කුණු වෙන කුණු ප්‍රශ්නය
Posted on April 22nd, 2017

නලින් ද සිල්වා

ලෝකයේ ලොකුම නගරය කොළඹ ද කියලා දැන් අහන්න වෙනවා. චම්පක රණවක ඔහුට සුපුරුදු විධියට මීතොටමුල්ලේ කුණු කන්දේ වට ප්‍රමාණය, උස ආදිය ගැන දශමයට ජනතාව දැනුවත් කළා. ඔහු සංඛ්‍යානයෙහි විශේෂඥයකු නොවූවත් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න දක්‍ෂයෙක්. ජාතික හෙළ උරුමයෙන් හාමුදූරුවරුන් කී දෙනකු අස්වුණා ද කියලා ඇහුවොත් ඔහු උපසම්පදා භික්‍ෂූන් වහන්සේ මෙපමණ ය සාමණේර භික්‍ෂූන් වහන්සේ මෙපමණ ය ආදී වශයෙන් ගණන් හිලවු කියාවි. ඒකට රතන හාමුදුරුවන් ඇතුළත් කරනව ද නැද්ද කියන එක නම් ප්‍රශ්නයක් වේවි. චම්පක කියන අන්දමේ ලොකු කුණු කන්දක් ලන්ඩනයේවත් නිව්යෝක්හිවත්, තෝකියෝවෙවත්, සිංගප්පූරුවෙවත් නැතිව ඇති. මෙරට ජනයාත්,  දේශපාලනඥයනුත්,  උගතුනුත්, නිලධාරීනුත් හැම තිස්සෙ ම කතා කරන්නෙ බටහිර වගේ දියුණු වෙන්න. අප සිංගප්පූරුවක් වෙන්නෙ කවද ද කියලා ඒ අය ඇඟිලි ගණන් කරමින් ඉන්නෙ. ඒ දියුණුව ගැන හොයලා බලන්න මෙරට සාමාන්‍ය ජනයා හැර ඉතිරි අය නිතර ඒ රටවලට යනව එනවා. ඔවුන් යන්නෙ ගුවනින් වෙන්න ඕන. මේ කාලෙ කවුරුන්වත් නැවෙන් යනව වෙන්න බැහැ. ඒ හින්ද ද කොහෙද ඊයෙ ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් කියවුණා ගුවන් ගමන් බලපත්‍රය ඉලෙක්ට්‍රොනික ව ලබාගන්න ක්‍රමයක් හදන්න යනවා කියලා. එ බලපත්‍රය ලැබුණට පස්සෙ නිකමටවත් නැවකින් යන්න ලැබෙන එකක් නැහැ. ගුවනින් ම යන්න වෙයි. අපේ දියුණුව ඒ තරමට ඉක්මන්.        

ලන්ඩනය පොඩි ටවුමක් වෙන්න ඕන. ඒකෙ කුණු කොහාට ද දන්නෙ නැහැ දාන්නෙ. ළඟ තියෙන සරේ ප්‍රාන්තයට ගෙන යනව ද දන්නෙ නැහැ. එහෙමත් නැත්නම් ඔක්ස්ෆරෆ්ඩ් හරි කේම්බ්‍රිජ් හරි ගෙනියනව ද දන්නෙ නැහැ. ඒ මිනිසුන් ලන්ඩනයේ කුණු අපට එපා කියලා උද්ඝෝෂණය කරන බවක් නම් දැනගන්න නැහැ. සමහර විට කුණු බකිංහැම් මාළිගාවට ගිහිල්ල දානව වෙන්නත් පුළුවන්. චාල්ස් පරිසර ප්‍රශ්න ඇදගෙන කෑ ගහන්නෙ නැතිව ඇති. කුණු බැහැර කිරීමට විරුද්ධ ව උද්ඝෝෂණය කරන අය ඒ රටවල අත්අඩංගුවට ගන්න වරෙන්තු ඇතිව හෝ නැතිව හෝ පොලීසියට පුළුවන් ද දන්නෙ නැහැ. ඇමතිවරු උද්ඝෝෂණය කළොත් පොලීසිය මොනව කරනව ද?

මා මේ රටට ම දුකක් වුණු වෙලාවක ප්‍රශ්නය හාස්‍යයට ලක් කරනවා නො වෙයි. ඒත් එක එක අය තම පඬිකම ප්‍රදර්ශනය කිරීමට විවිධ කතා කියන එක අහගෙන ඉන්න බැහැ. කොළඹ කුණු අපට එපා කියලා කෑ ගහන එක ගෝත්‍රවාදී වැඩක් කියලා ඇතැම් පඬියන් කියනවා. කොළඹ කුණු කොලොන්නාවෙ දාලා සිද්ධ වුණු දේ හැමෝට ම පේන්න තියෙනවා. ඒත් ප්‍රශ්නය වඩා ගැඹුරුයි. පුත්තලමෙ ඔය තියෙනවයි කියන වලටත් වඩා ගැඹුරුයි. මිනිසුන් කැමති නැහැ තම ප්‍රදේශවල තමන්ගෙවත් කුණු දානවට.

මේ ඊනියා දියුණුවත් සමග ඇතිවෙන පාරිභෝගික සමාජයෙ ඉවත දමන දේට කරන්නේ කුමක් ද යන්න ප්‍රශ්නයක්. ඉස්සර මේ වගේ ප්‍රශ්න තිබුණෙ නැහැ. ඒ කියන්නෙ රජ කාලෙ නො වෙයි. අප කුඩා කලත් මෙවැනි ප්‍රශ්න තිබුණෙ නැහැ. උල්පත් පෑනක් තීන්ත පුරව පුරවා පාවිච්චි කළා. ඒත් දැන් බෝල් පොයින්ට් පෑන් හදන්නෙ ම ඉක්මණින් ඉවත දාන්න. අද දියුණුව කියන්නෙ ඉවත දැමීම. පාරිභෝගික සමාජය පවතින්නෙ ම ඉවත දැමීමෙන්. ඒ භෞතික දේ පමණක් නො වෙයි. බටහිර විද්‍යාවෙ ප්‍රවාදත් ඊනියා දියුණුවෙ නාමයෙන් ඉවත දානවා. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය හෙවත් කතන්දරය අද ඉවත දාලා. අයින්ස්ටයින් එතැනට ඇවිත්. මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගෙ ආර්ථික කතන්දර අද පිළිගැනෙන්නෙ නැහැ. ඒවත් කුණු තමයි. ඒ කුණු පුස්තකාලවල, පරිගණකවල ගොඩ ගැහිලා. මාක්ස්ගෙ කුණු අද ඔහු වැඩ කළ බිරිතානි කෞතුකාගාරයෙත් වෙනත් තැන්වලත් ඇතැමුන්ගෙ ඔළුවලත් තියෙනවා.

කුණු ප්‍රශ්නය ගැන ඉගෙන ගන්න පිටරට යන උගතුන් හා දේශපාලනඥයන් කිසිම දෙයක් ඉගෙන ගන්නෙ නැහැයි කියන එක පිළිගන්න බැහැ. ඔවුන් සාප්පු සවාරි යනවා තමයි. තවත් තැන්වලටත් යනව ඇති. ඒත් ඒ අතර මොනව හරි ඉගෙන ගන්නෙ නැහැ කියලා හිතන්න බැහැ. ප්‍රතිචක්‍රීකරණය වගේ දේවල් ගැන ඔවුන් ඉගෙන ගන්නවා වෙන්න ඕන. එහෙම නැතිව ලන්ඩන් හරි නිව්යෝක් හරි ගිහින් මේකෙ කුණු කොහාටද දාන්නෙ, කුණු එතැනට ප්‍රවාහනය කරන්නෙ කොහොමද, කුණු ට්‍රැක්ටරයකට කීයක් ගෙවනව ද, කොමිස් මුදල කොපමණ ද වගේ ප්‍රශ්න  අහනවයි කියලා හිතන්න බැහැ.

බටහිර අනුකරණය කරන්නෙ නැතිව කුණු ප්‍රශ්නයට වෙන විසඳුමක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒකට දක්‍ෂ අය නැහැ. ඔය මොන විද්‍යාඥයත් කරන්නෙ පිටරටක ක්‍රමයක් තමන්ගෙ වගේ ඉදිරිපත් කරන එක. රනිල් වියට්නාමෙ සංචාරය බාගයකට වඩා නිම කරලා ආපහු ඇවිදින් කුණු ප්‍රශ්නයට මුහුණ දෙන්න මුහුණ වහගෙන ගිහිල්ල. ඒකට කමක් නැහැ. ඔහු පරිසර නීති රීතිවලට යටත් ව ප්‍රශ්නෙ විසඳනවා කියලා. මිනිසුන් හිටියත් නැතත් කුණු කඳු ගහන එක නම් පරිසර නීති රීතිවලට එකඟයි කියලා හිතන්න බැහැ. බටහිර රටවල් විශාල නගර කළමනාකරණය කළත් අපට බැරි ගතියක් පේන්න තියෙනවා. මෛත්‍රිපාල නම් මේ හැම දේකට ම කොමිසම් පත්කරනවා. ගැසට් නිකුත් කරනවා. කොළඹ කුණු ප්‍රශ්නයට එක විසඳුමක් තමයි කොළඹ නගරය විසුරුවා හැරීම. ඒක මෙගාපොලිස් නොවෙයි මිනිපොලිස්. ඒත් ඒව අවුරුද්දකින් දෙකකින් කරන්න පුළුවන් දේ නො වෙයි.

කොළඹ කිසිම පිළිවෙළක් නැති නගරයක්. ඒ කියලා ජයවර්ධනපුර පිළිවෙළක් ඇතිව හැදුව ද? මේ නගර නිර්මාණ කටයුතු කරන්නෙ පණ්ඩුකාභය රජතුමාගෙ මග පෙන්වීමෙන් නිසි පිළිවෙළක් සහිත ව අනුරාධපුරය ගොඩනගපු සිංහලයන්ගෙ මුණුබුරාලා. අපට අපේ පිළිවෙළත් නැහැ. සුද්දන්ගෙ පිළිවෙළත් නැහැ. අප දන්නේ කොමිස් සෙල්ලම විතරයි. ඊළඟ සිංහල අවුරුද්දට ජාතික ක්‍රීඩාවක් හැටියට කොමිස් සෙල්ලම හඳුන්වා දුන්නත් කමක් නැහැ කියලා හිතෙනවා. කුණු ප්‍රශ්නයත් විසඳන්න බැරි කුණු කොමිසුත් නිසා ද?

 

නලින් ද සිල්වා

2017 අප්‍රේල් 21

      

2 Responses to “කුණු වෙන කුණු ප්‍රශ්නය”

  1. Senerath Says:

    මේ ප්‍රශ්නයටත් දැන් නාථ දෙවියන් ගේ පිහිටම තමය්. ඔබතුමා එතුමාගෙන් කොමිස් ගහන්නේ නැතැයි සිතමි.

  2. Christie Says:

    කොලොඹ කුනු එකතු කිරීමත් ඉවත් කිරීමත් කරන්නේ අබාන්ස් නැමති සමූහ වියාපාරිකයන්ය. මුන් ඉන්දියානු පරපෝසිතයන්ය.

    Abans Enviromental Services Pte Ltd is the contractor responsible for this tragedy. Owned and operated my well known Indian Colonial Parasites

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress