද බවත්ය.

රටේ ජනාධිපති මෙසේ කියන්නේ ආවාට ගියාට යැයි සිතිය නොහැකිය. සිවිල් නඩුවක් පවරන්නේ රජයට සිදුව ඇති පාඩුවක් ගැන සොයන්නටය. පසුව අවසානයේ පාඩුවක් සිදුව ඇතැයි තීරණය වුවහොත් සිදුවන්නේ අධිභාරයක් පනවා අදාළ පාඩුව චූදිතයන් වෙතින් අයකර ගැනීමය. එබදු අධිකරණ ක්‍රියාවලියක දී චූදිතයන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමක් සිදුවන්නේ නැත.

මහ බැංකු මගඩියෙන් රටේ ආර්ථිකයට එල්ල වූයේ සුළු පටු බලපෑමක් නොවේ. අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිවරයා තම බෑනාගේ සමාගමට අයුතු ලාභයක් උපයා ගැනීම සඳහා බැඳුම්කර පොලී අනුපාතය අසාමාන්‍ය ලෙස ඉහළ දමන ලද බව දැන් අනාවරණය වී අවසන්ය. එමෙන්ම බලාපොරොත්තු වූ ප්‍රමාණයටත් වඩා බෑනාගේ සමාගමෙන් ණය ලබා ගැනීමටද හිටපු මහ බැංකු අධිපතිවරයා කටයුතු කර ඇත. බෑනාගේ සමාගම, මහ බැංකුවට අධික පොලියට ණය දී ඇත්තේ ලංකා බැංකුවෙන් ඊට වඩා අඩු පොලියකට ණයට ගත් මුදල්ද යොදවා ගෙනය. දැන් සේවක අර්ථසාධක අරමුදලේ සල්ලිවලටද තට්ටු කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ.

මහ බැංකුවේ බැඳුම්කර ණය ගනුදෙනුවල පොලී අනුපාතය ඉහළ ගිය විට රටේ සාමාන්‍ය බැංකුවලින් සාමාන්‍ය ජනතාවට දෙනු ලබන ණය පොලී අනුපාතයද ඊට වඩා ඉහළට යෑම ස්වාභාවිකය. මහ බැංකුවට 13% පොලියට තම සල්ලි ණයට දිය හැකි නම්, බැංකු සාමාන්‍ය මිනිසුන්ට ණය දෙන්නේ 13%ට වඩා වැඩි පොලියටය. ඊට වඩා අඩු පොලියට බැංකුවලින් ණය ගත් මිනිසුන්ටද, මේ අධික පොලියට ඉතිරි ණය වාරික ගෙවන්නට සිදුවන්නේ, මහ බැංකු මගඩියේ බලපෑම කොපමණදැයි පෙන්වා දෙමින්ය.

ඒ සා විශාල මගඩියකින්, රටට සමාජයට සිදුවූ පාඩුව මේ යැයි අවසාන වශයෙන් ගණන් බැලීම ලේසි නැත. පාඩුවේ ප්‍රමාණයක් හිතා ගන්නට බැරි තරමට අධික මගඩියක් ගැන සිවිල් නඩුවක් පවරා අත සෝදාගන්නට අගමැති කාර්යාලය උත්සාහ කර ඇත්නම් එමඟින් පෙන්නුම් කරන්නේ “ගම්මුලාදෑනියාත්, ගමේ මුරකාරයාත් එකතු වුණොත් එළිවෙනතුරු හොරකම් කළ හැකි” බවමය. මේ බව කියන්නේ රටේ ජනාධිපතිම වන නිසා ප්‍රශ්නය තවත් බරපතළ වන බව පැහැදිලිය.

මහ බැංකු මගඩියට අදාළව පවරන්නට උත්සාහ කළේ “සිවිල් නඩුවක්” වුවත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන්ට නම් පවරන්නේ අපරාධ නඩුය. මීට අදාළ හොඳම නිදසුන විමල් වීරවංශට එරෙහිව ජ්ඛ්ධ්ච්ය විසින් පවරා තිබෙන අපරාධ නඩුවය.

වීරවංශට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වන්නේ, රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතයට අනුබල දීමය. වීරවංශ මන්ත්‍රිවරයා හා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලද “බී” වාර්තාවේ දක්වා ඇත්තේ අදාළ වාහන අවභාවිතය මඟින් සිදුව ඇති පාඩුව පිළිබඳවය. එම “බී” වාර්තාවේ කොතැනකවත් සොරකමක් පිළිබඳ චෝදනාවක් අන්තර්ගත කොට නැත.

යම්කිසි ක්‍රියාවක් නිසා කිසියම් රාජ්‍ය ආයතනයකට පාඩුවක් සිදුවී ඇත්නම් එවිට කළ යුත්තේ සිවිල් නඩුවක් පවරා චෝදනා සනාථ කර සිදුවී ඇතැයි කියන පාඩුව චූදිතයන් වෙතින් අය කර ගැනීමය. එහෙත් “බී” වාර්තාව මඟින් සිදුව ඇති පාඩුවක් ගැන කියන ජ්ඛ්ධ්ච්ය වීරවංශ මන්ත්‍රිවරයාට එරෙහිව ගොනු කරන්නේ දණ්ඩ නීති සංග්‍රහය හා පොදු දේපළ පනත යටතේ වන අපරාධ නඩුවක්ය. අපරාධ නඩුවක් පැවැරීමට නම් “සොරකමක්” සිදුව තිබිය යුතුය. එහෙත් ජ්ඛ්ධ්ච්ය තම “බී” වාර්තා මඟින් කියන්නේ හොරකමක් ගැන නොව, වාහන අවභාවිතයක් මඟින් සිදුවූවා යැයි කියන පාඩුවක් ගැනය. පාඩුව ගැන කියමින් අපරාධ නඩුවක් ගොනු කරන්න ඇප නොදී මාස ගණනක් හිරේ තබාගෙන සිටීමට වෙන සුදුසු ක්‍රමයක් ජ්ඛ්ධ්ච්ය නොදන්නා නිසාය.

වාහන අවභාවිතයට පවරන්නේ අපරාධ නඩු වුවත් ජනාධිපතිවරයා පවසා තිබෙන පරිදි මහ බැංකු හොරකමට පවරන්නට අගමැති කාර්යාලය හා නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ දරා ඇත්තේ සිවිල් නඩුවක්ය. නඩුත් ආණ්ඩුවේ බඩුත් ආණ්ඩුවේ කියන්නේ මේ වගේ තත්ත්වයකටය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පොලිස් ආඥා පනතට පටහැනිව පිහිටුවන ලද ඒකකයක් බවට චෝදනා කරමින් ශේ්‍රෂ්ඨාධිකරණය හමුවට ගියේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා මහාචාර්ය කාලෝ ෆොන්සේකාය. මීට මාස හය හතකට පෙර එම නඩුව විභාග කර අවසන් කෙරූ ශේ්‍රෂ්ඨාධිකරණය, තවමත් ඒ පිළිබඳ තම තීන්දුව ප්‍රකාශයට පත්කර නැත. ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන මන්ත්‍රිවරුන් හා පසුගිය ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව පමණක් පැමිණිලි විභාග කරන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කරන්නේ, අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ වන දූෂණ මර්දන ඒකකය විසින් පමණි. වෙන කුමන පැමිණිල්ලක්වත් ජ්ඛ්ධ්ච්ය විමර්ශනය කරන්නේ නැත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද වරෙක ප්‍රකාශ කළේ ජ්ඛ්ධ්ච්ය වැනි ආයතන දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන්නේද යන සැකය මතුවී ඇති බවයි.

ශේ්‍රෂ්ඨාධිකරණය, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට අදාළ තීන්දුව මාස 7-8ක් ගත වීත් ලබානොදෙන්නේ කුමන හේතුවක් මතද? ශේ්‍රෂ්ඨාධිකරණයේ තීන්දුව ජ්ඛ්ධ්ච්ය නීත්‍යනුකූලව ස්ථාපිත කරන ලද්දක් බව නම් එම තීන්දුව ලබාදීම ප්‍රමාද වීමට හේතුවක් වෙතැයි සිතිය නොහැකිය. එසේ නම් අපට සිතන්නට සිදුවන්නේ තීන්දුව ආණ්ඩුවට හිතකර නොවන නිසා ප්‍රමාද වන බවද? අධිකරණය ගැන එබඳු සැක සංකා මතුවන තත්ත්වයක් උද්ගත වීම කොයි පැත්තෙන් බැලුවත් හිතකර නැත. මේ සියල්ලෙන්ම සිදුවන්නේ 2015 ජනවාරි 08 බිහිවූ ආණ්ඩුවේ යහපාලන සළුපිළි එකින් එක ගැලවී වැටීම නොවේද?මහ බැංකු මගඩිය බරපතළ මූල්‍ය අපාරාධයක් නොවන නිසාදෝ ඒ ගැන විමර්ශන ජ්ඛ්ධ්ච්ය සිදු කරන්නේ නැත. එහෙත් ආණ්ඩුවට එරෙහිව සටන් කරන වීරවංශලා වැන්නන් හිරගත කර තබා ගැනීමට, වාහන අවභාවිතයට අනුබල දීම යන චෝදනාව යටතේ අපරාධ පසු පැවරීමට ජ්ඛ්ධ්ච්යට ඇත්තේ අසීමිත උනන්දුවක්ය. එම සිදුව ඇතැයි කියන අවභාවිතාවට අදාළව චෝදනා එල්ල වී ඇති එවකට විමල් වීරවංශ අමාත්‍යවරයා යටතේ සිටි නියෝජ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නේද නැත. වීරවංශ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමට සකස් කළ “බී” වාර්තාවේ එක තැනක සඳහන් වන්නේ එවකට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඉන්ජිනේරු සංස්ථාවෙන් ගත් වාහනයක රියැදුරු ලබාදුන් ප්‍රකාශයක්ය. එහිදී අදාළ රියැදුරු පවසා ඇත්තේ තමන් පැදවූ වාහනය “මහර ශාඛාවේ” කටයුතු වෙනුවෙන් යොදා ගත් බවය.

මෙහි කියන මහර ශාඛාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහර ශාඛාව මිස අන් කිසිවක් නොවේ. එහෙත් ජ්ඛ්ධ්ච්ය ඒ සාක්ෂි මත පදනම්ව ලසන්ත අලගියවන්න අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගෙන එන්නේ නැත. ඒ අලගියවන්න මන්ත්‍රිවරයා මේ ආණ්ඩුවේද නියෝජ්‍ය අමාත්‍යවරයකු වන නිසාය. මේ අන්දමේ උදාහරණ ඕනෑ තරම් ජ්ඛ්ධ්ච්යට අදාළව ඉදිරිපත් කළ හැකිය.

පසුගිය ආණ්ඩුවේ හොරු ඇල්ලීම යනු නියම හොරු බිය ගන්වා තම ආණ්ඩුවේ තුනෙන් දෙක හදා ගැනීමට යොදවා ගන්නා ගමන් හොරු නොවන මන්ත්‍රිවරු හොරු ලෙස භෞතීෂ්ම කර සිරගත කිරීමට නොවේ. හොරු අල්ලන විශේෂ කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ ජ.වි.පෙ. පවා අද මේ ගැන කතා නොකරන්නේ, ඒකාබද්ධ විපක්ෂය කුඩු කළ විට විපක්ෂයේ ඒකාධිකාරි භූමිකාව තමන්ට ලැබෙනු ඇත යන පටු හැඟීමෙන් විය හැකිය. එය එසේ නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සිදුව තිබෙන විකෘතියට ඔවුන්ද වගකිව යුතුය.

නි‍ෙදාස් මිනිසුන් සිරගත කළ විට, ඔවුන් ඊට මුහුණ දෙන්නේ නොබියවය. බන්ධනාගාර රෝහලට හෝ කොළඹ මහ රෝහල සෙයා ඔවුන් යන්නේ නැත. ආත්ම විශ්වාසයෙන් යුතුව ඊට මුහුණ දීමට නිදොස් මිනිසුන්ට ශක්තිය ඇත. ආණ්ඩුවේම ආයතනයක සභාපතිවරයකු වූ මෛත්‍රි ගුණරත්න පසුගියදා ප්‍රකාශ කළේ, වාහන අවභාවිතයට අදාළව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිරගත කරන්නේ නම් දැනට තිබෙන සිරගෙවල්වල ඉඩ මදි වනු ඇති බවය. එමඟින් ඔහු කියා සිටියේ මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු සැවොම පාහේ ඔය කියන අවභාවිතය ඇති පදමට සිදුකරන බවය. එක්සත් ජාතික පක්ෂයේම ක්‍රියාකාරිකයකු වූ නීතිඥ මෛත්‍රි ගුණරත්නම එසේ කියනා විට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සිදුවී ඇති වියවුල වටහා ගැනීමට තවත් සාක්ෂි අවශ්‍ය වේද? “මෙගා” හොරු සුරතල් කරමින් වාහන අවභාවිතයට අනුබල දීම යන චෝදනා යටතේ වීරවංශලා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් ආණ්ඩුව කර ගන්නේ තමන්ටම හානියකි. ඒ ආණ්ඩුවේ හොරු ඇල්ලීම තමන්ට අභියෝගයක් වන විපක්ෂ නායකයන් දඩයම් කිරීමේ උපාංගයක් මිස අන් යමක් නොවන බව රටටම පෙන්වීමත්ය.

පදම වැඩි වුණොත් අමෘතයත් විස වෙයි කියා කතාවක් තිබේ. ආණ්ඩුවද දැන් කරමින් සිටින්නේ පදම වැඩිකර ගැනීමය. අමෘතය විස වී ඇතැයි ආණ්ඩුවට පෙනෙනු ඇත්තේ බරපතළ හානියක් සිදු වීමෙන් පසුවය. ජලය කාන්දු වන නැවකට කපිතාන්වරු නව දෙනෙක් හිටියත් වැඩක් නැත. දැන්වත් ආණ්ඩුව ඒ ගැන වටහා ගත යුතුය. විශේෂයෙන් ජනාධිපතිවරයා මේ ගැන තේරුම්ගෙන ක්‍රියා කිරීම 2015 ජනවාරි 08 ජනවරම බිහිකළවුන්ගේ හිතසුව පිණිසම හේතු වනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress