අනිත් කොනේ වෛද්‍යවරිය ; බෝධිනී සමරතුංග
Posted on March 24th, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

බෝධිනී සමරතුංග ගේ අනිත් කොන කෘතිය වෛද්‍ය වෘත්තිය පිලිබඳ සාක්‍ෂාත්කරයකි. එය කතුවරියගේ ආත්මකථනයකි. වෛද්‍ය උපාධිය ලබා ඇය මුලින්ම සේවය සඳහා යන්නේ යුද ගැටුම් වලින් පීඩා ලැබූ උතුරුකරයේ රෝහලකටය​. සිංහල වෛද්‍යවරියක ලෙස ඇයට මෙම ප්‍රදේශය නුහුරුය​. ඇය දෙමල බස නොදන්නීය​. දමිල රෝගීන් බහුතරය වන රෝහලක කෙලෙස තම රැකියාව කිරීමට හැකි වෙත්ද යන දෙගිඩියාවෙන් ඇය රෝහලට පැමිනෙන්නීය​. එහෙත් ඇය සතුව අපූරු මෙවලමක් තිබේ. එනම් මානව දයාවයි. මෙම මෙවළම බොහෝ උගත් සහ කුසලතාවයන් ගෙන් යුක්ත වූ වෛද්‍යවරු අමතක කර දැමූවද කතා නායිකාව එය නැති කර ගන්නේ නැත​. එය උපයෝගී කර ගෙන ඇය තම රෝගීන් අමතන්නීය​. එම නිසා භාෂා සහ සංස්කෘතික සීමා අවහිරයන් ඇය කෙරෙහි බල නොපත්වයි.

 

උතුරේ මෙන්ම දකුනේ දුගී ජනතාව  ප්‍රතිකාර සඳහා පැමිනෙන සෞඛ්‍යය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් විසින් අමතක කර දමන ලද පහසුකම් අඩු රෝහල් වල සේවය කිරීම පහසු නැත​. මම එය අත්දැකීමෙන් දනිමි. දුප්පත් මිනිසුන් ගේ දහඩිය ගඳ , වාට්ටු වල අසූචි   මුත්‍රා සහ පයිනෝල් මිශ්‍රිත ගඳ , තොග වශයෙන් සැරි සරන මැස්සන් මෙන්ම රාත්‍රියේ එන මදුරුවන් , ඉවසීමට අපහසු රස්නය වෛද්‍ය වෘත්තිය යනු මල් යහනාවක් නොවන බව පසක් කරවයි. එසේම රෝගී ප්‍රතිකාරයේදී අවශ්‍ය කරන ඖෂධ හිඟකම , යල් පැන ගිය උපකරණ, රසායණාගාර පහසුකම් නැති බව​, සමහරක් රෝහල් සේවකයන් ගේ මන්දෝහීත්සාභාවයන් මෙන්ම  රෝගීන් විශයෙහි නොසැලකිල්ල අභිප්‍රේරිත  තරුණ වෛද්‍යවරු වෛද්‍යවරියන් වල්මත් කරවයි. 

මේ නිසා බොහෝ වෛද්‍යවරු පත්වීම් ගෙන ආ මුල් දිනයේ සිට පහසුකම් තිබෙන රෝහල් කරා  යාමට උත්සහ දරති. සමහරු  විදේශ ගත වෙති. තවත් සමහරු මෙම බාධකයන් සියල්ල තම වාසියට හරවා ගෙන රෝහලට යාබදව තම පුද්ගලික දිස්පැන්සරිය ආරම්භ කොට දුගී රෝගීන් හූරාගෙන කා වාහන මන්දිර මිලදී ගනිති. රෝහලේ පහසුකම් අඩුවීම​; බෙහෙත් නැතිවීම මෙම මුදලාලි වෛද්‍යවරුන්ට ප්‍රීතිය උපදවයි. එම නිසා තව තවත් රෝගීන් තමන් ගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට  ඇදී එති. රෝහලේ සම්පත් දියුණු කිරීමට ඔවුන් උත්සහ නොගනිති. මෙම අම්බලම් වැනි රෝහල් විවෘත කල දිනයේ සිටම මේ දක්වාම මුස්පේන්තු ආකාරයෙන් කිසිදු වෙනසකින් තොරව පවතී. 

එහෙත් අපගේ කතා නායිකාව සහමුලින්ම වෙනස් චරිතයකි. ඇය  දැණුමෙන් මෙන්ම ආකල්ප වලින්ද පොහොසත් ය​. ඇය  බාධක බිඳගෙන වැඩ කරන අයුරු අපූරුය​. මුලින්ම ඇය දමිළ බස ඉගෙන ගන්නීය​. ද්‍රවිඩ හෙදියන් , ද්‍රවිඩ ඇටෙන්ඩන්වරියන්  ඇයගේ ගුරුවරු වෙති. ක්‍රමක් ක්‍රමයෙන් ඉගෙන ගන්නා දමිළ බස හරහා ඇය තම රෝගීන් සමග සංවාදයේ යෙදෙමින් ඔවුන් ගේ රෝගී තත්වයන් අඳුනා ගන්නීය​. ඔවුනට දයාවෙන් ප්‍රතිකාර කරන්නීය​. කල් යත්ම කිසිදු උච්චාරණ  දෝෂයකින් තොරව දෙමල බස කතා කිරීමේ කුසළතාව මෙම සිංහල වෛද්‍යවරිය ලබා ගනී. සිංහලයන් කෙරෙහි අවිශ්වාසයකින් බලන ප්‍රජාවක් තුල තම සිංහල අනන්‍යතාවය රඳවා ගනිමින් ඔවුන් ගේ විශ්වාසය දිනා ගැනීමට ඇය සමත් වූවාය​. එය සුවිසල් ජයග්‍රහනයකි. මනුෂ්‍යත්වය තවමත් නොමල බව ඇය ඔවුනට පසක් කෙරුවාය​. 

මෙම ප්‍රදේශයේ මිනිසුන් විවිධ රෝග වලින් පෙලෙති. එසේම දරිද්‍රතාවයේ ව්‍යාධි වන නීරක්තය , මන්දපෝෂණය  මෙම ප්‍රජාව පීඩාවට පත් කොට තිබේ. එසේම නූගත්කම , ස්වථාවය පිළිබඳ දැණුම අඩු බව , මිත්‍යා මත නිසා ඔවුන් ගේ කායික මානසික සෞඛ්‍යය බිඳ වැටෙමින් පවතී.  එහෙත් මෙම වෛද්‍යවරිය අධිෂ්ඨාන පූර්වකව රෝගීන් ගේ සෞඛ්‍යය තත්වය ඉහල නැංවීමට කටයුතු කරන්නීය​. 

කායික රෝගී තත්වයන්ට අමතරව යුද ගැටුම් නිසා මේ කළාපයේ ජීවත් වන ජනයා යුද ආතතියේ ලක්‍ෂණ වන කාංසාව සහ විශාදියේ  රෝග ලක්‍ෂණ පෙන්වති. ඇය කායික රෝග පමණක් නොව මෙවැනි මානසික රෝග පිලිබඳව පවා වෛඥානිකය​. හෘධ ශබ්දයට සවන් දීමේන් හෘධ ආකූලතා හඳුනා ගත හැකි එහෙත් විශාදයේ ලක්‍ෂණ නොහඳුනන යාන්ත්‍රික වෛද්‍යවරුන්ට ඇයගෙන් බොහෝ දේවල් ඉගන ගත හැකි බව මම සිතමි. 

 සමහරක් වෛද්‍යවරුන් ගේ අසංවේදීතාවන් නිසා සමස්ථ වෛද්‍යවරු කෙරෙහි ජනතා කෝපය එල්ල වන යුගයක ; කාන්තාවන් ගේ සම්මුතියකින් තොරව ඔවුනට බලෙන් පවුල් සැලසුම් කරවන වෛද්‍යවරියන් සිටින රටක   මනුෂ්‍යත්වය හඳුනන වෛද්‍ය  බෝධිනී සමරතුංග වැනි චරිත පිළිබඳව ලියවිය යුතුය​.

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress