පාලනාධිකාරියේ කඹ ඇදිල්ලෙන් සමෘද්ධි බැංකු පරිඝණකගත කරන e- Banking වැඩ සටහන යටතේ දත්ත ඇතුලත් කරන ලද බැංකු 300 ක වැඩ අතර මග නවතී.
Posted on May 4th, 2017

චාමර මද්දුම කළුගේ,ප‍්‍රධාන ලේකම්.Samurdhi Development Officers Union 

දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 38 ට ආසන්න විශාල ගණුදෙනු කරුවන් ප‍්‍රමාණයක් සිටින සමෘද්ධි බැංකු පද්ධතිය පරිඝණක ගත කරන වැඩ සටහන පාලනාධිකාරියේ කඹ ඇදිල්ල මත 2017 ජනවාරි 01 දින සිට අන්තර්ජාලය හරහා පරිඝණක මෘදුකාංගයක් ඔස්සේ වැඩ කිරීමට සියලූ කටයුතු සුදානම් කර තිබු සමෘද්ධි බැංකු 300ක වැඩ නවතා දැමීමට සිදුව ඇති බව අප සංගමය මෙයින් පෙන්නා දෙන්නෙමු.

e- Banking වැඩසටහන යටතේ 2017 ජනවාරි 01 දින සිට පරිඝණක උපයෝගී කර ගනිමින් සිය ගණුදෙණු කටයුතු සිදු කිරීම වෙනුවෙන් 2016 දෙසැ. 31 දිනට සමෘද්ධි බැංකුවේ ගිණුම් පිළිබද  සියලූ දත්ත සියල්ල පරිඝණකයට ඇතුලත් කල යුතුය යන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලද උපදෙස් මත කිසිදු දීමනාවකින් තොරව ස්වේච්ඡාවෙන් දිවා රාත‍්‍රී ඇප කැප වු සියලූ නිලධාරීන්ගේ වෙහෙස මහන්සිය නිෂ්ඵල වී ඇත. තවද 2017 ජනවාරි 01 දින සිට මෙම වැඩසටහන යටතේ සිය දෛනික ගණු දෙණු සිදු කිරීමට සැරසුන සමෘද්ධි බැංකු 300 අතරට මෙවර බැංකු ශ්‍රේණිගත කිරීමේ ජාතික වැඩ සටහනෙහි දිවයිනේ හොදම බැංකු ලෙස සම්මාන දිනු සමෘද්ධි ප‍්‍රජා මුල බැංකු රාශියක් හා දිස්ත්‍රික් මට්ටමින් සම්මාන දිනු බැංකු රාශියක් තිබෙන බව කණාගාටුවෙන් වුවද අප මෙයින් අවධාරණය කරන්නෙමු.

2005 වසරේදී සමෘද්ධි බැංකු පරිඝණකගත කරන වැඩසටහන ආරම්භ කලද පාලනාධිකාරියේ පවතින පසුගාමීත්වය මත ප‍්‍රමුඛ වු මෙම කාර්්‍යය අවසන් කර ගැනීමට බලධාරීන් මෙතෙක් අපොහොසත්ව ඇත.  නැවතත් සෑම දිස්ත‍්‍රික්කයකම සමෘද්ධි බැංකු 35 තෝරා ගනිමින් එම බැංකු සදහා පරිඝණක පවා ලබා දී තිබුනු අතර පාලනාධිකාරියේ අධීක්ෂණයක් නොමැතිවීමෙන් එහි ඇසුරුම් විවෘත කිරීමකින් තොරවම වගකීමේ කාලයද ඉක්මවා ගොස් තිබීම කණගාටුවට කරුණකි.1074 වු සමෘද්ධි බැංකු පද්ධතිය පරිඝණක ගත කර ජාල පද්ධතියක් හරහා කටයුතු කිරිමේදී මේ සම්බන්දයෙන් මෘදුකාංග පිළිබද දැනුම ඇති ඉංජිනේරුවරයෙකු හා දැනුමෙන් සමන්විත නිලධාරී කණ්ඩායමක් දිස්ත‍්‍රික් මට්ටමින් සිටිය යුතුව ඇතත් මෘදුකාංග පිළිබද ඉංජිනේරුවරයෙකු ගැනීමට අමාත්‍යවරයා මැදිහත් නොවීම මෙම ගැටලූව ඇති වීමට මුලික හේතුව වී ඇත.

සමෘද්ධි බැංකුවල දෛනික කටයුතු ලිඛිත ක‍්‍රමවේදයකට සිදු කිරීමෙන් බැංකු කැර්්‍යය මණ්ඩලයට විශාල ශ‍්‍රමයක් හා කාලයක් මෙන්ම දැඩි අපහසුතාවයටද පත්ව ඇති අතර මෙම තත්වය බැංකු සංගම් කාර්්‍යයක්ෂමතාවයකින් හා වඩාත් ඵලදායී මට්ටමකට ගෙන ඒමට භාදාවක්ව ඇත. ජාතික මට්ටමේ වාර්ථා ලබා දීමේදී සේවකයින් හට සිදු වන අපහසුතාවය මෙන්ම සිය සේවාවන් ඉටු කර ගැනීමට පැමිණෙන ලක්ෂ 38 ආසන්න ගණුදෙනු කරුවන්ද මහත් අපහසුතාවයනට ලක්ව ඇත. නවීන තාක්ෂණය ඔස්සේ බැංකුවේ තිරසාර පැවැත්ම වඩාත් ශක්තිමත් කර අනෙකුත් බැංකු සමග තරගකාරී සේවාවක් ලබා දීමට වු  පරමාර්ථය පාලනාධිකාරිය තුලින් විතැන්ව ඇති බව මෙවැනි වු කටයුතු තුලින් මැනවින් පෙන්නුම් කරයි.

1996 වසරේදී ආරම්භ කරන ලද සමෘද්ධි බැංකු වැඩසටහනට වසර 21 ක තරම් වු දිගු  ඉතිහාසයක් තිබුනද මෙතෙක් පරිඝණක ඇතුලූ නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිය කටයුතු කිරීමට නොහැකි වී ඇත්තේ පැවති සෑම ආණ්ඩුවක් විසින්ම පටු දේශපාලන අරමුණකින් සමස්ථ වැඩ සටහන මෙහෙයවන නිසා බව අප මෙයින් පෙන්නා දෙන්නෙමු. අප විසින් පෙන්නා දෙන මෙම ගැටලූව ප‍්‍රමුඛ කාර්්‍යයක් සේ සලකා අදාල ගැටලූව විසදීමට බලධාරීන් වහා පියවර ගත යුතු බව අප සංගමය මෙයින් අවධාරණය කර සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට,

චාමර මද්දුම කළුගේ,

ප‍්‍රධාන ලේකම්.                                                          

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress