ජී.අයි.ඞී. ධර්මසේකර ; හෞතිකවාදයේ සිට අධ්‍යාත්මික වාදය දක්වා ගිය දීර්ඝ ගමන
Posted on March 29th, 2017

වෛද් රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි

ජී.අයි.ඞී. ධර්මසේකර එදා කස්ත්‍රෝ අනුගමනය කළේය. අද ඔහු අනුගමනය කරන්නේ අනගාරික ධර්මපාල තුමාගේ මාවතයි. හෞතිකවාදයේ සිට අධ්‍යාත්මික වාදය දක්වා ගිය දීර්ඝ ගමන ගැන අසා දැන ගැනීමට මම අනගාරික ධර්මසේකර හමු වීමට ඔහුගේ කළුතර අසපුවට ගියෙමි. මේ අනගාරික ධර්මසේකර කියන කතාවයි.

 ‘මම විශ්වවිද්‍යාලයෙන් පිට වූයේ 1966 අවුරුද්දේ. මම හදාරලා තිබ්බේ ආර්ථික විද්‍යාව, ඉතිහාසය, හා සිංහල යන විෂයන්. කුඩා කාලයේ සිටම අපිට දුෂ්කරතාවයන් තිබුනා තාත්තා මුදල් නාස්ති කලා. අම්මා තමයි පවුලේ බර කර ගැහුවෙ. මම කුඩා කාලයේ සිටම එළවළු වගා කලා. ඒ කරලා පවුලේ බර අඩු කරන්න උදව් උනා. මම ළමා ගොවියෙක්. උදැල්ල අතට ගන්න කොට මගේ වයස අවුරුදු 11යි. මම වගා කරලා එළවළු විකුණලා මුදල් අම්මාට දුන්නා. මේවගේ අසීරුවෙන් තමයි මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කලේ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කරලා මම තාවකාලික ව ගුරු රැකියාවක් හොයා ගත්තා, සුනේත‍්‍රා දේවී පිරිවෙනේ. නැවතිලා හිටියේ බෝඩිමක. මට දේශපාලන කටයුතු පිළිබදව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ සිටම උනන්දුවක් තිබුනා. 1966 වෙන කොට අපි දේශපාලන කණ්ඩායමක් ගොඩ නගා ගෙන හිටියා. අපි ආකර්ශණය වෙලා හිටියේ ෆිදෙල් කස්ත්‍රෝගේ දේශපාලන ක‍්‍රම වේදයන් පිළිබඳව. මම, ජයකොඩි. ලාල් පරාක‍්‍රම, රුවන් පතිරණ, බලන්ගොඩ ජයසේකර. මේ කණ්ඩායමට හිටියා. එහෙත් සන්නද්ධ වීමක් මුල් කාලයේදී තිබුනෙත් නැහැ.

1967 මට විජේවීර මුණගැසුනා. ජයකොඩි හරහා වරක් විජේවීර ජයකොඩි එක්ක මගේ බෝඩිමට ආවා. අපි ? 10 සිට උදේ 4 වෙනකම් කථා කළා. මට හැඟුනා විජේවීරට යමක් කළ හැකි අයෙක් ලෙසට. ඔහු කෙරෙහි ගරුත්වයක් ඇති උනා. එදා විජේවීරකථා කලේ මොස්කව් වල වෛද්‍ය උපාධිය නිමකළ අයකු ලෙසට අපිට කොමියුනිස්්ට් පක්ෂය පිළිබඳව විශ්වාසය තිබුනේ නැති බව විජේවීර දැන ගෙන හිටියා. ඒ වාගේම 1966 අපි පිහිටවපු සමස්ත ලංකා උපාධිධාරි සංගමය ගැනත් විජේවීරට අවබෝධයක් තිබුනා. විජේවීර කිව්වා මට සැලැස්මක් තියනවා. එන්න මාත් එක්ක වැඩ කරන්න කියලා.

අපේ දෙවන සාකච්ඡාවට ඞී.ඒ. ගුණසේකර, පේ‍්‍රමපාල, ආවා. විජේවීර ගුණසේකර හරහා පෙන්නුවා එයාට කම්කරුවන්ගේ සහයෝගයකුත් තියනවා කියලා. මෙහෙම කථා කරලා 1967 මම තීරණය කලාවිජේවීර සමඟ එකතු වීමට.

විජේවීර ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කථා කළා. උඩරට දෙමළ කම්කරුවා කන්ද උදළු ගානවා. පොළොව කිරිබත් ගෙඩිය වගේ පිම්බිලා වහින කොට පස් සේදීගෙන යනවා. තව අවුරුදු පහක් යනකොට උඩරට කඳු වල කලූගල් ඉතිරි වෙලා පස ජලාශ වලට සේදී යනවා. කියලා ප‍්‍රකාශ කලා. මේක අපේ ඇඟට වැදුනා. විජේවීරසැලලිහිණි සංදේශයේ කවි කීවා. එක කවියක සඳහන් වෙනවා කැළණි ගඟ නිල් පාටයි කියලා. අද කැළණි ගෙඟ් පාට සංසන්දනය කරන්න කිව්වා. ඒක මඩ පාටයි.  මේක ගැන දොස්තර එස් .ඒ. වික‍්‍රමසිංහ ලියලා තිබුනත්, විජේවීර මේක උපහැරණ දාලා කිව්වාම හොඳට ඇඟට වදිනවා. විජේවීර ප‍්‍රකාශ කළා.

කඳුඋඩ ඉඳගෙන දෙමළ කම්කරුවන් ගල පෙරලූවොත් සිංහල ගම් චප්ප වෙනවා කියලා.

විජේවීර හමුදා ආණ්ඩුවක් ගැන අපිව බය කලා. කිව්වා ජේ. ආර්. භයානක මිනිහා. ඇමරිකන් 7 වෙනි නාවික හමුදාව ඉන්දීය සයුරේ. හමුදා කුමන්ත‍්‍රණයක් එනවා. ජේ. ආර්. ඩඞ්ලිව යටපත් කරගෙන නැගිටිනවා. ත‍්‍රීකුණාමල වරාය ඇමරිකාවට දෙනවා. මේ එක්කම මහා මර්ධනයක් එනවා. ප‍්‍රති විප්ලවය එන්න කලින් අපි එක රැුයින් බලය අල්ල ගන්න  ඕනේ. ක්ෂණික ප‍්‍රහාර දීමක් එක්ක බලය අලල්ලා උදේ අපේ කොඩිය දාන්න  ඕනේ. රජයේ ගොඩනැගිලිවල.

මේ සැලැස්ම අනුව අපි වැඩ කලා. පන්ති පැවැත්වූවා රට පුරාම. 1969 වෙන කොට සන්නද්ධ වෙන්න පටන් ගත්තා. විජේවීර මට කිව්වා කළුතර දිස්ත‍්‍රික් නායකයා වෙන්න. සිංහරාජයේ පුහුණුවීම් කරන්න, කළුතර සිංහ රෙජිමේන්තුවට පහර දෙන්න සූදානම් වෙන්න කියලා. අපේ මේ වෙනකොට හිටියා. 600ක් පමණ පිරිසක්.

1969 මැද විතර වෙනකොට විජේවීරයි මමයි අතර යම් යම් මත භේද ඇති වෙන්න පටන් ගත්තා. අපිව කපා දැමීමක් වගේ දෙයක් මම දැක්කා. අපිට කියුබන් ලයින් කාරයෝ කියලා ටික ටික කොන් කරනවා. ඒවගේම ප‍්‍රකාශ වෙලා තිබුනා ධර්මසේකරලා ඇතුලූ කට්ටිය ලෙඩ කාරයෝ කියලාත් මේ නිසා අපි විජේවීර හමුවෙන්න උත්සාහ කළා. මාස පහක් උත්සාහ කලත් හමුවෙන්න ලැබුනේ නැහැ.

පියතිලකව මුන ගැසුනා. මම කිව්වා අපට ලොකු මහත්තයා හමු වෙන්න  ඕනෑ කියලා. පියතිලක කිව්වා ලොකු මහත්තයා, ඒ කියන්නේ විජේවීර හමුවෙන්න මේ දවස්වල අමාරුයි කිව්වා. මම ඇහුවා ලොකු මහත්තයා ඉන්නේ කොහේද කියලා. මට ඉන්න තැන කිව්වේ නැහැ. මෙහෙම බලලා අන්තිමට මම කිව්වා. ලොකු මහත්තයා එක්ක කතා කරන්න ලැබෙන්නේ නැත්නම් අපි වෙන්වෙලා යනවා කිව්වා. සුමාන දෙකක් ඇතුලත පියතිලක පැමිණියා. විජේවීර හමුවෙන්න දිනයක් අරගෙන. ඔහු කිව්වා බලන්ගොඩ බස් ස්ටෑන්ඞ් එකට හවස 5ට එන්න කියලා. අපි කට්ටිය විස්සක් විතර නියමිත දවසේ 4.30 වෙන කොට බලන්ගොඩ ස්ටෑන්ඞ් එකට ගියා. කට්ටිය දෙන්නා තුන්දෙනා කිව්ව හැටියට විසිරිලා හිටියේ. රෑ 7 වෙනකං හිටියා. විජේවීරආවේ නැහැ.

පියතිලක ආවා. මම ඇහුවා කෝ ලොකු මහත්තයා කියලා. පියතිලක කිව්වා ලොකු මහත්තයා අද හම්බවෙන්න බැහැ ලොකු මහත්තයා ඉන්නේ දුරක කිව්වා. මම ගත් කටට කිව්වා මම අද ආවේ ලොකු මහත්තයා හමු වෙන්න. මම ලොකු මහත්තයා හම්බවෙලයි යන්නේ කියලා. පියතිලක මහත්තයෝ මම  ඕනෑම කතරගමක එන්නම් .ලොකු මහත්තයා හම්බ වෙන්න.

පියතිලක පුදුමයෙන් වගේ බැලූවා. මගෙන් ඇහුවා කොහොමද දන්නේ ලොකු මහත්තයා කතරගම ඉන්නේ කියලා. මට තේරුණා පියතිලකට ‘‘මම  ඕනෑ කතරගමක’’ කිව්වහම මිනිහා හිතුවේ මම විජේවීර ඉන්න තැන දැනගෙනයි කතා කලේ කියලා. ඒ පාර අපි සූදානම් වුනා පියතිලකත් එක්ක කතරගමට යන්න. රෑ බසුත් නැහැ. අමාරුවෙන් ආපු බස් එකක වැල්ලවායට ගියා.

වැල්ලවායෙන් බහින කොට රෑ 2යි. කට්ටියට හොඳටම බඩගිනියි. අපි ? කඬේකට ගියා. 21 පිරිසක් දැකලා මුදලාලි ඇහුවා කොහේ යන කට්ටියක්ද කියලා. මම කිව්වා අපි වන්දනාවේ යනවා කියලා. අපි ආප්ප කන ගමන් කඬේ ගුවන් විදුලියේ යන පිරිත් ඇහැව්වා. මම කිව්වා පිරිත්හඬ ඉතා මධුරයි කියලා. පියතිලක ගත් කටටම කියාපි, පිරිත්වල මොන මධුරකමක්ද මේවා කියනකොට ලංකාවේ විප්ලවය කරන්න බැහැ. හණමිටි කිව්වා. මම පොඞ්ඩක් ආවේග ශීලී උනා. ‘පියතිලක මහත්තයෝ ඔයා කියන්නේ පිරිත් පොත වගේ අපේ උරුමයත් හණමිටි කියලද ’ ඇහුවා. පියතිලකත් අත්හැරියේ නැහැ. කියාපි ‘ ඕවා ගිනි තියලා දාන්න  ඕනෑ.’ කියලා.

මට තරහා ගියා. අපි හයියෙන් වාද කරනවා. ඒ අස්සේ කඬේ මුදලාලිත් ආවා. ‘මහත්තයා මොකක්ද ගිනි තියන්න  ඕනෑ’ පියතිලකගෙන් ඇහුවා. මට තේරුණා එන පොට හොඳ නැහැ කියලා. මුදලාලි අපි දෙන්නා විහිලූවක් කර ගත්තෙ මේ නිකං.’’ ඒක එහෙමද කියලා මුදලාලි ගියා. අපි බිල ගෙවලා යනකොට මුදලාලි පියතිලකව ඇහෙන් පෙන්නලා කියනවා ‘අර මහත්තයාට ඔළුව හොඳ නැහැ වගේ.’ මම සැක නොහිතන විදියට හිනාවෙලා උත්තර දුන්නා. ‘ඔව් ටිකක් එහෙමයි.’ කියලා.

අපි රෑ දෙගොඩහරියේ වාහනයක් එනකං ඉන්නවා.එතනත් අපි වාදේ. මම අන්තිමට පියතිලකට පැවසුවා ‘මට මේ කරුණ ගැනත් ප‍්‍රශ්නයක් තියනවා. මම මේක ලොකු මහත්තයට කියනවා’

අපි වාහනයක් බලාගෙන ඉන්න කොට ටිපර් එකක් ආවා. ටිපර් එකේ රියදුරාට මම අවශ්‍යතාවය කිව්වාම රියදුරා ඉල්ලූවා රුපියල ගානේ එක්කෙනාගෙන්. කතරගමට ගිහින් දාන්න. අපේ ඔක්කෝම විසි එක් දෙනෙක් ඉන්නවා. මම රුපියල් විසි එක එකතු කරලා ඩ‍්‍රයිවර්ට දෙන්න යනකොට පියතිලක කියනවා ‘රුපියල් 21 වැඩියි. රුපියල් 10 ඇති කියලා.’ මම සැර උනා. පියතිලක මම ඩ‍්‍රයිවර් එක්ක එකඟ වුනා. රුපියල ගානේ ගෙවන්න. ඔයාගේ සල්ලිත් මම දෙන්නම් දැන් ප‍්‍රශ්නයක් නැහැනේ. මම කිව්වා.

 ඒ ටිපර් එක අපිව කතරගමට ගෙනිච්චා. කතරගම බැස්ස හැටියේම පියතිලක පොඩි පාර්සලයක් පෙන්නුවා. ‘ඩ‍්‍රයිවර් සල්ලි වැඩියෙන් ගත්තට හිලව්වෙන්න මම ටිපර් එකේ තිබුනු පාර්සලය හොරකම් කරා කියලා කිව්වා’

මට පියතිලක ගැන කේන්තියක් වගේම පිළිකුළකුත් ආවා. ‘‘ඒක මොන නීච වැඩක්ද.’’ මම කිව්වා ඒ පාර්සලේ තිබුනේ ටිපර් එකේ ක්ලීනර් ගේ කමිසයකුයි, සරමයි. මම පියතිලකට බැන්නා. ‘‘පියතිලක මහත්තයෝ මා  ඕ සේතුං කියලා තියනවා ජනතාවගේ ඉඳිකටුවක්වත් තරම දෙයක් සොරෙන් ගැනීම විප්ලවවාදියෙකුට සුදුසු නැහැ කියලා.’’ පියතිලක කට වහ ගත්තා.

අපි විජේවීර හමුවෙන්න යනකොට විජේවීර ගැමියෙක් වගේ උඩුකය නිරුවත්ව කරට තුවායක් දාගෙන හිටියා. විජේවීර එහෙම ඉන්නවා දැක්කාම මට හිතුනේ මෙයා ගැමියන්ට කොච්චර සමානවද ඉන්නේ කියලා. මගේ තරහා ගතියත් නිවුනා.

 මාව දැක්ක හැටියේ විජේවීර ඇහුවා ‘සේකර මහත්තයා මොනවද තියන ප‍්‍රශ්න’ කියලා. මම අපේ ප‍්‍රශ්න කිව්වා. අපේ ප‍්‍රශ්න තමයි. එක රැයකින් බලය අල්ලන්න බැරි වුනොත් කරන්නේ මොනවාද? බහු ජනතාව සංවිධානය කිරීමක් වෙන්නේ නැහැ. ඒක කල යුතුයි. විප්ලවයට පෙර යන කරුණ කීවා.

විජේවීර උත්තර දුන්නා. අපට වෙන විකල්ප නැහැ. ඇමරිකන් රූකඩ ආණ්ඩුව එන්න කලින් අපට බලය අල්ලන්න වෙනවා. කාලයක් නැහැ. මම පීයතිලක එක්ක වෙච්ච විවාදේ පිරිත් පොත, ජාතක කතා පොත ගිනි තියන්න  ඕනෑ කියපු ප‍්‍රකාශය ගැන මොකද කියන්නේ කියලා මම ඇහුවා.

විජේවීර යළි පිළිතුරු දුන්නා. ‘සාහිත්‍ය සංස්කෘතිය ගැන කතා කරන වෙලාවක් නෙවෙයි මේක. ඒක බලය අල්ල ගත්තට පස්සේ මතුවන දෙයක් කියලා. අපි උදේ අටේ ඉඳන් රෑ 11 වෙන කං කතා කලා. අන්තිමේදී අපේ ප‍්‍රශ්නය විසඳුනා වගේ පෙනුනා.

ජයකොඩි ග‍්‍රනේඞ් එකක් හැඩයට හඳපු චීනච්චට්ටි කවරයක් විජේවීරට පෙන්නුවා. ඒක දැකලා විජේවීරගොඩාක් සතුටු උනා. මෙන්න මෙහෙම වැඩ කරන්න  ඕන. පොඩි පොඩි මතභේද අත්හැරලා. ජයකොඩි සහෝදරයාගේ සන්නදධ වීමට සුදානම හොඳයි මේ විදිහට අපිට බෝම්බ හදන්න පුලූවන් යැයි විජේවීරකිව්වා.

මට එතනදී ගැටලූවක් ආවා. මේ වගේ කවරයක් තුලට පිපිරුම් ද්‍රව්‍ය දාන්නේ කෙසේද? ජයකොඩි පෙන්නුවේ කවරයක් විතරයි. මේක වැඩ කරයිද වගේ ප‍්‍රශ්න ඒත් එක ඇහුවේ නැහැ. මොකද මම කකුලෙන් අදින ප‍්‍රශ්න අහනවා කියලා හිතයි කියලා.

 අපි ගැටළුවක් නැතුව විජේවීරගෙන් සමුගෙන ආවා. ආපසු දිස්ත‍්‍රික්කයට ඇවිත් වැඩ කරන කොට යළිත් කැපිලි අපිව අයින් කරලා කියලා තමයි රාවය යන්නේ.

 මේ වෙන කොට මට උණ හැදිලා වමනේ යනවා. හොඳටම අමාරුයි. මාව රාගම රෝහලේ නැවැත්තුවා සේලයින් දුන්නා. මම පුරා දවස් 11ක් ඉස්පිරිතාලේ ගත කලා. ඥාණපාල කියන සහෝදරයා මාව බලන්න ආවා. ඇවිත් කිව්වා අපි සිංහරාජයේ ආයුධ සන්නද්ධව පුහුණු වෙනවා කියලා. පොලිසියට ඔත්තුවක් ගිහිල්ලා පොලිසිය එනවා සෝදිසි කරන්න කියලා කිව්වා.

 මට හොඳටම උණ. ඇඟ් ශක්තිය බිංදුවක් වත් නැහැ. උණ විකාරයෙන් මට පේනවා පොලිසියට එනවා. මම ඇඳ එක්ක පාවෙලා යනවා. රෑ 2ට විතර මට පේනවා ඈතින් ඥානපාල මට අත වනනවා. මම අමාරුවෙන්ම නැගිට්ටා. වාට්ටුවේ මිසී නිදි. මම හිමීට වාට්ටුවෙන් පිටවෙලා මහ පාරට ආවා. ඥානපාල මගේ ඉදිරියෙන් යනවා. ඥානපාල කිව්වා පොලිසිය බස් ස්ටෑන්ඞ් එකේ අපි රේල් පාර දිගේ යමු කියලා. මම එකඟ වුනා. මම රේල් පාර දිගෙ යනවා. ඥානපාල ඉදිරියෙන් යනවා. ඒ එක්කම මහා ධාරානිපාත වර්ෂාවක් ආවා. මම හොඳට තෙමි තෙමී තෙත බරි වුනා.

මට පියවි සිහිය ආවා. ඥානපාල පේන්නවත් නැහැ. පිටිපස්සෙන්  මොකක්දෝ එළියක් එනවා. මොහොතකදී මට තේරුණා මම ඉන්නේ රේල් පාර මැද කියලා. මම ඉවතට පැන්නා. ඇසිපිය හෙලන මොහොතකදී කෝච්චිය මාව පසු කරලා ගියා මම බේරුනේ කෙස් ගහෙන්.

මම ඥානපාලව දැක්කට ඒ හැබැයින්ම නෙවෙයි. උණ විකාරෙට ආපු මායාවක් මට යන්න තැනක් නැහැ. මම යළිත් රෝහලට ගියා. රෝහලේ පිරිස ඇවිස්සිලා. අමාරු උණ ලෙඩෙක් අතුරුදහන් වීම පිළිබඳව. මගෙන් ඇහුවා කොහේද ගියේ කියලා. මම කිව්වා. උණ විකාරෙන් මම ඇවිදගෙන ගියා. වැස්සට තෙමුනා ඒ නිසා ආවා කියලා. ඒ අය මගේ ඇඟ පිහිදාගන්න දීලා තෙත රෙදි ඉවත් කරලා අඳින්න බෙඞ් ෂීට් එකක් දුන්නා. හැබැයි උදේ වෙන කොට මගේ ලෙඬේ සනීපයි.

රෝහලෙන් ටිකට් කැපුවාම මම කුරුණෑගලට ගියා. කුරුණෑගල විල්බාවේ ෆැරැුන්සිස් හාමිගේ ගෙදර. කට්ටිය එක්ක දවස් තුනක් සාකච්ඡුා කළා. අපි එක්ක පනස් හතක් විතර හිටියා. ඒ සාකච්ඡුා වලින් 1970 මාර්තු වෙන කොට අපි අළුත් කන්ඩායමක් හැදුවා. මාතෘ භූමී ආරක්ෂක සංගමය කියලා.

1971 මාර්තු වලදී අපි තීරණය කළා වියට්නාමයේ ඇමරිකාව කරන ජන ඝාතන වලට විරෝධයක් ලෙසට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පැනලා පත‍්‍රිකා බෙදන්න. වීදුරු කඩන්න.

අපේ කට්ටිය ඇමරිකන් තානාපති කාර්යාලයට පැනලා මුරට හිටපු රාලහාමිලා දෙන්නව යටත් කර ගත්තා. බය කරන්න සද්දේ විතරක් තියන පිපිරුම් හානි නැති බෝම්බ 2 ක් ගැහුවා. ඇමරිකානු කොඩිය බිමට බාලා ගිනි තියන්න. කෙනෙක් කොඩි ගහට නැග්ගා. නගින්න අමාරුයි. ලිස්සලා යලි පහලට එනවා. ග‍්‍රීස් ගහේ නගිනවා වාගේ.

ප‍්‍රහාරයට තිබුනු කාලය විනාඩි 3 යි. කාලය ගියොත් පොලිසිය වට කරනවා. පිරිස ඇමරිකානු තානාපති කාර්යාලයේ අසල තිබුනු වාහන 7ක් විතර කොඩිගහ ළඟට ගෙනල්ලා වාහනවලට ගිණි තිබ්බා. ඒ ගිණි ජාලාව එක්ක කොඩියත් පිච්චුනා.

කට්ටිය විසිරී යද්දී අයි.පී. කරුණාරත්න අහම්බෙන් එතනට ඇවිල්ලා.එයා එනකොට කොල්ලූපිටිය  පොලිසියේ රාලහාමිලා දෙන්නෙක් අත උස්සගෙන ඉන්නවා දැකලා.  මෙතන්ට පැන්නා. කළබලය දැකලා සාක්ෂියට කෙනෙක්ව අල්ලා ගෙන ජීප් එකට දා ගන්න ගියා. කණ්ඩායමේ හිටපු එදිරිසිංහ සාක්ෂිකාරයා බේරා ගන්න ගියා. අයි.පී.කරුණාරත්න දැඩිව සාක්ෂිකාරයා අල්ලා ගෙන හිටපු නිසා ඔහු ගන්න අමාරු උනා. ඒ නිසා බැරිම තැන එදිරිසිංහ අයි.පී. කරුණාරත්නට පිහියෙන් ඇන්නා. අයි.පී.කරුණාරත්න මළා.

මේ අස්සේ මේ සිද්ධියට ආපු කලින් සිවුරු ඇරපු කෙනෙක් පොලිසියට අහු උනා. ඒක උනේ මෙහෙමයි.

ඇමරිකානු තානාපති කාර්යාල ප‍්‍රහාරය ගැන කට්ටිය විද්‍යාලංකාරේ බෝඩිමක සැලසුම් කර කර ඉන්න කොට මේ මෑතකදී සිවුරු ඇරලා හිටපු කෙනා ආවා. මිනිහා දොර ලඟ හිටපු නිසා සැලසුම අහගෙන හිටියාදෝ කියන සැකයක් ඇති උනා. ඇත්තෙන්ම මිනිහා ආවේ සැලසුම් කට්ටියේ කෙනෙක්ව හමුවෙන්න. පිරිස මේ පුද්ගලයා ව කාමරයේ හිරකරලා ප‍්‍රහාරයට යන්න හදන කොට මිනිහාව දන්න යාළුවා කිව්වා මූ හොඳ එකෙක්. අපේ වැඬේට මූවත් ගමු කියලා. පැට්‍්‍රල් බෝතලයක් අතට දුන්නා.

මේ මිනිහත් පිරිස එක්ක තානාපති කාර්යාලයට ගියා. ඒත් මොනවත් නොකර බලාගෙන හිටියා. පිරිස පහර දීලා විසිරිලා යනකොටත් මේ මෝඩ මනුස්සයා පැට‍්‍රල් බෝතලය අතේ තියාගෙන වාහන ගිනි ගන්නවා බලා ගෙන ඉඳලා. පොලීසිය එනකන් මිනිහා එතන. එයාගේ මාර්ගයෙන් පොලිසිය තොරතුරු ලබා ගත්තා.

මට අයි.පී. කරුණාරත්නගේ මරණය ගැන කනගාටුයි. ඒක ඛේදවාචකයක්. මම එදිරිසිංහට කිව්වා. ‘එදිරි, මේක සිදු නොවිය යුතු දෙයක්. අපි සැලසුම් කළේ වීදුරු කඩලා කොඩිය ගිනි තියන්න විතරයි. එදිරිසිංහ කිව්වා එයාටත් වෙන විකල්පයක් තිබ්බේ නැති බව.

මේ ප‍්‍රහාරය විජේවීර දැක්කේ එයාලාගේ ප‍්‍රහාරයට විරුද්ධව කරපු කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් හැටියට. ඒත් මට එහෙම දෙයක් කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ.

 ( අනගාරික ධර්මසේකර පවසන පරිදි මෙම ප‍්‍රහාරයට අනුගාමිකයන්ගේ ඉල්ලීම පරිදි  ඔහු  සහභාගී නොවීය. 1971 අපේ‍්‍රල් මාසයේ දිනමිණ පුවත්පතේ පොලිස් නිලධරියා මරා දැමීම නිසා සැකපිට ඇන්තනී  ක්ෂේවියර් යන පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති බවට පුවතක් පල විය – කතෘ)

1971 අපේ‍්‍රල් 5 දා ප‍්‍රහාරයේ දී මම හිටියේ ගමේ. ප‍්‍රහාරය ගැන මම දැන ගෙන හිටියේ නැහැ. 6 දා පොලිසියෙන් මාව අල්ලන්න පැන්නා. මම සැඟවුනා. මෙහෙම අවුරුදු 2 විතර සැඟවිලා හිටියා. බෙන්තර, ඉඳුරුව ප‍්‍රදේශ වල අපේ ව්‍යාපාරයට මුදල් හොයන්න මම ඔක්කම්පිටියට ගියා.

මැණික් ගරන්න. එහෙම ගිහිල්ලා ඉන්න කොට 1973 අපේ‍්‍රල් 18 වෙනිදා පොලිසියෙන් මාව අත්අඩංගුවට ගත්තා. පොලිසියෙන් එනකොට මම හොඳටම නිදි. පොලිසිය මට මාංචු නින්දෙන්ම දාලා. තමයි නැගිට්ටෙව්වේ. මාව ගෙනිච්චා සී.අයි.ඞී. එකේ 4 වන තට්ටුවට. පහර දුන්නා. කිව්වා අපි දන්නවා උඹ ජේ.වී.පී. නොවෙයි කියලා. ඒත් උඹ තවත් කැරැුල්ලකට කැස කවනවා. ඒ නිසා අපි උඹව හඳිසි නීතිය යටතේ රඳවා ගන්නවා.

මගෙන් කට උත්තර ගන්න හමුදා මූලස්ථානයට ගෙනිච්චා. මගෙන් කට උත්තර ගත්තේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා. මගේ තුවාල දැකලා යුධ හමුදා රෝහලේදී මට ප‍්‍රතිකාර ලබා දුන්නා. කොබ්බෑකඩුව මහත්තයා මට කියනවා ඔයාව අත්අඩංගුවට ගන්න මම 1972 මාලේවන වටකරා. 1110 භට පිරිසක් සමඟ. ඔයා අපේ ඇස් වහලා පැන්නා. ඔයාගේ දක්ෂකම ගැන මම අගය කරනවා. ඒත් මේ විදිහට. අපේ සිංහල කොල්ලෝ කැරලි ගහලා මැරිලා යනවාට මට දුකයි.

මාව මිලිටරි පොලිසියේ මාසයක් තියා ගත්තා. මෙහෙම හදිසි නීතිය යටතේ අවුරුදු හතරක් මාව මහර සහ මැගසින් බන්ධනාගාරවල රඳවා ගෙන හිටියා. හිරේදී සමහර ජේ. වී. පී. සාමාජිකයෝ මට ගහන්නත් ආවා. නන්දන මාරසිංහ මාව දැකලා ඇහුවා ‘අපි ඔක්කොම දැන් එකට හිරේ. ඔහෙලා අපිට තාම   සී.අයි.ඒ. කාරයෝ කියනවද?’ කියලා.

මට හිරේදී කිහිප වතාවක් විජේවීර මුහුණට මුහුණ හමු උනත් විජේවීර මගේ මුහුණවත් බැලූවේ නැහැ. වරක් අපි බන්ධනාගාර ඩිස්පැන්සරියේ එක ලඟ හිටියත් එයා මාත් එක්ක කථාවට ආවේ නැහැ.

මමයි, විජේවීරයි අතර මත ගැටුම් තිබුනා. වරක් මගේ පොතක් මුද්‍රණය වෙන කොට මුද්‍රණාලයට කඩා වැදිලා පොත් පවා ගිනි තිබ්බා. 88 භීෂණ කාලයේ මව ඝාතනය කරන්නත් උත්සාහ කළා. විජේවීර තුළ තිබුණා මතවාදී ආඥදායක තත්වයක්. තවත් විප්ලවවාදී මතයකට ඉඩ දුන්නේ නැහැ. ඔහු 1970 යුගයේ කෘර චරිතයක් නොවෙයි 1988 විතර, වෙනකොට බලකාමය නිසා ඔහු වෙනස් වෙන්න ඇති. 

විජේවීර මත්පැන්, විරෝධියෙක්.විජේවීර නිසා තරුණයන්ට දස දහස් ගණනක් මත්පැන් බීම නැවැත්තුවා. මේ ගැන කවුරුවත්ම කථාකරලා නැහැ. ඔහු තුළ හොඳ නරක දෙකම තිබුනා.

 විජේවීර හා මා අතර භේදය උත්සන්න කළේ දෙවන පෙළ නායකයකු වූ සනත් බොරළුකැටිය හා ලොකු අතුල. එහෙත් දැන් මම ඒ අතීතය දෙස බලන්නේ වඩාත් උපේක්ෂාවෙන්. ඒ කාලයේ ඒ අයට ඒ පිළිබඳව තදබල අවශ්‍යතාවක් තියෙන්න ඇති. උප නායකත්වයට ඒකට දොස් කියන්න බැහැ.

1970 වේදී මම අනාවැකියක් කිව්වා. ඉතා ඉක්මණින් මේ රටේ විජේවීරගෙ මූලිකත්වයෙන් ලේ වැගිරීමක් වෙනවා. තරුණයන් බිලි දීමක් වෙනවා. කියලා. රොසැන්ටල් කියන පුද්ගලයා විජේවීර ඝාතනය කරන්න උත්සාහ කලා. කියන එක හා ඔහු බිත්තර වෙළෙන්දෙකු ලෙස වෙස්වෙලාගෙන විජේවීර හෙව්වා කියන එක පිළිබඳව යම් සත්‍යයක් තියෙන්න පුළුවන්. රොසැන්ටල් කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ තරුණයෙක්.

1969 දී මා තුළ අදහසක් තිබුණා 1975 දී විතර ලංකාවේ කැරැුල්ලක් ඇතිකරන්න බහුජන පදනමක් සහිතව. ඒත් 1971 කැරැුල්ල අවිධිමත්ව අයථා කාලයේදී ආවා එතකොට සමගි පෙරමුණු රජය ජනප‍්‍රියයි. මගේ ඒ අදහස 1977 දී ක්ෂය උනා.

බන්ධනාගාරයේ දී මම බෞද්ධ දර්ශනය පිළිබඳව හැදෑරුවා. ත‍්‍රිපිටකය කියෙව්වා. මට මතකයි මම පොඩි කාලේ 2500 බුද්ධ ජයන්තියට සිල් ගත්තා. යළි මා තුල බුද්ධ ධර්මය කෙරෙහි ඇල්මක් ඇති වෙන්න පටන් ගත්තා. ඒක අධ්‍යාත්මික විප්ලවයක් ලෙස හඳුන්වන්නට පුලූවන්.

මට විජේවීර හෝ ජේ.වී.පී. එක සමඟ වෛරයක් නැහැ. මම දැන් ප‍්‍රචන්ඩ අරගලය, අවිආයුධ, අත්හැරපු කෙනෙක්. මම දැන් බෞද්ධ දර්ශනය අනුව වෙන ගමනක් යනවා. 1999 වර්ෂයේ මම අනගාරික වුනා. දැන් මම විශ්වාස කරන්නේ ආධ්‍යාත්මික විප්ලවයක් ගැන පමණයි.

අධ්‍යාත්මික ශක්තිය පිළිබඳව දැන් මට විශ්වාසයි. ආයුධ බලයට වඩා 2004 සුනාමියේදී මම ජීවිතේ ගලවා ගත්තේ මෙම ශක්තියෙන් කියා හිතනවා. ‘දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ආයුධ අතට ගැනීම නොකල යුතුය.’ කියන මතයේ මම ඉන්නේ. විදේශ ආක‍්‍රමණයක් ආවොත් මිසක අභ්‍යන්තර දේශපාලන කටයුතු වලදී ආයුධ අතට ගැනීම කිසි සේත්ම අනුමත කරන්න බැහැ.

(වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි ) 

One Response to “ජී.අයි.ඞී. ධර්මසේකර ; හෞතිකවාදයේ සිට අධ්‍යාත්මික වාදය දක්වා ගිය දීර්ඝ ගමන”

  1. Christie Says:

    “කඳුඋඩ ඉඳගෙන දෙමළ කම්කරුවන් ගල පෙරලූවොත් සිංහල ගම් චප්ප වෙනවා කියලා.”

    විජෙවීර තරම් ඉන්දියාවෙන් හා ඉන්දියානු පරපොසිතයන්ගෙන් යැපී දේසපාලනය කර සින්හලයන් මරාදැමූ කපටියකු නරකයකු තවනැත. ඔහු අන්තිමට සැඟවුනේ කවුරුන් අතරද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress