අප සැරසෙන්නේ ශ්‍රීලනිපයේ මලගමටද ශ්‍රී ලංකාවේ මලගමටද?
Posted on April 30th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

තවත් මැයි දිනයක්! පසුගිය වර එජාපයේ අය කැම්බල් පිටියට රැස් වෙත්දී ශ්‍රීලනිපයේ අය ගාල්ලට සහ කිරුළපනට බෙදී ගියහ. කිරුළපනට යන අය ගැන තීරණයක් ගන්නා බව සන්ධානයේ මහ ලේකම්වරයාද, ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයාද පාරම් බෑහ. මැයි 2 වන දා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩකින් අඩු කරනු ලැබිනි. ඒ ප්‍රතික්‍රියාව පෙන්වූයේ කිරුළපන මැයි රැලියේ තත්වය මත ඔවුන්ට රිදුන නිසා බව පැහැදිලිය. යහපාලන රජය විසින් ඒකාබද්ධ විපක්ෂයට මඩ ගසන්නට යොදාගෙන ඇති ප්‍රධානම ඇමතිවරයා වූ විජිත් විජිතමුණි සොයිසා ද ගාල්ල ක්‍රීඩාංගනය සේරුවකටත්, කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනය හුණ්ඩුවකටත් උපමා කරමින් කිරුළපනට පැමිනි සෙනග අවතක්සේරු කලේය. නමුත් මෙවන් පක්ෂ රැස්වීමකට සහභාගි වන සෙනග ඇඳ පැළඳ සිටින ආකාරය, සපයන ප්‍රවාහන ක්‍රම විධි, සපයන අනෙකුත් සැපයුම්, ආදිය විමසා බලන කල්හි මේ සෙනග ආවාද, ගෙනාවාද යන්න වටහාගත හැකිය.

මෙවර ප්‍රශ්නය ගැටඹේද, ගාලු මුවදොරද යන්නයි. ගාලු මුවදොරට යන ඒකාබද්ධ විපක්ෂයේ පිරිස සම්බන්ධව දැඩි තීරණයක් ගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක තදින්ම පවසා සිටියි. එස්. බී. දිසානායක, ජෝන් සෙනවිරත්න ඇතුලු ශ්‍රීලනිපයේ සමහරු නම් සිටින්නේ තාප්පය උඩ සිටින බළලුන් මෙනි. තමන් පනින්නේ මොන පැත්තටද යන්න වැඩේ වෙන හැටියට ඔවුන් තීරණය කරනු ඇත. 

2015 ට පෙර මෙම තාප්පය උඩ සිටින බළලාගේ භූමිකාව ඉටු කලේ තොන්ඩමන්, රවුෆ් හකීම් ආදීහුය. ඒ එකල ප්‍රධාන පක්ෂ දෙක අතර බලය දෝලනය වූ කාලයේදීය. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලම සිටින පිරිසක් මෙසේ තාප්පය මත සිටින බළලුන්ගේ චරිතය භාරගෙන ඇත්තේ ඇයි? එයින් ගම්‍ය වන්නේ පක්ෂය දැනටම දෙකඩ වී ඇති බවත්, ඒ දෙකොටස අතර බලය දෝලනය වෙමින් පවතින බවත්ය.  

1951 සැප්තැම්බර් මස 2 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවූයේ ජාතික පදනමක් ඇතිවය. 1952 දී පැවැත්වුන පාර්ලිමේන්තු මැතිවරණයේදී හා හා පුරා කියා ඉදිරිපත්ව ආසන 9 ක් දිනා ගැන්මට ශ්‍රීලනිපය සමත් විය. මනාප ක්‍රමය මත නොව කොට්ඨාශ ක්‍රමය අනුව චන්ද විමසූ ඒ යුගයේ, බිහිවී වසරක් යන්නටත් මත්තෙන් මේ තත්වය ශ්‍රීලනිපය ලබාගත් විශාල ජයග්‍රහණයක් විය. ඒ ලද පන්නරය තුලින් සංවිධානය වූ ඔවුහු 1956 මහ මැතිවරණය ජයගෙන රජයක් පිහිටුවීමට සමත් වූහ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග ඒකරාශී කරගත් පොදු ජනතාවගේ පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට වූ පිලිගැන්ම මෙම ජයග්‍රහණයේ රහසයි.

1948 දී බ්‍රිතාන්‍යය වෙතින් නිදහස ලැබුවද ත්‍රිකුණාමල වරාය වැනි දිවයිනේ ප්‍රධාන ආරක්ෂක මර්මස්ථානයන්හි බ්‍රිතාන්‍ය හමුදාවන් දිගටම රැඳී සිටියහ. බණ්ඩාරනායක රජය විසින් මෙම බ්‍රිතාන්‍ය හමුදාවන් ඉවත්කර ආරක්ෂක වැඩපිලිවෙලෙහි පාලනය ශ්‍රී ලංකා හමුදාවන් යටතට පත් කරන්නට කටයුතු කරන ලදී. එකල චන්ද බලය හිමිවීම සඳහා තිබූ වයස 21 හි වයස් සීමාව වයස 18 දක්වා අඩුකලේ ද ඔවුන්ය. 1958 දී ස්ථාපිත කල සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල මෙන්ම බලයට ගෙනා කුඔුරු පනත තුල පක්ෂයේ කොඳු නාරටිය බඳු වූ වැඩ කරන ජනතාව සහ සුලු ගොවීන්ගේ අනාගතයට පදනමක් වැටුනි. ආයුර්වේද පර්යේෂණ ආයතන හරහා දේශීය වෛද්‍ය ක්‍රමයට නව එළියක් ලැබුනු අතර වරාය සහ ප්‍රවාහන සේවා ජනසතු කිරීම, පේෂ කර්මාන්තය ඇතුලු දේශීය කර්මාන්ත නගා සිටුවීම සඳහා දේශීය සම්පත් යොදා ගැනීම ආදී කාර්යභාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතින් සිදුවූ අනුපමේය මෙහෙවරයන්ය. ගැසට් නිවේදනයක් මගින් මැයි දිනය රජයේ, බැංකු සහ පුද්ගලික අංශයේ නිවාඩු දිනයක් බවට පත් කලේද මේ වකවානුවේදීය. මේ සේවාවන් තුල ජාති භේදයක් නොතිබුන නමුදු අද අවාසනාවට සඳහන් වනුයේ සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ කාරණය පමනි. 

1948 දී ලද නිදහසින් පසු පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය ගෙනගිය ධනවාදී ප්‍රතිපත්ති සහ බටහිරට බරවූ සම්බන්ධතා වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තිබුනේ ප්‍රජාතන්ත්‍රවාදී – සමාජවාදී ප්‍රතිපත්ති සහ නොබැඳි සම්බන්ධතාවන්ය. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය වන්නට හේතු වූයේද මෙම ප්‍රතිපත්තිම බව පැහැදිලිය. එයද බටහිර කුමන්ත්‍රණයක කොටසක් ලෙස විග්‍රහ වනුයේ එහෙයිනි. බණ්ඩාරනායක ඝාතනය සිදුවූ වහාම පත්කල භාරකාර රජයේ අග්‍රාමාත්‍ය තනතුරේ වගකීම භාරගත් විජයානන්ද දහනායක, තමා ගැනම ඇතිවූ අධි තක්සේරුව ඔස්සේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන 1960 දී පැවැත්වුන මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රීලනිප නායිකාව බවට පත්වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රතිවාදියෙකු ලෙසය. නමුත් ඒ මැතිවරණයේදී ඔහුට තම අසුනත් අහිමිවිය. ඔහු යලි බලයට පැමිනියේ 1965 දී එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමෙනි.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේනගේ කෙරුවාව දෙස බලන කල්හි මෙයට යම් සමාන කමක් පෙන්වයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කවදත් එරෙහි වන එජාපයේ හිතමිතුරු බටහිර රටවල් චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ ඈ සමග යම් හිතමිතුරු ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියහ. එමෙන්ම ඒ වන විටත්, කාලයක් තිස්සේ ඇදී ගොස් 1983 දී උච්ඡත්වයට පත්වූ සිංහල දෙමළ වර්ගවාදී ප්‍රශ්නය හමුවේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය ඉදිරියේ දණ නමන්නට සිදුව තිබිනි. චන්ද්‍රිකා පාලන සමයේදී සොල්හයිම්, මිලිබෑන්ඩ්, අකාෂි ආදීහු මේ ප්‍රශ්නයට අත දමන්නට ආවේ ඒ නිසාය. චන්ද්‍රිකා තමාගෙන් පසු මහින්ද රාජපක්ෂට බලය ලබා දුන්නේ මහත් අදිමදියෙනි. නමුත් මොකක්දෝ හේතුවකට රාජපක්ෂ රජය සමයේදී මේ අය අපේ ප්‍රශ්නවලට අත දමන්නට ආවේ නැත. මේ සියල්ල තුල එකම ශ්‍රීලනිපය වුවද චන්දිකා සහ මහින්ද රජයන්හි විදේශ ප්‍රතිපත්ති අතර වෙනස පැහැදිලි වෙයි. 

2009 දී කෙලවර වූ වර්ගවාදී යුද්ධය නිසා රාජපක්ෂ රජයේ ජනප්‍රියත්වය විශේෂයෙන් දකුණේ ජනතාව අතර වැඩිවන්නට විය. මේ සාධකයන් ඔස්සේ රනිල් වික්‍රමසිංහ නායකත්වය සැපයූ එජාපය මැතිවරණ ගණනාවකින් පරාජය වූවා පමනක් නොව පක්ෂ අභ්‍යන්තරයේ ඇවිලුනු භේද බින්නකම් හමුවේ මහත් අස්ථාවර භාවයකට පත්ව තිබිනි. මේ නරාවලෙන් ගොඩ එන්නට රනිල්ට මෙන්ම, ඕනෑ එකටත් එපා එකටත් අත දමන අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලටද අවශ්‍යතාවය තිබුන බව නොරහසකි. ඔවුන්ගේ අභිප්‍රාය වන්නට ඇත්තේ තමන්ගේ පදයට නොනටන ලිබියාවට හෝ ඉරාකයට අත්කල ඉරණම රාජපක්ෂ රජයටද උදාකර දීම වූවාට සැක නැත. මේ කාර්යය ඉටුකර ගැනීමේදී ප්‍රතිවාදියා ලෙස කෙලින්ම තමා ඉදිරිපත් වීම පලක් නොවන බව වටහා ගත් රනිල් 2010 දී ඇමක් ලෙස යොදා ගත්තේ ජයග්‍රාහී යුද හමුදාවට නායකත්වය සැපයූ සරත් ෆොන්සේකාය.

යුද අපරාධ ගැන රාජපක්ෂට චෝදනා කරමින් ඔහුව ජාත්‍යන්තර යුද අධිකරණයට ඇදගෙන යන්නටත්, විදුලි පුටුවේ හිඳුවන්නටත් පුල පුලා බලා සිටි ජාත්‍යන්තරයට යුද ජයග්‍රහණයේ නියමුවා, වීරයා යන ලේබලය අලවාගෙන සිටි සරත් ෆොන්සේකා හොඳ වුනේ කෙසේද? එජාපය යනු සැමදාම බටහිරවාදී ජාත්‍යන්තරය තෘප්තිමත් කරන්නට සැදී පැහැදී සිටින, බටහිර ගැති ප්‍රතිපත්ති කරපින්නාගෙන සිටින පක්ෂයකි. එජාපයේ වචනය යනු බටහිර ජාත්‍යන්තරයේ වචනයමය. රාජපක්ෂ රජයට යුද අපරාධ ගැන චෝදනා කරන්නටත්, එජාපය සරත් ෆොන්සේකා තම පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගනිද්දී ආශීර්වාද කරන්නටත් හේතුව අප වටහා ගත යුතුය.

මෙසේ මහින්ද රාජපක්ෂට එරෙහිව දියත් කල කුමන්ත්‍රණය, මහින්දට එරෙහිව නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව සිදුවූවක් බව පැහැදිලිය. 1956 දී පටන්ගත් මෙම කෝන්තරයට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව තිබූ පොදු ජන පදනම තුල ශ්‍රී ලංකාව සමාජවාදී හා ස්වාධීන මාවතකට පිවිසීමේ ලක්ෂණ පෙන්නුම් කල නිසාවිය යුතුය. පසු කලකදී පක්ෂ නායිකාව වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක විසින් අනුගමනය කල නොබැඳි විදේශ ප්‍රතිපත්තිය තුල මෙය තහවුරු විය.

විශේෂයෙන් 1970-77 සමගි පෙරමුණු රජයේ පාලන සමය පිලිබඳව සමහරු අදත් ‘සත් වසරක සාපය’ ලෙස පැවසුවත් ඒ කාලය තුල ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් වූ බව බොහෝ දෙනෙකුට දැනුමක් නැත. ණය බර යනු මුදලින් ගෙවිය යුතු ආපසු ගෙවීමක් පමනක් නොව ණය ලබා දෙන්නාගේ කොන්දේසිවලටද යටත් වීමකි. ණය හිමියා විසින් ණයකරු අල්ලේ නැටවීම සාමාන්‍ය ස්වභාවයයි. එදා ඒ කියන ‘සාපයෙන්’ මිදී එජාපය අද වර්ණනා කරන ‘ජාත්‍යන්තර සහයෝගයේ’ යතාර්ථය එයයි. 

කෙසේ වුවද මහින්ද රාජපක්ෂට එරෙහිව බටහිර ලෝකයම එක්වූ මොහොතේ පවා ශ්‍රීලනිපය පහත හෙලමින් රට තුල මහින්දව පරාජය කරන්නට තරම් පෞරුෂයක් තමාට නොමැති බව රනිල් වික්‍රමසිංහ වටහා ගත්තේය. මහින්දට එරෙහිව ජනතාව හමුවට ඉදිරිපත් කරන්නට ශ්‍රීලනිපයේම අයෙකු තෝරා ගත්තේ එහෙයිනි. මේ පොදු අපේක්ෂකත්වය සඳහා ප්‍රබල පෞරුෂයක් හිමි අයෙකු හරි නොයන්නේ එවන් කෙනෙකු බලයට පැමිනියහොත් එජාපයට පාලනය කරගත නොහැකි නිසාය. ඉතින් ශ්‍රීලනිප මහ ලේකම්ද, රාජපක්ෂ රජයේ ප්‍රධාන පෙලේ ඇමතිවරයෙකු වූද මෛත්‍රීපාල සිරිසේන මේ සඳහා නම්මා ගැනීමට ඔවුහු සමත් වූහ. සරත් ෆොන්සේකාට මෙන් ඔහුට අලුතෙන් චන්ද රැස් කරන්නට අවශ්‍ය නැත. ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල වසර 30 ක් පමන තිස්සේ ගොඩ නැගුනු චන්ද පදනමක් තිබිනි. තම පොදු අපේක්ෂක භූමිකාව නිසා එජාපය සමග ගොඩ නැගුනු දීගය ඔස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් කැඩී යන බව මෛත්‍රීපාල සිරිසේන නොදන්නවා නොවේ. අද ශ්‍රීලනිපය කඩන බවට මහින්ද රාජපක්ෂට චෝදනා කලද, සැබෑවටම තම පාක්ෂිකයන් අතරමං කලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. එජාපයේ පසුගිය සංවත්සරයේදී තමාට චන්දය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට ස්තුති කිරීම තුල ඔහු මේ බව ඔප්පු කලේය.

තමා ජනාධිපතිකමට පත්වූ විගස පාර්ලිමේන්තුවේ ආසන 43 ක් පමනක් ඇතිව සිටි එජාපයට බලය ලැබෙන පරිදි ඔහු කටයුතු කලේ රනිල් වික්‍රමසිංහ අගමැති පදවියේ පිහිටුවා ලමින්ද අනිත් 41 දෙනෙකුට ඇමති තානාන්තර ලබාදීම තුලින්ද ය. එය පැහැදිලි ව්‍යවස්ථා උල්ලංඝනයකි. යහපාලන රජය ශක්තිමත් කිරීමටය කියමින් ඊට ඈඳා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු පිරිස තුලින් ඔහු එක්සත් ජාතික පක්ෂයේ අභිප්‍රාය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදරවාලීමේ කොන්ත්‍රාත්තුව ඇරඹීය. තම පෞරුෂයේ ඇති දුර්වලකම් ගැන දැන සිටි ඔහු තමාට සිහිනයක් වූ ජනාධිපතිකම ලබාදීම පිලිබඳව එජාපයට කෘතගුණ සැලකුවේ එලෙසය. 

මෙසේ දින 100 රජය සඳහා ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම  දෙකඩ කිරීම තුලින් පක්ෂය තුල ඇතිකල බෙදීම ඔස්සේ 2015 අගේස්තුවේ පැවැත්වූ මහ මැතිවරණයට ඉදිරිපත් වූ කල්හි එජාපයට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවිය. නමුත් 1977 සිට 17 වසරක් රට පාලනය කල එජාපය චන්දදායකයාට අප්‍රිය වූ තරම අර ‘සත් වසරේ සාපයටත්’ වැඩිවූ බව දැනුනේ රජයක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වූ ආසන 113 වත් ලබා ගැන්මට ඔවුන් අපොහොසත් වීමෙනි.  

කෙසේ වුවද එජාපයේ අඩුපාඩු සම්පූර්ණ කරන්නට, ජනතාව වෙතින් ප්‍රතික්ශේප වූ දේශපාලකයින් පිරිසක් ජාතික ලැයිස්තුවෙන් බඳවාගෙන තම පාක්ෂියන්ගේ මතයද, ප්‍රජාතන්ත්‍රවාදයද හෑල්ලු කරන්නට කටයුතු කලේද මේ මෛත්‍රීපාල සිරිසේනමය. අද වන විටද ඔහුගේ කොන්ත්‍රාත්තුව ශ්‍රීලනිපය දියකර හැරීමය. 

ශ්‍රීලනිපයට හිතෛශී අති විශාල ජනතාවක් රට තුල සිටිති. පුද්ගලිකකරනයඔස්සේ, දේශීය සම්පත් විජාතිකකරණය ඔස්සේ සහ රජයේ නොයෙකුත් ධනවාදී ප්‍රතිපත්ති ඔස්සේ ප්‍රතිලාභ ලබන සීමිත පිරිසක් හැර මේ වන විට රටේ බහුතරයක් වූ පහල මධ්‍යම පාන්තික හා දිළිඳු ජනතාව සම්පූර්ණයෙන් අනාථව සිටින්නා්ය. ජනාධිපතිගේ මග පෙන්වීම ඔස්සේ එජාපය සමග එක්ව එක මග යන ශ්‍රීලනිප කොටස නිසා ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇත්තේ 13% ක් වූ ජනතාවගේ අභිලාෂය ‘පමනක්’ නියෝජනය කරන්නෝය. ඒ අනුව එජාපයේ ප්‍රතිපත්තිවලට එරෙහිව ශ්‍රීලනිපයට චන්දය දුන් ජනතාවගේ හඬ නියෝජනය කිරීමට නිළ වශයෙන් පිරිසක් පාර්ලිමේන්තුව තුල නොමැත. ඒකාබද්ධ විපක්ෂය සිටියත් ඔවුන්ට කරන කෙනහිලි කම් තුල ගැබ්ව ඇත්තේ එවන් හඬක් ඕනෑ නැතිය යන පණිවුඩය නොවේද?

වත්මන් ජනාධිපතිවරයා වන පක්ෂ  සභාපතිට සහ පක්ෂයේ මහලේකම්වරයාට අවශ්‍යව ඇත්තේ එම බහුතරයකගේ හඬ නිහඬ කිරීම බව ඉතාම පැහැදිලිය. ජනතාවගේ මනාප ඉහලින් ලබාගත් ආසන සංවිධායකයන් පලවා හරිමින්, ඉතා සුලු මනාප ප්‍රතිශතයක් ලබාගත් පිරිස්වලට එම තනතුරු ලබා දීම තුල ඔවුන් ඉතා නින්දිත ආකාරයට සැහැල්ලුවට ලක් කරන්නේ තම පාක්ෂිකයන්ගේ කැමැත්තයි. අද ගැටඹේ සහ ගාලු මුවදොර පාදක කරගෙන කරන තර්ජන සැබෑවේ නම් එම ක්‍රියාවලිය සම්පූර්ණ වනු ඇත. එය එසේ සම්පූර්ණ වේ නම් තමාට වසර කිහිපයකට පැළඳ ගන්නට ලැබුනු කිරුළ වෙනුවෙන් කලගුණ සැලකීම සඳහා 2020 දී රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති සිහිනය සැබෑ කරගනු පිනිස වත්මන් ජනාධිපතිවරයා ඉටු කරන භූමිකාව පල දරනු ඇත. 

සමහරවිට සමාජයේ විවිධ කටකතාවල කියවෙන පරිදි 2020 දී වැරදිලාවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් එය පැහැදිලිව රනිල් වික්‍රමසිංහගේ ජනපති සිහිනයට එල්ලවන ප්‍රබල අභියෝගයක් වනු නියතය. අද වන විට කරලියට පැමින ඇති, සරත් ෆොන්සේකාට ත්‍රිවිධ හමුදාපති බලතල ලබාදී නටන්නට සැරසෙන නාඩගම මේ බාධකය ඉවත් කිරීමට යොදා ගන්නා එකක්ද විය හැක.

කෙසේ වුවද මේ පසුබිම තුල මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ භූමිකාව පිලිබඳවද සෑහීමකට පත්විය නොහැක. තම ඉදිරි වැඩ පිලිවෙල ගැන කෙලින් නොකියමින් දැනෙන යමක් නොකරමින් හුදෙකලා රැස්වීම් වරින්වර පවත්වමින් පමනක් ඔවුන් ගෙනයන වැඩ පිලිවෙලද ජනමතය හා හැංගිමුත්තන් සෙල්ලම් කිරීමක් බඳුය.

2015 දී යහපාලන රජය බලයට පත්කර ගැනීම තුල උතුරේ හෝ වතුකරයේ ද්‍රවිඪ ජනතාව යමක් අපේක්ෂා කලා නම් ඔවුන්ට ලැබී ඇත්තේ කුමක්ද? තම ප්‍රශ්න විසඳීම කෙසේ වුවත් යහපාලන රජය ජාත්‍යන්තරය ඉදිරියේ රඟ පා පෙන්වන ව්‍යාජ නාටකය නිසා ඔවුන්ට මෙතෙක් බටහිර රටවලින් ලැබුනු සුලු රැකවරණයද අහිමිවීම පමනකි.

මේ සියල්ල තුල අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය නම් අවිනිශ්තය.

1951 සැප්තැම්බර් 2 වන දා පොදු ජනතාව වෙනුවෙන් අපේක්ෂා රැසක් දරාගෙන එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපත ලබත්දීම එහි විනාශය සනිටුහන් කරන්නාගේ උපතද ඊට පසුවදාම සිදුවීම දෛවෝපගත සිද්ධියකි!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපන්දිනය 1951 සැප්තැම්බර් මස 3 වනදා ය!!!

One Response to “අප සැරසෙන්නේ ශ්‍රීලනිපයේ මලගමටද ශ්‍රී ලංකාවේ මලගමටද?”

  1. Dilrook Says:

    The SLFP is dead thanks to Sirisena. Mahinda must not die with it. Today must mark the beginning of a bold new political party (not a disjointed group) of the people.

    SLFP (1951 – 2017). Aniccavatha Sankhara!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress