රාජිතලා සහ පරාජිතලා !!!
Posted on May 7th, 2017

තේජා ගොඩකන්දෙආරච්චි

වැඩ කරන ජනතාව වෙනුවෙන් සමරන මැයි දිනය නිමවී සතියක් ගෙවී ගියේය. ඒ සඳු දින කැම්බල් පිටියේ සිට ‘තමන්ට රටේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන්න ඉඩ දෙන්නැ’යි තම පාක්ෂිකයන්ගෙන් අයැද සිටි රනිල් වික්‍රමසිංහලා, මැයි 5 වන සිකුරාදා වන විට තවත් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. ඒ තවත් ඇමතිවරුන් 6 දෙනෙකුටත්, අග්‍රාමාත්‍ය ලේකම් වරයෙකුටත් වාහන ගන්නටත්, ඇමතිවරයෙකුගේ නිළ නිවස අලුත්වැඩියා කරන්නටත් (රු. කෝටියක්) සහ රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකුගේ විදේශ චාරිකා සඳහාත් (රු. කෝටි 4) වශයෙනි. මේ පසුව කී කෝටි 5 අතහැර බැලුවත් එක වාහනයක් සඳහා රු. කෝටි 4 ක ට වැඩි ප්‍රමානයක් වෙන්වනු ඇත. මේ, මැයි දිනය දා අයැද සිටි සංවර්ධන කටයුතු පටන් ගන්නටද කියා නොදනිමු.

මැයි දිනය සමරන්නේ වැඩ කරන ජනතාව වෙනුවෙන් වුවද, වැඩ කරන ජනතාව පිලිබඳව කතා කලේ එහෙමත් දේශපාලන රැස්වීමකය. මැයි දිනය එන විට සියලු දෙනාගේම උනන්දුව වන්නේ වැඩිපුරම ජනතාවක් සහභාගි වනුයේ කාගේ රැළියටද කියා තරගයක් තැබීමටය. ඒ අතරම ශ්‍රීලනිපයේ බෙදීම අල්ලාගෙන තලු මරන එක්සත් ජාතික පක්ෂයේ ඇත්තෝ තම මැයි රැළියටත් වඩා කතා කරන්නේ ඒ ගැනය. තම තමන්ගේ පක්ෂ වෙනුවෙන් ඇදී ආ (ඇදගෙන ආ?)  ‘වාර්තාගත’ ජන සංඛ්‍යාව ගැන කතා කරන අතරම ගොල්ෆේස් පිටියේ පිරුනු සෙනග අවතක්සේරු කරන්නටද සමහරු මහන්සි වූහ. කෙසේ වුවද මේ සියලු රැස්වීම්වල පාහේ කතාකල කථිකයින් මැයි දිනයේ අර්ථය දැන සිටියාද යන්න සැක සහිතය. රජයක අහිතකර ප්‍රතිපත්ති ගැන පැවසීමේදී වැඩ කරන ජනතාවට යම් අදාලත්වයක් ඇත. නමුත් එසේ කතා වනුයේ විරුද්ධ පාක්ෂික රැළිවලය. රජයට සම්බන්ධ මැයි රැළිවලදී නිකම්ම සීනි මී පැණි ගෑ වචනවලින් ලණු කවා ජනතාව ගොනාට අන්දවන කතන්දර මිසෙක වැදගත් යමක් අසන්නට ලැබෙන්නේ නැත.

මේ සියල්ල අතර ජනතා අවධානයට ලක්වූ කතා කාරයෝ දෙදෙනෙක් වූහ. ඒ රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා යන ඇමතිවරුන්ගේ කතාවන්ය. දෙදෙනාගේම කතා විලාසයන් ජනතාවට අමුතු දේ නොවේ. මේ දෙදෙනාම යොදා ගන්නා වචන තුල ගලා යන්නේ තමන් තුල කැකෑරෙන වෛරයයි.

එකල අනගාරික ධර්මපාල තුමා කල කතාවල් දෙස හැරී බලන කල්හි එතුමාද භාවිතා කලේ මෙවන් සැර භාෂා විලාශයකි. නමුත් ඒ කතාවල වෙනසක් තිබිනි. ධර්මපාලතුමාගේ කතා තුලින් ගලා ගියේ අධිරාජ්‍යවාදී බලපෑම් තුල සමාජය හසුව යන ප්‍රවාහය පිලිබඳව එතුමා තුල වූ සිත් වේදනාවයි. රට තුල පැතිරෙන පරාධීනත්වයට මොලය කළඳක් පාවිච්චි නොකරම ගොදුරු වෙමින් යන ජන සමාජය කෙරෙහි එතුමාගේ සිත තුල මතුවූ අනුකම්පාව මුසුවූ කෝපයයි. එය කොහෙත්ම තම බඩ වියත වෙනුවෙන් නොවේ.

නමුත් මේ විලාපය?

එතැනත් ජනතාව සම්බන්ධ කෝපයක් තිබේ. ඒ, ‘මෙතරම් කියලත් මුන් මහින්ද රාජපක්ෂ පස්සෙ යන්නෙ ඇයි?’ යන හැඟීමෙනි. නමුත් ඒ තුල ජනතාව යන්නේ හරි පාරකද වැරදි පාරකද යන එක ගැන සිතන්නට රාජිතට හෝ ෆොන්සේකාට දැනුමක් හෝ අවශ්‍යතාවයක් නොමැති බව පැහැදිලිය. මේ කෑ ගැසීම තමන්ගේ පැවැත්ම පිලිබඳ පදනම දෙදරා යාම සම්බන්ධව ඇති බිය සංකේතවත් කරන්නකි.

මොවුන් භාවිතා කරන වචන දෙස බලමු. රාජපක්ෂලා කරන වැඩ රාජිත සේනාරත්නට ‘වලත්ත’ වැඩය. රාජපක්ෂවරුන් ගැන කතා කරන සැම විටම කෝපයෙන් බුරා හැලෙන මොවුන් දෙදෙනාගේම භාෂා කෝෂය තුල ‘උන්, මුන්, ඕකුන්’ වැනි වචන වරදින්නේ නැත. තම විරුද්ධවාදියා වූ මහින්ද රාජපක්ෂ ගැන කවර කතාද? තමන් සමග එකම කැබිනෙට්ටුවේ සිටින කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න හෝ විජේදාස රාජපක්ෂ ගැන කතා කරන්නට ඉඩ හලොත් වන විනබ්බෑසිය එදා ජනතාවටම අසා ගත හැකි විය. රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකු ලෙස මෙවන් වචන ප්‍රසිද්ධියේ භාවිතා කිරීම තරම් ‘වලත්ත කමක්’ තවත් ඇතිද?

රාජිතගේ ඇති මේ නැහැදුනු උද්දච්ච බව මේ කතාවල පමනක් නොව සම කැබිනට් ප්‍රකාශක ලෙස මොහු සහභාගි වන මාධ්‍ය සාකච්ඡාවලදීද පිලිබිඹු වේ. අනුන් පහත හෙලමින්, කටේ තොලේ නොගෑවී බොරු ඇද බාන්නේ තමන් බොරු කියන වග මාධ්‍යවේදීන් දන්නා බවත්, මේවා පිලිබඳව ප්‍රශ්න කරන්නට තරම් නිර්භීත කෙනෙකු ඔවුන් අතර නොමැති බවත් දැන දැනමය. වැරදිලාවත් කිසිවෙකු මොහුව ප්‍රශ්න කලොත් මොහු අධික කෝපයට පත්වේ. මෙවැනි ගති ස්වභාවයන්ටද යෙදිය යුතු වචනය ‘වලත්තකම’ හැර වෙන කුමක්ද? 

අනිකුත් දේශපාලකයන් ගැන විග්‍රහ කිරීමට රාජිත යොදා ගන්නා වචනය ‘වලත්තකම’ නම් මොහුගේ ඉතිහාසයම පිරීගොස් ඇත්තේ එවන් ‘වලත්තකම්’ වලිනි. සමහර ඒවායේ බර අරිටත් වැඩිය. 1975 – 1989 දක්වා ඔහු දැරූ රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ මහ ලේකම් තනතුර තුල ඔහු දේශපාලනයට බැස්සේ වාමාංශික දැක්මක් ඇතිවය. එකල ජේ. ආර් ජයවර්ධන ප්‍රමුඛ එජාප රජය දැඩිව විවේචනය කල ඔහු, අද ඒ දෙයම කරන ශ්‍රී ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට එරෙහි වන්නේ එදා තම විවේචනයට බඳුන් වූ එජාපයේම සෞඛ්‍ය ඇමති ලෙස සිටිමිනි. එදා තමන් කැපී පෙනීමේ පටු අරමුණින් නොව අවංක සිතින් ඒ විවේචන කලා නම් මොහු වත්මන් එජාප රජය වෙනුවෙන් මෙසේ පෙනී නොසිටින්නේය. මීට දශක 4 ක ට එපිට ඒ දේශපාලනය අද තරම් දූෂිතව නොතිබුනි. අඩු තරමින් හොඳ මිනිසුන් කිහිප දෙනෙකු හෝ එහි සිටියහ. නමුත්  සමහරවිට ඔහු එදා එජාප රජය ගෙනයන ප්‍රතිපත්ති ඔස්සේ රට මේ තැනට ඇදගෙන යන බව දකිමින්ම නිකම්ම ප්‍රසිද්ධිය පතා ඔවුන්ව විවේචනය කලා වන්නට පුලුවන. ඉන් දස වසරක් ඉක්ම යන්නට මත්තෙන් 1994 දී එවකට හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංගගේ ඇරයුමෙන් ජාතික ලැයිස්තුවෙන් එජාප මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු පාර්ලිමේන්තුවට රිංගා ගන්නේ ඒ වන විට 17 වසරක දුර්දාන්ත පාලනය නිසා එජාපය ජනතාවට එපා වූ බව දැන දැනමය. ඔහුගේ දේශපාලන අභිලාශය එතුල මනාව පිලිබිඹු වේ. ඊට පෙර ඔහු ගැසූ කරණම් සියල්ල තම පැවැත්ම පිලිබඳ අත්හදා බැලීම් බව නිසැකය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව ශිෂ්‍ය ව්‍යාපාරයෙහි යෙදුනු ඔහු විජය කුමාරතුංග විසින් ශ්‍රීලනිපයෙන් කැඩී ගොස් පිහිටුවා ගත් ශ්‍රී ලංකා මහජන පක්ෂයට සම්බන්ධ විය. ඉන්පසු එය ජනතා විමුක්ති පෙරමුණේ ඉලක්කයක් බවට පත්වූ විට, ජවිපෙ මර්ධනය සඳහා ගොඩ නැගුනු මිනීමරු සන්නද්ධ කණ්ඩායම් අතරින් එකක් වූ ‘ප්‍රා’ සමග රාජිත සේනාරත්න නමද ඈඳී තිබිනි. ඔහුගේ එජාප ය සමග මිත්‍ර සමාගමය ගොඩ නැගෙන්නට ඇත්තේ එලෙසය. විජයගේ ඝාතනයෙන් පසු පක්ෂයේ නායකත්වය භාරගත් ඔසී අබේගුණවර්ධන එජාපයට සම්බන්ධ වූ විට ඔහු විජයගේ වැන්දඹුව වූ චන්ද්‍රිකා සමග එක්ව බහුජන නිදහස් පෙරමුණ පිහිටුවාගෙන එහි මහ ලේකම් ධුරය ලබා ගත්තේය. ඔහුට සැම විටෙකම ‘මහ’ තනතුරු අවශ්‍ය වූ බව පැහැදිලිය. 

1994 දී චන්ද්‍රිකා යලි ශ්‍රීලනිපයට සම්බන්ධ වූ අතර, රාජිත එජාපයට එකතු විය. එයට පෙර ඔහු 1988 පලාත් සභා මැතිවරණයේදී වාමවාදී පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවා ගත් එක්සත් සමාජවාදී සන්ධානය යටතේ කොළඹ දිස්ත්‍රික්කයට තරග වැද බස්නාහිර පලාත් සභාවට තේරී පත්විය. නමුත් එම පක්ෂය යටතේම 1989 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ විට අන්ත පරාජයට පත්විය. ඉන්පසු 1994 අගෝස්තුවේදී එජාපය යටතේ කලුතර දිස්ත්‍රික්කයෙන් තරගකර අසුනක් දිනා ගැන්මට සමත් වූයේය. 

2000 මාර්තු 31 දා රාජ්‍ය ආයතන කිහිපයක් සමග සිදුකල නීති විරෝධී ගණුදෙනු කිහිපයක් සම්බන්ධව රාජිත සේනාරත්න වරදකරු කල අභියාචනාධිකරණය ඔහුව පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරින් ඉවත් කල යුුතු බවට තීන්දු කලත් පක්ෂ ව්‍යවස්ථාවේම ඇති හිදැස් ප්‍රයෝජනයට ගත් එජාපය රාජිතගෙන් හිස් වූ අසුනට යලි රාජිතවම පත් කරන ලදී. එවක එජාප නායකයා වූයේද රනිල්මය. ඉන් පසුව 2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු යලිත් එජාපයෙන් කලුතර දිස්ත්‍රික්කය සඳහා තේරී පත් වින. යලි 2001 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආ ඔහුට එවර බලය හිමිවූ එජාප රජය යටතේ ඉඩම් පිලිබඳ ව්‍යාපෘති ඇමති තනතුර ලැබිනි. නමුත් 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයට බලය අහිමි වීමත් සමග ඔහුගේ ඇමති පට්ටමද අහෝසි විය 

2007 ජනවාරියේදී තම එජාප සගයන් බොහෝ දෙනෙකු කලාක් මෙන් රාජිත සේනාරත්නද එවක පැවති එජනි සන්ධානයට පැනගත් අතර අද ඔහුගේ පරම සතුරා වන මහින්ද රාජපක්ෂ එවක හිටපු ජනාධිපතිවරයා විසින් ඔහුට ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමතිකම පිරිනමන ලදී. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු තරග බිමට ආවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකු ලෙසයි. එයින්ද තේරී පත්වුන ඔහුට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධුරය ලැබිනි. ඒ වකවානුවේදී මොහු විසින් සිදුකල රුපියල් මිලියන ගණන් මූල්‍ය වංචා ජනතාවට හෝ එවක රජයට රහසක් නොවීය. 

2011 දී ඔහු තම බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයට පත් කරවා ගන්නට කටයුතු කලේය. සුප්‍රිම් උසාවිය හමුවේ පැවරූ නඩුවක් මත මෙම පත්වීම බල රහිත කලද මහජන සෞඛ්‍ය සේවා පිලිබඳ අතිරේක අධ්‍යක්ෂ පදවියට ඇයව පත් කර ගත්තේ තම දේශපාලන බලය යොදාගෙනය. 

මේවා ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කලොත් ඔහු පවසන්නේ ‘ඇයි මොකද? එයා මෙඩිකල් ඩොක්ට කෙනෙක්නේ’ කියායි. හරියට මේ රටේ වෛද්‍යවරියකට සිටින්නේ ඇය පමනක් මෙනි. තම බිරිඳගේ දොස්තරකම ගැන මෙසේ තක්සේරු කරන මේ මිනිසා අද අනිත් දොස්තරවරු ගැන කතා කරන්නේ කෙසේද? 2014 දී රාජපක්ෂගේ පවුල් පාලනයට එරෙහිව කතා කලද වසරක් යන්නට පෙර තම පුත්‍රයා වූ චතුර සේනාරත්න දේශපාලනයට ගෙන ආ අතර මේ වන විට තම පුත්‍රයාගේ කට නිසා අනා ගන්නා දේවල් දෙස බලන්නේ සුරතල් දරු සෙනෙහසිනි. තම පුතාගේ ඒ නොමේරූ මන්ද මානසික ක්‍රියා කලාපය තුල කිසිදු වරදක් රාජිතට නොපෙනේ.

2014 දී තම ඇමතිකමින් ඉවත්වී 2015 ජනවාරි 8 වන දිනයට හදිසියේම යොදාගත් ජනපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන දෙසට හැරුන ඔහු, අද දක්වාම, තමන්ට දේශපාලනික වශයෙන්ද, ආර්ථික වශයෙන්ද ඉහලට යන්නට අත්වැලක් සැපයුනු වගකිව යුතු ඇමති පදවියක් ලබාදුන් හිටපු ජනාධිපතිවරයාට සලකනුයේ බද්ධ වෛරයකිනි. ඊටද යම් බලවත් හේතුවක් පවතිනු නිසැකය.  

2015 පෙබරවාරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ සභාපති බවට පත්වූ විට රාජිතට පක්ෂයේ උප සභාපති තනතුරක් පිරිනමනු ලැබිනි. නමුත් 2015 අගෝස්තුවේ පැවති මහ මැතිවරණයේදී ඔහු යලි එජාපයටම මාරු විය. හේතුව ලෙස සඳහන් වුනේ මහින්ද රාජපක්ෂට කුරුණෑගලින් නාම යෝජනා දීමට ඉඩ හැරීම සම්බන්ධව වූ විරෝධය වුවත් මෛත්‍රී – මහින්ද විරසකය තුල දෙකඩ වූ සන්ධානය තුල මෛත්‍රී පාක්ෂිකයෙකු ලෙස ඉදිරිපත්වීම තුල තමාට අත්විය හැකි ඉරණම ගැන සිතා බැලුවා වන්නටත් පිලිවන.

ඔහුගේ චතුර පුතා නම් මේ වන විට චිර ප්‍රසිද්ධියට පත්ව ඇති නමුත් ජනතාව රාජිතගේ එක්සත් පුතා ගැන දන්නේ නම් ටිකකි. 2015 මාර්තු මාසයේදී හදිසියේ ජනතා අවධානයට ලක්වූ නඩුවක් විය. එනම් රාජිත සේනාරත්නගේ දෙවන පුත්‍රයා වන එක්සත් සේනාරත්න විසින් 2014 පෙබරවාරි 24 වන දින ආසියානු ජාත්‍යන්තර පාසලේ සාමාන්‍ය පෙල ඉගෙනුම ලබමින් සිටි දිනිති ආලෝකා රණසිංහ නම් 16 හැවිරිදි තරුණිය අමාත්‍යංශ වාහනයක් යොදාගෙන පැහැරගෙන ගොස් අමාත්‍ය නිළ නිවසේ රඳවාගෙන සිටින බවට ඇගේ දෙමව්පියන්ගෙනි. මේ සිද්ධිය සිදුවූ පෙබරවාරි 24 වන දින, දියණිය අමතර චිත්‍ර පන්තියකට සහභාගි වන බවත්, සවස 3.30 ට තමාව පාසලෙන් රැගෙන යන ලෙසත් දුරකථන මගින් පියාට දන්වා ඇත. නමුත් පියා පාසලට යන විට දැරිය එහි සිට නැත. ඇගේ යෙහෙළියන් ඇයව අවසන් වරට දැක ඇත්තේ අමාත්‍යවරයාට අයත් ‘ජීඑල් 7370’ නොම්මරය දරන වාහනය තුල සිටියදීය. 

මේ බව මව්පියන් විසින් පොලිසියටද ජාතික ළමාරක්ෂක සේවා අධිකාරියටද පැමිණිලි කලද පලක් නොවීය. පසුව පොලිසියට යලිත් කල පැමිණිල්ලකදී දෙපාර්ශ්වයම කැඳවන බව ඔවුන් පොරොන්දු වුනත් අමාත්‍යවරයාගේ පවුලේ අය එන්නට කියූ දින නොව වෙනත් දිනක එම දැරිය සමග පැමින, ඇය තම කැමැත්තෙන් පැමිනි බවට කට උත්තරයක් ලබා දී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවා එම දැරියගේ වයස විකෘති කර ප්‍රකාශයක් කලේය. 2014 මාර්තු මාසයේදී ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් එම දැරිය තම භාරයට ගෙන ඇගේ ඥාති නිවසක රැඳෙව්වේ සා පෙළ විභාගයට ලියන්නට ඉඩ සලසන්නටයි. නමුත් 2014 අප්‍රේල් මාසයේදී ඇය සිටින තැන සොයාගත් එක්සත් සේනාරත්න ඇයව යලි පැහැරගෙන ඇත. ඉන්පසු තමා පැහැරගත් මේ බාල වයස්කාර දැරිය තම අඹු කමට තබා ගත්තේ තම දෙමව්පියන්ගේ අනුදැනුම සහිතවය.

ඇගේ වයස සම්පූර්ණ වූ පසු මහ ලොකුවට උත්සවයක් පවත්වා එම විවාහය නීත්‍යානුකූල කලත්, බාල වයස්කාර දැරියක් පැහැරගෙන, ඇය අඹුකමට තබාගෙන තම දේශපාලන හයිය පෙන්වා පොලිස් පරීක්ෂණ යට ගසමින් ඒ දැරියගේ දෙමව්පියන් අසරණ කරමින් ඔවුන් කල දේ හරිය කියා කියන්නට එතුලින් හැකි වනවාද? එදා තම පුතා කල ඒ ‘වලත්ත’ වැඩයට අනුබල දෙන අතරම 2015 දී මේ නඩුව තමන්ට මඩ ගසන්නට කල එකක් බව කියමින් රාජපක්ෂලා පතුරු ගසන්නටද ඔහු අමතක නොකලේය.

කවුරුන් දනිත්ද? පැණි වරකාවට හෙණ ගැසුවා සේ රාජපක්ෂවරන් සමග රාජිතගේ තිබූ යාලු කම නැති වන්නට මේ සිද්ධිය බලපෑවා වන්නටත් පුලුවන.

ඉතින් අද රාජපක්ෂලාගේ ‘වලත්ත’ වැඩ, පවුල් පාලනය, වංචා දූෂණ ගැන පාතාල භාෂාවෙන්ම වේදිකා ගණනේ කෑ ගසන්නේ මේ මිනිසාය. අප මඩු වලිගයෙන් තැලිය යුත්තේ මොවුන්ටද? නැතිනම් මෙවැනි දිවේ මවිල් ඇති, ලැජ්ජාවක් කියා දෙයක් නැති මනුෂ්‍ය රූපයකින් පමනක් පෙනී සිටින මෙවන් පිශාචයින් මනාප කතිරය ගසා රජගෙට යවන අමන මිනිසුන්ටද?

ෆොන්සේකාට නම් මෙසේ කීමට දීර්ඝ දේශපාලන ඉතිහාසයක් නැත. මිනිසුන් ඔහු ගැන දැන ගත්තේ 2005 දී රාජපක්ෂ රජය විසින් ඔහුව හමුදාපති තනතුරට පත් කලාට පසුවය. එසේ වුවත් එතෙක් හිටපු ජනධිපතිවරුන් මෙන් විදෙස් බලපෑම්වලට දණ නමා යුද්ධය ඔහේ යන්නට ඉඩ හැරියා නම් ෆොන්සේකාද තවත් එක හමුදාපති කෙනෙකු පමනක් වන්නට ඉඩ තිබිනි. එදා ඒ යුද්ධයේ අවසන් අදියරේදී හමුදාව අතින් යම් වැරදි වූවා නම් හමුදාපති ලෙස ඔහුද ඊට වගකිව යුතු වනු මිස ගෝඨාභයට පමනක් වරද පටවා අත පිසදා ගනු ඔහුට නොහැකිය. යුද ජයග්‍රහණයේ හොඳ කොටස පමනක් භාර ගන්නට සැදී පැහැදී සිටින ඔහු තමා ඉලක්ක කරගත් බෝම්බයට හසු වූ රථය පෙරහරේ රැගෙන ගියේ ඒ හා බැඳුනු අනිකුත් සියලු සිද්ධීන් ජනතාවටත් අමතක ඇතැයි කියා විය යුතුය. තවත් බොහෝ දේ කියවන අතරතුර තමන් පැවසූ සුදු කොඩි කතාව යට ගසමින් අද ඔහු පවසන්නේ, 2009 දී බැන් කි මූන් ගෙන්වාගෙන හමුදාවට යුද අපරාධ චෝදනා කලේ හිටපු ජනාධිපතිවරයා බවයි. 2009 මැයි 24 දින සිදුවූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය  පිලිබඳ වාර්තාව අන්තර්ජාලය ඔස්සේ ඔබට කියවිය හැකි නම් මේ සිදුවීම යථා පරිදි වටහා ගත හැකි වනු ඇත. මොවුන් තම කතා අසා සිටින ජනතාවගේ බුද්ධිය තක්සේරු කරන්නේ මේ අයුරින් නම් අසන්නන් එ් ගැන එක්කෝ ලැජ්ජා විය යුතුය. නැති නම් සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.

ඔහු ජයග්‍රාහී හමුදාපති වීම නිසාම, පෙරදී ඔහු ගැලවීමේ හමුදාවට නම් සුදුසු බව කියූ එජාපයම ඔහුව බිලී බා ගත්තේය. එතැනදී ඒ මේ අතට විසිවූ මඩ ප්‍රහාර තුල ෆොන්සේකාගේ පැටිකිරියද එලියට ඇදී ආයේය. කෙසේ හෝ එජාපයේ ඇමට හසුව පොදු අපේක්ෂක වී ඉන්පසු පාර්ලිමේන්තුවට දක්කාගෙන යන්නටත් ඉඩහල නිසා මිස, වැරදිලාවත් මේ රජය පත් වෙද්දී ඔහු අනිත් පිලේ සිටියා නම්! එසේ නම් නොඅනුමානවම වත්මන් රජයේ පාලනය තුල හමුදා නිළධාරීන්ට අත්වන ඉරණමත්, ෆොන්සේකාගේ නම ඉදිරියේ ලියැවුන වාර්තාවනුත් බලන කල ඔහුට කොහොමටත් හිරේ ලගින්නට සිදුවනු ඇත. 

1989 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ තමාට මනාපය ඉල්ලමින් රාජිත සේනාරත්න වෙනුවෙන් තාප්ප වල ඇලවූ පෝස්ටරවලට චන්දයෙන් පසුව කවුදෝ පිරිසක් අපූරු එක් කිරීමක් කර තිබිනි. එනම් ‘රාජිත’ යන නම ඉදිරියේ ‘ප’ යන්න සටහන් කිරීමය!

මොහුගේ සහ ෆොන්සේකාගේ නම හා බැඳුනු අලකලංචි මෙන්ම භාෂා විලාශය දෙස බලනවිට මිනිසුන් වීඅයිපී කියා සලකන්නේ මොවුන්ටද කියා පුදුම සිතේ. මෙම සියලු දහදුරාකම්වලට පසුතලය සකසන ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතිය ගැන කිව හැක්කේ මොනවාද?

මෙවන් පුද්ගලයන්ට තනතුරු, නම්බුනාම දෙනවා මදිවාට ලෝක ආර්ථිකයේ කොඳු නාරටිය වන් වැඩ කරන ජනතාවගේ ශුද්ධ වූ දිනය වන මැයි දිනයේ වේදිකාව මෙවන් පහත් පෙලේ කතාවලින් ජරා ජීර්ණ කරන්නට පියවර ගන්නා අයටත්, හුරේ දමමින් මේ විකාර අසා සිටින අයටත් කිව හැක්කේ එකම දෙයකි. 

‘ප’රාජිතයන් උන් නොව නුඹලාය !!!

4 Responses to “රාජිතලා සහ පරාජිතලා !!!”

  1. Ananda-USA Says:

    Rajitha Seneviratne’s and Sarath Fonseka’s tirades at the UNP May Day Rally, reminded me the Lord Buddha’s advice to us:

    Asevanacha balanan
    Pandithanancha sevana
    Pujacha pujyaniyanan
    Etham mangla muththmam

  2. ranjit Says:

    Theja this is a very fine article. If this can be printed on a leaflet and distribute among ordinary people it will be great. They need to know all this you have mentioned in this article. I wish these two pathatic guys die like stray dogs on the road because these two are the two most dirtiest and habitual politicians in the whole parliament. I wholeheartedly condemned their actions and hope they will be punished by nature one day sooner or later. I wonder how can people like these stay in the Yamapalanaya. These twosome good for hangman’s job. One is tall and the other one is short. They should go to Sajith for a job. Times has come to chase the yamaballo. Sinhalaya must unite to do that. Let’s keep faith on Sinhalaya to save our motherland.

  3. Christie Says:

    ඉන්දියානු බවයක් නැති අපි ඔක්කොම ඉන්දියානු අඩිරදයේ යටත් වැසියෝ.

    ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් අපිව පාලනය කරනවා.

    මෙය වටහාගන්න.

    එකතුවන්න.

    ඉන්දියානු අදිරදයටත් ඉන්දියානු පරපෝසිතයන්ටත් එරෙහිව නැගීසිටින්න.

  4. Kumari Says:

    These idiots have no loyalty to or patriotism. They are being caught red-handed by the cue masters through money, booz and women. They haven’t got any self respect now. They are forced to dance according to the tune of their masters. Others in this category include, Ranil, Mangala, Sirisena, Chandrika, NGO heads and many more who are part of the puppet government. This is how the so called “International Community” rule the world.

    Thank you Theja.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress