සරත් ෆොන්සේකා මහින්දට ස්තුතිවන්ත විය යුතුයි
Posted on March 27th, 2017

නලින් ද සිල්වා

බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම රාජ්‍යාරක්‍ෂාවට ප්‍රශ්නයක් වෙනවා. චන්ද්‍රකාට නම් අත් අඩංගුවට ගැනීම වරදක් නො වෙයි. ඇය ඔවුන් වරදකරුවන් ලෙස සලකනවා විය හැකියි. අප මතක තබා ගත යුත්තක් නම් මෙතෙක් මේ කිසිවකු ලංකාවේ උසාවියක දී වරදකරුවන් වී නොමැති බවයි. බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම පිළිබඳ සතුටු වන්නේ කවුරුන් ද යන්න සොයා බැලුවහොත් පැහැදිලි වනු ඇත්තේ ඒ පිරිස කිසියම් ආකාරයකින් නමුත් සිංහල විරෝධීන් වන බවයි. බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය වන්නේ ද සිංහල විරෝධීන්ටයි.

 ආණ්ඩුව මොනවා කිව්වත් මේ නිලධාරීන් අත් අඩංගුවට ගන්නේ අවසාන වශයෙන් ගෝඨාභය හා මහින්ද රාජපක්‍ෂ අත් අඩංගුවට ගැනීමටයි. ලොවේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය කිරීම වෙනුවෙන් ලැබෙන තෑග්ග හිරගෙය වීමට පුළුවන්. මේ ත්‍රස්තවාදී සංවිධානය පිටුපස බටහිර රටවල් හා ඉන්දියාව සිටි බව අපට අමතක කරන්න බැහැ. රජීව් ගාන්ධි ඝාතනයෙන් පසු ඉන්දියාව කොටි සංවිධානය පරාජය කිරීමට විරුද්ධ නොවූ බව ඇත්ත. එහෙත් මුල දී ඉන්දියාව කොටි සංවිධානයට හා වෙනත් දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදී සංවිධානවලට අවි පුහුණුව ලබා දුන්නා.

 අද  බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම යුක්තියුක්ත කරන චන්ද්‍රිකා එදා විජය කුමාරතුංග  සමග චෙන්නායි හි කොටි ගුබ්බෑයම්වලට රිංගුවා. ඇගේ සතුරන් කවුද මිතුරන් කවුද යන්න ඉතා පැහැදිලියි. ඒ ගැන අටුවා ටීකා අවශ්‍ය නැහැ. අපි ඉතා සරල ප්‍රශ්නයක් අසමු. බුද්ධි අංශ නිලධාරීන්ගේ සේවය නොමැතිව අපට කොටි පැරදවිය හැකිව තිබුණා ද? බුද්ධි අංශයත් අනෙක් හමුදා අංශ මෙන් ම පැවතියේ එකල හමුදාපති සරත් ෆොන්සේකා යටතේ. බුද්ධි අංශ නිලධාරීන්ද අවසාන වශයෙන් එකල අණ ලබා ගත්තේ හමුදාපතිගෙන්. ඊනියා යුද්ධාපරාධ සිදු වී ඇත්නම් ඒවාහි ප්‍රධාන වගකිව යුත්තා සරත් ෆොන්සේකා. 

 සරත් ෆොන්සේකා මානුෂික මෙහෙයුම්වල අවසාන සති කිහිපයෙහි ක්‍රියා කර ඇති ආකාරයට සෙවීමට කොමිසමක් පත් කළ යුතු යැයි අප කියන්නේ නැහැ. ඊනියා යුද්ධාපරාධ ගැන කතා කරන සිංහල විරෝධී සිවල් සාමාජිකයන් ඊනියා මානව අයිතිවාසිකම් අයිතිකරුවන් දෙමළ ජාතිවාදීන් සරත් ෆොන්සේකා ඉලක්ක කර නොගෙන ගෝඨාභය රාජපක්‍ෂ හා අවසානයේ දී මහින්ද ඉලක්ක කර ගන්නේ ඇයි ද යන ප්‍රශ්නය මතුවෙනවා. අද කුමක් කීවත් එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන රනිල් චෝදනා කෙළේ සරත් ෆොන්සේකාටයි. එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ කාහට දැයි චම්පක ඇතුළු ජාතික හෙළ උරුමයේ අය දන්නවා. රතන හිමියන්ගේ ඊනියා ස්වාධීනත්වය ගැන ජාතික හෙළ උරුමය ගත් තීරණය කුමක් ද? සිංහලයන්ට ද්‍රෝහි වූ ජාතික හෙළ උරුමය විවිධ රඟපෑම් හා බයිලා මගින් නැවත කරළියට ඒමට දඟලනවා. ඔවුන් ස්වාධීන වී හෝ නොවී හෝ කටයුතු කරන්නේ රණ විරුවන් දඩයම් කරන රනිල්ගේ හා සුමන්තිරන්ගේ් සිංහල විරෝධී ආණ්ඩුවකයි.

 මානව අයිතිවාසිකම් සින්දුව වෙනත් තනුවකින් ගායනය කරන්න පටන් ගත්තේ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුවයි. බටහිරයන්ගේ කීමට අවනත ව ප්‍රභාකරන් නිදහස් කෙළේ නම් මේ එක මානව අයිතිවාසිකම් කඩකිරීමක්වත් නැහැ. බටහිර ආසියාවේ සිවිල් වැසියන් ඝාතනය කරන බටහිර ගුවන් හමුදා හා වෙනත් ප්‍රහාර ගැන මානව අයිතිවාසිකම් අයිතිකරු හුසේන් නිහඬයි. බටහිරයන් කරන මානව අයිතිවාසිකම් කඩකිරීම් සෙවීමට රුසියන් චීන කියුබන් උතුරු කොරියානු කොමිසමක් පත් කරමු ද? නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු යම් හේතුවක් නිසා සරත් ෆොන්සේකා ඒ සරත්ගේ සිට මේ සරත්ට රුපාන්තරකරණයකට භාජනය වුණා. ඔහු එක්සත් රාජ්‍යවල කළ සංචාරයකින් පසුව ඔහුට විරුද්ධව තිබූ මානව අයිතිවාසිකම් කඩ කිරීම් චෝදනා අස්කර ගනු ලැබුවා. ඔහුට විරුද්ධව එරට ප්‍රාන්ත අධිකරණයක පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් වූයේ කෙසේ ද? බටහිර රටවල මුදලින් යැපෙමින් බටහිරයන් වෙනුවෙන් සිංහලයන්ට හා රණවිරුවන්ට විරුද්ධව උද්ඝෝෂණය කරන විසිරුණු දෙමළ ජනයා සරත් ෆොන්සේකාට විරුද්ධව දැන් කිසිවක් නොකියන්නේ ඇයි? එකල ඊනියා යුද්ධාපරාධ සිදු වී නම් ඒ සියල්ලට ම හමුදාපති ලෙස සරත් ෆොන්සේකා වග කිව යුතුයි. ඔහුට ඒ වග කීමෙන් බේරීමට බැහැ.

 සරත් ෆොන්සේකා තමන්ට සිර දඬුවමක් දුන්නේ යැයි මහින්ද සමග බද්ධ වෛරයකින් පෙළෙනවා. එහෙත් එහි ආරම්භය කුමක් දැයි ඔහුට අමතකයි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දවසක ඔහු සති අන්ත සන්ඩේ ලීඩර් ඉංගිරිසි පුවත්පතේ ෆ්‍රෙඩ්ර්කා ජෑන්ස්ට සුදු කොඩි කතාවක් කිවුවා. ඔහු කියා සිටියේ සුදු කොඩි රැගෙන  පැමිණි වාමදේවන් නඩේසන් ඇතුළු කිහිප දෙනකුට ගෝඨාභායගේ අණින් වෙඩිතැබූ බව ඔහු සමග කවුදෝ ජනමාධ්‍යවේදියකු පැවසූ බවයි. ඒ ජනමාධ්‍යවේදියා කවුදැයි සරත් ෆොන්සේකා කීවේ නැහැ. මේ ප්‍රකාශය  ඔහු අම්බලනගොඩ දී හා රත්නපුරෙ දී රැස්වීම්වලත් කළා. මේ ඉතා දරුණු චෝදනාවක්.

 2010 පැවති ජනාධිපතිවරණ රැස්වීම්වල දී අප ප්‍රකාශ කෙළේ මේ ප්‍රකාශ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගෙන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවයි. එහෙත් මහින්ද ඔහු අත් අඩංගුවට ගැනීමට කිසිවක් කෙළේ නැහැ. මා හිතන්නේ මහින්ද ජනාධිපතිවරණයේ තම ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීමට ඉදිරිපත් නොවූ බවයි. යම් අයුරකින් එදා සරත් ෆොන්සේකා පොලීසියෙන් අත් අඩංගුවට ගැණිනි නම් බටහිර ලෝකයත් මැතිවරණ කොමසාරිස් වීරයාත් සිවල් සමාජ කාරයනුත් සියලු සිංහල විරෝධීනුත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහින්දට  විරුද්ධව අත්වැල් බැඳ ගන්නට තිබුණා තම ප්‍රතිවාදියා සිරභාරයට ගත්තේ ය කියා. සරත් ෆෝන්සේකා කිසිම බාධාවකින් තොරව ජනාධිපතිවරණයට සහභාගි වුණා. සිංහලයන්ගෙන් බහුතරය ඔහු ප්‍රතික්‍ෂෙප කළා. එහෙත් දෙමළ ජාතික සංධානයේ හා බටහිර විසිරුණු දෙමළ ජනයාගේ මෙහෙයවීමෙන් ඔහුට දෙමළ ජනයාගේ ඡන්ද නම් ලැබුණා. සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයාව සිංහලයන් ප්‍රතික්‍ෂෙප කෙළේ ඇයි?

 සරත් ෆොන්සේකා අවසානයේ දී අත් අඩංගුවට ගනු ලැබුයේ ජනාධිපතිවරණයෙන් පසුවයි. ඔහු අධිකරණයෙන් වරදකරු කරනු ලැබුවා. ඔහු කළ වරදේ බරපතළකම ගැන හමුදාවටවත් සිංහලයන්ටවත් තවම අවබෝධයක් නැහැ. සරත් ෆොන්සේකා තමන් සිරබත් කෑම ගැන මහින්දට චෝදනා නොකර කළ යුත්තේ මහින්දට ස්තුතිවන්ත වීමයි. ජනාධිපතිවරණය කාලයෙහි දී ඔහු අත්අඩංගුවට ගැණුනේ නැහැ. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමක් බව බටහිරයන්ට හා ඔවුන්ගේ බැළයා වූ  හුසේන් කුමරුට වුවත් පිළිගැනීමට සිදුවෙනවා. සුදු කොඩි රැගෙන ආ අයට ගෝඨාභයගේ අණින් වෙඩි තැබූ බව තමන්ට කී ජනමාධ්‍යවේදියා කවුදැයි සරත් ෆොන්සේකා අදවත් කියනවා ද? 

One Response to “සරත් ෆොන්සේකා මහින්දට ස්තුතිවන්ත විය යුතුයි”

  1. Christie Says:

    නලින් ඉන්දියානු අදිරදය දුවන්නේ හින්දු අන්තවාදීන්.ඉස්සර මුන් හිටියෙ පස්සෙන්. ඉන්දියාව බලවත් වෙනකොට මුන් ඉස්සරහට එනව.

    ඉන්දියානු ත්‍රස්ත අත් දෙකක්

    ඉන්දියානු අදිරදය උන්ට එරෙහිවන හා හිදු නොවන අය මරා දමනව.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress