එකම රටක් එකම නායකයෙක්
Posted on April 16th, 2017

උපුටාගැණීම  මව්බිම

‘අවුරුද්ද කොහොමද? හොඳද? කියලා ජනතාවගෙන් ඇහුවොත් ඒකට උත්තරයක් නොදී මුහුණ බෙරි කරගෙන යනවා සිකුරුය. ඒ නිශ්ශබ්දතාවය හරිම හැඟුම්බරය. එය වේදනාවත්, පසුතැවිල්ලත්, කෝපයත් අතර දෝලනය වන්නකි.
‘ඇයි යහපාලනයෙන් සෙතක් වුණේ නැද්ද? රට පුරා කම්හල් ඉදිවුණේ නැද්ද? ලක්ෂ ගණන් රස්සා ඇති වුණේ නැද්ද? පුංචි පවුලකට පුංචි කාර් එකක් ගන්න ලැබුණේ නැද්ද?’

කවුරු හරි අවුරුද්ද ගැන ඔය විදියට කාගෙන් හරි ඇහුවෝතින් අහපු කෙනාට වෙන හරිය නම් හිතාගන්නට පුළුවන. ඒ තරමටම යහපාලනය මල් හතය. නැත්නම් ඊටත් වැඩිය. ඒ නිසා අවුරුද්ද ගැන ජනතාව හිතන පතන හැටි ජවිපෙ සමන්ත විද්‍යාරත්න පසුගියදා සති අන්ත ඉරිදා පුවත්පතකට සාකච්ඡාවක් දෙමින් පළ කළ අදහසක් දැක්වීම වටින්නේය.

‘ජනතාව කන කර ආභරණ පවා උකස් කරලා සල්ලි හොයාගෙන අවුරුදු සමරනවා. මේක සැහැල්ලුවෙන් හිතේ නිදහසින් සමරන අවුරුද්දක් නෙවෙයි.’
එහෙම නම් ජනතාව හිතේ ගින්දරෙන්ය. කලකිරීමෙන්ය. බලාපොරොත්තු කඩවීමෙන්ය. ජනතාවගේ ආහාර අවශ්‍යතා ප්‍රමුඛය. රට කරවන්නේ කවුරු වුණත් එය මූලිකය. ඒ දේවල් පාලකයන්ට කරගන්නට බැරි නම් ඒ අය පාලකයන්ට වඩා වාචාලයන්ම පමණක් යැයි ජනතාව සිතන්නේය.
‘නියඟයත් ජනතාවට බලපෑවා. ගොවියා අසරණ වුණා. අතමිට සරුවීම බාල වුණා. අවුරුද්ද සරු වුණේ නැත්තේ ඒකයි.’
යහපාලකයන් එසේ කියන්නට පුළුවන්. එහෙත් පාලකයන්ට නියඟයක් නොව ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්නට සැලැස්මක් තිබිය යුතුය. ඉතිහාසයේ පවුලක් හැටියට වුණත් ජනතාවට එහෙම සූදානමක් තිබුණේය. ඒ නමුත් යහපාලකයන් එහෙම ගැටලුවක්වත් කළමනාකරණය කරගන්නට පුළුවන් අය නොවේය කියා ජනතාවට තේරුම් ගොස් හමාරය.

‘ඔක්කොම කුණු බෙංගාල බොක්කට’ ය කියන්නාක් මෙන් මහින්දට බැටදිදී මහින්දගේ පාලනය හොඳ නැතැයි කියන යහපාලකයන් එයින් කියාපාන්නේ.
‘මහින්දට බෑ. අපි තමයි සුපිරි ආර්ථික වැඩකරුවෝ. අපිට තමයි ජාත්‍යන්තරයම ඉන්නෙ. අපි මේ ආර්ථිකය මල් හතට නග්ගනවා.” ය කියලාය.
ඒක කයිවාරුවක්ද එහෙමත් නැත්නම් ඇත්තටම වැඩකාරයන්ගේ සුපිරි කතාවක්ද කියලා ජනතාව වෙනුවෙන් අහන්නට තිබෙන්නේය.
එහෙව් තත්ත්වෙකට වැටිලා කතා කරද්දි අධ්‍යාපනය භාර අකිල විරාජ් ඇමැතිතුමා මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නෙකට අපූරු උත්තරයක් දී තිබුණේය. ප්‍රශ්නය නම් ‘රටේ බඩු මිල නැඟලා. රට පුරා අර්බුද. පොල් රු. 100ක් වෙලා’ කියලාය. ඇමැතිතුමාගේ උත්තරය මෙහෙමය.
‘ඉතින් මොකද කරන්නේ. නියඟයක් ආවා. ඇට්ටි ගෙඩියේ ඉඳලා වැටුණා. පොල් හිඟ වුණා. ඉතින් පොල් ගණන් යනවා. ඒක ස්වාභාවිකයි.” අකිල තවත් ඉස්සරහට යමින් රුපියලේ අගය අඩු කරන හැටි ගැනත් පුවත්පතකට කියා තිබුණේය.

‘මේවා දීර්ඝකාලීන ප්‍රශ්න නොවේ. රුපියලේ අගය ඉදිරියේදී අපට වරාය වෙනුවෙන් ලැබෙන මුදල් ලැබුණාම පාලනය කරගන්න පුළුවන්’
අකිල මේ කියන්නේ යහපාලකයන් ආර්ථිකය කළමනාකරණය කරගන්න හැටි ගැනය. ‘වරාය වෙනුවෙන් ලැබෙන මුදල්’ ය කියලා එතුමා කියන්නේ….
‘මහින්දට බැන බැන මහින්ද හදපු, අර හොඳ නැතෙයි ගලක් ඇතෙයි කියලා කියපු, මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය’ චීනයට විකුණලාය.
අකිල රටේ ආර්ථිකය හදන හැටි එහෙම කියද්දි ඒකාබද්ධයේ බන්දුල…
‘මහින්ද ණය අරන් රට වැට්ටුවා. ඒ නිසා ඒ ණය ගෙවාගන්න බැරිව අපිට වරාය විකුණන්න වෙනවා’ කියලා යහපාලකයන් කියන්නේ ඒ අයට විකල්ප ක්‍රමවේදයක් නැති නිසාය කියලාය. ඒකාබද්ධයේ ආර්ථික විද්වතා වූ බන්ධුල මේ ණය ගැනත් ආණ්ඩුවේ සටකපටකම් ගැනත් පසුගියදා පුවත්පතකට හොඳ කතාවක් කියා තිබුණේය. එහි තැනක මෙසේය.

‘හම්බන්තොට වරාය ගත්තොත් ඒකේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 155යි. අගමැති මේක කියන්නේ ඩොලර්වලින් ඒක සටකපටකමක් ජනතාවට කලන්තේ හැදෙන නිසා රුපියල්වලින් කියන්නේ නැහැලු. වරායේ ණය ගෙවා අවසන් කරන්න තියෙන්නේ වසර 20කින්. වාර්ෂිකව ගෙවන්න තියෙන වාරිකය ඇමෙරිකන් ඩොලර් මිලියන 90-95ත් අතර ප්‍රමාණයක්.” බන්ධුල කියන හැටියට ඒ ප්‍රමාණය රුපියල්වලින් බිලියන 13ක්ය. ඒ බිලියන 13ත් හොයාගන්න බැරිනම් අගමැතිවරයාට ආණ්ඩු කරන්න බැරි බව ලෝකෙටම ඔප්පු කර හමාරය කියලා අපටද කියන්නට සිදුවන්නේය.

මෙහෙම බැරි ආණ්ඩුවක් බලයට එද්දී 2015 තිබුණු ලෝක තත්ත්වය මේ උන්දැලා අමතක කොට කටින් නොව වෙන තැනකින් කතා කිරීමත් ජනතාවගේ පිළිකුලට බඳුන් වෙලාය. ඒ අනුව කියතොත් 2015 වෙද්දි තෙල් මිල පහත බැස තිබුණේය. එය බොරතෙල් බැරලයක මිල ඩොලර් 36කට බැසීමක්ය. ඒ වගේම රත්රන්, යකඩ, ගෑස් ආදියේද මිල වගේම ආහාරපානවලින් ඒ අනුසාරයෙන් මිල බැස්සේය. කෙටියෙන් කීවොත් උද්ධමනයද ඍණ වීමක් වූයේය. මේ වාසිසහගත තත්ත්වය නිසා ආණ්ඩුවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් එනම් රුපියල්වලින් බිලියන 600කට වඩා මුදලක් ඉතිරි වුණේය.
තත්ත්වය එසේ වී තිබුණ නිසා යහපාලකයන්ගෙන් ජනතාවට අහන්න තියෙන්නේ…
‘ඒ ඉතිරි වූ සල්ලිවලට මොකද වුණේ?’ කියලාය.

ඇත්ත කතාව නම් මේ සල්ලි ටික තිබුණා නම් හම්බන්තොට වරාය වගේ වරායවල් තුන හතරක ණය ගෙවන්න පුළුවන්කම තිබෙන්නේය. මේ පෙළ ගැසීම ආර්ථිකයට ප්‍රබලව බලපා තිබෙන නිසාම ජාත්‍යන්තර හා දේශීය වශයෙන් මේ ආණ්ඩුව ගැන තිබෙන විශ්වාසය දැන් බිඳ වැටී තිබෙන්නේය.
මේ නිසා විදේශීය ආයෝජකයන් රජයේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළ මුදල් නැවත තම තමන්ගේ රටවලට රැගෙන ගොස් ඇත. එයට සමාන්තරව දේශීය අයෝජකයන්ද රට තුළ ආයෝජනය කරන්න මැළිවන වාතාවරණයද වැඩිය.
මේ අතර වැඩි වන බඩු මිලත් ජීවත්වීමට අමාරුවන පසුබිමත් බරපතළය. කරපු කයිවාරුවේ තරමට වැඩ නැති වීම හොඳින් පැහැදිලි වන නිසා ජනතාවට මේ අවුරුද්ද හතේ හත වැදිච්ච කමකට නැති අවුරුද්දක්ය.

රවුෆ් හකීම් කියන හැටියට ජල ගාස්තු වැඩි නොකර ජලසම්පත් මණ්ඩලය ගෙනයන්නට බැරිය. එහි ප්‍රතිඵලය අවුරුද්දෙන් පස්සේ ජල බිල්පතත් වැඩිවෙන එකය. ආණ්ඩුවේම ඉන්න, මෛත්‍රිගේ කණ්ඩායමේ ප්‍රබලයෙක් වෙලා කතා කරන මහ ඇමැති ඉසුර කියන විදියට ‘බඩු මිල අඩු කරන්න ආණ්ඩුවට වුවමනාවක් නෑ’ය. ඒකට උත්තර දුන්නු ඒකාබද්ධයේ රෝහිත අබේගුණවර්ධන කීවේ,

‘අවුරුද්දේ කන්න වෙන්නේ දෙයියන්ගේ හාලුයි එලෝ පොලුයි’ කියලාය. ඒ කියන්නේ ජනතාවට දැනට එලොව පොල් පෙනෙන නිසාය.
ප්‍රශ්නය යට ගසමින්, වෙනත් විකාර කතා කියමින්, ජනතාව රවට්ටමින් යහපාලකයන් ඉබාගාතේය. වැඩිවන ජනතා විරෝධය මැඬ පවත්වන්නට ඇස්බැන්දුම් පෙන්වමින්ය. රවි කොළඹ වීථි පුරා ඇවිදිමින් කඩකාමරවලට එබෙමින් හාල් ගෝනි අතගාමින්ය.

‘කියන තරම් බඩුමිල වැඩි නෑ.’ කියා රඟපෑමක් පාන්නේ ඒ නිසාය. මෛත්‍රි එක කතාවක් කියද්දි රනිල් ඊට වෙනස් කතාවක් කියන අපබ්‍රංස මේ ආණ්ඩුව කරවන්නේ ඇත්තටම කවුදැයි ජනතාවටත් ප්‍රශ්නයකි. ඒක හොඳින් දන්නා මහින්ද මේ ප්‍රශ්නය ජනතාව හමුවේ තැබුවේය.

‘අද තියෙන ප්‍රශ්නය කවුද මේ රට පාලනය කරන්නේ කියන එකයි’
පාලනයක් නැති, කොන්ද කෙළින් තියාගෙන තීන්දු තීරණ ගන්නෙ නැති යහපාලකයන්ට ඡන්ද තියන්න බය ඒ නිසාය. ඒ වගත් මහින්ද මතක් කළේය.
‘මම යන යන තැන්වලට මෙහෙම ජනතාව රැස්වෙලා ඉන්නවා දැක්කාම ආණ්ඩුව ඡන්දය තව තවත් කල් හිතාවි”
ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න. ජනතාව මේ පීඩනයෙන් මුදාගන්න මීට වඩා පිම්මක් පනින්න සූදානම් විය යුතු බව මහින්ද දන්නේය.

ඒ නිසාම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පෙරළා දමපු ගෞරවය බෙදාගන්න ඇමෙරිකාවයි, එංගලන්තයයි පොරකද්දි ඒ බව ජනතාවට දැන් තේරෙන්නේය. ජනතාව දැනුවත් කරලා, ජනතාවගේ බලාපොරොත්තු මල්පල ගන්වමින්, මහින්දට අලුත් අවුරුද්දේ කරන්න තියෙන මෙහෙවර විශාලය. පනින්න තියෙන පිම්ම ටිකක් අමාරුය. හැබැයි ජනතාව නම් දැන් ඉන්නේ මේ ඕන පිම්මක් පනින්න සූදානමින්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress