මාගේ මුස්ලිම් මිතුරන්
Posted on February 24th, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

කුඩා කාලයේ සිට බහුවාර්ගික වටපිටාවක ජීවත් වූ මා හට මුස්ලිම් මිතුරන් බොහෝ වූහ​. එහෙත් මාගේ මුල්ම කුලුපග මුස්ලිම් මිතුරා වවුනියාවේ අයෙකි. මට ඔහුව හමු වන්නේ වවුනියාවේ අධ්‍යාපන කලාපයකදීය​. එය සිදු වූයේ මෙසේය​.  

1974 වසරේදී විශයමාලා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කල මාගේ මවට වවුනියාවේ අධ්‍යාපන කලාපයේ අධීක්‍ෂණ චාරිකාවක නිරත වීමට සිදුවේ.   එවකට දෙවන ශ්‍රේනියේ ඉගෙනුම ලබමින් සිටි මමද ඇය සමග වවුනියාවට ගියෙමි. අප නැවතී සිටියේ වවුනියාවේ ගුරු පුහුණු නේවාසිකාගාරයකය​. උදය වරුවේ මව ගුරු පුහුණු දේශන වලට ගිය අතර මම නේවාසිකාගාර වත්තේ තල්  ගස් අතර තනිවම සෙල්ලම් කරමින්  සිටියෙමි.  එවිට මගේ හුදකලාභාවය මකා දමමින් මොහොමඩ් නම් මගේ වයසේ ළමයෙකු මට හමු විය​. ඔහු ගුරු පුහුණුව සඳහා පැමිනි ගුරුවරයෙකුගේ දරුවෙකු විය යුතුය​. 

මගේ මතකය අනුව ඔහුට සිංහල තේරුණු අතර අපට භාෂා ගැටළුවක් නොවීය​. වැඩිහිටියන් රාජකාරී වැඩ වල නියුතු වෙත්දී අප දෙදෙනා එකට එක්වී සෙල්ලම් කලෙමු. එසේම තට්ටු කීපයකින් යුතු ගුරු නේවාසිකාගාරයේ  ඒ මේ අත දිව ගියෙමු. එසේම හින්දු දෙවිවරු සිටි ආගමික කාමරයකටද හිස් දමා සිරි නැරඹුවෙමු. දිවා ආහාරය එකට ගත්තෙමු. සවස් වන විට මොහොමඩ් සහ මම ඉතා තද මිතුරුදමකින් බැඳී සිටියෙමු. 

ඔහු මටම ගැලපෙන මිතුරෙකු විය​. කිසි විටක මා කියන දෙයට එරෙහි වී මා සමග රණ්ඩු කලේ නැත​. මා කියන සෙල්ලම් වලට ඔහු එකඟ වෙයි. අප කුඩා තල් ගෙඩියක් බෝලය ලෙස ගෙන ෆ්‍රෙන්ච් ක්‍රිකට් ගැසුවෙමු. ෆ්‍රෙන්ච් ක්‍රිකට් අමුතු ආකාරයේ ක්‍රීඩාවකි. දණ ආවරණය කර ගනිමින් පන්දුවට පහර දිය යුතුය​. බෝලය දණහිසේ වැදුනොත්  අවුට් ය​. ​ කොලඹින් ගිය මා වවුනියාවේ මොහොමඩ්ට ෆ්‍රෙන්ච් ක්‍රිකට් කියා දී අප ෆ්‍රෙන්ච් ක්‍රිකට් ගැසුවෙමු. 

අප දෙදෙනා තල් ගස් වලින් පිරි විශාල පිට්ටනියේ ඇවිද්දෙමු. පිට්ටනියේ කොනක තිබූ වේයන් බැඳි තුඹස් වලට ගල් විසි කොට දිව්වේ පෙණය පුප්පාගත් නාග රාජයෙකු තුඹසින් මතුවේ යන බිය නිසාය​.  තවද ගුරු නේවාසිකාගාරය අසල තිබූ කුඩා දෙමල ප්‍රාථමික පාසලටද ගියෙමු. එදින නිවාඩු දිනයක් නිසා සිසුන් පන්ති වල සිටියේ නැත​. අප දෙදෙනා පන්ති වල තිබූ ළමුන් ඇඳි චිත්‍ර මෙන්ම ඔවුන් ගේ අත්කම්ද නැරඹුවෙමු. එක් අත් වැඩකට මගේ සිත ගියේය​. එය මැටි පුවරුවක සදා තිබූ හේනකි. ඇත්ත ගසක කුඩා අත්තක් මැටි පුවරුවේ ගිල්වා ගිනි පෙට්ටියකින් ගස උඩ සෑදූ ගෙයක් ද තනා තිබුනේය​. ඉරට වලින් හේනේ වැට සමන්විත විය​. මෙය නිර්මාණය කල සිසුවාගේ පියා හේන් ගොවියෙක් විය යුතුය​. මෙම අත්කමට මගේ සිත තදින් බැඳුනු අතර යළි කොලඹ පැමිනීමෙන් පසු මම පස් වලින් පුවරුවක් තනා අඩියක් පමණ උස ගසක් එහි සිටුවා ගිනි පෙට්ටියකින් ගස උඩ තැනූ ගෙයක් ද නිර්මාණය කොට අබේකෝන් ටීචර්ට පෙන්නුවෙමි.   

මෙලෙස දින කීපයක් ඇතුලත අපගේ මිතුදම වැඩී ගියේය.​එහෙත් හිටි හැටියේ මොහොමඩ් අතුරුදහන් විය​.  ගුරු පුහුණුව නිම කිරීමෙන් පසුව ඔහුගේ පියා ඔහු කැටුව යන්නට ඇති. එහෙත් එකිනෙකාගෙන් සමු ගැනීමට අපට නොහැකි විය​. එක් දවසක දිවා ආහාරය ගෙන පිට්ටනියට එන විටදී මොහොමඩ් සිටියේ නැත​. මම ඔහුව ගුරු නේවාසිකාගාරය පුරා සෙවුවෙමි.එහෙත් ඔහු සිටියේ නැත. ​ඉන් පසු සාංකාවෙන් මම තල් ගස් අතර තනිවම සෙල්ලම් කලේ ඔහු නැවත එයි යන අපේක්‍ෂාවෙනි. එහෙත් මොහොමඩ් ආවේ නැත​.   රාජකාරී වැඩ අවසන් කිරීමෙන් පසුව මගේ මව මා සමග යළි කොලඹ ආවාය​. කොලඹට එන තෙක් මම මාගේ මිතුරා ගැන කල්පනා කලෙමි. අද වූවද මොහොමඩ් පිලිබඳ මතකය මගේ සිතේ තැන්පත් වී තිබේ. ඔහු වැඩිහිටියෙකු වී  උතුරු නැගෙනහිර ජීවත් වනවා විය යුතුය​. 

මාගේ අසල්වාසීන් වූ ඉෆ්තිකා රෙන්සා,  ඩිල්ශාන් , අන්වර් සහ අනෙකුත් කොළුවන් සමග මම මාබල් හෙවත් ටීක්බෝල ගැසුවෙමි. වැලි පොලවේ හතරැස් කොටුවක් ඇඳ එහි මැද ජිල් නම් හිලක් තබා අප තරඟයට සෙල්ලම් කලෙමු. ඉලක්කයට හතරැස් කොටුව තුල තිබෙන ටීක්බෝලයකට ගැසිය යුතුය​. ටීක්බෝල කීපයකට වැදුනොත් දඩ වදී. එවිට එම  ටීක්බෝලය ද දමා බෝල සියල්ල අඩි පහක පමණ දුරක සිට කොටුවට විසි කල යුතුය​. ටීක්බෝලයක් කොටුව මධ්‍යයේ තිබෙන සිදුරට වැටුනොත් නියත දිනුමක් ලැබේ. මා ලඟ ජෙම් රිච් නම් කඩයෙන් ගත් අළුත් මාබල්  තිබූ අතර ඩිල්ශාන් තම දිලිසෙන මාබල් සඟවාගෙන කඩතොළු වූ ටීක්බෝල වලින් සෙල්ලම් කරයි. අප මේ කඩතොළු වූ ටීක්බෝල කබ්බෝ ලෙස නම් කලෙමු. පරදින විට කබ්බෝ දීම නිසා අප ඩිල්ශාන් සමග රණ්ඩු කලෙමු. එහෙත් සවස් වන විට සතුරන් මිතුරන් වෙති.

එසේම අප ක්‍රිකට් ගැසුවෙමු. ක්‍රිකට් ගසා අසල්වැසි නිවාස වල ජනේල බිඳ සාමූහිකව බැනුම් ඇසුවෙමු. වරක් අන්වර් ගැසූ හයේ පහරක් ජනේලයක් කඩා ගෙන ගිය අතර අපි බැට් බෝල දමා දිවුවෙමු. අන්වර් ටී.බී ජයා ගේ මුණපුරෙකි. 

අපි  සෙල්ලම් තුවක්කු අතට ගෙන හොරා පොලිස් හෝ කව් බෝයිස් සෙල්ලම කලෙමු. ඩිල්ශාන් ගේ පියා සතුව පැරණි වායු රයිෆලයක් තිබූ අතර ඔහු එය සෙල්ලම් කිරීමේදී ගෙන ආවේය​. අවශේෂ කොල්ලෝ ප්ලාස්ටික් හෝ ලී තුවක්කු ගෙන ආහ​. මා සතුව ප්ලාස්ටික් තුවක්කුවක් මෙන්ම ක්ලේ ගුලියක් ද තිබුනේය​. සතුරන් මා අත් අඩංගුවට ගෙන  මගේ තුවක්කුව පැහැරගෙන මාව පැරණි මලකඩ කෑ වතුර ටැංකියකට දමා සිරගත කරති.  එවිට මම සාක්කුවේ තිබෙන ක්ලේ ගුලිය අතට ගෙන තුවක්කුවක් නිර්මාණය කොට  “බෑං” කියා සිරගෙදර ගාඩ්ට වෙඩි තබා ඔහුගේ තුවක්කුවද ගෙන පළා යමි. 

සිරගෙදර ගාඩ්ට බොහෝ විට සිටියේ ලක්මින් ය​. ඔහු රාජකීය විදුහලේ සිසුවෙකු විය​. එතරම් දබරකාරයෙකු නොවූ ලක්මින්ට වෙඩි තබා හෝ ඔහුව වරපොටකින් බැඳ දුවන විට රෙන්සා හෝ ඩිල්ශාන් සොහොයුරෝ මා හඹා විත් මාව යලි අත් අඩංගුවට ගෙන සිරගත කරති. මෙම ක්‍රීඩාව අප රතිඤ්ඥා සහ බිම ගැසූ විට පුපුරණ ඩෑෂිං කැකර්ස් යොදාගෙන කලෙමු. ඩිල්ශාන් තම වායු රයිෆලයේ බටයට රතිඤ්ඥාවක් පත්තු කොට දමා අප වෙත තුවක්කුව එල්ල කොට වෙඩි තබයි. එවිට ශබ්දය සමග තුවක්කුවෙන් දුම් පිටවේ. එම අවස්ථාවේදී  අපි ග්‍රෙනේඩ් හෙවත් ඩෑෂිං කැකර්ස් ඩිල්ශාන් වෙත ගසමු. ඒවා හඞ නගමින් පිපිරී යයි. එවිට ඔහු මැරී වැටේ.  

අවුරුද දහයේ දොලහේ කොල්ලන් කුරුට්ටන් සෙල්ලම් තුවක්කු සහ රතිඤ්ඥා යොදා කළ සෙල්ලම ඉන් දශක එකකට එක හමාරකට පසුව ඇත්ත තුවක්කු යොදා ගනිමින් වැඩිහිටියන් සිදු කලහ​. අප සමග සෙල්ලම් තුවක්කු සමග ක්‍රීඩා කල ඇංගොං කියා කවට නමින් හැඳින්වූ දෙමළ ළමයා ඇතුළු පිරිසක් පසුව ප්‍රභාකරන්ට එකතු වී හමුදාව සමග සටන් කලහ​. සමහරු පිටරට ගොස් ද්‍රවිඩ ඩයස්පෝරාවට බැඳී ප්‍රභාකරන්ට ආයුධ ගැනීමට මුදල් එවූහ​. මේ වියවුල් නිසා රෙන්සා / ඩිල්ශාන් සොහොයුරන් ඕස්ට්‍රේලියාවට ගියහ​. ඕස්ට්‍රේලියාවට විත් ඔවුන් හමු වන ලෙස ඔවුන් නිතරම කියති. 2006 වසරේ මම ඕස්ට්‍රේලියාවට ගිය මුත් මේ දෙසොහොයුරන් හමු වීමට කාල වේලාවක් නොවීය​. 

මා උසස් පෙළ විභාගයට සූදානම් වන සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය අනුරාධපුර සංහාරය කළහ​. මේ සමයේදී ද්‍රවිඩ මිතුරන් අපගෙන් ඈත් වී ගියේ ඉතා කණගාටු දායක ලෙසටය​. මේ සමයේදී මා සමග මිතුරු වූ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මුස්ලිම් සිසුවෙකු සිටියේය​. ඔහු මා සමග අසංග සර් ගේ නුගේගොඩ සත්ව විද්‍යා පන්තියට ආවේය​. ඔහු සිටියේ මාධ්‍යවේදී නාලක ගුණවර්ධනගේ පන්තියේය​.  මම , නාලක , තරිඳු පෙරේරා, සිදත් ප්‍රනාන් දු හෙවත් ඔටුවා සහ මෙම සිසුවා සමග එක පෙළට බංකුවේ වාඩිවී අසංග අබේසුන්දර ගුරුතුමාට සවන් දුන් අයුරු තවමත් සිහිපත් වේ. වර්තමානයේ ඔහු එක්සත් රාජධානියේ ජීවත් වෙයි. 

මේ කාලයේදී මගේ තවත් සුමිතුරෙකු වූ නසීර් යාකුබ්ව  මට සිහිපත් වේ. නසීර් මටම තකට තක ගැලපුනු මිතුරෙකු විය​. අප බොහෝ සෙයින් විහිළු කර ගත්තෙමු. නසීර් ඉගෙනුම ලැබුවේ මහානාම විද්‍යාලයේය​. ඔහු උසස් පෙළට ගණිත විශයන් හැදෑරීය​. අප දෙදෙනා සෑම ඉරිදා දිනයකම සවස නුගේගොඩ රොටරි හෝල් එකේ දෙව්‍ රුවන් අල්විස් සර් ගේ රසායණික විද්‍යා පන්තියේදී හමුවූයෙමු. අප දෙදෙනා වාඩි වූයෙත් එක ලඟය​. කලින් එන තැනැත්තා අනෙකාට තැනක් තමා අසලින්ම වෙන් කරයි. 

වරක් මාගේ පටක විද්‍යාව ඇබෑසි පොත රහසින් ගත් නසීර්  එහි අකුරු එහා මෙහා කොට ලිවීය​. මේ බව නොදත් මම  ඇබෑසි පොත ඉස්කෝලේදී කුලවංශ සර් ඉදිරියේ තබාගෙන පාඩමට සවන් දුන්නෙමි. මාගේ  පටක විද්‍යාව ඇබෑසි පොත් කවරය දැක කුලවංශ සර් ගේ දෙනෙත් ලොකු විය​. ඉන් පසු මට නසීර් කල විහිළුව වැටහුනි. පසුව එලැඹුනු ඉරිදා මම නසීර්ට දෙහි ගෝනියක් කැපුවෙමි. 

උසස් පෙළ කරන සමයේ කෙල්ලන්ට ලව් ලෙටර් දීමට සපෝටර් ලෙස අපි දෙදෙනා එකිනෙකාට උදව් කර ගත්තෙමු. එසේම කෙල්ලන් ෆලෝ කරමින් , පැණි හලමින් බස් වල මහරගම , නාවින්න ආදී ප්‍රදේශ දක්වා අපි දෙදෙනා සමහර විට ගියෙමු. එහෙත් මේ ගමන් බොහෝමයක් අසාර්ථක වූයේය​. එහෙත් අපගේ මිතුදම වැඩුනි. 

අප දෙදෙනා මහජන පුස්තකාලයේ එකට පාඩම් කලෙමු. අපි කෙටි විවේකයකට කැන්ටිමට ගොස් ප්ලේන් ටී එකක් සමග රෝල් එකක් හෝ මාළු පාන් කන්නෙමු. එක් දවසක් මම මෝරා වන අතර අනෙක් දින නසීර් මෝරා වෙයි. මෝරා යනු තේ සහ කෙටි කෑමට මුදල් වියදම් කරන තැනැත්තාය​. ඉඳ හිට අප තඩි මෝරෙක් අල්ලාගෙන ඔහුගෙන් හොඳට කෑවෙමු. 

මහානාම විදුහලේ මුගාබේ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද ගුරුවරයා විසින් ආගමික සහ වාර්ගිකත්වය මත  නසීර්ට බොහෝ පීඩන ඇති කරන ලදි මේ නිසා ඔහු කොලඹ සහිරා විදුහලට යාමටද ඉටා ගත්තේය​. මේ පීඩන නිසා 1985 උසස් පෙළ විභාගයට  වසරක් තිබියදී නසීර් ශිෂ්‍යත්වයක් ලැබ  පරිගණක විශය හැදෑරීමට සෞදි අරාබියට ගියේය​. ඉන් පසු මාගේ ඉරිදා දිනයන් කාංසා සහිතව ගත විය​. සෞදි අරාබියට ගොස් පරිගණක උපාධියක් හදාරා සිටි නසීර් 1993 වසරේදී මා සොයා මගේ නිවසට ආවේය​. එසේම ඉන් වසර කීපයකට පසුව තිබූ මගේ විවහා මගුලටද නසීර් ආවේය​. මමද ඔහුගේ මගුල් ගෙදර ගියෙමි. වර්තමානයේ නසීර් ලංකාවේ ජීවත් වෙයි. ඔහු මගේ මුස්ලිම් සොහොයුරාය. පුනර්භවයක් කියා දෙයක් සත්‍ය වශයෙන් තිබේ නම්  අතීතයේ එක් ආත්මයක අප දෙදෙනා  එක පවුලේ සහෝදරයන් වී ඉපදී ඇති බව මට සිතේ.  එහෙත් නසීර් පුනර්භවය පිළි ගන්නේ නැත​. 

මාතලේ රෝහලේ ඉන්ටර්න් වරයෙකු ලෙස සේවය කරන සමයේ මට හමුවූ සැකරියා හොඳ මිතුරෙකි. එසේම බෂීර්ද​ විහිළුව ප්‍රිය කල අයෙකු විය​. බෂීර්  ගේ ගම අක්කරේපත්තුව වූ අතර ඔහුගේ පියා ට්‍රැක්ටර පවා සතු ගොවියෙකි. බෂීර්  ඉගෙනුම ලැබුවේ යාපනය වෛද්‍ය පීඨයේය​. එහෙත් ඔහු සිංහලද හොඳින් කතා කලේය​. 

වරක් නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නීල් සෙනෙවිරත්න මහතා නිවාඩු ගිය ඉරිදාවක  දඹුල්ලෙන් ගැබිනි මාතාවක් ආවේය​. මෙදින මාතලේ රෝහලේ විදුළිය ඇණ හිට තිබූ නිසා මම ඒ ගැබිණි මව මහනුවර රෝහලට මාරු කලේ රෝහලේ විදුළිය නැත කියා සටහන් කරමිනි. මේ කාලයේ මහනුවර රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා වූයේ හෙට්ටිආරච්චි නම් මහතෙකි. ඔහු සියළු දෙනාටම බැණ වදින ට්‍රාන්සර් ෆෝම් වල කුණුහබ්බ ලියන අමුතු අන්දමේ පුද්ගලයෙකි. මා විසින් මහනුවරට මාරු කල ගැබිනිය ඔහු යළිත් වරක් මාතලේ රෝහලට එවා තිබුනේ මෙලෙස  ට්‍රාන්සර් කොලයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියාය : උඹලාගේ රෝහලේ විදුළිය නැත්නම් ඩී.එම්.ඕ ට කියා ජෙනරේටරයක් ගනිල්ලා. වෙද්‍ය හෙට්ටිආරච්චි විසින් ලියන ලද මේ වචන සෙට් එක දුටු බෂීර් බඩ අල්ලාගෙන සිනාසුනේය​. 

වරක් අපගේ චමරියේ කෑම අප්සෙට් දිනයක මමත් බෂීරුත්  මාතලේ අරුණාලෝක හෝටලයට ගොස් කෑවෙමු. අරුණාලෝක හෝටලයේ   මැනේජර් වූ සුනිල් සහ හිමිකරු වූ  ඥාණසිරි මගෙන් මුදල් ගැනීම ප්‍රතික්ශේප කලෙන් මම ඔවුනට සුහදව දොස් කියමින් හෝටලයෙන් එලියට බැස්සෙමු. හෝටලයෙන් එලියට ගිය විගස බෂීර් මගේ කනට කර ” ඔයියාට හොඳ ෆ්‍රෙන්ඩ් එක තමා ඉන්නවා ” කීවේය. 

මීගමුව රෝහලේ මම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරද්දී මා යටතේ ඉන්ටර්න්වරයෙකු වූ මොහිදීන් ගුණසිංහ පුර වාසියෙකු විය​. ඒ නිසා ඔහු සිංහල කතා කලේ බජාර් එකේ අයියා කෙනෙකු ලෙසටය​. මම මොහිදීන්ව ප්‍රිය කලෙමි. ඔහුගේ බජාර් එකේ විහිළු ශල්‍යාගාරයේදී අපගේ කාන්සිය මකා දැමුවේය​. එසේම ඔහු සමහර විට බූන්දි , මස්කට් , වටලප්පම් නිවසින්  ගෙනවිත් අපට ඔහුගේ කාමරයට කතා කරයි.  මා ඇතුළු අනෙකුත් වෛද්‍ය  නිලධාරීන් මොහිදීන් ගේ කාමරයට ගොස් මේ රස කැවිළි වලට වග කියන්නෙමු. 

මොහිදීන් වෛද්‍ය විද්‍යාව හැදෑරුවේ චීනයේ ය​. එම නිසා ඔහු චීන (මැන්ඩරීන්) භාෂාව මෙන්ම දෙමල , සිංහල , ඉංග්‍රීසි භාෂා කතා කලේය​.  භාෂා හතරක් කතා කල මොහිදීන් ගේ හැකියාවන් අපගේ සෞඛ්‍ය අංශය එතරම් සැලකිල්ලට ගත්තේ නැත​. උතුරු ඇමරිකාවට ආවේ නම් මැන්ඩරීන් බස දන්නා මොහිදීන්ට ඉතා පහසුවෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක් සොයා ගත හැකිය​. 

හලාවත රෝහලේ අප සමග සිටි රිස්විද ජොලි වෛද්‍යවරයෙකු විය​. ඔහු ශල්‍ය  විශේෂඥ වෛද්‍ය බී ජී එන් රත්නසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීයෙකු විය​. මම එවකට නිර්වින්දන වෛද්‍යවරයෙකි. රිස්වි සමග මාගල් වැනි තියටර් ලිස්ට් මම නිම කලේ කිසිදු වෙහෙසක් නොමැතිව රිස්වි ගේ  කතා වලට සවන් දෙමිනි. සමහර දින වල අප දහවල්  එකට පටන් ගත් ශල්‍යකර්ම රාත්‍රී හත අට දක්වා කරන්නෙමු. ලෙඩුන් විසි තිස් ගනන් සිටින පෝලිම් අප නිම කරන්නෙමු. ඉන් පසු වෛද්‍ය නිලධාරී නිල නිවාසයට ගොස් රාත්‍රී ආහාර ගෙන යාපාගේ කාමරයට ගොස් ඩෙල්ටා ෆෝස් පරිගණක ක්‍රීඩාව කිරීම අපගේ සතියේ දවස් වල දින චර්‍යාව විය​. රිස්වි ගේ විවහා මගුල් උත්සවයට අප ගියෙමු. පසුව ඔහු ජයවර්ධන පුර වෛද්‍ය පීඨයට බැඳුනේය​.  

යුද හමුදා රෝහලේදී මට හමුවූ නිෆ්ලර් එවකට කපිතාන්වරයෙකි. වරක් මම  ඔහු සමග රත්මලාන  ගුවන් තොටුපලේ සිට   පලාලි දක්වා පැරණි ඇන්ටනෝව් යානාවකින් පියාසර කලෙමි. එසේම ඔහු සමග සුභාෂ් හෝටලේ නැවතී සිටියෙමි. නිෆ්ලර් මා කැටුව යාපනයේ රෝහල පෙන්වීමට ගියේය​. නිෆ්ලර් හොඳ වෛද්‍යවරයෙකි. ආදරණීය ශ්‍රී ලාංකිකයෙකි. එසේම හිත හොඳ මිතුරෙකි. වර්තමානයේ ඔහු යුද හමුදාවේ සාම  සාධක මෙහෙවරක් ඉටු කරමින් උගන්ඩාවේ සිටියි. 

මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය  සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කල සමයේදී වෛද්‍ය ගවුස් කල්පිටිය එම් ඕ එච් හෙවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විය​. මම විහිළුවට ඔහුට ග්ලවුස් කියා ඇමතූවද ඔහු අමනාප නොවීය​. වෛද්‍ය ගවුස් මාගේ මානසික සෞඛ්‍ය  වැඩ සටහන් වලට උපරිම සහයක් දුන්නේය​. අතලොස්සක් වූ සමහර සිංහල වෛද්‍යවරු / වෛද්‍යවරියන් කුහක කමට මානසික සෞඛ්‍යය වැඩ සටහන්  කඩාකප්පල් කොට තුච්ච තුෂ්ටියක් ලැබුවද ගවුස් එම කුහකයන් ගේ වැඩද ඔහුගේ කරට ගනිමින් දිස්ත්‍රික්කය තුල මානසික සෞඛ්‍යය වර්ධනයට මහත් සේවයක් කලේය​. බහුතරය සිංහලයන් ජීවත් වූ හලාවත වැනි ප්‍රදේශයක මානසික සෞඛ්‍ය වැඩ සටහන් සිංහල ජාතික එම් ඕ එච් වරිය කිසිදු මෙත්තාවකින් තොරව ඒවා  අතපසු කරන විට මුස්ලිම් එම් ඕ එච් කෙනෙකු ඒවා භාරගෙන කල බව කිව යුතුය​. වැඩ කිරීමේදී ගවුස්ට සිංහල මුස්ලිම් භේද නොවීය​.  මෙය සියල්ලම වාර්ගික කෝණයකින් බලන වර්ගවාදයේ ආගම්වාදයේ විශ හිසට ගැසූ නොමිනිසුන්ට පෙන්විය හැකි අනගි උදාහරණයකි.  

සිංහල සහ මුස්ලිම් මිත්‍රත්වය ශත වර්ශ ගනනාවක් අතීතයට ඇදී යයි. බොහෝ කාලයක් මේ ජාතීන් එකට ජීවත් වූහ​. එහෙත් සිංහල  සහ මුස්ලිම් අන්තවාදීන් විසින් ඇති කරන ලද වාර්ගික අසමගිය නිසා  අතීතයේ සහයෝගයෙන් සමගියෙන් ජීවත් වූ ජාතීන් දෙකක් ඈත් වෙමින් සිටිති. එය ඉතා සංවේග ජනකය​. කෙසේ නමුත් මාගේ මුස්ලිම් මිතුරන් මේ අන්තවාදයට ගොදුරු නොවීම සැනසිලිදායකය​. එදා මෙන් අදත් හෙටත් අප මිතුරන් වන්නෙමු. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

One Response to “මාගේ මුස්ලිම් මිතුරන්”

  1. Lorenzo Says:

    Saudi Arabia state funded WAHABISM is the reason for this. SL is NOT alone. This is a GLOBAL problem. It is NOT wise to blame Singhalese for it. This problem is affecting Endia, Pakistan, Maldives, Canada, Australia, USA, France, Germany, Japan, China, even Muslim countries. TRUMP is not a Singhala extremist. He wants MUSLIMS OUT for this reason. LE PENN is NOT a Singhalese but she wants Muslims reduced in France. Japenese are NOT Singhalese but JAPAN wants NO Islam. OIL and ISLAM must be separated in Saudi Arabia to save moderate Muslims.

    I too have hundreds of MUSLIM friends and NO ONE buys extreme ISLAM.

    BUT they fear their children and grand children in CANADA will be brainwashed into WAHABISM at the rate it is spreading in EVERY country in the world.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress