දුෂණ චෝදනා එල්ල වී ඇති පී.සමරසිරි මහතා ගේ වැඩ තහනම වෙනුවට ජනතා බදු මුදලින් පුද්ගලික නීතිඥ සහාය ලබාදීමට කටයුතු කිරීම
Posted on February 27th, 2017

පූජ්‍ය උලපනේ සුමංගල හිමි  සභාපති – දුෂණ විරෝධී පෙරමුණ

2017 පෙබරවාරි මස 27 වැනිදා

අධිපතිතුමා,
ශ්‍රී ලංක මහ බැංකුව,
කොළඹ 1.

මහත්මාණෙනි,

දුෂණ චෝදනා එල්ල වී ඇති පී.සමරසිරි මහතා ගේ වැඩ තහනම වෙනුවට ජනතා බදු මුදලින් පුද්ගලික නීතිඥ සහාය ලබාදීමට කටයුතු කිරීම

2017 ජනවාරි 1 දින සහිතව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ අත්සනින් 2017 නොවැම්බර් මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ මුද්‍රණාලය වෙත යොමු කොට ඇති ගැසට් පත්‍රය පිළිබද සම්පූර්ණ වගකීම රාජ්‍ය මුල්‍ය පනත යටතේ පැවරෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී.සමරසිරි මහතාට ය. 

ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනතේ 4 වන වගන්තියට අනුව ලංකා ඉතිහාසයේ අති විශාලම මුල්‍ය වංචාවට අදාළ නිලධාරියා මේ වන විටත් මහ බැංකුවේ රාජ්‍ය ණය අංශය භාරව කටයුතු කරයි.

තව ද, පසුගිය බ්‍රහස්පතින්දා දින විශේෂ ජනාධිපති විමර්ශන කමිටුවේ දී පී.සමරසිංහ මහතාට තම ආරක්ෂාව සදහා පුද්ගලික නීතිඥවරයෙකු ගේ සහාය ලබා ගෙන තිබුණි. 

  1. ‘ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති (සමරසිරි මහතා) වෙනුවෙන් පුද්ගලික නීතිඥයෙකු පෙනී සිටීම සදහා මුදල් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති ද? 
  2. එසේ නම්, මහ බැංකුව සතුව ලංකාවේ ඉහළම වැටුප් ලබන ඉතා පළපුරුදු නීතිඥ කණ්ඩායමක් සිටිය දී, පුද්ගලික නීතිඥ සහාය ලබා ගැනීමට විශේෂ හේතුවක් ඇතිද?
  3. ලංකාවේ ඉහළම රාජ්‍ය වැටුප් මට්ටමක් සහිත මහ බැංකුවේ නීති වෘත්තියකයින් ගේ සහාය සමරසිරි මහතාට ප්‍රමාණවත් නොවේ ඒ සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති සහාය මහ බැංකුව ලබා නොගන්නේ මන්ද?
  4. නීතිපති දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් සම්පත් නොමැති නම් පුද්ගලික නීතිඥයින් ලබා ගැනීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව අවසර ලබා දිය යුතුය. මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරණ සාමාන්‍ය ව්‍යවහාරය ට අනුව, මෙහි දී කටයුතු කර ඇද්ද? 
  5. මේ වන විටත්, පෞද්ගලික නීතිඥ සහාය ලබා ගැනීමට කටයුතු කොට ඇති නම්, මහජන මුදල් වැයවන එම කටයුත්ත සදහා, නීතිඥයෙකු තෝරා ගැනීමේ පාරදුශ්‍ය තෝරා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනයන කොට ඇතිද?
  6. ඒ සදහා මහ බැංකුව මගින් වැය කිරීමට නියමිත මුදල කොපමණද?
  7. එසේ තෝරා ගනු ලබන නීතිඥවරයා මහ බැංකුව හා සම්බන්ධ වෙනත් නඩු සදහා නීතිඥයෙකු ලෙස කුමන පාර්ශවයක් වෙනුවෙන් හෝ පෙනී සිටි ඇති ද?
  8. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර ගනුදෙනු හෝ ණය දෙපාර්තමේන්තුවේ කටයුතු සමග සබැදියාවන් අතර ගැටුමක් ඇති නොවන බවට තහවුරු කොට ගෙන ඇතිද?
  9. සමරසිරි මහතා තම පෞද්ගලික අභිමතාර්ථය අනුව පුද්ගලික නීතිඥ සහාය ලබා ගන්නේ නම් ඒ සදහා ශ්‍රී ලංකා මහ බැංකුව වියදම් දැරීමේ පදනම කුමක් ද?
  10. සමරසිරි මහතා ට කොමිසම හමුවේ සත්‍ය ප්‍රකාශ කිරීමේ දී මහ බැංකුවේ අනෙකුත් කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට වඩා වෙනස් තත්වයක්, තර්ජනයක් හෝ ආරක්ෂා ක්‍රමවේදයක් පවතින්නේ ද? මෙම විමර්ශනයේ දේ මේ වන විට නීතිඥ සහාය ලබාගෙන ඇති අනෙක් පාර්ශවය වන්නේ Perpetual Treasuries සමාගමයි. අර්ජුන් ඇලෝසියස් මහතා ට සහ ඔහුගේ මාමා වන හිටපු මහ බැංකු අධිපතිවරයාට මේ වන විටත් බැදුම්කරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බැවින් නීතිඥ සුරක්ෂාව ලබා ගැනීම තේරුම් ගත හැකිය. සමරසිරි මහතා ට ද, පුද්ගලික නීතිඥ සහාය ලබාගැනීමට සිදුව ඇත්තේ ඔහු ද අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන් මහේන්ද්‍රන් යන පුද්ගලයින්ට හා සමාන අනතුරක මෙම විමර්ශනය හේතුවෙන් පත්ව ඇති නිසාද?
  11. ද්විතීය වෙළෙදපොල තුලින් බැදුම්කර නිකුත් කිරීමේ දී සේවක අර්ථසාධක අරමුදලට රු. බිලියන ගණනක පාඩුවක් සිදුව ඇත. සේවක අර්ථසාධක අරමුදල් සුරක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවට සුවිශේෂ වගකීමක් පැවරී තිබේ. ජනාධිපති කොමිෂන් සභාවේ දී සේවක අර්ථසාධක අරමුදල් ලාභීන්ගේ හිමිකම් ආරක්ෂා කිරීම සදහා නීතිඥ සහාය ලබා ගැනීමට මහ බැංකුව/මුල්‍ය මණ්ඩලය කටයුතු කර නැත.

පෙබරවාරි 26 දිනයේ මුදල් අමාත්‍යාංශය විසින් නමක්, අත්සනක් රහිතව නිකුත් කළ නිවේදනය අනුව බැදුම්කර වංචා චෝදනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මත පැටවීමේ ලැජ්ජා සහගත උත්සාහයක් ගෙන තිබුණි.  ලංකා රාජ්‍ය සේවයේ වැඩිම වැටුප් ලබන නීති වෘත්තියකයින් වන මහ බැංකු නීති නිලධාරීන් වෙත නිවේදනයේ 5 වන ජේදයෙන් උපහාසයට ලක් කොට තිබුණි. ඒ සියල්ලෙන්ම පෙනී යන්නේ බැදුම්කර වංචාව යට ගසා ගැනීමට එහි මහ මොළකරුවන් ගැසට් නිවේදනයේ සිට පුවත්පත් නිවේදනය දක්වා සැලසුම් සහගත සකස් කරමින් ඇති බවයි.   

එම දැවැන්ත කුමන්ත්‍රණයේ කොටසක් ලෙස මෙම ගණුදෙනුව සිදුවන විට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියා වු නියෝජ්‍ය අධිපති පී.සමරසිරි මහතා මේ වන විට වැඩ තහනමට ලක්ව විනය පරීක්ෂණයක් ඇරඹිය යුතුව ඇත.  එසේ තිබිය දී, මුල්‍ය මණ්ඩලය ලංකා ඉතිහාසයේ දැවැන්තම මුල්‍ය වංචාව වසා ගැනීම සදහා මහජන බදු මුදලින් ඔහුට නීතිඥ සහාය ලබා දෙන්නේ නම් එය කිසි ලෙසකින් හෝ සිදු නොවිය යුතු තත්තවයකි.

දුෂණ විරෝධී පෙරමුණ නැවතත් ඉතා කරුණිකව ඉල්ලා සිටින්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිපති පී.සමරසිරි මහතා වහා වැඩ තහනමට ලක් කිරීමට කටයුතු කරන ලෙස සහ ඔහුට මහජන බදු මුදලින් පුද්ගලික නීතිඥ සහාය ලබා  නොදෙන ලෙසය. 

මෙයට විශ්වාසී,

 

පූජ්‍ය උලපනේ සුමංගල හිමි                                         කීර්ති තෙන්නකෝන් 

සභාපති – දුෂණ විරෝධී පෙරමුණ                                උපදේශක – දුෂණ විරෝධී පෙරමුණ

2017 පෙබරවාරි මස 27 වැනිදා

 

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress