රොද බැඳි ජන ගඟ
Posted on May 7th, 2017

උපුටාගැණීම  මව්බිම

‘මහින්දවත් බලාපොරොත්තු නැති විදියට ගෝල්ෆේස් පිට්ටනිය නිල් පාටින් පිරුණා. එකම හිස් ගොඩක්. ගෝල්ෆේස් පිට්ටනිය විතරක් නෙවි, ගාලු පාර පුරාමත් කොල්ලුපිටිය හන්දිය දිගටත් ජනතාව පොදි කකා රැස්වීමට එකතු වුණා. ඒ තරම් ජන ගඟක් මතක හිටින කාලයක දැක්කෙ නෑ. විශේෂයෙන් ගෝල්ෆේස් පිට්ටනියට මෙහෙම ජනගඟක් ගලපු මුල්ම අවස්ථාව වෙන්න ඕනෑ’

මේ ශ්‍රී ලංකාකාරයන් තැන තැන එකතු වෙලා කසු කුසු ගාපු දේ නොවේ. මේ කතා තැන තැන කතා වුණේ යූඑන්පීකාරයෝය. රැලියට එන්න බැරිව ළතැවුණු ශ්‍රී ලංකාකාරයෝය. පසුවදා පත්තර සිරස්තල දාන අයට හරිම ගැටලුවකට මුහුණ දෙන්නට වුණේ ඉතිහාසයේ පළමුවැනිදාටය. සමහර පත්තර මෛත්‍රිවත්, රනිල්වත් ශේප් කරගන්නදෝ දැමූ ශීර්ෂ පාඨ මෙහෙමය.

;ශ්‍රී ලනිප මැයි රැලියට ජන ගඟක්. ඒ දා මෛත්‍රි වටා ඒකරාශී වූ ශ්‍රී ලංකාකාරයන් සතුටු කරන්නටය. ඊළඟට රනිල් ෂේප් කරගන්නට දාපු හෙඩිම මෙහෙමය.
‘එජාප රැලියට ජන ගඟක්’ ඊගාවට මහින්දගේ ජන බලවේගය කොයිතරම් දැවැන්ත වුණත් ප්‍රබල වුණත් ඊට දාපු හෙඩිම මෙහෙමය. ‘ඒකාබද්ධයේ රැලියටත් ජන ගඟක්’
මෙයින් ඒත්තු ගන්වන්නට උත්සාහ කරන්නට ඇත්තේ ‘මෛත්‍රිටත්, රනිල්ටත්, මහින්දටත් ජන ගඟක් තිබුණා’ කියලා කියන්නට විය යුතුය.
‘එතකොට මහින්ද මහත්තයටත් හිටියෙ මෛත්‍රිට රනිල්ට හිටපු ජන ගංගාවමද? එහෙම නම් කාට කාටත් එක සමාන ජන ගංගාවක් හිටියද?’
මහින්ද වටා පෙළ ගැසුණු රටවැසියන්ට මේ ශීර්ෂපාඨ දැක්කම එහෙම හිතුණොත් පුදුමයක් නැත. නමුත් මැයි දිනයෙන් පසු මාධ්‍යවේදීන් එස්.බී. දිසානායකගෙන් මහින්දගේ රැලිය සාර්ථකද අසාර්ථකද කියලා ඇහුවාම දුන්නු උත්තරය හරි පුදුමය.


‘ඒක සාර්ථකද අසාර්ථකද කියලා කියන්න බෑ. මං හිතන්නෙ තිස්දහසක් තිස් පන්දහසක් විතර සෙනඟ ඉන්න ඇති’
එහෙම නම් පත්තර ශීර්ෂ පාඨවලටත් එහා ගිහින් එස්.බී. කියපු කතාව යූඑන්පීකාරයන්වත්, මෛත්‍රිගේ ශ්‍රී ලංකාකාරයන්වත් පිළිගන්නේ නැති බව සත්තය. හැබැයි ඔය කොයි අයියාටත් වඩා තෙම්පරාදු වෙච්ච මහින්ද රැලියෙන් පස්සේ ජනමාධ්‍යවේදීන් හමුවෙච්ච වෙලාවකදී මේකට හොඳ උත්තරයක් දුන්නේය.
මාධ්‍යවේදියා – එස්.බී. මහත්තයා නම් කියන්නේ තිස් දාහක් – තිස් පන්දාහක් විතර ආවා කියලා.
මහින්ද – වෙන්න ඇති. උදේ සෙනඟ එන්න පටන් ගත්ත වෙලාවෙ උඩින් බැලුව නම් එහෙම පෙනෙන්න ඇති. ගෝල්ෆේස් පිටියත් පිරිලා පාරත් පිරිලා කොල්ලුපිටිය පැත්තටත් සෙනඟ හිටපු බව එය දන්නෙ නැතිව ඇති.
එස්.බී. කියන කතාවල වලංගුභාවය කොයිතරම්ද කියලා ඒක ජනතාවට තේරුම් ගන්න ඉඩ අරිමින් මහින්ද පැමිණි ජනතාවට ස්තුති කළේ කෙළෙහි ගුණ දන්නවුන්ට ශීර්ෂ ප්‍රණාමයෙන් ගෞරව දක්වමිනි.
සෙනඟ ගැන හරි තක්සේරුවක් දෙන්න මහින්ද පිලේ ඉන්න අයට වඩා ඉදිරියට ගිහින් ඇත්තම කියන්නට වුණේ මහින්ද අමරවීරය.
මාධ්‍යවේදියා – ගෝල්ෆේස් අය එක්ක එකට එකතු වෙන්න ලැබුණොත් මොකද හිතෙන්නෙ?
අමරවීර – ‘එහෙම වුණොත් අති විශිෂ්ටයි කීවේ නිකමට නොවේ. මහින්ද රාජපක්ෂගේ බලවේගය අතිමහත් නිසා එම බලවේගය සමඟ ඉතුරු බිතුරු ගැටඹේට එක්රොක් වූ සෙනඟ එකතු වුණොත් යූඑන්පීයට ඇඩ්‍රස් නැතිවග අමරවීර ව්‍යංගයෙන් පැහැදිලි කළේය. අමරවීර අනියමින් මහින්දගේ බලවේගය, පිරිස බලය අති විශාල බව පිළිගත්තේය. රනිල් වුණත් කැම්බල් පිටියට ආපු යූඑන්පීයේ ජනගඟ ගැන උදම් අනන්නට ගියේ නැත. බී.ආර්.සී. පිටියට ආපු ජේ.වී.පී. ජන ගඟ ගැනත් අනුර කුමාර වර්ණනා කරන්නට ගියේ නැත. ඒ දෙන්නාම ‘අපිට ආව සෙනඟ අපි දන්නවනේ. ආයේ මොකට ඒ ගැන කියනවද?’ කියල නොකර සද්ද ඉන්නට වගබලාගත්තේ ඒ ගැන කියන්නට ගිහින් ලකුණු කපා ගන්නට ඕනෑ නැති නිසා විය යුතුය.
ඒ වුණාට අනුර කුමාර එක දෙයක් නම් කෙළින්ම කීවේය.
‘මැයි දින සැමරුමෙන් ජනතාව ලබා දුන් සංඥාව තේරුම් ගන්න ඕනෑ. එයින් කියන්නේ මැයි රැලි තියලා ආණ්ඩුවටත් ආණ්ඩුව ඇදගෙන යන යූඑන්පීයටත් කප් එක ගන්න බැරි වුණා’ කියන කතාවය.
එහෙම නැතිව ‘බීආර්සී’යේ සෙනඟ දැකලා ආණ්ඩුව බය වෙන්න ඕනෑ’ කියන කතාව නොවේය. කැම්බල් එකේ සෙනඟ දැකලා මෛත්‍රිපාල බයවෙන්න ඕනෑ’ කියන කතාව නොවන්නේය.
අනුර කුමාර මොන බයිලාව ගැහුවත් ආණ්ඩුවේ ඇතැමුන්ද පිළිගන්නා ජේවීපීයත් පිළිගන්නා. එක දෙයක් කියන්නට අමතක නොකළේය. ඒ මෙසේය.
‘මේ වෙද්දි ආණ්ඩුව මර්දනකාරී පිළිවෙතකට එළැඹිලා තියෙනවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට, අරගල කරන ශිෂ්‍යයන්ට, ගොවි ජනතාවට මර්දනය එල්ල කරලා තියෙනවා. මේ ආණ්ඩුව මැයි දිනයෙන් ලබාදුන් පාඩම් ඉගෙන ගන්නවට වඩා අරගල කරන ජනතාව වෙත මර්දනයේ හස්තය දිගු කරන්න පියවර ගනිමින් ඉන්නවා. ඒ නිසා මේ ආණ්ඩුවේ තර්ජනයට එරෙහිව මහා ජන පවුරක් ගොඩනැඟිය යුතුයි’
හැබැයි මේ අනුර කියන ජන ගඟට බීආර්සී පිටියේ ගංගාව විතරක්ම අරගෙන අරගල කරන්නට පුළුවන් එකක් නොවන්නේය. ඒකට ගෝල්ෆේස් පිටියේ සෙනඟ නැතිවම බැරිය. ඒ වුණත් අනුර කුමාරලාට කටක් ඇරලා ගෝල්ෆේස් අයත් එක්ක අරගල කරන්න වෙනවාය කියලා ප්‍රසිද්ධියේ කියන්නට බැරිය.
‘යහපාලනය ගේන්න අනුර කුමාරලා ගත්ත මහන්සියේ තරම දන්නෙ ජනතාවයි. උන්දැලාගෙ ඡන්දයත් හංසයා වෙනුවෙන් ඡන්ද පෙට්ටියට දාලා දැන් ආණ්ඩුව හොඳ නැතෙයි කියලා කියන්නේ අහවල් කටින්ද?’ ජනතාව එහෙම අහන්නේය.
මේ කොයික වෙතත් රැලියෙන් පස්සේ පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් ගම්මන්පිල ඇහුවේ ෆොන්සේකාව ඉස්සරහට දාගෙන හමුදාවක් හදාගෙන අහවල් එකක් කරන්නට යනවාද යන්නය. අගමැති වෙනදාමෙන් විහිළු කතාවක් කියලා ෂේප් වෙන්න ගියත් ගම්මන්පිලගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ ‘ෆොන්සේකාගේ නායකත්වයෙන් විශේෂ හමුදාවක් හදන්නෙ නෑ’ කියලාය. අගමැතිත් ගෝල්ෆේස් සෙනඟ දැකලා සඳලුතලයෙන් බිමට බැස්සාදෝයි හිතෙන තරමට පාර්ලිමේන්තු ලොබියෙදී කාගෙ කාගෙත් කසු කුසු ඇසෙන්නේය. ඒ අතර සමහරු කියන්නේ,
‘අපේ එවුන්ට තිබුණේ පුළුවන් නම් ගෝල්ෆේස් පිට්ටනිය පුරවලා බලපල්ලා කියලා නොකියා ඉන්නයි. ඒක අහපු ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයෝ මැරුණත් කමක් නෑ ගිහිල්ලම පෙන්වනවා කියලා ගෝල්ෆේස් ඇවිත් පෙන්නුවා’ කියලා.

කොහොම වෙතත් පාර්ලිමේන්තුවේදී රටේ තත්ත්වය මෙන්න මේකයි කියල බන්දුල කීවේය.
‘ගිය අවුරුද්දේ ඒකපුද්ගල ආදායම පහළටම වැටිලා. කෘෂිකර්ම අංශයත් ආපස්සට ගිහිල්ලා. පිට පිටම වසර දෙකක් ගෙවුම් ශේෂය පහළට ගියා.’
ඒ අතර ඒකාබද්ධයේ අය කියන්නට ඕනෑ දෙයක් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී කීවේ මෙහෙමය.
‘අපේ සම්පත් මේ විදියට අත්පත් කර ගැනීම වැරැදියි කියලා අපි චීනයට කියනවා. අපට තියෙන්නේ එක රටයි. චීනයත් එක්ක ගිවිසුම් අස්සන් කළොත් අපේ ඉතිරි වෙලා තියෙන දේශීය කම්හල් ටිකත් වැහේවි.’
හඳුන්නෙත්තිලාට යහපාලකයන්ගේ කෙරුවාව හරියටම පෙනිලා තියෙන්නේ දැන්ය. එහෙම තියෙද්දී යහපාලකයන් රටට ඇහෙනන කියන්නේ, උද්ඝෝෂණ රැල්ලට බයේ නන්‍ෙදාඩ වන්නේ,
‘අනේ මෝඩි අගමැතිතුමා එන්නේ වෙසක් බලන්නයි. එයා මෙහෙ ඇවිත් ගිවිසුම් අස්සන් කරන්නේ නෑ. එනවා යනවා විතරයි’ කියලාය.
මේ අතර ආණ්ඩුවේ මර්දනකාරී පියවරට එරෙහිව රට පුරා වර්ජන රැල්ලක් දියත් කෙරෙන්නට නියමිතය. රජයේ වෛද්‍ය සංගම් සහායට තවත් වෘත්තීය සංගම් 160ක් එක්වන බව කියැවෙන්නේය.
ඒ නිසා දෝ කොළඹ ආරක්ෂාවට යැයි කියමින් යහපාලකයන් කොළඹට අතිරේක සීසීටීවී කැමරා සවි කරන්න යුහුසුලුය. ෆොන්සේකාට බැටන් පොලු දෙන්නට සූදානම්ය. අතිරේක බළඇණි හැදෙන කතා කෙරෙමින්ය. ඇසුවාම ‘අනේ එහෙම එකක් නෑ’ යැයි කියැවෙන්නේය.
ගෝල්ෆේස් ගිහින් වැඩ පෙන්නූ ඒකාබද්ධය දැන් ටිකක් හති අරින්නට පටන් අරන් යැයි ආණ්ඩුව හිතනවා විය යුතුය. ඒ අතර ජනතාව තව තවත් මහින්ද වටා පෙළ ගැසෙමින්ය.

ඒ අතර බොරැල්ලේ ආචාර්ය ඇන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී නාමල් වෙනදාට වඩා මහත් වගකීමකින් යුතුව මෙසේ කීවේය.
‘ජනපතිත් – අගමැතිත් ජනතාවගේ අවශ්‍යතාව තේරුම් ගන්න ඕනෑ. සැබෑ ජනමතය නම් රට ගොඩනැඟීම මිසක් රට විකුණාගෙන කෑම නොවේ. රටේ විනය හදන්න ඕනෑය කියලා ෆොන්සේකා පත් කරලත් වැඩක් වෙන්නෙ නෑ. මහින්ද මහත්තයටත් ඒකාබද්ධ විපක්ෂයටත් ඇඟිල්ල දිගු කරලා ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා ආණ්ඩුවට ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ඔය තරම් විශ්වාස නම් කරන්න තියෙන්නේ ඡන්දයක් තියන එකයි.’
නාමල් කියන, ඉල්ලන ඡන්දයක් ගන්න නම් තව තවත් ආණ්ඩුවට රිදෙන්න ජන ගඟක් එකතු විය යුතුය. දුන්නේ නැති වුණත් ඡන්දයක් ගත්තොත් ඒකාබද්ධයට කරන්න තියෙන දේ බොහෝය. ගහන්න තියෙන ගේම තියුණුය. ගේම ගහලා දිනාගන්න හැටි දන්න මහින්දට මේ ජන ගඟ ආණ්ඩුවට විරුද්ධව මොන විදියෙන් හරි පෙළ ගස්වන හැටි කියලා දෙන්න ඕනෑ නැත.

3 Responses to “රොද බැඳි ජන ගඟ”

  1. Christie Says:

    ඉන්දියානු බවයක් නැති අපි ඔක්කොම ඉන්දියානු අඩිරදයේ යටත් වැසියෝ.

    ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් අපිව පාලනය කරනවා.

    මෙය වටහාගන්න.

    එකතුවන්න.

    ඉන්දියානු අදිරදයටත් ඉන්දියානු පරපෝසිතයන්ටත් එරෙහිව නැගීසිටින්න.

  2. Ananda-USA Says:

    SB Dissanayake has lost the ABILITY TO ESTIMATE A CROWD!

    Thirty to thrity-five thousand at the Galle Face May Day rally?

    This BUGGER is making an ASS OF HIMSELF in front of the voting public!

    This BARE FACED LIAR CANNOT COUNT EITHER!

    Throw him OUT of OFFICE!

  3. Ananda-USA Says:

    ‘යහපාලනය ගේන්න අනුර කුමාරලා ගත්ත මහන්සියේ තරම දන්නෙ ජනතාවයි. උන්දැලාගෙ ඡන්දයත් හංසයා වෙනුවෙන් ඡන්ද පෙට්ටියට දාලා දැන් ආණ්ඩුව හොඳ නැතෙයි කියලා කියන්නේ අහවල් කටින්ද?’ ජනතාව එහෙම අහන්නේය.

    This is what makes me LAUGH when I hear Anura Kumara Dissanayake of the JVP RAILING AGAINST the Yamapalanaya as if he and the JVP had NO RESPONSIBILITY for bringing the Yamapalanaya to POWER!

    Bloody JVP HYPOCRITES talking out of BOTH SIDES of their MOUTHS!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress