විමල් සිර කිරීම සහමුලින්ම වැරදියි.. එසේ නීති නෑ.. නීතිය පරතෙරක් දත් හිටපු අගවිනිසුරු මුල සිට අගට සියල්ල හෙලි කරයි.. [Video]
Posted on February 15th, 2017

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණලංකා සී නිවුස්

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අයුක්තිසහගත ලෙස සිරගත කිරීම වෙනුවෙන් අගමැතිවරයාගේ මූලිකත්වයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය(FCID) දියත් කළ මෙහෙයුම හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා විසින් පසුගියදා ජනතාව ඉදිරියේ අනාවරණයකර සිටියේය.

ඒ හිටපු ජනාධිපති මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම් රොහාන් වැලිවිට මහතාගේ ‘මගේ කට උත්තරය’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

පහත සඳහන් වන්නේ ඒ සුවිශේෂ හෙළිදරව්වේ ලිඛිත සටහනයි.

මම මෙහිදී තව එක් වැදගත් තත්කාලීන කරුණක් පෙන්වා දෙන්න කැමතියි. මට කලින් දේශනයක් පවත්වපු උදය ගම්මන්පිල මහත්මයා පැවසුවා, ‘මම එක් නියෝගයක් විවේචනය කරලා උසාවියට අපහාස කළා කියලා චෝදනා නඟා තිබෙනවා’ කියලා. මේකයි උසාවිය. මම මේ නඩුව ගැන කතා කරන්නේ ජනතා උසාවිය ඉදිරියේ. ජනතාවගේ පරමාධිපත්‍යයට අධිකරණ බලය ඇතුළත් වෙනවා. ඒ නිසා මට මේ සිදුවන දේ ගැන ජනතාවට කියන්න සම්පූර්ණ අයිතියක් තියනවා. මේ කියන කාරණයට මුහුණ දී ඇති තැනැත්තාට ලොකු අසාධාරණයක් සිදු වෙනවා කියලා මම කියන්නේ පනත්වල වගන්ති ආදිය උපුටා දක්වමිනුයි.

රිමාන්ඞ් බන්ධනාගාරගතකර තිබෙන විමල් වීරවංශ මහතාට අදාළ ‘බී වාර්තා’ මා සතුව තිබෙනවා. මේ ගැන මම කතා කරන්නේ ඉතාමත් සීරුවෙන්. ඒ මේක ඇසෙමින් පවතින නඩුවක් නිසයි. විමල් වීරවංශ මහතාට විරුද්ධව පැමිණිල්ල ඉදිරිපත් කරලා තිබෙන්නේ ජොයකිම් නැමැත්තෙක්. ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ වියදමින් මෝටර් වාහන කුලියට ගෙන ඉන්ධන හා රියදුරන් යොදවා පරිභාහිර කාර්යයන්වල යෙදවීමෙන් එම ආයතනයට පාඩුවක්කර ඇති බවටයි, මේ පැමිණිල්ල ඉදිරිපත්කර ඇත්තේ. මෙතැන පැමිණිල්ල තිබෙන්නේ, අපරාධයක් නොවෙයි පාඩුවක් සිදු කළා කියලයි. මෙතැන පාඩුවක් නම් වෙලා තිබෙන්නේ සිවිල් නඩුවක් තමයි දමන්න ඕනෙ. රජයට පාඩුවක් කළා නම් ඒක ගණනය කරන්න ඕනෙ විගණකාධිපතිතුමා. මේ පාඩුව ගිහිල්ලා, ගිහිල්ලා රාජ්‍ය දේපළ බවට පත්වෙලා අන්තිමේදී මුදල් විශුද්ධිකරණයෙන් තමයි අවසන් වෙලා තියෙන්නේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරන ආකාරය මම සොයා ගත්තා. ඔවුන් වගන්ති නැති, ජේද නැති එක දිගට ලියාගෙන ගියපු මෙලොව මිනිහෙකුට කියවා තේරුම් ගන්න බැරි වාර්තා සකස් කරලා උසාවියට ඉදිරිපත් කරනවා. කොහොම නමුත් මම මේ කාරණය ඔබට ඉදිරිපත් කරන්න අවශ්‍ය නිසා අකුරක් නෑර මේ බී වාර්තා කියැවූවා. පළමු බී වාර්තාවට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා විසින් අත්සන් කොට ඇත්තේ 2016 සැප්තැම්බර් මස 13 වැනිදායි. එම බී වාර්තාවේ අවසානයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා මෙසේ සඳහන් කරනවා.

‘මේ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වනු ලබන බව ගරු අධිකරණයට කරුණු වාර්තා කර සිටින අතර පැමිණිල්ල මගින් ඉදිරිපත් කර ඇති කරුණු අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 386, 102 වන වගන්ති සමග කියවිය යුතු සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා කරනු ලබන වැරදි පනතේ 5(1) වගන්තිය යටතේ හා දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113(ආ), 386, 389, 400, 402, 454 හා මුදල් විශූද්ධිකරණ පනතේ 01 වන වගන්තිය යටතේ හෝ ගැනෙන වරදක් සිදුකර ඇත්ද යන්න තවදුරටත් විමර්ශනය සිදුකරමින් පවතී.’

ඕ.අයි.සී පවසන්නේ වරදක් කර ඇත්ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බවයි. නමුත් එම වාර්තාවෙන්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා ‘1999 අංක 28 දරන සංශෝධන පනතින් සංශෝධනය වූ 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනතේ 8(1) වගන්තිය යටතේ කරනු ලබන සහතිකයයි’ යනුවෙන් වදරක් කළ බවට සහතිකයක් දෙනවා. මේවා මහේස්ත්‍රාත් දුටුවේ නැද්ද?

මේ වාර්තාවේ සහතික කළ පිටපතක් අතේ තබාගෙනයි මම මේ කරුණු පැහැදිලි කරන්නේ. ඒ අනුව 2016.09.13 දින බී වාර්තාවෙන් FCID OIC විමල් වීරවංශ මහත්මා වරදක් සිදු කර ඇත්ද යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කරමින් ඉන්න බව කියන විට, විමල් වීරවංශ මහතා පොදු දේපළ පනත යටතේ වරදක් කළ බවට FCID ASPවරයා සහතිකයක් දී තිබෙනවා. මම නම් මේ ASP හිරේ දමනවා.

ඒ සහතිකයේ මෙහෙම සඳහන් වෙනවා.

‘ඉංජිනේරු සංස්වථාව මගින් වැඩබිම් හා ප්‍රධාන කාර්යාලයේ කාර්යයන් සඳහා කුලී පදනම මත ලබාගත් වාහන, නිවාස හා ඉංජිනේරු සේවා පොදු පහසුකම් පිළිබඳ හිටපු අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ තම ඇමති කාර්ය මණ්ඩලයේ කාර්යයන් හා පෞද්ගලික හිතවතුන්ගේ කාර්යයන් සඳහා යොදාගෙන රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමෙන් රු. මිලියන 41ක පමණ මුදලක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පාඩු සිදුකර ඇති බව අනාවරණය වී ඇත.

මෙම වැරදි රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් වන බැවින් මෙය 1999 අංක 28 දරන සංශෝධිත පනතින් සංශෝධනය වූ 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහිලා පනතේ අදාළ විෂය වස්තුවේ වටිනාකම රු. 25000 ඉක්මවන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී කමල් පලිහක්කාර වන මා විසින් ගරු අධිකරණය වෙත ගෞරවයෙන් වාර්තා කරමි.’

විමල් වීරවංශ වරදක් සිදු කරලාද කියා තවමත් හොයනවා කියා FCID OIC කියන විට මේ ආකාරයේ සහතිකයක් සහකාර පොලිස් අධිකාරිවරයා ලබා දෙන්නේ කොහොමද? ‘අවභාවිතයක් සිදුව තිබෙනවා. වරදක් කරලා තිබෙනවා. විෂය වස්තුවේ වටිනාකම රුපියල් 25,000 ඉක්මවනවා’ කියා සහතිකයක් ලබාදී ඇත්තේ පොදු දේපළ පනතේ 8(1) වගන්තිය යටතේ විමල් වීරවංශ මහත්මයාට ඇප ලබා නොදී සිටීමට බව ඉතාමත් පැහැදිලියි.

අද විමල් වීරවංශ මහතා සිරගතකොට ඇත්තේ මේ සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් සම්පූර්ණයෙන්ම වංචනික මේ සහතිකය මතයි. මේක සම්පූර්ණයෙන්ම බොරුවක් බව ඉතා වගකීමෙන් පවසනවා. මේ සහතිකය මත පදනම්වයි මහෙස්ත්‍රාත්වරිය තම නියෝගය සම්පූර්ණයෙන්ම ලබාදී ඇත්තේ. ඉන්පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමල් වීරවංශ මහතාට අදාළව සිදු කළ විමර්ශනවලට අදාළ බී වාර්තා සියල්ල මම අධ්‍යයනය කළා. ඒ කිසිවකටත් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ සහතිකයක් අමුණා නැහැ. ඒ අනුව සියල්ල කරලා තිබෙන්නේ මේ වංචනික සහතිකය මතයි.

ඒ විතරක් නොවෙයි මහෙස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය කියවනු ලැබුවොත් පෙනේවි, වරදක් සිදුකර ඇති බව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වෙලා කියලා විමල් වීරවංශ ‘වැරදිකාරයා’ කරලාත් තිබෙන බව. තවමත් චෝදනාවක් නඟලා නැහැ. සාක්‍ෂි විමසලාත් නැහැ. නමුත් වැරදිකාරයා කරලා මේ විදිහට විමල් වීරවංශ මහත්මයා රිමාන්ඞ් කරලා තිබෙනවා. මෙතැන සිදුවී ඇත්තේ අයුක්තියක්.

දිගින් දිගටම මේ විදියට කිසිවකු හිරේ තියාගන්න බැහැ. විමල් වීරවංශත් තව දින කිහිපයකින් නිදහස් වේවි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නාමල් රාජපක්‍ෂ යන මන්ත්‍රීවරු, මේ පොත ලියපු රොහාන් වැලිවිට වැනි අය හිරේ දැම්මේ මේ ක්‍රමය යොදාගෙනයි. FCID ය යොදාගෙනයි. FCID ය පිහිටුවනු ලැබුවේ කවුද? රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා. ‘HONERABLE PRIME MINISTER’ කියලා FCIDය පිහිටුවීමට අදාළ නියෝගයේම සඳහන් වෙනවා. ඒ නිසා මේ සියල්ලටම වගකිව යුත්තේ ඔහුයි. අපි මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී විය යුතුයි.”

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress