ජනමාධ්‍යවේදියා සහ දොස්තර මහතා
Posted on March 12th, 2017

 වෛද් රුවන් එම් ජයතුංග 

ජනමාධ්‍යවේදී සිරිමෙවන් කස්තුරිආරච්චි මහතා විසින් තමන් ගේ අසනීපයකට බෙහෙත් ගැනීමට වෛද්‍යවරයෙකු හමු වූ අවස්ථාවේදී ලද අත්දැකීම ඔහුගේ මුහුණු පොතේ පළ කොට තිබේ. 

 “අසනීපයට ප්‍රතිකාර ගන්න 05 වැනිදා නවලෝක පුද්ගලික රෝහලට ගොස් රුපියල් 1150ක් ගෙවා මෙරට සිටින ‘ගුණ වඩන’ විශේෂඥ වෛද්‍යවරයෙක් ලඟට ගියා.ඔහු වයසක කෙනෙක්.මුහුණේ සිනාවක්.ලේ කඳුලක් නැති අකාරුණික,මරුමුස් කෙනෙක් වුණත් කරගන්න දෙයක් නැතුව ලෙඩේ ගැන කිවුවා.”මේ පරීක්ෂණය කරගෙන එන්න.තුණ්ඩුව ලියලා දුන්නා.අනේ ඒක අරගෙන ආවා.දැන් බයයි පරීක්ෂණය කරගන්න මොකද කීයක් යයිද දන්නෙත් නැහැ,අතේ සල්ලිත් නැහැ.ඔන්න මිතුරෙක් උදවු කළ නිසා පරීක්ෂණය ඊයේ (08) කරගත්තා.රිපෝට් එක පෙන්වන්න සල්ලි නොගන්න නිසා අද (09) සවස 05 ට ගිය ඒක පෙන්නන්න.142 කාමරය ලඟට ගිහින් කිවුවා රිපෝට් එක පෙන්නන්න ආවේ කියලා.කාමරයේ හිටි රෝගියා එළියට ආවාට පසු මාව ඇතුළට යැවුවා.රිපෝට් එක දුන්නා විතරයි මේ ‘ගුණ වඩනා’ ජීවකයා ඇඟට කඩා පැනපි. “දැන් දින පහුවෙලා,එපොයින්ට්මන්ට් එකක් දාගෙන එන්න” කියලා කියපි.අනේ ඉතින් ගිහින් රුපියල් 1150ක් ගෙවලා 20 නොම්මරය අරගෙන ගිහින් පයක් විතර ඉඳලා දොස්තර ලඟට ගියා.මගෙ මුහුණවත් නොබලා මෙන්න බොලේ කියාපි “ඔපරේෂන් එකක් කරන්න ඕනෑ.ඇඩ්මිට් වෙන්න” කියලා. “කීයක් විතර යයිද ඩොක්ටර්?” මම බැගෑපත්ව ඇහුවා. “85000ක් විතර යයි.ඊට වැඩිවෙන්නත් පුළුවන්.දැන් යන්න ඇඩ්මිට් වෙන්න” කියලා ඔහු කිවුවා. ලෙඩේ තවත් වැඩි වුණා ඔහුගේ අකාරුණික බව නිසාම.ලෙඩෙකුට කාරුණිකව කතා කරන්නවත් නොදන්නා ඔහු ලඟට නැවත නොයන බව සිතාගෙන,මැරුණත් කමක් නෑ කියලා පිටත් වෙලා දැන් ගෙදරට ආවා.ඇත්තටම එච්චර දෙන්න සල්ලිත් නැහැ.මැරුණත් කමක් නැහැ.දොස්තර සංහතියම එපා වුණා ඒ අකාරුණික ‘දොස්තර මුදලාලි’ නිසා”  (සිරිමෙවන් කස්තුරිආරච්චි) 

ලංකාවේ බොහෝ වෛද්‍යවරුන් තුල සන්නිවේදන කුසලතා මෙන්ම වෛද්‍ය ආචාර ධර්ම අවම බවත්  වෛද්‍යවරු පුහුණු කිරීමේදී මේ ගැන සැලකිලිමත් විය යුතු බවත් මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා වරක් කීවේය​. සංවර්ධිත රටක වෛද්‍යවරයෙකු විසින් පෙන්වන රෝගී සත්කාරය එකී රටවල ජීවත් වන පුද්ගලයන් විසින් අත් දැක තිබෙනවා සැක නැත​. එකී ධනාත්මක රෝගී සත්කාරය ලංකාවේ ඇති කල නොහැක්කේ මන්ද ? 

ලංකාවේ තිබෙන්නේ රෝගියා කේන්ද්‍ර කොට ගත් සත්කාරක ක්‍රමයක් නොවේ. එහි වැඩවසම් බව , වෘත්තීන් අතර කුලල්කාගැනීම් , වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීම් , රෝගියා සමග  සන්නිවේදනයේ හීන  බව කැපී පෙනෙයි. රෝගියා ඉදිරියේ වෛද්‍යවරයා  බොහෝ අවස්ථා වලදී පෙනී සිටින්නේ මවාගත් ගාම්භීර භාවයකිනි. සමහර වෛද්‍යවරු රෝගියාගේ මුහුණ දෙසවත් නොබලති. රෝගියාට වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසිය නොහැක​. රෝගියා සහ වෛද්‍යවරයා අතර විශාල වැඩවසම් පරතරයකි , Power Difference  එක විශාල එකකි. වෛද්‍යවරයා රදලයෙකු මෙන් හැසිරෙන අතර රෝගියා යටත් සහ පහත් වැසියෙකි, ප්‍රවේණි දාසයෙකි. ලංකාවේ වෛද්‍යවරු සියල්ල මෙසේ රෝගීන් ඉදිරියේ හැසිරෙනවා කියාමම නොකියමි. එහෙත් බොහෝ විට මේ තත්වය රෝගීන් විසින් අත් දැක තිබේ. 

මා විසින් නිරීක්‍ෂණය කල අන්දමට බොහෝ විට මෙම වැඩවසම් පරතර සිතාමතාම පවත්වා ගන්නේ පහළ සමාජ ආර්ථික ස්ථර වලින් පැමිනි දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය පීඨයට  තේරී වෛද්‍යවරු බවට පත් වූ පුද්ගලයන් වෙති. එසේම මෙවැනි කොටස් තුල ග්‍රාමීය පසුගාමීත්වයද  උග්‍ර වශයෙන් දක්නට තිබේ. 

සාමාන්‍ය පෙළ   දක්වා ග්‍රාමීය පාසල් වල අධ්‍යාපනය ලබා රාජකීය , ආනන්ද නාලන්ද පාසල් වලින් උසස් පෙළ නිම කොට වෛද්‍ය පීඨ වලට ගිය සමහර වෛද්‍යවරු ගමේ යහපත් දේ වෙනුවට කරට ගන්නේ ග්‍රාමීය හීනමානය සහ පසුගාමීත්වයයි. එසේම කොලඹ ඉහල පාසල් වල නවීනත්වය වෙනුවට ඔවුන් ආදේශ කර ගන්නේ නාගරික තුප්පහිභාවයන් වෙති. මේ නිසා දරුණු අනන්‍යතා අර්බුධයකට මැදිවන ඔවුන් දුප්පත් රෝගියා ඉදිරියේ දෙවිවරු ලෙස මහන් තත්වයකින් හැසිරෙති. රෝගියාගේ ආත්ම ගරුත්වය ගැන නොසලකා ක්‍රියා කරති. 

(ග්‍රාමීය ප්‍රදේශ වලින් විත් වෛද්‍යවරු වන සෑම පුද්ගලයා තුලම මෙම තත්වය තිබෙන බව මම නොකියමි. ග්‍රාමීය ප්‍රදේශ වලින් විත් වෛද්‍යවරු වූ නියම යහ ගති ගුණ තිබූ මහත්වරු මම දුටුවෙමි)  

පහත දැක්වෙන්නේ ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවූ ලිපියකි. 

……………රජයේ රෝහල් වල වෛද්‍යවරුන් රෝගීන්ට සළකන අකාරය ගැන අප මදක් කල්පනා කර බලමු. ඔවුන් රෝගීන්ව සළකන්නේ තමන් විසින් ගත කරන යහපත් ජීවිතය විනාශ කරන්නට පැමිණි කරදකාරයන් පිරිසක් ලෙසයි. ඒ අනුව රෝගීන් හෝ ඔවුන් ගේ ඥාතීන් යනු මේ දැනඋගත්,බුද්ධිමත්,වැදගත් වෛද්‍යවරුන් ඉදිරියේ අදබාල මෝඩයන් පිරිසකි.

මේ නිසා හද්දා පිටිසර කහටගස්දිගිලියේ සෝමාවතී ගේ සහ සිරිපාල ගේ දියණිය දකුණු කොළඹ කලුබෝවිල ශික්ෂණ රෝහලට වෛද්‍යවරියක් ලෙස සේවයට පැමිණි පසු එහි පැමිණෙන රෝගියෙකු ගෙන් මෙහෙම අහනව. “ඔයා දන්නවද කෝලිකුට්ටු කියලා කෙසෙල් ජාතියක් තියෙනව. අන්න ඒවා හොදයි ඔයාගේ අමාරුවට පුලුවන් නම් ගෙනත් කන්න”. 

එම වෛද්‍යවරියගේ චින්තනයට අනුව මේ වගේ ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ යන එන මං නැති අන්ත දුප්පත් අසරණ මිනිස්සු විතරයි. ඒ නිසා ජීවිත කාලයම තමන් අන්ත දුක් විදලා වෛද්‍යවරියක් වෙන්නට ගත කරපු කාලය පුරා ඇයට තියෙන සමාජ වෛරය නැතනිම් එරියස් එක පිරිමසා ගන්නට ඇයට මේ වගේ රෝගීන්ට පාට් දාන්න වෙනව. 

මේ වෛද්‍යවරියම රෑට නවලෝක රෝහලේ අමතර වැටුපකට සේවයට ගිය විට එහි සිටින මිනිසුන් ගෙන් මේ වගේ කතා අහන්න යන්නෑ. මොකද එයාට පුර්ව නිගමනයක් තියෙනව ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ අවැදගත්, නූගත්, මෝඩ, දුප්පත් මිනිසුන් බව. ඇය දන්න සමාජ ඥාණය අනුව ආණ්ඩුවේ  රෝහලකට එන පුද්ගලයන් කියන්නේ වෛද්‍යවරුන් ගෙන් ප්‍රශ්ණ අහන්නට සුදුසු නැති කිසිම දෙයක් ගැන දන්නැති පිරිසක්. ඒ නිසා රෝගීයෙකු තම මූලික අයිතාවාසිකමක් වන රෝග විනිශ්චය ගැන ප්‍රශ්නයක් ඇහුවහම ඇයට තරහ යනව.එවිට ඇය මෙහෙම උත්තර දෙනව. ඔයාගේ ලෙඩේ තවම හොද නෑ. තව ප්‍රතිකාර කරන්න තියෙනව. ඒ නිසා අර රතුපාට පෙත්ත දිගටම බොන්න. තැඹිලිපාට පැනියෙන් තේ හැදි දෙකක් බොන්න. තව පරීක්ෂණ ගොඩක් තියෙනව. ඔයාගේ කටින් කැමරාවක් දාලා පරීක්ෂණයක් කරන්න තියෙනව. ඔයාගේ දකුණු කකුලෙන් පපුවට වයර් එකක් යවලා පරීක්ෂා කරන්න තියෙනව. 

ඔවුන් කිසි විටෙක මේ වගේ රෝහල් වල ඉන්න රෝගීන්ට වෛද්‍ය විද්‍යාත්මක භාෂාවකින් කතා කරන්නෑ. ඔවුන්ට අනුව වෛද්‍ය විද්‍යාවේ පාරිභාෂික වචන සහ ඖෂධ වල නම් දන්නේ ඔවුන් පමණයි. රෝගීන් ඒවා දැන ගත යුතු නැහැ.

දුප්පත් මිනිස්සු කන බත් පතේ ඉදන් පරිභෝජනය කරන සෑම භාණ්ඩයකින්ම අය කරන අසාධාරණ බදු  මුදලින් විශ්ව විද්‍යාලයට තේරිලා ඇවිත් ආණ්ඩුවේ මහපොල ආධාර මුදලින් යන්තම් එදා වේල පිරිමසා ගත්ත ගොබ්බයන්  වෛද්‍යවරුන් වුනාට පස්සේ මුදල් දෙනවා නම් ඕනෑම දෙයක් කරන තත්ත්වයට පත්වෙනව. සුදු කබාය ඇදගෙන හිප්‍රොක්‍රටීස් දිවුරුම දීලා තමන් සම්බන්ධ වන්නේ මිනිසුන් ගේ ජීවිතය සහ මරණය හා සම්බන්ධ වූ ගෞරවණීය වෘත්තියකට කියන එක මේ අයට අමතක වෙනව. මේ අය හිතන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වුනේ පෙර ආත්මයේ පිං කරපු නිසා කියලයි. භෞතික විද්‍යාව මුල ඉදන් අගට ඉගෙන ගත්තත් මේ අය චින්තනමය වශයෙන් ඉන්නේ ග්‍රෝත්‍රික මානසිකත්වයක. විශේෂයෙන් මනෝ විශ්ලේෂණය වගේ විෂයක් ගැන ලංකාවේ වෛද්‍යවරුන්ට තියෙන්නේ මොන්ටෙසෝරි දැනුමක්.  (ස්ටැන්ලිලා ගේ ලෝකය – ත්‍රිමාණ වෙබ් අඩවිය ) 

වෛද්‍යවරුන්ට සමාජය තුල තවමත් ගරුත්වයක් තිබේ. ඊට හේතුව පූර්වගාමී වෛද්‍යවරු විසින් අතීතයේ ගෞරවනීය ලෙස තම වෘත්තිය කරගෙන යාම නිසාය​. එහෙත් වර්තමානයේ සන්නිවේදන කුසලතා මෙන්ම වෛද්‍ය ආචාර ධර්ම බිඳ හෙලමින් ඇතැම් වෛද්‍යවරු විසින් ගෙන යන ක්‍රියා කලාපය නිසා නුදුරු අනාගතයේදී වෛද්‍ය වෘත්තිය ප්‍රයිවෙට් බස් කොන් දොස්තරලාගේ තත්වයට වැටෙනු නොඅනුමානය​. එම තත්වය වලක්වා ගැනීම සඳහා වෛද්‍යවරු විසින් පියවර ගත යුතුය​. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

2 Responses to “ජනමාධ්‍යවේදියා සහ දොස්තර මහතා”

  1. aloy Says:

    Thank you Dr.Ruwan. What you have written above is the true nature of our local medical doctors in general. However there are exceptions.
    My daughter was a medical student at the Colombo Medical College in early 90s. We had a small car and since I was not in the country she used it to go to medical college for her lectures. Quite often she used to give lifts to her fellow student on the way home. However she told me that these students never showed any appreciation when dropping off; it seems she felt that they curse themselves fore having to take a lift from somebody whom they thought was well off. At times they would even leave the car taking expensive books that she kept on the back seat. It appears a lot of effort has to be taken by the religious organizations in the country to reform these students by taking the hate factor off from their heads before they start interacting with the society away from their villages.
    I think the ragging that continues to this day is a manifestation of that hate factor and almost all political parties also have started taking advantage by promoting demonstrations and engaging in unruly behaviour. I remember once a director of education told me that there are so many schools to teach student xyz and sine theta and cos theta (maths and science) but not a single place they teach students how to behave. I did not ask him what the many temples in almost all villages in the country are doing.

  2. Christie Says:

    වැඩි ජනතාව අසරනව හීනමානයෙන් පෙලෙන ජනතාව හැසිරෙන්නේ එසේය. මෙයට වෙද තේරුම අපට කියාදෙන්න.

    බන්ඩ අපිට සින්හල කවල උගෙ පැටවුන්ට ඉන්ගිරිසි කැව්වම අපිට ලැබෙන්නෙ මොකක්ද?

    When the majority has a minority complex that is what you get. Please give us a clinical explanation for this.

    Banda fed us Sinhala but fed his kids English. What would you expect?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress