බෝම්බ ලොරියක් ඇල්ලූ රණවිරුවා රිමාන්ඞ්.. ඒ ලොරිය පදවාගෙන ආ කොටියා නිදහස්..
Posted on March 13th, 2017

ලංකා සී නිවුස්

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

කැලයේ ආධිපත්‍ය පතා අලි දෙන්නෙක් විලක් මැද පොර බැදුවාලු. අලින්ගේ තඩි කකුල වලට පෑගි විලේ සිටි ගෙම්බො මැරෙන්න ගත්තාලු. එතකොට එක ගෙම්බෙක් කිව්වාලු අලි ගැටෙනවා – අපි මැරෙනවා කියලා. අද රටේ වෙන්නෙත්ඒකයි. ජනපති සහ අගමැති අතර කවුද ලොක්කා කියා තීරණය කරන්න සීතල යුද්ධයක් පවතින බව කවුරුත් දන්නා රහසක්. ඒ අලි පොරයට පෑගිලා මැරෙන්නේ රණවිරුවන්. අද ත්‍රිවිධ හමුදාව තිබෙන්නේ ජනපති යටතේ. පොලීසිය තිබෙන්නේ අගමැති යටතේ. ජනපති රිදවන්න විහිළුවක් බවට පත් කරන්න ඕනෑ වුණාම ජනපති රණවිරුවන් රකින බව කියන විට අගමැතිගේ පොලීසිය ඔවුන් පදනම් විරහිතව අත්අඩංගුවට ගන්නවා.

ජනාධිපතිතුමා මාර්තු 03දා උදෑසන උතුරේ හමුදා කඳවුරක දී කිව්වා රණවිරුවන් අත්අඩංගුවට ගන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. එතුමා කොළඹට එන්නත් කලින් නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියෙකු වන කොමාන්ඩර් ආර් පී එස් රණසිංහ සහ උදය කුමාර යන දෙදෙනා අත්අඩංගුවට ගන්නවා. මේ අයට තිබෙන චෝදනාව තමයි කප්පම් ලබා ගැනීම සඳහා දෙමළ පුද්ගලයින් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම. මේ අය එවැනි දෙයක් කලා නම් අත්අඩංගුවට ගැනීමේ කිසිම වරදක් නෑ. නමුත් කිසිම පුද්ගලයෙකු මේ අය පැහැර ගත් බවට පැමිණිලි කරලා නෑ. ඇත්තටම කප්පම් ගත් බවට චෝදනා ලබා නාවික හමුදාවෙන් ඉවත් කළ නිලධාරින් දැන් සාක්ෂිකරුවන් කර ගෙන යුද බිමේ දස්කම් පෙන් වූ බුද්ධි අංශ නිලධාරින් අත් අඩංගුවට ගන්නවා. යුද ජයග්‍රහණයේ දී බුද්ධි අංශ සිදු කළ සුවිශේෂී කාර්යභාරයට අද බෙදුම්වාදින් තමන් පත් කළ ආණ්ඩුව හරහා පලි ගන්නවා. ඒ වගේම තමන්ට පැහැර ගැනීම් කරන්න උපදෙස් ලැබුණේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් බවට සාක්ෂි දුන්නොත් පිටරට ආරක්ෂිතව යවන බවට පොලීසිය මේ අයට ප්‍රකාශ කරනවාලු.

එක්නැලිගොඩ නඩුවේ දී වගේම චෝදනා ගොනු කරලා තිබෙන්නේ මිනී මැරීමේ චෝදනාව යටතේ. අපි උගත් නීතිය අනුව නම් මිනී මැරීමේ චෝදනාව ගොනු කරන්න නම් එක්කෝ මිනියක් හමු වී තිබිය යුතුයි. නැතිනම් මිනී මැරුම ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සිටිය යුතුයි. මේ දෙකමනැතුව මිනී මැරීමේ චෝදනා ගොනු කිරීමේ දුෂ්ට අරමුණ කුමක්ද? මේ චෝදනාව ගොනු කලාම ඇප ලබා දෙන්න බෑ. දිගු කාලයක් අත්අඩංගුවේ ඉන්න විට හිතේ හයිය දිය වෙනවා. ලියලා දෙන ඕනෑම දෙයකට අත්සන් කරලා ඇප ලබා ගන්න හිතෙනවා. එක්නැලිගොඩ අතුරුදහන් වීම පිලිබඳ අත්අඩංගුවට ගත් සාජන්ට්මේජර්වරයෙකු එහෙම බොරු සාක්ෂියකට අත්සන් කරලා ඇප ලබා ගත්තා.

කවුද මේ කොමාන්ඩර් රණසිංහ? 2001 මැයි 23 කන්තලේ ගංතලාව බෝම්බයකට හසු වුණු නාවික හමුදා කණ්ඩායමේ 18න් 17ක්ම මැරුණා. රණසිංහත් මැරුණා කියලා හිතුවේ. නමුත් දැන් ඔහු 60%ක් ආබාධිතයි. කනක් ඇහෙන්නේ නෑ. ඇසක් පේන්නේ නෑ. වරින් වර කලාන්ත වෙනවා. නමුත් ඔහු ආබාධිත වුණත් රට වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීම අත්හැරියේ නෑ. ඊට පසු 51 වතාවක් මරා ගෙන මැරෙන ඇඳුම් කට්ටල සහ බෝම්බ සොයා ගෙන තිබෙනවා. නාවික හමුදා ඉතිහාසයේ ක්ෂේත්‍රයේ දැක් වූ දක්ෂතාවයටඋසස්වීම් ලැබිලා තිබෙන්නේ නවදෙනෙකුට පමණයි. ඔහු එයින් කෙනෙක්. මේ ආණ්ඩුව විසින් නිදහස් කළ අය අතරේ ත්‍රිකුණාමලයේ සිට කොලඹට බෝම්බ ලොරියක් පදවා ගෙන පැමිණි කොටි ත්‍රස්තයා ඉන්නවා. ඔහුව අත්අඩංගුවට ගත්තේ කොමාන්ඩර් රණසිංහ. අපූරු දේශප්‍රේමයක්. කොටියා එලියට. ඌව ඇල්ලූ රණවිරුවා ඇතුලට.

මේ සතියේ තවත් නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා බවට රහස් පොලීසියෙන්ම අපට තොරතුරු ලැබෙනවා. ඒ ලුතිනන් කොමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ කේ ජී එන් ජී වික්‍රමසූරිය යන අයයි. මේ වගේම රහස් පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව සැබෑ අපරාධකරුවන් සාක්ෂිකරුවන් බවට පත් කරලා රවිරාජ් ඝාතනයටත් ප්‍රසාද්ව අත්අඩංගුවට ගත්තා. මේ වගේමකරන්නාගොඩ සහ ගෝඨාභයගේ උපදෙස් මත ඝාතනය සිදු කළ බව කියන මෙන් බල කලා. ඒක නොකළ නිසා වසරකට අධික කාලයක් අත්අඩංගුවේ ඉඳලා අවසානයේ දී අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කළා.

රණවිරුවන්ට මේ අපරාධය කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. ජනාධිපතිතුමා මේ ලැජ්ජා සහගත සිදුවීම පත්තරයෙන් වත් දැන ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.

– අරවින්ද අතුකෝරල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress