මරණයේ ගොවිබිම් (Killing Fields)
Posted on May 11th, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

Cheoung Ek (Killing Fields) වැනි මරණයේ ගොවිබිම් ලෙස හැඳින්වුණු භූමිවල මිලියන දෙකකට ආසන්න නාගරික ජනතාව බලෙන් පදිංචි කරවන ලදී. ඔවුන්ට ගොවිබිම්වල ශ්‍රමය වගුරුවන ලෙස බලකරනු ලැබූ අතර, ආහාර හිඟය, ලෙඩරෝග හා වදහිංසා නිසා මිලියන 1.7 මිය ගියහ.

මරණයේ ගොවිබිම්වලට කම්පුචියාවේ ජීවත්වූ සුළු ජාතීන්ද රැගෙන එන ලදී. මේ අතර 90,000 පමණ වූ මුස්ලිම් ගෝත්‍රික ජනයාද මරා දමන ලද බව වාර්තා වේ.

නගරයෙන් පිටමං කළ ජනතාව මරණයේ ගොවිබිම් වලට දැක්කුවේ ඇයි? මේ පිළිබඳව නොයෙක් මත තිබේ. කැමරුජ්වරු නාගරික ජනයා කෙරෙහි තිබූ වෛරය, ඊර්ෂ්‍යාව එක් හේතුවකි. තවද නගරයේ දේශපාලන කඩාකප්පල්කාර ක්‍රියා කළ හැකි නිසා නාගරිකයන් ගොවිබිම්වලට පිටමං කිරීමෙන් ඔවුන් අකර්මන්‍ය වන බවට විශ්වාස කළහ. Killing Fields හි සමූහ මිනී වලෙන් දැනට මිනිස් හිස් කබල් 8000 ක් සොයා ගෙන තිබේ. දැනට මෙම ප්‍රදේශය සංරක‍ෂිත භූමියකි. වාර්ෂිකව සංචාරකයන් දහස් ගණන් මරණයේ ගොවිබිම නැරඹීමට පැමිණෙති.

පොල්පොට්ගේ මරණයේ ගොවිබිම පිළිබඳව වඩාත්ක ම්පනයක් ඇතිකළ චිත්‍රපටයක් ලෙස 1984 දී නිෂ්පාදනය කළ Killing Fields හැඳින්විය හැක. කම්පුචියානු පුවත්පත් කලාවේදියකු හා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකාරයෙකු අතර මිතුදහම හා කැමරුජ් ආගමනය පාදනකොට නිපදවා ඇති මෙම චිත්‍රපටය නිසා කෙමරුජ් භීෂණය පිළිබඳව යථාර්ථය ලෝකයාට දැන ගැනීමට හැකිවිය.

සිඩ්නි ෂෙන්බර්ග් නම් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවා කෙමරූජ්වරුන්ගේ ආගමනයේදි නොම්පෙන් අගනගරයේ සිරවෙයි. කෙමරුජ්වරුන්ට මැදිවූ ඔහු ඇතුළු අනෙකුත් බටහිර මාධ්‍ය වාර්තාකරුවන් දිවිගලවා ගන්නේ ඩිත්ප්‍රාන් නම් කම්පුචියානු පුවත්පත් කලාවේදියා හා භාෂා පරිවර්තකයා නිසාය.

විදේශිකයන් රටින් පිටමං කරන අතර, ඩින්ප්‍රාන් කෙමරූජ්වරුන් විසින් මරණයේ ගොවිබිමකට පිටුවහල් කරති. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ඩිත්ප්‍රාන් අවසානයේදී තායිලන්තයට පලායයි. එහිදී ඔහුට යළිත් තම අමෙරිකානු මාධ්‍ය මිතුරා සිඩ්නි ෂෙන්බර්ග් හමුවෙයි.

කෙමරූජ්වරුන්ගෙන් දිවිගලවාගත් ඩිත්ප්‍රාන් අමෙරිකාවට ගිය අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු ලෙස දේශණ පවත්වන ඔහු කම්පුචියාවේ වර්තමාන පරපුර කෙමරුජ්වරුන් කරන ලද විනාශය පිළිබඳ අවබෝධයක් ලබාගත යුතු බව අවධාරණය කරයි.

මරණයේ ගොවිබිම්වල ගතකළ කාලය මතක් කරන ප්‍රාන් නිරාහාරයෙන් කුඹුරුවැඩකළ, මිනිසුන් – මීයන්, හූනන්, ගොළුඛෙල්ලන්, සර්පයන්, අනුභව කළබව පවසයි. කුසගින්න නිසා ඇතැමෙකු මියගිය මිනිසුන්ගේ මෘතශරීරවල මාංශ කොටස් ආහාරයට ගත්බව පිළිගනිති. ඔහු දැනට Dith Pran Holocausl Awareness Project මගින් කෙමරුජ්වරුන්ගේ දිවිගලවාගත්, කම්පුචියානුවන්ට උපකාර කරයි.

අප්රේල් 17 1975

කම්පුචියාවේ අගනගරය වන Phnom Penh හි නගරවාසීන්ට එදින උත්සව දවසක් විය. දහස් ගණනින් ජයග්‍රාහි කැමරුජ් හමුදා නගරයට ඇතුළුවූහ. පාර දෙපස රැස්ව සිටි ජනයා කෙමරූජ් භටයන් පිළිගනිමින් ජයඝෝෂා පැවැත්වූහ. තමන් සාදරයෙන් පිළිගත් මේ හමුදාව තව නොබෝ දිනකින් නගරයේ ඉරණම වෙනස්කරන බව බහුතරයක් නොදැන සිටියහ.

දෙවන ලෝක යුධසමයේ බ්‍රිතාන්‍ය හමුදා භාවිතා කළ පැරණි යුධ ටැංකියක් නගර මධ්‍යයට පැමිණියේ ධූලි කුණාටුවක් නංවමිනි. යුධ ටැංකියේ කෙමරූජ් නිල ඇඳුම් ඇඳගත් භටයන් රොත්තකි. ඔවුන් අත ගිනිඅවි මෙන්ම කොඩිද තිබුණි. මේ අතර බාලවස්කාර කෙමරූජ් භටයන්ද දැකිය හැකි වීම විශේෂත්වයකි.

මග දෙපස රෑඳී සිටි ජනයා ජයග්‍රාහී හමුදාව පිළිගත්තේ උද්ධාමයෙනි. දීර්ඝ කාලයක් තිබුණු යුද්ධය නිම වී දැන් කම්පුචියාවට සාමය උදාවනු ඇතැයි ඔව්හු බලාපොරොත්තු වූහ. එහෙත් එම බලාපොරොත්තුව සිහිනයක් බව දැන සිටියේ සුළුපිරිසකි.

නගරය හිස් කිරීම

කම්පුචියානු නව පාලන පක‍ෂය විසින් ගත් නව තීරණයක් අනුව සියළුම නගරබද ජනයා ග්‍රාමීය ප්‍රදේශවලට පිටමං කරන ලදී. Phnom Penh හි වීදි පිරි තිබුනේ අවතැන්වූ ජනතාවගෙනි. මිනිසුන් තම චංචල දේපල අතින්ගෙන අරමුණු රහිතව ඉදිරියට ගමන් කරන ජන ගංඟාවට එක්වූහ. ගමන් කිරීමට ශරීර ශක්තිය නොතිබුණු මහල්ලන් පවා හැරමිටි ගසමින් මෙම දීර්ඝ ගමනට එක්වූයේ නගරයේ රැඳන්නන්ට වෙඩි තබන බවට දුන් නියෝගයට බියෙනි. මිලියන දෙකකට ආසන්න ජන සංඛ්‍යාවක් පා ගමනින්ම නගරවලින් පිටමං කෙරුණි.

ජනගංගාවේ අතරමංවූ කුඩා දරුවන් තම මාපියන් සොයමින් ඒ මේ අත දිවූහ. අසරණ වූ ජනතාව කිසිවෙකුට උදව් කරනු තබා තමන්ටවත් උදව්කරගත නොහැකි තත්වයක හෙම්බත් වී සිටියහ. වෙහෙස හා කුසගින්න ඔවුන් දැවූහ. මග දෙපස රැඳී සිටි කැමරුජ් භටයන් සෙමෙන් ඇදෙන ජනතාවට පහරවල් එල්ල කළේ ඔවුන්ගේ ගමන ඉක්මන් කරවනු සඳහාය. මග දෙපස ක්ලාන්තව ඇද වැටුණු මිනිසුන්ට වෙඩි තබන ලදී. නගරයේ රහසේ රැඳී සිටි පුද්ගලයන්ට ද අත්වූයේ මේ ඉරණමයි.

සුළු ව්‍යාපාරිකයෙකු වූ මියැං ජනගංඟාවට එක්වී ඉදිරියටම ගමන් කළේය. තදබල වෙහෙස නිසා ඔහුට ගමන් කරන්නට හැකි වූයේ සෙමින්ය. එක් කැමරුජ් භටයෙන් ඔහුට තුවක්කු මිටෙන් පහර ගැසීය. පහර කෑමෙන් බියට පත් වූ ඔහු ගමන ඉක්මන් කළේය.

හිස්වූ නගරයට කඩාවැදුණු කෙමරුජ් භටයන් කඩ හා නිවාස කොල්ල කෑහ. අත්පත් කරගත් භාණ්ඩ ඔවුන්ගේ මධ්‍යස්ථාන වලට ගෙනගියේ ලොරි පුරවාගෙනය. පාරේ තැනින් තැන වැටී ඇති මළකුණු හා දඩාවතේ යන බල්ලන් හැර නාගරිකයෙකු දක්නට නොලැබිණ. අවිගත් කෙමරූජ් භටයන් නගරය මුර කළහ.

ග්‍රාමීය ප්‍රදේශවලට පිටමං කළ ජනයාගෙන් දහස් ගණනක් අතර මගදී ආහාර හිඟකම, වෙහෙස, විජලනය, පාචනය වැනි තත්ව නිසා මරුමුවට පත්වූහ. Phnom Penh නගරවාසීන් සහමුලින්ම පිටමං කිරීම නිසා 2000-3000 අතර පිරිසක් මිය ගිය බව පසුකාලයක කියු සම්පෙන් ප්‍රකාශ කළේය. එහෙත් සත්‍ය සංඛ්‍යාව ඊට වැඩි ප්‍රමාණයකි. කෙමරුජ්වරු බලය අල්ලාගෙන පැය 24 ගතවීමට ප්‍රථම නගරයේ ජනතාව පිටමං කළහ. අමෙරිකානු ගුවන් ප්‍රහාර නිසා ජනතාව අගනුවරින් පිට කරන බව ඔවුන් පැවසුවද එය අසත්‍යයක් බව බොහෝ දෙනෙක් දැන සිටියහ. එහෙත් කිසිවෙක් මෙම තීරණය ගැන ප්‍රශ්න කළේ නැත. මිලියන 2.5 ක පමණ ජනතාවක් දින 5 ක් පුරා පා ගමනකින් ග්‍රාමීය ප්‍රදේශ කරා යවන ලදී. පළමු දිනයේදීම මිය ගිය ප්‍රමාණය 20,000 ක් වූහ. මෙලෙස මිය ගිය පිරිස අතර පුවත්පත් කළාවේදියෙකු වූ පොල්පොට්ගේ සහෝදරයා ක‍යය්හ ද විය.

පසු කාලයක පුවත්පත් කලාවේදියකු වූ පිලිප් ෂෝට් 1975 නොම්පෙන් නගරයේ බලහත්කාරයෙන් පිටකළ ජනයා හැසිරවූ කෙමරුජ් සොල්දාදුවෙකු හමුවී ඔහුගේ අත්දැකීම් විචාළේය. සොල්දාදුවා පැවසූ කරණු අනුව ගමන් කිරීමට නොහැකි මහළු පුද්ගලයන් මහා මාර්ගය අද්දරදී වෙඩි තබා ඝාතනය කල බව දැනගැනීමට ලැබුණි. මේ පිළිබඳව එම සොල්දාදුවාට කිසිම පශ්චාත්තාපයක් නොතිබූ බව එම මාධ්‍යවේදියා තවදුරටත් පවසයි.

අරමුණක් නොමැතිව මහාමාර්ගයේ ඇවිද යමින්

කෙමරුජ්වරු අගනුවර බලය අල්ලා ගත්විට ඔව්හු නගරවැසියන්ට නිවෙස් තුළින් එළියට එනලෙස අණ දුන්හ. අණ නොතකා නිවෙස් තුළ රැඳී සිටි පුද්ගලයන්ට වෙඩිතබා මරා දැමූහ. මෙගා ෆෝන් යන්ත්‍රවලින් සියළුම නගරවාසීන්ට නගරයෙන් පිටත්වන ලෙස දැනුම් දෙන ලදී. විදේශිකයන් පිටමං කළහ. බොහෝ විදේශිකයෝ ප්‍රංශ තානාපති කාර්යාලයේ රැකවරණය ලබාගත්හ. ඔව්හු බලා සිටියේ කොයි අවස්ථාවේ හෝ ලැබුණු ගමන් කම්පුචියාවෙන් පිටවීමටයි.

හිටපු සොල්දාදුවන්, රජයේ නිලධාරීන්, පුවත්පත් වාර්තාකරුවන්, ආදීන්ට අත්වූ ඉරණම වූයේ මරණයයි. මහා මාර්ගයට ඇද දැමූ මිනිසුන් මහජන ගංඟාව සමඟ එක්වී පෙරට ගමන් කළේ කිසිම අරමුණක් නැතිවය. ඔවුන් තුළ භීතිය නොඅඩුව තිබිණි. තමන්ගේ ඉරණම රුදුරු කෙමරූජ්වරුන්ට භාරදී මහජනයා කුසගින්නෙන්, වෙහෙසින්, පිපාසයෙන් හා භීතියෙන් ගමන් කළහ. වෙහෙස නිසා බිම ඇද වැටෙන්නන්ට යළිත් ජීවත් වීමට වාසනාව ලැබුණේ නැත.

1976 සිවු අවුරුදු සැලැස්ම

කෙමරූජ් සංවිධානය විසින් 1976 වසරේ සිවු අවුරුදු සැලැස්ම හඳුන්වා දෙන ලදී. මෙම සැලැස්මේ මුලික අරමුණ කෘෂි ආර්ථීකයක් කරා සමස්ත දේශයම ගෙනයෑමය. පොහොර හෝ දියුණු තාක්ෂණික ක්‍රම අතහැර සාම්ප්‍රදායික ක්‍රම මගින් කෘෂිකර්මය ප්‍රචලිත කිරීමට ඔව්හු තැත් කළහ. දේශයේ භුවිද්‍යාත්මක ලක‍ෂණ, පස පිළිබඳ අධ්‍යනයන් ආදී කිසිඳු කරුණක් පිළිබඳව සොයා නොබලා මෙම සැලැස්ම අසංවිධානාත්මකව එලි දක්වන ලදී. මෙම ළදරු සිව් අවුරුදු සැලැස්ම ඇති කළේ මාරක සුනාමි රැල්ලකි.

අලූත් ගමක්

බිම්මල් සමූහයක් මෙන් පොල් අතුවලින් තැනූ නිවාස සහිත අලූතින් ඉඳිකල ගම දිස්විය. කන්ඩාල් ප්‍රදේශයට අයත්වූ මෙම ප්‍රදේශය අතීතයේ සරුසාර ගොවි බිමකි. යුද්ධය හා බිමිබෝම්බ නිසා පාළුවී ගිය කුඹුරු පෙන්නුම් කළේ ශෝකාන්ත දසුනකි. කුකුල් කූඩුමෙන් තැනූ පොල්අතු නිවාස වලට නාගරික ප්‍රදේශ වලින් බලහත්කාරයෙන් ගෙන ආ පිරිස් පදිංචිකරවනු ලැබීය. පවුලේ සාමජිකයන් මියයෑම හෝ අවතැන් වීම නිසා වියෝදුක්ගිනි දරාසිටි ඔවුන් කුසගින්න හා වෙහෙස නිසා තමන්ට හිමි බිම්කඩවල වැතිරී ගිමන් ඇරියහ. ඔවුන් සැමදෙනාගේම මුහුණින් දිස් වූයේ භීතියයි. අපට කුමක් සිදුවේද යන අවිනිශ්චිතතාව සෑම පුද්ගලයෙකුගේම සිතේ ඇවිළුණු ගින්දර වූ අතර අන්‍යයන් සමඟ කතාබස් කිරීමට පවා බියගත් ඔව්හු වටපිට බැලූවේ මීළඟට කුමන හෙනයක් කඩා පාත්වේදෝ යන දෙගිඩියාවෙනි.

කෙමරූජ් භටයන් ඔවුන්ව මුර කළහ. කෙඳිරිලි හඬින් තවකෙනෙකු සමඟ කථා කිරීම වතුර හෝ කෑම ඉල්ලීම වැනි ක්‍රියා කළ පුද්ගලයන්ට තුවක්කු මිටෙන් පහරදීමට භටයෝ සූදානම්ව සිටියහ. රැස්ව සිට පිරිස අමතා කෙමරූජ් නායකයෙක් කථා කළේය. සහෝදරතුමා අංක 1 ගේ (මෙනමින් හැඳුන්වූයේ පොල්පොට්ය) නියෝගය අනුව කෘෂි ගම්මානයක් ඉඳිකිරීම සඳහා පැමිණි පිරිසට වැඩරාජකාරි පැවරෙන බවත්, එම වැඩ අනලස්ව ඉටුකළයුතු බවත්, දන්වා සිටියේය. තවදුරටත් කථාකළ ඔහු ගම්මානයේ නව නායකයන්ට අවනත නොවීම, වැඩ පැහැර හැරීම ආදිය සඳහා දඬුවම මරණය බව කීවේ රළු හඬකිනි.

තමන්ගේ පෞද්ගලික පාවිච්චියට කිසිඳු පැළයක් වැවීම තහනම් ක්‍රියාවකි. වපුරන අස්වැන්න රජයට අයත්වන නිසා නිසි කලට අස්වැන්න රජයට බාරදිය යුතුවේ. ගම්මානයෙන් පලායාමට මොහොතකටවත් නොසිතන ලෙස හෙතෙම අනතුරු ඇඟවීය. වැඩ මුරය උදෑසන හතරට ආරම්භ වන අතර, රාත්‍රී දහය තෙක් වැඩ කළ යුතුවේ. වැඩකරන්නන් සඳහා දෛනිකව ආහාර සපයනු ලැබේ. නිසිලෙස ශ්‍රමය ලබා නොදෙන්නන්ගේ ආහාරය සලාක කපා දැමීමට නව නායකයාට බලය ඇත.

අතීතිය ගැන කථා කිරීම, ප්‍රකෝපකාරී අදහස් ප්‍රචාරය කිරීම, මාධ්‍යයන්ට සවන් දීම, විදේශ භාෂාවලින් කථා කිරීම, තදබල දඬුවම් වලට යටත් කෙරේ. පිරිස ඔහුට සවන් දුන්නේ භිතිය, සැකය, හා පිළිකුල වැනි සඟවාගත් ආවේග මතිනි. ඔවුන්ට අළුත් ජීවිතයක් කැමරුජ්වරුන් විසින් ලබා දී තිබේ. මෙම ජීවිතයට කෙසේ හෝ පුරුදු විය යුතුයි. නැතහොත් භූමියට පොහොර විය යුතුයි.

සෑම පවුල් 10-15 අතර සංඛ්‍යාවක් සභාපතිවරයෙකු යටතේ ශ්‍රමය කැප කළහ. උදේ හතරේ සිට රාත්‍රී 10 දක්වා වැඩකළ යුතුව තිබූ අතර, දින දහයකට වරක් විවේක දිනයක් ලැබිණ. වැඩකරන අතරතුර කෙමරූජ් නායකයන්ගේ දේශන ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඇසීමට සලස්වන ලදී.

මේ භීතිය රජ කරන යුගයයි.

කෙමරූජ් පාලන කාලය තුළදී ජනතාවට භිතිය කාවද්දන ලදී. නිරන්තරයෙන්ම අභ්‍යන්තර හා බාහිර සතුරන් පිළිබඳව පුන පුනා පවසනු ලැබීය. සතුරන් විනාශ කිරීම ජනතා ජයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

කෙමරූජ් නායකයන් තුළ නිරන්තරයෙන් තිබූ භීතිය හා සැකය ජනතාව තුළටද සම්ප්‍රේෂණය කරනු ලැබීය. අදිසි සතුරන් පිළිබඳව සියළු දෙනාම විමසිලිමත් වූ නමුදු කල්යෑමේදී මුළු රටම එකිනෙකාට සතුරු යැයි උපකල්පනය කළ හැකි මට්ටමට සැකය වර්ධනය විය. එබැවින් සුළු හේතූන් නිසා වුවද මිනිසුන් මරා දැමීම නොනවත්වාම සිදු කෙරිණි. නිබඳවම සතුරන් සෙවීම කෙමරූජ් සංවිධානයේ දෛනික රාජකාරියක් විය. සතුරන් පිළිබඳ මායාවට මුලාවූ ඔවුන් එකිනෙකාට චෝදනා කළහ.

බලෙන් කුඹුරට ඇද දැමූ ලක‍ෂ සංඛ්‍යාත ජනයා තමන්ගේ ඉරණම භාරදෙනු ලැබුවේ ගොරතර සංවිධානයකටය. ඔවුන් විසින් සාමූහික භීතියක් ජනතාව තුළ ඇති කරන ලදී. සෑම පැයකටම, සෑම මිනිත්තුවකටම භීතිය ඔවුන්ගේ ජීවිතවලට බද්ධව පැවතුනි.

බලය අහිමිවූ පසු කාලයක පොල්පොට්ගේ ප්‍රබල සහායකයෙකුවූ කියුසම්පන් මෙසේ කීවේ. කෙමරූජ්වරු කරන ලද එකම වැරැද්ද වූයේ තවත් වැඩිපුර මිනිසුන් තොගයක් නොමැරීමයි. කෙමරූජ්වරුන්ට මීට වඩා ඝාතන කිරීමට අවස්ථා තිබුණි. එසේ කළේ නම් එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා කම්පුචියාවට එනවිට ඔවුන්ව සාදරයෙන් පිළිගන්නට ජනතාව ඉතිරි නොවනු ඇත.”

Duch හෙවත් වධකාගාර පාළකයා

Duch යන අන්වර්ත නාමයෙන් හැඳින්වූ කෙං ගෙක් ඉව් S-21 වධකාගාරයේ පාළකයා විය. ඔහුගේ නියම නම Kang Kech Eav වූ අතර වෘත්තියෙන් ගණිත ගුරුවරයෙකි. කෙමරුජ්වරු බලයට පැමිණීමත් සමඟ පාසලක් වූ Tuol Sleng ආයතනය වධකාගාරය බවට පරිවර්තනය කරන ලදී. මෙම වධකාගාරයේ ඔහුගේ පාළන සමයේදී පුද්ගලයන් රාශියක් මරා දැමුණු අතර මෙම වධකාගාරයෙන් ගැලවුනේ අතලොස්සකි. කෙමරුජ්වරුන්ගේ පරාජයත් සමඟම 1990 දී ඔහුව අත්අඩංගුවට ගෙන යුධ අපරාධ සඳහා චෝදනා ගොනු කරන ලදී. එළිසඛෙත් බේකර් පවසන අන්දමට Duch S-21 වධකාගාරයේ රැඳවියන්ට කිසිඳු අනුකම්පාවක් දැක්වූයේ නැත. ඔහුගේ නියමව පරිදි සිරකරුවන් වධකාගාරයට ගෙන ආ විගසම වධයට ලක් කරද්දී ද හා සිරකරුවන් මිය යමින් සිටිය දී ද ඡායාරූප ගත කළේය.

ඔහු ඝාතන දින නියම කරන ලදී. එක් දිනක වදකරුවන්ගේ ළමුන් ය. අනෙක් දින භාර්යාවන්ය. මෙලෙස ම්ලේඡ වධක දින නියම කිරීමේ උන්මාදයෙන් ඔහු පෙළුනේය.

S-21 වධකාගාරයේ පාලක Duch හට මිනිසුන් වධයට ලක් කිරීමටත්, මරා දැමීමටත් තිබුනේ නොමඳ ආශාවකි.

අතීතය පිළිබඳ පාපොච්චාරණය කරනු

මහජනතාව විප්ලවයට පෙර තමන් කළ, කියූ දෑ පිළිබඳව මහා රැස්විම් වලදී එලිදරව් කරන ලෙස කෙමරුජ්වරු ඔවුන්ට බල කළහ. විශාල රැස්වීම් වලදී ප්‍රසිද්ධියේ පාපොච්ඡාරණය කිරීමට මිනිසුන්ට සිදුවිය. විදේශිකයන් හමුවීම, වෙළඳ ගණුදෙනුවල යෙදීම්, විශේෂ වෘත්තීන්වල නිතරවීම, මෙවැනි දෑ භයානක අපරාධ ලෙස ලැයිස්තු ගතකර තිබිණි. පාපොච්චාරණය කරන්නන්ට සමාව දෙන බව කීවද ඔවුන්ට සමාවක් ලැබුණේ නැත. ලැබුණේ මරණය පමණකි.

කුණුවූ සියල්ල කපා ඉවත් කළ යුතුය.

කෙමරුජ් සංවිධානය විසින් පුද්ගලයන් දෙදෙනෙකුට වඩා එකවර ඒකරාශී වීම තහනම් කරන ලදී. නිරන්තර සැකය නිසා දිනපතා දහස් ගණන් පිරිස් ඝාතනයට ලක් වූහ. ඒ අතර බලයෙන් පහකළ කෙමරුජ් ප්‍රාදේශීය නායකයන් ද වූහ.

දේහය කුණුවීමට ප්‍රථම කුණුවූ කොටස කපා ඉවත් කළයුතු බව කෙමරුජ් නායකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර, සංවිධානයට ද්‍රෝහිවූ බවට නාමික සැකය නිසා වුවද මිනිසුන් නිසල කරන ලදී.

යේල් සරසවිය” විසින් සිදුකල අධ්‍යනයක් අනුව කෙමරුජ්වරුන් විසින් මරා දමන ලද සංඛ්‍යාව මිලියන 1.7 කි ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනයේ දත්ත අනුව එය මිලියන 1.4 කි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අදහස අනුව එය මිලියන 1.2 කි. එහෙත් සිදුවූ මිනිස් ඝාතන සංඛ්‍යාව පිළිබඳව නිශ්චිත අගයන් නොමැත. ඊට හේතුව සිහනුක්ගේ කාලයේ සිට රටේ පැවති අවුල් වියවුල්, ගුවන් ප්‍රහාර, ජනයා අවතැන්වීම වැනි තත්වයන් නිසා නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති වීමය.

සමාජය තුළ කුණුවී වැගිරෙන දෑ අතර, පූජකයන්, වෛද්‍යවරුන්, නීතීඥයන්, ගුරුවරුන් වැනි කොටස්ද වූහ. කෙනෙකුට සැඟවිය ලැබිය හැකි වූයේ කලාතුරකිනි. බොහෝ දෙනෙකු තම ඉරණම ගොරතර කෙමරූජ්වරුන්ට බාර දුන්හ.

වධ බන්ධනයට ලක්කළ මිනිසුන්

කෙමරූජ්වරු ජනතා සතුරන්, පන්ති විරුද්ධවාදීන්, ඔත්තුකරුවන්, ප්‍රතිවිප්ලවවාදීන් ලෙස නම්කොට මිනිසුන් දස දහස් ගණන් වධබන්ධනයට ලක්කොට මරාදැමූහ. ඔව්හු වධබන්ධන සඳහා විවිධ ක්‍රම යොදාගත්හ. පිහිවලින් ශරීරයේ අවයව කැපීම, ශරීර කපා වෙන්කිරීම, මියයන තෙක් හුස්ම හිර කිරීම, අසූචි හා මුත්‍රා අනුභව කිරිමට හා පානය කිරීමට බලකිරීම, කකුල් දෙකෙන් එල්ලා තැබීම, දීර්ඝකාලයක් එලිමහනේ වැඩවල යෙදවීම, වැනි අමානුෂික ක්‍රියා වාර්තා වී තිබේ.

ප්‍රශ්න කිරීමේදී සිරකරුවන්ගේ නියපොතු ඇඟිලි වලින් උදුරා දමන ලදී. මේ අතර වාරයේදී නියපොතු රහිත තුවාල වූ ඇඟලිවලට මධ්‍යසාර වත්කරන ලද්දේ වේදනාව උත්සන්න කරවීමටය.

ඇතැමෙන් සිරකරුවන්ගේ හිස් වතුරේ එබූහ. හුස්ම ගැනීම සඳහා ඔවුන් දුබල ලෙස සටන් කළ නමුදු ඔවුන්ගේ හිස් නැවත නැවතත් වතුරේ එබීම නිසා ඔවුන් නිසල වූහ.

මරාදැමීමට නියමවූ සිරකරුවන්ට තමන්ගේ මිනීවල තමන් අතින්ම සෑරීමට නියමිතව තිබුණි. ඇතැමෙක් ගෙළ දක්වා පොළොවේ වළලා හිසට පෙට්‍රල් වත්කොට ගිනි තබන ලදී. 1997 ජුනි 30 දින නිවුස් වීක් සඟරාවේ පළමු ලිපියකට අනුව කෙමරූජ් සංවිධානය මගින් කෙලින්ම ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ සංඛ්‍යාව 100,000 කි. Jean Äcouture විසින් ලියන ලද Cambodia year zero කෘතිය මගින් පෙන්වා දෙන අන්දමට කෙමරූජ් නායකයන් ඔවුන් ප්‍රතිවිප්ලවවාදීන් හා ජනතා සතුරන් මිලියන දෙකක් මරාදැමූ බවට වහසිබස් දොඩා තිබේ. ජනයා විශාල ප්‍රමානයන් වක්‍රාකාරයෙන් ඝාතනය කළ බව සත්‍යයකි.

1979 වනවිට ග්‍රාමීය ජනයාගෙන් 15% ද නාගරික ජනයාගෙන් 25% ක් ද විනාශකර දැමීමට කෙමරුජ් සංවිධානයේ මාරක යන්ත්‍රය සමත් විය. මරා නොදමා සිරකරුවන් බවට පත්කළ පිරිස්වල ඉරණම වඩාත් භයාංකර විය. සිරකරුවන් සතුන් මෙන් මඩගොඩේ ගාල්කර තිබුණි. එකිනෙකා හා කථා කිරීම තහනම් විය. ඔවුන් නිදාගත්තේ සිමෙන්ති පොළොවේය. කොට්ට, මෙට්ට, මදුරුදැල් පේනතෙක් මානයක නොවීය. සුළු කරුණකදී වුවද ඔවුන්ට දැඩිලෙස පහරදෙනු ලැබීය.

ඔවුන්ට ආහාරලෙස නිසරු හාල් කැඳ ස්වල්පයක් පමණක් ලැබුණි. බීමට වතුර පවා ලැබුණේ දිනකට වරක් හෝ දෙකකි. වතුර ඉල්ලීම නිසා බොහෝ සිරකරුවෝ රැකවලූන්ගෙන් පහර කෑහ. ප්‍රශ්න කිරීම්වලිදී අභූත චෝදනා සිරකරුවන්ට ඉදිරිපත් කරන ලදී. ප්‍රතිවිප්ලවවාදී ක්‍රියා රජයේ ප්‍රතිපත්ති විවේචනය, ඔත්තු බැලීම වැනි බොරු චෝදනා මේ අතර සුලබ විය. සිරකරුවන් චෝදනා පිළිගන්නා තෙක් ඔවුන් දරුණු වධහිංසා වලට පත්කරන ලදී.

චෝදනා පිළිගත් පසු තමා සමඟ එක්වී ක්‍රියා කරන ලද සහායකයන්ගේ නම් හෙලිකිරීමට බලකර අතර, වධබන්ධනවලින් බේරීම සඳහා සිරකරුවෝ තම මිතුරන්ගේ, ඥාතීන්ගේ අසල්වැසියන්ගේ නම් පවා ඉදිරිපත් කළහ. සිරකරුවන් පැවසූ සෑම නමක් හා ලිපිනයන් සටහන් කරගෙන ඉන්පසු එම පුද්ගලයන් දඩයම් කිරීම ඇරඹිනි.

හෙන්රි ලොකාර්ඩ් කෙමරුජ් වධකාගාර පිළිබඳව ගවේෂණය කළ විද්වතෙකි. ඔහු පවසන අන්දමට S-21 ලෙස හැඳින්වූ Toul Sleng වධකාගාරය වැනි වධකාගාර 150 කට ආසන්න සංඛ්‍යාවක් කම්පුචියාවේ තිබුණි. S-1 වධකාගාරයේ රඳවාසිටි සිරකරුවන්ගේ සංඛ්‍යාව මෙසේය.

1976-2250

1977-2330

1978-5765

මෙම වධකාගාරයේ ළමුන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් මරා දමන ලදී. බොහෝවිට ළමුන් මරා දමන ලද්දේ කකුල් දෙකෙන් අල්ලා හිස බිත්තියේ ගැසීමෙනි. S-1 වධකාගාරයේ පමණක් පුද්ගලයන් 20,000 ක් මරාදමන ලදී.

NU Nim ගේ පාපොච්චාරණය

වධයට ලක්කිරීම නිසා NU Nim ඔහුට එදිරිව කළ සියළු චෝදනා වලට වරදකරු බව පවසන ලදී. ඔහු තමා සිහිනෙන්වත් නොසිතූ හා නොකළ වැරදි ලැයිස්තුවක් කියාගෙන ගියේය. මේ අතර කෙමරුජ් සංවිධානයට ද්‍රෝහි වීම, ඔත්තු බැලීම, විදේශිකයන් හා සබඳතා පැවැත්වීම වැනි බරපතල වැරදිද විය. අතරමගදී ඔහුගේ පීඩකයන් ඔහුට අසූචි කැවීය. මුත්‍රා පෙවීය. මුත්‍රා පානය කිරීමට කට අරින තෙක් පොලූ පහර දුන්හ. ඉක්බිතිව ඔහුට මෙසේ කීමට බල කරන ලදී.

මා මිනිසෙකු නොවේ

මම නිරි සතෙකි

මා මිනිසෙකු නොවේ

මගේ නම NU Nim නොවේ

මා සිව්පාවෙකි.

මොවුන් කුඹුරට දක්කනු. වැඩ කිරීමට නොහැකි උන් පොහොර කරනු.

කඩමාළුවී ගිය, කළු ගැමි ඇඳුම් වලින් සැරසුන දුක්බර මුහුණු සහිත කණ්ඩායමක් මොරසූරන වැස්සේ අගලක් කපමින් සිටියහ. දුෂ්පෝෂනයට ලක්වූ ශරීරකූඩු මෙවැනි බරපතල වැඩක් කරන්නේ කෙසේද? යැයි යමෙකුට සිතිය හැකිය. එහෙත් එය නිදහසට කරුණක් නොවේ. හාමතින් සහ දැඩි ශීතෙන් පීඩා විඳිමින් ඔවුන් තම කාරිය කරගෙන ගියේ මොහොතකටවත් විවේකයක් නොගනිමිනි. ඔවුන්ගේ මුහුණු වලින් දිස්වූයේ මිනිස් සිතකට හා කයකට දැරිය නොහැකි පීඩා නිසා විඳවන දුක් ගිනිය. එහෙත් ආයාචනා හෝ ඇවිටිලි බල රහිතබව ඔව්හු දැන සිටියහ. එම නිසා නා කපන වැසසේ, සීතලේ වෙවුලමින් ඔව්හු තම කාරිය කරගෙන ගියහ.

මඩේ එරී ඇති ඔවුන්ගේ දෙපා රිදුම් කන්නට විය. දුබල අත්වලින් එසවෙන උදළු මඩ සහිත පොළොවේ වදින්නේ බොල් හඬක් නංවමිනි. ඉරී ඇති කළු කලිසම්වල මඩ පහරවල් දක්නට තිබේ. ඇතැමෙකුගේ උඩුකය නිරුවත්ය. මඩ ගොහොරුවක දඟලන පනුවන් මෙන් ඔවුන් මෙම දුෂ්කර කාර්යය කරගෙන ගියේ රහසින් තම රැකවළුන් දෙස බලමිනි. එහෙත් එක එල්ලේ රැකවලූන් දෙස බැලීමට ආත්ම ශක්තියක් නොතිබුණු ඔවුන් තම පීඩකයන් නිරීක‍ෂණය කළේ යට දෑසිනි. එසේම තමන් ඔවුන්ව නිරීක‍ෂණය කරන බවට හැඟීමක් හෝ ලබා නොදීමට ඔව්හු වගා බලා ගත්හ. එම නිසා ඔවුන් රැකවළුන් දෙන බැලූවේ උදළුකෙටිය ඔසවන ගමන් වපරැසිනි. මෙම නිරීක‍ෂණය තත්පර දෙක තුනකට වඩා දීර්ඝ නොවීය. රැකවළුන් ඇඳසිටියේද කළු පැහැති ඇඳුම්ය. කළුදිග කලිසම, කළු කමිසය හා රතු තිත් සහිත මෆ්ලර් නිසා ඔව්හු ශ්‍රමය වගුරුවන්නන්ගෙන් වෙනස් වූහ. එසේම ඔවුන්ගේ දෙපා ආවරනය වූයේ සෙරෙප්පු වලිනි. ඔවුන් අතරෙන් කණ්ඩායම් නායකයා ලෙස ක්‍රියාකළ රැකවලා වැඩි වයසක් නොපෙනෙන තරුණයෙකි. රැකවළුන් අතරින් වැඩිමලා වූ ඔහු හිටපු ගරිල්ලා භටයෙකි. ඔහු වැඩකරන මිනිසුන් දෙස බැලූවේ ප්‍රිය නොඋපදවන, සතුරු බැල්මකිනි.

මී හරකා” ඔහු ආමන්ත්‍රනය කළේ වැඩකරමින් සිටි වයෝවෘධ තැනැත්තාටය. තෝ, අගල කපනවද? නැත්තං වැස්සේ නානවද?”

මහල්ලා නපුරු රැකවලා දෙස බැලූවේ භීතිය මුසු අනුකම්පාව ඉල්ලන බැල්මකිනි. එහෙත් අනෙක් ශ්‍රමිකයන් තම වැඩය පෙර පරිදි බිය මුසුව කරගෙන ගියහ.

මෙහෙ වර බැල්ලිගෙ පුතා”

භටයා වයස්ගත මහල්ලාට ඔවුන් රැඳී සිටි මඩුව වෙත එන ලෙස අණ කළේය. එක් අතකින් උදැල්ල හා අනෙක් අතින් හිස්වැස්ම සකස් කරමින් මහල්ලා රැකවළුන් වැස්සෙන් ආරක‍ෂාවීමට රැඳී සිටි මඩුව වෙත ගියේ දෙවියන් යදිමින් තොල්මතුරමිනි. මේ බලපිය, තෝ විප්ලවයට පෙර වැඩ කළේ කොහේද?”

මහල්ලා ගොත ගැසීය.

මී හරකා තෝ මට බොරු කිව්වොත් මම තොගේ දිව කපනවා” මෙසේ කියමින් භටයා මුවහත් පිහියක් අතට ගත්තේය. මහල්ලා දණින් වැටුනි. මම හිටපු කම්කරුවෙක්. මම කම්කරුවෙක්. මම නූගත් කම්කරුවෙක්. මම කෙමරූජ්වරුන්ට උදවු කරලා තියෙනවා” ඔහු ගාථාවක් කියන්නාක් මෙන් දෙඩවීය.

බල්ලා, තෝ බොරු කියන්නේ, තෝ වැඩ කලේ විශ්වවිද්‍යාලයේ, තොට අකුරු කියවන්න පුළුවන්. තෝ මට බොරු කරන්නද හදන්නේ. නැගිටපිය පරයා” මෙසේ කියමින් තරුණ රැකවලා මහල්ලාගේ ඉලඇටවලට පයින් ඇන්නේය.

කෙට්ටු කටු ගොඩක් වැනි මහල්ලා මඩ ගොඩේ මුණින් අතටය. ඔහුගේ මුහුණෙන් හා හිසකේ වල මඩ තැවරී තිබිණ. යළි ඉල ඇටවලට පයින් අනිනු ඇතැයි බියවූ මහල්ලා අසීරුවෙන් නැගිට්ටේය.

මම අකුරු දන්නේ නෑ. මම කම්කරුවෙක්.”

මහල්ලාට කීමට හැකිවූයේ මෙපමණකි. කෙමරුජ් භටයා මහල්ලාගේ මුහුණට දුන් පහරින් හෙතෙම යළි බිම වැටුණි. මෙවර මහල්ලාගේ තොල් පුපුරා ගේ ගලන්නට විය.

මී හරහා, තෝ දන්නේ විශ්වවද්‍යාල වල පහරන්න විතරයි. තෝ මකුණෙක්, ජනතාවගේ ලේ උරා බොන ඉනිකුණෙක්. තොට උදැල්ලක් අරගන වැඩකරන්න දන්නේ නෑ. බොරුවට මඩ ගාගන්නවා.” කෝපයෙන් වියරු වැටී සිටි කෙමරුජ් භටයා මහල්ලාගේ පපුව පාගන්නට විය. මහල්ලා හුස්ම ගත්තේ අසීරුවෙනි. ඔහු කුමක්දෝ තොල්මැතිරීය. එහෙත් එය කෙඳිරියක් බඳුය.

මෙහෙ බලපිය පරබල්ලනි,”මෙවර භටයා ආමන්ත්‍රණය කළේ වැඩකරමින් සිටි මිනිස් කණ්ඩායමටය. විස්සක් පමණ වූ පිරිස මොහොතකට උදළුතල බිම තබා කෙමරුජ් භටයා දෙස බැලුහ. තොපිට තාම අගල කපාගන්න බැරි උනාද?

තොපි මීහරක්, බලපිය මේ උගතා ඌට උදැල්ල පුරුදු නෑ. මූ කම්පුචියාවට බරක්. මම මූව පොහොර කරනවා. මුගේ ශරීර කූඩුව වී පැළ උරාගත්තාවේ. තොපි හැමෝම මේ අගලේ දමලා පස් ගහනවා. හිටපිය තොපිට”මෙසේ කියමින් තරුණ භටයා ගලක් අතට ගෙන පිරිස වෙත දමා ගැසීය. සියළුම දෙනා එකවර කථාකර ගත්තාක් මෙන් හිස් පාත්කර ගත්හ. එහෙත් පිරිසේ වූ අවාසනාවන්ත ශ්‍රමිකයාගේ නළලේ ගල වැදිනි.

බලපිය ශරීර හොරුන්ට අපි කරන දේ” සෙබලා තම සහකයන් දෙදෙනෙකුට ඉදිරියට එන ලෙස නියෝග කළේය. කළු කලිසම් හා කළු කමිසය ඇඳ, රතු තිත් සහිත මෆ්ලර් දමා සිටි අවුරුදු දොළහේ පමණ කොළු ගැටව් දෙදෙනෙකු පොලූ දෙකක් ගෙන මහල්ලා වෙත ලංවූහ.

මූව පොහොර කරපන්” ඔහු ළමා සොල්දාදුවන්ට නියෝගයක් දුන්නේය. එම විධානයත් සමඟම ළමුන් දෙදෙනා මහල්ලාගේ හිසට පොලූවලින් තඩිබාන්නට වූහ. මහල්ලා වේදනාවෙන් දැඟලීය. මඩගොඩේ වැටී දඟලන මහල්ලාගේ හිසෙන් ගලන ලේ කළු පැහැයක් ගත්තේය. තමන්ගේ දරුවන්ගේ දරුවන් බඳුවූ වධකයන්ගේ පහර නිසා ඔහු අසරණව වැද හොත්තේය. මේ අතර ළමුන් දෙදෙනා තරගයට මෙන් මහල්ලාගේ හිසට පොලූ පහර දෙන්නට වූහ. මැටි කළයකට පොල්ලෙන් ගසන විට එන හඬ වැනි හඬක් නිකුත් වූ අතර සෑම පහර කෑමකදීම මහල්ලාගේ මුවින් කෙඳිරියක් පිටවිය.

මඩේ එරී අගල කපමින් සිටි පිරිස භීතියට හා ශෝකයට පත්ව අසරණව මේ බිහිසුණු දර්ශනය දෙස බලා සිටියහ. ඇතැමෙකුට මෙම බිහිසුණු ජවනිකාව දැක තමන් සිහිසුන්ව වීමට යන්නාක් මෙන් දැනිනි. ඔව්හු තම දෑස් වසාගෙන පපුව ඇතුලෙන් පිළිස්සෙමින් සිටියහ. එහෙත් මේ දෙස නොබැලීමෙන් තමන් රැකවලූන්ගේ උදහසට ගොදුරුවේදැයි බියෙන් සැලිනි. ඒ සමඟම රැකවලූන්ට පෙනෙන ලෙස ඒ දෙස බැලීමටද අමතක නොකළහ.

ළමා සෙබලූන්ගේ පොලූපහර නිසා මහල්ලාගේ හිස කුඩුපට්ටවම් වී මොළයේ කැබලි එළියට පැන්නේය. රුධිරය ද ගලායමින් තිබිණි. මහල්ලාගේ පණ නිරුද්ධ වූ දේහය ඔව්හු මඩේ ඔබා ඊට කෙළ ගැසූහ.

වල්ඌරනි, වැඩ කරව්”යනුවෙන් කෙමරුජ් භටයා දුන් විධානය අනුව යළිත් උදළු ඔසවාගත් පිරිස තවදුරටත් අගල් කැපූහ. ඔව්හු වැඩකලා මිස කිසිවෙකු තම කණ්ඩායමේ සාමාජිකයෙකුගේ මුහුණ දෙස නොබැලීමට වගබලා ගත්හ.

වැස්ස නොකඩවා ඇද හැළුනි. තෙත බරිතවූ පිරිස වැස්සට තෙමෙමින්, පස් ඉවත් කරමින් අගල කැපූහ. පස් කණ්ඩි තෙත නිසා අගල කපන විට දෙපස කන්ඩිවල පස් නැවත අගලට වැටෙයි. එම නිසා ඔවුන්ගේ ශ්‍රමය අපතේ ගියේය. රැකවලූන්ගෙන් පහර කෑමට ඇති බිය නිසා ඔවුන් නිහඬව යළි පස් ඉවතට ගෙන අගල සකස් කළහ.

කණ්ඩායම සෙමෙන් වැඩකරන බවට චෝදනා කළ රැකවල් නායකයා ඔවුන්ට දහවල් ආහාරය දුන්නේ නැත. මේ නිසා හාමතින් පෙළෙමින් ඉතා අමාරුවෙන් මඩගොඩේ තම ශ්‍රමය මුදාහැරියේය. ක්ලාන්ත ගතිය දැනුනද තම ශරීර සිරස්ව තබා ගැනීමට හැකි උපරිම වෑයම ගත්හ. ක්ලාන්ත වන්නන් පසට පොහොර කිරීමට යක‍ෂයන් මෙන් රැකවලූන් බලා සිටින නිසා ඔව්හු උදළු මතට බරවෙමින් හෝ සිරුර නොවැටී තබා ගැනීමට උත්සාහ කළෝය.

වැස්සෙන් බේරීමට මඩුව ඇතුළේ සිටි රැකවළුන් පස්දෙනා දිවා ආහාරයට සූදානම් වූ අතර වරින් වර වැඩකරන කණ්ඩායම දෙස නෙත් හෙළීමට අමතක නොකළහ.

කාන්තා සෙබලියක විසින් බයිසිකලයේ පිටුපස ලෑල්ලකට තබා බැඳගෙන ආ මුට්ටි ප්‍රවේශමෙන් මඩුව තුළට ගන්නා ලදී. පිඟන් වෙනුවට තිබුණේ ඛෙලෙක් තැටිය. බත් හා දුඹුරුවන් හොද්දක් බේදාගත් ඔව්හු ශබ්ද නගමින් ආහාර ගත්හ. ඔවුන් ආහාරගත් මඩුවට යාබද මැටි පසේ අඩක්වැලලී ගිය මහල්ලාගේ මෘත දේහය කිසිවෙකුගේ අවධානයට ලක් නොවීය. මහල්ලාගේ ලේ හා මොළයේ කොටස් දැන් මඩ පසේ දක්නට නැත. නිරන්තරයෙන්ම ඇද හැළුන, වර්ෂාව විසින් මිනිස් ද්‍රව පටක වැසි ජලයේ දියකර හැරිනි.

මළසිරුරේ පිට හා හිසේ කොටස් බාහිරයට දිස්වෙයි. තුවාල වී ඇති හිසේ අතරින් පතර සුදු හිසකේ දක්නට තිබේ. මළ සිරුර මඩේ ඔබා ඇති නිසා මහල්ලාගේ නෙත් ඇරී තිබේදැයි කිසිවෙකු නොදනියි. ඔහුගේ කළු හිස් වැස්ම පමණක් වැසිදියේ පාවෙමින් තිබේ.

රැකවලූන් දිවා ආහාරය ගත්තේ ජ්‍යෙෂ්ඨ භටයාට සවන් දෙමිනි. අතරින් පතර වල්ඌරන්, මීහරක්, ප්‍රතිගාමීන්, යන වචන ඔහුගේ මුවෙන් පිට වෙයි.

ශ්‍රම කණ්ඩායම මුළු සවස් වරුවම වැඩ කළේය. එහෙත් තවමත් අගල කපා අවසන් නැත. කුසට ආහාර නොමැති විට ශක්තිය වැය කරන්නේ කෙසේද? මෙම සරල සමීකරණය කෙමරුජ්වරුන්ට නොතේරුනද එය ප්‍රායෝගිකව පහදා දීම වනාහි මරණයට විවෘත ආරාධනයකි.

එහෙත් බිය හා සන්ත්‍රාසය එක්වූ විට මිනිස් ශරීරය යාන්ත්‍රික ශරීරයක් බවට පත්වේ. වෙහෙස, කුසගිනි, නොදැනෙන මෙම කයට කාලය, අවකාශය, පිළිබඳව ඇති වැටහීම කෙමෙන් පහවී යයි. ඒකාකාරව බොල්හඬ නගමින් උදළු වලින් අගල කපාගෙන ගිය ඔවුන් රාත්‍රී දහය වන විට ශරීර ශක්තිය පිරිහීගිය හෙවනැළි බවට පත්වී සිටියද සිය කාර්යය නොකඩවා කරගෙන ගියහ.

ඔවුනට රාත්‍රි ආහාරය හා විවේකය ලැබිණි. හාල් ස්වල්පයක් දමා පිසින ලද කැඳ කෝප්පය ඔව්හු උගුරට දෙකට අවසන් කළහ. බඩගිනි ඉවසාගනු නොහැකිව ඇතැමෙක් අඳුරට මුවාවී වැස්සට පෙඟී ගිය කොළ හා දළු අමුවෙන්ම කටේ දමාගෙන ගිල්ලේ රැකවළුන්ට රහසිනි. පිරිහී ගිය ශක්තිය ඇති සිහින් උස් පුද්ගලයෙකු ගසකට හේත්තු විය. ඔහු මැදිවියේ සිටියද මුහුණ මහල්ලෙකුගේ මෙනි. ඊට හේතුව විය හැක්කේ නීරක්තයයි. සමට යටින් ඇති මේද පටක දියවී ගොස් තිබූ නිසා ඔහුගේ හකුඇට නෙරා තිබුණි. එහෙත් දෙනෙත් ගැඹුරුය. ඔහුගේ ඉතිහාසය කිසිවෙකු නොදනී. ඔහු කඳවුරේ සිටියේ අකුරු ලිවීමට හා කියවීමට නොහැක්කකු විලසිනි. දහවල කෲරලෙස වදදී මරා දැමුවේ ඔහු සමඟ නොන්පෙන් විශ්වවිද්‍යාලයේ සිටි කථීකාචාර්යවරයෙකි. තමාගේ ඉතිහාසය එළිදරව් විය හැකි නිසා ඔහු සිටියේ නිරන්තර සැකයෙනි. එක එල්ලේ අන් අයකුගේ දෙනෙත් දෙස බැලීමට ඔහු බියවිය. නිතරම හිස පහත් කොටගෙන සිටි ඔහු දුටුවේ තමාට අඩි කීපයක් ඈතින් සිටි පුද්ගලයන් පමණකි.

වෙහෙස නිසා ඔහුගේ නෙත් පියවෙයි. නොදැනුවත්මව ඔහුට ප්‍රංශ ගායිකා එතුවාල්ගේ දුක්මුසු ගීතයක් සිහියට නැගිනි. පෙරදාමෙන් දුක්මුසු ප්‍රංශ ගිතය ඔහු මිමිනීය. එහෙත් මොහොතක් තුළදී ඔහුට පියවි සිහිය ආවේ. තම ගීතය යම් අයෙකුගේ අවධානයට යොමු වූයේද යන්නට බියගත් ඔහු දකුණු අතින් මුඛය වසාගත්තේ තවදුරටත් මුවින් හඬක් පිට නොවීම සඳහා ය.

ඔහු අසල සිටි තරුණයා මැලේරියා උණෙන් පීඩා වින්දේය. මාමේ, මට බෑ තවත් දුක් විඳින්න. මට මියයාම සැපතක්.” ඔහු කෙඳිරීය. මැදිවයසේ පුරුෂයා ඈතින් සිටි රැකවළුන් දෙස බැලූවේය. උඹට පිස්සුද? නිදාගන්න එපා. උන් උඹව පොහොර කරයි.”

කමක් නෑ මාමේ, මුන්ට මට කරන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. මගේ මව, බිරිඳ කුඩා දරුවා මුන් මරා දැම්මා. මට තව මොනවද ඉතිරිවෙලා තියෙන්නේ?” තරුණයා බොල් හඬකින් පැවසීය.

නැහැ, අපි කොහොම හරි මේක දරාගත යුතුයි. අපි කවදාහරි ජීවමාන සාක්ෂි වෙයි. ඒ දවස එනතෙක් අපි ජීවත් වෙමු. ඔහු තරුණයාට බලාපොරොත්තුවේ සේයාවක් දුන්නේය.

තව කොච්චර කාලයක් ඉවසන්නද? මාමේ මේ මොන අවුරුද්දද?”

මම හිතන්නේ 1977 මුල් මාසේ” ඔහු පිළිතුරු දුන්නේය.

කොච්චර කාලයක් ගියාද? මම මෙහෙ ආවේ 1975 අවුරුද්දේ. ඒ අවුරුද්ද තමයි මගේ ළමයයි, ගෑනියි සාගතේට අහුවෙලා මළේ. අම්මයි මමයි කැලේ කොළ කාලා ජීවත් උනා. මුං මාව කඳවුරට ගෙනල්ලා හොඳටම ගැහුවා. අම්මා කැලෑ උණ හැදිලා මලා. මම වහලෙක් වගේ තවමත් කඹුරනවා.”

ධෛර්ය ගනින් පොහොර වෙන්න එපා. කොහොම හරි ශරීර කූඩූව තියාගනින්. ඔහු තරුණයාට අවවාද කළේය.

මාමේ උඹේ නම මොකක්ද?”

මගේ නම Bou Meng දැන් ඇති කථා කළා. අපි නිහඬ වෙමු.”

පෞද්ගලික දේපොළ අහිමි කිරීම

කෙමරූජ් සංවිධානය පෞද්ගලික දේපොළ අවලංගු කළේය. පුද්ගලයන් සතුව තිබූ යානවාහන, මිළ මුදල්, රජයට භාරදෙන ලෙසට අණ කරන ලදී. ගුවන් විදුලි යන්ත්‍ර, බයිසිකල් පවා පවරාගනු ලැබීය. ග්‍රාමීය ප්‍රදේශවලට පිටමං කරන ලද ජනතාවට කෙමරූජ් සංවිධානය මගින් නියම කරන ලද නිළ ඇඳුම් විනා අන් ඇඳුම් ඇඳීම සපුරා තහනම් කෙරිණි. මුදල් සංසරණය නවතා දැමීම නිසා ව්‍යාපාර කඩා වැටුණි. ඉඩම්වල වහළුන් සේ ශ්‍රමය වැය කිරීම විනා ඉඩම් අයිතියක් කිසිවෙකුට නොවීය.

සුළු ජාතීන්ගේ අයිතීන් අහිමි කිරීම

1978 එළිදක්වන ලද කුප්‍රකට කළු පත්‍රිකාව මගින් කම්පුචියාවේ සුළුජන වර්ගවලට ජීවත් වීමට තිබේන අයිතිය අවලංගු කරනු ලැබීය. කම්පුචියාවේ ජීවත් වූ චීන, වියට්නාම්, ලාඕස් සම්භව ඇති ජනයා ජන සංහාරයට ලක් කරන ලදී. 1975 වන විට ග්‍රෝත්‍රික ජනයා 425,000 මරා දමන ලදී. මෙම සංඛ්‍යාව එම ජනගහනයෙන් 50% පමණ විය.

අවශේෂ ජනවර්ගයන් වෙත දියත් කරන ලද ප්‍රචණ්ඩත්වයේ කූට ප්‍රාප්තිය සනිටුහන් වූයේ කම්පුචියා, වියට්නාම් දේශසීමා ආසන්නයේ සිදුකළ ඝාතන වලිනි. මෙම ප්‍රදේශවල ජිවත් වූ වියට්නාම් ජනවර්ගයට නිරතුරුවම ප්‍රහාර එල්ල කරන ලදී. කෙමරුජ් භටයෙකු විසින් දිනකට වියට්නාම් ජාතිකයන් 30 දෙනෙකු ඝාතනය කළයුතු බවට නොනිල මට්ටමේ අණක් පනවා තිබුණි. මේ නිසා වියට්නාමයට කම්පුචියාව ආක්‍රමණය කිරීමට මග සැලසුනි. සුළු ජාතීන්ට ඔවුන්ගේ භාෂාව කථා කිරීම සිරිත් විරිත්, සංස්කෘතික උත්සව පැවැත්වීම තහනම් කරනු ලැබීය.

යළි උපන් භූමියට පැමිණිය නොහැකිය.

කෙමරූජ් සංවිධානය විසින් ග්‍රාමීය ප්‍රදේශ කරා මිනිසුන් පිටමං කළේ ඔවුන්ගේ නිවාස පවා ගිනි තබමිනි. මෙයින් යළි ඔවුන්ට නැවත තමන් උපන් භූමිය වෙත පැමිණිය නොහැකි විය. ඔවුන් සන්තකයේ තිබුණ ද සියල්ල විනාශකොට තිබේ. එවැනි තත්වයකදී මිනිසුන්ට උපන් භූමියෙන් පිටුවහල් කඳවුරුවලට පියමනිනවා හැර වෙනත් විකල්පයක් නොවීය.

කෙමරුජ් නවරජයේ තීරණයක් අනුව සියළුම පුද්ගලයන් කුඹුරු වැඩ සඳහා සහයෝගය දිය යුතුවේ. සමෘධිමත් කෘෂිකාර්මික රටක් බිහි කිරීම සඳහා සියළු දෙනාම කුඹුරට බැසිය යුතුය. කර්මාන්ත ශාලා සේවකයින්, සුපවේදීන්, ටැක්සි රියදුරන්, කාර්මිකයන් ලිපිකරුවන් මෙකී නොකී සියළුම වෘත්තිකයන්ගේ වෘත්තීන් අහෝසි කොට තිබේ.

රජය විසින් සියළුදෙනාම එක රැයකින් ප්‍රවේනි දාසයන් බවට පත් කරන ලදී. ප්‍රග් විප්ලවය රුසියාවේ ක්‍රෙපස්නෝයි හ්රිස්තියාන් යනුවෙන් හඳුන්වන ලද ප්‍රවේනි ගොවීන්ට තිබූ නිදහසින් කාලක්වත් කම්පුචියාවේ ගොවීන්ට ලැබුනේ නැත. ඔවුන්ගේ ජීවිතය හා මරණය රැඳී තිබුණේ සංවිධානයේ තීරණ මතය. කම්පුචියාවේ අගනුවර වූ ඡයබදප ඡැබය හි වාසය කළ මිලියන 2 ක ජනයා කුඹුරු වැඩ සඳහා පිටමං කරවනු ලැබීය. කුඹුරට යැවීමට ප්‍රථම පුද්ගලයන්ගේ දෑත් පරීක‍ෂා කොට බලන ලදී. කරගැට රහිත අත් ඇති, බුද්ධිමත්, වෘත්තියක යෙදුණු පුද්ගලයන් වහා අත්අඩංගුවට ගෙන අතුරුදහන් කරවන ලදී. මිනිසුන් කුඹුරු වැඩට වන විට දෙපස සුපරික‍ෂාවෙන් බලා සිටි කෙමරූජ්වරු සැක සිතූ ඕනෑම පුද්ගලයෙකු මරා දමන්නට පසුබට නොවූහ.

ඔබට ගොවියෙකුගේ මුහුණක් තිබුනේ නම් ඔබ වාසනාවන්තයෙකි. මන්ද, ඔබ අද දවසේ මරා දමන්නන්ගේ ලැයිස්තුවට ඇතුලත් නොවෙනු ඇත. එහෙත් සාගින්දර ඔබගේ ඉරණම හෙට තීරණය කරනු ඇත. කුඹුරුවල ශ්‍රමය වැයකළ මිනිසුන් සඳහා දින තුනකට වරක් සහල් ග්‍රෑම් 180 ක් ලබාදෙන ලදී.

ළමුන් අහිංසකය

අවුරුදු 6 ට වැඩි ළමයින් දෙමව්පියන්ගෙන් පැහැරගනු ලැබිණි. දෙමව්පියන්ගෙන් වෙන් කරන ලද ළමයින් කෙමරූජ් සංවිධානය යටතේ අන්කා දහමට අනුකූලව හදා වඩා ගනු ලැබිණ. පාරම්පරික ගති සිරිත් වලින් ඈත් කරන ලද මේ ළමයින් කෙමරූජ් ළමා බළකායේ සෙබළු බවට පත් කරන ලදී.

ළමුන් වැඩිහිටියන් මෙන් අතීත මතකයෙන් දූෂිතව නොමැති නිසා ළමුන්ට ගෞරව කළ යුතු බව කෙමරූජ්වරු අවධාරණය කළහ. ළමුන්ගේ නියෝගයන්ට වැඩිහිටියන් අවනත විය යුතු බව කෙමරූජ්වරු යටතේ නීතියක් බවට පත්විය.

ළමුන් අයිති කෙමරුජ් සංවිධානයට මිස දෙමාපියන්ට නොවේ.

මා පිය දූදරු සබඳතාව කෙමරුජ්වරු හැඳින්වූයේ ප්‍රතිගාමි සබඳතා ලෙසටය. එම නිසා පවුල යන ඒකකය විනාශ කිරීමට ඔව්හු කටයතු කළහ. ළමුන් දෙමාපියන්ගෙන් ඉවත් කරන ලදී. ඔවුන්ට කුඩා වියේ සිටම අන්කා දහම උගන්වන ලදී. එසේම ළමුන් වැඩිහිටියන් මෙන් දූෂිත නොවුණු කෙමරූජ් හිතවාදී කොටසක් ලෙස සලකනු ලැබූ අතර ප්‍රතිවිප්ලවවාදීන් ලෙස ලේබල් ගැසූ කොටස් ඝාතනයන් සඳහා යොදවා ගන්නා ලදී. ළමා වියේ සිටම මිනීමැරීමට ඔවුන් පුහුණු කරවන ලදී.

ආගමික නිදහස නැති කරයි.

කෙමරූජ් සංවිධානය විසින් ආගම ඇදහීම තහනම් කරන ලදී. බෞද්ධ හා කතෝලික හා ඉස්ලාම් ආගම් අදහන්නන් කෙරෙහි කෙමරූජ්වරු දැක්වූ වෛරය සනිටුහන් වන්නේ කෙමරුජ්වරු කරන ලද ආගම් අදහන අය ඝාතනය කිරීමත්, ආගමික සිද්ධස්ථාන විනාශ කිරීමත් මගිනි. 1975 සිට 1979 දක්වා අතර කාලය තුළ පන්සල්, පල්ලි විශාල ප්‍රමාණයක් විනාශ කරන ලදී. පොල්පොට් යුගයේදී කම්පුචියාවේ බෞද්ධ භික‍ෂුන 40,000 සිට 60,000 දක්වා සිටි අතර, ඔවුන්ට කෙමරූජ් සංවිධානය විසින් නම් කරන ලද්දේ සමාජ පරපෝෂිතයන් හෙවත් Social þ¾sites වශයෙනි.

බලෙන් සිවුරු ඉවත් කරවන ලද භික‍ෂූන් කුඹුරුවල වැඩ කිරීම සඳහා යොදවන ලද්දේය. මුස්ලිම් ජන කොටස් පීඩනයට පත් කළ අතර, ඔවුන්ට වද බන්ධනය පමුණුවන විටදී ඌරුමස් කෑමට බල කරන ලදී. ඌරුමස් කෑම ප්‍රතික්ෂේප කළ මුස්ලිම්වරුන්ට වෙඩිතබා මරා දැමූ බව සාක‍ෂිකරුවෝ පවසති.

 

නුඹලා විවාහ විය යුත්තේ , සංවිධානයේ නියෝග මතය.

කෙමරූජ්වරු බාල සහ නව යොවුන් වියේ ළමයින් හා තරුණයන් පවුල්වලින් ඉවත් කළහ. ඔවුන් කෙමරූජ් සංවිධානය යටතේ අන්කා දහම අනුව ඇතිදැඩි කරන ලදී. පුද්ගලයෙකුට තමන් රිසි අයෙකු සමඟ විවාහ වීම වෙනුවට කෙමරූජ් සංවිධානයේ අවශ්‍යතා මත විවාහයන් සිදු කළහ. සාමූහික උත්සව වලදී මෙලෙස සංවිධානයේ තීරණ මත යුවතිපතීන් එක්තැන් කරන ලදී. මෙහි මූලික අරමුණවූයේ සැමියාගෙන් බිරිඳ පිළිබඳවත්, බිරිඳගෙන් සැමියා පිළිබඳවත් තොරතුරු සංවිධානයට ලබා ගැනීමයි. මෙවැනි යෝජිත විවාහයන් කෙමරූජ්වරුන්ගේ කාලයේ සුලබ විය.

වෛද් රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress