Joint Opposition will file several cases against Finance Minister – Bandula
Posted on March 4th, 2017
|
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Saturday, March 4th, 2017.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress
March 5th, 2017 at 1:52 pm
වරද අනුන්ට පවරා බැඳුම්කර අසූචි ඇඟේ ගාගැනීම
Sunday,5 Mar 2017 ලසන්ත රුහුණගේ
මහ බැංකු බැඳුම්කර සිදුවීම යළිත් උණුසුම් මාතෘකාවක් බවට පත්වී ඇත. ඒ, ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකරන ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසමේදී හෙළිදරව් වී ඇති අලුත්ම කරුණ නිසාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නමින් බැඳුම්කර විකිණීමට අදාළ ගැසට් පත්‍රයක් නිකුත් වී තිබීම එම කරුණය. ඊට තවත් අටුවා ටීකා එකතු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතාය. ඒ මහ බැංකුවේ හිටපු සේවකයෙකුගේ පොතක් එළිදැක්වීමේ උත්සවයේදී බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කරනු ලැබූ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමය.
එම කතාවේදී මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ කුමක්ද? අවුරුදු තිහක කාලයකින් කල් පිරෙන වාර්ෂික පොලී අනුපාතය 12.5%ක් වූ රුපියල් බිලියන එකක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සඳහා තීරණයකට එළැඹී ඇති බවත්, එවැනි දීර්ඝකාලීන බැඳුම්කරයක් සාමාන්‍ය ප්‍රාථමික වෙළෙන්දෙකුට මිලදීගත නොහැකි බවත්, මිලදී ගන්නවා නම් ගත යුත්තේ අර්ථසාධක අරමුදල්, විශ්‍රාම අරමුදල් හෝ රක්ෂණ අරමුදල් වැනි විශාල අරමුදල් විසින් බවත්ය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදන නිකුත් කරමින් පොලී අනුපාතය 9.5%ක් විය යුතු බව හා එම පොලී අනුපාතය අනුව රුපියල් 120 ප්‍රමාණයකට ලංසු තැබිය යුතු බවත් වෙළෙඳුන්ට දන්වා ඇති බවය. ඊට ප්‍රතිචාර වශයෙන් ලංකා බැංකුව ලංසු තබා ඇත්තේ රුපියල් 120කට බවය.
අදාළ වෙන්දේසිය උදේ 9ට ආරම්භ වී ස්වයංක්‍රීයව දහවල් 11ට අවසන් වන බවත් එම දිනයේදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදේ 8ට කඩා වැදී ඇති බවත්, 5%කට තීරණය කර තිබූ පොලී අනුපාතය 6.5% දක්වා වැඩි කරන ලෙස දැනුම් දී තිබූ බවත්, යළි පෙරවරු 10.45ට ණය දෙපාර්තමේන්තුවට කඩාවැදී අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර ඍජුව නිකුත් කිරීමට උපදෙස් දී ඇති බවත්, රුපියල් බිලියන 1ක් වෙනුවට රුපියල් බිලියන 20ක බැඳුම්කර නිකුත් කළ යුතු බවට නියෝග දී ඇති බවත් විජේවර්ධන මහතා කියයි.
ඉන්පසු සිදුවී ඇත්තේ කුමක්ද? ප්‍රශ්නගත පර්පෙචුවල් ටේරෂරීස් සමාගම රුපියල් 90 මිලට රුපියල් බිලියන 3ක බැඳුම්කර ලංසුවක් පෙරවරු 10.57ට ඉදිරිපත් කිරීමය. ඉනුත් තත්පර තිහකට පසු ලංකා බැංකුව පර්පෙචුවල් ටේරෂරීස් වෙනුවෙන්ම රුපියල් 89 හා රුපියල් 90 මිලට රුපියල් බිලියන 5ක් හා 3ක් වශයෙන් ලංසු ඉදිරිපත් කිරීමය. නැවත වරක් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට කඩාවැදී ඇති අර්ජුන් මහේන්ද්‍රන් මේ ඉදිරිපත් වී ඇති ලංසු ලැයිස්තුව ගෙන නිරීක්ෂණය කර ඇත. අවසානයේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ විරුද්ධත්වය නිසා රුපියල් බිලියන 20ක් වෙනුවට රුපියල් බිලියන 10ක බැඳුම්කර වෙන්දේසි කිරීමට තීරණය කර ඇත.
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන එහිදී නගන සරල ප්‍රශ්නය මෙසේය: රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එම බැඳුම්කර නිකුතුව සඳහා මහ බැංකුවේ හිටපු අධිපතිවරයාගේ නියෝගයෙන් වෙනස් කළ තොරතුරු ප්‍රාථමික වෙළෙන්දෙකු අතට ගියේ කෙසේද? යන්නය. නිල නිවේදනය අනුව මහ බැංකුව ඉල්ලා තිබුණේ රුපියල් බිලියන 1ක් සඳහා ලංසු පමණය. ඒ නිසා ලංසු ඉදිරිපත් විය යුතුව තිබුණේ රුපියල් බිලියන ගණනින් නොව රුපියල් මිලියන ගණනින්ය. පර්පෙචුවල් ටේරෂරීස් සමාගම හා පර්පෙචුවල් ටේරෂරීස් වෙනුවෙන් ලංකා බැංකුව පමණක් රුපියල් බිලියන ගණනින්, ඉල්ලූ අගයටත් වඩා ලංසු ඉදිරිපත් කළේ කෙසේද? විශේෂයෙන්ම ලංකා බැංකුව තමන් වෙනුවෙන් මුල් ලංසු ඉදිරිපත් කිරීම අඩු අගයක් හා වැඩි වටිනාකමක් ගත්තේ ඇයි? කාරණය පැහැදිලිය. පර්පෙචුවල් ටේරෂරීස් නම් අර්ජුන් ඇලෝසියස් නම් වූ සිය බෑණනුවන්ගේ සමාගම වෙනුවෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කුමක් හෝ සිදුකර තිබීමය. ඔහුට යෑමට කිසිදු අවශ්‍යතාවක් නැති රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට එම දිනයේ තුන්වරක් කඩාවැදීම, බැඳුම්කර නිකුතුවට අදාළව නිවේදනය කර තිබූ කරුණු වෙනස් කිරීම හා එම වෙනස් කරන ලද කරුණු ඔහුගේ බෑණනුවන්ගේ සමාගම පමණක් දැනගැනීම ඊට ඇති සාක්ෂිය. ඉතිං මේ වූකලි මහ දවල් හොරකමක් නොවන්නේ කෙසේද?
මේ මහ දවල් හොරකම පිළිබඳ අංශුමාත්‍රයක් හොයාගන්නට එම චෝදනාව එල්ල වූ මුල් අවස්ථාවේදී පත් කළ අගමැති රනිල් වික්‍රමසිංහගේ ත්‍රිපුද්ගල නීතිඥ පරීක්ෂණ මණ්ඩලයට නොහැකිවීම පුදුමසහගතය. එසේ වුවද බැඳුම්කර ගනුදෙනුවේදී වංචාවක් සිදුවී ඇති බව ඒ පිළිබඳව විමර්ශනය කරන ලද කෝප් කමිටුව සිය වාර්තාව මගින් පෙන්වා දුන්නේය. එහෙත් එහිදීත් සිදුවූයේ එම කමිටුව නියෝජනය කළ එජාප මන්ත්‍රීවරුන් වෙනම කෝප් වාර්තාවක් ඉදිරිපත් කිරීමට දස අතේම උත්සාහ කර අවසානයේ කෝප් කමිටු සභාපතිවරයාගේ වාර්තාවට පාද සටහන් යොදා බැඳුම්කර මගඩිය යටගැසීම සඳහා තමන්ට ඇති වුවමනාව ප්‍රසිද්ධියේ පෙන්නුම් කිරීමය.
එම වුවමනාව තවදුරටත් පෙන්නුම් කරන කරුණ බවට පත්වී ඇත්තේ මුලින් සඳහන් කරන ලද බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිවිශේෂ ගැසට් පත්‍රයය. එම ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ මුද්‍රණාලයෙන් දිනය වෙන්කරවා ගෙන ඇත්තේ 2015.01.01 දිනය. එම දිනයට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණයට අදාළ තොරතුරු ලබාදී ඇත්තේ 2016 නොවැම්බර් මාසයේදීය. රජයේ නිවේදනයක් ලෙස ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත යටතේ අදාළ ගැසට් පත්‍රය නිකුත් කළායැ’යි සඳහන්වන්නේ පසුගිය ආණ්ඩුවේ මුදල් හා ක්‍රම සම්පාදන ඇමති මහින්ද රාජපක්ෂ විසින්ය. ජනාධිපති කොමිසමේදී මෙම ගැසට් පත්‍රය පිළිබඳ කරුණු අනාවරණය වීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂය කීවේ එය ව්‍යාජ ගැසට් පත්‍රයක් බවත්, බැඳුම්කර මගඩිය හිටපු ජනාධිපතිවරයාගේ ඇඟට දැමීමට ආණ්ඩුව සිදුකළ කුමන්ත්‍රණයක් බවත්ය.
ඒ නිසාම ඊට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය පැවසීය. කරුණු හරිහැටි නොදැන කෝකටත් කටමැත දොඩවන මුදල් අමාත්‍ය රවි කරුණානායක හොරාට කලින් කෙහෙල්කැන වැට පනිනවා වැනිව ඊට ප්‍රතිචාර වශයෙන් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එම ගැසට් පත්‍රයට එරෙහිව අධිකරණයට යන ලෙස තමා අභියෝග කරන බව හා එහිදී බැඳුම්කර හොරුන් කවුදැයි හෙළිදරව් වනු ඇති බවය.
අධිකරණයට යන්නට පෙරම දැන් එය හෙළිදරව් වී ඇත. ජනාධිපති කොමිසම හමුවේ වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිනිය එම ගැසට් පත්‍රයට අදාළ සියලු තොරතුරු අනාවරණය කර ඇත. හිටපු ජනාධිපතිවරයාගේ නම එම ගැසට් පත්‍රයේ තිබීම සදොස් බව රජයේ මුද්‍රණාලය දන්වා ඇතත් ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දී ඇත්තේ එම නම එසේම මුද්‍රණය කරන ලෙසය. මෙම ගැසට් නිවේදනයේ හරය වන්නේ විසර්ජන පනතින් ණය ආකාරයට ලබාගැනීමට අනුමත කර ඇති ණය මුදල රට තුළින් ණය වශයෙන් ලබාගැනීමට ආඥාවක් නිකුත් කිරීමය. එය ගැසට් පත්‍රයේ සඳහන්වන්නේ මේ ආකාරයටය.
“1983 අංක 51 දරන පනතින්, 1985 අංක 03 දරන පනතින්, 1995 අංක 32 සහ 2004 අංක 2 දරන පනතින් සංශෝධිත 1937 අංක 07 දරන (420 වන අධිකාරය වන) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාර මා වෙත පැවරී ඇති බලතල අනුව මුදල් හා ක්‍රම සම්පාදන ඇමති මහින්ද රාජපක්ෂ වන මම, 2014 අංක 41 දරන විසර්ජන පනතින් ණය මාර්ගයෙන් ගැනීමට බලය පවරන ලද රුපියල් බිලියන එක් දහස් හත්සිය අසූවක මුදලින් මෙහි පහත උපලේඛනයේ නියමිත මුදල එම උපලේඛනයේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකාව ඇතුළත ණයට ගැනීමට මේ ආඥාවෙන් නියම කරමි” යන්නය. ඒ, 2015 ජනවාරි 01 දින කොළඹදීය.
ගැසට් පත්‍රයක් මුද්‍රණයට යවන ආකාරය පිළිබඳ කරන ලද කරුණු විමසීමේදී බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ප්‍රකාශ කර තිබුණේ අදාළ ගැසට් පත්‍රය පිළිබඳව තමාගේ දැනුවත්භාවයක් නැති බවත්, සාමාන්‍ය ක්‍රමවේදය අනුව අමාත්‍යාංශ ලේකම්වරයා ගැසට් පත්‍ර අනුමත කර අවසන් අනුමැතිය සඳහා අමාත්‍යවරයාට යොමු කරන බවත්ය.
මෙම ප්‍රශ්නගත ගැසට් පත්‍රය එම ක්‍රමවේදය අනුව යන්නට විදියක් නැත. මන්ද ගැසට් පත්‍රය මුද්‍රණයට යවා ඇති 2016 නොවැම්බර් වනවිට මුදල් ඇමතිවරයා රවි කරුණානායක වන නිසාය. මහින්ද රාජපක්ෂගේ නම ඇති ගැසට් පත්‍රයකට රවි කරුණානායකට අත්සන් කළ නොහැකිය. එවැන්නක් අමාත්‍යාංශ ලේකම්වරයාට සිය අමාත්‍යවරයාටද යොමු කළ නොහැකිය. ගැසට් පත්‍රයේ කටයුතු සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවය. ශ්‍රී ලංකා මහ බැංකුව එම ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා තොරතුරු යවන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශය සතුව නැත. එය තිබුණේ අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශය යටතේය. ඒ අනුව මෙම ගැසට් පත්‍රය අග්‍රාමාත්‍යවරයාගේ අනුදැනුම සහිතව සිදුවූ එකක් දැයි යන සැකයද මතුවේ.
කෙසේ වෙතත් ප්‍රශ්නගත ගැසට් පත්‍රයේ ඇති දෑ පිළිබඳව බැලූවිට පෙනෙන්නේ එම ගැසට් පත්‍රය නිකුත් කිරීමට හේතුවූ කරුණුවලට පරිබාහිර කරුණුද එහි ඇතුළත් වන බවයි. 2014 අංක 41 දරන විසර්ජන පනතේ ණය ගැනීම්වලට අදාළව ගැසට් පත්‍රය නිකුත් කරන්නේ නම් එහි ඇතුළත් විය යුත්තේ 2015 වර්ෂයේදී සිදුකිරීමට නියමිත ණය ගැනීම්වලට අදාළ තොරතුරු පමණය. එහෙත් එම ගැසට් පත්‍රයේ 2015 වර්ෂයට අමතරව 2011, 2012, 2013 හා 2014 යන වර්ෂවලට අදාළ ඒ වනවිටත් නිකුත් කර තිබූ භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ විස්තර දක්වා තිබේ. එම පෙර වර්ෂවල භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලට හිටපු ජනාධිපතිවරයා හිටපු මුදල් ඇමතිවරයා වශයෙන් වගකිවයුතු යැයි කිව හැකි වුවද 2015 වර්ෂයේ මෙම ආණ්ඩුව නිකුත් කරන ලද බැඳුම්කරවලට ඔහුගේ සම්බන්ධයක් නැත. මේ මගින් පෙනෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නියමිත දිනවලදී ගැසට් පත්‍ර නිකුත් කිරීම් ආදි කටයුතු නිසියාකාරව සිදුකර නොමැති බවයි.
එය තවදුරටත් පැහැදිලි වන්නේ විසර්ජන පනතේ සඳහන් ණය ගැනීම් වෙනුවෙන් ඒ ආකාරයටම 2013 වර්ෂයේදී 2013.01.01 දින ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද ගැසට් පත්‍රය විමසීමේදීය. එහිදී සිදුකර ඇත්තේ 2014 වර්ෂයේ ණය ගැනීම් පමණක් නොව ඊට පෙර වර්ෂවල ණය ගැනීම්ද එහි ඇතුළත් කර ඇති බවය. එසේම එම ගැසට් පත්‍රය මුද්‍රණයට එවා ඇත්තේ 2014 සැප්තැම්බර් මාසයේදීය. තවද විසර්ජන පනතේ සඳහන් ණය ගැනීම් සඳහා 2014 වර්ෂයේදී ගැසට් පත්‍රයක් නිකුත් කර නැති අතර 2016 වර්ෂය සඳහා 2016.01.01 දින වෙන් කරගෙන ඇති ගැසට් පත්‍රය මෙන්ම 2017 වර්ෂය සඳහා 2017.01.01 දින වෙන් කරගෙන ඇති ගැසට් පත්‍රයද තවම මුද්‍රණය කර නැත.
ඒ අනුව පෙනෙන්නේ කුමක්ද? අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලයේදී වේවා ඊට පෙර කාලයේදී වේවා ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරීම් හා ඊට අදාළ කටයුතුවලදී කලට වේලාවට නිසි කටයුතු සිදුකර නොමැති බවය. අප සෙවිය යුත්තේ එසේවීමට හේතු මොනවාද යන්නය. එහිදී බැඳුම්කර හොරුන්ද, ඊට ආධාර අනුබල දුන් කම්බාහොරුන්ද හෙළිදරව් කරගැනීමට හැකිවනු ඇත. වඩා වැදගත්වන්නේ එසේ හෙළිදරව් වන හොරුන්ට දඬුවම් ලබාදීමය. හොරකමේ ප්‍රමාණය පොලිත් සමඟ රජයට අයකර ගැනීමය. ඒ සඳහා යහපාලන ආණ්ඩුවට අවංක වුවමනාවක් ඇත්දැයි අපි බලා සිටිමු.