අයි .එම් උදය ඉඳුනිල්ව මරා දැමුවේ කවුද ?
Posted on March 3rd, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

උදය ඉඳුනිල් කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ සිසුවෙකු විය​. එසේම ඔහු හිටපු බාලදක්‍ෂයෙකි. ජනාධිපති බාලදක්‍ෂ පදක්කම්ලාභියෙකි.  ඉඳුනිල් ඉතා හොඳ හැසිරීමක් සහිත වූ ඉගෙනීමේ දක්‍ෂතාවයක් තිබූ සිසුවෙකු විය​. බාලදක්‍ෂයෙකු ලෙස ඔහු කුසළතා පෙන්වූ අතර අප සමග බාලදක්‍ෂ කඳවුරු ගනනාවකට සහභාගී විය​. මට වසර දෙක තුනකින් ජ්‍යෙෂ්ඨ වූ ඉඳුනිල් සමග මම ගාල්ල රජෙස් කන්ද පස් දින බාලදක්‍ෂ කඳවුරට සහභාගී වූයෙමි. මට අමතරව රාජකරුණාද මාතර ආරච්චිද මෙම කඳවුරට සහභාගී වූහ​. ගාල්ල රජෙස් කන්ද පස් දින බාලදක්‍ෂ කඳවුරෙන් පසු මම 1982 දී ඉඳුනිල් සමග අනුරාධපුරයේ පැවති ලෝක බාලදක්‍ෂ  ජම්බෝරියට සහභාගී වූයෙමි.  එය මගේ අවසන් බාලදක්‍ෂ කඳවුර විය​. ඉන්පසු මම උසස් පෙළ අධ්‍යනයන්ට අවධානය යොමු කලෙන් බාලදක්‍ෂ ජීවිතයට ආයුබෝවන් කීවෙමි. එහෙත් ඉඳුනිල් දිගටම බාලදක්‍ෂ ව්‍යාපාරය තුල සිටියේය​.

අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉහලින්ම සමත් වූ උදය ඉඳුනිල් මොරටුව විශ්ව විද්‍යාලයට තේරුණි. එය ඔහුට මෙන්ම සෙසු බාලදක්‍ෂයන්ටද සතුට ගෙන ආවේය​. අපගේ බාලදක්‍ෂ සමූහයේ ප්‍රථම වරට විශ්ව විද්‍යාලයකට තේරුණු සිසුවා ඔහු විය​. එහෙත් මෙම සතුට කෙලවර වන්නේ ඛේදවාචකයකිනි.

උදය ඉඳුනිල් ගේ මරණය පිළිබඳ ආරංචිය මට ගෙන ආවේ මහත් විමතියකි. මුලින් මම සිතුවේ එය හදිසි අණතුරක් කියාය​. එහෙත් පසුව ඔහු ලිපියක් ලියා තබා දිවි තොර කරගත් බව පසුව ආරංචි විය​. ඔහු මැසි තෙල් බී දිවි නසා ගත්තේය​. ජනාධිපති බාලදක්‍ෂයෙකු මෙන්ම පරමාදර්ශී සිසුවෙකු වූ උදය ඉඳුනිල් දිවි නසා ගත්තේ මන්ද කියා මම වසර ගනනාවක් පුරා සිතුවෙමි.

මැතකදී හිටපු බාලදක්‍ෂ නායකයෙකු වූ අයර්ලන්තයේ ජීවත් වන සමන් කුරේ සමග මම උදය ඉඳුනිල් ගැන කතා කලෙමි. එහිදී මට ඉඳුනිල් ගේ මරණයට පාදක වූ තොරතුරු බොහොමයක් මට අසන්නට ලැබුණි.

ඉඳුනිල් නවක සිසුවෙකු ලෙස මොරටුව විශ්ව විද්‍යාලයට ගිය විට ඔහුව ඉතා ක්‍රෑර නවක වදයට ලක් කොට තිබේ. මේ නවක වද අතර නිරුවත් කොට පොළවේ වතුර බිඳුවක්  උඩ පිහිනීම​, පහර දීම් මෙන්ම ලිංගික අතවරද තිබී ඇත​. මේ කාලයේදී වරක් සමන් කුරේ හමුවූ ඉඳුනිල් ” මට ජීවිතයේ කරන්න තියන ඔක්කොම ජරා වැඩ විශ්ව විද්‍යාලයේදී කෙරුවා කියා ඉතා කනස්සල්ලෙන් කියන ලදි. ඉඳුනිල් ගේ මනස සුවපත් කිරීම සඳහා සමන් කුරේ ඔහුව බාලදක්‍ෂ කඳවුරකට ගෙන ගොස් තිබේ. එහිදී සමන් කුරේ දුටුවේ පැරණි ඉඳුනිල් නොවේ බලාගත් අත බලා සිටින උකටලී වූ වෙනත් ඉඳුනිල් කෙනෙකි.

ඒ කාලයේ නවක වද වින්දිතයන් ගැන කතිකා , උපදේශන සේවා , සුලභ මානසික සෞඛ්‍ය සේවා තිබුනේ නැත​. එසේම ඉඳුනිල්ට තමන්ට සිදුවූ අතවර කීමටද කෙනෙකු නොවීය​. ඔහු තනිවම තැවුනේය​. මේ අතර 1988-89 කළබල නිසා විශ්ව විද්‍යාල වසා දැමුනි. මෙයද ඔහුව වඩ වඩා කලකිරවන්නක් විය​. අවසානයේදී මේ සියළු ගැටළු වලට පිලිතුර ලෙස  ඔහු මරණය තෝර ගත්තේය​.

ඉඳුනිල් ගේ මරණය ගැන මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී මට පෙනී යන්නේ විශ්ව විද්‍යාලයේදී සාහසික නවක වදයට ලක් වීම නිසා ඔහු තුල පශ්චාත් ක්ලමථ ලක්‍ෂණයන් සමග විශාදය වර්ධනය වී ඇති බවයි. මානසික ප්‍රතිකාරයකින් තොරව වර්ධනය වූ මෙම විශාදය විශ්ව විද්‍යාල වැසීම නිසා තවත් උග්‍ර විය​. එබැවින් හඳුනා නොගත් සහ ප්‍රතිකාර නොලැබුනු විශාද තත්වය උග්‍ර වීම නිසා ඔහු දිවි නසා ගත්තේය​.

අයි. එම් උදය ඉඳුනිල් යනු පේරාදෙනියේ  රූපා රත්නසීලී වැනි සහාසික නවක වධය විසින් පැහැර ගන්නා ලද මිනිස් බිල්ලකි. ඉඳුනිල් ගේ මරණයට වගකිව යුත්තෝ කවුද ? ඔහුව තිරිසන් නවක වදයට ලක් කොට මරණයේ දොරටුව වෙත තල්ලු කල වධකයන් අද ඉංජීනේරුවන් වී ලංකාවේ , ඕස්ට්‍රේලියාවේ , එක්සත් රාජධානියේ , උතුරු ඇමරිකාවේ ජීවත් වෙමින් ජීවිතය විඳිති. ඔවුන් විසින් අනියම්ව මරා දමන ලද සිසුවා ගැන මතකය දැන් වියැකී ගොස් විය යුතුය​.

වෛද් රුවන් එම් ජයතුංග 

2 Responses to “අයි .එම් උදය ඉඳුනිල්ව මරා දැමුවේ කවුද ?”

  1. Randeniyage Says:

    Very sad.
    Even though he was a good බාලදක්‍ෂ , it appears like he could not tolerate ragging. I don’t un derstand how he was subjected to such cruel bullying as he could have been a day student at Moratuwa than a hostel resident. Only hostel students can be subjected to that kind of ragging. Where were his parents ?

    “..වධකයන් අද ඉංජීනේරුවන් වී ලංකාවේ , ඕස්ට්‍රේලියාවේ , එක්සත් රාජධානියේ , උතුරු ඇමරිකාවේ ජීවත් වෙමින් ජීවිතය විඳිති..”, if you really check out, most of them must be dead by now.

  2. Kumari Says:

    I feel very sorry to hear these stories. Is there anything that we as a society can do to protect these children?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress