අධ්‍යාපනයට ගැසීම
Posted on April 4th, 2017

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

බඩට ගැසීම යනු අසා පුරුදු වැකියකි.  මිනිසුන් ගේ බඩට ගසන්නෝ දේශපාලකයෝ ය​.  එහෙත් අධ්‍යාපනයට ගැසීම හෙවත් කෙනෙකුගේ අධ්‍යාපනයට අකුල් හෙලීමද අපගේ සමාජයේ තිබෙන එක් කුහක පිලිවෙතකි. අධ්‍යාපනයට  ගසන්නෝ උගතුන් වීමද විශේෂත්වයකි. ප්‍රතිපත්තියක් ලෙස මම කිසිවෙකුගේ අධ්‍යාපනයට නොගසමි. ඒ මා තුල තිබෙන සුවිසේෂී ගුනාංගයක් නිසා නිසා නොව කෙනෙකුගේ අධ්‍යාපනයට ගැසීම ඉතා තුච්ච ක්‍රියාවක් ලෙස මා සලකන බැවිනි. 

ලංකාවේ ජීවත් වූ කාලයේදී මම බොහෝ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට ඔවුන් ගේ නිබන්ධන සම්බන්ධයෙන් ගුරු හරුකම් දීමෙන් උදව් කලෙමි. එසේම කොතලාවල සහ බටලන්ද මිලිටරි ඇකැඩමි වල එම් එස් සී අධ්‍යනයේ නියැළුනු හමුදා නිලධාරීන්ටද අධ්‍යාපන කටයුතු වලදී උපකාර කලෙමි. මගෙන් උපකාර ලත් බොහෝ දෙනෙකු තම අධ්‍යනයන් සාර්ථකව නිම කිරීමෙන් පසු මට ස්තූති කල අතර සමහරු පැදුරටත් නොකියා පලා ගියහ​. එහෙත් ඒ පිළිබඳව මට කණගාටුවක් නැත​. මිනිසුන් ගේ ගති විවිධාකාරය​.

 

අධ්‍යාපනයේදී මම අනෙකුන්ට උදව් කලද මගේ අධ්‍යාපනයට සමහර පුද්ගලයන් විසින් අවහිර කල අවස්ථා කිහිපයක් තිබුනු බව මට සිහිපත් වේ. 

1999 වසරේදී මම ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමා සහ මහාචාර්‍ය ඩී.සී.එච් සෙනරත් මහතා යටතේ උපදේශන ඩිප්ලෝමා පාඨමාලවක් සාර්ථකව නිම කලෙමි. මේ කාලයේදී කොලඹ විශ්ව විද්‍යාලය මගින් උපදේශන ඩිප්ලෝමා පාඨමාලවක් අරඹා තිබූ අතර මෙයට අයදුම් කරන ලෙස   ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමා මාව දිරිමත් කලේය​. මේ වන විට මම වෛද්‍ය උපාධියට අමතරව එංගලන්තයේ බාන්ස්ලි විදුහලෙන් ළමා මනෝ විද්‍යා හදාරා  , කොළඹ ළමා මනෝ විද්‍යා ඇකඩමියෙන් ළමා මනෝ විද්‍යා ඩිප්ලෝමාවද ලබා ගෙන සිටියෙමි. ඊට අමතරව යුද ආතතිය පිළිබඳව පත්‍රිකා දෙකක් ද ඒ වන විට මා විසින් පළ කොට තිබුනි.  

සත්‍ය වශයෙන්ම කොලඹ විශ්ව විද්‍යාලය මගින්  පවත්වන උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සුදුසුකම් තිබුනි.  මෙම ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මා නිතැතින්ම තේරෙනු ඇති බව කියමින් මහාචාර්‍ය ඩී.සී.එච් සෙනරත් මහතාද මාව දිරිමත් කලේය​. එසේම විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්‍ය දියනාත් සමරසිංහ මහතාද දිගටම මනෝ විද්‍යා උපදේශනය සහ මනෝ ප්‍රතිකාරයන් හදාරන ලෙසට මට උපදෙස් දුන්නේය​.  

මෙම උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මම අයදුම්පතක් දැමූ අතර මුල් වටයේදී මාව තේරුණි.  සති දෙක තුනකට පසුව මුල් වටයේදී  තේරුණු අපේක්‍ෂකයන්ට සම්මුඛ සාකච්ඡාවක් කොලඹ විශ්ව විද්‍යාලයේදී තිබෙන බව දැණුම් දෙන ලදි. එම නිසා මම එම සම්මුඛ සාකච්ඡාවට ගියෙමි. 

මෙම සම්මුඛ සාකච්ඡාවට තේරුණු අපේක්‍ෂකයන් උපාධිධාරීන් මෙන්ම ගුරුවරුද වූහ​. මගේ දැණුම අනුව කිසිදු වෛද්‍යවරයෙකු නොවීය​. මෙම අපේක්‍ෂකයන් අතර ආචාර්‍ය මර්වින් ප්‍රනාන්දු පියතුමාගේ පොත්ගුල භාරකරුද විය​. මම ඔහු සමග කතා කලෙමි. ඔහු මැදි වයසේ අයෙකි. තමන්ට උපාධියක් නොමැති නිසා සම්මුඛ සාකච්ඡාවෙන් කැපී යනු ඇතැයි ඔහු කීවේය​. නමුත් මම ඔහුව දිරිමත් කොට සම්මුඛ සාකච්ඡාවට ධනාත්මකව මුහුණ දෙන ලෙස කීවෙමි. 

අපව සම්මුඛ සාකච්ඡාවට ලක් කලේ ආචාර්‍ය ගැමිලා සමරසිංහ සහ තවත් කාන්තාවකි. මගේ වාරය ආ විට මම සම්මුඛ පරීක්‍ෂක මඩුල්ල වෙත ගියෙමි. ආචාර්‍ය ගැමිලා සමරසිංහ මගේ අධ්‍යාපන සහතික පත් පරීක්‍ෂා කොට බලා ඉංග්‍රීසි බසින් ” ඩොක්ට ජයතුංග ඔබ වෛද්‍යවරයෙක් , ඇයි ඔබ මනෝ විද්‍යාව ඉගෙන ගන්නේ ? කියා ඇසුවාය​.

මෙම ප්‍රශ්නය මට මඳක් පුදුමය උපදවන ලද ප්‍රශ්නයක් විය​. ඒ වන විට මම මීගමුව රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ලලින් ප්‍රනාන්දු මහතා යටතේ මානසික රෝග සායනයේ වැඩ කලෙමි. තවද මනෝ විද්‍යාව වෛද්‍යවරුන්ට අකැප දැයි කියා මෙම කාන්තාවන් සිතනවාද කියා කුකුසක් මට මතු විය​. එහෙත් මම සන්සුන්ව මෙසේ කීවෙමි. 

” මැඩම් මනෝ විද්‍යාවේ පියා වූ සිග්මන් ෆ්‍රොයිඩ් වෛද්‍යවරයෙක්, ඒ වගේම කාල් යුං, ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් , කැරන් හෝනි, කාල් මැනිංගර් , ජෝන් බෝල්බි , කාල් ජැස්පර්ස් යනාදීන් සියළු දෙනා වෛද්‍යවරු. එම නිසා වෛද්‍යවරයෙක් ලෙස මනෝ විද්‍යාව ඉගෙන ගැනීම වරදක් ලෙස මම දකින්නේ නැතැයි කියා සුහදව කීවෙමි. අනෙක් කාන්තාව මගේ පිළිතුරෙන් සෑහීමකට පත් වූවාය​. ඒ අතරවාරයේ ආචාර්‍ය ගැමිලා සමරසිංහ මා විසින් ලියන ලද යුද ආතතිය සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව  පත්‍රිකා අතට ගෙන කියවූවාය​. ඉන් පසු තවත් ප්‍රශ්න දෙක තුනක් ඇසීමෙන් පසු සම්මුඛ සාකච්ඡාව අවසන් විය​. 

සති තුනකට පසුව මට කොලඹ විශ්ව විද්‍යාලයෙන් ලිපියක් ආවේය​. එම ලිපිය අනුව කොලඹ විශ්ව විද්‍යාලය මගින්  පවත්වන උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මාව තෝරාගෙන තිබේ. ඩිප්ලෝමා පාඨමාලාව සඳහා රුපියල් තිස් දහසක් ගෙවිය යුතුය​. 

පසු දින මම මුදල් බැඳීම සඳහා කොලඹ විශ්ව විද්‍යාලයට ගියෙමි. අදාල මුදල් මම චෙක්පතකින් ගෙවීමට තැත් කරද්දී කොලඹ විශ්ව විද්‍යාලයේ  කාර්‍යාලයේ සේවය කරන තරුණියක් ආවාය​. මට එම ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සහභාගී විය නොහැකි බව ඇය දැණුම් දුන්නාය​. ඉන් පසු මගේ චෙක් පත ආපසු භාර දෙන ලදි. මීට හේතුව කුමක්ද ?කියා මා ඇසුව නමුත් දිස්නා නම් එම යුවතිය දෙනෙත් වල කඳුළු පුරවාගෙන කිසිවක් නොකීවාය​. ඇය මේ කරන්නේ උඩින් එන නියෝගයක් ක්‍රියාත්මක කිරීමක් බව මම වටහා ගත්තෙමි. එම නිසා මම චෙක් පත අතට ගෙන ආපසු ගියෙමි. 

මේ අසාධාරන ක්‍රියාව ඇසූ ආචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මිය මේ ගැන උසස් අධ්‍යාපන ලේකම්වරයාටත් කොලඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනයන් භාරව සිටින මහාචාර්‍ය කුසුමා කරුණාරත්න මහත්මියටත් ලිඛිතව දන්වන ලෙස කීවාය​. මම ඒ අනුව ඔවුන්ට මෙම සිද්ධිය ගැන දැණුම් දුන්නෙමි. එහෙත් විශ්ව විද්‍යාල මාෆියාව ඉතා බලවත් ය​. එම නිසා යටත් පිරිසෙන් මේ ගැන පරීක්‍ෂණයක් වත් පැවැත්වූයේ නැත​. එහෙත් මහාචාර්‍ය කුසුමා කරුණාරත්න මහත්මියට ආචාර්‍ය ගැමිලා සමරසිංහ විසින් කරන ලද අසාධාරණ ක්‍රියාව වැටහුනාය​. නමුත්  සිංහල අංශයේ මහාචාර්‍යවරියක වූ කුසුමා කරුණාරත්න මහත්මියට ප්‍රන්සයේ මනෝ විද්‍යා ආචර්‍ය උපාධි ලැබූ සහ විශ්ව විද්‍යාලයේ බලවත් චරිතයක් වූ ගැමිලා සමරසිංහට එරෙහිව කිසිවක් කරනු බැරි විය​. එහෙත් මහාචාර්‍ය කුසුමා කරුණාරත්න මාව ගෙන්වා ලබන වසරේ මේ  ඩිප්ලෝමා පාඨමාලාවට අයැදුම් කරන ලෙස කීවාය​. එහෙත් මම ඊට කිසිදා අයැදුම් කලේ නැත​. 

ඉන් වසර පහ හයකට පසුව මලිත් ජයතිලකගේ අලිමංකඩ පරාජය පොත දොරට වැඩි උත්සවයේදී මට මහාචාර්‍ය කුසුමා කරුණාරත්න මහත්මිය හමු වූවාය​. මගේ සුදුසුකම් වලට සහ මනෝ විද්‍යාව ඉගෙන ගැනීමට මා තුල තිබූ උනන්දුව දැක ආචාර්‍ය ගැමිලා සමරසිංහ බියවූ බවත් ඒ නිසා හුදු ඊර්‍ෂ්‍යාව සහ ඉන් මතුවූ අනාරක්‍ෂීභාවය නිසා මාව කපා දමන ලද බව මහාචාර්‍ය කුසුමා කරුණාරත්න  කීවාය​. එය සත්‍යක් බව මට තේරුනේ ඔවුන් මාව කපා දමා උපාධියක් වත් නොතිබූ මර්වින් ප්‍රනාන්දු පියතුමාගේ පොත්ගුල භාරකරු මෙම පාඨමාලාවට තෝරාගෙන තිබූ බව දැනගත් විටදීය​. 

පසු කාලයක සරත් විජේසූරියගේ මගේ නඩුව ඉවරයි පොත කියවන විට කොලඹ සරසවියේ තිබෙන මාෆියා සබඳතා සහ හුදු ඉරිසියාව  සහ අනාරක්‍ෂීභාවය නිසා දක්‍ෂයන් කපා දමා එතරම් දස්කම් පෙන්විය නොහැකි මධ්‍යමාන පුද්ගලයන්ට තැන දෙන බව මට තේරුම් ගියේය​. මධ්‍යමාන පුද්ගලයන්ට තැන දෙන්නේ ඔවුන් ගෙන් අනාගතයේ තර්ජනයක් නොමැති නිසාය​. එහෙත් මෙවැනි ක්‍රියාවන් නිසා කොලඹ විශ්ව විද්‍යාලය ආසියාවේ විශ්ව විද්‍යාල අතරින් අන්තිම තැන නියෝජනය කරන බව මොවුන් නොදන්නවා විය හැක​. 

මෙම සිදුවීමෙන් පසු  තවත් වසර ගනනකට පසුව ආචාර්‍ය ගැමිලා සමරසිංහ මාව කොලඹ විශ්ව විද්‍යාලය මගින්  පවත්වන උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවෙන් කපා දැමූ තවත් මූලික හේතුවක් මට අහම්බයෙන් මෙන් දැන ගැනීමට හැකි විය​. එය මට කීවේ කොතලාවල විශ්ව විද්‍යාලයේ එම් එස් සී අධ්‍යනයන්  කරන ලද ශ්‍රී ලංකා ඉන්ජිනේරු බලකායේ ලුතිනන් කර්නල් වරයෙකි. ඔහු කියූ අන්දමට ආචාර්‍ය ගැමිලා සමරසිංහ කොතලාවල විශ්ව විද්‍යාලයේ යුද හමුදා නිලධාරීන්ට දේශන පවත්වා තිබේ. ඇය කොතලාවල විශ්ව විද්‍යාලට පවසා තිබෙන්නේ ඇය ප්‍රන්සයේ තම ආචාර්‍ය උපාධියට කොම්බැට් සයිකෝලොජි  හෙවත් සංග්‍රාමික මනෝ විද්‍යාවද හදාරා තිබෙන බවය​. එහෙත් එය බොරුවකි. ඇය සංග්‍රාමික මනෝ විද්‍යාව හදාරා නැත​. සංග්‍රාමික මනෝ විද්‍යාව යුද හමුදා සොල්දාදුවන් ආශ්‍රයෙන් ප්‍රායෝගිකව ඉගෙන ගෙන තිබූ සහ යුද ආතතිය සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව ගැන පත්‍රිකා ලියන ලද මාව ඇය දුටුවේ අනාගත තර්ජනයක් ලෙසටය​. එම නිසා ඇය මාව කටුගා දැමුවාය​. 

ගැමිලා සමරසිංහට මාව කටුගා දැමිය හැකි වූවද මාව විනාශ කර දැමීමට නොහැකි වූවාය​.  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිලිබඳ මා විසින්  ලියන ලද පරියේෂණ පත්‍රිකා ඇමරිකානු යුද හමුදාවේ ක්ලමථ පරියේෂණ අංශයන් විසින් ඔවුන් ගේ ජර්නල වල පළ කරන ලදි. යුද ආතතිය ගැන දේශනා පැවැත්වීමට මට ඇමරිකානු Veteran Administration එකෙන් ආරාධනා ලැබ කැන්සාස් සහ ෆිලඩෙල්ෆියාවේ වෙතරානු රෝහල් වලට ගොස් මම දේශන පැවැත්වූයෙමි. ජෙනරාල් ඩෙනිස් පෙරේරා ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද Defense Review කමිටුවට මාව තෝරා ගන්නා ලදි. එහෙත් ප්‍රන්සයේ  කොම්බැට් සයිකෝලොජි හෙවත් සංග්‍රාමික මනෝ විද්‍යාවද හදාරා තිබෙන බව කියූ තැනැත්තිය මේවා දෙස කොළ පැහැති ඇස් වලින් බලා සිටියාය​. 

එපමනක් නොවේ වරක් මනෝ විද්‍යා සැසියකට ලන්ඩන් හි කිංස් විද්‍යාලයේ මනෝ විද්‍යාඥ පද්මාල් ද සිල්වා විසින් මට කරන ලද ආරාධනයක් අනුව මම එය​ට සහභාගී වූයෙමි. එම සැසිය​ට  ආචාර්‍ය ගැමිලාද පැමිණ සිටි අතර මා දැකීමෙන් ඇය තැති ගත්තා පමණක් නොව වරදකාරී බව නිසා මගේ ඇස් දෙක මඟ හැරීමටද උත්සහ කලාය​. මට ඇයගේ හැසිරීම අධ්‍යනය කරනු අවශ්‍ය විය. මම කූල් එකේ ඇය වෙත ගොස් ඒ කාලයේ පිටවූ මගේ කෘතියක පිටපතක් ද දුන්නෙමි. මට කතා කිරීමට දිරියක් ඇයට නොවූවාය.

දෛවය මිනිසුන්ට සලකන්නේ අමුතු අන්දමටය​. දෛවය එක් දොරක් වසන විට තව දොරක් අරියි. හුදු ඉරිසියාව සහ කුහක භාවය නිසා කොලඹ විශ්ව විද්‍යාලය මට  දොර වැසූ නමුත් ඉන් වසර කීපයකට පසුව   ඉතා ඉහල ශ්‍රේණිගත අගයක් දැරූ උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක් මනෝ විද්‍යාව අධ්‍යනය කිරීම සඳහා මට දොර ඇරියේය​. එසේම ලෝකයේ හොඳව විශ්ව විද්‍යාලය වන හාවර්ඩ් විශ්ව විද්‍යාලය 2016 වසරේදී  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව පිලිබඳව දේශනයක් පැවැත්වීම සඳහා මට ආරාධනා කරන ලදි. 

ගැමිලා සමරසිංහ කෙරෙහි මට තරහක් නැත​. මම ඇයට අනේකවාරයක් ඉස්තූතිවන්ත වෙමි. ඒ මන්ද යත් මනෝ විද්‍යාව විෂය ගැඹුරින් ඉගෙන ගැනීමට අවශ්‍ය අභිප්‍රේරණය ඇය මට සැපයීම නිසාය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

One Response to “අධ්‍යාපනයට ගැසීම”

  1. Senevirath Says:

    උගත් කම බුද්ධිමත් කමට වෙනස් .ඒ දෙකම ප්‍රඥාවට වෙනස් .මිනිස් කමක් වත් නැති උගත්තුද ඇත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress