ඕන වෙලාවක අපට ආණ්‌ඩුව පෙරලන්න පුළුවන්… හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ කියයි
Posted on May 6th, 2017

සාකච්ඡා කළේ – මනෝඡ් අබයදීර  උපුටා ගැන්ම දිවයින

ෆොන්සේකා තර්ජනය කළේ මට නෙවෙයි තමන්ගේම අයට
ජනගඟ දැකලා බයවෙලා, මගේ ආරක්ෂාව අඩු කළා
දුමින්ද වගේ පොඩි ළමයි කියන කතන්දර ගණන් ගන්නේ නෑ

මහින්ද රාජපක්‌ෂ ඉවත්වගිය නායකයකුට නොමැති ජනතා ඉල්ලීමක ජීවමාන පිළිබිඹුව ලෙස තවම සිටියි. කොළඹ, විඡේරාම මාවතේ ඔහුගේ නිල නිවසට අප යන විට, මහා සංඝරත්නය පනස්‌ නමක්‌ පමණ එහි වැඩම කොට සිටියේ, ඔහුගේ ආරක්‌ෂක භටයන් හතලිස්‌ දෙදෙනකු ඉවත් කිරීම සම්බන්ධයෙන් කතා බහ කරන්නටය. දේශපාලන පිටියේ හැල හැප්පිලි සහ එහි අනාගතය පිළිබඳව ශ්‍රී ලංකාවේ පස්‌වැනි ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සමඟ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කරන ලද සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – මේ දිනවල ඔබගෙන් හැමෝම අහන ප්‍රශ්නයෙන් අපි පටන් ගනිමු. කොහොමද මැයි දිනයේ සෙනග…?

පිළිතුර – මම හැමදාම ජනතාව සමග හිටපු නායකයෙක්‌. ජනතාවගේ සිතුම් පැතුම් එක්‌ක ජීවත්වුණු නායකයෙක්‌. ජනාධිපති තනතුරේ හිටපු කාලයේ පවා මම ජනතාව සමගයි ජීවත් වුණේ… මැයි දිනයට ආපු ජන ගඟ, කියන පණිවුඩය මම තේරුම් ගන්නේ ජනතාව සමඟ සිටින නායකයෙක්‌ ලෙසයි. මුලින්ම අපිට ගෝල්ෆේස්‌ එක මැයි රැලිය සඳහා ලබා දුන්නේ නැහැ. ඊට පස්‌සේ ගෝල්ෆේස්‌ එක දුන්නේ “පුළුවන් නම් පුරෝපන්…” කියන අභියෝගය එක්‌ක. ඒ අභියෝගය බාර ගත්තේ මේ රටේ ජනතාව. මේ රටේ මැයි දින ඉතිහාසයේ විශාලතම මැයි රැලිය අපට පවත්වන්න පුළුවන් වුණේ, හංස ආණ්‌ඩුව ලබා දුන්න අභියෝගය ජනතාව විසින් බාර ගැනීම නිසා.

ප්‍රශ්නය – ඒ මහා ජනකාය විසින් ඔබට ලබා දුන්න පණිවිඩය මොකක්‌ද…?

පිළිතුර – නැවත එන්න… කියන ඉල්ලීම තමයි ඒ ජනතාව මගෙන් ඉල්ලුවේ. මේ හංස ආණ්‌ඩුව විසින් ලබා දෙන පීඩනය ජනතාවට උහුලාගන්න බැරිවෙලා තියෙනවා. ජනතාව විසින් මට විතරක්‌ නෙමෙයි, ආණ්‌ඩුවටත් පණිවිඩයක්‌ ලබා දී තිබෙනවා. අනිකුත් පක්‌ෂවල මැයි රැලි දිහා බැලුවොත්, ඒවා සඳහා සහභාගී වෙලා තිබුණේ, සූදානම් කර ගත්ත කණ්‌ඩායම්. ඒ කියන්නේ තමන්ගේම පිරිසක්‌, සැලසුම් සහගතව මැයි රැලිය සඳහා ගෙන ආවා කියන එක. එක තැනක රතු කමිස ඇඳපු කට්‌ටියක්‌, තව තැනක කොළ කමිස, නිල් කමිස… මේ වගේ පිරිසක්‌ නෙමෙයි, ගෝල්ෆේස්‌ පිට්‌ටනියට ආවේ. එයාලා ආවේ, එක එක පාට ඇඳුම් ඇඳගෙන, එක එක පළාත් වලින්. ලංකාවේම තියෙන බස්‌ වලින් සෙනග ගෙනාවත් ගෝල්ෆේස්‌ එක පුරවන්න බැහැ කියලනේ, මෙයාලා කිව්වේ… එහෙම තියෙද්දී, ජනතාව ගෝල්ෆේස්‌ පිට්‌ටනිය පිරෙව්වනේ… ගමේ ජනතාව, නගරයේ ජනතාව, වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, කථිකාචාර්ය, බැංකු, නීතිඥ වැනි වෙනදාට මැයි දින රැලි සඳහා සහභාගී නොවන වෘත්තීයවේදීන්, විශේෂයෙන්ම ඉහළ මධ්‍යම පන්තියේ පිරිස්‌ පවා මේ මැයි දිනයට සහභාගිවෙලා හිටියා. මේක සමාජයේ විදිහට තිබුණු යුනිෆොaම් මැයි දිනයක්‌ නෙමෙයි… ජනතාව විසින් තමන් සහභාගී විය යුතු යෑයි තීරණය කර, පැමිණි මැයි දිනයක්‌…

ප්‍රශ්නය – දේශපාලනයේ ඔබට පටබැඳී ඇති නම වන්නේ වීදී සටන්කාමියායි. දැන් ඔබ යළිත් අවතීර්ණ වෙලා තියෙන්නේ, වීදී සටනට. මේ සටනේ ඊළඟ පියවර මොකක්‌ද…?

පිළිතුර – ජනතාව අසීරුවට පත් කරන්න, මේ රට, ජාතිය අසීරුවට පත් කරන්න ඉඩ දෙන්න බැහැ. මර්දනය කියන්නේ, දුර්වලයාගේ සහ බියගුල්ලාගේ ආයුධය. එය පහසුවෙන් පරාජය කළ හැකි ආයුධයක්‌. මර්දනයෙන් මේ ලෝකයේ කිසිවක්‌, නැවැත්වීමට හැකියාවක්‌ ලැබිලා නැහැ. මර්දනය කියන්නේ සටනක, ජවයක නව ගමනක උපත. යුරෝපයේ හිටපු රජවරු මර්දනය යොදවලා, තමන්ගේ රාජාණ්‌ඩුව ශක්‌තිමත් කරගන්න හැදුවට, ඒ මර්දනය පරාජය කරලා විප්ලවය ජයග්‍රහණය කළා. ඒ ඉතිහාසය අපි මේ මොහොතේ සිහි තබා ගත යුතුයි. මේ ජන ගඟ, ආණ්‌ඩුවට දෙන පණිවිඩය තමයි, මර්දනයට යන්න පුළුවන් දුර කොච්චරද කියලා තේරුම් ගන්න කියන එක. මැතිවරණය කියන ජනතා අයිතිය, අද මර්දනය කරලා තියෙනවා. මැතිවරණය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත. ප්‍ර ජාතන්ත්‍රවාදය උනන්නේ, මැතිවරණයෙන්. එහෙම තියෙන ජනතා අයිතියට මේ ආණ්‌ඩුව පයින් ගහලා ඉවරයි. මේ ජන ගඟ සමඟ අපේ ඊළඟ සටන කරන්නේ, මැතිවරණ අයිතිය ජනතාවට ලබා ගැනීම සඳහායි. මේ සෙල්ලම හැමදාම කරන්න දෙන්න බැහැ. ඊළගට විදේශකරණය. රාජ්‍ය සම්පත් කොල්ල කෑම, සහ විකුණන් කෑම. රණවිරුවන් පාවාදෙමින් ඒකීය ශ්‍රී ලංකාව යළි බෙදුම්වාදයට බිලිදීම, මේ සියලු වෑයම් අප විසින් පරාජය කළ යුතුව තිබෙනවා.

ප්‍රශ්නය – මේ අවුරුද්දේ ආණ්‌ඩුව පෙරළනවා… කියන සටන් පාඨයෙන් තමයි, ඔබ විසින් 2017 වසර ආරම්භ කළේ…

පිළිතුර – මේ වෙන දේවල් වලින් තේරෙනවනේ, දවසින් දවස ඒ සඳහා කටයුතු සිදුවෙමින් පවතින බව. නියමිත කාලය වෙනකොට ආණ්‌ඩුවේ ඔළු මාරුවෙන්න පුළුවන්. බලය කියන එක මාරුවෙන හැටි මම තරම් හොඳින් දන්නා මිනිහෙක්‌ නැහැනේ… ජනතාව ඒ තීන්දුව ගන්නේ අපිට කලින් කියලා නෙමෙයිනේ. ජනාධිපතිවරණයේ ප්‍රතිපල එන්නත් කලින් මම ගෙදර ගියේ ඒ නිසානේ. දැන් මෙහෙයුම අපේ අතට ඇවිල්ලා ඉවරයි. කවදා, කොයි මොහොතේ ඒක කරනවාද කියන එක අපි ප්‍රවේශමෙන් තීරණය කරලා තීරණය කරන්න ඕනේ. ඕනෑම වෙලාවක ඒක කරන්න පුළුවන් කියන එක නම්, මම බය නැතුව කියනවා. මම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නායකයෙක්‌ නිසා, ඊට අනුකූලව මේ කටයුතු කළ යුතු නිසා ඉවසීමෙන් ඒ තීන්දුව ගන්නවා.

ප්‍රශ්නය – ඔබ ගෝල්ෆේස්‌ පිට්‌ටනියේ මැයි දිනය සමරද්දී, එජාපය විසින් කැම්බල් පිටියේ තමන්ගේ මැයි දිනය සැමරුවා. එහිදී කතාවක්‌ පවත්වමින් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළා, ඔබව සාටකයෙන් එල්ලා මරණ බව…

පිළිතුර – මම වසර ගණනාවක්‌ දේශපාලනය කරපු නායකයෙක්‌. ඔය ප්‍රකාශය මට කියපු දෙයක්‌ විදිහට නෙමෙයි, මම දකින්නේ. එයා ඒක කිව්වේ තමන් එක්‌ක ඉන්න අයට. ඔහුට තනතුරක්‌ ලබා දෙනවා කියලා, පස්‌සේ ඒක විහිළුවක්‌ කියලා කියපු එක ගැන ඔහු විසින් ආණ්‌ඩුවට දක්‌වන විරෝධයක්‌ විදිහටයි මම ඒක දකින්නේ. ඔහු අද අසරණ වෙලා. තමන්ට තනතුරු දෙනවා කියලා, ඒක බාරගන්න සූදානම් වෙන කොට ඒක නොදෙන නිසා ඔහු ඉන්න වේදනාවයි මේකෙන් පෙනෙන්නේ… මම එයාට හැම තනතුරක්‌ම දුන්නනේ… විශ්‍රාම යන්න හිටපු කෙනා හමුදාපති කළේ මමනේ… ඔය දෙනවයි කියලා. එහෙම කිව්වේ විහිළුවට කියලා පස්‌සේ කියන්නේ, මම නෙමෙයිනේ… මේ විරෝධය දක්‌වන්නේ එහෙම කියපු කට්‌ටියට. “මට දෙනවයි කියපුවා දෙන්න, මාව විහිළුවකට ගන්න එපා, එහෙම ගත්තොත් මම බලා ගන්නම්…” කියන එකයි මේ කතාවේ තියෙන්නේ. මේ තර්ජනයයි, එජාපයේ සිරිකොත මූලස්‌ථානය මුදුනේ තියෙන අලියට පොලිස්‌ නිලධාරියෙක්‌ වෙඩි තියපු එකයි, සුළු පටු කොට තකන්න එපා කියලා මම කියනවා.

මුළු රටම ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කරලා ඔය හැම කෙනාටම අභය දානය දුන්න අපිට එහෙම කියනවා නම්, එයා අනිත් අයට මොනවා කරයිද…? එතැනයි ප්‍රශ්නය තියෙන්නේ. මේ කතාව කියන්නේ එජාප වේදිකාවේ. එතකොට එජාපයටත් මෙහි වගකීමක්‌ තිබෙනවා. එජාපයේ එක්‌ මන්ත්‍රීවරයෙක්‌ මට කතා කරලා, මේ ගැන වැඩියෙන්ම කනගාටුවෙන්නේ ඒ අය කියලා මට කිව්වා. මේ වගේ මිනීමරු කතා කියන තැනට එජාප වේදිකාව පත්වීම ගැන එයා කනගාටුව ප්‍රකාශ කළා. මේවගේ තීන්දු දේශපාලන වේදිකාවක කියන්න පුළුවන්ද…? මාව සාටකයෙන් එල්ලලා, හුස්‌ම හිර වෙනකං තියෙනවා කියලා, මිනීමරන කතා කියන්න පුළුවන් වේදිකාවක්‌ බවට මැයි රැලියක්‌ පත්වුණේ කොහොමද…? එජාප වේදිකාව පත්වුණේ කොහොමද…? එහෙම තීන්දුවක්‌ දෙන්න මෙයාද නඩුකාරයා. ආණ්‌ඩුව මේ ගැන ක්‍රියාත්මක වෙලා නීත්‍යානුකුලව කටයුතු කරන්න ඕනේ.

තමිල්නාඩුවේ ඉන්න කොටි හිතවාදීන්, විදේශගත එල්ටීටීඊ ඩයස්‌පෝරාව මට කියන්නෙත් ඔය ටිකමයි. ඒ අය මගේ රූප සහ පඹයන් පුච්චමින් පෙන්නන්නෙත් ඔය ටිකමයි. දැන් මෙයා කියන්නෙත් ඒ ටිකමයි. මට කනගාටු ඒ ගැන…

ප්‍රශ්නය – එජාප මැයි රැලියේ, සරත් ෆොන්සේකා මහතාට පසුව කතා කළේ රාජිත සේනාරත්න ඇමතිතුමා. සරත් ෆොන්සේකාගේ නම කියන කොට රාජපක්‌ෂලාගේ කකුල් වෙවුලනවා කියලා, රාජිත ඇමතිතුමා එහිදී සඳහන් කරනවා…

පිළිතුර – ප්‍රභාකරන්ට කකුල් වෙවුළුවේ නැති අපි ඔය අයට බය වෙනවද…? රාජිත ප්‍රා එක හදන්න ඇත්තේ ඒ කාලේ කකුල් වෙව්ලපු නිසා වෙන්න ඇති… ෆොන්සේකාට තනතුරක්‌ දෙන්න හදන්නේ අපිව බය කරන්න නෙමෙයි. ඒගොල්ලෝ බය වෙලා ඉන්න නිසානේ… ශිෂ්‍ය, කම්කරු, ගොවි, වෛද්‍ය උද්ඝෝෂණ වලට ආණ්‌ඩුව බයවෙලා තියෙන නිසා තමයි, ඒවා මර්දනය කරන්න ෆොන්සේකාව දාන්න හදන්නේ. මේ අය මැතිවරණ කාලයේදී කිව්වේ, අපි නම් උද්ඝෝෂණ වලට කඳුළු ගෑස්‌ ගහන්නේ නැහැ කියලනේ… උද්ඝෝෂණ නතර කරන්නේ නැහැ, ඒවා ඇතිවෙන හේතුයි නැති කරන්නේ කියලා කිව්වා. දැන් මේ මොකද කරන්න හදන්නේ. හමුදාව දම්මලා, උද්ඝෝෂණවලට වෙඩි තියන්න සූදානම් වෙන්නේ ඇයි…? බයටනේ… ඒවාට මුහුණ දෙන්න බැරි කමටනේ.

ප්‍රශ්නය – ඔබට සිටි ආරක්‌ෂකයන් හතළිස්‌ දෙකක්‌ හිටිහැටියේම පසුගියදා ඉවත් කළා. මේ සඳහා රජය විසින් දක්‌වා තිබෙන හේතු මොනවාද…?

පිළිතුර – මේක මැයි දිනයේ ගලපු ජන ගඟට බිය වීමේ තවත් ප්‍රතිපලයක්‌. මේ ආණ්‌ඩුව අද බයවෙලා තියෙන තරම තමයි මේ හැම එකෙන්ම පේන්නේ… මේ වගේ බියගුළු ආණ්‌ඩුවක්‌ ලංකා ඉතිහාසයේම තිබිලා නැහැ. මගේ ආරක්‌ෂාවට සිටින පැරණිම, පළපුරුදුම සහ මෙහෙයුම් බාරව සිටින සහකාර පොලිස්‌ අධිකාරිවරයා ඇතුළු හතලිස්‌ දෙකක්‌ වහාම ඉවත් කර තිබෙනවා. මගේ ආරක්‌ෂාව බාරව සහකාර පොලිස්‌ අධිකාරිවරු දෙන්නෙක්‌ හිටියා. එයින් එක්‌කෙනෙක්‌ අයින් කරලා තිබෙනවා. මාව ඝාතනය සඳහා අවශ්‍ය පසුබිම සකස්‌ කිරීමට මේක කළා වෙන්නත් පුළුවන්. ආරක්‌ෂක ලේක්‌ම් කියනවා මේක කළේ එයා නෙමෙයි කියලා. අගමැතිතුමා කියනවා එයා නෙමෙයි කියලා. හිටපු ජනාධිපතිවරයෙකුගේ ආරක්‌ෂාව පිළිබඳ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට.

ප්‍රශ්නය – මැතිවරණ පවත්වන්න කියලා ආණ්‌ඩුවට බල කිරීමේ ව්‍යාපාරයක්‌ ඔබ විසින් ආරම්භ කරන්න ගියාට එතැනදී ඔබ ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂයේ පිරිසගේ බලවේගය වෙන්නේ, කුමන පක්‌ෂය ද යන්න තවම පැහැදිලි නැහැ…?

පිළිතුර – ඒක ජනතාවට නම් ඉතාම පැහැදිලියි… මැතිවරණය සඳහා දින නියම කරාම ඒක මොකක්‌ද කියල හරියටම පෙනෙයි. ශ්‍රීලනිපය කියන්නේ අපිනේ. ඒ පක්‌ෂය බලෙන් අල්ලගෙන, ලකුණයි කාර්යාලයයි ගත්ත පලියට එතැන පක්‌ෂයක්‌ නැහැනේ. පක්‌ෂය කියන්නේ ප්‍රතිපත්තියට මිසක්‌ බෝඩ් එකකට හරි බිල්ඩිමකට හරි නෙමෙයි. මාව බලෙන් පක්‌ෂයෙන් තල්ලු කරලා දාලා, පක්‌ෂ නායකත්වය මගෙන් උදුරා ගත්තට පක්‌ෂයේ අයිතිය ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැනේ. පක්‌ෂය පාවලා දීලා, එජාපයත් එක්‌ක යටි ඩීල් දාගෙන, පක්‌ෂයට විරුද්ධව කුමන්ත්‍රණ කරලා පක්‌ෂය පැරැද්දුවේ මම නෙමෙයි. මම තමයි මේ පක්‌ෂ ඉතිහාසයේ වැඩිම පාර්ලිමේන්තු බලයක්‌, පළාත් සභා බලයක්‌, ප්‍රදේශීය සභා බලයක්‌ පක්‌ෂයට අරන් දුන්නේ. පක්‌ෂයට බහුතර බලයක්‌ තියෙද්දී, එජාපයේ සුළුතර බලයට අගමැති තනතුර දුන්නේ එයානේ. මහ මැතිවරණය වෙලාවේ එයාම කිව්වනේ, අගමැතිකමට පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා කියලා. එයා ජනාධිපති වුණහම, ඒ එක්‌කෙනෙකුට අගමැතිකම දෙන්න තිබුණනේ. එහෙම තියෙද්දී, අගමැතිකම දුන්නේ, සුළුතර බලයක්‌ තිබුණු එජාපයට. එහෙම කරපු කෙනා අද පක්‌ෂය ගැන කතා කරන්න එනවා. පක්‌ෂයේ සහ සන්ධානයේ ලේකම්ලා අස්‌කරලා පක්‌ෂය පරද්දලා කොහොමද මේ අය පක්‌ෂයට අයිතිවාසිකම් කියන්නේ.

මම මැතිවරණ විශ්වාස කරපු නායකයෙක්‌. ජනතාවගේ මතයට ඉඩදීම සඳහා වෙලාවටත් කලින් මම මැතිවරණ තිබ්බානේ… පක්‌ෂය ඉන්නේ අපිත් එක්‌ක. පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ සහ ගමේ ක්‍රියාකාරිකයෝ ඉන්නේ අපිත් එක්‌ක. ඔය හැමදාම එහෙට මෙහෙට පනින අය ටික දෙනෙක්‌ නම් ඒ පැත්තට ඉන්නවා. මම තව දෙයක්‌ කියන්නද… මැයි දිනයේ ගැටඹේ ගිය අයගෙන් බහුතරයක්‌ හදවතින් ඉන්නේ අපිත් එක්‌ක.

ප්‍රශ්නය – ඔබට තියෙන දූෂණ චෝදනා, නඩු හබ ආදිය තවම නිමා වෙලා නැහැ. ඩුබායි බැංකුවේ ඔබගේ ගිණුමේ බිලියන ගණන් මුදල් තිබෙන බවට සමහර ඇමතිවරු තවමත් චෝදනා කරනවා…

පිළිතුර – මැයි දිනයට ආපු සෙනග දැකලා දැන් තව තව චෝදනා එල්ල කරන්න ගනියි. ඡන්ද කාලේ මොනතරම් චෝදනා කළාද…? ඒ එකක්‌වත් තවම ඔප්පු කළාද…? විපක්‌ෂයත් මේ අය… ආණ්‌ඩුවත් මේ ගොල්ලොන්නේ… ඉතිං තව කතා කර කර ඉන්නේ නැතුව ඔව්වා හොයලා එළියට දාන්නනේ තියෙන්නේ. ඔය ඩුබායි වල බිලියන දහ අටක බැංකු ගිණුම ගැන ඇමරිකාවට කිව්වනම් එක විනාඩියකින් හොයලා දේවිනේ… ඇමරිකාව නොදැන ඔය වගේ ධනස්‌කන්ධයක්‌ බැංකු ගිණුමක හංගලා තියන්න පුළුවන්ද…? ළඟදි පත් කරපු ජනාධිපති නීතිඥයකුට ජනාධිපති බලතල ලියුමකින් දීලා එයාව ලෝකය වටේම තියෙන බැංකුවලට ඇරියනේ. ජනාධිපති බලතල එහෙම දීලත් හොයාගන්න බැරි වුණාට පස්‌සේ තව මොන කතාද…? අද වෙලා තියෙන දූෂණ, ඒ පවුල් හම්බු කරන හැටි දැන් ජනතාව දන්නවනේ… ගොබෙල්ස්‌ න්‍යායට දැන් ජනතාව රැවටෙන්නේ නැහැ. මැයි දිනයේ තවත් ප්‍රතිපලයක්‌ විදිහට නාමල්ට මහා අධිකරණයේ තව නඩුවක්‌ දාලා තියෙනවා. අපි ඒවට බය වෙන උදවිය නෙවෙයි. මම හම්බු කළේ සල්ලි නෙමෙයි. මේ රටේ ජනතාව. එදා ගෝල්ෆේස්‌ පිට්‌ටනිය පිරුණේ ඒ සම්පතින්.

ප්‍රශ්නය – ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කර තිබුණා, ඔබ ඇතුළු කිහිපදෙනෙකුගේ පක්‌ෂ සාමාජිකත්වය නුදුරේම තහනම් කරන බව….

පිළිතුර – ඔය පොඩි ළමයිනේ… ඒගොල්ලෝ කියන කතා ඒ තරම් ගණන් ගන්න එපා. කොහොමත් මේ අයට පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පෙන්නන්න බැහැ. මම දේශපාලනය කරන්නේ තනතුරක්‌ නිසා නෙමෙයිනේ. මගේ තියෙන ජාතිමාමකත්වය, දේශප්‍රේමිත්වය දේශපාලන තනතුරක්‌ නිසා තියෙන එකක්‌ නෙමෙයිනේ. මේ රට කවුරු හරි බිල්ලට දෙනවා නම් ඒ වෙනුවෙන් සටන් කරන්න මට ඒගොල්ලන්ගේ අවසර හරි, තනතුරු, සාමාජිකත්වය ඕනේ නැහැනේ. අපි නියම ශ්‍රීලනිපය. අපි එයා ගහන පදවලට නටන්නේ නැහැ.

ප්‍රශ්නය – මෛත්‍රී – මහින්ද දෙපාර්ශවය අතර එකතුවීම සඳහා රහසිගත සාකච්ඡාවක්‌ පැවැත්වෙන බවට කාලයෙන් කාලයට තොරතුරු පැතිරෙනවා. ඒ සාකච්ඡාවල ප්‍රගතිය කෙබඳුද…?

පිළිතුර – කොහෙද ඔහොම සාකච්ඡාවක්‌ තියෙන්නේ…? මට උදේ ඉඳන් බණින, මම නිසා මහ ඇමැතිවරු වෙච්ච පස්‌දෙනෙක්‌ මාත් සමඟ සාකච්ඡා කරන්න කියලා දවසක්‌ ආවා. මමත් අපේ පැත්තෙන් පස්‌ දෙනෙක්‌ ගෙන්න ගත්තා. ඒක තමයි තිබුණු එකම සාකච්ඡාව. මට බැණලා ඇවිත් කොහොමද සාකච්ඡා තියෙන්නේ. ඒක එතැනින්ම ඉවර වුණා. එහෙම එකතුවෙන්න වුවමනාවක්‌ තියෙනවා නම්, මට කෝල් එකක්‌ දෙන්න ජනාධිපතිට පුළුවන්නේ. මගේ ටෙලිෆොaන් එක නම් ටැප් කරනවා. මම ඒක වගකීමෙන් කියනවා. ආණ්‌ඩුවේ ඇමතිවරයෙක්‌ මට කෝල් එකක්‌ දුන්නා. ඊට පහුවදා ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක්‌, ඒ ඇමතිවරයාගෙන් අහනවාලු හිටපු ජනාධිපතිට මෙච්චර විනාඩි ගාණක කෝල් එකක්‌ දුන්නේ ඇයි කියලා…

ප්‍රශ්නය – ආණ්‌ඩු පෙරළීම සඳහා ඔබ විසින් යටින් වැඩ කොටසක්‌ කරගෙන යන බව සඳහන් වෙනවා. පළාත් සභා කිහිපයක බලය ඒකාබද්ධ විපක්‌ෂය අතට ගැනීම සඳහා සැලසුමක්‌ සකස්‌කරමින් යන බවටත් කතාවක්‌ පැතිරෙනවා…

පිළිතුර – මං ගාව යටින් වැඩ නැහැනේ… ඒවා කළේ කවුද කියලා කවුරුත් දන්නවනේ… එකට කාලා, යටින් කපන ගති අපිට පුරුදු නැහැ.

3 Responses to “ඕන වෙලාවක අපට ආණ්‌ඩුව පෙරලන්න පුළුවන්… හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ කියයි”

  1. mahesh fernando Says:

    “Apey Sinhayata Jayawewa”

  2. Ananda-USA Says:

    Wel said, President Rajapaksa!

    “Ekata kala, yatin kapana gathi apita purudu naha!”

    Pitatata horen pihiyen anina APPAYANTA witharai ewani dey purudu!

  3. ranjit Says:

    Well said my dear president. We all wish you a bright future. We need you back in the helm as soon as possible. We are praying for the dawn of a new day under your administration. Yamaballo should be kicked out for the good of the country. We love you Sir and we love our SINHALA nation for ever.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress