මහින්දගේ ආරක්‍ෂාව
Posted on May 6th, 2017

නලින් ද සිල්වා

 මැයි දිනයට පසුව මහින්දගේ ආරක්‍ෂාව තර කරනු වෙනුුවට අඩු කෙළේ කවුද යන්න ප්‍රශ්නයක්. මහින්දට එන්න එන්න ජනතාව ආකර්ෂණය වෙනවා. ගාලු මුවදොරට එක්වුණු ජන සන්නිපාතයෙන් සියයට අනූපහකට වඩා සිංහල බව කිව හැකියි. පඬියකු අහන්න පුළුවන් මා එසේ කියන්නේ ඊනියා ශාස්ත්‍රීය ගවේෂණයක්, මෙවැනි අවස්ථාවල දී නම් නියැදි තොරා ගෙන කරන සමීක්‍ෂණයක්, කිරීමෙන් පසුව ද කියා. මේ පඬියන් දන්නෙ නැහැ එවැනි අවස්ථාවක නියැදියකින් නිරූපණය වන ගුණ මුළු ගහනයට ම පොදු ද යන්න දැනගැනීමත් ප්‍රශ්නයක් බව. ඒ සඳහාත් විවිධ පරීක්‍ෂණ තිබෙනවා. එහෙත් අවසානයේ දී කියන්න වෙන්නෙ යම් සම්භාවිතාවන්ට යටත්ව නියැදියෙන් අදාළ ගුණය සම්බන්ධයෙන් ගහණය නිරූපණය  වෙනවා කියා.

ඇත්ත, මා නම් එවැනි ඊනියා ශාස්ත්‍රීය ගවේෂණ කරන්නේ නැහැ. එවිට ඊනියා විද්‍යාඥයකු අහන්න පුළුවන් මා ඒ බව දැන ගත්තෙ නාථ දෙවියන්ගෙන් ද කියලා. ඒ සමච්චලයට. පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය වැනි දේ ගැන පංචෙන්ද්‍රිය ගෝචර නොවී නිවුටන් වැන්නන් කියන දේ විශ්වාස කරන පඬියන් අදෘශ්‍යමාන ප්‍රාණීන් ගැන බුදුහාමුදුරුවන් ප්‍රත්‍යක්‍ෂයෙන් දේශනා කර ඇති දේ විශ්වාස කරන්නේ නැහැ. පඬියන් මොන තරම් පඬියන් ද?  නිගමන (අනුමාන) සිංහල බෞද්ධ ක්‍රමයට නම් ගැලපෙන්නේ නැහැ. අර සංඛ්‍යාන ක්‍රමයත් ගැලපෙන්නේ නැහැ. අප කළ යුත්තේ සමස්ත ගහණය ම ගැන බැලීමයි. එය කිරීමට එස් බීටවත් මහින්ද අමරවීරටවත් බැහැ.

මෙරට සිංහලයන් සියයට හැත්තෑපහක් ඉන්නවා. ගාලු මුවදොර ජන සන්නිපාතයෙන් අඩුම තරමෙන් සියයට හැත්තෑපහක් සිංහල වෙන්න ඕන. ගාලු මුවදොරට බස් රථ සියයක් පැමිණියේ නම් ඉන් අනූපහක්වත් පැමිණියේ සිංහලයන් වැඩියෙන් වාසය කරන ප්‍රදේශවලින් බව අනුමානය කිරීමට සංඛ්‍යානයවත් එස් බීවත් අවශ්‍ය වන්නේ නැහැ. මැයි දින සහභාගීත්වය මැතිවරණයක දී ඡන්දය දෙන රටාවට වඩා වෙනස්. මැයි දින රැස්වීම්වලට වැඩියෙන් සහභාගි වන්නේ සිංහලයන්. මැයි දින රැළියේ සටන්පාඨ හා ධජ පතාකවලිනුත් ඒ බව හෙළි වෙනවා. මැතිවරණවලදී වුවත් මහින්දට හා මහුගේ අපේක්‍ෂකයන්ට වැඩියෙන් ඡන්දය දෙන්නේ සිංහලයන්.

පසුගිය ජනාධිපතිවරණයෙන් බටහිරයන්ගේ ඉලක්කය වූයේ ඊනියා මහින්ද රෙජීමය ඉවත් කිරීම. රනිල් නම් බටහිරයා ඒ බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළා. ඔහුට තිබුණේ දේශපාලන වුවමනාවක්. ඔහුගේ සංස්ථාපනයේ වුවමනාව. මෛත්‍රිපාලට තිබුණේ පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීම. බටහිරයන් හා ඉන්දියාව මහින්ද පැරදවීමට මෛත්‍රිපාල යොදා ගත්තා. දැන් පඬියකු අසාවි එහෙනම් මා රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාල වැන්නකු සමග එකතු විය යුතු බව කියන්නේ ඇයි කියා. එකක් අපට වෙනත් විකල්පයක් නැති වීම. දෙවනුව මෛත්‍රිපාලට දැන් තමා කළ වරද ක්‍රමයෙන් ඒත්තු යමින් පැවතීම.

බටහිරයන් අපේක්‍ෂා නොකළ අන්දමින් ජනතාව ජනවාරි අටවැනි දා සිට ම මහින්ද වටා රොක් වෙන්න පටන් ගත්තා. මෙය බටහිරයන්ට හා ඉන්දියාවට දරා ගන්න බැරි වුණා. ඔවුන් ඉතා මෑතක දී ජී එල් පීරිස් ලවා මහින්දට පණිවුඩ එව්වා දේශපාලනයෙන් ඉවත් වන ලෙසට. ඔවුන් මහින්ද පැරදවීමට යොදන ලද මුදල් ගැන දැන් ටිකෙන් ටික කියැවෙනවා. ඒ බව අප දන්නේ ට්‍රම්ප් ඒ ගැන කීමෙන් පසුව නොවෙයි. බටහිරට හා ඉන්දියාවට මහින්ද දේශපාලනයෙන් මුළුමනින් ම ඉවත් කිරීමට අවශ්‍යයයි. ඔවුන් ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතා කරන්නේත් රණවිරුවන්ගෙන් හා රාජපක්‍ෂලාගෙන් පළිගැනීමට. එහෙත් මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීමට බැහැ. එන්න එන්න ජනතාව ඔහු වටා රොක් වෙනවා. ළඟක දී මැතිවරණයක් පවත්වාවි කියා හිතන්න අමාරුයි. මෛත්‍රිපාල අමරවීර දුමින්ද ආදීන් පුරසාරම් දෙඩුවත් ඔවුන්ට හිමිවන්නේ තුන්වැනි තැන. ඒ ජ වි පෙරමුණට හතරවැනි තැනෙන් උඩට ඒමට බැරි නිසා. පෙරටුගාමීන් ගැන කියා වැඩක් නැහැ. කුමාර් ගුණරත්නම් සරත් ෆොන්සේකාට වැන්දාය කියන්නේ ඇත්ත ද? වැන්දත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ ඕස්ත්‍රේලියානු රටවැසිකම තාමත් තියෙනවා ද යන්න නම් ප්‍රශ්නයක්.

අද මහින්ද සම්බන්ධයෙන් ඉන්දියාවට (හා බටහිරයන්ට) කළ හැක්කේ කරුණු හතරක්. පළමුව ඔහු හා මෛත්‍රිපාල අතර හෝ ඔවුන්ගේ නියෝජිතයන් අතර හෝ ඇති විය හැකි සමගියක් වැළැක්වීම. දෙවනුව මහින්දගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කිරීම. තුන්වැනුව යහපාලනය වෙනුවෙන් කඩේ ගිය ඇතැමුන් ද සහභාගි කරවා ගෙන වැඩ වර්ජන (මේ වැඩ වර්ජන ඉන්දියාවට ද විරුද්ධ වීම මේ අවස්ථාවේ දී ඉන්දියාවට ප්‍රශ්නයක් නොවෙයි) මගින් රට අස්ථායි කර සරත් ෆොන්සේකාට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් වැදගත් කොටසක් පැවරීම (එමගින් මෛත්‍රිපාලගේ ද බලය කප්පාදු කිරීම) හා දරුණු මර්දනයක් දියත් කිරීම. හතරවැනුව මහින්දගේ ජීවිතය අනතුරේ හෙළිම. මහින්දත් තම ආරක්‍ෂාව ගැන සැලකිලිමත් නොවීමත් මෙහි දී ප්‍රශ්නයක්.

අද මෛත්‍රිපාල කණ්ඩායමේ ඇතැමුන් ආණ්ඩුව ගැන කළකිරිලා. ඔවුන් එසේ වී ඇත්තේ මැයි දිනයෙන් පසුව යැයි කීම අතීතයක් ගැන නොසිතන අඳ බාලයන්ගේ වැඩක්. මෛත්‍රිපාල කණ්ඩායමේ ඇතැමුන් ඇමති ධුර ලබා ගැනීමේ වරද වටහා ගනිමින් සිටිනවා. අප ඔවුන්ට ඒ සඳහා ආධාර කළ යුතුයි. ඇතැමුන් කරන්නේ ඔවුන් කෙසේ නමුත් රනිල් වෙතට ම ආපසු යැවීම. එහෙත් අප තේරුම් ගත යුත්තක් තිබෙනවා. මෛත්‍රිපාල කණ්ඩායම මුළුමනින් ම මහින්ද වෙතට පැමිණියත් රනිල් පළවා හරින්න බැහැ. අද ඒ සඳහා විධායක බලය අවශ්‍යයයි.

මහින්දගේ ආරක්‍ෂාව අඩු කිරීම ගැනත් මෛත්‍රිපාල කණ්ඩායම තව තවත් හිතන්න යොමු කරාවි. සෑම දේශපාලනඥයකුට ම පෞද්ගලික න්‍යාය පත්‍රයක් තිබෙනවා. එහි බලය යන්න ඉතා ඉහළින් සටහන් වෙනවා. මෛත්‍රිපාල කණ්ඩායම විතරක් නොවෙයි ඒකාබද්ධ විපක්‍ෂයේ (සංධානයේ) තවත් අයත් ඇමතිකම් බලාපොරොත්තුවෙන් එ ජා පක්‍ෂයේ විවිධ අය හමුවන්න ගියා. එහෙත් රනිල් ඔවුන් ප්‍රතික්‍ෂෙප කළා. ඒ නිසා ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්නවා. අප ඔවුන් ගැන වීරත්වයෙනුත් මෛත්‍රිපාල කණ්ඩායම ගැන පිළිකුළෙනුත් කතා කළ යුතු නැහැ. අපට දේශපාලනඥයන් තේරෙන්නේ නැත්නම් කිසිවක් කරන්න බැහැ. මෛත්‍රිපාල කණ්ඩායම මහින්දගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඉදිරිපත් වන්නේ නම් එය වැඩදායක වනු ඇති.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 මැයි 05

 

One Response to “මහින්දගේ ආරක්‍ෂාව”

  1. Ratanapala Says:

    It is SIrisena who needs to be scared and not so much Mahinda. If Sirisena goes, Ranil gets the Presidency. At least this is how I read the current political imbroglio! Ranil can very well engineer the act and point it towards the Joint Opposition!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress