විදෙස් විනිසුරුවන්ට කල් දීම
Posted on March 23rd, 2017

නලින් ද සිල්වා

ලංකාව සම්බන්ධ 2016 ජෙනීවා යෝජනාව ගෙන එනු ලැබුයේ ලංකාව ද විසිනි. ඒ් යෝජනාවට ලංකාව අනුග්‍රහය දැක්වූයේ යැයි කීම ලංකාවේ වගකීම අඩු තක්සේරු කිරීමක්. ලංකාව ඒ යෝජනාව අනෙක් රටවල් පහළොවක් සමග එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත් කළා. යෝජනාව පිළිබඳ වගකීම ලංකාවට ද පැවරෙනවා. ඒ යෝජනාව ලංකාවට විරුද්ධව ගෙන එන ලද්දක්. මෙරට ඊනියා මානව අයිතිවාසිකම්  ගැන එහි සඳහන් වෙනවා. තමන්ට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් කළ රටක් හැටියට ලංකාව ඉතිහාසගත වේවි. හොඳම මුදල් ඇමති බිහි කළ රටකට ඕවත් වැඩ ද? හෙට ජෙනීවාහි දී සම්මත කිරීමට යන්නේ 2016 යෝජනාවේ සඳහන් කරුණු ඉටු කිරීමට ලංකාණ්ඩුවට අවුරුදු දෙකක් කල් දීමට කෙරෙන යෝජනාවක්.

මේ හා සම්බන්ධ ප්‍රශ්නයක් දිනේෂ් ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේ දී ඇසූ විට රනිල් වික්‍රමසිංහ තම සුපුරුදු වික්‍රම පා ලිස්සා ගියා. වික්‍රමසිංහගේ වික්‍රම ගැන අප දැන් හොඳින් දන්නවා. මාර්ටින් වික්‍රමසිංහ මෙන් නොව බටහිර නවකතාව (එය අපට ලැබුණේ බටහිරින් මිස ජපානයෙන් නො වේ. ජපානයේ කතුවරියක් ප්‍රථම නවකතාව ලියන්නට ඇති. එහෙත් ඩාන්ටේට එහි බලපෑමක් වූ බවක් දැනගන්නට නැහැ. එය බටහිර බසකට පරිවර්තනය කෙරුණේ බොහෝ කලකට පසුව. චීනුන් බටහිරයන්ට පෙර කලිසම අඳින්නට ඇති. එහෙත් අපට කලිසම ලැබුණේ බටහිරින් මිස චීනයෙන් නො වේ. අද චීනුන් ද උත්සව අවස්ථාවල අඳින්නේ බටහිර කලිසම. චෞ එන් ලායි ගේ කලිසම අඳින චීන ඇමතිවරුන් දැන් ලංකාවට එන්නේ නැහැ.) සිංහල බෞද්ධ සංස්කෘතියට ගැනීමට තැත් කළ පියදාස සිරිසේන විද්වතා කෝන්ගොඩ වික්‍රමපාලගේ වික්‍රම ගැන ලිවුවා. අද වික්‍රමසිංහගේ වික්‍රම ගැන ලියන්න කවුරුන්වත් නැහැ. වික්‍රමසිංහගේ වික්‍රම වික්‍රමපාලගේ වික්‍රමවලට වඩා වෙනස්. විමලතිස්ස හාමුදුරුවන්ගෙ මුදල් පෙට්ටිය වගේ කතාවක් අද මාමාගේ බැඳුම්කරය කියලා ලිව්වොත් එහෙම කොහොමට තියේවි ද? ඒක පෙළ පොතක් හැටියට නියම නොකළත් උණු කැවුම් වගේ විකිණේවි. මෙය උණු කේක් (හොට් කේක්) ආශ්‍රයෙන් හදා ගත් කියුමක් ද? පැරණි සිංහලයන් ඔය තරම් කැවුම් විකුණුවෙ නැහැ.

2016 යෝජනාව අනෙක් රටවල් සමග එක්ව ඉදිරිපත් කිරීමෙන් ම ආණ්ඩුව තම නිවට බව පෙන්වා දුන්නා. මෛත්‍රිපාලටත් එහි වගකීමෙන් බේරෙන්න බැහැ. ඔහු රටේ ජනාධිපති, සේනාධිනායක. ඒ යෝජනාවෙන් කියැවුණු එක් කරුණක් වූයේ ඊනියා මානව අයිතිවාසිකම් නඩු විභාග කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය හා විදේශීය විනිසුරුවන් පත් කළ යුතු බව. එය හුදෙක් උපදෙස් දීම සඳහා හෝ නිරීක්‍ෂකයන් ලෙස හෝ විදේශීය නීතිඥයන් සහභාගි කරවා ගැනීමක් නො වෙයි. එයට වඩා බොහොම දුර දිග යන වැඩක්. අපේ පරමාධිපත්‍යය නැති කරන වැඩක්. අපේ ව්‍යවස්ථාව අනුව කළ නොහැකි රාජද්‍රෝහි වැඩක්.

ආණ්ඩුව මේ යෝජනාව අනෙක් රටවල් සමග ඊනියා මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙළේ මේ කිසිවක් නො දැන ද? ආණ්ඩුව ව්‍යවස්ථාව දන්නේ නැත් ද? මෛත්‍රිපාල ව්‍යවස්ථාව කියවා නැත් ද? ජනාධිපති විදේශීය විනිසුරුවන් පත් නොකරන බව කිවුවේ තරමක් කල් ගිහින්. ඒ වන විට විදේශ විනිසුරුවන්ට විරුද්ධව, දෙමුහුන් අධිකරණවලට විරුද්ධ ව රටේ ජනමතයක් ගොඩ නැගිලා ඉවරයි. රනිල් විදේශ විනිසුරුවන් පත් කරන්නෙ නැහැ කියලා කිවුවෙ ඉතාමත් මෑතක දි. ඉතාමත් මෑතක දි. පවතින ව්‍යවස්ථාව අනුව එසේ කළ නොහැකි බව සුමන්තිරන්ලාටත් තේරෙනවා ඇති. ඒත් ඔවුන් ඒ බව කියන්නේ නැහැ.

හෙට ජෙනීවාහි දී සම්මත වීමට නියමිත යෝජනාවෙන් විදේශීය විනිසුරුවන් පත් කිරීමේ කාරණය ඉවත් කර නැහැ. යෝජනාවෙන් කෙරෙන්නේ විදේශීය විනිසුරුවන් පත් කිරීමට හා අනෙක් කරුණුවලට තවත් අවුරුදු දෙකක් කල් දෙන බව පමණයි. සුමන්තිරන් නම් එයටත් විරුද්ධයි. ඔහුට, සම්බන්ධන්ට හා ප්‍රභාකරන්ගේ ශිවාජිලිංගම් මස්සිනාට (දේශපාලන මස්සිනා පමණක් නො වෙයි) අද ම විදේශීය විනිසුරුවන් පත් කිරීමට අවශ්‍යයයි. ඒත් බටහිරයන් දන්නවා අද ඒ කළ නොහැකි බව. ඔවුන් ආණ්ඩුවට ඒ සඳහා අවුරුදු දෙකක් කල් දීමට සූදානම්.

දිනේෂ්ගේ ප්‍රශ්නය ඒ හා සම්බන්ධයි. රනිල් ඉතා පැහැදිලිව ව්‍යවස්ථාව වෙනස් කර තම බටහිර  යෝජනාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහු කියනවා අද තිබෙන ඒකීය රාජ්‍යය වෙනස් කරන්නේ නැති බව. එහෙත් අදත් මෙරට ඒකීය රාජ්‍යයක් නොමැති බව පැහැදිලියි. රනිල් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන එක ගැන කියන්නෙත් සුද්දන් කී ආකාරයටම. සුද්දන් 1815 ගිවිසුමෙන් පොරොන්දු වුණේ බුද්ධාගම හා දේවාගම (සිංහල බුද්ධාගම) රකින බව. එහෙත් ඔවුන් එසේ කෙළේ නැහැ. 1840 වන විට සුද්දන් තම වගකීමෙන් ඉවත් වුණා.

හෙට සම්මත වීමට නියමිත යෝජනාව ගැන රනිල් කිසිවක් කියන්නේ නැතිව, 2016 යෝජනාවේ විදේශීය විනිසුරුවන් පත් කිරීම ගැන කිසිවක් කියන්නේ නැතිව රනිල් වික්‍රම පා කියන්නේ ජී එල් පීරිස් පොරෙන්දු වූ දේ. සුදු කොඩි කතාව විභාග කරන්න පොරෙන්දු වූ කතා. සුදු කොඩි කතාව ඇද ගත්තේ සරත් ෆොන්සේකා. ඔහුට එයට දඬුවම් ලැබුණා. ඒ දඬුවම් දීම සාධාරණයි. කොහොමටත් ජී එල් පීරිස්ලා හා වෙනත් උපදේශකයන් එකල මහින්ද නොමග යවා තිබෙන බව පැහැදිලියි. අදත් ජී එල් සමගාමී ලැයිස්තුව ඉවත් කිරීමට පොරොන්දු වෙනවා. මහින්ද මේ උපදේශකයන් ගැන තවමත් විශ්වාසය තබන්නේ වෙනත් අය නැති නිසා යැයි ඔහු සිතන බැවින් ද? 

ඒ කොහොම වුණත් රනිල්ට පරණ කතා පාර්ලිමේන්තුවේ මතක් කර වික්‍රම පා පැන යන්න ඒකාබද්ධ විපක්‍ෂය ඉඩ නොදිය යුතුයි. මෛත්‍රිපාලට බටහිරයන්ට මුහුණ දෙන්නෙ කොහොමද කියලා පුටින්ගෙන්වත් අහගන්න පුළුවන් ද? මෙතන බටහිරයන් කියන්නෙ රනිල්. අද කළ යුත්තේ කොටි සංවිධානය මිනිස් පළිහක් යොදා ගැනීම අවි රහිත කලාපවල මිනිස් පළිහට මුවා වෙලා වෙඩි තැබීම ආදියෙන් කළ යුද්ධාපරාධ විභාග කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීම. එහි දී කොටින්ට ආධාර කළ කොටින් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටි සම්බන්ධන්ලාටත් විරුද්ධව චෝදනා ඉදිරිපත් කළ යුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress