දේශද්‍රෝහීන් හඳුනා ගැනීම.සහ හොර ව‍යවස්ථා නාටකය…දැනගන්න !!!
Posted on February 20th, 2017

 රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

මාතෘභූමිය යනු තමත් උපන් භූමියයි. උපන් භූමිය මාතෘභූමිය නැතහොත් “මවුබිම” යෑයි හඳුන්වන්නේ තම මවට මෙන්ම උපන් බිමටත් ආදරය කළ යුතු නිසාය. තම මව මෙන්ම උපන් බිමත් ආරක්‍ෂා කළ යුතු නිසාය. මවුබිමට ආදරය නොකරන, මවුබිම ආරක්‍ෂා නොකරන්නා තම මෑණියන්ටද කිසිම සැළකිල්ලක්‌ නොදක්‌වන නරුමයෙක්‌ය යන්න ලොවම පිළිගන්නා න්‍යායකි. ආහාර, නින්ද, භය, මෛථුනය යන කරුණු 4 ම තිරිසනාටත් මනුෂ්‍යයාටත් පොදු වන අතර මනුෂ්‍යයා තිරිසනාගෙන් වෙනස්‌ වන්නේ තම මාතෘභූමියට ආදරය කළ හැක්‌කේ මනුෂ්‍යයාට පමණක්‌ වන නිසාය. හිවලෙක්‌ට, බල්ලෙක්‌ට, ඌරෙක්‌ට මවුබිමට ආදරය කළ නොහැක. ඒ අනුවසම්පූර්ණයෙන් තම මව්බිමට ආදරය නොකරන්නේ නම් ඉහත කී පොදු ලක්‍ෂණ හතර අනුව ඒකී පුද්ගලයා සහ තිරිසනා අතර කිසිදු වෙනසක්‌ නැති බව භාරතීය ශ්ලෝකයක සඳහන් වේ. එසේ නම් අද අප වර්තමාන සමාජයේ මනුෂ්‍ය වේශයෙන් සිටින තිරිසනුන් කවුරුන් දැයි හඳුනාගත යුතු කාලය එළඹ තිබේ.ජාතිද්‍රෝහියා වනාහී ඌට හෝ උන්ට ජාතියක් ජන්මයක් ආගමක් නොමැත.වෙනත් උන් ඵකා මෙන් නැගීසිට තම ජාතිය වෙනුවෙන් හඬ නගද්දී ජාතිභ්‍රෂ්ඨයන් වෙනත් අනෙක් ජාතීන් වෙනුවෙන් රට,ජාතිය පාවා දෙයි මේ තිරිසන් සත්වයන් අප හඳුනා ගත යුතුය.
දේශද්‍රෝහීයා” යනු උපන් දේශයට ද්‍රෝහී වන්නාය. දේශයට ප්‍රේම කරන්නා, ගරු කරන්නා, ආරක්‍ෂා කරන්නා “දේශප්‍රේමියෙකි. දේශයේ වටිනා සම්පත් කුණු කොල්ලයට විදේශිකයන්ට විකිණීම දේශද්‍රෝහී දේශයට  වීමකි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ලක්‍ෂ ගණනක්‌ දිවිපුදා රැකගත් “ඒකීය” රට පළාත් නවයකට බෙදා ස්‌වාධීන රාජ්‍ය නවයකින් යුත් පෙඩරල් රටක්‌ බවට පත් කිරීමට තැත් කිරීම දේශද්‍රෝහී දේශයට  වීමකි. දශක තුනක්‌ තිස්‌සේ රට පෙළු ත්‍රස්‌තවාදය තුරන්කොට දිවිහිමියෙන් රට ආරක්‍ෂා කළ රණවිරුවා ත්‍රස්‌තයාටම පාවා දීම දේශයටදේශද්‍රෝහී වීමකි.
වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ විවිධ විදේශීය ආක්‍රමණ හමුවේ දිවි පුදමින් ථෙරවාදී බුදු දහම ආරක්‍ෂා කරමින් නිර්මල බුදු දහම පවතින බෞද්ධ රටක්‌ වශයෙන් ප්‍රචලිත අප මවුබිම අනාගමික (multiconfessional country  ) රටක්‌ යෑයි හැඳින්වීමට වෑයම් කිරීම දේශයට අතිශයින්දේශද්‍රෝහී වීමකි. ඉතාමත් අවාසනාවන්ත ලෙස අද අපේ රටේ ඉහත කී දේශද්‍රෝහී ක්‍රියා සියල්ලක්‌ම සිදුවෙමින් පවතී. එය නිසිකල්හි හඳුනාගෙන එවැනි දේශද්‍රෝහීන්ගෙන් මාතෘභූමිය ආරක්‍ෂා කර ගැනීම දේශප්‍රේමීන්ගේ යුතුකම වේ.

අද නව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන එමින් පවතී. ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා අනු කමිටු 6 ක්‌ පත් කොට ඇති අතර එම අනුකමිටු 6 ට නිර්දේශ අඩංගු වාර්තා දැන් ප්‍රසිද්ධියට පත් කොට තිබේ. එහි ප්‍රධානම අනුකමිටුව වනුයේ මධ්‍ය පර්යන්ත සබඳතා අනුකමිටුව වන අතර එහි කමිටු සභාපති ලෙස ක්‍රියා කළේ එවකට ප්ලොට්‌ සාමාජිකයෙක්‌ව සිටි ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාය. ඔහුගේ නිර්දේශයන් ආරම්භ කොට ඇත්තේ රටේ “ඒකීය භාවය” පළාත් සභාවල සුමට ක්‍රියාකාරීත්වයට තිබෙන විශාල බාධාවක්‌ යන්නෙනි. ඉන්පසු එම කමිටුව ඉදිරිපත් කර ඇත්තේ මධ්‍යම රජයේ කිසිදු බලපෑමකින් තොරව, පළාත්වලට ස්‌වාධීනව කටයුතු කළ හැකි ආකාරයේ නිර්දේශයන්ය. නොඑසේ නම් රට පෙඩරල්කරණය කිරීමේ නිර්දේශයන්ය.

අපේ රටට මෙසේ කඩිමුඩියේ නව ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒමට ඇති අවශ්‍යතාවය කුමක්‌ද? සෝල්බරි කොමිසමෙන් නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ආවේ 1948 අප නිදහස ලබන විට ඇති වූ අවශ්‍යතාවයටය 1972 දී අප ජන රජයක්‌ බවට පත් වන විට නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය විය. 1978 දී විධායක ජනපති ක්‍රමය හඳුන්වාදෙන විටද නව ව්‍යවස්‌ථාවක්‌ ඕනෑ විය. ඉන්පසු විවිධ අවස්‌ථාවල අවශ්‍යතාවයන් අනුව සංශෝධන ඉදිරිපත් විය. නමුත් රටේ පවතින වර්තමාන තත්ත්වය තුළ නව ව්‍යවස්‌ථාවකට හෝ ව්‍යවස්‌ථා සංශෝධනයකට කිසිදු අවශ්‍යතාවයක්‌ නොපෙනේ. ඒ සම්බන්ධයෙන් පත් කළ අනුකමිටු 6 ක්‌ම යෝජනා කර නිර්දේශ කර ඇත්තේ අපේ මව්බිමේ අනන්‍යතාවය විනාශ කරමින් රට පෙඩරල් රාජ්‍යයක්‌ බවට පත් කිරීමටය. ඒ අනුව උතුර වෙනම රාජ්‍යයක්‌ වන අතර උතුර නැගෙනහිර එක්‌වීමටද 13 වන සංශෝධනය අනුව ඉඩ ලැබේ. එසේ වුවහොත් රට බෙදී අවසන්ය.

රටේ සරුසාර සහ සංවර්ධනය කළ හැකි ඉඩම් විශාල සංඛ්‍යාවක්‌ තිබෙන්නේ උතුරු නැගෙනහිරය. එහි පුරා විද්‍යාත්මක ස්‌ථාන 276 තිබේ. ලෝකයේ වටිනාම ගැඹුරු වරායක්‌ වූ ත්‍රිකුණාමල වරාය පිහිටා ඇත්තේ නැගෙනහිරය. කන්කසන්තුරේ වරාය ඇත්තේ උතුරේය. රටේ වෙරළින් 2/3 ක්‌ පිහිටා ඇත්තේ උතුරු නැගෙනහිරය. එයට ඉදිරිපස නාවික සැතැපුම් 200 ක්‌ ඈතට විහිදෙන අපට අයත් ආර්ථික කලාපයේ ඛණිජ/ගෑස්‌ සම්පත් විශාල ප්‍රමාණයක්‌ නිධන්ගතව තිබේ. ඉතා වටිනා දැවැන්ත ඉල්මනයිට්‌ නිධිය පිහිටා තිබෙන්නේ නැඟෙනහිර පුල්මුඩේය. ව්‍යවස්‌ථා සංශෝධන නිර්දේශ ක්‍රියාත්මක වුවහොත් මේ සියලුම සම්පත් බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් අතට යනු ඇත. රටේ සමස්‌ත ජනතාවටම අයිති මෙම සම්පත් මෙසේ අහිමිකර ගැනීම දේශද්‍රෝහී ක්‍රියාවක්‌ නොවන්නේ කෙසේද? එසේ නම් ව්‍යවස්‌ථා සංශෝධන නව ව්‍යවස්‌ථාවක්‌ යෝජනා කරන්නන් සහ රට පෙඩරල් සහ අනාගමික බවට පත්වන නිර්දේශ කරන සියල්ලන් දේශද්‍රෝහීන් ලෙස සැලකීම වැරදිද…?

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් “සංහිඳියාව” උදෙසා නිර්දේශයන් ඉදිරිපත් කිරීමට කාර්ය සාධක මණ්‌ඩලයක්‌ පත් කොට තිබේ. එම කමිටුවේ සාමාජික සාමාජිකාවන්ගේ නම් ජනතාවගේ දැන ගැනීම සඳහා මෙසේ සඳහන් කරමි. මනෝරි මුත්තෙට්‌ටුවගම, පාක්‍යසෝති සරවනමුත්තු, ශාන්ත අභිමානසිංහම්, විශාඛා ධර්මදාස, ෂර්සානා Haneef, කේ. ඩබ්. ජනරංජන, චිත්‍රලේකා මෞනගුරු, පිරාක්‌ රහීම්, ගමිල සමරසිංහ, දයා සෝමසුන්දරම්, ගාමිණී වියන්ගොඩ.
මෙම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද සංහිඳියාව උදෙසා යෑයි කියනු ලබන ” අරුම පුදුම” නිර්දේශ පහත සඳහන් පරිදි වේ.

1. ලංකාව අනාගමික රාජ්‍යයක්‌ විය යුතුය.

2. හමුදාව සිවිල් සුබසාධන කටයුතුවලට නොයෙදවිය යුතුය.

3. හමුදාව විසින් අත් කර ගෙන ඇති සියලුම ඉඩම් වහාම නැවත දිය යුතුය.

4. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කළ යුතුය.

5. සංහිඳියාවට පූර්ව අවශ්‍යතාවයක්‌ වශයෙන් දේශපාලන/ව්‍යවස්‌ථාමය විසඳුමක්‌ දිය යුතුය.

6. අනෙකුත් ජාතීන් විසින් ධීවර සම්පත් ලබා ගැනීම තහනම් කළ යුතුය. (එමගින් සිංහල ධීවරයන්ට මෝසම් සුළං කාලවලදී උතුරු නැගෙනහිර මුහුදට යා නොහැක)

7. වන්දි ලබා දිය යුතු අතර රජය විසින් නිල වශයෙන් සමාව ඉල්ලිය යුතුය.

8. මිය ගිය/ අතුරුදන් අය වෙනුවෙන් ස්‌මාරක ඉදිකළ යුතුය.

9. මහාවීර දිනය දිගටම පවත්වා ගෙන යා යුතුය.

10. මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ගේ ඥාතීන්ගේ නිවෙස්‌වල එම ත්‍රස්‌තවාදියාගේ නිල ඇඳුම සහිත ඡායාරූපය එල්ලා තැබීමට අවසර දිය යුතුය.

11. කොටි සාමාජිකයන්ගේ සොහොන් කොත් නැවත ඉදි කළ යුතුය.

එහි ගොඩනැඟිලි පසුව ඉදිකොට ඇත්නම් ඒවා කඩා දැමිය යුතුය.

12. යුධ අපරාධ පිළිබඳව සොයා බැලීමට සහ නඩු පැවරීමට විශේෂ කමිටුවක්‌ පත් කළ යුතුය.

13. එම කමිටුවේ සොයා ගැනීම් පාසල් පොත්වල අන්තර්ගත කළ යුතුය.

14. විදේශ විනිසුරුවන් සහිත විශේෂ අධිකරණයක්‌ පිහිටුවිය යුතුය.

15. පුනරුත්ථාපනය වූ සහ නඩු පැවරූ කිසිම එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙක්‌ට විරුද්ධව ක්‍රියා නොකළ යුතුය. රජයට බැඳුණු සහ විදේශීය රටවල්වල සිටින කොටි සාමාජිකයන්ට පමණක්‌ එරෙහිව කටයුතු කළ යුතුය.

16. ආකර්ෂණීය දීමනා ඉදිරිපත් කොට ක්‍රමයෙන් හමුදාව “නිර්මිලිටරිකරණයට” ලක්‌ කළ යුතුය.

රට ගැන අල්ප මාත්‍රයකුදු හැඟêමක්‌ තිබෙන කුමන පුද්ගලයෙකුට හෝ ඉහත සඳහන් නිර්දේශ කියවන විට ඇතිවන හැඟêම කුමක්‌ විය හැකිද? ප්‍රභාකරන්ගේ දේශපාලන නායක තමිල් චෙල්වම් අද ජීවතුන් අතර සිටියා නම් ඔහු විසින් දෙනු ලබන නිර්දේශද මෙයම නොවේද? මෙම කමිටුවේ සියලුම සාමාජිකයන් කොටි බෙදුම්වාදී දෙමළ ඩයස්‌පෝරාවේ මුදල්වලට රට පාවා දෙන දේශද්‍රෝහීන් බව පෙන්වීමට මීටත් වඩා හොඳ සාක්‍ෂි තිබේද?

වසර 2550 ක ඉතිහාසය තුළ මේ රට විදේශීය ආක්‍රමණයන්ගෙන් බේරාගෙන ඒකීය රටක්‌ ලෙස තබා ගැනීමට දිවිකැප කළේ සිංහලයන්ය. අපේ රජවරු යුද්ධ කළේ රජ සැප පිණිස නොව බුද්ධ ශාසනය සුරක්‍ෂිත කිරීමටය. ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ පාහේ බෞද්ධ වෙහෙර විහාර, නටබුන් තිබෙන්නේ ඒ නිසාය. 1815 උඩරට ගිවිසුම අත්සන් කරන විටත් බ්‍රිතාන්‍ය නීතිඥ බුද්ධ ශාසනය රැකීමට (බොරුවට හෝ) පොරොන්දු වූයේ ඒ ඓතිහාසික පසුබිම හේතුවෙනි. එවැනි පූජනීය ඉතිහාසයක්‌ තිබෙන අපේ රට අනාගමික රටක්‌ විය යුතු යෑයි නිර්දේශ කරන අමනයන් සහිත මෙම කමිටුව සමස්‌ත ජනතාවගේම පිළිකුලට භාජන විය යුතුය.

ලෝකයේ ඕනෑම රටක හමුදාව සාමය පවතින කාලයේ පමණක්‌ නොව යුද සමයේදී පවා ජනතාවගේ සුබසාධනය සඳහා තම ශ්‍රමය යොදවයි. හමුදාව සුබ සාධක වැඩට යෙදවිය යුතු නැතැයි යෝජනා කරන මුත්තෙට්‌ටුවගමට, පාක්‍යසෝතිට සහ වියන්ගොඩට අප කියා සිටින්නේ එසේ නම් ගංවතුර, නායයැම්, භූමිකම්පා, නියඟයන් යන ආපදාවලදී පවා හමුදාව පැත්ත පළාතේ නොගෙන්වන ලෙසය. එවැනි තත්ත්වයකදී ජනතාවගේ සුබ සාධන කටයුතුවල පූර්ණ වගකීම මෙම ඊනියා කමිටුව විසින් භාර ගත යුතුවේ.

මහාවීර දිනය යනු මරාගෙන මැරෙන කොටි කල්ලියේ මරාගෙන මැරුණු කොටින් සමරන දිනයයි. කොටි මරාගෙන මැරුණේ නිකම්ම නොව අහිංසක, නිරායුධ කිරිකැටියන්ද ඇතුළුව ජනතාව නිකරුණේ මරා දමමිනි.

වියන්ගොඩලා කියන්නේ ඒ සැමරුම දිගටම ගෙන යා යුතු බවයි. තම මාතෘභූමියේ අහිංසක සහෝදර සහෝදරියන් දහස්‌ ගණනක්‌ ම්ලේච්ජ ලෙස ඝාතනය කළ කොටි ත්‍රස්‌තයන් සැමරිය යුතු යෑයි නිර්දේශ කරන මෙම කමිටුව මුදලට තම තමන්ගේ මෑණියන් වුවද පාවා දිය හැකි නිර්ලඡ්ජිත අපතයන් නොවේද?

ජාතික ආරක්‍ෂාව පිළිබඳව මෙලෝහසරක්‌ නොදන්නා මෙම කමිටුව උතුරේ හමුදාව ඉවත් විය යුතු යෑයිද, හමුදාව නිර්මිලිටරිකරණය කළ යුතු යෑයිද කියනුයේ කුමන පදනමකින්ද? ත්‍රස්‌තවාදය නැවත හිස ඔසවමින් සිටින මෙවන් කාලයක මේ ආකාරයේ නිර්දේශ කළ හැක්‌කේද කොටි හිතවාදීන්ටම නොවේද? රට බෙදීම සඳහා රටේම ඉඳගෙන මෙවන් දීන නිර්දේශ ඉදිරිපත් කරන දේශද්‍රෝහීන් ඉන්නේ ලෝකෙන්ම අපේ රටේ පමණක්‌ විය යුතුය. එසේම එවන් නිර්දේශ කරමින්, දෙකට නැමී ඒවා ඉදිරිපත් කරමින්, ඊට පසුවද නිවෙස්‌වල නිරුපද්‍රිතව සිටින මිනිසුන් සිටින්නේද අපේ රටේ පමණක්‌ විය යුතුය.

2015 ඇමරිකාව සමඟ මංගල සමරවීර සම අනුග්‍රහය දැක්‌ වූ අපට විරුද්ධ ජිනීවා යෝජනාව මේ වසරේ මාර්තු මස නැවත සාකච්ඡා කිරීමට නියමිතය. ඇමරිකාවේ ඔබාමා සහ එංගලන්තයේ ඩේවිඩ් කැමරන් දැන් බලයේ නැති නිසා පසු දිනෙක, විදේශීය මාධ්‍යකරුවෙක්‌, මංගල සමරවීරගෙන් අසා ඇත්තේ මෙම යෝජනාව සම්බන්ධව දැන් එංගලන්තය සහ ඇමෙරිකාව එතරම් බලපෑම් නොකරනු ඇතැයි නේද යනුවෙනි. එවිට මංගල සමරවීර පිළිතුරු දී ඇත්තේ ඔවුන් බලපෑම් නොකළත් අපි ඒක ක්‍රියාත්මක කරනවා.” යනුවෙනි. රණවිරුවා යුද අපරාධ කළා යෑයි ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යැමට මංපෙත් විවර කරන උක්‌ත ජීනීවා යෝජනාව කිසිම බලපෑමකින් තොරව හෝ ක්‍රියාත්මක කරන බව කියන මංගල සමරවීර කොටි සාමාජිකයෙක්‌ම බව සනාථ කිරීමට මීටත් වඩා තවත් ප්‍රබල සාක්‍ෂියක්‌ තිබේද? රට වැසියෙක්‌ට තම දේශයට මීට වඩා දේශද්‍රෝහී විය හැකිද?

එසේ නම් අප විසින් දේශද්‍රෝහීන් කවුරුන්දැයි ඉතා හොඳින් හඳුනා ගත යුතු කාලය දැන් එළඹ තිබේ. ඒ නිසි කල ආවිට ඔවුන්ට නිසි දඬුවම් දිය යුතු බැවිනි.

 රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress