නළාවේ අයිතිය හොඳහිතට!
Posted on March 18th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

හැඳින්වීම

අපේ රටේ තරම් ප්‍රශ්න තියෙන තවත් රටක් මේ ලෝකයේ තියෙනවා කියලා හිතන්න අමාරුයි. මිනිස්සු කාට කාටත් ප්‍රශ්න තියෙන එක ඇත්ත. ඒත් මිනිස්සු ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්නවා. එහෙම නැතිව කාකොටාගන්නවා කියන්නේ තියෙන ප්‍රශ්න තව තවත් අලුත් කරගන්න එකයි, නැති ප්‍රශ්න ඇති කරගන්න එකයි. අපේ රටේ තියෙන මේ අවුල ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. මේ ගැන සඳහන් කරන්න පුළුවන් හොඳම උදාහරණය තමයි සයිටම් ප්‍රශ්නය. මේ සයිටම් කතාව අපේ අයට දැන් අප්‍රසන්න වෙලා තියෙන්නේ, තිත්ත වෙලා තියෙන්නේ. උදේටත් සයිටම්, දවල්ටත් සයිටම්, රෑටත් සයිටම්! මේ මංගල්ලේ ඉවරවෙන පාටකුත් නෑ. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් මේ සයිටම් ප්‍රශ්නයට තියෙන හොඳ ම විසඳුම තමයි පුළුවන් තරම් ඉක්මනින් මේ ලෝකෙන් චුතවෙලා යන එක කියලා.

දැනට මේ ප්‍රශ්නයට විසඳුම් දෙකක් යෝජනා වෙලා තියෙනවා. එකක් තමයි තියෙන විදිහට ම සයිටම් එක පවත්වා ගෙන යන එක. අනිත් එක තමයි මේක රාජසන්තක කරලා දාන එක. ඉතින් දෙගොල්ල කඹ අඳිනවා. මහා උගත්තු ඉන්නවා කියලා කියන රටක මේ වගේ පොඩි ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න බැරිවෙලා තියෙනවා. මේ කියපු විසඳුම් දෙකට අමතර ව මේ ප්‍රශ්නයට වෙන විසඳුමක් නැති ද? දෙගොල්ල ම සතුටුකරන විදිහක් නැති ද? හැමෝ ම සතුටුකරන්න පුළුවන් විදිහක් නැති ද? එහෙම ක්‍රම කොහෙද තියෙන්නේ කියලා කාට හරි අහන්න පුළුවන්. ඒක ඇත්ත. ඒත් මේ වැඩේට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව දෙකක් ඉන්නවානේ. ඉතින් ඒ දෙපාර්ශ්වය සතුටුකරන්න පුළුවන්කමක් තියෙනවා නම් ලොකු දෙයක්නේ.

ඉතින් මේ කියන්නේ ඒ විදිහේ විසඳුමක් ගැන. තවත් කල් මරන්නේ නැතිව ඒ ගැන කියන්නම්.

රජයට නෙවෙයි – ජනතාවට

අද අපේ විශ්වවිද්‍යාල ඔක්කොම වගේ අයිති රජයට. ඒ කියන්නේ ජනතාවට අයිතියි කියන එක ද? එහෙම හිතන එක වැරැදියි. මිනිස්සුන් ගේ බදුවලිනුයි ආණ්ඩුව ගන්න ණයවලිනුයි මේවා පවත්වාගෙන ගියාට මේ ආයතන ජනතාවට අයිතියි කියලා හිතන එක තමන්ව ම රවට්ටා ගැනීමක්. ඉතින් කරන්න පුළුවන් හොඳ ම වැඩේ තමයි මේ ආයතන විශාල ජන සහභාගීත්වයකින් පවත්වාගෙන යෑමට ක්‍රමයක් සකස්කරන එක. ඒ කියන්නේ මුදලාලිලා දෙන්නෙක්, තුන්දෙනෙක් අතට මේවා පවරලා දෙන එක නෙවෙයි. පුළුවන් තරම් විශාල පිරිසකට මේවා ගේ අයිතිය භාරදෙන එක.

එහෙම කරන්නේ කොහොම ද? ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. මොකද ලාභ ලබන ආයතනයක පාර්ශ්වීය හිමිකාරයෙක් වෙන්න අකමැති කෙනෙක් නැහැනේ. ඒ විදිහට හිමිකාරකමක් ලබාදෙන්න පුළුවන් මුදලකට. ඉතින් සයිටම් එක කොටස් වෙළෙඳපොලේ විකුණන්න පුළුවන්. වැඩි පිරිසකට අයිතිය පවරන්න ඕන හින්දා එක් අයකුට මිළදීගන්න පුළුවන් කොටස් ගණන (ප්‍රතිශතය) නීතියෙන් සීමාකරන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි. මේ කොටස් විකිණිල්ලේ දී මිළදීගැනීමේ ප්‍රමුඛතාව ලැබෙන්න ඕන ඒ ක්‍ෂේත්‍රය ගැන දැනුමක් තියෙන අයට. විශේෂයෙන් ම වෛද්‍යවරුන්ට. ඒ කියන්නේ සයිටම් කොටස්වල අයිතිය හිමිකරගැනීමේ ප්‍රමුඛතාව රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට හිමිවෙන්න ඕන. වෛද්‍යවරු කියන්නේ තරමක මුදල් හයියක් තියෙන පිරිසක් හින්දා ඒ අයට මේ වැඩේ වෙනුවෙන් මුදලක් ආයෝජනයක් කරන එක අමාරු වැඩක් නෙවෙයි.

එහෙම වුනා ම සයිටම් කියන්නේ වෘත්තීය සුදුසුකම තියෙන අය ගේ අධීක්‍ෂණය යටතේ පාලනය වන ආයතනයක් බවට පත්වෙනවා. ඉතින් ඒ විදිහට පාලනය වෙන ආයතනයකින් බිහිවෙන වෛද්‍යවරු නුසුදුස්සන් කියලා කියන්න, නිසි පුහුණුවක් නැති අය කියලා කියන්න කාටවත් පුළුවන්කමක් නෑ.

සයිටම් කියන්නේ මුදල් අයකරලා අධ්‍යාපනය ලබාදෙන ආයතනයක්. ඉතින් මේ ආයතනයේ මුදල් ආයෝජනය කරපු වෛද්‍යවරුන් ප්‍රමුඛ පිරිසට අලාභයක් වෙන්න විදිහක් නෑ. ලැබෙන ආයෝජනවලින් නෙවිල් ප්‍රනාන්දු දොස්තර මහත්තයා කරලා තියෙන වියදම් ඒ මහත්තයාට ආපහු ගෙවලා දාන්න පුළුවන්. ඒ මහත්තයා ආරම්භක සභාපති හින්දා ඒකට ගරුකරලා එතුමාට වැඩි කොටස් ප්‍රමාණයක් සහ පරිපාලන බලයක් ලබාදෙන්නත් පුළුවන්.

ඒ විතරක් නෙවෙයි. ආණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල වුනත් මේ විදිහට පිහිටුවන පොදු අයිතිය තියෙන සමාගමට ම පවරන්න පුළුවන්.

එතකොට නිදහස් අධ්‍යාපනය ..?

එහෙම කළා ම නිදහස් අධ්‍යාපනයට මොකද වෙන්නේ කියලා කාට හරි අහන්න පුළුවන්. අපි නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ මොකක් ද? විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ගත්තොත් ඒකෙන් කියැවෙන්නේ උසස් පෙළ විභාගයෙන් වැඩි සුදුසුකම් ලබාගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන් යම් ප්‍රමාණයකට නොමිලේ අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථාවක් ලබාදෙන එකනේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව වියදම්කරනවා.

ඉතින් ආණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල පොදු අයිතිය තියෙන සමාගමකට විකුණුවාම ඒ අවස්ථාව නැතිවෙන්න පුළුවන් කියලා කාට හරි කියන්න පුළුවන්. එහෙම වෙන්නේ නෑ. ආණ්ඩුවට පුළුවන් දැනට බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණයටත් වැඩි ගණනකට ඒ අවස්ථාව ලබාදෙන්න. ඒ කොහොම ද? ඒක මහ වැඩක් නෙවෙයි. ඒ වෙනුවෙන් කරන්න ඕන දැනට අවුරුද්දකට වෛද්‍ය විද්‍යාලවලට බඳවාගන්නේ ශිෂ්‍යයන් 2000 ක් නම්, ඒ විදිහට ම ඒ අය ව තෝරගෙන ඒ ඒ ශිෂ්‍යයා ගේ අධ්‍යාපනික වියදම ශිෂ්‍යත්වයක ආකාරයෙන් අර විදිහට පිහිටුවන පොදු සමාගමට ලබාදෙන එක. වෛද්‍ය උපාධි පාඨමාලාවක් වෙනුවෙන් අය කළ යුතු ගාස්තුව කීය ද කියන එක ආණ්ඩුවේ නියාමනය යටතේ තීරණයකරන්න පුළුවන්.

මේ ක්‍රමය අනුගමනය කරද්දී ආණ්ඩුව වියදම්කරන්න ඕන ශිෂ්‍යයන් ගේ ශිෂ්‍යත්ව වෙනුවෙන් විතරයි. ගුරුවරුන් ගේ පඩි ගෙවන්න, ගොඩනැගිලි ආදිය පවත්වාගෙන යන්න, පරිපාලන වියදම් දරන්න වෙන්නේ මේ පොදු සමාගමට. ඉතින් මේ විදිහේ අමතර වියදම් අඩුවෙන හින්දා ආණ්ඩුවට පුළුවන් රජයේ ශිෂ්‍යත්ව මත බඳවාගැනීමට සළස්වන ප්‍රමාණය වැඩිකරන්න. ඒ කියන්නේ, දැන් බඳවාගන්නේ 2000 ක් නම් ඒක 3000 ක් දක්වා වැඩිකරන්න.

ඒත් මේ වැඩේට සමාගමක්, සමාගමක් කියලා කිව්වා හරි කැතයිනේ කියලා කාට හරි කියන්න පුළුවන්. ඉතින් ඒකට කරන්න ඕන හොඳ නමක් දාගන්න එකනේ. මේකට කියන්න පුළුවන් ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය කියලා. එහෙමත් නැතිනම් ඊටත් වඩා ගරු ගාම්භීර නමක් හොයාගන්න පුළුවන්.

දැනට තියෙන වෛද්‍ය පීඨ ..?

එතකොට දැන් තියෙන වෛද්‍ය පීඨවලට මොකද කරන්නේ? ඒවා ඉතින් මේ විදිහට ඇතිකරන ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයේ පීඨ බවට පත්කරන්න පුළුවන්නේ. අදාළ ගොඩනැගිලි මේ වැඩේට පාවිච්චි කරන එක වෙනුවෙන් ඒවා පිහිටුවලා තියෙන විශ්වවිද්‍යාලවලට කුලියක් ගෙවන්නත් පුළුවන්. ඉතින් ඒක ඒ විශ්වවිද්‍යාලවලට ආදායමක්. එහෙම ආදායමක් ලැබෙන එක රජයටත් හොඳයි. රජයට බදු ගෙවන ජනතාවටත් හොඳයි.

මේ විදිහට කළා ම ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය කියන්නේ රට වටේ ම පීඨ තියෙන පොදු ආයතනයක් බවට පත්වෙනවා. තියෙන සම්පත් සාධාරණ විදිහට බෙදා හදාගන්නත් පුළුවන්. දැන් සමහර වෛද්‍ය පීඨවල මහාචාර්යවරු ඉන්නවා. ඒත් අයට ප්‍රමාණවත් තරම් ශිෂ්‍යයෝ නෑ. සමහර වෛද්‍ය පීඨවල ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ අයට අවශ්‍ය කරන ගුරුවරු නෑ. ඉතින් මේ ඔක්කොම එක අයතනයක පිරිස් බවට පත්වුනා ම සම්පත් බෙදාගැනිල්ල හරි ම පහසුවෙන් කරන්න පුළුවන්නේ.

අදාළ කාල සීමාවේ ඉගෙනගන්න දේට ගැලපෙන විදිහට ශිෂ්‍යයන්ටත් පුළුවන්නේ පීඨයෙන් පීඨයට යන්න. රට වටේ ම ඉන්න එක ම විෂයය ඉගෙනගන්න අයට ඒකට අදාළ පොදු පංතිවලට සහභාගීවෙන්න පුළුවන්. සමහර පාඨමාලා පැවැත්වෙන්නේ කොළඹ. තවත් සමහර පාඨමාලා පැවැත්වෙන්නේ පිට පළාත්වල. ප්‍රායෝගික පුහුණුවීම්වලට, සායනික පුහුණුවීම්වලට  අදාළ පහසුකම් වුනත් බෙදා හදාගන්න පුළුවන්නේ. මේක තැනකින් තැනකට යන්න බැරි තරම් විශාල රටකුත් නෙවෙයිනේ.

මේ කියන්නේ අධ්‍යාපනය විකුණන්න කියන එක ද?

මේ කියන්නේ වෛද්‍ය අධ්‍යාපනය විකුණන්න කියලා කියන එක නේ ද කියලා කාට හරි චෝදනාකරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ භාණ්ඩයක් විදිහට වෙළෙඳපොලේ විකුණන්න බැරි දෙයක් කියලත් ඒ අය කියාවි.

ඒත් ලෝකේ පුරා ම තියෙන අනෙක් රටවල්වල තියෙන වෛද්‍ය විද්‍යාල ගැන හොයලා බැලුවොත් පෙනෙයි නොමිලේ අධ්‍යාපනය ලබාදෙන ආයතන තියෙන්නේ කීයෙන් කීය ද කියලා. ඒ විදිහට ගෙවලා ඉගෙනගන්න පුළුවන් හින්දානේ අපේ අය ඒ රටවල්වලට ගිහිල්ලා සල්ලි ගෙවලා ඉගෙනගෙන එන්නේ. ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, රුසියාව වගේ රටවල ඉන්නේ කිසිම සුදුසුකමක් නැති වෛද්‍යවරු කියලා අපිට කියන්න බෑනේ. ඒ රටවල්වල ඉන්න වෛද්‍යවරුන්ගෙන් අතිමහත් බහුකරයක් මුදල් ගෙවලා ඉගෙනගත්ත අයනේ.

උසස් පෙළ විභාගයෙන් ඉහළ සුදුසුකම් ලබාගන්න අය ගේ වියදම් දරන එක ආණ්ඩුවට කරන්න පුළුවන්නේ. ආණ්ඩුවට විතරක් නෙවෙයි. වෙනත් පුණ්‍ය ආයතනවලට වුනත් ශිෂ්‍යත්ව අරමුදල් ඇතිකරලා තව තවත් ශිෂ්‍යයන්ට උදව් කරන්න පුළුවන්. තමන්ට කියලා ප්‍රමාණවත් මුදලක් නැති පිරිසකට බැංකු ණය ගන්න ක්‍රමයකුත් හදලා දෙන්න පුළුවන්.

මුදල් ගෙවලා ඉගෙනගන්න අය ගේ සුදුසුකම් ..?

එතකොට ඕනෑ ම කෙනෙක්ට මුදල් ගෙවලා ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනගන්න පුළුවන් ද කියලා කාට හරි අහන්න පුළුවන්. එහෙම වෙන්නේ කොහොම ද? මුදල් ගෙවලා ඉගෙනගන්න බලාපොරොත්තු වෙන අයගෙන් අයැදුම්පත් කැඳවන එකනේ මුලින් ම කරන්න ඕන. ඒ විදිහට අයැදුම්පතක් යොමුකරන්න තියෙන්න ඕන මූලික ම සුදුසුකම තමයි උසස් පෙළ විභාගයට අදාළ විෂයයන්ගෙන් පෙනී ඉඳලා සමත්වෙන එක. අසමත් වෙච්ච අයට එහෙම ඉඩක් දෙන්න විදිහක් නැහැනේ. අයැදුම්පත් ලැබුණාට පස්සේ වැඩි ම ලකුණු ගත්ත පිරිස තෝරාගන්න පුළුවන්. ඒ විදිහට තෝරාගත්ත කඩයිම් ලකුණු මොනවා ද කියලා ප්‍රසිද්ධ කරන්නත් පුළුවන්. එතකොට කාට කාටත් පැහැදිළියි මොකක්ද වෙන්නේ කියන එක.

මේ විදිහට වැඩ කළා ම පටිපාටිය හරි ම පැහැදිළියි. ලකුණු වැඩියෙන් ගත්ත යම් ප්‍රමාණයකට (උදා: 3000 කට) ආණ්ඩුවෙන් ශිෂ්‍යත්ව දෙනවා. ඒ වැඩේ දී දැන් කරන විදිහට ම ඉසෙඩ් ලකුණු, දිස්ත්‍රික් කඩයිම් යොදාගන්න පුළුවන්. ආණ්ඩුවේ ශිෂ්‍යත්ව දිනාගන්න බැරිවෙච්ච අය අතර ඉන්න ඉහළ ම සුදුසුකම් ලබාගත්ත පිරිසකට මුදල් ගෙවලා ඉගෙනගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් A තුනකුත් තියෙද්දී, සල්ලි ගෙවලාවත් ඉගෙනගන්න බැරිවුනා කියලා කියන්න ඕන නෑ.

වෛද්‍ය අධ්‍යාපනයට විතරක් නෙවෙයි

මේ වගේ ක්‍රමයක් SLIIT, NIBM ආයතනවලටත් හඳුන්වලා දෙන්න පුළුවන්. දැනට ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල පවත්වගෙන යන පරිගණක, කළමනාකරණ පීඨ පවා ඒ විදිහට පිහිටුවන පොදු ආයතනවල පීඨ බවට පත්කරන්න පුළුවන්. ඒවාට මුදල් ආයෝජන භාරගනිද්දි ප්‍රමුඛතාව දෙන්න ඕන ඒ ඒ ක්‍ෂේත්‍රවල කෙළ පැමිණි අයට. ආණ්ඩුව කරන්න ඕන අදාළ ආයතනවලට ඇතුළුවෙන්න සුදුසුකම් තියෙන ශිෂ්‍යයන් ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ලබාදීලා, අදාළ ආයතන හොඳින් පාලනය වෙනවා ද කියලා නියාමනය කරන එක විතරයි.

වරුණ චන්ද්‍රකීර්ති

One Response to “නළාවේ අයිතිය හොඳහිතට!”

  1. Christie Says:

    අපේ රටේ නිකම් ඉගෙනුමක්. කොහෙද දෙයියනේ තියෙන්නෙ.

    පැටිය බඩේ ඉන්න ඉස්සෙල්ල ඉඳන් ටියුශන්.

    උපන්නට පස්සෙ ඉඳන් සරසවියට යනකන් අම්මත් ටියුශන් යනව.

    සක්විතිය, ග්‍රෙරෝ නැත්නම් බන්දුලගෙන් අහන්න.

    සයිටම් එකේ මොක්කු හැදුවම මොකද.

    ඉන් හොඳ වැඩකාරොයො නම් මිනිස්සු උන්ට සල්ලි දීල බෙහෙත් ගනීවි නැත්නම් ඔය නිදහස් ඉගෙනීම ගත්ත අය ගාවට යාවි. තවත් ඉන්නවනෙ පිරට ඉගෙන ගත්ත අයත්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress