ගෝඨාභය රාජපක්‌ෂ කලකට පසු යළිත් ඇත්ත හෙළිකරයි -හමුදාවේ එහෙම කණඩායම් සිටියානම් අත්අඩංගුවට ගත යුත්තේ ෆොන්සේකාව- හෙන්දාවිතාරණ කළේ ඩෙස්‌ක්‌ ජොබ් එකක්‌
Posted on March 25th, 2017

සාකච්ඡා කළේ – මනෝඡ් අබයදීර උපුටා ගැන්ම දිවයින

දිනෙන් දින ඉහළ යන ආරක්‌ෂක බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සමාජයේ ඇතිවී තිබෙන කතාබහ පිළිබඳ සංවාදය සඳහා හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කරන සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – ත්‍රස්‌තවාදය ජයගැනීම සදහා ත්‍රිවිධ හමුදාවට නායකත්වය දුන් ප්‍රධානියා ඔබ. ඔබ යටතේ සේවය කළ නිලධාරීන් බොහෝ දෙනකුට අද චෝදනා ඉදිරිපත්වී තිබෙනවා. ඔබට පවා චෝදනා ඉදිරිපත් වී අධිකරණයට, කොමිෂන් හමුවට, සී.අයි.ඩී. සහ එµa. සී.අයි.ඩී. වැනි ආයතන වෙත යැමට සිදුවී තිබෙනවා. ඔබ යටතේ සේවය කරන ලද හමුදා නිලධාරීන්ට විවිධ චෝදනා ඉදිරිපත් වීම හේතුවෙන්, අද අත්අඩංගුවට පත්වීමට පවා සිදුවී තිබෙනවා. යුධ ජයග්‍රහණය සදහා නායකත්වය ලබා දුන් පුරෝගාමී චරිතයක්‌ වන ඔබටත් මේ සඳහා වගකීමට සිදුවෙනවා නේද…?

පිළිතුර – ඇත්තටම මේකට වගකිව යුත්තේ නොමග ගිය ජනතාව. යුද්ධය අවසන් වෙලා වසර පහක්‌වත් යන්න ඉස්‌සෙල්ලා, එහි වැදගත්කම තේරුම් නොගෙන යම් යම් පුද්ගලයන් කියපු බොරුවලට රැවටිලා, ජනතාව මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාව පරාජය කළා. සුළු ජාතික ඡන්ද නොලැබීම නිසා මහින්ද රාජපක්‌ෂ පරාජය වුණා කියලා මතයක්‌ තිබුණත්, මම ඒ මතය විශ්වාස කරන්නේ නැහැ. මහින්ද රාජපක්‌ෂ මහතා පරාජයට පත් වුණේ, මහ ජාතියේ ඡන්ද හිමි නොවුන නිසයි. ඒ බව මෙම ඡන්ද ප්‍රතිපල විශ්ලේෂණය කර බලන විට පෙනී යනවා. විශේෂයෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිටින සිංහල ජනතාව තමයි මේ බොරුවලට රැවටුණේ. මුස්‌ලිම් ජනතාවට එදා රාජපක්‌ෂ ආණ්‌ඩුවට විරුද්ධ වෙන්න හේතුවක්‌ තිබුණා. ඒ තමයි, බොදු බල සේනාව. ප්‍රභාකරන් පරාජය කිරීම නිසා දෙමළ ජනතාවට ආණ්‌ඩුව ගැන වෛරයක්‌ තිබුණා. ඒ වෛරය කොයි තරම්ද කිව්වොත්, යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකාට 2010 දී සහයෝගය දුන්නා. මේ කියපු බොරු විශ්වාස කරලා, තමන් ඇස්‌ ඉදිරිපිට භුක්‌ති විඳින ජයග්‍රහණය අමතක කරලා දාන තැනට ජනතාව පත්වුණා.

එදා ආණ්‌ඩුව මාරු කරපු එක ගැන අද සැම කෙනෙක්‌ම දුක්‌ වෙනවා. සෑම ක්‍ෂෙත්‍රයකම පුද්ගලයන් මේ කරගත්ත දේ ගැන දුක්‌ වෙනවා.

ප්‍රශ්නය – ලසන්ත වික්‍රමතුංග මරා දැමීම, කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහරදීම වැනි සිද්ධි සඳහා එදා හරියාකාරව පරීක්‌ෂණ සිදු කෙරුණේ නැහැ. ඒ පිළිsබඳව නියමිත පරීක්‌ෂණ සිදු කරලා වැරදිකරුවන්ට දඩුවම් දුන්නා නම්, අද මෙවැනි චෝදනා සඳහා බුද්ධි අංශ නිලධාරීන්ට සිරගත වීමට සිදුවෙන්නේ නැහැ…

පිළිතුර – මම මේ පරීක්‌ෂණ සඳහා විශාල ප්‍රයත්නයක්‌ දැරුවා. එක ආයතනයකට නෙමෙයි, හැම ආයතනයකටම මේ පරීක්‌ෂණ සිදු කිරීම සඳහා මම සම්පූර්ණ බලතල ලබා දුන්නා. ජාතික බුද්ධි අංශයට, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට, පොලිසිය ආදී හැම ආයතනයකටම මේ පිළිබඳ පරීක්‌ෂණ සිදුකර, වැරදිකරුවන් අල්ලා දෙන ලෙස මම නියෝග කළා. නමුත් යම් තැනකට ඇවිල්ලා මේ පරීක්‌ෂණ නැවතුණා, ඉන් එහාට ගියේ නැහැ. මේ සඳහා වැරදිකරුවන් ලෙස අපි අනුමාන කරපු අය හිටියා. පොලිසිය සොයාගන්නා තොරතුරුවලින් පිටට ගිහිල්ලා, දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා අපිට අවශ්‍යතාවක්‌ තිබුණේ නැහැ. වර්තමාන අගමැතිතුමා විසින් එදා පාර්ලිමේන්තුවේදී ලසන්ත ඝාතනය පිළිබඳව සරත් ෆොන්සේකාට වගකීම පැවරුවා. ජෝශප් මයිකල් පෙරේරා මහත්මා මේ ගැන සරත් ෆොන්සේකාගේ නම කිව්වා. ඒ අතර රට තුළ හැම කෙනකුගේම සැකයක්‌ මතුවුණා, මේ කටයුතු සඳහා වගකිව යුත්තේ සරත් ෆොන්සේකා කියලා. නමුත් දේශපාලනිකව ඒ දෙය අරගෙන සරත් ෆොන්සේකාට දඬුවම් දෙන්න මටවත් ජනාධිපතිතුමාටවත් ඕනේ වුණේ නැහැ. රහස්‌ පොලිසියටවත් බුද්ධි අංශයටවත් යම් කිසි ස්‌ථානයකින් එහාට ගිහිල්ලා ඒවා ඉවර කරන්න බැරි වුණ නිසා තමයි අපිට ඒ ගැන අවසාන තීන්දුවක්‌ ගන්නට බැරි වුණේ.

මේ ආයතනවලට මම ලිතව මේ ගැන දන්වලා තියෙනවා. ඒ නිලධාරීන් දැනුත් ඒ ආයතනවල ඉන්නවා, මම ඒ ගැන සොයන්න බල කළා මිසක්‌ කිසිම කෙනකුට ඒ සඳහා බාධා කළේ නැහැ. ඒ ආයතනවලට මේ ගැන අවසන් තීන්දුවක්‌ සඳහා ඒමට, ඔප්පු කළ හැකි සාක්‌ෂි ලැබුණේ නැති නිසා තමයි මේ පරීක්‌ෂණ නැවතුනේ…

ප්‍රශ්නය – ඔබගේ Rජු වගකීම යටතේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වුණු මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ ඒකකයක්‌ මගින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු වූ බවට හිටපු හමුදාපතිවරයා විසින් මේ වන විට සාක්‌ෂි ලබා දී තිබෙනවා.

පිළිතුර – කපිල හෙන්දාවිතාරණ කියන්නේ, විශ්‍රාම ගිය මේජර් ජෙනරාල්වරයෙක්‌. ඔහු විශ්‍රාම යැමට පෙර හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වී සිටියා. ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා වී සිටියා. ඔහු හමුදා බුද්ධි අංශ ආරම්භයේ සිට සේවය කළ විශිෂ්ට නිලධාරියෙක්‌. ශ්‍රී ලංකාව වෙනුවෙන් රටවල් රාශියක බුද්ධි අංශ කටයුතුවල ඔහු නිරත වුණා. ඔහු මගේ මිත්‍රයෙක්‌ නෙමෙයි. මම ඔහු හඳුනාගෙන සිටියේ හමුදා සේවයේදී නිලධාරියකු ලෙසයි. ඔහු විශ්‍රාම යන විට, ඔහු ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස අපි විසින් පත් කළා. ඉන් පසුව ආරක්‌ෂක අමාත්‍යාංශය යටතේ ඔහු සේවය කළා. ඔහු බුද්ධි අංශ ප්‍රධානියා ලෙස විශ්‍රාම යැමෙන් පසුව කටයුතු කළේ සිවිල් නිලධාරියකු ලෙසයි. ඔහු යටතේ හමුදා භට පිරිස්‌ හෝ වෙනම කණ්‌ඩායම් සිටියේ නැහැ. ඔහුට අණදීමේ හැකියාවක්‌ තිබුණේ නැහැ. ලැබෙන බුද්ධි තොරතුරු විශ්ලේෂණය කර, ඒ සඳහා ඔහුගේ දැනුම ද එකතුකර රාජ්‍යයේ ආරක්‌ෂාව සඳහා ඉදිරිපත් කිරීම තමයි, ඔහු විසින් සිදු කළේ. ජාතික ආරක්‌ෂක මණ්‌ඩලයේදී මේ බුද්ධි තොරතුරු සමාලෝචනය කර ඉදිරිපත් කරන්නේ ඒ නිලධාරීන්. චූලා සෙනවිරත්නත් විශ්‍රාම යැමෙන් පසු මේ තනතුර දැරුවා. මේ නිලධාරීන්ට අණ දීම සඳහා කණ්‌ඩායම් හිටියේ නැහැ. ඒ අය කළේ ඩෙස්‌ක්‌ ජොබ් එකක්‌. ඒ කියන්නේ කාර්යාල තත්ත්වයේ සේවයක්‌. අරයට ගහන්න, මෙයාට ගහන්න කියන්න ඒ අයට පුළුවන් කමක්‌ තිබුණේ නැහැ.

ප්‍රශ්නය – නමුත් හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ චෝදනාව වන්නේ ඔබ යටතේ සිටි මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ විසින් ලසන්ත ඝාතනය සඳහා කණ්‌ඩායමක්‌ යොමු කළ බවයි…

පිළිතුර – සරත් ෆොන්සේකා මේ කියන කතාව නිසාම ඔහුව අත්අඩංගුවට ගන්න ඕනේ. හෙන්දාවිතාරණ යටතේ හමුදාවේ පිරිසක්‌ සිටියා නම්, හමුදාපති ලෙස ඔහු ඒ සදහා වග කියන්න ඕනේ. එහෙම කට්‌ටියක්‌ ඉඳගෙන වැරදි වැඩක්‌ කරනවා නම් ඇයි ෆොන්සේකාට බැරි ඒක වහාම නවත්වන්න. ඒ අයට පරීක්‌ෂණයක්‌ පවත්වන්න. එහෙම පිරිසක්‌ හිටියා නම් ඒ අයව යළි කැඳවන්න ඔහුට බැරි වුණේ ඇයි…? හමුදාවේ සිටින සෑම කෙනෙක්‌ පිළිබඳවම හමුදාපති ලෙස ඔහු වගකියන්න ඕනේ…

ප්‍රශ්නය – හිටපු හමුදාපතිවරයා විසින් සඳහන් කරන්නේ, බුද්ධි අංශ පිළිබඳව නොව, මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ යටතේ සිටි වෙනම කණ්‌ඩායමක්‌ පිළිබඳවයි…

පිළිතුර – එයා සාකච්ඡාවකදී එහෙම කියනවා මමත් අහගෙන හිටියා. එහෙනම් අත්අඩංගුවේ සිටින අනිකුත් බුද්ධි අංශ සාමාජිකයන් පිළිබඳව එයා මොකද කියන්නේ… දැන් අත්අඩංගුවට අරන් ඉන්න හැමකෙනෙක්‌ම බුද්ධි අංශ අයනේ… එහෙනම් ඒගොල්ලන්ව නිදහස්‌ කරලා දාන්න කියලා කියන්න පුළුවන්නේ… පළිගැනීම සඳහා හෝ වෙනත් අයගේ අවශ්‍යතා ඉටුකිරීමට සරත් ෆොන්සේකා විසින් කරන මේ දේවල්, ජාතික ආරක්‌ෂාවට හමුදාවට මෙන්ම ඔහුටත් කරගන්න හානියක්‌. ඔහු කොහොමද කියන්නේ තමන් දන්නේ නැහැ කියලා, තමන් යටතේ ඉන්න බුද්ධි අංශ මොනවද කරන්නේ කියලා… පැත්තක ඉන්න අයට චෝදනා කරන්න එයාට පුළුවන්කමක්‌ නැහැ. මේ පරීක්‌ෂණ පවත්වන නිලධාරීන් පවා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ… මම දන්න විදිහට මේ පරීක්‌ෂණ හරි මාර්ගයක යන්නේ නැහැ. අපි ඉන්න කාලයේම, මේ දේවල් ගැන තොරතුරු ලැබිලා තිබුණා. එයින් එහාට යන්න විදිහක්‌ තිබුණේ නැති එකයි ප්‍රශ්නය. ඊට අමතරව සරත් ෆොන්සේකා විසින් යම් යම් කණ්‌ඩායම් ලවා කරපු දේවල් ගැන තොරතුරු වාර්තා වුණා. ඒ දේවල් ගැන හොයන්නේ නැත්තේ ඇයි…? මේ බුද්ධි අංශයක්‌ පස්‌සෙම යන්නේ ඇයි…? මේ වගේ දේවල් වෙනවා කියලා එයා දැනගෙන හිටියා නම් හමුදාපතිවරයා වශයෙන් ඔහු සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ. එහෙම දෙයක්‌ වෙනවා නම් ඔහුත් වගකියන්න ඕනේ.

ප්‍රශ්නය – ඔබ විසින් නීතිඥ වැලිඅමුණට හානියක්‌ කරන්න කියලා හිටපු හමුදාපතිවරයාට කියා තිබෙන බවත් ඔහු එය ප්‍රතික්‌ෂේප කිරීම නිසා, මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ ලවා එය කර ගත් බවත් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළා.

පිළිතුර – හෙන්දාවිතාරණට කියලා ඒක කරගන්න පුළුවන් නම් මම මොකටද සරත් ෆොන්සේකාට ඒක කියන්නේ. මම කෙලින්ම හෙන්දවිතාරණට කියනව නේ… මොකද මම කරන දේවල් එයාට දැනුම් දීලා ඉන්න ඕනේද…? මේ වගේ විහිළු තමයි එයා කරන්නේ. ඔහුට තියෙන ක්‍රෝධයේ තරමයි මේ දේවල්වලින් පෙනෙන්නේ… ඒ කාලේ විපක්‌ෂ නායක විදිහට හිටපු වර්තමාන අගමැතිතුමා ඔහුගේ නම ලසන්ත ඝාතනයට සම්බන්ධ කිරීම ගැන එයා කියපු දේ දැක්‌කාද…? ඔහු සමග තරහ හමුදා නිලධාරින් පිරිසක්‌ එවකට විරුද්ධ පක්‌ෂ නායකතුමාට බොරු කිව්වා. ඒ දේවල් තමයි රනිල් වික්‍රමසිංහ මහතා කිව්වේ කියලා එයා කියනවා. ඕකම තමයි එයා දැන් කරන්නේ. වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කරනවා. සරත් ෆොන්සේකා අද කැබිනට්‌ ඇමැතිවරයෙක්‌, එවැනි කෙනෙක්‌ මෙහෙම කිව්වාම ඒ පරීක්‌ෂණ සිදුකරන නිලධාරීන්ට සිද්ධවෙනවා, ඒ දේවල් සනාථ කිරීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම මම දැක්‌කා චම්පික රණවක ඇමැතිතුමාත් මෙවැනි ප්‍රකාශයක්‌ නිකුත් කරලා තිබුණා. එතුමා ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයෙක්‌. පොලිස්‌පති තනතුර පවා පත් කරන්නේ ඒ මණ්‌ඩලයෙන්. වෙච්ච දේවල් සඳහා රාජපක්‌ෂලා වගකියන්න ඕනේ කියලා චම්පික ඇමැතිතුමා කියනවා. ගෝඨාභය සහ හෙන්දාවිතාරණ වගකියන්න ඕනේ කියලා සරත් ෆොන්සේකා කියනවා. කැබිනට්‌ ඇමැතිවරු මෙහෙම කියලා, වාතාවරණයක්‌ හදලා, පොලිසියට කියනවා පරීක්‌ෂණයක්‌ තියන්න කියලා. එතකොට ඒ පරීක්‌ෂණ ස්‌වාධීනව සිදු කෙරෙයිද…? ඒ ඇමැතිවරුම නිමිත්ත ඇති කරලා, තීරණ දීලා, ආණ්‌ඩුව යටතේ තියෙන පොලිසියට කියනවා පරීක්‌ෂණ තියන්න කියලා. එතකොට මෙතැන තියෙන සාධාරණය මොකක්‌ද…? මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්‌. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා මේක නවත්වන්න ඕනේ… ඒ අය කතා කළේ සාධාරණ සමාජයක්‌ ගැන නේ… අගමැතිතුමා නීතිඥයෙක්‌. එතුමා නීතිය දන්නවා. බලගතු ඇමැතිවරු එකිනෙකා ළඟට ඇවිල්ලා නම් කියලා, විවිධ සිදුවීම් වෙනුවෙන්, කිසිදු පදනමක්‌ නැතුව චෝදනා කරලා, කරගෙන යන වැඩේ හරිද…? හැමකෙනාම දන්නවා, මේ දේවල් කළේ කවුද කළේ කියලා. සියලූ දෙනාගේ හදවත ඒ ගැන දන්නවා. ඊළඟට ඒ අය පරීක්‌ෂකයන්ගෙන් බලාපොරොත්තු වෙනවා, ඒ අය කියපු විදිහට පරීක්‌ෂණ කරන්න.

ප්‍රශ්නය – පසුගිය යුද්ධ කාලයේ බුද්ධි අංශ විශාල සේවයක්‌ කළා. අද වෙනකොට බුද්ධි අංශ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා කියලා චෝදනා එල්ල වෙනවා. ඔබ මේ කඩා වැටීම ගැන දකින්නේ කොහොමද…?

පිළිතුර – මේ පරීක්‌ෂණ සිදු කරන්නේ පොලිස්‌ නිලධාරින්නේ… පොලිසියත් බුද්ධි අංශත් යුද්ධ කාලයේදී විශාල පරිශ්‍රමයක්‌ දැරුවා, එල්ටීටීඊ

ත්‍රස්‌ත ක්‍රියා පාලනය කරන්න. උතුරු සහ නැගෙනහිරෙන් ඔබ්බට ත්‍රස්‌ත ක්‍රියාකාරකම් මැඬලීම සඳහා, මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදීන් මැඬපවත්වන්න මේ කණ්‌ඩායම් විශාල දායකත්වයක්‌ ලබා දුන්නා. සාම කතා කාලයේදී ත්‍රස්‌තවාදීන් අපේ සමාජය තුළට ඇවිල්ලා. තමන්ගේ ජාල හදාගෙන, සේµa හවුස්‌ අරගෙන, සංවිධානය වෙලා තිබුණා. මේ ජාලය කඩලා, ඒ ක්‍රියාකාරකම් මැඬපවත්වන්න කටයුතු යෙදෙව්වේ මේ බුද්ධි අංශ සහ පොලිසිය නේ… එහෙම සේවය කරපු බුද්ධි අංශ පිළිබඳව පොලිසියෙන් පිටිපස්‌සෙන් එළවීම, කොයි තරම් අසාධාරණද…? මේ දේශපාලනඥයන් අද වේදිකාවල නැගලා කතා කරන්නේ, ජනාධිපති තනතුරු, අගමැති තනතුරු දරන්නේ, මේ බුද්ධි අංශ නිලධාරින් නිසා කියලා. ඒ අය කරපු කැපකිරීම් අද අමතක වෙලා. ඒ බුද්ධි නිලධාරීන්ගේ පවුල් එදා බලාගෙන හිටියේ කොයි වෙලාවේ එල්ටීටීඊ එකෙන් මරයිද කියලා. අද ඒ අය බලාගෙන ඉන්නේ, තමන්ගේ ස්‌වාමි පුරුෂයාව, තමන්ගේ තාත්තාව කොයි වෙලාවේ හෝ රහස්‌ පොලිසිය ඇවිල්ලා හිරේ දායිද කියලා. එල්ටීටීඊ සංවිධානය නැති කරන්න ගන්න ක්‍රියාමාර්ග වලදී විවිධ මාර්ග අනුගමනය කරන්න සිද්ධ වෙනවා. සී.අයි.ඒ. එක කරන්නේ ඒක තමයි. සෑම බුද්ධි අංශයක්‌ම එහෙම තමයි වැඩ කරන්නේ. සී.අයි.ඒ සංවිධානය ලංකාවේ හිටපු කෙනෙක්‌ අල්ලාගෙන ඒ අයගේ රටට අරගෙන ගියා. ඒ පිළිබඳව පොත් පවා ලියෑවිලා තියෙනවා.

ප්‍රශ්නය – ඔබ විසින් අද හමුදා බුද්ධි අංශය පිළිබඳව රණවිරුවන් පිළිබඳව දුක්‌වෙනවා. එදා යුධ හමුදාපති තනතුර ඉසිලූ සරත් ෆොන්සේකා හිරේ දානකොට රණවිරු කැක්‌කුමක්‌ ඔබට සහ එම රජයට තිබුණේ නැද්ද…?

පිළිතුර – ‘සරත් ෆොන්සේකා කළ දේ බලන්න… සරත් ෆොන්සේකාම පාර්ලිමේන්තුවේදී කිව්වේ මාව බදා ගත්තා… මට කේක්‌ එක කපන්න දුන්නා…මාව වර්ණනා කළා’ කියලා. ඔව්…එහෙම කළා තමයි. අන්න නායකත්වය. අපිම තමයි ඔක්‌කොම කළේ කියලා අපි කිව්වේ නැහැ… නායකයකුගේ ලක්‌ෂණය තමයි තමන් ජයග්‍රහණය බාර ගන්නේ නැතුව තමන් යටතේ ඉන්න අයෙකුට ජයග්‍රහණය බාර දීම. බැණුම් අහන එක තමයි, නායකයා ගන්නේ… සරත් ෆොන්සේකාට ඒකවත් තේරෙන්නේ නැහැ. එහෙම කළාම, එයා මොකක්‌ද කළේ…? හමුදාපතිවරයා ලෙස ඉද්දීම විරුද්ධ පක්‌ෂය සමග හොරෙන් සාකච්ඡා කළා. සේනාධිනායක ජනාධිපතිවරයාට එරෙහිව ඡන්දය ඉල්ලන්න සාකච්ඡා කළා. තමන් හමුදාපති, ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානියා ලෙස, ඉන්දෙද්දී කරපු දේ හරිද…? හමුදාව දෙකට බෙදුවා. හමුදාපති ලෙස ඉන්න ගමන් ඉවත් වෙලා ඡන්දය ඉල්ලූ, ඔහු සමග වැඩ කරපු හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක්‌ ඔහු වෙනුවෙන් වැඩ කළා. ඒ විදිහට හමුදාව දේශපාලනීකරණය කළේ නැහැ කවුරුවත්. දේශප්‍රේමීන් එකට එකතුවෙලා සටන් කරලා, එක ජාතියක්‌ හැටියට, ජයග්‍රහණයක්‌ ලබා ගත්තා. මේ පිරිස දෙකට බෙදුවේ එයා. මේවා රාජෙද්‍රdaහී වැඩ… ජාතිෙද්‍රdaහී වැඩ… ඒවගේ වැරදි එයා කළේ, තමන්ගේ පුද්ගලික අරමුණක්‌ වෙනුවෙන්… මේ වගේ බලලෝභී, තමන්ගේ බලලෝභී අරමුණ වෙනුවෙන් අපි ලබපු ජයග්‍රහණය පාවා දුන්න පුද්ගලයෙක්‌ තමයි සරත් ෆොන්සේකා කියන්නේ… මේ නිලධාරීන් එහෙම අය නෙමෙයි. අද හිරේ දාලා ඉන්නේ අපේ ජයග්‍රහණය පාවා දුන්න අය නෙමෙයි. සරත් ෆොන්සේකා කියන්නේ ජයග්‍රහණය පාවා දුන්න පුද්ගලයෙක්‌.

ප්‍රශ්නය – බුද්ධි අංශ විසින් මාධ්‍යවේදීන්ට පහර දීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඝාතනය කිරීම වැනි දේ සිදුවුණ බවට ප්‍රබල චෝදනා තිබෙනවා. එවැනි කාරණා බුද්ධි අංශ විසින් සිදුකිරීම ඔබ අනුමත කරනවාද…?

පිළිතුර – ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා බුද්ධි අංශ විසින් අවංක ෙච්තනාවෙන් කරපු දේවල් ගැනයි මම කාතා කරන්නේ. තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජනයක්‌ උදෙසා ඒ අය යම් දෙයක්‌ කරලා තිබෙනවා නම්, ඒවාට දඬුවම් දෙන්න. එහෙම කරපු අය නෙමෙයිනේ මේ අල්ලගෙන ඉන්නේ… නමුත් හුදෙක්‌ ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා අවංක ෙච්තනාවෙන් මොනයම් හෝ දෙයක්‌ සිදු කළා නම් ඒ ගැන හොයන්න. නාවික හමුදාවේ යම් නිලධාරියෙක්‌ ළමයි වගයක්‌ අල්ලාගෙන ඉන්නවා කියලා, මට නාවික හමුදාපතිතුමා දැනුම් දුන්නාම, මම ඒ පිළිබඳව පරීක්‌ෂණ කරන්න කියලා ලිතව දැනුම් දීලා තිබෙනවා. හැබැයි ජාතික ආරක්‌ෂාව වෙනුවෙන් කරලා තිබෙන දේවල් සෙවීම සම්පූර්ණයෙන්ම තහනම් කියලා මම දැන්නුවා. ජාතික ආරක්‌ෂාව මුවාවෙන් කරපු පුද්ගලික දේ ගැන හොයන එක හරි. ඒත් ජාතික ආරක්‌ෂාව වෙනුවෙන් කටයුතු කරපු නිලධාරීන් හිරේ දැමීම වැරදියි…

ප්‍රශ්නය – ඔබ විසින් අනාගත දේශපාලන සිහිනයක්‌ වෙනුවෙන් ‘වියත්මග’ නම් සංවිධානයක්‌ හදාගෙන රටපුරා සම්මන්ත්‍රණ තබාගෙන යන බව පෙනෙනවා.

පිළිතුර – එහෙම සිහිනයක්‌ වෙනුවෙන් නෙමෙයි මේ දේවල් කරන්නේ. වෘත්තිකයන් පිරිසක්‌ ඇවිල්ලා, ඒ අයගෙන් කුමන ආණ්‌ඩුව ආවත් වැඩක්‌ ගන්නේ නැහැ කියලා මට කිව්වා. ඡන්දයට සුමානයකට විතර ඉස්‌සෙල්ලා, බුද්ධිමතුන්ගේ සම්මන්ත්‍රණයක්‌ කියලා, නීතිඥවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙනහල්ලා කොයි පක්‌ෂයෙනුත් සමුළුවක්‌ තියෙනවා, කියලා ඒ අය කිව්වා. ඒගොල්ලන්ගේ හැකියාවෙන් ආණ්‌ඩුවක්‌ ප්‍රයෝජන ගන්නේ නැති බව ඒ අය කිව්වා. මේ පිරිස එකතුකරගෙන, රටට මග කියාදීම තමයි අපේ අරමුණ වුණේ. ඒක එක දේශපාලන පක්‌ෂයක්‌ වෙනුවෙන් කරන දෙයක්‌ නෙමෙයි. කොයි ආණ්‌ඩුවක්‌ බලයට ආවත් බලයේ හිටියත්, රටේ ඇතිවෙන විවිධ ප්‍රශ්න පිළිබඳව බුද්ධිමතුන්ගේ අදහස්‌ දායක කරගැනීම තමයි මෙහි අරමුණ වුණේ. අපි බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති මාලාව අනුව යන ජනාධිපතිවරයෙක්‌, ආණ්‌ඩුවක්‌ ඊළඟ මැතිවරණයකදී ආවොත් ඒ සඳහා බුද්ධිමය දායකත්වය ලබා ගැනීමයි අපේ අරමුණ වුණේ.

ප්‍රශ්නය – මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්‌ෂකයකු ලෙස ඉදිරිපත්වීම සඳහා ඔබ විසින් සාදා ගන්නා පසුබිම නේද මේ…?

පිළිතුර – ඔය තනතුරු සඳහා මගේ කිසිම ආශාවක්‌ නැහැ… ගිය ආණ්‌ඩුව කාලයේ, රතන හාමුදුරුවෝ. චම්පික, උදය ඇතුළු හෙළ උරුමයේ අය ඇවිල්ලා මට කිව්වා ඔබතුමා අගමැති වෙන්න ඕනේ… කියලා. එහෙම අවශ්‍යතාවක්‌ මට නැහැ කියලා මම කිව්වා. ආරක්‌ෂක ලේකම් කියන නිලධාරි තනතුරේ ඉඳලා, රට වෙනුවෙන් මගේ වැඩ කොටස ඉටු කරන්න පුළුවන් කියලා මම කිව්වා. විවිධ මත තියෙන අය, විවිධ බලාපොරොත්තු තියෙන අය මේ ගැන වැරදියට හිතන්න පුළුවන්. 2010 මහ මැතිවරණයේදී මට ඡන්දය ඉල්ලන්න තිබුණානේ… පසුගිය මහ මැතිවරණයේදී මට ඡන්දය ඉල්ලන්න තිබුණානේ… එහෙම අරමුණක්‌ මට නැහැ. රට වෙනුවෙන්, ජාතිකත්වය වෙනුවෙන් රටේ අධ්‍යාපනය, ආර්ථිකය ආදී හැම ක්‍ෂෙත්‍රයකටම ප්‍රතිපත්ති හඳුන්වාදීම, ඒ ප්‍රශ්න ගැන අදහස්‌ ලබා දීම තමයි අපේ අරමුණ.

ප්‍රශ්නය – ඔබේ සංවිධානය ඒකාබද්ධ විපක්‌ෂයේ බුද්ධි මණ්‌ඩලය ලෙස කටයුතු කරනවාද…?

පිළිතුර – නැහැ… නැහැ… අපේ වාර්ෂික සම්මන්ත්‍රණය සඳහා දේශපාලනඥයන්ට ඇරයුම් කරනවාට මගේ කැමැත්තක්‌ තිබුණේ නැහැ. එහෙම වුණත් අපේ සංවිධානය විසින් දේශපාලනඥයන් කිහිපදෙනෙක්‌ සඳහා ඇරයුම් කළා… ඒ නිසා වෙන්න ඇති මෙහෙම මතයක්‌ ඇතිවෙන්න ඇත්තේ. අපේ සහයෝගය ලබා දෙන්නේ, රට වෙනුවෙන් මිස පක්‌ෂයක්‌ වෙනුවෙන් නෙමෙයි. ඕනෑම ජනාධිපතිවරයෙකුට, ආණ්‌ඩුවකට අපේ ප්‍රතිපත්ති සමග එකඟ නම්, අපේ සහයෝගය ලබාදෙන්න අපි සුදානම්… ඒක දේශපාලන රටාවක්‌ නෙමෙයි… ප්‍රතිපත්තිමය. බුද්ධිමය දායකත්වයක්‌… අපි ගිහිල්ලා සමහර පැතිවල වැඩ කරද්දී ඒකාබද්ධ විපක්‌ෂයේ අය ඔවුන් දැනුවත් කර, ඔවුන්ගේ සහයෝගය ඇතිව අපි ඒ දේවල් කරයි කියලා හිතනවා. අපි දේශපාලන කණ්‌ඩායම් සමග වැඩ කරන්නේ නැහැ. ඒ අයත් වැරදි මතයක්‌ ගොඩනගාගෙන තියෙනවා.

ප්‍රශ්නය – ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා වරක්‌ ඔබව අගමැති තනතුර සඳහා පත් කරන්න කියලා, යෝජනා කළා. දයාන් ජයතිලක මහතා විසින් ඔබ ඊළඟ ජනාධිපති ලෙස පත් කළ යුතු යෑයි නිතර පෙන්වා දෙනවා. රටේ බොහෝ දෙනකු ඊළඟ නායකයා ලෙස ඔබගේ නම යෝජනා කරනවා… ඊළඟ නායකයා ලෙස මෙහෙම ඉල්ලුමක්‌ නිර්මාණය වෙනකොට, ඔබටත් ඒ ගැන නොසිතෙනවා නම් , එක පුදුම සහගත තත්ත්වයක්‌නේ…

පිළිතුර – මම දේශපාලනය කරලා නැහැනේ… ඒ නිසා එහෙම දේවල් හිතෙන්නේ නැහැ. ඒ ආශාව මට ඇතිවෙන්නේ නැහැ. අපිට වැඩක්‌ කරන්න පුළුවන් කාලය තුළ, අපේ ප්‍රතිපත්තියට අනුකුල නායකයෙක්‌ සමග වැඩ කරන්න මම ලැහැස්‌තියි…

ප්‍රශ්නය – ඒ නායකයා මෛත්‍රිපාල සිරිසේන මහතා වෙන්නත් පුළුවන්ද…?

පිළිතුර – අපේ ප්‍රතිපත්තිය මත සහයෝගය දෙන්න පුළුවන්. නැතුව මට තනතුරක්‌ අරගන්න නෙමෙයිනේ මේ දේවල් කරන්නේ… වැදගත් වන්නේ ප්‍රතිපත්තියයි… ඒ දෙය පිළිගන්න ඕනෑම කෙනෙකුට අපි සහයෝගය දෙනවා.

ප්‍රශ්නය – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඔබ අතර සුහදත්වයක්‌ තිබෙන බවට ආරංචි පැතිරෙනවා… තාමත් ඒ සුහදභාවය එසේම පවතිනවාද?

පිළිතුර – එතුමා සමඟ මගේ තිබුණ සම්බන්ධතාව කලින් ආණ්‌ඩුවේ සිටමයි තිබුණේ. ඇමැතිවරයෙක්‌ ලෙස එතුමා කටයුතු කරන කාලයේ මම ළඟින්ම ආශ්‍රය කළෙත් නැහැ. ඒ වගේම එතුමාට කිසිම අවස්‌ථාවක විරුද්ධ වුණෙත් නැහැ. එතුමා අගමැති ලෙස පත් කරන්න කියලා, මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගෙන් මම කිහිපවතාවක්‌ම ඉල්ලීම් කළා. මෛත්‍රිපාල ජනාධිපතිතුමා වැඩ කරන්නේ එජාපයත් එක්‌ක… ඒක එතුමාටත් අපහසුතාවක්‌ වෙන්න ඇති. ඒ නිසා දැන් එතුමා සමඟ තිබෙන සම්බන්ධය අඩුයි. දැන් එතුමාට අපි ගැන එක එක දේවල්, කේලම් කියනවා ඇති… ගෝඨා කුමන්ත්‍රණ කරනවා කියලා කියනවා ඇති… එතුමා ජනාධිපතිතුමානේ… මම නිකං ඉන්න මිනිහෙක්‌නේ… බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව, ජාතික ආරක්‌ෂාව පිළිබඳව එතුමා මගෙන් මොකක්‌ හරි ඇහැව්වොත් මම එතුමා සමග කතා කරනවා. මේ රටේ හැටි දන්නවනේ… අපි කුමන්ත්‍රණකාරයෝ විදිහට එතුමාට කියලා ඇතිනේ… ඒ නිසා එතුමත් කැමති නැතුව ඇති අපි සමග මේ දේවල් කතා කරන්න… බලයේ සිටින විට කියන කේලම් ගැන අපි දන්නවනේ… ගෝඨාගේ මිනිස්‌සු ඉන්නවා… ගෝඨාගේ අය කුමන්ත්‍රණ කරනවා කියලා කිව්වහම එතුමා අපිත් එක්‌ක කතා කරන්නේ නැහැනේ…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress