එෆ්.සී.අයි.ඩී. ගෙන යා යුතු දුටුගැමුණු මහ රජතුමා
Posted on February 20th, 2017

උපුටා ගැන්ම දිවයින

ගිය ආණ්‌ඩුව යුද්ධය දිනුවේ ය. ඊළඟට එකී ජයග්‍රහණය වෙනුවෙන් වූ ආධ්‍යාත්මික හිලව්ව වශයෙන් සඳහිරු සෑය නමින් දාගැබක්‌ සෑදීමට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රමුඛ යුද හමුදාව තීන්දු කළේය.
සඳහිරු සෑය අඩක්‌ ඉදිකිරීමෙන් පසු එහි නිදන් වස්‌තු තැන්පත් කරන ලදී. ඒ සඳහා ඇඹිලිපිටිය පොළේ කිරි විකුණන මහලු අම්මාගේ පටන් පිටකොටුවේ ලොකුම මුදලාලි දක්‌වා වූ සියලු දෙනා සියලු භේද පසෙකට ලා දායකත්වය දුන්හ. සමහරු රත්තරන් දුන්හ. සමහරු මැණික්‌ දුන්හ. තවත් සමහරු පොත්පත්, පිත්තල පහන්, විසිතුරු තඹ භාජන පූජා කළහ.

සාමාන්‍ය මිනිසා මෙසේ කරන විට ආණ්‌ඩුව කට ඇරගෙන බලා සිටිය යුතුද? කෙසේවත් නැත. රටේ මහනාහිමිවරුන් එවිට නිර්දේශ කළේ ආණ්‌ඩුව ගණනේ රන් බුදු පිළිමයක්‌ දාගැබ තුළ නිදන් කළ යුතු බව ය. ඉතින් ආණ්‌ඩුවට රත්තරන් කොහෙන්ද? ආණ්‌ඩුව කළේ රේගුව භාරයේ ඇති රාජසන්තක කෙරුණු හොර රතAරන් තොගයකින් ටිකක්‌ නිත්‍යානුකූලව ගෙන එයින් රන් බුදුපිළිමයක්‌ තැනීම ය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ එය ගෙනගොස්‌ සඳහිරු සෑයේ තැන්පත් කළේ ය.

එසේ පූජා කිරීම නිසා කටඋත්තරයක්‌ ලබාගැනීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ එµa. සී. අයි. ඩී. යට කැඳවා තිබේ. ඒ බව බ්‍රහස්‌පතින්දා (16 දා) ජනමාධ්‍ය මගින් ප්‍රචාරය විය.

බලයට ආ දවසේ පටන් හරක්‌ පට්‌ටි දෙක තුනකට සෑහෙන තරම් ගොන්කම් මේ ආණ්‌ඩුව විසින් කරනු ලැබ තිබේ. මේ ඒ වර්ගයේ අලුත් ම ගොන්කම ය. බහුතරය සිංහලයන් වන, ඒ බහුතරයෙනුත් බහුතරය බෞද්ධයන් වන රටක, දාගැබක්‌ සඳහා රන් බුදුපිළිමයක්‌ පූජා කිරීම ගැන එµa. සී. අයි. ඩී. ය කට උත්තර ගන්නේ නම් මේ ආණ්‌ඩුව වඩාත් සුදුසු වන්නේ රාජ්‍ය පාලනය පිණිසද එසේ නැත්නම් අඹේවෙල කිරිපට්‌ටිවල වැස්‌සියන්ගේ ආරක්‍ෂක කටයුතු පිණිස ද යන්න සොයා බැලීම වැදගත් ය. එක්‌ අතකට බලන විට මෙය ආණ්‌ඩුවේ වරද නො වේ. ආණ්‌ඩුවට ලණු දෙන බූරුවන්ගේ වරද ය. සම්පූර්ණ කිරි බැරල් එකක්‌ නරක්‌ කිරීමට ඇසට නො පෙනෙන කුඩා බැක්‌ටීරියාවකට පුළුවන. හොඳට තිබෙන බඩට කොළරාව ගෙන එන්නේ ඇසට නො පෙනෙන කුඩා වෛරසයකි. වසූරිය විෂබීජය අල්පෙනෙත්ති තුඩකටත් කුඩා නමුත් ඉතා සුළු කාලයක්‌ තුළ සකල ශරීරය ම වණයක්‌ බවට පත්කිරීමට තරම් සාහසික ය. ඒ අනුව ආණ්‌ඩුව කළ යුත්තේ ඒ තුළ සිටින වසූරිය උපදේශකයන් කවරෙක්‌ද යන්න සොයා උන් තුරන් කිරීම ය. නැතහොත් යහපාලන ආණ්‌ඩුව කිසිදු යහපතකුත් නැති කිසිදු පාලනයකුත් නැති විකාරයක්‌ වනු ඇත.

චෛත්‍යයක්‌ යනු සංස්‌කෘතික සහ ආධ්‍යාත්මික වස්‌තුවකි. කෝවිලක්‌, පල්ලියක්‌ දේවාලයක්‌ ද ඒ හා සමාන ය. ධර්මචක්‍රයටත්, කුරුසයටත්, අඩසඳ සහ තරුවටත් එවැනි වටිනාකමක්‌ තිබේ. එළාර සමඟ යුද්ධයට යැමට පළමු දුටුගැමුණු රජතුමා කතරගම දෙවියන්ට බාරහාර විය. යුද්ධය දිනා ආපසු පැමිණි ඔහු සිය රාජාභරණ සහ රන් කඩුව කතරගම දේවාලයට පූජා කළේ ය. රුවන්වැලි මහා සෑය තනන විටත් දුටුගැමුණු රජතුමා රනින් කළ පූජා භාණ්‌ඩ එහි තැන්පත් කරවී ය. දුටුගැමුණු රජතුමාට රත්තරන් ලැබුණේ රාජ්‍ය භාණ්‌ඩාගාරයෙනි. ඒ ඇරෙන්නට ඇමරිකාව හෝ ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල එතුමාට අයත් රත්තරන් පතල් තිබුණේ නැත. එසේ නම් එසේ රත්තරන් පූජා කිරීම සම්බන්ධයෙනුත් මේ තිබෙන එµa.සී.අයි.ඩි.ය පරීක්‍ෂණ පවත්වනවාද? වසීම් තාජුඩීන්ගේ මළ සිරුර ගොඩ ගත්තාක්‌ මෙන් සැකකාර දුටුගැමුණු රජතුමාගේ දේහය සෙවීමටත් පරීක්‍ෂණ පවත්වනවාද? මේ කෙරෙන ගොන් වැඩවල හැටියට එවැනි දෙයක්‌ සිදු විය නො හැකිද?

සඳහිරු සෑයේ වැඩ දැන් නවත්වා දමා තිබේ. එය රටේ බහුජනතාව අදහන ආගමෙන් කළ පළි ගැනීමකි. මේ කාරණයට මෛත්‍රී ජනාධිපතිතුමා මැදිහත් විය යුතුම ය.

 

One Response to “එෆ්.සී.අයි.ඩී. ගෙන යා යුතු දුටුගැමුණු මහ රජතුමා”

  1. dhane Says:

    Helpless මෛත්‍රී ජනාධිපතිතුමා know only to appoint a 3 people committee and put the report into wastepaper basket.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress