ජාතික ප්‍රතිපත්තියක් සාදන තෙක් එට්කා සාකච්ඡා එපා!
Posted on April 27th, 2017

Professionals’ National Front

පසුගියදා ජනමාධ්‍ය වාර්ථා කර තිබුන ආකාරයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව යනුයේ ඉන්දීය අගමැති මෝදි මහතා හමුවී අපේ රටට තීරනාත්මකව බලපාන්නා වූ කාරනා කිහිපයකටම සිය අවසාන එකගතාවය පලකිරීමටය. ඒ අතර අපේ රටට  තීරනාත්මකව බල පාන්නාවූ එට්කා ගිවිසුම ද වේ. රට තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් එට්කා ගිවිසුම පිළිබදව රටේ පිළිගත් වෘත්තිකයන්ගේ ප්‍රබල සංවිධාන රැසක එකමුතුවෙන් ගොඩ නංවන ලද වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) ලෙස අප අපගේ බලවත් අවධානය පසුගිය කාලය පුරාම යොමු කළෙමු. එහි අහිතකර පලවිපාක පිළිබදව වරින් වර ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගත්තෙමු. පාලකයින්ගේ ද සෙසු  බලධාරීන්ගේ ද ඇස් ඇරවීමට ද වරින් වර උත්සාහ ගත්තෙමු. විශේෂයෙන්ම අපේ රටට මහජනතාවගේ අදහස් උදහස් මත පදනම්ව සකසන ලද පාර්ලි‍මේන්තුවේ අනුමැතිය ලද පිළිගත හැකි ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් නොමැත. එවන් තත්වයක් තුල එළඹෙන්නාවූ ජාත්‍යන්තර වෙළද ගිවිසුම් නිසා  රටට අත්විය හැකි ප්‍රතිපල ඉතාමත්ම අහිතකර වන බවද පෙන්වා දුන්නෙමු.

එබැවින් අන් රටක් සමග වෙළද හා/හෝ සේවා ගිවිසුමක් සම්බන්ධව එකගතාවයකට ඒමට පෙර, වඩාත් නිවැරදිව ගතහොත් එවන් ගිවිසුමක් සම්බන්ධව සාකච්ඡාවකට යාමට පෙර ජනතාවට වගකියනු ලබන බලාත්මක පැහැදිලි සහ නිශ්චිත ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම අත්‍යවශ්‍ය ය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) ඇතුලු තවත් සංවිධාන කිහිපයක්  ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කරණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසුව ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා ජනතාවට වගකියන කොමිසන් සභාවක් පත් කරන බවටත් ඒ සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රිකිවක් නිකුත් කිරීමට කටයුතු කරන බවටත් පොරොන්දු විය.  ගැසට් පත්‍රය සැකසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය සදහා ගරු සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යා මලික් සමරවික්‍රම මහතා ට අවශ්‍ය උපදෙස් ද ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දෙනු ලැබීය. එසේම ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සකසා අවසන් වන තුරු එට්කා ගිවිසුම හෝ වෙනත් කිසිදු වෙළද හා/හෝ සේවා ගිවිසුමක් කිසිදු රටක් සමග අත්සන් නොකරන බවටත් පොරොන්දු විය. එහෙත් රජය පොරොන්දු ප්‍රකාරව ගැසට් පත්‍රයක් නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරනු ලැබූ අතර ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා කොමිසන් සභාවක් පත් කිරීමට මේ තාක් කිසිදු පියවරක් ගෙන නොමැත.

රජය සිය වගකීම පැහැර හැර අති තත්වය යටතේ  වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) මැදිහත්ව ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා මහජන කොමිසන් සභාවක් පසුගිය මාර්තු මස පිහිටවනු ලැබීය. කිසිදු රජයකට පවා පත් කළ හැකි යැයි සිතිය නොහැකි මට්ටමින් කීර්තිමත් හා පලපුරුදු විද්වතුන්ගෙන් හා වෘත්තිකයන්ගෙන් සමන්විත වූ මහජන කොමිසන් සභාවක් ස්ථාපිත කිරීමට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ (PNF) සමත් විය. එහි සභාපති ලෙස කෙ‍ාළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ආර්ථික විද්‍යාව පිළිබදව මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් මහතා කටයුතු කරනු ලබන අතර සම සභාපතිත්වය දරනුයේ හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සරත් පාලිත ප්‍රනාන්දු මහතා ය. කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරනුයේ විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තු‍වේ  හිටපු ප්‍රධානාධිකාරි කේ. ඒ. තිලකරත්න මහතා ය. සෙසු සාමාජිකයන් වනුයේ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, වානිජ කටයුතු දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පී. ඩී. ප්‍රනාන්දු මහතා, දේශීය ආදායම් කටයුතු දෙපාර්තුමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් ආර්. පී. එල්. වීරසිංහ මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හිටපු ප්‍රධාන ගෝලීය කටයුතු නිලධාරි ඉංජිනේරු ලක්ෂ්මන් පෙරේරා මහතා හා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය බන්ධුල පෙරේරා මහතා ය.

එම මහජන කොමිසන් සභාව අප්‍රේල් මාසය තුල සිය කටයුතු ආරම්භ කළ අතර මේ වන විට සැසි වාර දෙකක් පවත්වා මහජන අදහස් විමසා ඇත. එහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ද රජයේ  අමාත්‍යවරුන් වන දයා ගමගේ මහතා හා සුසිල් ප්‍රේමජයන්ත මහතා ද හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද කොළඹ විශ්ව විද්‍යලයේ ආර්ථික විද්‍යාව පිළිබද ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා  හා  ආචාර්ය දයාන් ජයතිලක මහතා ඇතුලු විද්වතුන් ද ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති ඉංජිනේරු ආචාර්ය ආනන්ද රණසිංහ මහතා වෘත්තිකයන්ගේ සංවිධානයේ (OPA) හිටපු සභාපති වරලත් ගෘහ නිර්මාණ/ නගර නිර්මාණ ශිල්පි තිලිණ කිරිංගොඩ මහතා ඇතුලු වෘත්තිකයන් ද ද DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක කුලතුංග රාජපක්ෂ මහතා, පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා හා නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් සමාගමෙහි සභාපති සමන්ත කුමාරසිංහ මහතා  ඇතුලු ප්‍රකට ව්‍යාපාරිකයන් හා අපනයනකරුවන් ද ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා මහතා ඇතුලු වෘත්තීය වෘත්තීය සමිති නියෝජිතයන් ද ඇතුලු ව වෘත්තිකයන් හා විද්වතුන් රැසක්ම කොමිසම හමුවේ මේ වන විටත් අදහස් දක්වා ඇත. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කොමිසන් සභා සැසිවාර වලදී තවත් වෘත්තිකයන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් හා විවිධ සංගම් නියෝජිතයන් ඇතුලු මහජන නියෝජිතයන් රැසක්ම සාක්ෂි දීමට නියමතව ඇත. එම කරුණු දැක්විම් මත පදනම්ව ජාත්‍යන්තර වෙළදාම පිළිබදව

ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා වූ සිය නිර්දේශ මහජන කොමිසන් සභාව විසින් රජයට බාර දීමට නියමිතය. එම නිර්දේශ සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක් නීතිගත කිරීම රජයේ වගකීමක් වේ. එම ජාතික ප්‍රතිපත්තිය මත පදනම්ව රටේ යහපත උදාකිරීම උදෙසා ජාත්‍යන්තර වෙළදාම සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයකට අත්හල නොහැකි වගකීමකි.

මේ අනුව ජාත්‍යන්තර ජාත්‍යන්තර වෙළදාම පිළිබදව ජාතික ප්‍රතිපත්තියක්  සකසා නීතිගත කරන තෙක් එට්කා ඇතුලු ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වහාම අත්හිටවන ලෙස ඉල්ලා සිටිමු.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress