මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තරකරණය කිරීම…
Posted on April 7th, 2017

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

මෙරට ජාතික ආරක්‍ෂාවට විදේශිකයන් ඉතා බරපතළ ලෙසින් මැදිහත් වී ඇත. හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්‌ කරමින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා හමුදාවේ ඇජුටන්ට්‌ ජෙනරාල් ලෙස පත්කර ඇති බවට පැමිණිල්ලක්‌ කර ඇත.

මේ අන්දමට ඇය ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව යන රටවල ආරක්‍ෂක කටයුතුවලට මැදිහත් වන්නේද? යස්‌මින් සුකාගේ මෙම ඉල්ලීම පිළිබඳව විමර්ශනය කරන විට හෙළිවන්නේ ඇයට තොරතුරු සපයන ද්‍රෝහියකු සිටින බවයි. මේ ද්‍රෝහියා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී සුකා සමග එක්‌ව කටයුතු කළේය.

එහෙත් රජය මේ සතුරා හඳුනාගෙන නැත. ප්‍රභාකරන් වෙනුවෙන් හඬ නැගූ පාර්ශ්ව දැන් යළි එළියට පැමිණ ඇත. ඔවුහු ප්‍රසිද්ධියේම හමුදාවට එරෙහිව ක්‍රියා කරති.

ඊට හේතුව මානව හිමිකම් කොමසාරිස්‌ නමැති ජෝර්දාන් ජාතිකයාගේ අඳබාල ක්‍රියාදාමයයි. ජෝර්දානයේ හුසේන් රජු ක්‍රියාදාමයන් තම සැත්තැම්බර් කල්ලිය මර්දනය කළේ ඉතා බිහිසුණු ලෙසිනි. එදා සෙයිද් රාද් හුසේන් වැන්න වුන් මානව හිමිකම් ගැන හඬ නැගුවේ නැත.

ඇෆ්ගන් සිවිල් වැසියන් මෙන් ම ඉරාක සිවිල් වැසියන් ඝාතනය වන අවස්‌ථාවේ සෙයිද් රාද් නිහඬවිය.

බ්‍රිතාන්‍යයේ චිල්කොට්‌ වාර්තාවෙන් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්ට යුද අපරාධ චෝදනා එල්ල විය.

එහෙත් සෙයිද් රාද් අද වන තුරු චිල්කොට්‌ වාර්තාව හෝ ඉරාකයේ මානව හිමිකම් ගැන හඬනගා නැත. එසේ වුවත් ඔහු හඬ නගන්නේ ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය මර්දනය කිරීම ගැනය. මේ මානව හිමිකම් කොමසාරිස්‌ට කේලම් කීමට මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ සිටිති. ඔවුන් නිරතුරුවම ජිනීවා ගොස්‌ මානව හිමිකම් රැකවළුන්ට පහර දෙනවා, පැහැරගෙන යන්න උත්සාහ කරනවෝ යෑයි මානව හිමිකම් කොමසාරිස්‌ට පැමිණිලි කරයි. ඔහුද ඒ බව විශ්වාස කර එම සිදුවීම් සිය වාර්තාවට ඇතුළත් කර ඇත.

මෙය මුළුමනින්ම තක්‌කඩි ක්‍රියාවකි.

එම තත්ත්වය මැද ඊශ්‍රායලයට එරෙහිව ක්‍රියාකිරීම ගැන ඇමරිකාවෙන් මානව හිමිකම් කොමසාරිස්‌ව විවේචනයට ලක්‌විය. මානව හිමිකම් කවුන්සිලයට ලැබෙන අරමුදල් නතර කරන බවද ඇමරිකාව තර්ජනය කරනු ලැබීය.

එහෙත් ලංකාවට එල්ලවන සාවද්‍ය චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීමට මෙරට යාන්ත්‍රණය කටයුතු කර නොමැත.

ද්‍රවිඩයන් ලක්‍ෂ 3 ක්‌ මරලා යෑයි කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලයේ හඬ නගද්දී ශ්‍රී ලංකාව නිහඬ වී සිටියේය. මෙය කනගාටුදායක තත්ත්වයකි.

රජයේ සංහිඳියා වාර්තාව ජිනීවා ගෙන ගොස්‌ පාක්‍යසෝතිලා ජාත්‍යන්තරකරණය කරද්දී රජය බලා සිටියේය.

එම අවස්‌ථාවේ දී රජය කටයුතු කළේ ගොළුවන් මෙනි. මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට රජය හිස නමා තිබේද යන්නයි.

2009 සිටම මේ එන්.ජී.ඕ. කල්ලිය රටට සතුරු විය. එය නතර කර නැත. මේ කල්ලියට අරමුදල් සපයන රටවල් ගැන සෙවීමට පවා රජය උනන්දුවක්‌ නැත. එහෙත් අපේ අසල්වැසි රට වූ ඉන්දියාව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගෙන ඇත.

රාජ්‍ය නොවන සංවිධානවල සිටින්නේ ජනතාව ප්‍රතික්‍ෂේප කළ පිරිසකි. මොවුන්ගේ එකම රැකියාව මානව හිමිකම් කර්මාන්තයයි. එය ලාභදායී රැකියාවකි.

මේ පසුබිම මැද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හමුදාවේ ඉහළ ධුරයකට පත්කිරීම ගැන ඇමරිකාවේ සිටින කොටි කොන්ත්‍රාත්කරුවකු වූ මැතිව් රසල් නමැත්තා.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කර ඇත. මෙවන් පැමිණිලිවලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව විදේශ රටවල්වලට අවශ්‍ය ලෙස ජාත්‍යන්තරකරණය වී ඇති බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාත්‍යන්තර විනිසුරුවන් ප්‍රතික්‌ෂේප කිරීමේ සිද්ධිය ද එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත පැමිණිලි කිරීමෙන් දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකරන අයුරු පැහැදිලිs වේ.

ඊට හොඳම නිදසුන හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා 7 ක්‌ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමයි.

කීර්ති වර්ණකුලසූරිය

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress