‘රනිල් සහ සමාගම’ සිවු මසකදී රුපියල් කෝටි 13,000කට වග කියලා..
Posted on March 19th, 2017

සිදත් මෙන්ඩිස් – Mawbima.lk

මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ යහපාලන ආණ්ඩුව රුපියල් කෝටි 13000ක පාඩුවක් රටට සිදුකර ඇති බව TOP10 යටතේ හෙළිදරව් කිරීමට හැකි වූ බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි.

TOP10 අවසාන හෙළිදරව්ව පිළිබඳ පැහැදිලි කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල ඇන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවැසීය.

නොරොච්චෝලෙ ගල් අඟුරු විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේදී රජයට රුපියල් මිලියන 5000ක පාඩුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම, ආර්. පාස්කරලිංගම් සහ චරිත රත්වත්තේ යන අය සිදුකර ඇති බව හෙතෙම සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ පැමිණිලි 10න් අග්‍රාමාත්‍යවරයාට, මුදල් අමාත්‍යවරයාට සහ අමාත්‍ය මලික් සමරවික්‍රම යන අයට පැමිණිලි 3 බැගින් ඉදිරිපත් වී ඇති බවත් ටොප් ටෙන්වල ටොපේ ටෙන් වී ඇති බවත් සඳහන් කළේය.

මහින්දානන්ද අලුත්ගමගේ මෙසේද පැවැසීය.

මේ ආණ්ඩුවේ මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව අපි මාස 4යි දින 18ක් තුළ වංචා 10ක් හෙළිදරව් කළා. කරපු පැමිණිලි දිහා බැලුවම මට පේන්නේ රනිල් වික්‍රමසිංහ සහ පෞද්ගලික සමාගමට එරෙහිව වැඩි වශයෙන් පැමිණිලි ඉදිරිපත් වෙලා කියලයි. අද රට පාලනය කරන්නේ ඒ සමාගම. TOP10 පැමිණිලි 10ක් කරලා තිබුණත් බැඳුම්කර මංකොල්ලය ගැන විතරයි විමර්ශන කරමින් ඉන්නේ. අපි කළ හැම පැමිණිල්ලක්ම රුපියල් බිලියන 1ට වඩා වැඩියි. බැඳුම්කර සිද්ධිය යට ගහන්න ආණ්ඩුව හැදුවොත් නිරුවත බලාගන්න පුළුවන්. බැඳුම්කරය විමර්ශනය පටන් ගත්ත නිසා තමයි පොඩි රෙදි පොටකින් ආණ්ඩුව නිරුවත වහගෙන ඉන්නේ. ඒකත් ජනාධිපතිවරයාට පින් සිද්ධ වෙන්නයි.

අද ලෝකයම පිළිඅරගෙන තියෙනවා මේ යහපාලන ආණ්ඩුව හොරකම් කරනවා කියලා. පසුගියදා ජාත්‍යන්තර සමීක්ෂණයක් ඒ බව සනාථ කළා. ජනාධිපතිවරයාත් කියනවා මේ ආණ්ඩුවේ දූෂිත අමාත්‍යවරුන් ඉන්නවා කියලා. ඒ නිසා අපි ජනාධිපතිවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ TOP10 පැමිණිලි ගැන අවධානය යොමු කරලා පරීක්ෂණ කඩිනමින් සිදු කරන්න කියලා.

තවත් පැමිණිලි 7ක් අපට කරන්න තියෙනවා. නමුත් පැමිණිලි කිරීම තුළින් ඵලක් නොවන නිසා හොරුන්ට දඬුවම් කිරීමේ දැවැන්ත ව්‍යාපාරයකට යන්න සූදානම්. මන්ත්‍රිවරුන් හැටියට අපි කළ පැමිණිලිවලට අවධානය යොමු නොවීම නිසා මන්ත්‍රි වරප්‍රසාද කඩවීමට එරෙහිව මේ ගැන විමර්ශන කරන්න කියලා කතානායකවරයාට පැමිණිලි කරනවා. දෙවනුව අල්ලස් කොමිසමට එරෙහිව දැවැන්ත අරගලයක් මෙහෙයවනවා. තෙවනුව මේ ගැන අපි ජනාධිපතිවරයාට කියනවා මේ ගැන අවධානය යොමු කරලා හොරුන්ට දඬුවම් දෙන්න කියලා. එසේත් නොවන්නේ නම් සිවුවනුව අපි ජනතාව ඉදිරියට ගිහිල්ලා මේ හොරුන්ට දඬුවම් කරන්න කියලා අරගල කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක,

‘නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ලබාදීම සඳහා ප්‍රථම ලංසුව නෝබල් රිසෝසස් සමාගමට හිමිවෙද්දී ඇගයීම් වාර්තාවේ 5 වැනි ස්ථානයේ සිටි ස්විස් සිංගප්පූර් නමැති ලංසුකරු විසින් ප්‍රසම්පාදන මණ්ඩලයට යොමු කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන ටෙන්ඩර් වංචාවක් සිදු කරලා තියෙනවා. ලංකා සෝල් සමාගමේ හිටපු සභාපති එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රි ගුණරත්න කියනවා මේ ටෙන්ඩරය හරහා වංචාවක් සිදු වෙලා ඇති නිසා ටෙන්ඩරය අහෝසි කරන්න කියලා. විගණකාධිපති වාර්තාව සඳහන් කරනවා ටෙන්ඩරය හරහා රුපියල් මිලියන 5000කට ආසන්න මුදල් වංවා වෙලා කියලා. ටෙන්ඩරය අහෝසි කරන්න කිව්වත් ඒක කළේ නැහැ’

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress