එම්. ජී. නන්දිසිරි ගමගේ සහ 71 කැරැල්ල අත්දැකීම්
Posted on March 28th, 2017

වෛද් රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි 

අතීත කැරලිකරුවන් සොයා ගිය ගමනේදි මට තවත් සුවිශේෂ පුද්ගලයෙකු මුණ ගැසුනි. ඔහු නමින් එම්. ජී. නන්දිසිරි ගමගේ හෙවත් පේරාදේණිය නන්දේයි. නන්දසිරි ගමගේ 1969 දී එම්.අයි.එෆ්. 5 භූමි භාගයේ විශේෂ ඒකකයට අයත් මෝටර් රථවල අංක ලියා ගනිමින් සිටියදී එම්.අයි.එෆ්. 5 විසින් ඔහු අත් අඩංගුවට ගන්න ලදි. දැනට ශි‍්‍ර ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමූපකාර සමිතියේ සාමාන්‍යධිකාරි වන නන්දසිරි ගමගේ මහතා අතීත මතකයන් ගැන කලේ මෙලෙසයි.

‘මම විජේවීරගේ දේශපාලන ව්‍යාපරයට ඇදී ආවේ 1967 අග භාගයේදි. එතකොට මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධ්‍යන සිසුවෙක්. මම හැදෑරුවේ සිංහල, ඉතිහාසය ආර්ථික විද්‍යාව යන විෂයන්. මම ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මොස්කව් පිලේ කලක් හිටියා. මට විජේවිරව හඳුන්වලා දුන්නේ කේ . සමරජීව හෙවත් බොගා සමරේ. මීට කලින් විජේවීරව ඉඩම් සංවර්ධන වෘත්තිය සමිතියේ දී හමුවෙලා තිබුනත් හොදින් කථා බස් කිරීමේ අවස්ථාව ලැබුනේ එදා. විජේවීර සමඟ කතා බස් කලාම මට ගොඩාක් පැහැදීමක් ඇති උනා. මට ඇතිවුණා අපේ විමුක්තිදායකයා හමු උනා වගේ හැඟීමක්.

මම එකඟ උනා පන්ති වලට සහභාගී වීමට. මම මහරගම තිබ්බ දේශපාලන පන්තියකට සහභාගී උනා. විජේවීර, පේ‍්‍රමපාල, තමයි පන්ති කලේ. නිමල් මහරගේ සුසිල් වික‍්‍රමත් වරින් වර ආවා. පන්තියට සහභාගි වූ රුවන් පතිරණ පන්තිය වෙලාවේ කක්කුස්සියේ සිගරට් බීලා අසු උනා මතකයි.

1968 විතර විජේවීර අපට තව පන්තියක් කලා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ගඟ කිට්ටුව ලොකු ගහක් යට. පිරිස 20 විතර ඉන්න ඇති. ගම සිරා, බොගා සමරේ, පොඩි දිසා. ලොකු දිසා, බෝල සමරේ, එහෙමත් මේ පන්තියට සහභාගී උනා. මෙහෙම වැඩ කරගෙන යනකොට මට හිතුනා පූර්ණකාලිනයෙකු වෙන්න. මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අත ඇරලා පූර්ණකාලිනයෙකු බවට පත් උනා. ඒ කාලයේ බොහෝ පිරිස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැරලා ව්‍යාපාරයේ පූර්නකාලිනයෝ බවට පත් වෙලා හිටියේ.

මමත් පන්ති පැවැත්තුවා වාරියපොල එහෙම. ඒකට වාරියපොල කරු ආවා. කරවනැල්ලේ විජේවීර සමග දවස් 2 පන්තියක් කළා. මේ පන්තියට පිරිස එකතු කලේ ඥානතිලක. විජේවීර බොහොම නිදිමරලා හිටියේ. පන්තිය කරගෙන යනකොට නින්ද ගියා. අඩ නින්දේ වුවත් පන්තිය විජේවීර කලා. විජේවීර මට ගොඩාක් සමීප උනා. මේ කාලේ විජේවීර යසෝමා සමග පේ‍්‍රම සබඳතාවක් ඇති කර ගන්න හදනවා. කොටා පාරේ පාක් එකේ බංකුවක මාත් එක්ක වාඩි වෙලා විජේවීර මෙ ගැන මාත් එක්ක කථා කරලා තියනවා.

දවසක් ඞී. ඒ. ගුණසේකරලාගේ ගෙදර රැස්වීමක් තිබ්බා ඒකට විජේවීර ආවා. විජේවීර ඉබි මස් කන්න කැමතියි කියලා උයන්න ඉබ්බෙක් බාල්දියක දාලා තිබුනා. දවල් වෙන කොට නිමල් මහරගේ මාව කුස්සියට අරගෙන ගියා. මට කිව්වා ලොකු මහත්තයට කෑමක් දෙන්න මේ බාල්දියේ ඉන්න ඉබ්බා මරන්න කිව්වා. මට ඒකට තරහක් පිලිකුලක් ආවා. මම කිව්වා සහෝදරයා මම ආවේ පවතින සමාජ ක‍්‍රමය වෙනස් කරන්න මිසක් ඉබ්බෝ මරන්න නෙවෙයි කියලා. ගුනසේකර එයාගේ බිරිද සුමනක්කට කියලා වතුර එකක් උණු කෙරෙව්වා. ඒ වතුර එක නටන කොට ගුණසේකර උණු වතුර ඉබ්බා හිටපු බාල්දියට දැම්මා ඉබ්බා අමුතු සද්දයකින් කෑ ගහන්න ගත්තා. එතකොට සුමනක්කා මොන කරුමයක්ද මනුස්සයෝ මේ කරන්නෙ කියලා ගුනසේකරට බැන වැදුනා. ඊට පස්සේ මහරගේ ඉබ්බාව මිදුලට ගෙනියලා පොරවෙන් පලලා උයන්න දුන්නා.

මම දැක්කේ විජේවීර තුල කුලවාදය යොදා ගැනීම හා කෙටවීම. මේ නිසා අර මුලින් දැනුනු ගරුත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු උනා. ධර්මසේකර ගැන විජේවීර තුල පැහැදීමක් තිබුනේ නැහැ. ධර්මසේකර විජේවීරට අවනතයි. යටිකූට්ටු වැඩ නැහැ. ධර්මසේකරගේ පන්ති වල ජනප‍්‍රියතාව තිබ්බා. ඒ වගේම ඔහු හදවතට වදින්න කථා කරනවා. ඒ නිසා ධර්මසේකරට ඇති ඉල්ලූම වැඩියි. ධර්මසේකර ඉහල යයි කියන බය නිසා අන්තිමට ධර්මසේකර කපා දාන තැනට ආවා.

මේ වාගේම තමයි සරත් විජේසිංහ ගැන තිබු බිය. සරත් දක්ෂ ජනප‍්‍රිය නායකයෙක්. එයා කලේ දේශපාලන විද්‍යාව, ඉතා දීප්තිමත් සිසුවෙක්. කෑගල්ලේ පරගම්මන පැත්තේ කෙනෙක්. සරත්ට අඟහිඟකම් තිබුනා. අමාරුවෙන් තමයි අධ්‍යාපනය කරගෙන ගියේ. ඔහු තුල යහපත් ගති ගුණ තිබුනා. සරත් යාළු වෙලා හිටියේ මගේ බැච් එකේ ගෑණු ළමයෙක් එක්ක. මට මතක හැටියට එයාගේ නම විටිලිල්. සරත් නැවතිලා හිටියේ විජේවර්ධන ශාලාවේ. පොඩි දිසා. බෝල සමරේ කොණ්ඩසිංහ කට්ටිය එක්ක තමයි සරත්  ගැවසුනේ. සරත් විජේසිංහට විජේවීර අත‍්‍රිකමණය කිරීමේ අවශ්‍යතාව තිබුනේ නැහැ. සරත්ගෙ මරණය අත්වැරැුද්දක් නිසා සිදුවුනා. ඒ මරණය ආරංචි උනාම මට බොහෝම කණගාටුවක් දැනුනා.

1970 මැද වෙන කොට මාවත් ධර්මසේකරලාගේ ගොඩට දාලා අයින් කරලා තිබුනේ. ඒ නිසා ව්‍යාපාරේ සන්නද්ධවීම් ගැන හෝ අපේ‍්‍රල් 5 පහරදීම ගැන ම දැන හිටියේ නැහැ. මට 73 පෙබරවාරි වල වැලිකඩ පොලිසියට එන්න කියලා පණිවිඩයක් තිබ්බා මම ගියා ගියාම කිව්වා තමුසේ ජේ.වී.පී. එකත් එක්ක නැති බව අපි දන්නවා. නමුත් ව්‍යාපාරය ප‍්‍රතිසංවිධානය කරන්න තමුසෙ උදව් කරනවාද කියලා. මම උත්තර දුන්නා මගේ එහෙම සම්බන්ධයක් නැහැ කියලා.

1971 දී බොගා සමරේ පැපොල හැදිලා මාව හම්බවෙන්න පැමිණියා. මම බොගා සමරේව වැල්ලවත්තෙ ගෙදරක නැවැත්තුවා. ගාමිනි බාස් අපේ ගෙදර ආවා ඇවිල්ලා පක්ෂය ප‍්‍රතිසංවිධානය ගැන කිව්වා. ජුලියට්ට වෙඩි වැදිලා ගෙනාවම මම කෝට්ටේ වෙද මහත්තයෙක් අල්ලලා දුන්නා. වෙදමහත්තයාගේ ගෙදර තියාගෙන ප‍්‍රතිකාර කළා. මේ වෙදමහත්තයාගේ තෙල ඉතා හොඳයි. මේක විල්පත්තුවට පවා යැව්වා.

ඉහත කාරනා කොහොම හරි පොලිසිය දැනගෙන තිබුනා. ගාමිණී බාස් අපේ ගෙදරදි පක්ෂ ප‍්‍රතිසංවිධානය කිරීම ගැන කට උත්තරයක් දීතිබුනු නිසා මාවත් රඳවාගත්තා. මම සී.අයි.ඩි. එකේදි ගාමිණී බාස් ඉදිරිිපිටදි මේක ඇහුවා. ගාමිණී බාස් ඔක්කෝම වමාරනවා. මම කිව්වා පක්ෂ ප‍්‍රතිසංවිධානය ගැන කතා කලාට මම ඊට එකඟත්වයක් දුන්නේ නැහැ කියලා.

එදා අපි සියළුදෙනා රඳවලා හිටියේ එකම සෙල් එකේ. මට පුදුම තරහක් ආවා. ගාමිණී බාස් එක්ක. මම රැු නැගිටලා අපට පොරවන්න දෙන රෙදි රෙට්ටුවෙන් ගාමිනි බාස්ගේ බෙල්ල තද කරලා මරන්න හැදුවා. සෝමසිරි කුමානායක මාව වැලැක්කුවා. මම අද සතුටුවෙනුවා මගෙ අතින් මිනියක් මැරීමට නොසිදුවීම ගැන.

සී.අයි.ඞී. එකේ දී විජේවීර දීලා තිබ්බ කට උත්තරය අපට පෙන්නුවා ඒක විශාල පොතක් වගේ. අපි එකට කිව්වා පන්සිය පනස් ජාතකය කියලා. ඒකේ මම ගැනත් සඳහන් වෙලා තිබුනා. අපේ රහසිගත හමුවීම් ගැන පවා ඒකේ තිබුණා.

මගේ කට උත්තර ගන්නකොට මට වැඩිය පහර දුන්නේ නැහැ. ඒත් මම දැක්කා ඉතා අමානුෂිකව කළු රංජිත්ට, රුවන් පතිරණනට ගහනවා. ඒක බලන්නට පවා දරුණුයි. කුලියාපිටියේ ප‍්‍රනන්ද කියලා කෙනෙක් හිටියා. මෙයාට බැටන් වලින් ගහන කොට ප‍්‍රනන්ද බිම වාඩි වෙලා භාවනා යෝගියෙක් වගේ ඇස් දෙක වහගෙන හිටියා එයාට දිගටම ගැහුවා ප‍්‍රනන්ද කිසිම ප‍්‍රතිචාරයක් නැතිව ධ්‍යානයකට සම වැදිලා වගේ ඉන්නවා. ටික වෙලාවකින් සී.අයි.ඞී. නිලධාරින් ගැහිල්ල නැවැත්තුවා. ඒ අයටත් පුදුමයි, බයයි මේ දර්ශනය ගැන.

දවසක ලෝක විනාශය ගැන පත්තරේ ලිපියක් තියනවා දැකලා සී.අයි.ඞී. එකේ මහත්වරු අනේ ලෝක විනාශය උනොත් මලා තමයි කිය කියා ඉන්න කොට ප‍්‍රනන්ද කියනවා ලෝක විනාසේ උනොත් මහත්තයලා අමාරුවෙන් එකතු කරන කට උත්තරත් විනාශ වෙයි නේද කියලා.

මාව රඳවලා තිබ්බා වීරවිල, මීගමුව වගේ සිර කඳවුරු වල. වීරවිල එලිමහන් සිර කඳවුරේ දී  කටුගස්තොට රණවන ගමේ උපාලි එක්ක මම කථා කලා. මම එක සිද්ධියක් එයාට කිව්වා. මම විජේවීර එක්ක වැඩ කරන කාලේ වලපනේ මන්ත‍්‍රී ටී. බී. එම්. හේරත්ගේ මල්ලී  වලපනේ ඉස්කෝලෙක උගන්වනවා. මම විජේවීර සහෝදරයාගෙන් ඇහුවා මම මෙයාට කොක්ක ගහන්නද කියලා. විජේවීර කිව්වා සහෝදරයා බය නැතිව කොක්ක ගහන්න ජේ.ආර්. ගේ පුතාටත් අපි කොක්ක ගහලා තියෙන්නේ කියලා. මේ කතාවට මට පුදුම හිතුනා අපිට කියලා තිබ්බේ ජේ.ආර්. ගේ මිරිස්සේ ගෙදර සිට දියාර්ගෝ ගාෂියා කඳවුරට රේඩියෝ සබඳතා තියනවා. ජේ. ආර්. හෙවත් යැංකි ඩිකී ලඟදීම හමුදා ආන්ඩුවක් පිහිටවනවා. එහෙම කියලා. එහෙම එකේ ජේ.ආර්. ගේ පුතා අපේ ව්‍යාපාරයේ ඉන්නවා කියන එක මට අදහන්නත් බැරි උනා.මම යළිත් විජේවීරගෙන් ඇහුවා ජේ.ආර්. ගේ පුතාද? පස්සේ විජේවීර පිලිතුරු දුන්නා පුතෙක් වෙන කෙනෙක් කියලා. රණවන උපාලිත් මට කිව්වා විජේවීර ඒ කථාව එයාලටත් කියා තියන වග මට අද වෙන තුරු ඒ කථාවේ තේරුම හිතා ගන්න බැහැ.

මට විරුද්ධ චෝදනා නැති නිසා මාව 1973 දි නිදහස් කළා. රැුඩිකල් දේශපාලනයට සම්බන්ධ වීම නිසා මට විශ්ව විද්‍යාල අධ්‍යාපනය කර ගන්න බැරි උනා. ස්ථාවර භාවයත් නැති උනා. ඒ පිළිබඳව යම් කණගාටුවක් තියනවා. ඒත් මම දැන් කරන සේවය ගැන තෘප්තිමත්. මම කාන්තා බැංකුවක් හැදුවා. දේශපාලන ව්‍යාපාරයේ හිටපු එක මිනිසුන් එක්ක වැඩ කරන්න සංවිධාන කටයුතු කරන්න යම් උපකාරයක් උනා. ඒ නිසා මගේ 1971 ශ‍්‍රමය සම්පූර්ණයෙන්ම අහක ගියේ නැහැ.

දේශපාලනය ගැන මම බලන්නේ වඩාත් පුළුල්ව. ධනේෂ්වර ක‍්‍රමයට උත්තරයක් ලෙස මාක්ස්වාදය අපි දොහොත් මුදුන් දීලා පිලිගත්තා. මාක්ස්වාදී අත්හදාබැලීම් තුළ විශාල අඩුපාඩු නරක වැරදි තියනවා. ධනේශ්වර ක‍්‍රමය ඇටමිදුලූ දක්වා දිරාපත් වෙලා. ඒක යම් කාලෙක කඩා වැටෙයි. වර්තමාන සමාජ ආර්ථික ගැටළු වලට මාක්ස්වාදය තුළ පිළිතුරු නැහැ. මේ අනුව මේ අර්ථ ක‍්‍රම දෙකට යල් පැනලා. අපිට අවශ්‍ය ජනතාවාදි සංවාදාත්මක පිවිසුමක් හරහා සමාජ ආර්ථික ප‍්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට.

71 කැරැල්ල තුල ජනතාවාදී  බවක් තිබුනේ නැහැ. මම හොඳ කථාවක් කියන්නම්. අපි වීරවිල එලිමහන් කඳවුරේ රඳවලා සිටියදි දත් අමාරු හැදුනම දෙබරවැව පාසලේ දන්ත චිකිත්සක අංශයට ගෙනියනවා. කීප දෙනෙක් සැලසුම් කලා දත් බලන්න ගෙනියනකොට පනින්න. මේ අය ඉතා සාර්ථකව දෙබර වැව දන්ත චිකිත්සක අංශයට යනකොට අතරමගදි පැන්නා. ඒත් වැඩි දුරක් යන්න ලැබුනේ නැහැ ගම්මු මේ අය අල්ලලා යළි පොලිසියට භාර දුන්නා. 71 කැරැුල්ල ජනතාවාදි කැරැල්ලක් උනා නම් දෙබරවැව ගම්මු එහෙම කැරලිකරුවන් රජයේ පොලිසියට පාවලා දෙන්නේ නැහැ. මේක කටුක සත්‍යයක්.

(වෛද් රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි )

One Response to “එම්. ජී. නන්දිසිරි ගමගේ සහ 71 කැරැල්ල අත්දැකීම්”

  1. Christie Says:

    බන්ඩට සල්ලි දුන්න වගේ මුන්ටත් සල්ලි දුන්නෙ ඉන්දියාවයි ඉන්දියානු පරපෝසිතයොයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress