පන්සලේ ඉතිහාස කතාවෙන්
Posted on April 17th, 2017

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

කාඩිනල්තුමා හා පන්සල

සෑම දෙයකම අනිත්‍යභාවය හා වෙනස්වන සුළු ස්වභාවය බුදු දහමින් අපට පෙන්වා දෙයි. පසේනදී කොසොල් රජතුමා දුටු සීන දාසැය ඇස්කණා පිට සැබෑවෙමින් ඇති මෙවැනි අවධියක ලංකාවේ පන්සල්වල මෑත ඉතිහාසය පිළිඹඳ විමසා බැලීම කාලෝචිත වන්නේ ඉන් අපට ඉගෙනගත හැකි පාඩම් නිසාය. බොහෝ සිද්ධි චක්‍රාකාර බවක්ද පෙන්වයි. උදාහරණයක් වශයෙන් ලංකා කතෝලික සභාවේ කාඩිනල්තුමා විසින් මෑතදී කල ප්‍රකාශ දෙක ගැන සිතන්න. මේ රට ගොඩනැඟී ඇත්තේ සිංහල බෞද්ධ පදනම මත බව රටේ අනිත් ජන කොටස් විසින් වටහා ගතයුතු බවත්, අයුතු හා අශීලාචාර ලෙස සිදුවන ක්‍රිස්තියානී මූලධර්‍මවාදී අන්‍යාගමීකරණය නතරකල යුතුබවත් එතුමා කියා සිටියේය (මෙවැනි එක් මූලධර්‍ම එවැන්ජලිකල් ව්‍යාපාරයක් මෙහෙයවන්නේ වත්මන් ආණ්ඩුවේ උප ඇමති හා පක්‍ෂ භාන්ඩාගාරික වරයාය).

මෙය යුරෝපයෙන් එන්ජිිෝ හරහා එන බහු ජාතික, ඉන්ටර්ෆේත් යනාදී ලණු ගිල සිටින මේ රටේ නිල්, කොළ හා රතු පිරිත්නූල් කළු සුද්දන්ව අන්දමන්ද කල ප්‍රකාශයක් බව නිසැකය. එසේ වුවත් 2017 වෙසක් උත්සවය වෙනුවෙන් පත්තරවල දැන් පලවන රජයේ දැන්වීම්වල වටේ රාමුවේ අන්‍යාගම්වල ලාංචන ඇතුලත් කරන්නේ කවුද කුමක් නිසාද යන්න උභතෝකෝටික ප්‍රශ්නයක් නොවේද? මෙහි පහතින් ඇති සිතියමින් පෙන්වන්නේ ඩොලර් බිලියන් ගණන් ඇති ලෝක ක්‍රිස්තු සංවිධාන මඟින් හවුලේ ගෙනයන 10-40 ජනේලය යනුවෙන් නම්කර ඇති (උතුරු අක්‍ෂාංශක 10-40 අතර) ලෝකයේ ක්‍රිස්තියානි කිරීමට ප්ලෑන්කර (ටාගට්කර) ඇති කලාපයය.

1505 දී පෘතුගීසින් මෙම දිවයිනට සේන්දුවූ වර්‌ෂයේ සිට කාඩිනල්තුමා විසින් මේ ප්‍රකාශය කල 2017 දක්වා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය රැකබලාගත්ගේ මේ රටේ පන්සල් විසින් ය. ඓතිහාසිකව මේ පන්සලේ දොර පල්ලිවලට හා මිනිස් බැටළුවන් සොයා ඈත ගම් සිසාරා ගිය පූජකයින්ටද හැම විටම විවෘතව තිබුණේය. රෑට නතරවීමට පන්සලට එන මෙවැනි ආගන්තුකයින්ට, තමන් රෑට නිරාහාරව සිටියදීත්, රෑ කෑමත් පිසදුන් වෙනත් ආගමක් ලෝකයේ තිබුණාද? එහෙත් ඒ සමගම මේ පන්සල් වලට බෞද්ධ අවිහිංසා ධර්‍මයට යටත්‌ව, සුද්දන් හා කළු සුද්දන් සමඟ නොනවතින අරගලයකටද මුහුණ දීමට සිදුවිය. මේ නිසා ඇත්තටම කියනවා නම් පන්සලේ ඉතිහාස කතාව වනාහි විශේෂයෙන් පන්සල හා කළු සුද්දන් (ඔවුන්ගේ පාලන සමය) අතර සිදුවූ (හා සිදුවෙන) ගැටුමක් ලෙසද හඳුන්වා දිය හැකිය. සෙසු රටවල ථෙරවාදී බුදු දහම අතුගෑවී යද්දී එය අවුරුදු 2,500 ක් මෙසේ රැකගෙන ඒම විශ්මය ජනක මිනිස් ක්‍රියාවකි. යුදෙව්වන් හා අයිරිස් ජාතිකයින් ලොවට රැක දුන් දායාද ගැන පොත් ලියැවී ඇත. ලංකාවේ පන්සල් විසින් ලොවට රැකදුන්නේද මෙවැනි දායාදයකි. තවද මේ වනවිට යුදෙව් ක්‍රිස්තියානි යුරෝපා රටවල බුදු දහම ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබේ.

මොන්ටෙස්කි හා පන්සල

උග්‍ර ධනවාදී, ලොකු මාළුවා පොඩි මාළුවා ගිල ගන්නා සමාජයක, බොහෝ විට සතියේ දින හයක්ම දිනකට පැය දහයකටත් වඩා අධික ශ්‍රමය සූරාකෑමට අසුවී මිරිකී සිටින ලංකාවේ තරුණයින් පාසැලෙන් අස්වූ වහාම ණයවී ත්‍රීවීලර් එකක් ගන්නේ ඉන් තමන්ට ලැබෙන ස්වාධීනත්වය නිසාය. ඓතිහාසිකව ගමේ පන්සල හා විහාරාධිපති තනතුරද මෙවැනිම ස්වාධීන ආයතනයක් විය. ලෝකයේ අන්‍ය ආගම් මෙන් යම් ඈත නගරයක මධ්‍යම සංවිධානයක් මඟින් ගෙනයන පාලනයක් හෝ පහල සිට උඩට දායක මුදල් මාරුවීමක් හෝ ගමේ පන්සල්වලට නැත. ලංකාවේ පන්සල්වල තිබෙන්නේ ප්‍රංශයේ මොන්ටෙස්කි (1689-1755) විසින් ඇත්තවශයෙන්ම කිව්වා යයි දැන් හරියාකාරව තේරුම්ගෙන ඇති මූලධර්‍මයය. ඔහු කියා ඇත්තේ කලින් සිතා සිටි අන්දමට විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන රාජ්‍ය බලතල (gavarmantal pavar) කොටස් තුනකට වෙන්කර බෙදීම (සෙපreexan of pavars) නොව ඒ බලතල තුනම හැකිතාක් වැඩිම විසිරී ගිය කුඩා ආයතන විශාල සංඛ්‍යාවකට පවරාදීමය. නීතියේ ආධිපත්‍යය (ruul of loo) කියන දෙයක් රැකෙනවාය යන කලින් සිතූ ක්‍රමයේ තිබෙන මිථ්‍යාව වෙනුවට නීතිය, නීතීඥයින්ගේ තර්‍ක අනුව හා සල්ලි අනුව නොව, මහජන යුක්තිය හා සාධාරණය මත පදනම් වන්නේ මෙවැනි සම්මුතිවාදී කුඩා ඒකක හරහාය. ගම-වැව-පන්සල යන සිංහලේ අනාදිමත් ත්‍රිත්‌වය මෙහි ප්‍රතිමූර්තිය විය.

බයිබලය-කඩුව-බෝතලය

කොලම්බස්ගෙන් හා වස්කෝදගාමාගෙන් ආරම්භවුණ යුරෝපීය ජාතිකයින් විසින් ලෝකයේ සෙසු රටවල් අල්ලා ගැනීමේ ව්‍යාපාරයට, 1505 දී කොළොම්තොටට පැමිණ, 1551 වනවිට කෝට්ටේ රාජධානියට ක්‍රිස්තියානි රජකෙනෙක් පත්කර ගැනීමට පවා හැකිවිය. අද කෝට්ටේ රජ මහා විහාරයට අල්ලා ක්‍රිස්තියානි පල්ලියක් තිබෙන්නේ මේ නිසාය. පෘතුගීසීන් විසින් ලංකාවේ කළ ජන සංහාරයේ ශාපය කෙතරම්ද යත්, ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට ලංකාව අහිමිකළා කියා පෘතුගීසී පූජකයෙක් ඒ කාලයේදී ලිව්වේය. මුහුදුබඩ ප්‍රදේශයේ ඇති පල්ලි, පරණ පන්සල් කඩා ඒ මත සැදූ ඒවා නොවේද?

ප්‍රංශයේ ලූවර් දී මෙන් යම් දේව ප්‍රාතිහාර්‍යයක් දැක නොව ලංකාවේ ජනයා ක්‍රිස්තියානි ආගමට හැරුනේ ඉඩකඩම්, තාන්න මාන්න, රස්සාවල් යනාදී වාසි ලබාගැනීමටය. ඔවුන් කළේ රට, ජාතිය හා ආගම පාවාදීමය. ඔත්තු සැපයීමය. මව් පියන් වාසි තකා ආගම මාරුකළ විට කුඩා දරුවන් ඒ යටතේ හැදෙන්නේ අඳුරු බැටළු එඬේර ලෝකයක මිස ඒහි පස්සිකෝ පරිසරයක නොවේ. මෙවැනි කළු හා සුදු අසවේදුලාට වුවත් කරුණාවෙන් හා දයාවෙන් සැළකූ සිංහල බෞද්ධ සමාජය වැන්නක් ලෝකයේ වෙන කිසිම රටක තිබී නැත. අද මුස්ලිම් හා කතෝලික ගම්මාන රට ඇතුලේ තිබෙන්නේ සිංහල රජු පිළිවෙලින් පෘතුගීසි හා ලන්දේසි ඝාතනවලින් ගැලවී උඩරටට පලaaේමට ඔවුන්ට ඉඩලබාදුන් නිසාය.

පෘතුගීසීන් හා ස්පාඤ්ඤයින් ආවේ වෙළඳාම් හා ලාභ සොයා වුවත් යුරෝපයේ ජනයාට ඒ රටවල පාලක පන්තිය දුන් පින්තූරය වූයේ විදේශවල ඉන්නා ම්ලේච්චයින් පවෙන් ගලවා දෙවියන් වහන්සේට භාරකිරීම සඳහා බයිබලය සමඟ කඩුවද ගෙනයනවා කියාය. 1905 වනවිට මෙය සුදු මිනිසාගේ කරපිට පැටවුන බරක් යයි කියැවින (wහිටෙ මන්’ස් බුර්ඩෙන්).ඉන්දියාවේ පැවති ස්වාමියා මළවිට බලෙන් ස්ත්‍රිය සොහොනට තල්ලු කරණ චාරිත්‍රය හා උඩරට නායක්කර් දෙමළ රජුන් යටතේ දුන් දැන් කාලයේ ශාරියා නීතිය යටතේ දෙන අමානුෂික දඩුවම් වැනි දකුණු ඉන්දියානු දඬුවම් අනුව සිතන විට ම්ලේච්චයින් යන තර්‍කයේ යම් සත්‍යයක් ඇත. මිනිස් ශරීරය හා සෙල්ලම් නොකරණ නොහොත් හම කපන හෝ පුරුෂ ලිංගයට වඳින හෝ මිනිස් ලේ හෝ සතුන් බිලි පූජා නොකරණ, හේතු ඵල වාදය මත පදනම්වූ එකම ආගම බුදු දහම නොවේද කියා මට සිතේ. පල්ලියේදී පූජකතුමා කටටදාන පෙත්ත ජේසුතුමාගේ ලේ පිළිඹිඹු කරනවාය කියා මා අසා ඇත.

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ සමය (1698-1778)

අද පක්‍ෂ දේශපාලකයින්ට බිලිවී අතරමංව පාරේ කඳුළු ගෑස්කන තරුණ හාමුදුරුවරුන් රට ජාතිය වෙනුවෙන් පරිත්‍යාග කරණ අය නොවන බව ඔවුන්ට නොතේරෙන්නේ විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් භික්‍ෂූන් සඳහා පමණක් කැපවූ නූතන සරසවි නොකිරීමේ විපාකයක් වශයෙනි. ගිහියන් හා ස්ත්‍රීන් බඳවා ගැනීමෙන් හා මාක්ස්වාදින් රිංගා ගැනීමෙන් ඒවා විනාශ විය. මේ අය දුටුගැමුණු-තිස්ස ගැටුම වැළැක්‌වූ හෝ වළගම්බා රජුට රැකවරණය දුන් හෝ සිවුර පසෙක තබා යුද්ධයට ගිය ථේරපුත්තාභය යෝධයා හෝ මෙන් ජාතියේ මුර දේවතාවන් නොවේ. පන්සලේ ඉතිහාස කතාවක් ලිවීමේදී ඊට මේ අය අයත් නොවේ.

පන්සලේ නූතන ඉතිහාස කතාව ආරම්භ විය යුත්තේ අන්ත අසරණවී පිරිහී තිබුණ බෞද්ධ භික්‍ෂූ ශාසනය නැවත ගොඩ නැඟීමට, එහි පුනර්ජීවනයක් ඇතිකිරීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේ කළ මහඟු සේවාවෙන් ය. තුන්වරක් යත්නදරා, උන්වහන්සේ විසින් 1753 දී සියම් රටින් භික්‍ෂූන් ගෙන්වාගෙන උපසම්පදාව නැවත පිහිටුවන්නට පෙර පන්සල් කියා බොහෝවිට තිබුණේ සාමනේරලාගේ හා ගනින්නාන්සේලාගේ ගෙවල් ය. වත්‌මන් කාලයේ සමහර ආසියාවේ මහායානික හාමුදුරුවරුන්ට මෙන් මේ ගනින්නාසේලාටද භාර්‍යාවන්, දූ දරුවන් සිටියේය කියා අප අසා ඇත. සරණංකර සමයේ භාෂාව හා ශාස්ත්‍රීය අංශයෙන්ද බලවත් උද්‍යෝගයක් ඇතිවිය. උන්වහන්සේව විනාශ කිරීමට තැත්කල කොටසක්ද සිටියේය. මන්දාරම්පුවත නම් කෘතියේ සඳහන් වන්නේ මෙසේ හමුදුරුවන්ව වස පොවා ඝාතනය කිරීමට කොළඹ සිට ක්‍රිස්තියානි මිෂනාරීන් ගත් ප්‍රයත්නයය. 1760 ගණන් නායක්කාර් වංශය ඉවත්කිරීමට නොයෙක් කුමණ්ත්‍රනද සිදුවූ කාලයක්ද විය.

මීට කලින් හයවන පරාක්‍රමබාහු (1412-1467) කාලයේදී ලංකාව එක්සේසත් කිරීමක් සිදුවුවත්, පසුව හත්‌වන විජයබාහු රජුගේ පුතුන් තිදෙනා 1521 දී ඔහුව මරාදමා රට තුනට බෙදාගත්තේය. විජයබා කොල්ලය නමින් හැඳින්වෙන්නේ මේ විනාශයය. මෙවැනි විනාශ ලෝක ඉතිහාසය පුරාම දක්නට ලැබේ. හයවන පරාක්‍රම රජ සමයෙන් ඇරඹුණ සිංහල බෞද්ධ පුනර්ජීවනයේදී තොටගමුවේ ශ්‍රී රාහුල, වීදාගම මෛත්‍රී හා වෑත්තෑවේ හාමුදුරුවරු පෙරමුණේ සිටියේය. මුහුදුබඩ මේ කාලයේත් කන්ද උඩරට ක්‍රිස්තියානි මිෂනාරී ආක්‍රමණ වලින් මුළුමණින්ම යටවීමට පෙර සරණංකර සමයේත් සිදුවූ ජාතික ආගමික අවධිය යළි හිස ඔසවන්නේ 1840 ස් ගණන් වලදීය. ෆ්‌රැන්සිස් ක්‍ෂේවියර්තුමාගේය කියමින් දැන් ගෝවේ නගරයේ ඇත්තේ තොටගමුවේ රාහුල හිමියන්ගේ ශරීරයය යන ප්‍රවෘත්තිය කෝට්ටේ යුගයේ ඇතිවූ ශ්‍රී විභූතිය විදහාපාන්නක් වන්නේ ඉතාමත් සරල ඩී එන් ඒ පරීක්‍ෂණයක් මඟින් මේ සැකය විසඳීමට පල්ලිය දක්වන අකමැත්ත නිසාය.

පන්සල කොටුකිරීම

මාතර ගජමන් නෝනා ගෙන් සිංහල ඉගෙනගත්තා යයි කියන ජෝන් ඩොයිලිගේ උඩරට අල්ලාගැනීමේ ව්‍යාපාරයට පෙර, නෝත් ආණ්ඩුකාරයාත්, පසුව උඩරට ඈඳාගත් බ්‍රවුන්‍රිග් ආණ්ඩුකාරයාත් දැන සිටි කරුණක් නම් පන්සල හා ගම අතර ඇති බැඳීම කෙසේ හෝ කඩා දැමිය යුතුය යන කාරණයය. ගහට පොත්ත මෙන් තිබූ මේ බැඳීම කුමණ භාධක ඉදිරියේ වුවත් දිගටම පැවතුනේය. දෙවන ලෝක යුද්ධය කාලයේදීත් සුද්දන්ට මේ හිසරදය තිබූ බව පෙනී යන්නේ ජපනුන් ලංකාවට ගොඩ බැස්සොත් (1942 අප්‍රියෙල් කොළඹට බෝම්බ දැමීම) පන්සල් වලින් හාමුදුරුවරුන් එකතුකර (ඇමෙරිකාවේදි පර්ල් හාබර් එකට ජපන්නු බෝම්බ දැමූ විට එහි සිටි ජපන් ජනයා හිරකල අයුරුම), හිර කඳවුරුවලට ගෙනයාමට යුද ආඥාදායක අද්මිරාල් ලේටන් විසින් ප්ලෑන් කිරීමෙනි.

පොලිටිකල් මන්ක්ස්

දේශපාලන හාමුදුරුවරු (පොලිටිකල් මන්ක්ස්) යයි නමක්ද පටබැඳ තමන්ගේ දේශපාලනයට හාමුදුරුවරු ඇඟිලි ගැසීම මොට කිරීමට සර් ඩී බී ජයතිලක හා ඩී එස් සේනානායක යන දෙන්නාද 1930 ස් 40 ස් ගණන්වල සිට ක්‍රියා කලේය. මහණ නොවී අනාගාරික ගිහියෙකු ලෙස ධර්‍මපාලතුමා ක්‍රියාකලේ මේ නිසාද කියා සිතෙන්නේ මේ දෙන්නා එතුමාගේ දේශපාලනයටද අකුල් හෙලූ නිසාය. ද වර්ක් ඔෆ් කින්ස්: ලංකාවේ අළුත් බුද්ධාගම (1999) යන පොතට එව් එල් සෙනෙවිරත්න විසින් ඒ නම දී ඇත්තේ මැලේරියා උවඳුර සමයේදී එක්තරා ගමක ගැමියෙක් විසින් හීනටියන ධම්මාලෝක හාමුදුරුවන්ට රජවරුන්ගේ කාරියට හාමුදුරුවරු මැදිහත් නොවියයුතු යයි කී කතාව නිසාය. ධර්‍මයට, භාවනාවට හා පන්සලට හාමුදුරුවරු සීමා වියයුතුය යන මේ අදහස අදද ගතානුගතිකව, විශ්ලේෂණයකින් තොරව වංචනික ලෙස පිටකරන දේශපාලකයින් හා දුර්‍වාභොධයෙන් යුත් මහජන කොටස් එමට සිටී. සිල්වත් කම හා සමාජ සේවයේ යෙදීම හෝ නොයෙදීම අතර පැටලවීමක් අවශ්‍ය නැත. විරුද්ධ දේශපාලන අදහස් දැරීම හෝ ඇත්ත ඇති සැටියෙන් කීම හෝ නිසා ඊට දඬුවම් වශයෙන් ජේ ආර් විසින් ගැටඹේ පන්සල වටකර කටු කම්බි ගැසුවේ සිල්වත්-අසිල්වත් කමක් සළකා බලා නොවේ.

1815 ගිවිසුමේ මොනවා ලියා තිබුණත් බුද්ධාගමට වෙනස්කම් කිරීම හා ඊට අකුල් හෙලීමට ක්‍රිස්තියානී මිෂනාරීන්ට ඉඩදීම බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තිය විය. පන්සල් වලින් ලබාදුන් අධ්‍යාපනය බකල් කිරීමට ඔවුන් ක්‍රියාකලේ යාපනය මිෂනාරී පරාදීසයක් කිරීමට ඉඩ සලසා දෙන ගමන්මය. මුඩුබිම් පණත් යටතේ ගැමියාගේ ඉඩම් කොල්ලකෑම, පන්සල්වල පාසැල් බකල් කිරීම, ජන සංහාර, සිංහල භාෂාව නොමැරී මැරීයාම, ඉංග්‍රීසි දන්නා පන්තියක් බෝකර ගැනීම හා බුද්ධාගමට උසුළු විසුළු කෙනෙහිලි කිරීම 1818 සිට 1848 දක්‌වා කාලය තුලදීත් ඉන්පසුවත් අඛන්ඩව කෙරීගෙන ගියේය. 1820, 1823, 1834 හා 1842 යන වර්‍ෂවල කුඩා කැරලි හා කුමන්ත්‍රණ හටගත්තේ ඒ නිසාය. 1818 හා 1848 මෙන්ම 1915 දීත් ක්‍රිස්තියානි සිංහල කළු සුද්දන් ගත්තේ සුද්දන්ගේ පැත්තය.

කළු සුද්දන්ගේ බෝවීම

නායක්කාර් පාලන කාලයේදී රජුට හා බිසවලාට ආවඩන සිංහලයින් පිරිසක් බිහිවී සිටි බව පෙනෙන්නේ 1815 ගිවිසුමට දෙමළෙන් අත්සන් ගැසූ අය සිටීමෙන් ය. එහෙත් මේ අයට කළු සුද්දන් යයි කීමට කීමට නොහැකිය. කළු සුද්දන් බිහිවන්නේ 1815 ට පසුවය. උදාහරණයක් වශයෙන් රජු අල්ලා ගැනීමේ ව්‍යාපාරයේදී බණ්ඩාරනායක කෙනෙකුත්, ජයවර්‍ධන කෙනෙකුත්, මන්නාරමේ මුතුපර නිසා පොහොසත්‌වූ යාපනේ කුමාරස්වාමි මුදලියාරුත් උදව්වට ගියේය. ලන්දේසි කාලයේ සිට තව තවත් මුදලිලාද තැන තැන සිටියේ ය. මේ හැමෝම ක්‍රිස්තියානියට හැරුණු මෑතදී සිංහලීකරණයට ලක්‌වූ දකුණු ඉන්දියාවේ සිට ආ ගොවිගම මෙන්ම කරාව, දුරාව හා සලාගම කුලවල අය විය.

මෙම පිරිසේ දරුවන්ට ඉංග්‍රීසි කට ගස්වා සුවච කීකරු සේවක පැලැන්තියක් සාදා ගත හැකිබව නෝත් ආණ්ඩුකාරයාද කියා සිටියත්, එය නිලවශයෙන්ම ප්‍රකාශ වූයේ 1832 දී කෝල්බ්‍ර‌ැක්-කැමරන් කොමිසමෙන් ය. මේ අනුව 1836 දී ආරම්භකල ප්‍රථම පාසැල අද රෝයල් කොලේජ් නමින් හැඳින්වේ. සැන් තෝමස් (1851), ට්‍රිනිටි, නුවර (1872), වෙස්ලි (1874), සැන් ජෝන්, පානදුර (1891) තවත් ඒවාය. මේ සංකල්පය 1835 දී ඉන්දියාවේදී ප්‍රචලිත කලේ තෝමස් මැකෝලි විසිනි. හමේ පාටින් හා ලේ වලින් ඉන්දියානු වුනත් හැසිරීමෙන් හා සිතුවිලිවලින් ඉංග්‍රීසිවන, පාලකයින් හා මහජනයා යන දෙකොටස අතර අතරමැදියන් සේ සිටිනා “දුඹුරුපාට බ්‍රිතාන්‍යයින්” කොටසක් බිහිකල යුතු බව ඔහු කියා සිටියේය. අද ලෝකයේ, පරණ යටත් විජිතවල, දක්නට ලැබෙන අභාග්‍යසම්පන්න තත්‌වය මැකෝලි ඇතිකල මේ පන්තියේ ක්‍රියාවල ප්‍රතිපලයකි. සුද්දන් රටවල් අතහැර ගියේ මේ කළුසුද්දන් ගැන ඇති විශ්වාසය නිසාය. කළුසුද්දන් හරහා රටවල් සූරා කෑම දුර සිට කරගෙන යා හැකි නිසාය (රිමෝට් කොන්ට්‍රෝල්). අප්‍රිකාවේ ටැන්සානියාවේ ජනාධිපතිව සිටි ජුලියස් නියරෙරේට අනුව මෙය වගකීමක් නැතිව ලැබෙන පාලනය කිරීමේ බලයකි. මෙසේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා මුදලි වලව්වකින් පැමිණ සිංහල භාෂාව රැක ගැනීම සඳහා තනි සටනක් ගෙන ගිය දුර්ලභ උදාහරණයක් නම් ඔබේසේකර-බණ්ඩාරනායක ක්‍රිස්තියානි පවුලෙන් ආ ජේම්ස් ද අල්විස් (1823-78) පඬිතුමාය.

වලානේ ශ්‍රී සිද්ධාර්‍ථ නාහිමි

පන්සල් පාසැල් (1828 පාසැල් 94 ක් තිබුණි) හා පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයට අකුල් හෙලා, සිංහල භාෂාව, බයිබල් සිංහල හා කුස්සියේ සිංහල බවට පෙරලවා, බුද්ධාගමට අපහාස කරමින් පැවති යුගයක අසරණවූ ගැමියා අනාගතයේ තමන් දුකෙන් ගලවා ගැනීමට එන දියසේන කුමාරයෙක් ගැන සිතමින් හූල්ලන කාලයක, පානදුරේ වලානේ ශ්‍රී සිද්ධාර්‍ථ හාමුදුරුවන් (1811-68) ගත් තීරණය විෂ්මය ජනකය. එය නම් කැමරන්ලා, මැකෝලිලා ඉංග්‍රිසී කටගාගත් කළු සුද්දන් පිරිසක් බෝකරනවා වගේම, ඊට ප්‍රතිුත්තරයක් වශයෙන් සිංහල-පාලි-සංස්කෘත උගත් හාමුදුරුවරුන් පිරිසක් බිහිකිරීමය. මෙසේ 1842 දී එතුමා වලානේ පන්සලේ සිට රත්මලානට වැඩමකර පරම ධම්මචේතිය පිරිවෙණ ආරම්භකලේය. ඈත ගමේ සිට, අරගලය සිදුවන නගර පර්‍යන්තයට යායුතුය යන්න මේ සංක්‍රමණයේ අර්‍ථය විය. 1862 දී ලක්මිණි පහන ප්‍රවෘතිපත්‍රයද ආරම්භ කලේය. පසු කලෙක විද්‍යොදය (1873 ) හා විද්‍යාලංකාර (1875) පිරිවෙන් බිහිකලේ මේ පිරිවෙණේ උගත් උන්වහන්සේගේ ගෝලයින්වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හා රත්මලානේ ශ්‍රී ධර්‍මාලෝක යන හාමුදුරුවරුන් දෙන්නා විසිනි.

ඌරාගේ මාළු උගේ පිටේම කැපීම (1842-1883)

වලානේ සිද්ධාර්‍ථ හාමුදුරුවන් රත්මලානට ආගමනය වීමේ සිට 1883 කොටහේන කතෝලික-බෞද්ධ ගැටුම දක්වා කාලය පසු කාලීන ලේඛකයින් විසින් නොයෙක් ආකාරයට හඳුන්වාදුන් සිද්ධීන් සහිත අවධියක් විය. 1873 පානදුරා මහා වාදය නිසා මෙය බෞද්ධ පුනරුද අවධිය ලෙස සැළකේ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද (1823-90) හිමියන් මිලිටන්ට් බුඩිසම් යන අදහසට මුල පිරුවා යනුවෙන්ද කියැවේ. වරක් දුම්කොළ වෙලෙන්‌දෙකු ලෙස වෙස්වලාගෙන පලාගිය එතුමා විසින් බෞද්ධ ප්‍රතිවිරෝධී ජාතික ව්‍යාපාරයකට පදනම දැම්මේ, පිණ්ඩපාතේ වඩිනා විට කොටහේනේදී පාත්තරයට ගොම තැම්බක් දමන තරමට බෞද්ධ විරෝධී කටයුතු අන්තයටම ගොස් තිබියදීය. බෞද්ධ පෙරහැරට පහරදුන් නිසා හටගත් කොටහේන ගැටුමේදී සුද්දන්ගේ ආණ්ඩුව ගත්තේ ක්‍රිස්තියානි පැත්තය. බෞද්ධයින් මොඩනයිස් කිරීම හෙවත් ක්‍රිස්තියානි උපක්‍රම කොපි කිරීම ප්‍රොටෙස්ටන්ට් බුඩිසම් කියාද හැඳින්වෙන්නේ පෝප්ට විරුද්ධව මාර්ටින් ලූතර් (1521) විසින් කල ප්‍රොටෙස්ට් එක අනුව යමින් ය. යුරෝපීකරණයට ලක්‌වූ (යුරෝපය ශ්‍රේෂ්ඨය) ලාංකිකයින් විසින් ඇමෙරිකානු සරසවිවල සිට ඉංග්‍රීසියෙන් ලියනලද පක්‍ෂග්‍රාහී ඉතිහාසකතා මිස සිංහලෙන් ලියනලද පොත් පත් විරලය.

පත්‍රිකා සටන

බුද්ධාගමට අපහාස කරමින් මිෂනාරීන් නිකුත්කල ප්‍රකාශන වලට විරුද්ධව බෞද්ධයින් ආණ්ඩුවට පෙත්සම් ගැසුවත්, හෝර්‌ටන් ආණ්ඩුකාරයා වරක් ඒ ගැන වෙස්ලියන් මිෂනාරීන්ට අවවාද කලත් ඉන් වැඩක් නොවීය. ජෝන් ගොගර්ලි විසින් 1849 දී ලියූ ක්‍රිස්තියානි ප්‍රඥප්තිය නම් ප්‍රකාශනයට 1861 දී එකතුකල හැඳින්වීමකින් බුද්ධාගම ආගමක් නොවේ යයි කීමත් සමඟ ඊට පිළිතුරු දීමට, අළුත් ආගම් සටනකට, හාමුදුරුවරු ඉදිරිපත්‌විය. 1840 සිට පැවති ගොස්පල් පැතිරවීමේ සමාගම කොපිකරමින් 1862 දී මිගෙට්ටුවත්තේ හාමුදුරුවන් බුද්ධාගම පැතිරවීමේ සමාගමක් පිහිටුවන ලදී. මිෂනාරීන්ට මෙන් ඔවුන්ටද මුද්‍රණාලයක් අවශ්‍යවූ නිසා, බෞද්ධ විරෝධී ප්‍රකාශන සඳහා කලින් අවුරුදු 30 ක් පුරාම යොදාගෙන තිබී 1855 දී විකුණා දමන ලද කෝට්ටේ මිෂනාරි මුද්‍රණාලයක් 1862 දී මෙම සමාගම විසින් මිලදී ගන්නා ලදී. මීට අමතරව 1862 දී ලංකෝපකාර නමින් මුද්‍රණාලයක් සියම් රජුගේද ආධාර ඇතිව ගාල්ලේ ආරම්භවිය. හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ (1827-1911) එය භාවිතාකලේය.

1832 දී සීනිගම ධීරක්ඛන්ද හාමුදුරුවන් විසින් ආරම්භකල කොටහේනේ දීපදුත්තාරාමයේ වැඩවිසූ මිගෙට්ටුවතේ ගුණානන්ද හිමියන් ගොගර්ලිට පිළිතුරු වශයෙන් මාසික සඟරාවක් වශයෙන් දුර්ලභ්ධි විනෝදනිය 1862 ජූනි මාසයේදි නිකුත් කරණ ලදී. ඊට පිළිතුරු වශයෙන් ගොගර්ලි සුධර්‍ම ප්‍රකාරණය නමින් සඟරාවක් ජූලි මාසයේදී පිටකලේය. ගොගර්ලි ගෙන් පසු මෙම මුද්‍රණ වාද වෙස්ලියන් පූජක ඩේවිඩ් දි සිල්වාගේ කරපිටට වැටුනේය. ඊට පෙරද බද්දේගම (1865), වරාගොඩ, උදුන්විට හා ගම්පොළද වාද සිදුවුවත් අන්තිමේදී වේදිකාවක් මත සිදුකල 1873 පානදුරා මහාවාදයෙන් මිෂනාරී කළු සුද්දන් බුද්ධාගමට කල හිරිහැර අවසාන විය.

සුදු බෞද්ධයා

මෙසේ වචනයෙන් හා මුද්‍රණයෙන් බෞද්ධයින් ජය ගත්තත් අධ්‍යාපනය මාර්‍ගයෙන් ගෙන ගිය ක්‍රිස්තියානි හානියට මුහුණ දීමට හාමුදුරුවරුන්ට හැකියාවක් නොවීය. පිරිවෙන්වල අංක ගණිතය හා භූගෝල විද්‍යාවට තැනක් නොලැබුණා වගේම ක්‍රිස්තියානි පූජක ක්‍රමයට මෙන් හාමුදුරුවරුන්ට බිස්නස් මැනේජර් වැඩ ගැන දැනුමක් නොවීය. ප්‍රථම ගිහි බෞද්ධ පාසැල දොඩන්දූවේ පියරතන හිමියන් (1826-1907) විසින් 1869 දී දොඩන්දූවේත්, පසුව කොරතොට සෝභිත හිමියන් (1829-1903) කොරතොට, හඳපාන්ගොඩ හා හෝමාගමත් ආරම්භ කලත් ඒවා දිගටම පවත්වාගෙන යාම දුෂ්කරවිය. ලෝකයේ ප්‍රථම සුදු බෞද්ධයා ලෙස සලකන ඇමෙරිකන් ජාතික කර්‌නල් ඕල්කොට් 1880 වෙසක්දා ගාල්ලේ වරායෙන් ගොඩ බැසීම සුදු පාලකයින් හා වාද කලහැකි සංවිධානාත්මක කුසලතාවයෙන් යුත් සුදු මිනිසෙකු ලංකාවේ හාමුදුරුවරුන්ට ලැබීම බව පෙනෙන්නේ බෞද්ධයින් වෙනුවෙන් කතා කිරීමට, සියම් හා අමරපුර නිකායවල හාමුදුරුවරුන් හත් නමකගේ බලපත්‍රයක් සහිතව 1884 දී ඔහුව ලන්ඩන්වලට යැවීමෙනි. 1883 කතෝලික-බෞද්ධ ගැටුමේදී අසාධාරණ ලෙස ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ගත්තේ කතෝලික පැත්තවීම මෙසේ ලන්ඩන් යෑමට ආසන්න හේතුව විය.

1884 දී වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් කිරීම, 1885 දී බෞද්ධ කොඩියක් නිර්‌මාණය කිරීම, පරම විඥානාර්‍ථ සමාගම හරහා සිංහල බෞද්ධයින් සඳහා ඉංග්‍රීසි මාධ්‍ය හා සිංහල මාධ්‍ය පාසැල් පිහිටුවීම යන කටයුතු වලදී ඕල්කොට්තුමා හා ඔහුට සහායවූ සුදු ජාතිකයින් බලවත් සේවයක් ඉටුකරණ ලදී (සුදු මිෂනාරී පාසැල් යාපනයට ගියේ 1815 දී උඩරට ඈඳාගත් වහාමය). බර්‌ගර් පවුලකින් ආ බුල්ජින්ස් මහතා බෞද්ධ සේවකයෙක් වීම නිසා ඔහුගේ නම සැන් තෝමස් ආදි ශිෂ්‍ය ලේඛනයෙන් මකා දමන ලදී. සිවිල් සේවකයෙක් වශයෙන් ලංකාවට ආ ඉංග්‍රීසි ජාතික රීස් ඩේවිඩ්ස් මහතාටද (1881 දී පාලි ත්‍රිපිටක පොත් සමාගම පිහිටුවු) වෙනත් විදේශික විද්‌වතුන්ටද හාමුදුරුවරු බෙහෙවින් උපකාර කලේය.

කළු සුද්දන්ගේ දේශපාලනය, 1883-1956

1873 පානදුරා වාදය නිසා ඇතිවූ බෞද්ධ ප්‍රභොධය, 1880 ඕල්කොට් ආගමනය, 1883 කොටහේන කතෝලික-බෞද්ධ ගැටුම හා 1884 දී වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් කිරීම, සිංහල බෞද්ධයින්ට ඉංග්‍රීසි-සිංහල පාසැල් යනාදී වෙනස් වීම් සිදුවෙද්දී, 1911 වර්‍ෂයේ සිට දේශපාලන වශයෙන් සිදුවූ පරිවර්‍තනයේදී සිංහල බෞද්ධයින් කියා පිරිසක් රටේ ඉන්නවාද, පන්සල් කියා දෙයක් රටේ තිබෙනවාද යන්න මුළුමණින්ම අමතකවී ගියා සේ පෙනේ. ධනය හා අධ්‍යාපනය අනුව පදනම්වූ චන්ද බලය පැතිරී ගියත් 1921 දී ව්‍යවස්ථාදායක සභාවේ සිටියේ එක සිංහල බෞද්ධයෙකු පමණය. 1911 න් පසුව ආරම්භවූයේ ක්‍රිස්තියානි සිංහල කළු සුද්දන් හා දමිළ නායකයින්වන පොන්නම්බලම් සහෝදරයින් අතර රටේ දේශපාලන බලය පිළිඹදව ඇතිවූ අරගලයකි. 1921-24 කාලයේදී වෙනම දමිළ ඊලමක් සඳහා ව්‍යවස්ථාදායක සභාවෙන් ඇරඹුණ මේ අරගලය අද 2017 දීත් එසේම පවතින්නේ බුද්ධාගම, පන්සල හා අශොක අධිරාජයාගේ ධර්‍ම විජය පාලන ක්‍රමය කෙසේ වෙතත්, ලිච්චවි බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති කතා කිරීමටවත් කෙනෙක් චන්දයෙන් තේරී පත් නොවූ නිසාය. 1931 දී සර්‍වජන චන්දබලය දීමට විරුද්ධ නොවූ එකම දේශපාලකයාවුයේ කම්කරු නායක ඒ ඊ ගුණසිංහ මහතා පමණය. පසු කාලයක ආ නිදහස් අධ්‍යාපන පණතටද මෙවැනිම විරුද්ධත්වයක් පැනනැඟුණි. ගිහියන් සමඟ පන්සල හා හාමුදුරුවරුත් දේශපාලන පෙරලියට එක් වූවා නම් සිංහල-දෙමළ කළුසුද්දන් අතර 1911 සිට ඇතිවූ බල අරගලය වෙනස් මුහුණුවරක් ගන්නට තිබුණේය.

සුද්දන්ට ආවැඩූ පවුල් දෙක

1833 දී ඇරඹූ කෝල්බ්‍ර‌ෑක් ආණ්ඩුක්‍රමය යටතේ සිංහල, දෙමළ හා බර්‌ගර් යනුවෙන් ව්‍යවස්ථාදායක සභාවට නිල නොලත් සාමාජිකයින් තුන්‌දෙනෙක් පත් කලත්, ඉන් දෙමළ හා සිංහල යන දෙන්නා පවුල් දෙකකට සීමාවිය. යාපනේ කුමාරසූරියර් මුදලියාර්ගේ නෑයින් අදත් ලංකා දේශපාලනයට හවුල්වී සිටී. ඒ වගේම බණ්ඩාරනායක-ඔබේසේකර-ද සේරම් පවුලේ අන්තිම පුරුකක්සේ චන්ද්‍රිකා මැතිතිණිය සිටී. වෙසක් රජයේ නිවාඩු දිනයක් කිරීමේ යෝජනාවට ආණ්ඩුකාරයාත් දෙමළ නියෝජිතයාත් පක්‍ෂවුවත් ක්‍රිස්තියානි සිංහල නියෝජිත ද සේරම් ඊට විරුද්ධවූයේ දෙසැම්බර් මාසයේ ඕනෑතරම් ආගමික නිවාඩු තිබනවා නේද කියමිනි.

ගුණානන්ද, සුමංගල යන හාමුදුරුවරු පවා කුඩා කාලයේ ක්‍රිස්තියානි බෞතීස්ම කල අය විය (ඊට අමතරව දරු උපත් පල්ලියේ ලියා පදිංචිකිරීම නතර කලේ 1884 දීය). පානදුරා වාදයට පෙර සිටම හාමුදුරුවරුන්ගේ සටනට උදව්කලේ ක්‍රිස්තියානි පරම්පරාවල සිට පසුව බුද්ධාගමට හැරුණු දූ දරුවන් ය. අරක්කු රේන්ද, මිනිරන් පතල්, වතුවගා, කොන්ත්‍රාත් ආදිය මඟින් ධනවත්‌වූ විශේෂයෙන් බස්නාහිර හා දකුණේ මුහුදුබඩ පලාත්වල ජීවත්වූ කරාව සලාගම කුලවලට අයත් පවුල් සියම් නිකායට අමතරව අමරපුර හා රමඤ්ඤ නිකායවල් පිහිටුවීමට රුකුලක් විය (1860 දී සියම් නිකායේ කැළණි පාර්‍ශවය පිහිටුවන ලදී). ධනය තිබුණත් සුද්දන් විසින් රාජ්‍යපාලනයේදී තැනක් නොදීම මොවුන්ට මානසික ප්‍රශ්නයක් වූවා නිසැකය. ධර්‍මපාලතුමාගේ සුදු පඹයෙකු හදා ඊට පයින් ගැසීමේ යෝජනාව සුදු පාලකයින් විසින් යටත් විජිත වැසියන්ට හීනමානය ජනිත කරවීමේ ව්‍යාපාරයට කළ කදිම පිළිතුරක්‌වූයේ මේ නිසාය.

ව්‍යවස්ථාදායක සභාවට පත්කල දෙමළ පවුල හින්දු වුවත්, සිංහල පවුල බෞද්ධ නොවීය. සිංහල ක්‍රිස්තියානි හා සිංහල බෞද්ධ යනුවෙන් නියෝජිතයින් දෙන්නෙක් පත් නොකරන්නේ ඇයිදැයි විමසීමට සංවිධානයක් නොවීය. පැල්මඩුල්ලේ 1865 සිදුවූ ත්‍රිපිටක සංඝායනාවේදී හාමුදුරුවරු එකමුතු වුනත් 1880 න් පසු ගිහියන් අතර මෙන් හාමුදුරුවරුන් අතර ක්‍රිස්තියානි පල්ලියේ මෙන් සංවිධානය වීමක් නොසිදුවූ බව ඕල්කොට්තුමා විසින්ද පෙන්වාදී ඇත. සුදු ආණ්ඩුව විසින් 1815 ගිවිසුමේදී දුන් බොරු පොරොන්දුව, මල්වතු-අස්ගිරි විහාර එංගලන්තයේ රජු මෙන් නාමික ආයතන කිරීම, විද්‍යොදය පිරිවෙන රජුට, ආණ්ඩුකාරයාට ශ්ත්‍රොත්‍ර ලියන ආයතනයක් බවට පෙරලීම යනාදී නොයෙක් කාරණා නිසා, සම්බොඩීස්ලා වූ නෝබොඩීස්ලාගේ යුගයක් 1911 න් පසු උදාවිය. සුදු සිවිල් සේවා නිලධාරීන්ගේ උනන්දුව බෞද්ධ පුරා වස්තු රැකදීමට හේතූපකාර විය. 1940 ස් ගණන් වලදී කළු කොඳයාවේ හාමුදුරුවන්ට, ග්‍රාම සංවර්‍ධන හා අපරාධ මර්‍ධන ව්‍යාපාරයට හවුල්වූ පොලිස් නිලධාරියාව එය හොඳිණ් තහවුරු වනතුරු ස්ථානමාරුවක් නොදී තැබීමට දුන් පොරොන්දුව වත්, සුදු පොලිස්පතිගේ රෙගුලාසි අභිභවා ක්‍රියාත්මක කරන්නට ඩොනමෝර් ඇමති මණ්ඩලයේ නායක ඩී බී ජයතිලක මහතාට නොහැකිවිය. සුද්දන්ගේ හා කළුසුද්දන්ගේ බලය එතරම් ය.

පෙත්සම් ගසා කල නිදහස් සටන

ඉන්දියාව දෙකඩ කැඩුවා වගේම, ලංකාව හා ත්‍රිකුණාමළය ඉන්දියාවේ අණසක යටතට පත් නොකිරීම ඉංග්‍රීසි අරමුණක් විය. ලංකාවේ දෙමළ බෙදුම්වාදය 1948 ට පෙර අසාර්‍ථක වුනේ ඒ නිසාය. දෙමළ නායකයින් සතුටු කිරීම සඳහා එක්සත් ලංකාවක් සඳහා යයි සේනානායක මහතා ගෙනගියේ බෞද්ධ දර්‍ශනය මත පදනම්වූ ප්‍රතිපත්තියක් නොවීය. සිංහල දෙමළ සමඟිය ටයිකෝට් දමාගත් කොළඹ ඉංග්‍රීසි කතාකරණ ක්‍රිස්තියානි පිරිසකට ඇතිකල හැකි දෙයක් නොවන බව ඔහුගේ කළු සුද්දෙකුගේ මනසට නොවැටහුනේය. ඔහු ජෙනින්ස් ලවා හදවා ගත් ව්‍යවස්ථා කෙටුම්පතේ (පසුව 29 වෙනි වගන්තියවූ) බෞද්ධයින්ගේ නැතිවූ අයිතීන් නැවත ලබා ගැනීමට හා බෞද්ධයින්ට කල වෙනස්කම් ඉවත්කිරීමට නොහැකිවන ආකාරයේ වගන්තියක් දැම්මේ ඒ නිසාය. රටේ උරුමය අයිති ජාතියට මෑත අතීතයේ කල හිරිහැර ඉවත්කිරීම තවත් ජන වර්‍ගයකට කරන හානියක් නොවන බව කළු සුද්දන්ට නොතේරුණා නොවේ.

1880 දී ඕල්කොට්තුමාගේ ඒමෙන් පසු ගිහියන් ඉදිරියට පැමිණි හා හාමුදුරුවරුන් පසුබිමට වැටුණු අවධියක් නිර්‍මාණය විය. සිංහල බෞද්ධ ලෙස පෙනී සිටි පිරිසක් 1915 සිංහල-මුස්ලිම් ගැටුමට පසුව හා 1931 සර්‍වජන චන්දබලය යටතේ ඩොනමෝර් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඒම (නෝබොඩීස් සම්බොඩීස් වීම) මීට හේතුවක් වන්නට ඇත. ඊට කලින් තිබුණේ ක්‍රිස්තියානී ව්‍යවස්ථාදායක සභාවක් ය. මාක්ස්වාදීන්ද ඇත්තවශයෙන්ම කළු සුද්දන් පිරිසක්ම වුවත් ඔවුන්වත් හාමුදුරුවරුන්වත් දේශපාලනයෙන් ඉවත්කර තැබීම සුද්දන්ගේ හා කළු සුද්දන්ගේ උපක්‍රමයක් විය. මෙවැනි පසුබිමක 1900 දශක වල ධර්‍මපාලතුමාගේ (1864-1933) පණිවුඩය ගිහි-පැවිදි දෙපක්‍ෂයටම කළු සුද්දන්ගෙන් ගැලවීමට කල ආයාචනයක් විය.

ධර්‍මපාලතුමා ඉන්දියාවට ගියාට පසුව කළු සුද්දන්ට තිබුණේ පන්සල්, දෙමළ ප්‍රශ්නයෙන් ජාංබේරා ගෙන ගොඩaේමේ (සුද්දන් ලවා නිදහස් කොළය අත්සන් කර ගැනීමේ) සැලැස්මට බාධාවක් කරාවි යන සිතිවිල්ල නිසාය. අමධ්‍යප ව්‍යාපාරය, ගව ඝාතනය වැලැක්‌වීම, කොස් පැල සිටවීම යනාදීය ගිහි කටයුතු වලට පන්සල සීමාවිය. මේ අතරතුර කුමාරතුංග මුණිදාස මහතා විසින් ගෙන ගිය හෙල සටනේදී (1939-44) කලින් තිබූ රට-ජාතිය-ආගම යන ත්‍රිත්වය වෙනුවට බස-රැස-දෙස ඉදිරියට ආවේය. මේ නිසා බෞද්ධ-ක්‍රිස්තියානි ගැටුම, සිංහල-දෙමළ භාෂා ගැටුමක් දෙසට තල්ලුකිරීමට කළු සුද්දන්ට අළුත් දොරක් විවෘත විය. එහෙත් හෙල ව්‍යාපාරය හා පන්සල අතර ගණුදෙනුවක් නොවීය.

කළු සුද්දන් පන්සල ගැන දැක්‌වූ ආකල්පය හා පන්සල සමාජ සේවයට ක්‍රියාත්මකව සහභාගීවීමට අදාල කදිම නිදසුනක් වන්නේ 1930ස් 1940ස් ගණන් වලදී තරුණ සහකාර පොලිස් අධිකාරී ඔස්මන්ඩ් ද සිල්වා හා සුප්‍රිම් උසාවි නඩුකාර අක්බාර් මහතා සමඟ කළුකොඳයාවේ ප්‍රඥාශේඛර නාහිමියන් ආරම්භකල අපරාධ මර්‌ධන හා ග්‍රාම සංවර්‌ධන ව්‍යාපාරයය. මෙය කඩාකප්පල් කිරීමට සුද්දන්, කළු සුද්දන් හා නිලධාරීන් ක්‍රියාකලේය. මේ කාලයේම වාගේ, 1932 දී විල්මට් ඒ පෙරේරා මහතා ග්‍රාමීය ලංකාවේ ප්‍රශ්න යනුවෙන් පොතක් ලියුවේය. ඩී එස් සේනානායක මහතා එයට හැඳින්වීමක්ද ලියුවේය. රයිගම් කෝරළයේ ග්‍රාම ප්‍රතිසංස්කරණ සමිතියක්ද පිහිටුවන ලදී. එවකට සමූපාකාර කොමසාරිස්ව සිටි ගුණසේන ද සොයිසා විසින් 1942 දී ග්‍රාම ප්‍රතිසංස්කරණ කටයුතු පිළිඹද වාර්‍තාවේ විල්මට් ඒ පෙරේරා මහතාව වර්‍ණනා කර ඇතත් ජාතික ව්‍යාපාරයක් වශයෙන් මහජනයා සමඟ ගොඩ නැඟූ කළුකොඳයාවේ හාමුදුරුවන්ගේ ව්‍යාපාරය අමතක කර දමා ඇත (ගුණදාස ලියනගේ විසින් ලියනලද විල්මට් ඒ පෙරේරා මහතාගේ ජීවිත කතාව, 1985, 29 පිටුව). හාමුදුරුවරු බණ කීමට අමතරව සමාජ සේවයේද නිරත වියයුතුබව උන්වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්වා දුන්නේය.

විද්‍යාලංකාර හාමුදුරුවරු

පක්‍ෂ දේශපාලනය නොව රට ගොඩනගන සම්මුති දේශපාලනය ගම් මට්ටමින් ක්‍රියාවට නැංවූ කළුකොඳයාවේ නාහිමියන්ට පසුව එන්නේ වල්පොල රාහුල හා යක්කඩුවේ ප්‍රඥාරාම ප්‍රමුඛ හාමුදුරුවරුන් විසින් ඩී එස් සේනානායක ඇතුළු කළු සුද්දන් පන්සල කොටුකිරීමට ගත් උත්සාහයට විරුද්ධව කල සටනය. රාජ්‍ය පාලනයට අතගැසීමට භික්‍ෂුවට ඇති අයිතිය1946 පෙබරවාරි 13 පිරිවේනාධිපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හිමියන්ගේ නමින් ප්‍රසිද්ධකල විද්‍යාලංකාර ප්‍රකාශනයේත්, ඉන් පසුව 1946 දීම නිකුත් වුන වල්පොල රාහුල හාමුදුරුවන් ලියූ භික්‍ෂුවගේ උරුමය යන පොතේත් පෙන්වා දෙන ලදී. හාමුදුරුවරු පක්‍ෂ දේශපාලනයට අසුවී අමාරුවේ වැටීමත්, හාමුදුරුවරු ජාතික ප්‍රශ්නවලදී ඉදිරියට ඒමත් එකක් නොව කාරණා දෙකක් ය. නොෙසේ නම් 1944 ඇමති මණ්ඩලය සැදූ (අයිවොර් ජෙනින්ස් සැදූ) ව්‍යවස්ථා කෙටුම්පත කතෝලික පල්ලියට පෙන්වා එහි අනුමතිය නම් ලබාගන්නේ කුමටද?

අවස්ථාවාදී දේශපාලකයින් හාමුදුරුවරුන්ව චන්ද ලබාගැනීමට ඉත්තන් ලෙසද යොදාගත්තේය. 1947 චන්දයට පෙර හේන්පිටගෙදර ඥානසාර හාමුදුරුවන්ට භික්‍ෂූන් පුහුණු කිරීමේ පිරිවෙනක් සඳහා රජයේ ආධාර ලබා දෙන්නට පොරොන්දුවූ ඩී එස්, චන්දයට පසුව අගමැතිවී හාමුදුරුවන්ට කිව්වේ 29 වගන්තිය අනුව එය කල නොහැකි බවය. ආණ්ඩුව සරණං ගච්චාමි කියා පදයක් නැතැයි ඔහු කිව්වේය. නැවත අගමැති කාර්‍යාලයේ පස් නොපාගන්නට හාමුදුරුවන් තීරණය කලේය. මෙවැනිම පිළිතුරක් ගුණපාල මලලසේකර මහතා ප්‍රමුඛ ලංකා බෞද්ධ සම්මේලනයේ නියෝජිත පිරිසටද ඔහු දුන්නේ බෞධයින්ගේ ප්‍රශ්න සොයා බැලීමට කොමිෂමක් පත්කරණ ලෙස ඉල්ලා සිටි විටය.

රජයෙන් කරණ ලද සාධාරණ ඉල්ලීම ඉදිරියේ හිරකාරයෙක්ව ඩී එස් හැසුරුණු නිසා හාමුදුරුවරුන් හත් දෙනෙකු හා ගිහියන් හත් දෙනෙකු ගෙන් යුත් බෞද්ධ තොරතුරු විමර්‍ශන කොමිෂමක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් තෝරාගෙන එහි වාර්‍තාව 1956 පෙබරවාරි මාසයේදී බුද්ධාගම පාවාදීම යන නමින් නිකුත් කරන ලදී (අප්‍රියෙල් චන්දයට පෙර). මෙම කොමිෂමට අයත්වූයේ මල්වත්තේ අනූනායක අඹන්වෙල සිංද්ධාර්‍ථ ධම්මානන්ද, අස්ගිරි පාර්‍ශවයේ හාලියාලේ සුමනතිස්ස, විද්‍යොදය පිරුවනේ උප ප්‍රධානාචාර්‍ය පළන්නොරුවේ විමලධම්ම, බලගල්ල සරස්වතී පිරිවෙනේ ප්‍රධානාචාර්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී, එහිම උප ප්‍රධානාචාර්‍ය ශ්‍රී ඥානාලෝක, විද්‍යාලංකාර පිරිවෙනේ උප ප්‍රධානාචාර්‍ය කොටහේනේ පංඤ්ඤාකිත්ති, මඩිහේ පංඤ්ඤාසීහ යන හාමුදුරුවරුත්, ගුණපාල මලලසේකර, තෙන්නකෝන් විමලානන්ද, පී ද එස් කුලරත්න, ඩී සී විජයවර්‍ධන (ධම්ම විජය නොහොත් පන්සලේ විප්ලවය යන පොත 1953 දී ලියූ), එල් එච් මෙත්තානන්ද හා සී ඩී එස් සිරිවර්‍ධනත් ය (ටී බී එල්ලෙපොළ අතරමඟදී ඉල්ලා අස්විය).

1956 පොදුජන විප්ලවයට සංඝයාවහන්සේ දායකවුවත්, ගිහියන් විසින් එය කළු සුද්දන්ට පාවා දුන්නේය. 1959 අගමැති ඝාතනය, හුදෙක් එක් දුශ්ශීල භික්‍ෂුවකගේ පුද්ගලික පළිගැනීමක් නොව ඇමෙරිකාවේ කෙනඩි ඝාතනය (1963) මෙන් විශාල බෞද්ධ විරෝධී කුමණ්ත්‍රනයක ප්‍රතිඵලයක් බව නිසැකය. 1962 පොලිස් ක්‍රිස්තියානි කුමණ්ත්‍රණය වැලැකුණේ එකම එක සිංහල බෞද්ධ පොලිස් නිලධාරියෙක් නිසාය. නිල් හා කොල සිංහල දේශාපාලකයින් විසින් බුදු දහමේ ඉගැන්වීම් වලින් පිට පැනීම නිසා සෑම අංශයකින්ම රටට සිදුවූ විනාශය 2000 වනවිට සිංහල බෞද්ධයයි කීමට ලැජ්ජාවන තරමේ අඳුරු යුගයක් බිහිකලේය. නොසිතූ අන්දමට ගංගොඩවිල සෝම හිමියන්ගේ භූමිකාව මතුවූයේ එවන් පසුබිමකය. ක්‍රිස්තියානී හා මාක්ස්වාදී වික්ටර් අයිවන් පන්සලේ විප්ලවය (2006) යන නමින් පොතක් ලිව්වේ සෝම හාමුදුරුවන් අපවත්‌වුනා මිස (2003 දෙසැම්බර් 12) අපවත්කලා නොවන බව ලොවට කීමටය!

කින්ස්ලි ද සිල්වා මහතා විසින් හවුලේ ලියූ ජේ ආර් ජයවර්‍ධන (චරිතය) නම් යෝධ කෘතිය කියවන විට පෙනෙන කරුණක් නම් ලංකාවේ දේශපාලන පක්‍ෂ හා රාජ්‍ය නායකයින් කෙතරම් කුහක, ආත්මාර්‍ථකාමි, අබෞද්ධ පිරිසක්ද යන්නය. මේ අය කර ඇති හානිය සාමන්‍යයෙන් පෘතග්ජන පුද්ගලයෙකුට සිදුවෙන වැරදි නොව ජාතික අපරාධය. අදද සිටින මෙවැනි පුද්ගලයින් ලංකාවේ අවාසනාවට පහලවූ අයය. එහි පෙන්වා දී ඇති අන්දමට බෞද්ධ කොමිෂන් වාර්‍තාවට හේතුපාදකවූ අදහස් ක්‍රියාවට නැඟීම සඳහා දේශපාලන නායකයෙක් සොයමින් සිංහල බෞද්ධ නායකයින් ඩඩ්ලි සේනානායක මහතා ලඟට ගියවිට බණ්ඩාරනායක ලඟට යන්නැයි ඔහු කියා ඇත. ඩඩ්ලිගේ මව ක්‍රිස්තියානි වූ අතර අගමැතිවූ බණ්ඩාරනායක මහතා හැර මුළු බණ්ඩාරනායක පරම්පරාවල්ම ක්‍රිස්තියානින් විය. මේ දෙන්නාටම රටේ ඉතිහාසය, භූගෝල විද්‍යාව හෝ බෞද්ධ ප්‍රතිපත්ති සාර ධර්‍ම යනාදිය ගැන හරි හමන් දැනුමක් හෝ දැකුමක් නොවූ බව පෙනෙන්නේ ඔවුන් චෙල්වනායගම් මහතා හා අත්සන්කල ගිවිසුම් (1957 හා 1965) දෙස බලන විටය. වෙන මොනවා නැතත්, භාෂාව අනුව බෙදූ වෙනම රටක් ඉල්ලන කෙනෙකුට දෙමළ නිජ භූමියයි කියාගන්නා ප්‍රදේශවල ඉඩම්වල පාලන අයිතිය දීමට එකඟවීම හා ඒ දිස්ත්‍රික්වල දැනටමත් සිටින සිංහල ජනයාට කලින් කොළඹ හෝ ගාල්ලේ ඉන්නා දෙමළ ජනයාට ඒ ඉඩම්වල පදිංචිවීමට ප්‍රමුඛතාවය දීමට එකඟවීම සිංහල ජාතියේ සිය දිවි නසා ගැනීමක් බව ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් ගිය මේ දෙන්නාට තේරුනේ නැත. බද්දේගම විමලවංශ හිමියන් පළවෙනි ගිවිසුමට විරුද්ධවූයේ මේ නිසාය. එසේ තිබියදී එවැනිම දෙවන ගිවිසුමක් ගැසීම බලයට ඇති කෑදරකමක් මිස වෙන කුමක්ද?

සුදුසුකම හා කුසලතාවය උඩ මිස යමෙකු බෞද්ධ නොවීම නිසා රක්‍ෂාව නොදීම බෞද්ධයෙකුගේ හැසිරීම නොවේ. මෙසේ සී සී දිසානායකට (මුදල් ඇමති රවි කරුණානායකගේ මවගේ පියා) පොලිස්පතිකම නොදීම නිසා 1962 පොලිස් කුමණ්ත්‍රනය ඇතිවුනා කීවොත් එය නිවැරදිය. 1956 දී සිංහල බෞද්ධයින්ට බලපෑ යම් යම් වෙනස්කම් සිදුවුවත් ඒවා සියල්ලම වාගේ කළු සුද්දන්, කළු සුදු නිලධාරීන් විසින් අඩපණ කිරීම හෝ අසාධාරණ ලෙස ක්‍රියාවට යෙදවූ බව පෙනේ. ශ්‍රී බස් යාපනයට යැවීම වගේ මා දන්නා තවත් කරුණක් නම් පේරාදෙණියේ දෙමළ ශිෂ්‍යයින්ට 1960 මැදදී මහජන බැංකුව විසින් ඉංග්‍රීසි කොපියක්වත් නැතිව සිංහලෙන් පමණක් ශිෂ්‍ය ණයට අදාල ලියුම් යැවීමය.මෙය පන්සලේ ක්‍රමය නොවේ. යාපනේ අමානුෂික ලෙස සැලකීම් ලබන පහත්කුලවල යයි කියන හරිජනයා කලින් සිංහල මිනිසුන් යයි කියා කතාවක් තිබුණත්, අම්බෙඩ්කාර් මහතා ඩලිට් ජනයා සමඟ බුද්ධාගමට ආවා මෙන් යාපනයට ගොස් බුද්ධාගම පැතිරවීමටවත් හාමුදුරුවරු මැදිහත්‌වුයේ නැත.

1956 දී ලංකාවේ ධාර්මික බෞද්ධ සමාජයක් ගොඩ නැඟීමට තිබුණ අවස්ථාව බණ්ඩාරනායක අගමැතිතුමා අහිමිකර ගත්තාද, කළු සුද්දන් එය ඔහුට අහිමිකරාද යන්න විවාද ජනකය. තරුණ එස් ඩී බණ්ඩාරනායක මහතා ඇමතිකමක් ගන්නට ප්‍රතික්‍ෂේපකලේ රටේ සියේට 40 ක චන්දයක් ලබා සිටි යූ එන් පී එකත් අනිත් පක්‍ෂත් ආණ්ඩුවට හවුල්කර ගන්නා ලෙසත්, සිංහල හා දෙමළ ලිපිකරුවන් තොගයක් ආණ්ඩුවේ සේවයට බඳවා ගන්නා ලෙසත්, ඉංග්‍රීසි-සිංහල සේවක වැටුප් විෂමතාව නැතිකරන ලෙසත් ඔහු ගෙනා යෝජනා අගමැති විසින් ප්‍රතික්‍ෂේපකල නිසාය (1972 (ජනවාරි) දී ජේ ආර්. ජයවර්‍ධන මහතා විරුද්ධ පක්‍ෂයේ නායකයා වශයෙන් මෙවැනි යෝජනාවක් ගෙනාවේය). 1956 අප්‍රියෙල් මස බලයට ආ බණ්ඩාරනායක ආණ්ඩුව ගැන ඊට බෙහෙවින් දායකවූ ජාතික බෞද්ධ බලවේගයේ නායක එල් එච් මෙත්තානන්ද මහතා ජූලි මාසය වනවිටම තම කලකිරීම ලිපියකින් ප්‍රසිද්ධියේම එලිකිරීම, 2015 දී මාදුළුවාවේ සෝභිත හිමියන් මුහුණදුන් අකරබැද්දිය සිහිපත් කරවයි.

ඔහු කතාකල ලිබරල් නිදහස් වාදය, පොදු ජන යුගය බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්තිම බව අගමැතිවරයාට පෙන්නා දීමට හාමුදුරුකෙනෙක් සිටි බවක් අප නොදනී. කළුකොඳයාවේ හාමුදුරුවන් ක්‍රියාත්මක කල ගම් මට්ටමේ සම්මුතිවාදී රට සංවර්‍ධන මොඩලයට ඔහු එකඟවූවා නිසැකය. එහෙත් ඔහුට ඒ සඳහා කාලයක් ලැබුණේ නැත. පන්ති හතුරා නම් දේශපාලනය රටට ගෙනා මාක්ස්වාදීන් ඔහුව නොමරා මැරුවේය. අනිත් අතට දුශ්ශීල භික්‍ෂූන් දෙදෙනෙකු මඟින් මුළු සංඝ ශාසනයටම පාරට බැසීමටවත් නොහැකිවන කාලයක් ඇතිකිරීමට කළු සුද්දන්ගේ කුමණ්ත්‍රනයකට හැකි විය. මෙවැනි කුමණ්ත්‍රනකාරයෙක් නොවුනත් ආත්මාර්‍ථකාමි ලෙස හැසිරෙමින් ඔහුගේ කළු සුදු ක්‍රිස්තියානි පවුල් පසුබිමෙන් ගැලවීමට ජේ ආර් ජයවර්‍ධන මහතාට ඓතිහාසික වශයෙන් නොහැකිවූ ආකාරය ඔහු ගැන ලියා ඇති ඉහත සඳහන් කල පොතේ පේලි මැදින් කියවන විට පැහැදිලිවේ.

කළුකොඳයාවේ හාමුදුරුවන් කියන අන්දමට 1957 ජනවාරි 6 දා අගමැති බණ්ඩාරනායක මහතා උන්වහන්සේ හමුවීමට පැමිණ බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාවේ වාර්‍තාව රජයෙන් පිළිගෙන ඇති බවත් බෞද්ධ මණ්ඩලයක් ඇතුළු එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියා මාර්‍ගයක් යෝජනා කරණ ලෙස කොමිෂන් සභාවක් පත් කරණ බවත්, ඉන්පසු එය ක්‍රියාත්මක කිරීමට පොරොන්දුවන බවත් පවසා එම කොමිෂමේ වගකීම භාරගන්නා ලෙස බැගෑපත් ආයාචනයක් කලේය (485 පිටුව). එපමණක් නොව නිරතුරුව එහි ප්‍රගතිය සොයා බලා සාකච්චා කලේය. 1957 මාර්තු 4 දා පත් කල මෙම කොමිෂම 1959 ජූලි 7 එහි වාර්‍තාව භාර දෙන ලදී. පිටු 700 වැඩිවූ එහි ශාසන ඉතිහාසය, භික්‍ෂූ හා ගිහි අධ්‍යාපනය, සඟසතු දේපොළ, විහාර දේවාලගම් පණත, සංඝාධිකරණය, බෞද්ධ සංවිධානය, බුද්ධ ශාසන පණත යනාදී කාරනා රැසක් අඩංගු විය. එහි අනිකුත් සාමාජිකයින් වූයේ බලංගොඩ ආනන්ද මෛත්‍රීය, මොටුන්නේ ධර්‍මකීර්තිශ්‍රී සොනුත්තර ඉන්දසාර, දඹවින්නේ සුමනසාර, ඉඳුරුවේ උත්තරානන්ද, මඩිහේ ප්‍රඤ්ඤාසීහ, හාල්දඬුවන ධම්මරක්ඛිත, කෙසෙල්වතුගොඩ රතනජෝති, කොටහේනේ පඤ්ඤාකිත්ති, හේනපිටගෙදර ඥාණසීහ යන හාමුදුරුවරුනුත්, හේරත්බණ්ඩා කිරිමැටියාවේ දිසාව, පී ද ඇස් කුලරත්න, ටී එස් ගොඩමුන්නේ, ඩී එස් සිරිවර්‍ධන, පරාක්‍රම සිරිවර්‍ධන යන ගිහියනුත් ය.

1960-2000 අතර අඳුරු කාල පරිච්ජේදය

බෞද්ධයින්ගේ දුක් ගැනවිලි ගැන නොයෙක් කොමිෂන් වාර්‍තා (උඩරට ගැමි පුනරුත්ථාපන කොම්ෂමද ඇතුළුව) පිටවුවත් මැලේෂියාවේ භූමි පුත්‍ර සංකල්පය වැන්නක් ලංකාවේ ඇතිනොවූයේ කුමණ කළු සුදු කොටස්වල බලපෑම නිසාද? ඉරිදා වෙනුවට පෝය පෙර පෝය නිවාඩු කිරීම, මහානායක හාමුදුරුවරුන්ට නිල නිවාස, නිලවාහනදීම, බුද්ධාගමට නිසිතැන දෙනවා කියා ව්‍යවස්ථාවට බොරුවට දැමීම, සතේකට වැඩක් නැති බුද්ධ ශාසන යයි අමාත්‍යාංශයක් පිහිටුවා නිලධාරීවාදයකට පන්සල් යටකිරීම, පක්‍ෂ දේශපාලනයට පන්සල් යටකර ගැනීම යනාදිය මිස මේ කොල, නිල් දේශපාලකයින්ගෙන් වැඩක් වුනේ නැත. බෞද්ධ දර්‍ශනය පිළිඹඳ මාහාචාර්‍යවූ ඩබ්ලිව් එස් කරුණාරත්න මහතා රට වටේ යවමින් ධර්මිෂ්ට සමාජයක් පිහිටුවන්නට පොරොන්දුවූ ජේ ආර් ජයවර්‍ධන යුගය ඉතාමත් අධර්මිෂ්ට පාලනයක් වූ අන්දම එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ධර්මිෂ්ට සමාජයක් නම් කෘතියේ පෙන්වා දෙන ලදී. ඔහුටත්, මාදුළුවාවේ සෝභිත හිමියන්ටත් මැරවරයින් ලවා පහර දෙන ලදී. ඉන්පසු උදාවූයේ නිධන් කඩනවා යයි කටකතා පැතිරුණ කාලයකි. හාමුදුරුවරුන් බලෙන් රැස්වීම්වලට ගෙනයන අවධියකි. මෙසේ බලෙන් ගෙන ගිය හා පසුව ජීවිතය ගලවාගත් හාමුදුරුනමක් මට ඇමෙරිකාවේදී හමුවිය.

ගංගොඩවිල සෝම හිමියන්

1997සැප්තැම්බර් 17 නිකුත්කල සිංහල කොමිෂන් අතුරු වාර්‍තාව එවකට සිටි ආණ්ඩුව ගෙනා ඩිවොලූෂන් පැකේජ් එකෙන් සිංහලයින්ට සිදුවන හානිය හා රට කෑලිවලට කැඩී විනාශ වී යාම පෙන්වාදෙන ලදී. 2002 බුද්ධ ශාසන කොමිසමේ වාර්‍තාවේ කල එක් වැදගත් යෝජනාවක් නම් පක්‍ෂ දේශපාලනයට හාමුදුරුවරුන් අල්ලා ගැනීම ගැන දේශපාලකයින්ට දොස් නඟා එය නීතියෙන් තහනම් කරන ලෙස ඉල්ල සිටීමය. මෙම කොම්ෂමේ සිටියේ බෙල්ලන්විල ඥානවිමල (සභාපති), වරකව ධම්මාලෝක, කොටුගොඩ ධම්මවංශ, වැලමිටියාවේ කුසලධම්ම, බලංගොඩ ප්‍රඥාවංශ යන හාමුදුරුවරුන් හා ඕල්කොට් ගුණසේකර, අනුලා විජේසුන්දර, මැන්ඩිස් රෝහණධීර, පී ඒ සේනාරත්න, එස් කාරියවසම් (ලේකම්) යන ගිහියන් ය.

සිංහල බෞද්ධයින් දේශීය හා විදේශීය බලවේගවලින් හැම පැත්තෙන්ම බැටකන කාලයක් 2000 වනවිට උදාවී තිබුණත් ඊට මුහුණ දීමට ආත්මශක්තියක් තිබූ ගිහියෙක් ලංකාවේ නොසිටියේය. මේ ජාතික හා ආගමික මෙහෙවර ඉටුකිරීමට ඉබේමවාගේ පරිණාමය වූයේ ගංගොඩවිල සෝම හිමියන් ය. මෙය දේශපාලනයක් නොව ජාතික මෙහෙවරකි. මෙම ජාතික මෙහෙවරට විකෘති අර්‍ථයක් දී හාමුදුරුවරුන්ට මඩ ගැසීම කූඨ දේශපාලන කළු සුද්දන්ගේ ශූක්‍ෂම උපායය. ලංකාවේ පක්‍ෂ දේශපාලකයින් 1931 හෝ 1948 හෝ සිට රටටකල විනාශය හා ඒ මඟින් සිංහලයින්ට හා බුද්ධ ශාසනයට වන නැස්පත්තිය බණ මඩුවේ බණක් වශයෙන් මෘදු මටසිළුටු භාෂාවෙන් පෙන්වා දුන් උන්වහන්සේට මේ විනාශය නැවැත්වීමට නම් දේශපාලන බලයක් අවශ්‍යබව ක්‍රමයෙන් තහවුරු විය. 1930ස් 40 ස් ගණන්වල අනාගාරික ධර්‍මපාලතුමාද මේ පනිවුඩයම දුන්නත් විරුද්ධව විශාල බලවේගයක් විසින් එතුමාට රට එපා වෙනතුරුම හිරිහැර කලේය. එහෙත් සෝම හාමුදුරුවන් වටා එක්වූ මහජන බලවේගය උන්වහන්සේව රටේ ජනාධිපති ධූරයට තරඟ කරණ තුන්වන බලවේගයක් දෙසට තල්ලු කලේය. බුදු දහමේ කියන අනිත්‍යය සිහි කරවමින්, පෘතග්ජනයෙකු වශයෙන් සිදුවූ අතපසුවීම් නිසා වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ට වස දීමට සැදූ ආකාරයට අනුව සෝම හාමුදුරුවන්ද රුසියාවේ දරුණු ශීතලයට ගොදුරුවී සිංහල බෞද්ධයින්ට අහිමිවිය (2003 දෙසැම්බර් 12). කඹ තරම් මහත පිරිත් නූල් අතේ බැඳීම දේශපාලකයින්ගේ යුනිෆෝම් එකේ අංගයක් වූයේ සෝම හිමියන්ගේ දායාදයට හොට දමා ගැනීමේ කූට ආශාව නිසාය.

සෝම හිමියන්ගේ දායාදයෙන් රටට වුණ සේවයක් නම් මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දී නූලෙන් බේරී ජනාධිපතිවී අන්තිමේදී ගෝඨාභය නිසා තිස් අවුරුදු යුද්ධයෙන් රට බේරා ගැනීමය. එහෙත් ඔහු යටතේ බෞද්ධ ප්‍රතිපත්ති මත රාජ්‍ය පාලනයක් සිදු නොවීය. සිංහල බෞද්ධයින්ට ඔහු යටතේ සිදුවූ වෙනස්කම් නිසා 2012 මැයි මාසයේදි ගලබොඩාත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් බොදු බල සේනා සංවිධානය බිහිවිය. පන්සලේ ඉතිහාසයේ ප්‍රථම වරට සිංහල බෞද්ධයයි පෙනී සිටිමින් ලංකාවේ දේශපාලකයින් සිංහල බෞද්ධයින් රවටා ඇති ආකාරය සෝම හාමුදුරුවන් මෙන් බණ මඩුවල නොව, ප්‍රසිද්ධ වේදිකාවල පෙන්වා දුන්නේ බොදු බල සේනාවය. ගුණානන්ද හාමුදුරුවන්ගේ මිලිටන්ට් කමට, ධර්‍මපාලතුමාගේ රළු පරුෂ වාග්මාලාව එක්කර ඥානසාර හිමියන් කල කතා නිසා ලංකාවේ මුළු කළු සුද්දන් සංහතියම අන්දමන්දවී ගියේය. සියළුම පක්‍ෂ දේශපාලකයින් එය විනාශ කිරීමට කුමණ්ත්‍රනය කලේ මේ නිසාය. 1966 දී හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් බොරු කුමණ්ත්‍රන චෝදනාවක් යටතේ ජේ ආර් විසින් හිරේ දැම්මාට පසුව (ඩඩ්ලි ඇමෙරිකාවේ ඉස්පිරිතාලයක සිටිද්දී) නැවත දේශාපලනයට අදාල නිමිත්තක් උඩ හිරගෙදරට ගියේ ඥානසාර හිමියන් ය. අලි පැටියෙක් නිසා උඩුවේ ධම්මාලෝක හිමියන් හිරේ දැමීම මීට වෙනස් ය.

කබරගොයා තලගොයාවීම

හාමුදුරුවරු දේශපාලනයට නොා යුතුයයි ඉංග්‍රීසීන් විසින් 1802 සිටත් කළු සුද්දන් විසින් 1940ස් ගණන්වල සිටත් රටේ ගෙන ගිය ව්‍යාපාරයට හොඳ පිළිතුරක් 2012 දී බොදු බල සේනාවෙන් දෙන ලදී. මක්ස්වාදී, ක්‍රිස්තියානි දෙමළ ඉංජිනේරුවකු වන කුමාර් ඩේවිඩ් විසින් මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්‍ෂකයා වශයෙන් ජනාධිපතිධූරයට තරඟ කලයුතුයයි යෝජනා කිරීමත්, අටපිරිකර රැගෙන ඇමෙරිකන් තානාපතිනි මිෂෙල් සිසන් කෝට්ටේ නාගවිහාරයට යෑමත් බෞද්ධ බලවේගය (හාමුදුරුවරුන්ගේ බලය) පිළිගැනීමක් නොවේද? ඇය මල්වත්තට හෝ අස්ගිරියට නොගියේ කඩුගන්නාවේ කන්ද නැඟීමට තිබෙන නිසාද? අවාසනාවකට මෙන් තුන්වන බලවේගයක් ගොඩනඟනවා වෙනුවට සෝභිත හාමුදුරුවන් කලේ ඉඟුරුදී මිරිස් ගැනීමය. ලිබියාවේ මෙන් සිංහලයින් දෙකට බෙදා රට අරාජක කිරීමේ බටහිර ප්ලෑන් එක දැන් රටේ ක්‍රියාත්මක වෙනවා නොවේද? දෙමළ බෙදුම්වාදය හා ශාරියාවාදය නොනැවතී ඉදිරියට යන අතර හාමුදුරුවරු පක්‍ෂ දේශපාලනය අතහැර එකමුතුවන බවක් නොපෙනේ. ගිහියන් අතර පමණක් නොව සංඝ සමාජයේද විශාල විනය පිරිහීමක් දක්නට ලැබේ. හැමදෙනාම කතා කරනවා මිස සමඟිව ක්‍රියාකරන්නට සූදානම් බවක් නොපෙනේ.

කොඩි හා කොඩියේ පොල්ල

ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් කියා සිටින්නේ බෞද්ධයින් (හාමුදුරුවරු?) කොඩි අරගෙන දේශපාලකයින්ට පෙරහැරේ ගියමුත් අන්තිමේදී බෞද්ධයින්ට ඉතිරිවූයේ කොඩියේ පොල්ල පමණක් බවය. ජාතික හෙළ උරුමයට හා මාදුළුවාවේ සෝභිත හිමියන්ට පන්සලේ ඉතිහාස කතාවේදී හිමිවෙන ස්ථානය කුමක්දැයි මට නොතේරේ. බොදු බල සේනාවද ශූක්‍ෂම කුමණ්ත්‍රනයකට හසුවූවා වියයුතුය. රට දෙකට කැඩීයාමේ ව්‍යාපාරය හා ශාරියා හා ක්‍රිස්තියානී විදේශ ආගමික ආක්‍රමණ බුද්ධ ශාසනයේ විනාශයට හේතුවනු නිසැකය. පක්‍ෂ දේශපාලකයින් විසින් සංඝ සමාජයද විනාශ කරමින් සිටී.

පන්සල හා භූගෝල විද්‍යාව

1956 බෞද්ධ තොරතුරු කොමිෂන් වාර්‍තාවේ රටේ අගනුවර කොළඹින් ඉවතට ගෙනයාමට යෝජනා කර තිබුණි. ඉන් අදහස් වූයේ කොළඹින් සැතපුම් 10 ක් දුර මඩවඟුරකට පාර්ලිමේන්තුව ගෙනයාම නොවේ. රජ රටට එය ගෙන යාමය. ලංකාවේ හාමුදුරුවරු රටේ භූගෝල විද්‍යාව දැන සිටියා නම් 1833 සිට පලාත් නවයකට රට බෙදීමේ කෘතිම බව වැටහෙන්නට ඉඩ තිබුණි. මෙවැනි දෙයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්‍තමේන්තුවෙන් නොවිමසුනේ සර් අයිවෝර් ජෙනින්ස් එහි උපකුලපතිවී සිටීමත්, අනිත් දෙපාර්‍තමේන්තුමෙන් භූගෝල විද්‍යාවත් දමිළ මහාචාර්‍යවරුන් යටතේ තිබීමත් යන්න විය යුතුය. ලංකාව ගොඩනඟා ගතහැක්කේ ගම් මට්ටමින් බව 1931-32 දී කළුකොඳයාවේ නාහිමියන් ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වීම විෂ්මය ජනක වන්නේ මේ නිසාය. ගම-වැව-දාගැබ යන ත්‍රිත්වය රටේ භූගෝල විද්‍යවය. රටේ පරිසරය රැක ගැනීම, බෙදුම්වාදී දෙමළ දේශපාලකයින්ට නොව, දෙමළ මිනිසුන්ට බලය පවරාදීම යන ප්‍රශ්න ඉදිරියේ කළුකොඳයාවේ ග්‍රාමීය සංවර්‍ධන මොඩලය අනුව යමින් ජන සභා ක්‍රමයක් යටතේ හැකිතාක් දුරට පරිපාලන බලය මහජනයාට මාරු කිරීමේ ව්‍යාපාරයක අවශ්‍යතාවය ලංකාවේ පන්සල්වලට පෙන්වාදීමට දැනට ඇති එකම මාර්‍ගය සිංහල බෞද්ධයා පුවත් පමණක් නේද කියා මට සිතේ. 2006 ජූනි 11 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින්, ශ්‍රී ලංකාවේ බෞද්ධයින් සදාචාර විරෝධී හා කූට උපක්‍රම මඟින් අන්‍යාගම්වලට හරවා ගැනීම පිළිඹඳව පරීක්‍ෂා කර බලා වාර්‍තා කිරීම සඳහා පත් කරනු ලැබූ කොමිෂන් සභා වාර්‍තාව 2009 දී නිකුත් විය. bauððhayin yayi kiyaa gannaa síhala ðeezapaalakayin miita pera síhala komixamee vaarþaavata (1997) men mee vaarþaavaða yatagæsuu nisaa කාඩිනල්තුමාට 2017 දී vaþ මේ වාර්‍තාවේ යෝජනා ක්‍රියාත්මක කිරිමට මැදිහත් විය හැකිනම් එතුමාගේ සද්භාවය රටටම ඔප්පුවෙනු ඇත

muulaazra

Kithsiri Malalagoda, Buddhism in Sinhalese Society 1750-1900: a study of religious revival and change (1976).

George D. Bond, The Buddhist Revival in Sri Lanka: religious tradition, reinterpretation and response (1988).

K. M. de Silva & H. Wriggins, J,R, Jayawadene of Sri Lanka, (1988).

K.N.O. Dharmadasa, Language, Religion and Ethnic Assertiveness: the growth of Sinhalese nationalism in Sri Lanka (1992).

H. L. Seneviratne, The work of kings: the new Buddhism in Sri Lanka (2000).

One Response to “පන්සලේ ඉතිහාස කතාවෙන්”

  1. Wetta Says:

    හිතවත් චන්ද්‍රසිරි විජයවික්‍රම මහතාණෙනි, ඔබේ ලිපියේ 2 වැනි පරිච්චේදයේ කියන පරිදි 10-40 ජනේලය දක්වන සිතියමක් මෙහි අමුණා නැත. අමතක වීමක් විය හැක. එය අමුනන්නේනම් මෙය වඩාත් අර්ථාන්විත වනු ඇතැයි සිතමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress