ගමන් වියදම් කප්පාදුවට එරෙහිව මාර්තු සිට මාසික වාර්ථා ලබාදීමෙන් වැළකීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක.
Posted on March 15th, 2017

වන්දන සූරියආරච්චි  ප‍්‍රධාන ලේකම්, මානව සම්පත් සංවර්ධන සහ සංවර්ධන නිලධාරීන් 

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය යටතේ පවතින මිනිස් බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු මානව සම්පත් සංවර්ධන සහ සංවර්ධන නිලධාරීන් සඳහා 2016 වර්ෂයේ අදාළ රාජකාරි ගමන් වියදම් දීමනා කප්පාදු කිරීමට එරෙහිව මාසික ප‍්‍රගති වාර්ථා දෙපාර්තමේන්තුව වෙත යැවීමෙන් වැළකී සිටීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට අවතීරණය වීමට තීරණය කර ඇත. ඔවුන් මෙම තීරණය ගනු ලැබූයේ පසුගිය 10 වන දින සංගමයේ වාර්ෂික සමූළුවේදී බව දන්වා සිටිමු.
 
    ඉහත තනතුරු දරන නිලධාරීන්ට රාජකාරි සඳහා වන ගමන් වියදම් දීමනාව ලෙස රු. 2500/- ක මුදලක් නියමිත අතර එම මුදල මාසිකව හිමිවිය යුතු වුවත් 2016 වර්ෂයට අදාළව එම දීමනාව ලබාදී ඇත්තේ මාස 06 ක් සඳහා පමණි. වෘත්තීය සමිති නියෝජිතයින් ආයතන ප‍්‍රධානීන්ගෙන් ඒ පිළිබඳව ප‍්‍රශ්න කළ අවස්ථාවේ බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ උපදෙස් අනුව එම දීමනාව ලබාදිය හැක්කේ වසරකට මාස 06 ක් සඳහා පමණක් බවයි.
 
    මහා භාණ්ඩාගාරය ලෙස උපදෙස් ලබාදී තිබුණත් අදාළ තනතුරේ නිලධාරීන් මාස 12 ම රාජකාරි කටයුතුවල නියැලෙන අතර මාස 12 න් මාස 06 ක ගමන් වියදම් දිමනා කප්පාදු කිරීම දැඩිව හෙලාදකිමු. ඒ අනුව වසරකට මාස 06 ක් රාජකාරි කිරීම ප‍්‍රමාණවත් ද යන්න රජයේ සේවකයින් ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කර සිටී.

    ඉතා සූක්‍ෂම ලෙස රාජ්‍ය සේවකයින්ගේ දීමනා හා වරප‍්‍රසාද කප්පාදු කිරීමට ආණ්ඩුව පටන්ගෙන ඇති බව වසරකට හිමි මාසික ගමන් වියදම් දිමනාව මාස 06 ක් දක්වා කප්පාදු කර තිබීමෙන් මනාව පැහැදිළි වේ. 2016 වර්ෂය සඳහා මාස 06 ක හිඟයක් පවතින අතර 2017 වර්ෂයේත් මහා භාණ්ඩාගාරය අනුමත කර ඇත්තේ මාස 06 ක් සඳහා ප‍්‍රමාණවත් වන දීමනා. බව දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් විසින් වැඩිදුරටත් දන්වා සිටී.
 
    2016 හා 2017 වර්ෂවලට හිමි රාජකාරි ගමන් වියදම් දීමනා කප්පාදුව පිළිබඳව ආයතන බලධාරීන් සමග අවස්ථා කිහිපයක සාකච්ඡුා කළත් මෙතෙක් විසඳුමක් නොලැබුණි. 2017.03.10. වන දින සමුළුවේ සම්මත වූ පරිදි එදින සිට දින 14 ක් ඇතුළත ගමන් වියදම් කප්පාදුවට නිසි විසඳුමක් නොලැබෙන්නේ නම් මාර්තු මාසයේ සිට මානව සම්පත් සංවර්ධන සහකාර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් මාසිකව ලබාදියයුතු මාසික ප‍්‍රගති වාර්ථා දෙපාර්තමේන්තු වෙත ලබාදීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත. ගැටළුව සඳහා ප‍්‍රමාණවත් කාලසීමාවක් තුළ විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ග  වෙත අවතීර්ණයවීමට තීරණය කර ඇති බව දන්වා සිටිමු.

ස්තූතියි.
 
මෙයට,
විශ්වාසී,
වන්දන සූරියආරච්චි
ප‍්‍රධාන ලේකම්,                   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress