සිංහල බෞද්ධ වෙසක් දිනයක්
Posted on May 8th, 2017

නලින් ද සිල්වා

2017 මැයි 07

 වෙසක් දිනය ළඟට ම ඇවිත්. ඒත් වැඩි සූදානමක් නැහැ. අද සූදානම් වන්නේ එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයට. එය ජාත්‍යන්තර වෙසක් දිනය ලෙසත් හැඳින්වෙනවා. එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය තායිලන්තයේත් පවත්වලා තියෙනවා කියලා ආණ්ඩුවේ ප්‍රබලයකු කියා තිබෙනවා. අපට මෙච්චර කලක් මේ ජාත්‍යන්තර වෙසක් දිනය පවත්වන්න බැරි වුණෙ මොකද කියල ව්‍යංගයෙන් අහනවා. ඒකටත් වැරදිකාරයා මහින්ද වෙන්න ඇති. ඇත්තට ම මහින්ද මොකද මේ ජාත්‍යන්තර වෙසක් දිනය ලංකාවෙ පවත්වන්න කටයුුතු නො කෙළෙ.

එක්සත් ජාතින් වෙසක් දිනය පිළිගෙන. ඒ සඳහා මුල් වුණෙ ලක්‍ෂමන් කදිරගාමර්. ඒත් ඒකෙන් තේරෙන්නෙ වෙසක් දිනයට නත්තල් දිනයට ලැබෙන පිළිගැනීම තියෙනවයි කියන එක නො වෙයි. වෙසක් දිනය බටහිර රටවල නිවාඩු දිනයක් නො වෙයි. ඒ රටවල ඉන්න බෞද්ධයන්ට සිල් සමාදන් වෙන්න 13 වැනිදා හරි 14 වැනිදා හරි වෙනකන් ඉන්න වෙනවා. මා කියන්නෙ නැහැ ඒ රටවල වෙසක් දිනය නිවාඩු දිනයක් කරන්න කියා. ඒක ඒ රටවල බෞද්ධයන් බලා ගන්න ඕන. ඒත් නත්තල අපේ රටත් ඇතුළු ක්‍රිස්තියානි/කතෝලික නොවන රටවල් රාශියකත් නිවාඩු දිනයක්.

මේ තමයි සංස්කෘතික ආධිපත්‍යය. එක්සත් ජාතීන්ගෙ නත්තල් දිනයක් තියෙනව ද කියා මා දන්නෙ නැහැ. තිබුණත් නැතත් අපට එදිනට නිවාඩු. එංගලන්තයට වෙසක් දිනය නිවාඩු නැහැ. එහි සෑහෙන බෞද්ධ ජනකායක් ඉන්නවා. ඒ අය  සිංහල බෞද්ධයන් ම නො වෙයි. මේ පඬියන් එංගලන්තය අනාගමික රටක් කියාවි. එය බහු සංස්කෘතික රටක් කියාවි. එහෙත් එහි සංස්කෘතික ආධිපත්‍යයක් තියෙනවා. ඔවුන්ගේ රජු හෝ රැජින ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමේ ප්‍රධානියා. එකී විශ්වාසයේ (ආගමේ)ආරක්‍ෂකයා. එංගලන්තයට ලිඛිත ව්‍යවස්ථාවක් නැහැ. තිබුණත් එහි ක්‍රිස්තියානියට ප්‍රමුඛස්ථානය දෙනවා කියලා ලියන එකක් නැහැ. ඒත් ප්‍රමුඛස්ථානයටත් වඩා එය එංගලන්තයේ රාජ්‍යාගම. ඒකත් ව්‍යවස්ථාවෙ නැහැ කියලා පඬියකු කියාවි                           

අප ව්‍යවස්ථාවෙ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියලා ලියලා ඊළඟ වාක්‍යයෙන් අනෙක් ආගම් ද ඒ තැනට දානවා. සිංහල බෞද්ධයන් ගිවිසුම් ව්‍යවස්ථාවලින් හැමදාමත් පරාදයි. එහෙත් මෙවර පරාද විය යුතු නැහැ. තෙල් ටැංකි ගිවිසුමෙන් අප පරාද වුණෙ වර්ජනයකුත් කරලා. වර්ජනත් අපේ සංස්කෘතියෙ නො වෙයි.  ව්‍යවස්ථාව පරාජය කරන්න පුළුවන්. අප එදා ඉඳළ ම කියන්නෙ ව්‍යවස්ථාවට තුනෙන් දෙක ලැබීම වළක්වන්න කියලා. කොහොමටත් මෛත්‍රිපාල ජනාධිපතිවරණයෙ දී පොරොන්දු වුණෙ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනය නොකරන බව.  අප මෛත්‍රිපාල තම පොරොන්දුව ඉටු කරන බවට වග බලා ගත යුතුයි. එහෙත් වඩා භයානක දේ ව්‍යවස්ථාව ව්‍යවස්ථා මණ්ඩලයෙන් පමණක් සම්මත කර ගැනීමට ඉඩ තිබීම. අප එය ද පරාජය කළ යුතුයි. පඬියන් එංගලන්තයටත් වඩා බහු සංස්කෘතික වූ ලංකාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමට විරුද්ධ වේවි. පඬියන්, ඒ කියන්නෙ බටහිර දැනුම් ආධිපත්‍යය, පරාජය කරන එක අත්‍යවශ්‍යයි.

 එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයෙන් සිදු වී ඇත්තේ බෞද්ධයන්ගේ වෙසක් දිනය නැති වීමයි. ගැමුණු රජතුමා වෙසක් උත්සව විසිහතරක් පැවැත් වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. සුද්දන්ගෙ කාලෙත් සිංහල බෞද්ධයනට වෙසක් දිනය තිබුණා. දැන් එය නැති වී ගෙන යනවා. අද වෙසක් දිනය සර්වාගමික කටයුත්තක් බවට පත්කිරීමට උත්සාහයක් තිබෙනවා. මෙය බටහිරයන්ගේ වැඩක්. බටහිරයකු වූ රනිල් එයට විරුද්ධ නැහැ. අද තිබෙන ලොකු ම බොරුව තමයි සියලු ආගම් සමාන යැයි කීම. බෞද්ධයන් උත්සාහ ගන්නේ නැවත නූපදින්නට මිස අනෙක් ආගමිකයන් මෙන් ඉප දී අමරණීය වන්නට නො වෙයි. මෙය මොන තරම් ලොකු වෙනසක් ද? සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම් වී ඇත්තේ නිවන මත. ඉන් කියැවෙන්නේ නිවන යනුවෙන් තැනක් දෙයක් ඇති බව නො වෙයි. එයත් බුදුදහමේ තවත් වෙනසක්. නිවන සදාකාලික ස්වර්ගයක් හෝ බ්‍රහ්මන් කෙනකු හෝ නො වෙයි. අප නූපදින්නට උත්සාහ කරන මිනිසුන්. වෙසක් දින ඉප දී අමරණීය වන්නට අපට කියා දීමට ගෙවල්වලට කිසිවකු ආවෙත් අප ඒ අයට අමරණීය කෙසේ වෙතත් අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතුයි.

 වෙසක් දිනයට කිට්ටු වෙලා රනිල් රවි වෙළෙඳ දෙබෑයන් සමන්තභද්‍ර රහතන් වහන්සේ බැහැ දැකීමට ගිහින්. ඔවුන් තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුන් වහන්සේ බැහැ දැකීම  අනුගමනය කළා ද? තපස්සු භල්ලුක ගැන රනිල් පසුගිය දා මතක් කර තිබුණා. ඔවුන් ඉන්දියන් කාරයන් කියා. එකල ඉන්දියාවක් තිබුණෙ නැහැ. ඒ වෙළෙඳ දෙබෑයන්ට බුදුන් වහන්සේගේ කේස ධාතුන් වහන්සෙ ලැබුණා. රනිල් රවි වෙළෙඳ දෙබෑයන්ට රහතන් වහන්සේගේ  ධාතු ලැබුණා ද? මට අමතක වුණා කාරණයක් කියන්න. නූතන වෙළෙඳ දෙබෑයන් විකුණන්නෙ බැඳුම්කර හා රට.

 බුද්ධාගම රැක ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නො වෙයි. එහෙත් අප එය කළා. සිංහල බෞද්ධයන් නොසිටින්නට අද ලෝකයේ ථෙරවාදී බුද්ධාගමක් නැහැ. මේ ආණ්ඩුව බලයට පත්වෙන්න ඡන්දය දුන්නෙ සිංහල බෞද්ධ තරුණයන්. මෛත්‍රිපාල විශාල පාවාදීමක් කළා. ඒත් ඒ සියල්ල හදා ගන්න පුළුවන්. ඒ අද හෙට ම රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමෙන්. ඒකට මැතිවරණ එනතෙක් බලා ඉන්න ඕන නැහැ. වර්ජන කරලා ඒක කරන්නත් බැහැ. ව්‍යවස්ථාවෙන් ම ඒ කළ හැකියි.  බුද්ධාගම තවදුරටත් මෙරට රැක ගත හැක්කේ රනිල් රැක නොගැනීමෙන්. අපට එක්සත් ජාතීන්ගෙ, මෝදිගෙ හා රනිල්ගේ බුද්ධාගමක් හා සර්වාගමික වෙසක් උත්සවයක් අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය සිංහල බුද්ධාගම හා සිංහල බෞද්ධයන්ගේ වෙසක් උත්සවය.   

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 මැයි 07

One Response to “සිංහල බෞද්ධ වෙසක් දිනයක්”

  1. Ananda-USA Says:

    FULLY, TOTALLY, ABSOLUTELY, 100% agree with you Nalin, that this New Constitution and it’s provision to DENY Buddhism the place of tge National Religion of Sri Lanka be DEFEATED, DEMOLISHED and OUSTED completely from ANY & ALL avenues of being submitted, enacted and implemented!

    If the Queen of England,of England the fount of Parliamentary Democracy, can be the Sovereign of the Realm, the Head of the Church of England, and the Defender of the Faith, there is no EARTHLY REASON why Sri Lanka whose National Religion has been Buddhism for over 2500 years, should not FORCEFULLY and FORTHRIGHT DECLARE IT SO in our National Constitution, without the mention of other faiths in the same paragraph, with the same breath!

    Let us also note, the fanatical zeal with which the English protect the line of descent of their Anglican kings, such as by excluding monarchs of Catholic and other faiths, and even those married to divorcees of other faiths (eg. abdication of King George to marry Mrs Smith, the American divorcee, and sidelining of Prince Charles now married to a divorcee). Can we Sinhala Buddhists protect our Buddhist faith with any less zeal in this hallowed isle of ours thrice blessed by visits of the Lord Buddha himself?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress