සිහින නොදකින ජාතිය ලොවැ නො නඟී!
Posted on May 20th, 2017

වරුණ චන්ද්‍රකීර්ති

දවල්ට නින්ද යන්නේ නැති ලෙඩක් මේ ලේඛකයාට තියෙනවා. මේක පොඩි කාලේ ඉඳලා ම එක දිගට ම තියෙන ලෙඩක්. දවල් නිදා නොගත්තාට හීන දකින්න බැරිකමක් නෑ. ඉතින් හොඳින් ඇස් ඇරගෙන මහ දවාලේ හීන දකින හැකියාව මේ ලේඛකයා උරුම කරගෙන. මමත් මිනීමරුවෙක්”, නළාවේ අයිතිය හොඳහිතට”, බස් කඩ දෙකක් සහ දුම්රිය කඩයක්”, දකුණු ලකේ අගනගරේ – මාගම” ලිපි කියැවූ පාඨකයන්ට මේ දුර්වලකම දැනටමත් පැහැදිළි වෙලා ඇති. ඇත්තෙන් ම මේ ලේඛකයා වගේ පුඟුලෝ දකින හීනවලින් රටට වැඩක්වෙන්නේ නෑ. ඒවා නිකම් ම නිකම් හීන විතරයි. රෑ දකින හීන නම් ඉක්මනට අමතකවෙනවා. හුඟක් වෙලාවට උදේට නැගිටිද්දිත් මතක නෑ. දවල් හීන එහෙම ම නෙවෙයි. අපිට ඒවා අමතකකරන්න ටිකක් අමාරුයි. ඒ විතරක් නෙවෙයි. ඒවා ගැන ආඩම්බරෙන් කතාකරන්නත් අපි කැමැතියි. මේ ලියන ලිපිත් ඒ ව්‍යාධියේ ම රෝග ලක්‍ෂණයක් කියලා හිතාගත්තම ඇති. කොහොම වුනත් තව තව හීන දකින්නත්, ඒවා ගැන කියන්නත්, ලියන්නත් මේ ලේඛකයා කැමැතියි.

අද ලියන්නේ හීන ගැන.

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නො නඟී” කියලා කුමාරතුංග මුනිදාස මහත්තයා කියලා තියෙනවා. අලුත් දේවල් හදන්න නම් ඒ වැඩේට අදාළ සිතිවිලි පහළවෙන්න ඕන. එක විදිහකට ගත්ත ම මේ විදිහට සිතිවිලි ඇතිකරන්න එක හීන දැකිල්ලකට දෙවැනි නෑ. මුලින් ම ඒවා නිකම් ම නිකම් හීන විතරයි. හදන්න හදන දේ මේ මහ පොළොව උඩ දකින්න නෑ. ඒක තියෙන්නේ ඒ ගැන හිතන මනුස්සයා ගේ ඔළුවේ. ඊට පස්සේ තමයි ඒක ඇත්තක් කරගන්න විදිහක් ගැන හිතන්නේ. ඉතින් හරි හමන් දැනුමක්, අවබෝධයක් තියෙනවා නම් ඒ විදිහේ හීනයක් හැබෑවක් කරගන්නේ කොහොම ද කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ විදිහේ හීන දකින වැඩේ කරන්න ඕන උගත්තු. එහෙම නැතිව, මේ ලේඛකයා වගේ අය හීන දැක්කාට වැඩක් වෙන්නේ නෑ. ඒවා නිකම් ම නිකම් දවල් හීන විතරයි.

අපේ රටේ උගත්තු හීන දකින බවක් අපිට හීනෙන්වත් පේන්නේ නෑ කියලා කාට හරි කියන්න පුළුවන්. මොකද සෑහෙන ප්‍රමාණයක් ඉන්නේ සද්ද කරන උගත්තු. බොහෝ දෙනෙක් කරන්නේ රොයිටර්ලා කියන දේවල් කියවලා ඒ ගැන අපිට කියන එක කියලා වෙලාවකට හිතෙනවා. ඒ වැඩ කරන්න මේ උගත්තු විවිධාකාර සංවිධානත් හදාගෙන ඉන්නවා. නම් ගම් නොකිව්වාට ඒවා ගැන අපේ පාඨකයෝ දන්නවා.

ඔය අස්සේ මහ විප්‍රකාර වැඩකරන අයත් ඉන්නවා. දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 කට සමාන මුදලක් ආණ්ඩුවේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කරන්න ඕන කියලා ඒ වගේ කට්ටියක් මීට අවුරුදු පහකට විතර ඉස්සර කිව්වා. එහෙම කිව්වා විතරක් නෙවෙයි. බෝඩ් ලෑලි උස්සගෙන ඒ ගැන කිය කියා පාර දිගෙත් ගියා. ආණ්ඩුවේ සම්පූර්ණ ආදායම ම දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 12 කටත් අඩුයි. ගිය අවුරුද්දේ ඒක සියයට 11.5 යි. ඉතින් ආණ්ඩුවට පුළුවන් ද ලැබෙන ආදායමෙන් සියයට 50 ක් අධ්‍යාපනයට වෙන්කරන්න?

උසස් පෙළ විතරක් පාස්වෙච්ච ළමයි බෝඩ් ලෑලි උස්සගෙන පාරට බැහැලා කලබලකරනවා තමයි. ඒ ළමයි එහෙම කරන්නේ නොතේරුම්කමටනේ. තවත් අවුරුද්දක් දෙකක් ඉගෙනගෙන, උපාධියත් ඇරගෙන, රටේ තොටේ තියෙන එදිනෙදා ප්‍රශ්නවලට මුහුණදීලා සමාජයෙනුත් යමක් ඉගෙනගත්තට පස්සේ තමයි ඒ ළමයි උගත්තු බවට පත්වෙන්නේ. ඉතින් ඒ අය කරන කලබැගෑනි ගැන ඕනවාට වඩා කල‍බලවෙන්න හොඳ නෑ. ඒත් දැන උගත් අයට බෑ ඒ විදිහට හැසිරෙන්න. අපි උගත්තු කියලා කියන්නේ උසස් පෙළ පාස්වුනාට පස්සේ අපේ රටේ අවුරුදු ගානක් ඉගෙනගෙන, උපාධියකුත් ඇරන්, ඊට පස්සේ රට රටවල ගිහිල්ලා ඒ රටවල්වලිනුත් උපාධි ඇරගෙන, ඒ රටවල්වල ‍වැඩ කෙරෙන විධිත් බලාකියාගෙන ආපු අයටනේ. ඊට අමතර ව ඒ අය කසාදත් කරගෙන, ළමයිනුත් හදාගෙන, උන් ලොකු මහත්කරගන්න මහන්සිවෙන ගමන් විවිධාකාර සමාජ අත්දැකීම්වලට මුහුණදීලා ඒවායෙනුත් දැනුම්වත් වෙලානේ ඉන්නේ. ඉතින් ඒ අයට කරන්න පුළුවන් දේවල් මෙච්චරයි කියලා කියන්න බෑ.

මේ මහ පොළොවේ තියෙන හොඳ ම අධ්‍යාපන ක්‍රමය තියෙන්නේ අපේ රටේ කියලා සමහරු කියනවානේ. අපේ උගත්තු ලෝකයේ අනිත් අයට දෙවැනි නෑ කියලාත් කියනවානේ. ඉතින් අපි ඒ ගැන ආඩම්බර වෙන එකේ වැරැද්දක් නෑ. ඒත් ඇයි මේ රටේ ප්‍රශ්න ඉවරවෙන්නේ නැත්තේ? ප්‍රශ්න ඉවරවෙච්ච රටවල් කොහෙද තියෙන්නේ කියලා කාට හරි අහන්න පුළුවන්. ඒ ඉතින් විවිධාකාර අලුත් ප්‍රශ්න ඇතිවෙන හින්දානේ. මේ අපේ රටේ තියෙනවා වගේ සයිටම් ප්‍රශ්න, කුණු ප්‍රශ්න, සියයට හයේ ප්‍රශ්න වෙන රටවල්වල දකින්න අමාරුයිනේ. අපේ රටේ වෛද්‍යවරු පවා ස්ට්‍රයික්කරනවා. විශ්වවිද්‍යාලවල ළමයි සතියකට වතාවක්වත් පාරට බහින්නේ, වෛද්‍යවරු ලෙඩ්ඩු බලන එක නවත්තන්නේ ඒ ඒ වෙලාවට ඇත්වෙන ප්‍රශ්නවලට විසඳුම් නැති හින්දානේ.

ඉතින් මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ඕන කවුද? හැම දෙනා ම වගේ කරන්නේ දේශපාලනඥයන්ට බැන බැන ඉන්න එක. දේශපාලනඥයෝ කියලා කියන්නේ ඒ විදිහට විසඳුම් හොයන විශේෂඥයෝ පිරිසකට නෙවෙයිනේ. ඒ අය කරන්නේ විසඳුම් ක්‍රියාත්මක කරන්න නායකත්වය සපයන එක. ප්‍රශ්න අඳුරගෙන, ඒවාට ගැලපෙන විසඳුම් හොයන එක කරන්න ඕන උගත්තු. අපි කියන ඒවා ආණ්ඩුව කරන්නේ නෑනේ” කියලා උගත්තුන්ට කියන්න පුළුවන්. ඒත් මේ විදිහේ විසඳුම් සංවිධානාත්මක ව ඉදිරිපත්කරන බවක් අපි දැකලා නෑ. උගත්තුන්ට පුළුවන් නම් සියයට හයක් ඉල්ලලා සංවිධානය වෙන්න, ඇයි ඒ අයට බැරි මෙන්න මේ ප්‍රශ්නයට විසඳුම මේකයි කියලා සංවිධානාත්මක ව කියන්න?

මමත් මිනීමරුවෙක්”, නළාවේ අයිතිය හොඳහිතට”, බස් කඩ දෙකක් සහ දුම්රිය කඩයක්”, දකුණු ලකේ අගනගරේ – මාගම” කියන ලිපිවලින් මේ රටේ තියෙන ප්‍රශ්න කිහිපයක විසඳුම් මේ ලේඛකයා ඉදිරිපත් කළා. ඒත් ඒවා නිකම් ම නිකම් හිතලු විතරයිනේ. මේ විදිහට තමන් දකින දවල් හීන ගැන නොකියා තියෙන ප්‍රශ්නවලට විධිමත් විසඳුම් යෝජනාකරන්න අපේ උගතුන්ට පුළුවන්. ඒ වැඩේ තනියම කරන්න බැරි නම් උගතුන්ට සංවිධානය වෙන්න පුළුවන්. සංවිධාන හැදිල්ල අපිට අමුතු දෙයක් නෙවෙයිනේ. ඒක අපේ සංස්කෘතියට ආවේනික කටයුත්තක් කියලායි මේ ලේඛකයාට හිතෙන්නේ. ඉතින් අපේ උගතුන්ට පුළුවන් තව තවත් සංවිධාන හදාගන්න. එහෙම එකතුවෙලා ප්‍රශ්නවලට විසඳුම් ඉතාමත් සැලසුම් සහගත ව, සංවිධානාත්මක ව ඉදිරිපත්කරන්න. ආණ්ඩු පෙරළන, සමාජ සාධාරණත්වය ඇතිකරන, දූෂණ පිටුදකින කතා කියන අය නම් සෑහෙන්න ඉන්නවා. අපි ඒ ගැන ආඩම්බරවෙන්න ඕන. ඉතින් ඒ විදිහට ම, අපේ මිනිස්සුන් ගේ එදිනෙදා ප්‍රශ්න විසඳගන්න විධික්‍රම ටිකකුත් කිව්වා නම් හොඳයිනේ.

ඇයි මේ පොඩි ළමයි පාරට බැහැලා කලබල කරන්නේ? ඇයි හැම එකා ම දොස්තර කෙනෙක් වෙන්න දඟලන්නේ? ඇයි වැඩියෙන් දොස්තරලා බිහිවෙන එක වළක්වන්න තව කට්ටියක් මහන්සිවෙන්නේ? ඇයි අපේ ළමයි ආණ්ඩුවෙන් ම රස්සා ඉල්ලන්නේ? හොඳින් ජීවත්වෙන වෙන ක්‍රමයක් දන්නේ නැති හින්දානේ. ඉතින් මේක දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. එහෙම දැනුමක් නිකම් ඇතිවෙන්නේ නෑ. යන්න පුළුවන් පාරක් ළමයින්ට පේන්න ඕන. එහෙම පාරවල් හදලා දෙන්න දැන උගත් වැඩිහිටියෝ දැනගන්න ඕන. දැන උගත් වැඩිහිටියෝ කියන්නේ කවුද?

චීනයේ විශ්වවිද්‍යාලවලට අදාළ කරුණු කාරණා ගැන යම් ප්‍රමාණයක අවබෝධයක් මේ ලේඛකයාට තියෙනවා. මොකද මේ ලේඛකයා මේ දවස්වල ඉන්නේ චීනයේ පෙයි-චිං නුවර. ලෝකයේ වැඩි ම ජනගහනයක් ඉන්නේ මේ රටේනේ. ඉතින් මේ රටේ තියෙනවා විශ්වවිද්‍යාල 2600 ක් විතර. 2015 අවුරුද්දේ විතරක් චීනයේ විශ්වවිද්‍යාලවලින් ළමයි 68 ලක්‍ෂයක් උපාධි ලබාගත්තා. ශාස්ත්‍රපති මට්ටමේ උපාධි ලබාගත්ත ගණන ලක්‍ෂ 5 කට ආසන්නයි. ඒත් මේ එක ළමයෙක්ටවත් රස්සා දෙන්න චීන ආණ්ඩුව බැඳිලා නෑ. ඒත් චීනයේ උපාධිධාරීන්ගෙන් සියයට 92 ක් ම රස්සාකරනවා. මේක වෙන්නේ කොහොම ද? මේක වෙන්නේ මේ සමාජය විසින් රැකියා අවස්ථා ඇතිකරන හින්දා. ඒ හින්දා මේ කටයුත්ත සළකන්න ඕන සමාජයේ කටයුත්තක් විදිහට. ඉතින් ඒකට උවමනා කරන මාර්ග පෙන්නලා දෙන වැඩේ උගත්තු භාරගන්න ඕන. එහෙම නැතුව ආණ්ඩුවට බැන බැන හිටියා කියලා ලැබෙන දෙයක් නෑ.

අපේ උගතුන්ට දැනුම නෑ කියලා කියන්න බෑනේ. ඒත් මොකක්දෝ අඩුවක් තියෙන බව නම් හිතෙනවා. අපේ උගත්තු හීන දකින්නේ නැති ද? එහෙම නැති නම් දකින හීන ඇත්ත කරගන්න විදිහක් ගැන හිතන්නේ නැති ද? ඒ විදිහේ ක්‍රම ගැනත් හිතනවා නම් ඒවා විධිමත් ව ප්‍රකාශකරන්න ක්‍රමයක් හොයාගෙන නැති ද? මේ වගේ වැඩ සංවිධානාත්මක ව කරන්න අපේ අය අකැමැති ද? මෙන්න මේ ප්‍රශ්න ගැන හිතන්න කාලය ඇවිල්ලා කියලා මේ ලේඛකයාට හිතෙනවා. ඒත් තමන් ගේ හීන දැකිල්ල නවත්තන අදහසක් නම් ඔහුට නෑ.

ඒ විදිහට දැකපු තවත් හීනයක් ගැන මී ළඟ ලිපියෙන් කියන්නම්.

වරුණ චන්ද්‍රකීර්ති

One Response to “සිහින නොදකින ජාතිය ලොවැ නො නඟී!”

  1. Wetta Says:

    විශ්ව විද්‍යාලවලට යන අපේ ළමයි හීන දකිනවා. විශ්ව විද්‍යාලයෙන් සමත් වෙලා එලියට එනකොටම ආණ්ඩුවෙන් රිදී බන්දේසියක තියලා රජයේ රැකියාවක් ඒගොල්ලන්ට දෙන්න රටේ රජය විශ්ව විද්‍යාලයේ ගේට්ටුව ළඟ හිටගෙන ඉන්නවා දකින එක තමයි ඒගොල්ල දකින එකම හීනේ. ඉතින් නින්දෙන් ඇහැරිලා වට පිට බලලා ඔය හීනේ සැබෑ වලා නෑ කියලා තේරුනාම ආණ්ඩුවටම බැන බැන ඉන්නවා.

    විශ්ව විද්‍යාල වලින් එලියට එන්නේ රටේ ඉන්න දක්ෂම දරුවෝ කියලයි අපි හිතාගෙන ඉන්නේ, එත් අටේ පන්තියටවත් ඉස්කෝලේ නොගිය මනුස්සයෙක්ට තමන්ගේම දාඩිය මහන්සියෙන් පුංචි ව්‍යාපාරයක් පටන්ගන්න (සහ ඒ හරහා තවත් කීප දෙනෙකුටත් රැකියා ලබා දෙන්න) ලබල තියෙන තරමේ දැනුමක් හෝ ධෛර්යයක් ඒ අය ට ලැබිලා නෑ කියන එක තමයි පේන්න නං තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්න තරමේ අතිදක්ෂ දැනුමක් ඒ අයට නෑ කියන එකයි මගේ විශ්වාසය. ඒ කියන්නේ, පන කඩාගෙන පොත් කට පාඩම් කරලා ටියුෂන් ගිහිල්ලා විභාග වලින් පාස් වෙනවා කියන්නේ දක්ෂ අයගේ වැඩක් නෙමෙයි කියන එකයි මටනං හිතෙන්නේ. ඒකත් එක්තරා දක්ෂකමක් තමයි, හැබැයි ඒගොල්ලන්ගෙන් රටට ඇති වැඩක් නෑ, බරක් විතරයි. රටේ බර තමන් කරට අරන් විසඳුම් ලබාදෙන එක තමයි නියම උගතුන්ගේ, නියම දක්ෂයින්ගේ කාර්යය. අනිත් අය රටේ බදු ගෙවන්නන්ට නිකම්ම නිකං බරක් විතරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress