පොල්පොට්ගේ මරණය
Posted on May 15th, 2017

වෛද් රුවන් එම් ජයතුංග 

පොල්පොට්ගේ මරණය

1998 අප්‍රේල් 15 වෙනි දින පොල්පොට් තායි කම්පුචියානු දේශසීමාවට ආසන්නයේ අවසන් හුස්ම හෙළීය. සිදු කරන ලද අපරාධය විශාල මෙන්ම ඒ සඳහා ලැබිය යුතු දඬුවම් කුඩාවේ. The bigger the crime the smaller the penaltyයන වැකිය පවසන ලද්දේ ෆෙඩ්රික් ෂෙලර් විසිනි. ඔහුගේ අදහස සනාථ කරමින් කළ අපරාධ සඳහා පොල්පොට්ට දඬුවම් නොලැබිණි. අවසාන කාලයේදී කෙමරූජ් ගරිල්ලන්ගේම අත්අඩංගුවට පත්වූ පොල්පොට් තම දිවියේ අවසාන වසර කිහිපය ගතකළේ රෝගියෙකු වශයෙනි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 ක් විය.

ඔහුගේ මෘතශරීරය කිසිඳු අවමංගල්‍ය උත්සවයකින් තොරව ආදාහනය කරන ලදී. පොල්පොට්ගේ මරණය පිළිබඳව නොයෙකුත් සැක මතු වී තිබේ. ඔහුගේ දෙවන බිරිඳ Hleas පවසන පරිදි ඔහුගේ මරණය සිදුවූ දිනයේ 1998 අප්‍රේල් 15 දින රාත්‍රියේ ඔහු ඇමෙරිකානු VOA ගුවන් විදුලි සේවයට සවන් දී තිබේ. කෙමරුජ් සංවිධානය පොල්පොට් යුද අපරාධ සඳහා බලධාරීන්ට භාරදීමට නියමිත බව ඔහුට දැනගන්නට ලැබිණි. මේ නිසා පොල්පොට් සිටියේ බියෙන් හා කලබලකාරි තත්වයකිනි. අන්තර් ජාතික යුධ අධිකරණය මගහැරීම සඳහා පොල්පොට් දිවිනසා ගත්තේදැයි සැකයක් මතුවේ.

වධකාගාරයේ පාලකයා හඬා වැළපෙයි.

Tuol sleng හෙවත් S-21 වධකාගාරයේ පාළකයාව සිටි Duchහෙවත් Kang Kech Eav සමූහ මිනීවලක් වෙත ගෙනයනු ලැබීය. කම්පුචියානු හා එක්සත් ජාතීන්ගෙන් සැදුම්ලත් විනිශ්චය කාරවරුන් 80 දෙනෙකුගෙන් යුත් මෙම අධිකරණ මඬුල්ලද මෙම අවස්ථාවට සභාගී වූහ.

පුද්ගලයන් 120 දෙනෙකු මරා වළදමා තිබූ මෙම ස්ථානයේදී දී හිටපු වධකාගාර පාළකයා දණින් වැටී වැලපුන අතර තමන් කළ අපරාධ සඳහා සමාව ඉල්ලා සිටියේය. ගොඩදමා තිබූ මිනිස් හිස්කබල් අභිමුඛයේ දණින් වැටුණු ඔහු කෙමරූජ්වරුන් විසින් මරාදැමූ පුද්ගලයන්ගේ ආත්මවලට සැනසීම ලැබේවායි පතන ලදී.

Tuol Sleng වධකාගාරයේ පුද්ගලයන් ඝාතනය කිරීම සිදු කෙරුණේ ඔහුට ලැබුණු නියෝග මත බව හෙතෙම පවසා තිබේ. S-21 වධකාගාරයේ රැඳවියෙක්ව සිට දිවිගලවා ගත් Chum Manh පවසන අන්දමට Duch විසින් ඔහුගේ බිළිඳු දරුවා හා බිරිඳ මරා දැමීමට නියෝග දී ඇත.

අපි යුක්තිය වෙනුවෙන් වසර 30 බලා සිටියෙමු.

Theary Seng ගේ දෙමාපියන් කෙමරුජ්වරු විසින් මරා දමන ලදී. ඉන්පසු ඇය ජීවත්වූයේ කෙමරූජ් භීෂණය සමගිනි. කෙමරූජ්වරුන්ගේ බලය පිරිහීමත් සමඟ ඇමෙරිකාවට පළාගිය ඇය දැන් නීතිඥවරියකි.

හිටපු කෙමරුජ් නායක Nuon Chea ට එරෙහිව නඩුවිභාගයේදී සාක්ෂිදුන් Theary seng කෙමරූජ් ඇයගේ ආත්මය සිඳ දැමූ අයුරු විස්තර කළාය. දැනට ජිවතුන් අතර, සිටින කෙමරුජ් ෙජ්ෂ්ඨතම නායකයා වන Nuon Chea හට එදිරිව ඇති නඩුව තවදුරටත් විභාග කරන ලෙස ඇය ඉල්ලා සිටියාය.

මෙය අතීතයේ සිදුවූ සිද්ධියක් ලෙස සලකා විත්තිකරුවන්ට තමන් විසින් කළ අපරාධ වලින් ගැලවී යාමට ඉඩ නොදිය යුතුයි.”යන්න අවධාරණය කළ ඇය අපි යුක්තිය වෙනුවෙන් වසර 30 ක් බලා සිටියෙමු” යැයි අධිකරණයේදී පැවසුවාය. ඇයගේ දෙමාපියන් මරා දමන විට ඇයගේ වයස අවුරුදු 7 කි.

Tuol Sleng වධකාගාරයෙන් බේරුණු භාග්යවන්තයින්

සිරකරුවන් අතරින් Tuol Sleng වධකාගාරයෙන් පණපිටින් පැමිණීමට හැකිවූයේ දොළොස් දෙනෙකුට පමණි. Chim Math මෙම දොලොස් දෙනා අතර සිටි එකම කාන්තාවයි. අනෙක් සියළුමදෙනා ම පිරිමි වූහ. අත්අඩංගුවට ගනු ලැබූ Vann Nath නම් පුද්ගලයාගේ පණ රැකුණේ ඔහුට චිත්‍ර ඇඳීමට තිබුණු හැකියාව නිසාය. ඔහු පොල්පොට්ගේ චිත්‍ර ඇඳීය. එම නිසා ඔහුට චිත්‍ර ඇඳීමට ඉඩ දෙනු ලැබීය. නිදහස ලැබීමෙන් පසු Vann Nathවධකාගාරයේදී සියැසින් දුටු වධක සිද්ධීන් චිත්‍රයට නැගීය.

දෙපාවලින් එල්ලා පහරකනු ලබන මිනිසුන්, ඇඳන්වලට බැඳ තියුණු අවිවලින් ශරීර අවයම කපාදමා තිබුණු මිනිසුන්, විදුලි පහර වලට ලක්කළ මිනිසුන්, ඔහුගේ චිත්‍ර අතර වෙයි.

Tuol Sleng වධකාගාරයේ 1720 ක පිරිසක් සේවය කළහ. ඒ අතරින් 300 ක පිරිසක් සිරකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නන් (Interrogators) වූහ. වධකාගාරයේ පාළකයා වූයේ Duchසහෝදරයාය. ඔහු වෘත්තියෙන් ගණිත ගුරුවරයකු විය. පොල්පොට් සමඟ ලඟින් වැඩකළ Duch සහෝදරයා මෙහි පාළකයා වීටම සුදුසු බව පොල්පොට් තීරණය කළේය.

Tuol Sleng වධකාගාරය පිළිබඳව මුලින්ම ලොවට තතු හෙළිකරන ලද්දේ හෝ වැන් ටායි” නැමති ඡායාරූප ශිල්පියාය. වියට්නාම් හමුදාවේ සේවය කළ ඔහු 1979 වසරේදී ටෝඋල් Sleng මස්මඩුව පිළිබඳව රහස ලොවට හෙළි කළේය.

කෙමරූජ් රජයේ බිඳවැටීමත් සමඟම මෙම වධකාගාරයේ තිබූ ලිපි ලේඛන ඡායාරූප විනාශ කරනු ලැබීම නිසා මෙහි යථා තත්වය තවමත් අනාවරණය වී නැත. 2003 වසරේ Rith Ponh නම් සිනමාවේදියා විසින් The Khmer Rouge Killing Machine නම් චිත්‍රපටය එළිදක්වනු ලැබීය. මෙම චිත්‍රපටයේ තේමාව වූයේ Tuol Sleng වධකාගාරයෙන් බේරුණු මිනිසුන් ස්වල්ප දෙනා පිළිබඳවයි.

වධකාගාරයේ චිත් ශිල්පියා

Vann Nath කුප්‍රකට S-21 වධකාගාරයේ රැඳවියන් අතරින් පණපිටින් බේරීමට සමත්වූ පුද්ගලයන් 7 දෙනාගෙන් එක් අයෙකි. තවමත් ජිවතුන් අතර සිටින ඔහු වධකාගාරයේ භිෂණය පිළිබඳ කරුණු ලොවට හෙළි කරයි.

චිත්‍ර ඇඳීමට තිබූ දක‍ෂතාවය නිසා සිරමැදිරියේ අනෙක් සිරකරුවන්ට වඩා ඔහුට විශේෂ තැනක් හිමි විය. මෙම දක‍ෂතාවය ඔහු මරණයෙන් ගැලවීමට උපකාරි විය. පොල්පොට්ගේ චිත්‍ර ඇඳීමට නියම වූ Vann Nath හට ඉන් පළායාමට හැකි වූයේ 1979 වියට්නාම් ආක්‍රමණය නිසාය. පසුව ඔහුගේ අත්දැකීම් කැටිකරගත් The Khmer Rouge Killing Machine වෘතාන්ත චිත්‍රපටය නිපදවන ලදී.

Vann Nath විසින් අඳින ලද චිත්‍ර S-21 වධකාගාරයේ සිදුවූ බිහිසුණු සිද්ධීන් රාශියක් නිරූපනය කරයි. මෙකී චිත්‍ර අතර කුඩා බිළිදෙකු මවගෙන් උදුරාගෙන පොළොවේ ගසන කෙමරූජ් භටයන් දෙදෙනෙක්, මිනිසෙකුට පණයන තෙක් මුගුරුවලින් පහර දෙන වධකයන් බෙලි කැපූ කවන්ධ රූප, යනාදි ඇඟ කිළිපොලා යන දර්ශන තිබේ.

කෙමරූජ් භීෂණය පිළිබඳ සාක්ෂිකරුවෙකුවන Vann Nath මෙසේ කියයි. පිට ග්‍රහලෝකවල ජීවීන් සිටීදැයි ම නිතරම මගෙන් අසමි. එසේ ජීවීන් සිටිත්නම් ඔවුන් අප මෙන් දුක් දොම්නස් වලට පාත්‍ර වෙනවාද? ඔවුන් අප මෙන් දුක් වේදනා වලට පත් නොවේ නම්, මම එවැනි ග්‍රහලොවක උපත ලැබීමට කැමැත්තෙමි. ඒ මන්දයත් කෙමරූජ්වරුන් යටතේ දුක්විඳ හා අන්‍යයන් දුක්විඳිනවා මා දැක ඇති බැවිනි.”

1978 ජනවාරි 7 දින කුඹුරු වැඩ කරමින් සිටියදී ඔව්හු මා අත්අඩංගුවට ගත්හ. ඉන්පසුව මා සිහිනයකින්වත් නොසිතූ දේවල් ගැන චෝදනා කළහ. මා රහස් සංවිධානයකට අයත් සාමාජිකයෙකු බවත්, අන්කා දහම මා උල්ලංඝනය කොට ඇති බවත්, ඔව්හු කීහ. එහෙත් එම වැරදි මම රහසින්වත් කර නොතිබිණි. ඔව්හු මට විදුලි ප්‍රහාර නියම කළහ. විදුලිය මගේ ශරීරයට කාවැදෙද්දී මට දෙතුන් වරක් සිහිනැති විය.

ඉන්පසුව ඔව්හු මා S-21 Toul Sleng වධකාගාරයට ගෙන ගියහ. ඔව්හු මා තෙවන මහලේ සිරගත කළහ. මා සමඟ තවත් සිරකරුවන් පනස්දෙනෙක් සිටියහ. අපට ආහාර දෙන ලද්දේ උදෑසන අටටත්, රාත්‍රී අටටත්ය. ආහාර ලෙස දුන්නේ හාල් තේ හැඳි ස්වල්පයකින් යොදා පිළියෙළ කළ කැඳය. අපට බීමට වතුර නොදෙන ලදී. මුත්‍රා කිරීම සඳහාත්, මළපහ කිරීම සඳහාත්, දෙනු ලැබුවේ කුඩා වානේ බාල්දියකි. මුත්‍රා හෝ මළ ඉහිරුනේ නම් අදාල පුද්ගලයාට එය දිවගින් ශුද්ධ පවිත්‍ර කිරීමට නියම කෙරුණි.

මෙම නරකාදියේ මා ජිවත්වූයේ කෙසේදැයි මට නොතේරේ. මාසයකට පසුව දිනක් මෙම වධකාගාරයේ පාළක Duch අභිමුවට මා රැගෙන යන ලදී. මා චිත්‍ර ශිල්පියකු බව දැනගත් ඔහු මට පොල්පොට්ගේ විශාල චිත්‍රයක් ඇඳීමට නියම කළේය. මට පෙර ඒ කාර්යය නියම වූ සිරකරුවන් දෙදෙනෙකුගේ චිත්‍රය අසාර්ථක වූ නිසා ඔවුන් මරණයට පත් කරන ලදී. මේ චිත්‍රය ඇඳීම මගේ මරණය හෝ ජීවත්වීම තිරණය කරන බැවින් මේ ගැන මගේ විශේෂ අවධානය යොමු කළ යුතුබව මට වැටහිණි.

විශේෂ අවධානයකින් හා මහත් පරිශ්‍රමයකින් යුතුව චිත්‍රය ඇඳීමට පටන් ගතිමි. සෑම පින්සල් පහරක්ම මගේ ජීවිතය රැකදෙන වෑයමක් විය. නිරාහාරව බියෙන් හා කම්පනයෙන් යුතුව මෙවැනි සුවිසල් චිත්‍රයක් නිම කිරීම අතිශයින්ම අසීරු කටයුත්තක් විය. එහෙත් එම කාර්යය මම සාර්ථකව නිම කළෙමි. මෙම චිත්‍රය මට ජීවිත දානය ලබා දුන්නේය.

Vann Nath හට නිදහස ලැබීමෙන් පසු කෞතුගාරයක් බවට පත්කළ Toul Sleng වධකාගාරයේ හෙතෙම සේවය කළේය. දැන් ඔහු චිත්‍ර ශිල්පියෙකු ලෙස ජීවිකාව ගෙන යයි.

Toul Sleng කෞතුකාගාරය

කෙමරූජ් ජන ඝාතනය වර්තමාන ලෝකයට පවසන සාක්ෂිය වනාහි Toul Sleng කෞතුකාගාරයයි. නොම්පෙන්හි පිහිටා ඇති මෙම කෞතුකාගාර ගොඩනැගිල්ල අතීතයේ උසස් පාසලකි. කෙමරූජ්වරු මෙම පාසල් ගොඩනැගිල්ල හිර කඳවුරක් බවට පරිවර්තනය කළෝය.

1975 සිට 1979 දක්වා පුද්ගලයන් 17000 ක් මෙහි සිරකරුවන් ලෙස රඳවා සිටි බවට සාක්ෂි තිබේ. 1980 දී මෙයින් පණපිටින් නිදහස් ලෝකයට පැමිණියේ පුද්ගලයන් හත්දෙනෙකු පමණි. උන්ඩ අරපරෙස්සම් කර ගැනීම සඳහා සිරකරුවන්ට වෙඩි තැබුවේ කලාතුරකිනි. මොට්ට ආයුධ වලින් පහර දී හෝ තියුණු ආයුධ වලින් කපා කොටා ඔවුන්ව මරා දැමීම මෙම ඝාතක ස්ථානයේ නිබඳවම සිදු කෙරිණි. ඇතැම්විට ප්ලාස්ටික් බෑග් මුහුණට දමා සිරකොට හුස්ම ගැනීම වලකා ලමින් සිරකරුවන් මරා දැමීමටද මෙහි භාවිතා වූ තව එක් මාරක ක්‍රමවේදයකි.

මෙම කෞතුකාගාරයේ සිරකරුවන් වද බන්ධනයට පත් කිරීම සඳහා යොදා ගන්නා ලද උපකරණ ප්‍රදර්ශනය කෙරේ. බාල්ක, මිනිසුන් එල්ලන කොකු, දම්වැල්, යකඩපොලූ, කඩු, පිහි, ජලටැංකි, මේවා සියල්ලන්ටම ඇත්තේ මාරක ඉතිහාසයකි.

කෞතුකාගාරය පුරා මිනී හිස් කබල් ඇට කැබලි, දක්නට තිබේ. ඇතැම් ඇටකටුවල පොරෝ පහරවල්, අස්ථී බිඳීම්, දක්නට ඇත. සමහර ඇටකටු අවුරුදු 10-12 අතර වයස් සීමා ඇති ළමුන්ගේ බව සනාථ කොට තිබීමෙන් පෙනී යන්නේ කෙමරූජ් භීෂණයේ රුදුරු බවයි.

යේල් විශ්ව විද්යාලය කෙමරූජ් භීෂණය අධ්යයන කරයි.

1994 වසරේ යේල් විශ්විද්‍යාලය විසින් CGP හෙවත් Cambodian Genocide Programme අරඹනු ලැබීය. මෙම අධ්‍යනයේ අරමුණ වූයේ පොල්පොට්ගේ ජන ඝාතනයට තුඩුදුන් හේතු කාරණා සොයා බැලීමය. එසේම ව්‍යසනයේ ප්‍රමාණය, ඒ සඳහා දායක වූවන් කවරහුද යන්න සොයා බැලීම් කෙරුණි.

චීනය පොල්පොට් පිළිගනියි

1977 වසරේ පොල්පොට් චීනයේ සංචාරයක නිරත විය. වියට්නාමයට එදිරිව යුද ආධාර ලබා දීමට චීනය පොල්පොට්ට එකඟ විය. එසේම ඔහු විසින් සිදුකරගෙන යන ආර්ථීක ක්‍රියා පිළිවෙත් චීනය අනුමත කරන ලදී. වසරකට ඩොලර් මිලියන 5 ක් වටිනා අවි චීනය විසින් පොල්පොට්ට සැපයූ බව වාර්තා වේ.

එහෙත් වියට්නාමය සමඟ සටන් උත්සන්න වූ විට පොල්පොට් චීන හමුදා පොල්පොට්ගේ සහයට එවන ලෙස ඉල්ලා සිටියද චීන බලධාරීන් ඊට එකඟ නොවූහ. පොල්පොට්ගේ පාලන යුගයේදී කම්පුචියාව අන්තර් ජාතික තහනම් වලට ලක්වූයේ නැත. රටවල් 63 ක් විසින් කම්පුචියාවේ කෙමරූජ් පාලනය පිළිගෙන තිබුණි.

පොල්පොට් හා බටහිර බලවත්තු 

යේල් විශ්වවිද්‍යාලයේ දේශපාලන විශ්ලේෂකයෙක් පවසන අන්දමට ඇමෙරිකාව, චීනය, බ්‍රිතාන්‍යය හා තායිලන්තය පොල්පොට්ට ආධාර නොකළේ නම් මෙවැනි ජන ඝාතනයක් සිදු නොවනු ඇත.

ඇමෙරිකානු බෝම්බ ප්‍රහාර නිසා ඉතිහාසයේ ක‍ෂයවී යාමට නියමිතව සිටි කෙමරූජ් වැනි අන්තවාදී දේශපාලන කණ්ඩායමකට ජනතාව ඒකරාශී කිරීමට හැකි විය. එසේම වියට්නාමයට එරෙහිව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය කම්පුචියාවට උදව් කළහ.

මාග්‍රට් තැචර් කම්පුචියාව හැඳින්වූයේ අපගේ සතුරාගේ (වියට්නාමයේ) සතුරෙකු වශයෙනි. එම නිසා පොල්පොට්ගේ ජන ඝාතන කෙරෙහි ඔවුන් දැක්වූයේ නිහඬපිළිවෙතකි. 1989 දක්වා බ්‍රිතාන්‍යය කම්පුචියාව අරබයා සිදුකළ මැදිහත්වීම් රහසිගතය.බ්‍රිතාන්‍යය Sunday Telegraph පුවත්පතේ සයිමන් රසල් පෙන්වාදෙන අන්දමට බ්‍රිතාන්‍ය SAS විශේෂ බලකාය විසින් කෙමරූජ් භටයන්ට පුහුණුව ලබාදෙන ලදී. මෙ පුහුණුවීම් ලබාදෙන ලද්දේ තායිලන්තයේදීය. මෙම SAS පුහුණුකරුවන් අතර ෆෝක්ලන්ත යුද්ධයේ සටන් කළ වෙතරානුවන්ද සිටි බව සයිමන් රසල් වැඩි දුරටත් පවසයි.

දැනට ජනඝාතන පිළිබඳව චෝදනා ලබා තිබෙන කුප්‍රකටTa Mok මෙසේ කියයි. මෙඩ්ලින් ඕල්බ්‍රයිට්, මාග්‍රට් තැචර්, හෙන්රි කිසිංජර්, ජිමී කාටර්, රොනල්ඩ් රේගන් සහ ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ) කෙමරූජ් සංවිධානයට උදව් කළෝය. යම් ලෙසකින් අප වරදකරුවන් වෙයිද ඔව්හුද වරදකරුවෝ වෙති. එම නිසා මෙම අධිකරණයට ඔවුන්වද ගෙන්විය යුතුය”.

ඇමෙරිකානු මැදිහත්වීම්

පොල්පොට්ගේ ජන ඝාතන ඇමෙරිකානු ක්ෂමා සංවිධානය දැන සිටියද, ඒවා නතර කිරීම සඳහා නිසි පියවර ගැනිම ඇමෙරිකාව ප්‍රමාද කළේ කරුණු කිහිපයක් නිසාවෙනි.

පොල්පොට්ගේ ආගමනය සිදුවීම සඳහා කම්පුචියාවේ ඇමෙරිකානු මැදහත්වීම එක්තරා දුරකට සහය වූ බව පෙනී යයි. 1970 දී ජනාධිපති නික්සන් සිහනුක්ගේ රජය පෙරළා දැමීමට හවුල් වීම නිසා කම්පුචියාවේ ඇති වූයේ ව්‍යාකූළ තත්වයකි. දකුණු වියට්නාම් හමුදා සහ 20,000 පමණ වූ ඇමෙරිකානු යුධ උපදේශකයන් කම්පුචියාවට ඇතුළු වූහ. ඔව්හු සිහනුක්ගේ රජය පෙරළා දමා ජෙනරල් Lon Nol බලයට ගෙන ඒමට මාන බැලුහ. මෙම අර්බුධකාරි පරිසරය කෙමරූජ්වරුන්ට හිතකර උපස්ථරයක් විය.

ඇමෙරිකානු සහය ලැබූ දකුණු වියට්නාම් හමුදා, උතුරු වියට්නාම් හමුදා, ජෙනරල් Lon Nol ගේ සහයක හමුදා, කෙමරූජ් ගරිල්ලන් සියළු දෙනා සංකීර්ණ සටනක විවිධ පාර්ශ්වකරුවෝ වූහ.

කම්පුචියාවේ උතුරු වියට්නාම් කඳවුරු විනාශ කිරීම සඳහා 1969 සිට 1973 දක්වා බෝම්බ ටොන් 532,000 ක් අත හරිනු ලැබීය. මේ නිසා ගම් පිටින් ධූලි අලූ බවට පත්වූ අතර, දස දහස් ගණනක් මරු දුටුහ. කම්පුචියාවට හෙලු බෝම්බ ප්‍රමාණය දෙවන ලෝක යුධ සමයේ ජපානයට හෙළන ලද බෝම්බ ප්‍රමාණය මෙන් තෙගුණයකි. එම නිසා විනාශයේ ප්‍රමාණය පිළිබඳව උපකල්පනයන් ලබාගත හැකිය.

නිළ නොවන වාර්තා අනුව ඇමෙරිකානු ගුවන් ප්‍රහාර නිසා මිය ගිය කම්පුචියානු මිනිසුන්ගේ ගණන 600,000 කි. ඇමෙරිකාවෙන් කම්පුචියාවට ලැබුණු ආධාර රජයේ උසස් නිලධාරීන් හා හමුදා නිලධාරීහු ගසා කෑහ.

මිලියන හතක ජනගහනයෙන් මිලියන දෙකකට නිවාස තිබුණේ නැත. බෝම්බ පිපිරීම නිසා කෘෂිකර්මාන්තය ද කඩා හැලූණි. කම්පුචියාවට ව්‍යසනය ලඟාකරවන ලද්දේ නික්සන් හා ඔහුගේ උපදේශක හෙන්රි නිසින්ජර් බව ඇතැමෙක් පවසති. නික්සන්ගේ යුධ මෙහෙයුම් කම්පුචියානු සමයේ සිදු නොවුනේ නම් කෙමරුජ්වරුන්ට හිස එසවීමට තිබුණු ඉඩකඩ සීමිත බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 1970 දී සුළු අවි සහිත 5000 ක භට පිරිසකින් සමන්විත වූ කෙමරුජ්වරු 1975 අප්‍රේල් වන විට 70000 ක හමුදාවකින් බලසම්පන්න වූහ. එම නිසා ඔවුන්ට පහසුවෙන් ජෙනරාල් Lon Nol ගේ හමුදා පරාජය කිරිමට හැකි විය.

රැඩිකල් මධ්‍යම පාන්තික උගතුන්ගෙන් සමන්විත වූ කෙමරුජ් නායකත්වය අගය කළේ ප්‍රාථමික ගොවිකමේ නියැළෙන ගෝත්‍රික ජනතා ජිවන ක්‍රමයකටය. එහෙත් ඔවුන්ගේ දේශපාලන යාත්‍රාව ගමන් කළේ පැසිස්ට් මුහුදකටය.

1979 ජනවාරි මාසයේදී ඩෙන් ෂියාඕ පෙන් වොෂින්ටනයට ගියේ චීන ඇමෙරිකානු සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහාය. පොල්පොට් වියට්නාමය සමඟ ගැටෙනු ආශාවෙන් නැරඹූ ඇමෙරිකාව ශීත යුධ සමයේ කම්පුචියාව තම නිල නොවන මිත්‍ර රාජ්‍යයක් ලෙස සැලකීය. චීනය කෙමරුජ්වරුන්ට අවි ආයුධ ලබා දුන්නේය. මේ නිසා පොල්පොට්ගේ ජන ඝාතන වලදී ඇමෙරිකාව අනුගමනය කලේ අන්ධයාගේ භූමිකාවය.

ජනාධිපති කාටර්ගේ ජාතික ආරක‍ෂාව පිළිබඳ උපදේශක Zbigniew Brzeziìki පසු කාලීනව ඇමෙරිකාව චීනය හරහා පොල්පොට්ට උපකාර කළ බව පිළිගත්තේය.

1980 සිට රොනල්ඩ් රේගන් කම්පුචියාවේ සිදුවූ ජන ඝාතන අන්තර් ජාතික අධිකරණයකට ගෙන ඒමට තිබූ ඉඩකඩ වසා දැමීය. කෙමරූජ් භීෂණයට සෙසු රටවල විරොධය දැක්වීම බොහෝ සෙයින් ඇවිරුනේ ඇමෙරිකාව පොල්පොට් කෙරෙහි දැක්වූ සහනශීලි පිළිවෙත නිසාවෙනි. යම් හෙයකින් පොල්පොට් යුධ අධිකරණයට ඉදිරිපත් කළේ නම් ඇමෙරිකාවට 1969 සිට 1973 දක්වා කම්පුචියාවට ගුවනින් බෝම්බ හෙළීම පිළිබඳව කරුණු අන්තර් ජාතික ප්‍රජාවට කීමට සිදුවන බව ලන්ඩනයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යනයන් පිළිබඳ දේශකයෙකු වන ස්ටීවන් හිඩර් පවසයි.

පොල්පොට්ගේ මරණයෙන් පසු ඇමෙරිකානු මාධ්‍ය කිහිප වතාවක් හෙන්රි කිසිංජර්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගත් නමුදු ඔහු පොල්පොට්ගේ ජන ඝාතන පිළිබඳ ඇසූ සෑම පැනයක්ම පිළිතුරු දීම මග හැරියේය. 1980 දී ක්ෂමා සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක‍ෂක ආචාර්ය රේ ක්ලැයින් හා කෙමරූජ්වරුන් අතර රහසිගත හමුවක් වාර්තා වී ඇත. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2017 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress