මුහුද දෙබෑ කෙරුව.. අහස පොළොව සිම්ඹ… රටට සෙනෙහේ පිදුව.. ලෙයින් මසින් සැදුණ.. ඔවුහු තැවෙති අද මහමඟ…
Posted on February 20th, 2017

 සමන් ගමගේ උපුටා ගැන්ම දිවයින

පෙනෙන්නට ඇති පරිදි නම් යහපාලනයට දැන් ලැඡ්ජාවක්‌ බයක්‌ ඇත්තේම නැති සේය. රටේ නීතිය, සමාජ සාධාරණය සහ යුක්‌තිය අතුරුදන්ව ගොසිනි. යුතුකම්, වගකීම් සහ ජනතාවාදී විය යුතු රාජ්‍ය සේවය ඇත්තේ සක්‌වල ගලින් එපිටය. මේ හමුවේ අනේ කාලේ වනේ වාසේ කියනු හැර වෙන කියන්නට දෙයක්‌ නම් අපට ඉතිරිව නැත.

“රටට සෙනෙහෙ පුදන.. ලෙයින් මසින් සැදුන.. අපෙන් එකෙකි මේ මිනිසා” යෑයි පවසමින් එදා මුළු රටම වන්දනීය ලෙස බුහුමන් දැක්‌වූ විරෝදාර රණවිරුවා නොකා නොබී, මහපාරේ නිදන යාචකයකුගේ තත්ත්වයට ඇද වැටී සිටියදී සහ රණවිරුවා නිකරුණේ සිරගත කෙරෙමින් තිබියදීත් ඇස්‌ කන් නැති වුන් සේ කකා බිබී නටන යහපාලකයන් දකිද්දී මෙසේ කියනු හැර අප වෙන කුමක්‌ කියන්නද?

නිරුවතින් නටන එකා දුටු කල කවුරුත් කරනුයේ අත කට ළඟට ගෙන හූවක්‌ තැබීමය. ඒ නටන එකාට නිරුවත වසා ගන්නට ඉඟි කරනු පිණිසය. එහෙත් වත්මන් ආණ්‌ඩුවේ නිරුවත දැක අප කොතෙක්‌ හූ කීවද මේ වන විට නිර්වින්දනය වී තිබෙන යහපාලනයේ ලැ-ජා නහර ප්‍රකෘතියට පත්වී නිරුවත වසා ගන්නට පියවර ගන්නා බවක්‌ නම් පෙනෙන්නට නැත.

උපන් බිම වෙනුවෙන් ඇස්‌, මස්‌, අත්, පා දන් දී රට රැක ගැන්මට ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණා වූ අබාධිත රණවිරුවන් පිරිසක්‌ තමන්ගේ අයිතිය ඉල්ලා මේ මොහොතේත් වීදි බැස කොටුව දුම්රියපළ ආසන්නයේ මාරාන්තික උපවාසයක නිරතව සිටීමෙන්ම පැහැදිලි වන්නේ ආණ්‌ඩුවේ එකී පශ්චාත්භාගය ලෝකෙට පෙනෙන මොණර රංගනය නොවේද?

ඇත්තෙන්ම රට බේරා ගන්නට කැප වුණු සහ එදා රටේම ජනතාව හදවතින්ම ආශීර්වාදාත්මකව සෙත් පැතූ රණවිරුවන් අද මෙසේ වීදි බැස සිටින්නේ කුමක්‌ නිසාද? රජයේ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්නට අනුව නම් උන්ට පිස්‌සුය. ඔහු කියන ලෙස රණවිරුවන් දේශපාලන කුමන්ත්‍රණයක්‌ කරමින් සිටින්නේය. එහෙත් රාජිත ඇමැතිගේ මේ කතාව ඇසෙද්දී පිස්‌සු කාටදැයි රටේ ජනතාව කිසිදු සැකසංකාවක්‌ නැතිවම තීන්දු කරනු ඇත.

මෙසේ රණවිරුවා දේශපාලන කුමන්ත්‍රණකරුවකු ලෙස දකින මැති ඇමැත්තෝද එදා පණ කෙන්ද රැකගෙන මහ මඟ යමින් දේශය පාලනය කරන්නට වෙහෙසුනේ රණවිරුවාගේ රැකවරණය නිසාම වූහ. එහෙත් කලින් කලට එහෙට මෙහෙට පනිමින් බඩගෝස්‌තරවාදී දේශපාලනයක නිරත ඇතැම් දේශපාලනඥයෝ අද පහත් කතා කියමින් පස්‌සට පයින් ඇන තුට්‌ටු දෙකට දමා කතා කරන්නේද එසේ තමන්ගේ ජීවිතය බේරා දුන්නා සේම සමස්‌ත ජනතාවගේම මර බිය තුරන් කළ රණවිරුවාටය.

තිස්‌වසරක්‌ තිස්‌සේ මේ රට වෙලාගෙන තිබූ එලිටීටීඊ ත්‍රස්‌තවාදය තුරන් කර විරෝදාර රණවිරුවන් රටට සැබෑ නිදහස දිනා දුන්නේ ඉකුත් 2009 වසරේ මැයි 19 වැනිදාය. ඒ වසර තුනක්‌ තිස්‌සේ සිදු කළ බිහිසුණු සටනකින් අනතුරුවය.

අපට ඒ විජයග්‍රහණය උරුම වන විට රණවිරුවෝ විසිහත්දහසක්‌ පමණ රට වෙනුවෙන් ජීවිත පූජා කර තිබුණු අතර තවත් විසිපන්දහසක්‌ පමණ පූර්ණ සහ අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූහ. ඔවුන් මේසා කැප කිරීමක්‌ කරනු ලැබුවේ අප සහ රට වෙනුවෙනි.

එහෙත් ඒ විජයග්‍රහණයට පස්‌ වසරක කාලයක්‌ ගෙවී යද්දී කරළියට පැමිණි යහපාලනයත් සමඟ සංහිඳියාව සහ සහජීවනය අදහන්නට වූයෙන් රණවිරුවාට ගරු කරමින් පැවැත්වුණු විජයග්‍රහණයේ සැමරුමද කුණු කූඩයට දැමිණි. එදාත් ඇමැති රාජිතලා වැනි අය කීවේ අප විජයග්‍රහණය සැමරීම දෙමළ ජනතාවගේ සිත් පාරවන්නක්‌ යෑයි කියාය.

යහපාලනය ඉස්‌මතු වීමත් සමඟ රණවිරුවා පසෙකට දමමින් සිදු කෙරුණේ විජයග්‍රහණයේ සමරුව නතර කිරීම පමණක්‌ද? නැත. තව බොහෝ දේ රටම බලා සිටියදී සිදු වන්නට විය.

රට බේරා ගන්නට කැපවූ රණවිරුවෝ මිනී මරුවන් කර සිරගත කිරීම හෙවත් පාවා දීම ආරම්භ වූහ. එය ඊයේ සහ පෙර්දා (17දා සහ 18 දා) ත් සිදුව ඇත. ආරක්‍ෂක අමාත්‍යංශයට අදාළ ඩිෙµන්ස්‌ ඩොට්‌ එල්කේ (deෙeබජැගකන) වැනි රාජ්‍ය වෙබ් අඩවිවල ගබඩා වී තිබුණු අපේ රණවිරුවන්ගේ එඩිතර බව සහ මානුෂීය බව විදහා දැක්‌වුණු සියලුම මතකයන් මකා දමන තරමටම යහපාලනයට රණවිරුවා තිත්ත විය. මේ අන්දමට රණවිරුවා පීඩනයට පත් කෙරෙද්දී එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ටනම් සැලකුම් ලැබුණේ සුජාත පුත්‍ර න්‍යායෙනි.
ත්‍රස්‌තවාදය නසන්නට ගෙනා ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනතින්ම ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සටන් වැදුණාවූ රණවිරුවන් සිරගත කෙරෙද්දී බෝම්බ තබා අමු අමුවේ මිනිසුන් ඝාතනය කළ ත්‍රස්‌තවාදීහු සිරගෙදරින් නිදහස්‌ව ගියහ. සිදු වූයේ එවන් දේය.

ආණ්‌ඩුව මෙසේ හැසිරෙද්දී තවත් පැත්තකින් සිදුවෙමින් තිබූ දෙයක්‌ද විය. ඒ යුද්ධය නිමවී ගෙවී ගිය වසර අටක පමණ කාල පරාසයේදී රණවිරුවාට එදා නොතිබූ එහෙත් වර්තමානයට බලපාන ගැටලු රැසක්‌ ඔවුන්ගේ මනසට වද දෙන්නට වීමය. කාලයක්‌ ඔවුන් ඒ සියල්ල විඳදරාගෙන සිටියද යහපාලනය රණවිරුවා අමතක කර අමුතුම ගමනක යන බව ඔවුන්ට වැටහීමත් සමඟ යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ බිරින්දැවරු ඇතුළු ආබාධිත රණවිරුවෝ තුළ අවිනිශ්චිත බවක්‌ ගොඩනැගෙන්නට වූහ.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ අනාගතයේ අන්ත අසරණ වීමේ අවදානමක පවතින තමන්ගේ ජීවිතය කෙරෙහි ඔවුන් සිතන්නට පෙළඹීමය. ආණ්‌ඩුවේ නොසලකා හැරීම රණවිරුවන්ට බොහෝ දේ මතක්‌ කර දුන්නේය. ඒ හමුවේ ඔවුහු පෙරට ආහ. තමන්ගේ අයිතිය ඉල්ලා ආණ්‌ඩුවට බල කළේය. යහපාලනය ඊට කන් නොදෙන තැන ඔවුහු වීදි බැස්‌සාහ.

මෙහිදී ඔවුන් කළ ඉල්ලීම් හෙවත් තමන්ගේ ජීවිතය සුරක්‍ෂිත කර ගැනීම සඳහා ආණ්‌ඩුවට කියා සිටියේ කුමක්‌ද? යුද්ධයේදී ආබාධිත වූ එහෙත් ත්‍රිවිධ හමුදාව තුළ වසර දොළහක සේවා කාලයක්‌ සම්පූර්ණ නොකළ රණවිරුවෝ පිරිසක්‌ ආබාධිත තත්ත්වය නිසාම විටින් විට වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගන්වන්නට පසුගිය කාලයේ ත්‍රිවිධ හමුදාවටම සිදු විය.

එසේ විශ්‍රාම ගැන්වුවද ඔවුනට සෙසු ආබාධිත රණවිරුවන්ට මෙන් දුබලතා විශ්‍රාම වැටුපේ හිමිකාරීත්වයක්‌ නොතිබිණ. මුලින්ම යහපාලනයෙන් තමන්ගේ දුබලතා විශ්‍රාම වැටුප ඉල්ලා පාරට ආවේ මෙකී වසර දොළහට අඩු සේවා කාලයකින් විශ්‍රාම ගැන්වූ රණවිරුවන්ය.

ඔවුන් එසේ පාරට එද්දී රටම තිබුණේ දුබලතා විශ්‍රාම වැටුප ඉල්ලා පාරට බැසිය යුතු තැනක බවද මෙහිදී අප සඳහන් කරන්නේ නිකමට වගේය.

ඉකුත් ජනවාරියේ එසේ තම අයිතිය ඉල්ලා පාරට ආ ආබාධිත රණවිරුවන් දින ගණනාවක්‌ උපවාසයක නිරත වීමෙන් පසුත් තම අයිතිය නොලැබීම හමුවේ අරගල කරන්නට වීමත් සමඟ ඔවුන්ට ආණ්‌ඩුවෙන් ලැබුණේ විශ්‍රාම වැටුප වෙනුවට අමානුෂික වූ පොලිස්‌ ප්‍රහාරයකි.

එකී ප්‍රහාරයෙන් පසුව ඔවුන්ට දුබලතා විශ්‍රාම වැටුප ගෙවීමට කටයුතු කරන බව ප්‍රසිද්ධියේ කියන්නට ආණ්‌ඩුවට සිදු විය. ඒ ආබාධිතයන්ට එල්ල කළ පොලිස්‌ ප්‍රහාරයත් සමඟ මතුවූ සමාජ අපකීර්තිය හමුවේය.

ඉකුත් නව වැනිදා කී ලෙස එකී දුබලතා විශ්‍රාම වැටුප දෙන්නට ආණ්‌ඩුව කටයුතු කළද එහිදීද සිදුව තිබුණේ පැහැදිලි ලෙසම රණවිරුවන් රැවටීමකි. එහෙයින් ඔවුහු යළි වීදි බැස්‌සාහ. දැනුදු කොටුව දුම්රිපළ ඉදිරිපිට උපවාසයක නිරතව සිටින්නේ එසේ වීදි බට රණවිරුවෝය.

මේ අතරේ සටනේදී රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ගේ බිරින්දැවරුන්ද කලක සිට ආණ්‌ඩුවට තම දුක කියන්නට විය. එහිදී ඔවුන්ගේ ඉල්ලීම වූයේ මියගිය රණවිරුවාට වයස අවුරුදු 55 පිරීමේදී එතෙක්‌ ලබා දුන් වැටුප නතර කර විශ්‍රාම වැටුප ලබාදීම වෙනුවට තම දරු පවුල් වෙනුවෙන් සියයට සියයක විශ්‍රාම වැටුපක්‌ ලබා දියයුතුයෑයි යන්නය. එහෙත් අදටත් ඊට විසඳුමක්‌ දෙන්නට ආණ්‌ඩුවට නොහැකි වී ඇත.

රණවිරු බිරින්දෑවරුන්ගේ ප්‍රශ්නය එසේ වෙද්දී ආබාධිතව විශ්‍රාම ගැන්වීමෙන් පසු වසර ගණනාවක්‌ දුබලතා විශ්‍රාම වැටුප නොලැබුණු රණවිරුවන් පිරිසකගේ හිඟ වැටුප් ගැටලුවක්‌ද තවත් පැත්තකින් ඉදිරිපත් විය. එයද මේ දක්‌වා විසඳී නැත.

ඔවුන් ඒ හිඟ වැටුප ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියදී සමස්‌ත ආබාධිත රණවිරුවෝ තමන්ට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම වැටුප ලබා දීම වෙනුවට මෙතෙක්‌ ලබා දෙන වැටුප සහ දුබලතා විශ්‍රම වැටුප ජීවිත කාලය පුරා ලබා දෙන ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින්නට වූහ.

එහිදී ඔවුන් මතු කළ අපූරු තර්කයක්‌ද විය. ඒ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු තමන්ගේ වැටුප නවතා විශ්‍රාම වැටුප ලබා දෙන්නට කටයුතු කරනුයේ තම අහිමි වූ අත්පා යළි වැවෙන නිසාදොaයි යන්නය. සැබැවින්ම රට වෙනුවෙන් සටන් වැද අත් පා අහිමිව අද අසරණව දිවි ගෙවන ඔවුන්ගේ තර්කය ඉතාම නිවැරදිය.
මෙසේ යහපාලනයේ දෙවර්ෂ පූර්ණය සමඟ මේ අන්දමින් රණවිරු ගැටලු එක පිට එක මතුවන්නට ප්‍රධාන වශයෙන් බලපෑ තවත් හේතුවක්‌ද තිබිණ. ඒ ආබාධිත හා මියගිය රණවිරුවා වෙනුවෙන්ම පෙනී සිසිටින්නට ඇති එකම රාජ්‍ය ආයතනය වූ රණවිරු සේවා අධිකාරියේ වත්මන් ක්‍රියාකාරීත්වය ය. මේ මොහොත වන විට රණවිරු සේවා අධිකාරිය ඇත්තේ සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයකට ලක්‌ව බව රණවිරුවෝම සඳහන් කරන්නාහ. එය ඔවුන්ට මානසිකව පීඩා ගෙන දෙන්නක්‌ බවට පත්ව ඇත.

අද රණවිරු සේවා අධිකාරිය යනු තමන් වෙනුවෙන් පෙනී සිටින්නක්‌ නොව එහි සභාපතිනියගේ සුඛ විහරණය වෙනුවෙන් වෙන්වූවක්‌ බව එසේ පීඩනයට පත්ව සිටින රණවිරුවෝ සඳහන් කරන්නාහ.

මේ අන්දමට රට වෙනුවෙන් උපරිමයෙන් කැපවූ රණවිරුවන් තමන්ගේ අයිතිය ඉල්ලා පෙළ ගැසෙද්දී අද ආණ්‌ඩුව උත්සාහ දරමින් සිටින්නේ ඔවුන් පිස්‌සන් ලෙස හංවඩු ගසන අතරේ එකට එකතුව පෙරට එන්නට සැරසෙන රණවිරුවන් බේද කොට ප්‍රශ්නයෙන් ගැලවී යැමට නොවේද?

පැහැදිලිවම පෙනෙන්නට තිබෙන අන්දමට නම් සිදු වෙමින් තිබෙන්නේ එවැන්නකි. එහෙත් එසේ රණවිරුවා රවටා බේද කොට ප්‍රශ්නයෙන් ගැලවී යන්නට හැකි යෑයි ආණ්‌ඩුව කල්පනා කරන්නේ නම් නූතනයේ සිදු වන ලොකුම මෝඩකම එය වනු ඇත.

මන්ද තමන් වෙන් වූ කල පරදින්නේ සහ අසරණ වන්නේ තමන්ම බව අද පැහැදිලිවම රණවිරුවා වටහාගෙන සිටින නිසාය. එහෙයින් ඔවුහුq මේ මොහොතේත් එක පවුරක්‌ සේ තම අයිතිය වෙනුවෙන් සටන් වදින්නට සූදානමින් සිටින්නාහ.

මේ මිනිසුන් ඉල්ලන්නේ අතිශය සාධාරණ ඉල්ලීම්ය. එහි කිසිදු තර්කයක්‌ නැත. වර්තමානයේ දේශපාලනඥයකු නඩත්තු කිරීමට මේ රටේ ජනතාවගේ මුදල් මිලියන ගණනින් වැය කෙරෙන්නේ නම් රට බේරා ගත් රණවිරුවන් රැක බලා ගැනීමට අපට නොහැකි වන්නේ කුමක්‌ නිසාද?

රණවිරුවා ඉල්ලන දුබලතා විශ්‍රාම වැටුප අසාධාරණ ඉල්ලීමක්‌යෑයි යම් දේශපාලනඥයකු පවසන්නේ නම් වසර පහක පාර්ලිමේන්තු කාලයකින් පසු තමන්ට හිමි වන විශ්‍රාම වැටුප අතහරින්නට හේ සූදානම් විය යුතුය. එහෙත් එසේ කිරීමට අපේ දේශපාලනඥයන්ට හැකිද?

මේ මිනිසුන් ඇස්‌, මස්‌,අත් පා දන් දී ජීවිත පරිත්‍යාග කර උපන් බිම රැක ගත්තේ අප වෙනුවෙනි. එනිසා ඔවුන් අමතක කිරීමේ සදාචාරාත්මක අයිතියක්‌ දේශපාලනඥයන්ට තබා මතු මත්තේ මේ රටේ ඉපදෙන කිසිවකුටත් නැත. අප ජාති ජාතීත් මේ විරුවන්ට ණයගැතිය.

එහෙයින් කොන්දේසි විරහිතව ඔවුන් රැක බලා ගැනීමට ආණ්‌ඩුවට හැකිවිය යුතුය. එහෙත් ඒ වෙනුවට අද සිදු වෙමින් තිබෙන්නේ රණවිරුවා අමතක කර දමන අතරේ එල්ටීටීඊයේ කාඩරයන්ට වන්දි ගෙවමින් ඔවුන්ට ප්‍රතිලාභ දෙන්නට විවිධ අන්දමින් කටයුතු කිරීමය.

පසුගිය දා රණවිරු සේවා අධිකාරිය මගින් නැගෙනහිර ප්‍රදේශයේදී සිදු කළ එක්‌තරා ප්‍රදානයකදී “කොටින්ට ගොඩායි.. අනිත් අයට ටිකායි..” ලෙසින් කර ඇති දේ දෙස බැලීමේදී ද ඒ බව මනාව පැහැදිලි වන්නේය.

සංහිඳියාව සහ සහජීවනය ගැන සම්මුතිවාදයේ ඔස්‌තාර්ලා මොන බයිලා කීවත් අපට ගැටලුවක්‌ නැත. මේ රට විජයග්‍රහණය කළා වූ රණවිරුවා රැක ගන්නට වහා පියවර ගත යුතුය. එසේ නොකළහොත් සහජීවනයේ සහ සංහිඳයාවේ නාමයෙන් සිදු කර ගත්තේ සියදිවි නසා ගැනීමක්‌ බව වැඩි කල් යන්නට මත්තෙන් යහපාලනයටම වැටහෙනු ඇත.

සමන් ගමගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress