මාර්ටින් වික්‍රමසිංහ හා ජාතික චින්තනය
Posted on April 23rd, 2017

නලින් ද සිල්වා

අවුරුදු විසිපහකට පමණ පෙර 1992 මැයි මස 29 වැනි දින මා මොරටුව විශ්වවිද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද රැස්වීමක ඉහත සඳහන් මාතෘකාවෙන් දේශනයක් කළා. එය පොත් පිංචක් ලෙස ඒ සංගමයෙන් මුද්‍රණය කෙරුණා. 1990 මැයි 29 වැනි දින ඒ මහතාගේ ජන්ම ශත සංවත්සරයේ දී මා විශේෂ දේශනයක් කළා. මට මතක හැටියට ඒ දේශනය කෙළේ නව රඟහලේ දී. එහි දී මා කීවේ කුමක් දැයි මතක නැහැ. එහෙත් මොරටුවේ දී මා කී දේ අර පොත් පිංචෙන් කියවා ගත්තා.

මා ඔහුට එහි විශාල ගෞරවයක් කර තිබෙනවා. ඒ අතර ඔහු ගැන විවේචනයක් ද කර තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවෙන් (අන්තර්ඥානයෙන්) දැන ගත්තා. ඔහු අපේ සංස්කෘතිය භාරතයෙන් ස්වාධීන බව පෙන්වීමට උත්සාහයක් ගත්තා. අප එය අගය කළ යුතුයි. එහෙත් ඔහු බටහිර දැනුමේ අනුගාමිකයකු වුණා. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි බටහිර සංස්කෘතිකාංග ඇති බව පෙන්වීමට ඔහු කටයුතු කළා. අප එය කිසිසේත් ම අනුමත කරන්නේ නැහැ.

මෙරට ජාතික චින්තනය යන්නෙන් මා අදහස් කරන්නෙ සිංහල බෞද්ධයන්ගෙ චින්තනය. එය සිංහල ක්‍රිස්තියානින්ගෙ විශේෂයෙන් ම සිංහල කතෝලිකයන්ගෙ චින්තනයෙන් හුඟක් වෙනස් වෙන්නෙ නැහැ. ජනවර්ගයක හරි ජාතියක හරි චින්තනය කියන්නෙ මිනිසුන් ජනවර්ගයක් ලෙස හිතන විධිය. එයට ඥානවිභාගයක්, ආකල්ප, සිරිත් විරිත්, ලෝකය බලන ආකාරය (නිර්මාණය කරන ආකාරය) ආදිය ඇතුළත් වෙනවා. අපේ ඇහෙන් ලෝකය බැලීම වැනි අදහසක් මෙහි ගැබ් වෙලා තියෙනවා. මේ ගුණදාස අමරසේකර කියාපු ජාතික චින්තනය (නැෂනල් තෝට්)  නොවෙයි. මට වැදගත් වෙන්නෙ චින්තනය කියන සංකල්පය. සිංහල බෞද්ධ ජාතික චින්තනය පදනම් වෙන්නෙ නිවන මත. ඒකෙන් කියන්නෙ නිවන කියලා දෙයක්, තැනක්, සංකල්පයක්, දැනුමක් තියෙනවා කියන එක නොවෙයි. මේ නොදැනුම ම තමයි අපේ පදනම. දැනුම සත්වයන්ගේ ඉන්ද්‍රිය පද්ධතියට, මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂයි.

මාර්ටින් වික්‍රමසිංහ යම් ප්‍රමාණයකට හරි අපේ ඇහැකින් ලෝකය බැලුවෙ සාහිත්‍යයේ හා සංස්කෘතියේ විතරයි. ඒත් ඒකෙත් විශාල අඩුපාඩුකම් තිබුණා. අනෙක් ක්‍ෂෙත්‍රවල ඔහුට අපේ ඇහැක් තිබුණෙ නැහැ. බටහිර විද්‍යාව සම්බන්ධයෙන් ගත්තම ඔහු අංක එකේ අනුකාරකයකු වුණා. බටහිර විද්‍යාවෙ ආධිපත්‍යයෙන් කැඩෙන්න යම් ප්‍රමාණයකට හරි බටහිර විද්‍යාව හදාරලා තියෙන්න ඕන. බටහිර ගණිතය හරි ගණිතමය භෞතික විද්‍යාව හරි හදාරලා තියෙනවා නම් වඩාත් හොඳයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සෙ ගණිතය, විද්‍යාව හදාරලා නැති බොහෝ දෙනකුට මා කියන දේ තේරුම් ගැනීමට අපහසු වීම පුදුමයක් නො වෙයි. මාර්ටින් වික්‍රමසිංහ බටහිර විද්‍යාව ගැන බොහෝ විට දැනගත්තෙ ජනප්‍රිය පොතපතින්.

මාර්ටින් වික්‍රමසිංහ සිංහල සාහිත්‍යයෙ තිබුණු සරලකම අගය කළා. කුමාරතුංග කවියකු ලෙස කව් සිළුමිණ අගය කළත් මාර්ටින් වික්‍රමසිංහ එය අගය කෙළේ නැහැ. කව් සිළුමිණ භාරතීය මහා කාව්‍යවල අනුකරණයක් බව වික්‍රමසිංහ කදිමට පෙන්නුම් කළා. ඔහු අගය කෙළේ ගුත්තිලය. සිංහල සංස්කෘතියෙත් සාහිත්‍යයෙත් තිබුණ ආටෝප නැති සරලකම ඉවෙන් දැනගත්තත් මාර්ටින් වික්‍රමසිංහ එය තේරුම් ගත්තෙ බටහිර ප්‍රවාදවලින්. මෙතන තිබුණෙ අන්තර්ඥානයට (ඉවට) සරිලන අපේ ප්‍රවාද නොතිබීමේ අඩුව. කුමාරතුංගට වගේ ප්‍රවාද හෙවත් කතන්දර ගෙතීමේ හැකියාවක් මාර්ටින් වික්‍රමසිංහට තිබුණෙ නැහැ. ඒ නිසා මාර්ටින් වික්‍රමසිංහ සිංහල සංස්කෘතිය මැලිනොව්ස්කි, රූත් බෙනඩික් වැනි බටහිර මානව විද්‍යාඥයන්ගෙ ප්‍රවාදවලිනුත් සාහිත්‍යය ඊනියා යථාර්ථවාදී පැත්තෙනුත් අගය කෙරුවා. ඒ ඔහු බටහිර දැනුමට යට වී සිටි නිසා. ඔහුට තබා ඊට පසුව පැමිණි ගුණදාස අමරසේකරටවත් බටහිර දැනුම් ආධිපත්‍යයෙන් නිදහස් වෙන්න බැරි වුණා.

මාර්ටින් වික්‍රමසිංහ සිංහල සංස්කෘතිය බෙනඩික් අනුව ගොස් සුඛනම්‍ය සංස්කෘතියක් ලෙස හැඳින්වුවා. හින්දු සංස්කෘතියත් යම් ප්‍රමාණයකට සුඛනම්‍යයි. හින්දු සංස්කෘතියට බොහෝ දේ අවශෝෂණය කර ගන්න පුළුවන්. ඒත් එහි බ්‍රහ්මන් ඉන්නවා. අද්වෛත වේදාන්තයේ නම් ඉතා වියුක්ත නිර්ගුණ් බ්‍රහ්මන් ඉන්නවා. සිංහල බෞද්ධ සංස්කෘතියේ නිවන ඊනියා දෙයක්, තැනක් ආදී වශයෙන් කියන්න බැහැ. අපේ සුඛනම්‍ය ගතිය ඇත්තේ බෙනඩික්ගේ සුඛනම්‍යයේ නො වෙයි. මාර්ටින් වික්‍රමසිංහ බටහිර මානව විද්‍යාව ඉතා උසස් කොට සැලකුවා. ඔහු අයිවෝ ජෙනිංග්ස්ට ලිපි යවමින් මානව විද්‍යාව විශ්වවිද්‍යාලයේ උගන්වන ලෙස ඉල්ලා සිටියා. මානව විද්‍යාව ඇති වුණේ බටහිරයන්ට අනෙක් ජනවර්ග ගැන දැනගෙන ඒ ජනවර්ග පාලනය කිරීමට. වික්‍රමසිංහට ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඔහු පරිණාම වාදය ඉතා තදින් විශ්වාස කළා. එහෙත් පරිණාම වාදය බුදුදහම සමග එකඟ නොවන බව ඔහු තබා අදත් බොහෝ බෞද්ධයන් දන්නේ නැහැ. පරිණාම වාදය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි රේඛීය චින්තනය මත පදනම් වෙලා. එහි දෙවියන් වහන්සේ නැති වුවත් ආරම්භයක් තියෙනවා. බුදුදහම දේශනා කර ඇත්තේ චක්‍රීය චින්තනය මත පදනම් වෙමින්. පටිච්ච සමුප්පදාය චක්‍රීයයි. පරිණාම වාදය සමග අග්ගඤ්ඤ සූත්‍රය එකඟ වන්නේ නැහැ.

සිංහල සාහිත්‍යයේ සරල බව ඉවෙන් මෙන් දැන ගැනීමට වික්‍රමසිංහ සමත් වුවත් ඔහුට එය තේරුම් ගැනීමට ප්‍රවාදයක් තිබුණේ නැහැ. ඔහු ඊනියා යථාර්ථවාදයක් කර ගහ ගත්තා. ඒ අනුකාරකයකු ලෙස බටහිර ක්‍රිස්තියානි දැනුම් ආධිපත්‍යයට යට වීමෙන්. ඊනියා බෞද්ධ උගතුන් ද බුදුදහම යථාර්ථවාදී යැයි කියන බැවින් එක් අතකින් වික්‍රමසිංහට පමණක් චෝදනා කරන්න බැහැ. දැනටත් ජීවමාන ව සිටින වයි කරුණාදාසත් යථාරථවාදියෙක්. ඔහු පුස්තකාල මණ්ඩලයෙන් මගේ ලෝකයට මුද්‍රණය සඳහා මුදල් ලබා දීමට විරුද්ධ වුණා. මගේ ලෝකයෙන් යථාර්ථවාදය ප්‍රශ්න කෙරෙනවා.

වික්‍රමසිංහ යථාර්ථවාදය පිළිගෙන ජාතක කතා යථාර්ථවාදී යැයි කිවුවා. ඒ සිංහල බෞද්ධ සාහිත්‍යය බටහිර සාහිත්‍යය සමග එකඟ වන බව පෙන්වීමට. ජාතක කතාවල බටහිර කෙටිකතා ශෛලිය ඇති බව ඔහු කිවුවා. ඒ පට්ටපල් බොරුවක්. අද ඇතැම් පඬියන් ජාතක කතා      වල අධියථාර්ථවාදයක් දකිනවා. මේ පරස්පරයක්. ඒ සියළු කතා බටහිර දැනුමට යටවීමේ ප්‍රතිඵල. වික්‍රමසිංහ අවසානයේ දී බවතරණය ලිවුවේ සිදුහත් කුමරු තවත් මිනිසකුය පිරිමියකු ය යන තකතීරු අදහසින්. බුදුවන භවයේ සිදුහත් කුමරු සමාන්‍ය මිනිසකු නොව වෙනස් අයකු බව බටහිර විද්‍යාව කට ගා ගත් වික්‍රමසිංහට තේරුණේ නැහැ. කළුකොඳයාවේ හාමුදුැරවන් ඔහුට අනගි පිළිතුරක් ලබා දුන්නා.

බටහිර විද්‍යාව කට ගා ගත්තත් ඔහු ඒ සිංහල පාඨකයන් අතර ප්‍රචාරය කිරීමට වෙහෙස වුණා. ඒත් වැරදි විධියට. ඔහු සාපේක්‍ෂතාවාදය ගැන ලියා ඇති දේ කිසිවකු නොකියවීම භාග්‍යයක්. බටහිර දැනුම පසුපස ගිය ඔහු ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පමණක් විශ්වාස කළා. එබැවින් පුනරුත්පත්තිය පිළිගත්තේ නැහැ. එහෙත් බටහිර විද්‍යාවේ කතන්දර (ඊනියා ප්‍රවාද) පංචෙන්ද්‍රිය ගෝචර නොවන බව ඔහු දැන සිටියේ නැහැ.

වික්‍රමසිංහට මාක්ස්වාදය ගැන දැනීමක් තිබුණේ නැහැ. ඔහු ද්වන්දාත්මක භෞතිකවාදය (අපෝහක ද්‍රව්‍යවාදය) බුදුදහම සමග සංසන්දනය කෙළේ එබැවිනුයි. ඔහු සෝවියට් දේශයේ නැගීම ගැන ව්‍යාජ කතා ලිවුවා. අද සෝවියට් දේශයක් නැහැ. ඔහු සෝවියට්  දේශයේ කඩා වැටීම ගැන ලිවීමට ජීවත් වුණේ නැහැ. එත් ඔහු පනස්හයේ ජයග්‍රහණයෙන් පසු ඉතා අවස්ථාවාදීව බමුණු කුලයේ බිඳ වැටීමක් ගැන ලියා දහසින් බැඳි පියල්ලක් ද ලබා ගත්තා. ඒත් ඔහුත් බටහිර බමුණු කුලයේ දැනුම ඉදිරියේ දණ නැමුවා.  මේ සියල්ලෙන් පෙනී යන්නේ ඔහුට සිංහල බෞද්ධ සංස්කෘතිය ඉන්දියාවෙන් ස්වාධීන බව පෙන්වීමට වුවමනාවක් තිබූ නමුත් බටහිර දැනුමට යට වීම නිසා ඒ ස්වාධීනත්වය මතු කර ගැනීමට නොහැකි වූ බවයි. ජාතික චින්තනයට ගරහන පඬියන් මාර්ටින් වික්‍රමසිංහට ගරු කරන්නේ ඔහු අවසාන විග්‍රහයේ දී බටහිර අනුකාරකයකු වූ නිසා.

 

නලින් ද සිල්වා

2017 අප්‍රේල් 22

2 Responses to “මාර්ටින් වික්‍රමසිංහ හා ජාතික චින්තනය”

  1. Hiranthe Says:

    Fantastic!! This is the bitter truth about Martin Wickramasinghe and no wonder his writing in “Bhawa Tharanaya” is so antagonising.

    Thank you Dr. Nalin for opening this up and revealing the truth for today’s readers.

  2. Christie Says:

    මමනම් කියවලා තියෙන්නෙ මාර්ටින්ගේ මඩොල්දුව හා රෝහිනි.

    මම දකින බටහිර විද්දයාව මේ අඟිල්ලෙන් කොටන ප්ලාස්ටික් පුවරුවයි සින්හලට පෙරලන දෙයියොයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress