මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගේ ක්‍රියාන්විත අත්දැකීම් ඇසුරෙන්
Posted on April 29th, 2017

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

…මා ඇම්බුෂ් දෙකකින් අනූනවයෙන් බේරුනා, මගේ හමුදා සේවා කාලය තුළදී. පළමුවැන්න 1985 දී. එවකට මා සේවය කලේ පොළොන්නරුව – මඩකළපුව මාර්ගයේ පුනානි ප්‍රදේශයේ. මාස 4 කට පමණ පසුව මා ලද නිවාඩු දින පහ අවසන් වී, පාන්දරින්ම ආපසු පුනානි වෙත යන්න පිටත්වුනත්, බස් ප්‍රමාදය නිසා යන්නට නොහැකිවුනා. හවස්වනවිට මට පැහැදිළිව තේරුණා, ළඟම පිහිටි හමුදා කඳවුර වෙත යාම තමයි, වඩාත් ප්‍රඥාගෝචර වන්නේ කියා.
   ලොරි කබලක එල්ලුන මට, යන්තම් දිඹුලාගල මහා විහාරයේ පිහිටි කඳවුරට යාගත හැකිවුනා. එහි තිබුනේද මගේ රෙජිමේන්තුවේම කඳවුරක්. මා එහි සිට පුනානි අණදෙන නිලධාරි තුමාට ගුවන්විදුලි පණිවිඩයකින් දැන්වුවා, බස් නැති නිසා මා ප්‍රමාද වූ බවත්, ඒ නිසා දිඹුලාගල කඳවුරට පැමිණි බවත්, හෙට උදේම පුනානි වෙත එන බවත්. ඒ සඳහා අනුමැතිය ලැබුනා. (අනිවාර්යයෙන් අනුමැතිය දෙන්නට වෙනවා. මොකද, ඒ දිනවල ප්‍රධාන මාර්ගයේ මීටර් 500 න් 500 ට පමණ සෙබළුන් දෙතුන් දෙනා යොදවා මාර්ගයේ ආරක්ෂාව තහවුරු කරනවා. එයට කියන්නේ පිකට් picket කියලා. (මාර්ග ආරක්ෂක මුරය) (picquet නෙවෙයි) ඒ පිකට් එක සවස 5.00 ට පමණ ඉවත් කරනවා. මම ලොරියට නැග්ගේත් 5.30 ට විතර) පිකට් එක ඉවත් කල පසු ක්‍රියාන්විත රාජකාරි සඳහා යන විශාල සන්නද්ධ භට පිරිස් පමණක් පයින් යනවා හැර, හමුදා රථ ඒ මාර්ගයේ නොයවන්නේ, ඇම්බුෂ් වලට අසුවීමට හොඳටම ඉඩ තිබෙන නිසයි.  
අභාවප්‍රාප්ත  මේජර් ගුණරත්න හෙවත් විචා තුමාට උපහාර පිණිස එතුමා විසින් ලියන ලද ලිපියක් පල කරමි. 
   එදා රාත්‍රියේ පන්සලේ කඳවුරේ සහෝදර නිලධාරියාගෙන් ‘සියළු සත්කාර සංග්‍රහ’ විඳ, උදෙන්ම ගුවන් විදුලියෙන් කතාකර කිව්වා මාව රැගෙන යන්නට වාහනයක් එවන ලෙස. වාහනයක් එවන බව කිව්වත්, එය ප්‍රමාද වන බව පෙනී ගියා. මේ අතර, මගේ සහෝදර නිලධාරියා කිව්වා, ඔහුට රාජකාරි අවශ්‍යතාවක් තිබෙන නිසා, වැලිකන්ද කඳවුරට යන බැවින්, ඔහුගේ වාහනයෙන්, මා වැලිකන්ද දක්වා ගෙන යාහැකි බව. මම බොහොම කැමැත්තෙන් ඔහු සමග පිටත් වුනා. අපි වැලිකන්ද කඳවුරට ළඟා වෙමින් සිටියා. ඒ හරියේ පාර තනි කෙලින් පිහිටා තිබෙන්නේ.
  මේ වෙලාවේ අපි දුටුවා ඈතින් එන ජීප් රථයක්. මම අනුමාන කළා ඒ මා කැඳවාගෙන යන්නට එන ජීප් රථය කියා. මොහොතකින් මහා ‘බුම්ම්ම්ම්ම්ම්……’ හඬක් සමග ඒ ජීප් රථය පොළොවෙන් අඩි 10 ක් පමණ උඩට විසිවී ගිනි ගුලියක් වී පාරට වැටුනා. ඒ වනවිට අපේ රථයත් ඒ රථයත් අතර දුර මීටර් 500 ක් පමණ තිබුනේ. අපේ රථයේ රියදුරා ගැසූ බ්රේක් පාරට, මගේ ඔළුව රථයේ වා මුවාවේ වැදුණා. අපේ ආරක්ෂක මුරය වෙඩි තියාගෙනම එලියට පැන්නා. මමත් මගේ සහෝදර නිලධාරියාත් ආරක්ෂක මුරයේ හතර දෙනාව දෙදෙනා බැගින් යොදාගෙන, පාරේ දෙපස කැලය දිගේ වෙඩිතබමින් ඉදිරියට ගියා. නමුත් ඒ වනවිටත් ත්‍රස්තවාදීන් පැනගොස් තිබුණා.
  ඒ පැමිණ තිබුනේ මා රැගෙන යාමට පැමිණි රථයයි. එය සම්පුර්ණයෙන් කුඩුපට්ටම් වී තිබුණා. එහි සිටි සෙබළුන් පස්දෙනාගෙන් (රියැදුරු, ආරක්ෂක සෙබළු හතර දෙනා) තුන් දෙනෙකුගේ සිරුරු කැබලි වලට කැඩී තිබුණා. රියදුරු ගේ සිරුර කැඩී නොතිබුනත් මියගොස් සිටියා. එක සෙබළකු මරණාසන්න තත්වයේ සිටියා. අපි වහාම ගුවන්විදුලි මගින් තත්වය වාර්තා කල විගස, ඒ වනවිටත් සැක කටයුතු ශබ්දය ඇසුණු ආධාරක භට පිරිස් එහි ළඟා වෙමින් සිටියා.
  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවකු එදා වීර ක්‍රියාවක් කළා. ඔබ දන්නවානේ පාර දෙපස සෙවන සඳහා වවා තිබෙන මාර ගස්. ඔහු මේ මාර ගස් දෙකක අතු වල යන්තමින් ගැටෙමින් (පුංචි රිකිලි හෙලිකොප්ටර් තලවල වැදී කැඩී වැටුනා) ඒ ගස් දෙකක් මැදින් හෙලිකොප්ටරය මහ පාරට බෑවා. ඒ නිසා අර මරණාසන්න සෙබළා පොළොන්නරුව රෝහල වෙත ගෙනගොස්, දිවි බේරාගන්නට හැකිවුණා.
  ඒ වෙලාවේ පැමිණි ආධාරක භට පිරිස් සමග අපි අවට පරීක්ෂා කළා. එහිදී හමුවුනා තවත් බිම්බෝම්බ වයරයක්. එය දිගේ පරීක්ෂා කිරීමේදී පෙනීගිය පුපුරා නොගිය තවත් බිම්බෝම්බයක් ඇති බව. පසුව බෝම්බ නිෂ්ක්‍රිය අංශයෙන් එය නිෂ්ක්‍රිය කළා. ඒ බෝම්බය සවි කර තිබුනේ පාරේ අපේ වාහනය ගමන් කළ තීරුවේ. ඒ කියන්නේ කොයි පැත්තෙන් හෝ එන හමුදා වාහනයකට පහර දෙන්නයි බෝම්බ දෙකක් යොදා තිබුනේ. අර වාහනය අපේ වාහනයට කලින් එතනට ආවා. තවදුරටත් පරීක්ෂා කරන විට මගේ කනට වතුර බින්දුවක් වැටුණා වගේ දැනුණා. උඩ බැලූවිට දැක්කේ, බෝම්බ පිපිරීමේදී, සිරුරෙන් වෙන්ව ගොස්, ගහක රැඳුණු, සොල්දාදුවකුගේ අතකින්, තවමත් ලේ බිඳු වැටෙන බවයි.
  දෙවැනි වතාවටත් මම ඇම්බුෂ් එකකින් ගැලවුනේ 1999 දී. එවකට ක්‍රියාත්මකව තිබුණු ජය සිකුරු ක්‍රියාන්විතයේදී(Operation Jayasikuru) වවුනියාවට උතුරෙන් පිහිටි අලුතෙන් අත්පත් කරගත් ප්‍රදේශයක ආරක්ෂාව තහවුරු කරගන්නට අපේ භට පිරිස් යොදවා තිබුනා. මා ඒ භටපිරිස් යෙදවීම පරීක්ෂාකර ආපසු පැමිණෙන්නට මගේ වාහනයට ගොඩ වෙද්දී මතක් වුනා එක්තරා ස්ථානයකට යොදවා සිටි භට පිරිස් ඊට වඩා මීටර් 100 ක් පමණ පසුපසින් සිටීම වඩාත් යෝග්‍ය බව. ඒ ප්‍රදේශයේ යොදවා සිටි කණ්ඩායම් භාර නිලධාරි වරයාට එය කියන්නට මා නැවතත් වාහනයෙන් බැස ගියා. මේ අවස්ථාවේදී හමුදා වාහනයක් යනවා මා දුටුවා. විනාඩි දෙකකින් පමණ මහා පිපිරුම් හඬක් ඇසුනා. අර වාහනය රැකසිට පහරදීමකට ලක්ව තිබුණා.
  අපේ ආරක්ෂක වළල්ල තුලට රිංගා ගත් තුන් දෙනෙකුගෙන් යුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් තමයි එය කර තිබුනේ. පැන යමින් සිටි ඔවුන්, එදාම සවස, වෙනත් ප්‍රදේශයකදී අපෙන් වෙඩිකා මියගියා.
  පහරදීමට හසුවූ වාහනයේ මා හඳුනන සොල්දාදුවකු සිටියා. මා එතනට යනවිට ඔහු පණ අදිමින් සිටියා. මම වහාම බිම වාඩිවී, ඔහුගේ හිස මගේ  මගේ  උකුලේ තබාගන්න විටයි දුටුවේ, ඔහුගේ ශරීරය දෙකට කැඩී ඇති බව. එළියට ඇවිත් තිබුණ ඔහුගේ හදවත, තවමත් ගැහෙමින් තිබුණා. ඔහු මා දෙසම බලා සිටියා. මාව හඳුනාගත් බවක් පෙනුණා. මා ඔහුට වතුර පොවන්නට උත්සාහ කළත්, ඔහු මඳ සිනහවක් පෙන්වමින්, මගෙන් සදහටම සමුගත්තා. එදා නම් මට හැඬුණා.

One Response to “මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගේ ක්‍රියාන්විත අත්දැකීම් ඇසුරෙන්”

  1. Kumari Says:

    When I read or hear stories of bravery and dedication by our war heroes, I well and truly curse the Rookadaya Sirisena.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress