හරි පාරෙන් එන්න
Posted on April 7th, 2017

උපුටාගැණීම  මව්බිම

“අපි ආණ්ඩුව මේ වසරේ පෙරළනවා. බැරි වුණොත් ලබන වසරේ අනිවාර්යයෙන් පෙරළනවා. ඡන්දය එන්න ඕනෑනේ. කොහොම වුණත් තව වෙසක් පෝය දෙකයි. දැනටමත් වසර තුනක් ඉවරයිනේ. මේ අය ආණ්ඩුව ගත්තාම කාලයත් ඉක්මනට යනවා. මම හිතන්නේ නෝනා ඔරලෝසුව කරකවනවාද කොහෙද? “
හිටපු ජනාධිපති මහින්ද එහෙම කීවේ සතියකට විතර පෙරය. එහෙම බැලුවොත් ආණ්ඩුව තියෙන්නේ තව ටික දවසක් විතරය.
හැබැයි එහෙම කියා දවස් දෙකක් යන්න කලින් රනිල් මහින්දට උත්තර දුන්නේය.
“දැන් කියනවා පෝය දෙකක් යන්න කලින් ආණ්ඩුව ගන්නවලු. පෝය දෙකක් යන්න කලින් රජයේ සංවර්ධන වැඩසටහනේ මූලික ප්‍රතිඵල ලැබෙන විට මහින්ද රාජපක්ෂ මහතාට සිදු වෙන්නේ අඬන්න” රනිල් උත්තර දුන්නේ එහෙමය.

“රනිල් වික්‍රමසිංහ බලයට පත් කළේ පළාත් පාලනයේ හිටපු අපි. අපි තමයි බිම් මට්ටමේ ඉඳලා සහාය දුන්නේ. දැන් කතා කරනවා මැයි රැලියට මිනිස්සු එකතු කරන්න. මම නම් යන්නෙත් නැහැ. මිනිස්සු යවන්නෙත් නැහැ. රනිල්ට අගමැතිකම හම්බ වුණේ පාක්ෂිකයන් හින්දා. රනිල් හැමදාම කෙළවා ගන්නවා. අගමැතිකම දෙපාරක් අරන් දුන්නා. හැමදාම දින සීයයි.
මෙහෙම කියන්නේ ඩල්ජිත් අලුවිහාරේය.

ප්‍රකාශ දෙකම ආණ්ඩුවට අභියෝග කරන තාලයේ ඒවා වුණාට සැලකිල්ලට ගන්නට තියෙන්නේ මහින්දගේ ප්‍රකාශයට වඩා අලුවිහාරේගේ ප්‍රකාශයයි.
මහින්ද කොහොමත් ඔය වගේ ප්‍රකාශ කරන්නේය. ඒක බලාපොරාත්තු විය යුත්තක්. එහෙත් ඒ කතා ගණන් ගත යුතු නැත්තේ ඒවා ප්‍රායෝගික නැති බව පොඩි එකෙකුට වුණත් තේරෙන හින්දාය.
ඒත් “රනිල් හැමදාම කෙළවාගත්තා” කියා කියන්නේ ආණ්ඩුවේම ඉන්න අලුවිහාරේය. ඒක බලාපොරොත්තු නොවිය යුත්තක්. එහෙම බැලුවම ආණ්ඩුවට එල්ල වී තිබෙන්නේ අනපේක්ෂිත ප්‍රහාරයක්.

අලුවිහාරේලා මාතලේ “බර අලි ය”. ඒක අමුතුවෙන් කියන්නට දෙයක් නැත. එහෙව් අලුවිහාරේ “ආණ්ඩුවේ හැදෙන්නට ඕන දේ ගැන ‘සැරට” කියයි. ඒ සැර නොසලකා හරිනවා නම් තත්ත්වය සැහැල්ලු නැත.

ආණ්ඩුවට දැන් වසර තුනක්ය. හරියටම බැලුවොත් ආයු කාලය බාගෙකට වඩා ගෙවී ගොස්ය. පරීක්ෂණ කාලය හමාරය. කොටින්ම ඉන්ටවල් ඉවරය. මිනිස්සු අහන්නේ මොනවද කළේ කියලාය. මුල් අවුරුදු දෙකේ එහෙම අහපු එක වරදක්ය. ඒ වෙනකොට තිබුණේ හැම අතින්ම වල්වැදී ගිහින් තිබූ රටක්ය. එකල යුද්ධය දිනූ ආස්්වාදයත්, අධික විදමක් දරා ඉදිකළ මහාමාර්ගත් හැර වෙච්ච ලොකු දෙයක් නැත. ඉතින් යහපාලන ආණ්ඩුව බාර ගත්තේ එහෙම “සෝදා පාළු වූ” ආලාපාලු රටක්ය. හැබැයි දැන් අවුරුදු තුනක් ඉවරය. අඩුතරමේ රට ආලාපාළු කරන්න සම්බන්ධ යැයි කියපු කාටවත් එරෙහිව පරීක්ෂණයක් කරලා ඇති බවක් පේන්නට නැත. ඒ දවස්වල හෙලුවෙන් සිටි හොරු දැන් හෙමින් සැරේ රෙදි ඇඳගෙනය. ඒ මදිවට ඒ හොරු මේ ආණ්ඩුවේ “හොරුන්ට” ඇඟිල්ල දික් කරති. මිනිස්සු හිතන්නේ ඒ කාලේ “හොරු හොරු” යැයි කීවේ බොරුවට වෙන්න ඇති කියාය.

“මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට මතක ඇති දවසක පැමිණිල්ලක් ඇවිත් නැහැ. අලුත් පැමිණිලි නවතින්න හේතුව අලුත් පැමිණිලි අයිති ආණ්ඩුවේ මහත්වරුන්ට නිසා. එදා වගේම අදත් මේ අය නීතියට බලපෑම් කරනවා. ඒ විතරක් නෙවෙයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ආපු පැමිණිලි 100කට වැඩියෙන් ඉවත් කරලා”
මෙහෙම කියන්නේ අනුර කුමාර දිසානායකය. කතාව ඇත්ත නම් ඒක ලොකු ප්‍රශ්නයක්ය.
“කෝ අල්ලනවා කීව හොරු? කෝ දෙනවා කීව සහන? කෝ තියෙනවා කීව රත්තරන් අශ්වයෝ? කෝ මිනී මැරුවා කීව මිනීමරුවෝ?”
මේවා අහන්නේ මිනිස්සුය.

“මොනවද කළේ?” කියලා මිනිස්සු දැන් අහන එක සාධාරණය.
මොනවද කළේ කියලා මිනිස්සු අහන කොට කරපු දේ ගැන කියන්නට ආණ්ඩුවට උත්තර තිබිය යුතුය.
“අපි මොනවද කළේ” කියා තනි තනිව කල්පනා කළොත් ඇමැතිවරුන් බොහොමයකට එන්නේ “අලුවිහාරේ” කීව වර්ගයේ උත්තරය. ඕක ආණ්ඩුව තේරුම් ගන්නට ඕනෑය. ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතයක් හැරුණුකොට සංවර්ධනයක ලකුණක් තාමත් හරි හැටි පේන්නට නැත. මේ ආණ්ඩුව එනකොට කීවේ 77 ජේ. ආර්.ගේ ආණ්ඩුව කළාට වඩා යෝධ සංවර්ධනයක් කරන බවය.

එදා ජේ. ආර්. බලය ගන්න විට තිබුණේ ඇවිදින ඇටසැකිලි මට්ටමේ මිනිස්සු ඉන්න රටක්ය. ඔහු එය මුල් අවුරුදු කිහිපයේදීම කණපිට පෙරළා දැම්මේය. වැරැදි නොතිබුණා නොවේ. එහෙත් අත කට පිරෙන රටක් හැදුණු බව ඇත්තය. මහවැලිය වැනි යෝධ ව්‍යාපෘති ආරම්භ කළ අතර විවෘත ආර්ථිකය හඳුන්වා දෙමින් ආර්ථික ලෝකයට රට විවෘත කළේය.

යහපාලනයේදී පක්ෂ දෙකම එකතු වී පෙර නොවූ විරූ ජයග්‍රහණ රැසක් රටට ලබා දෙන බවට නායකයෝ පොරොන්දු වූහ. එහෙත් තාමත් හරිහමන් වැඩක් වෙලා නැති බව කියන්නේ මිනිස්සුය. ඒ විතරක් නෙවේ ඇමැතිවරුද එහෙම කියන්නේය. ආණ්ඩුව වරද්දාගත් තැන් ගැන දැන්ම තියා “ස්වයං විවේචනයක යෙදෙමින්” නිවැරැදි පරීක්ෂණයක් කරගත යුතුය. එතකොට ඉදිරි වසර දෙකේදී හෝ හරි පාරට වැටෙනු ඇත. දැන් පිළිගත්තත් නැතත් මේ ආණ්ඩුව හදන්නට “බරසාර වැඩ” කොටසක් කළ පිරිසක් සිටියේය. අද ඒ අය ඉන්නේ එක්කෝ විරසකවය. නැත්නම් උත්තර දෙන්නට විදියක් නැතිව නිහඬ වෙලාය. සමහර ඇමැතිවරු මාධ්‍යයට උත්තර දෙන්නේත් “උද්ධච්ච” විදියටය. ඕක උග්‍ර විදියට ඒ දවස්වල “කෙහෙලියලාට” තිබුණේය. මාධ්‍යවේදියකුට ප්‍රහාරයක් එල්ල වුණොත් තමන්ට කළ හැක්කේ “තැඹිලි ගෙඩියකුත් අරන් බලන්නට යෑම විතරයි” කියා එදා කෙහෙලිය නක්කලේට කීවේය. අන්තිමට වුණේ කෙහෙලියලාගේ ආණ්ඩුවටම ගෙදර ගිහින් “තැඹිලි බොන්න” වෙච්ච එකය. මහින්ද වටේ අදත් ඉන්නේ එහෙම “හෙංචයියන්” රංචුවක් බව මිනිස්සු නොදන්නවා නොවේ.

මේ තියෙන්නේ ආණ්ඩුවට තීරණාත්මක වසර දෙකක්ය. දැන් දැන්ම ආණ්ඩුව හදන්නට උරදුන්න අය ගැන ආණ්ඩුව හිතනවා නම් හොඳය.
“අපිට ගමට යන්න බැහැ. පාක්ෂිකයෝ බනිනවා. අපි මොනවද ඒ මිනිසුන්ට කියන්නේ” මේ අලුවිහාරේගේ කටින් කියවුණාට ආණ්ඩුවේ හැම ඇමැති කෙනෙක්ම වාගේ කියන්න බැරිකමට නොකියා ඉන්නේත්් ඒ කතාවමය.
යූ. එන්. පීය අවුරුදු විස්සකට කිට්ටු කාලයක් විපක්ෂයේ ඉන්න කොට ඒක ආණ්ඩුවක් බවට පෙරළන්න කට්ට කෑව පිරිසක් හිටිය බව ලොකු අය මතක තියා ගැනීම හොඳය.

අද අමතක වුණාට තිස්ස අත්තනායක පවා හිටියේ “යූ. එන්. පිය” විපක්ෂයෙන් ආණ්ඩුවට ගේන්න කට්ටක් කමින්ය. ඒ දවස්වල වීදි සටන්වලදී තිස්ස කළේ එසේ මෙසේ වැඩ කොටසක් නොවන බව පාක්ෂිකයෝ පවා දනිති. “හිතේ අමාරුවට” ඉකුත් ජනාධිපතිවරණයේදී පිල් මාරු තීන්දුවක් ගත්තාට ඔහු උපන්ගෙයි යූ.එන්. පී. කාරයෙක්ය. දුෂ්කරම කාලයේ පක්ෂය එක්ක හිටිය මිනිහෙක්ය. නායකයා රකින්න බෙල්ල දුන්න මිනිහෙක්ය. ඡන්දයක සේයාව දැනගෙන කොළ බළකායක් හදා කොළඹට ගෙන්වා මොරාල් අප් කොට ගම් මට්ටමේ බළමුළු එක් කළ මිනිහෙක් ය. මහින්දට සහාය දෙන්න ගිය තිස්ස නාවලපිටියේ සන්ධාන රැලිය ඇමතුව වෙලාවේ අපූරු වැඩක් වුණේය.

“මිත්‍රවරුනි, මට හොඳටම විශ්වාසයි එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ ඡන්දය පරදිනවා.
සන්ධාන වේදිකාවකදීත් වැරදිලා හරි තිස්ස කීවේ හිතේ තිබ්බ එකය. හිතෙන් තිස්ස යූ.එන්.පීය. අද තිස්ස එළියේ ඉන්න කොට ඒ දවස්වල මෛත්‍රිටයි රනිල්ටයි “කුඩු වෙන්න” ගහපු අය දැන් කැබිනට් එකේය. ඒ මදිවට රැස්වීම්වල තාමත් අවසර ගන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අවසරයි කියලාය. ඒ අයත් කැබිනට් එකේය. ආණ්ඩුව පෙරළෙන රැල්ල පටන් ගත්තේ ජනාධිපතිවරණයෙන්ය. දැන් ගොඩ ගිහින් තියෙන්නේ “රැල්ලේදී” හැංගිලා ඉඳලා පස්සේ පැත්ත මාරු කරපු අයය. ආණ්ඩුව පවතින්නේ පාක්ෂිකයන් නිසා බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.

“යූඑන්පිය රටට වැඩ කළා නම් ඇයි මාධ්‍යට කියන්න බැරි. පාර්ලිමේන්තුවේ 225 පාර්ලිමේන්තුවට ගිහිල්ලා හොඳට කාලා බීලා එළියට ඇවිත් පට්ටපල් බොරු කියන්නේ. පන්සිල් පද කඩන මිනිස්සු ඉන්නේ පාර්ලිමේන්තුවේ. අද පක්ෂයේ කොට ඇදපු අලින්ට තැනක් නැහැ. අලුතින් ගත්ත අලි ටික වැඩකාරයෝ වෙලා”
ආණ්ඩුව “හරි මඟ” යන්න හිතනවා නම් අලුවිහාරේ කියන මේ කතාව හිතට ගන්න එක හොඳයි.
2020දීත් ආපහු 2015 ජනවාරි 8 වගේ දවසක් එන බව මතක තියා ගැනීම වටින්නේය. අරාජිකව තිබූ රටක් යහපාලනයෙන්් සුරක්ෂිත වෙතැයි සිතූ ලක්ෂ ගාණක් මිනිසුන්ගේ “හීන” දවල් හීන වෙන්න ඉඩ නොදීම ආණ්ඩුවේ වගකීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress